Saturday, February 27, 2016

විශේෂ මතක සටහනක්, අනාගත සැමරුම් පිණිසම

අවුරුදු දහයකට කලින් එක පාරක් විතරක් කියවපු, හැබැයි අදටත් ගිරවා වගේ එක හුස්මට කියන්න පුලුවන් දත්ත මගෙ ඔලුවේ තියෙනවා, ඒත් එහෙම උනත් දැන් පොඩ්ඩකට කලින් කියවපු දෙයක් ගැන කිසිසේත්ම මට මතක නැති වෙන්න පුලුවන්.

හැමදේම ඇතුලේ පර්ෆෙක්ශන් හොයපු, වැදගත් වැඩක යෙදුනත් නැතත් මේසේ උඩ දූවිලි බිංදුවක් නැතිව තියෙනවා දකින්න ඕනෙ වුන කෙනෙක් වෙච්ච මම,වෙලාවට වැඩ නොකරන උන්ව පෙන්නන්න බැරි වෙලා උන්න මම අද තනිකරම ඒවාගෙ අනික් පැත්ත.

මට වැදගත් නෑ පොලවේ ඉඳන් ඉරට තියෙන දුර, ලීටරේට මිලිලීටර් ගණන, හැබැයි මං මැරෙන්න කලින් දත්ත දෙකෙන් එකක් හරි ඕනෙ වුනොත්, ඕනම වෙලාවක මට දේවල් බලාගන්න විධි ඕනේ තරම් තියෙන විත්තිය මම දන්නවා.

හැබැයි ඔය අතරේ මම තේරුම් ගත්ත එකම දත්තය තමයි, මගෙ ඔලුව හැදිලා තියෙන්නේ දත්තවලින් පුරවලා සිස්ටමැටික් විදියට සමාජයට මුදා හරින්න නොවෙන විත්තිය.

සමහරවිට ශිෂ්යත්ව විභාගෙන් සිරා දිස්ත්රික් සාමර්ථයක් ඇතිව ආනන්දෙට එවලා, සාමාන් පෙලට අටකුත් ඇතුව උසස් පෙලට එවලා උසස් පෙල පන්තියේදිත් පන්තියේ දෙවෙනියා පවා වෙද්දී මගෙ ලඟ උන්නු මිනිස්සු,අම්මා බලන් උන්නේ මං මෙහෙම බොහීමියානු වැසියෙක් වෙයි කියලා නෙවෙයි වෙන්න ඇති.

ඇතුලකට වෙලා කවුරුත් උගන්නන දෙයක් අහගෙන විභාගයකට එන උත්තර ටිකත් විදියටම අල්ලගෙන ලියලා අමුතු ලල් එකක් ගන්න ආතල් එක මට අවුරුදු දහ අටක් විස්සක් යද්දී එපා වෙලා ගියා. අද වෙද්දී, ඉන්නේ තනියම නෙවේ නම් පුටුවක් උඩට වෙලා ඉන්නවා කියන වැඩේ අමාරු වැඩක් නෙවේ,කරන්න බැරි වැඩක්.

Sunday, February 14, 2016

වැලන්ටයින් කතා හතරක්



මගේ වැලන්ටයින් කතා හතර

_______________________________

අංක එක

"ඔයා වැලන්ටයින් සමරලා තියෙනවද?"
"ම්ම්හු. ඔයා?"
"නෑ!"
"ශා!! අපි දෙන්නා මේ පාර සමරමු!"
"හා!"
ඉතිං කෙල්ලගෙන් කොල්ලට රතු රෝස මලකුයි, ටෙඩියෙකුයි හම්බුනා.
ලොකූ... රෝස මලක් අලවපු කාඩ් එකකුත් එක්කම...
කෙල්ලටත් ඉතිං මේසේ උඩ තියන පෙට්ටගමක් වගේ පෙන්සිල් හෝල්ඩර් එකක්. ඒක තෝරගන්නෙත් යාලුවෙක්ට කියල,බෝම අමාරුවෙන්.
දෙන්නට හම්බෙන්න නම් බැරි වුනා. ඉතිං තෑග්ග ගියේ යාලුවෙක් අතේ.

කෙල්ල අද වෙන්න දොස්තර නෝනා කෙනෙක්.
කොල්ලා පත්තරකාරයෙක්.

අද දෙන්නා ඉන්නෙත් රටවල් දෙකක.

_______________________________
අංක දෙක

Tuesday, February 9, 2016

බ්‍රේක් අප් වීමෙන් පසු..


"උඹව නොලැබුනොත් මං මැරෙනව, මට වෙන කවුරුත් ඕනෙ නෑ, උඹයි මගේ පණ"

මෙහෙම කිව්ව උන් අපි නැතුව මළා නම් අද උනුත් නෑ, මේ අපිත් නෑ මචං!

ඉතිං එහෙම කියන එක මේ සර්වපිත්තල ලෝකෙ වෙට්ටපිත්තල කතාවක් ද? අපෝ නෑ. ඇයිද කියලා කිව්වොත් ඕනම කෙනෙක් ඔය ටෝක් එක අනේක ස්වරූපවලින් එකෙක්ට දෙන්නෙක්ට වඩා වුණත් දීල තියෙනවා..

Friday, January 22, 2016

මගෙ ජනේරුව! දෙදාස් පහලවට නැවත ගියෙමි!!

දෙදාස් පහලව අවුරුද්දේ ජනේරුව,පෙබරවාරිය සහ අවසාන වශයෙන් මාර්තු මාසයේ දිනපොතේ තියලා තියෙන සටහන් එක්ක බලද්දී ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් එක්ක තියලා තියෙන සටහන් ගැන දැනෙන්නේ පුදුම සතුටක්. නිවාඩු ප්‍රශ්නයක් නිසා රස්සාව නැතිවෙන තැනටම වැඩ කෙරිලත්, අන්තිමේ ඒක බේරුණ ඒකෙන් මම පුදුම විදියට ඔලුව ඉස්සුවා. :) බේරුනා නෙවෙයි ඇත්තටම,බේරලා දුන්නා. ඉතිං ඒකත් ලොකු හේතුවක්, ආයතනික වශයෙන් නැතත් ඔතන මානව සම්පත ගැන මම බැඳීමක් ඇති කරගත්තා නම්..


කවදාද කියලා දැනගන්න කිසිම සටහනක් දිනපොතේ නැතත්, වේගෙන් ඔලුව බිත්තියේ ගහගෙන හයියෙන් කෙඳිරි ග-ගා උන්නු අගෝස්තු මාසයේ දවසකුත්, ඔක්කොම දමලා ගහලා රෑ දොළහට විතර රේල් පාර දිගේ හෙමීට ඇවිදන් ගිහින් හිත එකලස් කරගත්ත ජුලි මාසේ දවසකුත් වගේම පුංචි එක සටහනක් ඉතුරු කරලා තිබුණු, බස් එකේ යන ගමන් හරියටම කටුනායකදී ඇහැරිලා නොදැනීම දිග හුස්මක් එලියට පැනලා විසි වුනු මාර්තු දාහතර-වෙනිදාවකුත් ඇරෙන්න දවසකට දෙකකට වඩා එක දිගට හිතේ දුකක් රැඳුන දවසක් නම් ගිය අවුරුද්දේ තිබුනේ නෑ. කැළණි වෙහෙර ළඟ බෝ මළුවේ කොයි තරම් ඉන්න ආසා කලත්, එතනට වඩා කිසි පින්වතකමක් රැඳිලා නැති වුනත් ඊට වඩා නිස්කලංකකම රැඳුන, මඩත් එක්ක මිනිස්සු විසි කරපු කුණු රැඳිලා තියෙන කැළණි ගඟ අයිනේ රැඳිලා තියෙන නිස්කලංකකම, ගිය අවුරුද්ද පුරාවටම මගේ ඔලුව ඇතුලේ තිබ්බා. මිනිස්සු විසි කරන කුණුත් එක්කම, සමහර විට මානව වර්ගයා පරිනාමය වෙන්නත් කලින් ඉඳන්ම ඒ ගඟ ගලාගෙන ගිය විදියටම වෙන්න ඇති, දැනුත් ඒ ගඟ ගලන්නේ, මං කල්පනා කළා.



නිස්කලංකකම ජීවිතේට එකතු කරන වටිනාකමක් නෑ, ඉතිං මනුස්සයෙක් විදියට නම් ගිය අවුරුද්දේ මම ඉස්සරහට ගියා හිතන්න අමාරුයි. සමාජ ජීවියෙක් විදියට හරියට කළුවර මුල්ලක ගුලි වුන කලුපාට බලු කුක්කෙක් වගේ පොඩ්ඩක් නොපෙනී ඉන්න ගතියක් පෙනුනා වගේම නිතර දෙවේලේ ආශ්‍රය කරන රවුම නොසෑහෙන්නම පුංචි වුණා. පුංචි රවුම් හරි අපූරුයි, ආදරනීයි. මම හැමතිස්සෙම ඒ ගැන කල්පනා කරන්නත් ආඩම්බර වෙන්නත් පටන් ගත්තා. හැබැයි මගේ ජිවිතේ ඕන රහසක් මෙන්න මූ දන්නවා කියන්න තරම් කෙනෙක්, කොහෙත්ම ලං වුනේ නෑ. උන්නු එවුන් ටික පණ වගේ ලං වුණ එක විතරක් සිද්ධ වුණා.


ගිය අවුරුද්දේ උපන්දිනේට ජීවිතේ පලවෙනි වතාවට කේක් එකක් කැපුවා! ඉතිං එහෙම දෙයක් වුනේ මං දැනුවත්ව නෙවෙයි, හැබැයි මතක් වෙන ගානේ පුදුමාකාර හිනාවක් මගේ මූණේ ඇඳෙන අපූරු දවසක් එදා මට හම්බුණා. 'අද මගේ උපන්දිනේ' විත්තිය හැන්දෑවේ හය වෙනකන් මතක් නොවුණු උපන්දිනයක් වගේම, දවසෙම බුම්මගෙන රවාගෙන උන්නු උපන්දිනයක් වගේම මේ වගේ උපන්දිනෙකුත් තියෙන්නම එපැයි! මං කල්පනා කළා.



කියන්න එපැයි, දෙදාස් දාහතරේ අග අම්බ බේබද්දෙක් වීමේ ලක්ෂණ පහල වෙලා දෙදාස් පහලවේ කටේ තියාගෙන ගහන එකෙක් බවට පත් වෙලා, සමහර දාට එක රැයට සිගරැට් 15ක් උරණ එකෙක් බවටත් පත්වෙලා අන්තිමේ මම'ම ගැලවුනා! මොන බොරු වැඩක්ද මේ? මං කල්පනා කරන්න පටන් ගත්තා. ඇබ්බැහි වෙනවා?? හිත තමයි හැමදේටම, මේ මංහොඳට ඉන්නේ මුකුත් නැතුව? මං හැමෝගෙන්ම අහනවා දැන්!


දෙදාස් දාසය උදා වුනේ මගේ ජන්ගමයා මට ආයුබෝවන් කියාගේනමයි. මුල් දවස් ටික මොනා වෙන්න යනවද හිතාගන්න බැරි මට්ටමක තිබ්බත්, දෙදාස් දාසය නම් අපූරු අවුරුද්දක් වෙනවා කියලා අදට ගෙවුන සති තුනේ හොඳටම දැනුනා. කවුද දන්නේ, මේ අවුරුද්ද සමහර විට ජීවිතේ වෙනස්ම අවුරුද්දක් වෙන්න පුළුවන්!

රෑ දොළහා එක පනිද්දී හිතේ එකතුවෙන දේවල් 'පාපොච්චාරණය' වෙනවා හොඳටම වැඩියි, ඉතිං ඔන්න ඔහේ බුකියට මේ විදියට අත ඇරලා දැම්මා.. :)



Saturday, December 19, 2015

පහන් සංවේගය! (Light Sympathy) :D

ඉස්සර බස්වල සිග්නල් ලයිට් එක්ක,බ්රේක් ලයිට් එක්ක ඇතුලෙනුත් පත්තුවෙන විදියට ප්‍රේක්ෂක මගී ජනයාගේ පහන් සංවේගය (light sympathy??) වෙනුවෙන් ලයිට් හයිකරලා තිබ්බා. තාම ගමේ ගොඩේ දුවන ලංගම බස්වල මේවා තියෙනවා වරද්දන්නෙ නැතිව.

කොහොම හරි එහෙම කලේ බෝම ඉස්සර.. දැන් කරන්නේ බ්රේක් ලයිට් එක බස් එක ඇතුලේ බෝම ගෞරවයෙන් වඩා හිඳවාපු දේවතා මණ්ඩලේ වටේ රැස් වළල්ලට සින්ක් කරන එක..

සාදු සාදු සාදු!

බ්රේක් ගහද්දි පින්වතුනී දෙයියන්ටත් ඔලුවෙන් නහයෙන් කටෙන් තරු විසිවෙනවා බලන්න හරි ලස්සනයි.. කතරගම විෂ්ණු ධන ලක්ෂ්මී වර්ෂන් එකෙන් ඕනේ නම් ඒකත් තියේ,මරිය මව් ජේසු තුමා වර්ෂන් එක ඕනේ නම් ඒකත් තියේ. කැමති එකකින් වර්ග රැසකින් තෝරාගන්න පුළුවන්. තනිපාට රැස්, දේදුණු පාට රැස්, මොනාද ඕනේ ඕන එකක් ගන්න පුළුවන්..

ඔන්න ඉතින් ඔකෙනුත් පස්සේ අලුත්ම එක අද මං දැක්කා.. කෙලින්ම දේවතා මණ්ඩලේ VIP අප්ග්‍රේඩ් එක. සත්බුදුවරුන්ගේ බ්රේක් ලයිට් රැස් මාලාව.. විපස්සී සිඛී වෙස්සභූ කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම.... බ්රේක් ගහන ගහන වාරෙට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙනවා මිත්‍රවරුනි බ්රේක් ගහද්දි හොම්බ කට කඩලා එලෝ ගියොත් කෙලින්ම යන්නේ නිවන්. 

වැරදිලාවත් මේ නත්තල් කාලේ වත්තල ජා ඇල මීගමුව වෙන්නප්පුව හරහා කොහේ හරි කොළඹ පුත්තලම බස් පාරේ ගියොත් පැය එක හමාරක දෙකක බස් ගමනට පැය තුන හමාරකට වැඩියෙන් යනවාමයි...

ඉතිං බ්රේක් දෙයියන්ට නිවනක් නෑ, මේ ටිකේම...


Friday, December 11, 2015

ඒයි ඒයි මිනිහෝ!

"ඒයි ඒයි මිනිහෝ!"

" තොපි තමයි මේ ඉස්කෝලේ නම කන්නේ.. "


මාව ඇදලා අරං දීපි නැතැයි පිට මැදට..

දඩෝන්....!

වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව මං තුෂ්ණිම්භූත වුණා. පන්තියට කවුරු හරි එනවද බලන්න දොරගාවට ගිහිං, ඇඟත් ඇතුලේ තියාගෙනම හොම්බ දොරෙන් එලියට දාද්දීම මගෙ මූණට අඟලක් ඉස්සරහින් ප්‍රසාද් සර්!

එහෙමම පන්තිය ඇතුලට අඩියක් තියලා මගෙ කණෙන් අල්ලගත්ත ගමන් සිද්ධ වුන සන්තැසිය තමයි ඒ. සිද්ධ වුනේ මොකද්ද හිතාගන්න බැරිව මම ආයේ දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා.
ඒ අපි නවය වසරේ, ඒ කියන්නේ මුවර් ගොඩනැගිල්ලේ ඒ කාලේ හතරවෙනි තට්ටුව.
බිම ඉඳන් පෝලිමට පස් වෙනි තට්ටුවේ මුවර් හෝල් එකට යන ආරාධිත පාසල් කොටු කරවල් ටිකක් මට පෙනුනා.

සිද්ධ වෙලා තියෙන දේ මට තේරුනේ එතකොටයි, සර් හිතලා තියෙන්නේ මං කොටු කරවල් නරඹන්න ඔලුව එලියට දැම්මා කියලයි. ඔය සිද්ධිය කොටු කරවල්, කාසල් වීදිය සහ කොටා රෝඩ් එක මට ඒ කාලේ ඉඳන්ම අපල බව කියන්න හොඳ සාක්කියක් !
සර් උදේම එනවා,

"ආආ..... ඉංග්‍රීසි මා.....ධ්‍යය පා.....න්තිය"

"අතුගෑවද?"

"ආආ.. කුණු අස් කරලා නෑ."

"තොපේ වැඩ බාගේටනේ,

ඉංග්‍රීසි මාධ්‍ය පාන්තිය, හෝදන්නේ නෑ, පිහදානවා විතරයි...."


නවය වසර සහ ප්‍රසාද් සර් කියන්නේ නයි වෛරයක්!
නවය වසරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය සහ ප්‍රසාද් සර් කියන්නේ ජන්මාන්තර වෛරයක්..!!!

හැබැයි නවයෙන් දහයට ගිය තප්පරේ ඉඳන් ප්‍රසාද් සර් කියන්නේ පුදුම හිතවතෙක්, ඕන වැඩකට අපි එක්ක බොක්කෙන්.

ඉතිං, සර් යනවා කියන ආරංචියත් එක්කම මේ ඔක්කොම මට මතක් වුණා.

සර්, අපි තැනකට ගිහිං ඉද්දි, නාඳුනන අයත් ලඟට ඇවිත් කතා කර කර ඉන්න අතරේ, "පුතා ආනන්දෙද" කියලා අහන තැනට අපේ හැසිරීම හැදුවේ, සර්ලා වගේ ඒ කාලේ අපිට යක් වෙසින් පෙනුන ගුරුවරු තමයි.
වැරදි වැටහීමක් නිසා එදා ඒ කාපු ඒ ගුටිය ආනන්දේ ජීවිතේ මම කාපු ගුටි දෙකෙන් එකක් උනත්, ගුටි කන්න බයටම අපි හැදුනු විදිය නම් හරි අපූරුයි.


සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි.



පින්තූර  ගෞරවේ, facebook වෙත  එකතු  කල නම නොදත් ඒ සහෝදරයාට.. 

Sunday, October 11, 2015

නොනැගිටිමි


සුපෙම් හැඟුම්-ඔබෙන් එපා.. මිතුරු දම් විනා, නෞකාවකි ඔබ මෑත සමුදුරේ..කොල්ලෝ කෙල්ලෝ ගැන, ආදරේ ගැන මිනිස්සු ඕන තරම් සින්දු,කවි,කතන්දර ලියලා ඇති. මිනිස්සු ඒවා ආදරෙන් වැළඳගෙන ඇති, පරම්පරාවෙන් පරම්පරාවට, අවුරුදු සිය ගණනක් යනකන් ඒ කතන්දර අහන්න,විඳින්න වගේම සමහරවිට තමන්ගේම අත්දැකීම් කරගන්න ඇති.
රෝමියෝ-ජුලියට් ඔය තරන්ම මිනිස්සු වැළඳ ගත්තා කියලා ඒ දෙන්නා ආපිට ජීවතුන් අතරට ආවේ නෑ. ධම්මික බණ්ඩාර තමන් ඉස්කෝලේදී දැක්ක, කොල්ලා කෙල්ලට බත් කවන දර්ශනය, පස්සේ කාලෙක ඒ කොලුවා තනියම හම්බුන වෙලාවක අහලා දැනගත්ත කතාව උඩ ලියවුන හන්තානට පායන සඳඋන් දෙන්නමත් රස විඳින්න ඇති. හැබැයි ආයෙමත් කවදාවත් එකතු නොවෙන්න ඇති.
ඒ ඒ නිර්මාණ මිනිස්සු කොයි තරම් තදින් අල්ලා ගත්තත්, ඒවා ඇතුලේ උන්න මිනිස්සු තව දුරටත් ඒවා ජීවිතේ කරගන්න නැතිව ඇති. මොනවද මනුස්සයෝ උඹ තවත් පරණ දේවල් ගැන ලියන්නේ?” “ඇයි බුද්ධි ඔයා තාමත් මේ??” යාළුවො,දන්න-නොදන්න මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙටත් මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. තාමත් පරණ සිද්ධි මතක් කර කර මම හිනා වෙනවා, අඬන්නේ නැතත් කඳුළු එනවා.. ඒවා මාත් එක්කම කම්පනය වෙන්න පුළුවන් කීප දෙනෙක් එක්ක අකුරුවලින් බෙදාගන්නවා..
එතනින් එහාට ඒ මගේ ජීවිතේ නෙවෙයි, මගේ වර්තමානය හෝ අනාගතය නෙවෙයි. කට කොනක හිනාවකට හරි කඳුලකට හරි හේතු වෙන පුංචි අතීතකාමයක් විතරයි.
ලියල ඇති කවි කෑලි ඕනේ තරම්, කෑලි එල්ලෙන කහ ගැහුණු සටහන් පොත් තාම මගේ ගාව, ලයිබ්‍රරියේ ඉඳන් එවෙලෙට හිතෙන දේ කුරුටු ගාපු කොළ කෑල්ලේ ඉඳන්, ෆෝමැට් වෙලා එක රොත්තට නැති වෙලා ගිය අකුරු කෑලි තිබ්බ වැඩකට නැති හාඩ් ඩිස්ක් කෑල්ලේ ඉඳන්, දාන්න පුළුවන් කියලා හිතුන වෙලාවට බුකියට,බ්ලොග් එකට අත ඇරපු කුරුටු, ඔය ඔක්කොම තාම මන් ගාව,එකක් වත් විසි කරන්න අවශ්යව වෙලා නෑ.
මට ලියන ඒවා මට විතරක් පෙන්නන්නකියපු කාලෙන් පස්සේ, ලියපුවා කිසිම එකෙක්ට නොපෙන්නා ඩෙස්ක්ටොප් එකේම තනි එක ෆෝල්ඩරයක් ඇතුලට රිංගවලා දාන කාලයක් වෙලා තිබුනේ පහු ගිය මාස ගානම.. සමහර විට ඒක ඉවර වෙයි, සමහරවිට ඉවර නොවෙයි. දිගටම ඒ ෆෝල්ඩරේ පිරෙයි.
සමහර විට දවසක මමත්, කඩේක කොල්ලට ආදරෙන් බත් කවන කෙල්ලෙක් දැකලා ලඟට ගිහින් ඔයාල දෙන්නා දැක්කම මට මගේ ඉස්සර කාලේ මතක් උනාකියලා කියයි. උන් දෙන්නත් මේ මොකද වුනේ කියලා එවෙලාවට ඇඹරුනත්, පස්සේ කාලෙක මම වගේ ගොඩක් දේ තේරුම් ගනියි.
හැමදාම ඉර පායයි, ලෝකේ හරි රවුම් නැතත්, සිද්ධ වෙන හැම දේම හරි රවුම් කියලා එකෙක් දෙන්නෙක් හරි තේරුම් ගනියි.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
.......කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........


Sunday, August 23, 2015

විඳීම-විඳවීම-වයික්කාලේ බෝගන්විලා පඳුර සහ ඉරටු රටා

උළුවලට ප්‍රසිද්ධ එක්තරා ප්‍රදේශයක පිහිටි කුඩා උප දුම්රිය ස්ථානයක් අද්දර පිහිටා තිබෙන පුංචි කුටියක්. පුංචි කුටියක් කියලා මම හිතුවට කෙනෙකු හෝ පුංචි පවුලක් මේ පුංචි කුටිය නිවහනක් කරගෙන තිබෙනවා වෙන්නත් පුළුවන්.

Tuesday, August 18, 2015

මණ්ඩුක න්‍යාය හෙවත් අල්තයීර්ගේ "ද ගෙම්බා" සංකල්පය

අද හෙට ලියන්න උන්න දෙයක් නොවෙන නමුත්, අද මේ සටහන ලියන්න හිතුවා. කිසිසේත්ම ගැටීමකින් ඇලීමකින් හෝ කලකිරීමකින් ලියන දෙයක් නොවුනත්, මේ වචන ටික කොයි යම් මොහොතක හෝ උපේක්ෂාවෙන් ලියලා තියන්නයි කල්පනා කලේ..

Sunday, August 9, 2015

මං-කෙල්ලෙක්-වඩේ සහ මේක් අප්- (ආතල් ඉරිදා ආතල් කතා)

ඔන්න  මිත්රවරුනී මං අද උදේ සකලබුජන් කොට කලිසම ගහගෙන ඉරිදා පොලට ගිහින් වඩයක් හප හප එනවා ඈ, අපේ ගෙවල් පාර දිගේ..


රතු පාට ස්කූටියක මෙන්න ලොකු.... කෙල්ලෙක් ඉඳන් මං දිහා බලනවා.. කොන්ඩේ ඉස්ටෙට් කොරලා මේක් අප් නාලා හප්පේ! මං අහක බලන් ආවා, මොකද බුදු ෂුවර් මං දිහා නෙවේ හරියටම මට පිටිපස්සේ තියෙන දෙයක් දිහා විය යුතුමයි බලන්නේ කියලා පළපුරුද්දෙන් මං දන්න නිසා!
හැබැයි මං හෙමීන් ආයේ බැලුවා ඈ, මෙන්න හිනා වෙනෝ! කවුද බොලේ මේ ඒරියා එකට බැස්ස අලුත් කෑල්ල, හිතද්දීම මෙන්න මේකි හෙල්මට් එක ගලවලා  අහපි "අඳුරන්න බැරිද අනීව්' කියල! මාත් ඇඟට නොදැනී පාර පනින ගමන්ම මීටරේ කැරකෙව්වා!
Related Posts Plugin for WordPress, Blogger...