Showing posts with label මොටෝසයිකල් දිනපොත. Show all posts
Showing posts with label මොටෝසයිකල් දිනපොත. Show all posts

Tuesday, May 7, 2019

මොටෝසයිකල් දිනපොත 04 - චරිත තුනක්

එලිවන ජාමයේ රත්නපුරයේ සිට මීළඟ නැවතුම ලෙස නම් කල පඹහින්න දක්වා මොටෝසයිකල් බඩියන් දෙදෙනාව ලීඩ්කරේ පඹහින්න හන්දියේ ඇති රසම රස රෑ කෑම කඩයක් ගැන උන් දෙදෙනාට දහසක් බලාපොරොත්තු දෙන අතරේ ය. ‘බක්කා’ ගේ අමුත්තෙකු ලෙස සබරගමුවේ ගත කල දිනවලදී පාන්දර එකට, දෙකට, නොඑසේ නම් හතරට වුව ද, හඳෙන් පෘථිවියට බැස සාක්කුවේ දෑත් ඔබා අමු හීතලේ වෙවුල වෙවුලා පඹහින්න හන්දියට ගාටමින් පැමිණ උණු උණුවේ ප්ලේන්ටියක් ගසන්නට ඒ තේ කඩය කදිම වූ බව මට මතක ය. මෙදින ද තවමත් අවදියෙන් යුතුව බක්කා නේවාසිකාරයේ ඉන්නා බව ද සැකහැර දැනගෙන, අප පඹහින්න හන්දියට පැමිණෙන විට අවාසනාවේ මහිමයට ඒ තේ කඩය වසා දමා තිබිණ. වේලාව යාන්තම් පාන්දර තුන පසු වූවා පමණ වුව ද ඒ වන විට මොටෝසයිකල් ගමන්වලටම ආවේනික අති විශේෂ පොඩි බඩගින්න අපට දැනෙමින් පැවතිණ.
බඩේ ගින්න විසඳීම මොහොතකට කල් දමා, මගේ මොටෝසයිකලයට උදාවන දිනය තුල අධික දස වදයක් ලබා දීමට නියමිතව තිබූ නිසා මීළඟට මා හැරවූයේ පඹහින්න හන්දියේම පිහිටා ඇති ඉන්ධනහල වෙත ය. අයිස් තොප්පියක් කණ් දෙක මෙන්ම ඇස් දෙකද වැහෙන සේ පහලට ඇද ප්ලාස්ටික් පුටුවකට බර වී නිදි කිරමින් සිටි මැදිවිය ද ඉක්මවා තිබූ ඉන්ධනහලේ සේවකයාව මම නින්දෙන් අවදි කලෙමි.
“මාමා…! මෝනින්!” මගේ හිස් ආවරනය ගලවන අතරේ කට පුරා හිනා වීගෙන මා කියූ විට හෙතෙම අයිස් තොප්පිය ඉහලට ඇද අත්ලෙන් මුහුණ පිස දමමින් මා දෙස බැලීය. ගමේ මිනිසුන්ට අංකල් කීමට වඩා මාමා කියා ඇමතීම වඩාත් හෘදයාංගම ය. ඇතැම් අවස්ථාවකදී ගමේ බාසාවෙන් අංකල් යනු ‘මහල්ලා’ යන්නට පර්යාය පදයකි. එම නිසා ඕනෑම තැනකදී මාමා කියා ඇමතීම හැම අතින්ම ඇඟට ගුණ ය.
“ලූස් එන්ජින් ඔයිල් තියෙනව ද?” මම ඇසීමි.
“….ම්ම් මොනවට වගේ ද පුතා?” හෙතෙම තවමත් බාගෙට නින්දේ ය.
“පොඩි ප්‍රමාණයක් ගන්නයි ඕනෙ, මේ චේන් එකට දාගන්න” මම කීවෙමි.
ඔහු කාලේ බෝතලයක් ගෙන එන්ජින් ඔයිල් කුඩා ප්‍රමාණයක් මනින්නේ නැතිවම බෝතලයට දමා මට දුන්නේ ය. තෙල් ටික මට ඉහටත් උඩින් ප්‍රමාණවත් ය. මම ඉන්ධනහලේ කෙළවරකට ගොස් බිම වාඩි වී ඔයිල් දමා ඩ්‍රයිව් බෙල්ටය සීරුමාරු කළෙමි. ඩබල් දමා යකාගේ පඩිපෙළ කඳු පන්තිය ඕෆ් රෝඩ් තරණ කිරීමේ වික්‍රමය වෙනුවෙන් මොටෝසයිකල් කෙල්ල සූදානම් බව මට දැන් විශ්වාස ය.
“කීයද මාමා ගාණ?” මම ඇසුවෙමි.
“චැහ්! සල්ලි ඕන් නෑ පුතා..!”
මම ඔහුට ස්තුති කළෙමි.
පඹහින්නේ සිට කළුපහන හන්දිය දක්වා ඇත්තේ සුළු දුරකි. කළුපහන හංදියෙන් ප්‍රධාන මාර්ගයට සමු දුන් පසු එතැන් පටන් ඇත්තේ වාහනයක් කිට්ටු කළ නොහැකි දුර්ග මාර්ගයක් ඔස්සේ ඇති ගමනකි. ගමනේ ඒ අදියර ඇරඹීමට නම් උදෑසන පළමු හිරුකිරණ දකින තුරුවත් අප ඉවසිය යුතු ය. මීළඟ කිලෝමීටර දෙක-තුන ඇතුලත හමු වූ පළමු රෑ කඩය අල්ලා මොටෝසයිකල දෙක නවත්වා දැමුවේ බඩගින්න නිවන්නට වාගේම ඉර උදාවනතුරු කාලය ගෙවා දැමීමට ය.තේ කඩයට එහා පැත්තේ නොනවත්වා වතුර ගලාගෙන එන එස්ලෝන් පයිප්පයකි. එහි අනෙක් කෙළවර කොහේ හෝ දිය උල්පතකට සම්බන්ධ බව අපට පෙනී ගියේ ය. ප්‍රියමනාප, මැදිවිය ඉක්මවූ පුද්ගලයෙකු විසින් තනිවම පවත්වාගෙන ගිය ඒ තේ කඩයේ වැදගත් යමකට ඉතිරිව තිබුණේ බිත්තර කොත්තු, ප්ලේන්ටී සහ සිගරැට් පමණ ය. ෆුල් බිත්තර කොත්තු දෙකක් සූදානම් වන අතරේ අපි ඉඟුරු දැමූ උණු උණු ප්ලේන්ටී තුනක් සප්පායම් වෙමින් ගිනියම් දුම්කොල දුමෙන් පෙනහැළි පුරවන්නට වූයෙමු. ඒ අතරේ අත්පොලසන් නාද සහ තොර තෝංචියක් නැති කෑ කොස්සන් ගැසීම්වලින් පිරීගිය පාසල් සිසුන් ගමන් ගත් ලේලන්ඩ් බස් රථයක් විදුලි වේගයෙන් අප පසු කර ගොස් එක වරම බ්‍රේක් ගැසී ය. එයින් බැස දිවගෙන ආ රියදුරු සහයක තැන අප සිටි කඩයේ මුදලාලිට කතා කලේ ය.
“මුදලාලි..! පණහකට තේ ගන්න පුලුවන් ද?”
“මහත්තයා.. වහන්ඩ යන්නෙ මහත්තයෝ…”
“එහෙමද….?”
“ඔහොමම තව ඉස්සරහට යන්ඩ කිලෝමීටරයක්. තැනක් තියෙනවා..”
රියදුරු සහයක තැන ආපු වේගයෙන්ම නැවත බස් රථයට දිව ගියේ ය. මුදලාලි අප හා සිනාසුනේ ය.
“ඔය කිව්වට තව සෑහෙන දුරක් යනකන් තැනක් නෑ මේ වෙලාවෙ. ඔච්චර ගොඩකට තනියම තේ දෙන්ඩ බෑ මහත්තයෝ..” ඔහු අප දෙස බලමින් කීවේ ය.
“මේකනේ.. කට්ටිය තේ කෝප්ප අරගෙන බස් එකටත් යනවා, ඊට පස්සෙ ඒවා ආයේ එන්නෙ නෑ. පාඩුයිනේ එතකොට…” ඔහු අප හා ඇත්තම කීවේ ය.
මාත් මගේ සගයාත් මුහුණෙන් මුහුණ බලාගතිමු. “මූ නම් එල ඩයල් එකක් බං” යන්න වචනයෙන් නොකියා සිටිය ද ඒ අර්ථය නොඅඩුවම අප දෙදෙනා හුවමාරු කරගත් බැල්මේ ගැබ් වී තිබිණ. මෙතෙක් වේලා මිටි ප්ලාස්ටික් මේසයක් වටා ප්ලාස්ටික් පුටුවලට බර වී සිටි අප, වාඩි වී උන් තැන්වලින් නැගිට කඩය තුලට ගොස් අප වෙනුවෙන් සෑදෙමින් තිබූ කොත්තුව රත්වන තැටිය වටා වට වී මුදලාලි හා කයිවාරුවට වැටුනේ ඉන් පසුව ය.
“පුතාලා කැම්පස් ද?” කතාවේ අතරමැද ඔහු අපෙන් ඇසුවේ ය. මගේ සගයා ඒවන විට ජ’පුර වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකි. මම ඔහුව හඳුන්වා දුන්නෙමි.
“මෙහෙ සබරගමුවේ ළමයි 54 දෙනෙක් පන්ති තහනම් කරලා… ගෑණු ළමයිම 40ක්.. අනේ නිතරම මෙහෙට එන ළමයි” ඔහු ශෝකයෙන් කීවේ ය. සතියේ ප්‍රවෘත්ති ආයාසයකින් තොරව නිවැරදිවම මතක හිටින මට ඔහු කියූ ගණන් හිලව් තිතටම හරි බව එකිනෙහිම වැටහී ගියේ ය. මෑතභාගයේ ඇරඹූ සරසවියක් වුව ද එය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය තුලට කිඳා බැස ඇති අපූරුව පුදුම සහගතය. කෙටියෙන්ම, ආසන්න ගම්පළාත් සියල්ලන්ගේම ආර්ථිකය ඒ හා බැඳී ඇති වග මේ ප්‍රදේශයේ කිහිප දිනක් ගත කළ මට තේරුම් ගොස් තිබූ කාරණයකි.
මුදලාලි අපගේ ගමන ගැන විමසා සිටියේ ය. මෙවැනි ගමනකදී පිළිතුරු දෙන්නට අපහසුම ප්‍රශ්න උදා වන්නේ අතරමගදී හමුවන මිනිසුන් අප ගැන අසන ප්‍රශ්නවලට වඩා ගමන ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ගිය විට ය. අප හා මුවින් සිනාවුව ද, කරුණු වසන් කරමි අප ලබා දෙන අර්ධ සත්‍ය උත්තරවලින් පවා අපට කොයි තරම් පිස්සුදැයි ඔවුන් සිතන බව අප දැන සිටියෙමු. ‘රෑ ගමන් යන්නේ ඇයි, යාලුවෙක්ගෙ ගෙදර හරි හෝටලේක හරි ද ගිහින් ඉන්නේ, බයික්වල යන්නේ ඇයි, අමාරු නැද්ද, වෙන වාහනේක යන්න තිබුණනේ, තනියම යන්නෙ ඇයි තව යාලුවෝ එක්ක යන්න තිබුණනේ, ඒ කොහෙද යන තැන අපි අහලා නෑනේ’ ආදී වශයෙන්වන මේ ප්‍රශ්නවල නිමක් නැත. කොටින්ම යන තැනක් ද, නැවත එන දිනයක් ද තබා ඉන්නේ කොහේදවත් තීරණයක් නැතිව යන මේ ගමන්ගැන වගතුග හා අපේ අරමුණූ ගැන ආගන්තුකයන්ට තබා අපේ ළඟම මිතුරන්ට පවා පැහැදිලි කිරීම කෙතරම් අපහසුදැයි දන්නේ අප දෙතුන් දෙනා ය.
“අපි යන්නේ බඹරකන්ද ඇල්ල බලන්න. බලලා එහෙමම නුවර එලියට යනවා.”
ඒ වෙලාවේ ළඟම ඇති සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානයක නමක් ගලපා අඩක් සත්‍ය පිලිතුරක් ගැට ගසා ගැනීම අපට දැන් හුරු පුරුදු ය.
“මම උපන්දා ඉඳන් අවුරුදු හැටක් වෙනවා මේ ගමේ… මම තවම ගිහින් නෑ බඹරකන්ද ඇල්ල බලන්ඩ” ඔහු කීවේ ය. රටේ උසම දිය ඇල්ලට මිනිත්තු විස්සක දුරින් කුඩා ව්‍යාපාරයක් කරමින් දිවි ගැට ගසා ගන්නා ඔහු අපට ලබා දුන් ඒ පිලිතුරෙන් අප එතරම් පුදුම වූ බවක් මට කිව නොහැකි ය. ළඟ ඇති දේ ගැන අගයක් නැති වීමේ දුර්වලතාව මම ද ඉතා ආයාසයකින් යුතුව දුරු කර ගැනීමට උත්සාහ ගන්නා ගතිගුණයකි.
උණු උණුවේ මේසයට ආ ප්‍රණීත බිත්තර කොත්තු සප්පායම් වී, ඉර උදාවෙන තුරු කල් මැරීමට තිදෙනා කෝපි කෝප්ප හයක් ද තොල ගාමින් හිඳ, යාන්තම් ඉර පායාගෙන එන විටම කළුපහන හන්දියෙන් හැරී බඹරකන්ද ඇල්ල පසු කරමින් අප යක්ෂයාගේ පඩිපෙල තරණය කිරීම ඇරඹුවෙමු.
යක්ෂයාගේ පඩිපෙල ඔස්සේ පැය හතරකට ආසන්න කාලයක් ගත කරමින් ගෙවා දැමූ කිලෝමීටර 24ක ගමන ගැන වෙනමම ලියා තැබිය යුත්තකි. විටෙක දණක් ගැඹුරු දිය පහරවල් ඔස්සේ ද, ගල් කුට්ටි මතින් මොටෝසයිකලය පන්නමින් කඳු වැටියෙන් කඳු වැටියට මාරු වෙමින් ගමන් ගත යුතු එම මාර්ගයට ‘යකාගේ පඩිපෙල’ යන්නට වඩා ගැලපෙන වෙනත් නමක් සිතා ගැනීමට අපහසු ය.
කෙසේ හෝ උදෑසන දහය පමණ වන විට ඔහිය වෙත ළඟා වූයෙමු. යකාගේ පඩිපෙල ගමනෙන් යකෙක් කන්න බඩගිනි වූ අපි ඔහිය දුම්රියපළ අසල වූ රොටී කඩයක් වෙතට පැමිණියෙමු. විඩාවෙන් ද කුසගින්නෙන් ද පීඩිත වූව ද රුධිරයේ ඇඩ්‍රනලින් මට්ටම් ඉහලින්ම පැවති සාර්ථක වික්‍රමාන්විත ගමනකින් පසුව අප තවමත් උද්‍යෝගී ය. නමුත් ඔහිය අවටින් උදෑසන ආහාරය ලබාගෙන කෙටි නින්දක් සැලසුම් කලේ, පෙරදා සවස පටන් මොටෝසයිකල පැද ආ දුරටත් වඩා දුරක් ගමන් ගැනීමට අපට නියමිත නිසා ය.
මගේ ගමන් සගයා අපව රොටි කඩය වෙත ගෙන ගියේ කලින්ම අපට අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසුව ය.
“ඒ කඩේ රොටි බං… පට්ට…! හැබැයි කඩේ එකාගේ ලොකු සීන්” හෙතෙම කීයේ ය.
කඩයේ මේස හා පුටු පෙරදා වැහි කෝඩයෙන් තවමත් තෙත බරිත ය. එක කිසිසේත්ම නොසලකා අතට හසු වූ පුටු ඒ මේ අතින් එක ළඟට ඇදගනිමින් ඒවාට බර වූයෙමු. මගේ මිත්‍රයාගේ රොටී ඇනවුමෙන් පසුව අප තිදෙනාට රොටී හයක් මේසය මතට පැමිණියේ ලුණු මිරිස් ද සමග ය. කඩේ හිමිකරු විශේෂ හිතවත්කමක් හෝ සිනහවක් නොපෙන්වූව ද, මගේ සගයා කියූ තරමේ අප්‍රසන්න හැඟීම් දනවන බවක් ඔහු කෙරේ තිබුණේ නැත. බ්ලෙන්ඩරයේ අඹරා සකසා තිබූ ලුණු මිරිස පංකාදු ය. එය රොටියේ රස පදමට අපූරුවට පෑහුනේ ය. මේසයට පැමිණි රොටී හය විනාඩි දෙකක් තුල වාශ්පවන විට මම වටපිට බැලීමි.
“තව ගෙනෙයි ද මචං” මම සගයාගෙන් ඇසීමි.
“මෙහෙ එහෙම තමයි බං…” ඔහු දිග කතාවකට අර ඇඳී ය.
“දවසක් පාන්දර හතරට පහට විතර අපි පස් දෙනෙක් මේ කඩේට ඇවිල්ල කඩේ රොටි ඔක්කොම කෑවා. මූ අපට බැන්නා කියහංකෝ..”
“බැන්නා?” මම අවිශ්වාසයෙන් යුතුව ඇසීමි.
“බැන්නා බං, ඔයාලා ඔක්කොම කෑවම අනික් මිනිස්සුන්ට අපි මොනවද දෙන්නෙ කියල අපෙන් ඇහුවා”
රොටී ටික කාට විකිණුව ද ලැබෙන ලාබය එකම වග සැබෑ ය. නමුත් මීලඟ පාරිභෝගිකයන්ගේ ද බඩ පුරවන්නට ඕනෑ බව ද ඇත්ත ය. අනෙක් අතට පස් දෙනෙකු කඩේ රොටී සියල්ල ගිල දැමූව ද එකෙකුගේවත් බඩ පිරේ ද මට සැක ය. තවමත් ශෝකේසයේ ඇති රොටී කන්ද දෙස හොරැහින් බලමින් මම ප්ලේන්ටි ඕඩර් කලෙමි. මගේ සගයා සිගරැට්ටු ඉල්ලුවේ ය.
“සිගරැට් නෑ” කඩේ හිමිකරු කීය.
“සිගරැට් නෑ, සිගරැට් ගන්නත් එපා, සිගරැට් බොන්නත් එපා, අරගෙන යන්නත් එපා”
ඔහු කීවේ ය.
එකිනෙකාගේ මුහුණු දෙස බලාගත් අපි, සිනාසීම පසුවට කල් තබා ඔහිය දුම්රියපළෙහි විවේකාගාරය වෙත කකුල් එසවූවෙමු.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-

Tuesday, February 12, 2019

මොටෝසයිකල් දිනපොත 03 - පැච් කතා


වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණ  කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහස ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස්අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත්ත රථයකිනි.. දුම්‍රියේ නැගී නුවර එළිය වෙත යන ගමනමෝටර් රියක නුවර එළිය වෙත යන ගමනට වඩා හාත්පසින්වෙනස් වනවා තරමට යතුරු පැදියේ නුවර එළි ගමන  වෙනම තලයක ඇති අත්දැකීමකිකෙටියෙන්ම කිවහොත් හිරු නැගඑන හෝරාවේ යතුරු පැදියකින් රටේ මධ්‍යම කඳුකරයේ කඳු අතර හුදෙකලා විම යනු ඔබව වෙනම ලෝකයට ගෙන යන්නකි
දිගටම පණගැන්වූ එන්ජිමෙන් උණුසුම් වෙමින්

රාත්‍රී අටට කිරිබත්ගොඩින් පිටත් වූ ගමනට තරමක බාධාවක් එල්ල වන්නේ හරියටම අලුයම දෙකට පුස්සැල්ලාවේදී පසුපසරෝදයේ හුළං යෑමෙනිමහනුවර - නුවර එළිය ප්‍රධාන මාර්ගයේ තේ වත්තක් මැද මොටෝසයිකලය නවතා එන්ජිම නිවා දැමූපසු හාත්පසම පැතිර ගියේ අසල සිටින්නාව  නොපෙනෙන කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයකිකිලෝ ගණනක් බර කැමරාඇඳුම් සහ අත්‍යවශ්‍ය ආම්පන්න මොටොසයිකලයට පටවා තිබියදීම එය නැවතත් කඳු බෑවුම ඔස්සේ ආපහු පහළට තල්ලුකරගෙන  පසු ටයර් කඩයක් සොයා ගැනීමට අපට හැකි වියමොටෝසයිකල ගමන්වලට “මැජික් නම්බරය අංක දෙක” යැයිමා කියන්නේ මේ හේතුව නිසා එක්කෝ යතුරු පැදි දෙකක් ගමනට එකතු විය යුතු නැතිනම් එකම යතුරු පැදියේදෙදෙනෙකු ගමන් කල යුතු බොහෝවිට සුමට නොවන මොටෝසයිකල ගමන්වල මුහුණ දීමට සිදුවන අවදානම්වලටසූදානම් විය යුත්තේ එසේ නමුත් යතුරු පැදි දෙකකට වඩා සහභාගීවන ගමන් බිමන් සඳහා මගේ උනන්දුවක් නැත්තේ අවශ්‍යතැනක කැමති නම් පැය ගණනක් හෝ ගමන නවතා අවට පරිසරය නිස්කලංකව ගවේෂණය කිරීමේ නිදහස මා සතු කරගැනීමට පසුව අකුරු අමුණා ලියවුණ  මේ සටහන්වලට වචන අනුපිළිවෙල ගලා එන්නේ බොහෝ විට එසේ ගතවනවිරාමයන්වලදී 

යාන්තමින් නුවර එලියට
කෙසේ හෝ පසුදා උදෑසන වනතුරු යතුරු පැදිය මුරකිරීමේ රාජකාරියේ උන් සගයාට වැඩේ තනිවම බාර කරමින් මට නින්ද ගොස් තිබුනේ, නිදිමත පහවෙන්නට යැයි කියා කඩා විවර කල දෙවනි රෙඩ්බුල් කෑනයෙන් පලමු උගුර පානය කල මොහොතේම වාගේ ය. පසුදා පහන්වන තුරුම ඉඳ හිට අතපය උණුසුම් කරගත්තේ විටින් විට ස්ටාට් කර ධාවන තත්ත්වයේ තබා ගත් මොටෝසයිකලයේ එන්ජිමේ ආනුභාවයෙනි. ධාවනය වන මොටෝසයිකල් එන්ජිමක් යනු සීතලට හොඳ ගිනිමැලයක් සේම වැස්සෙන් තෙත බරිත වූ පසු ඇඳුම්, මේස් සහ සපත්තු වියලාගත හැකි හොඳ මෙවලමක් බව අත්දැකීමෙන්ම කිව හැකි ය. රෑ එලිවෙනතුරු ධාරානිපාත වැස්සක තෙමෙමින් කොළඹ සිට බලංගොඩ හරහා බණ්ඩාරවෙල සහ බදුල්ල බලා ගිය ගමනක දී ද උණුසුම් එන්ජිම හොඳ ප්‍රතිකර්මයක් වූ බව මතක ය. කෙසේ හෝ පුස්සැල්ලාවේ පැච් කතාව කෙලවර වන්නේ උදේ අටවනතුරුම ගමනට පැය හයක ප්‍රමාදයක් එකතු කරමිනි.
මැද සිටින්නේ නුවර එලියේදී එකතු වූ "සමකය වටේ" යන නලීන් අයියා ය


කිලෝමීටර් හයසියයක මොටෝසයිකල් ගමනකදී දෙවරක් පැච් යෑමේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන් මාස දෙකකට පමණ පසුව ය. රෑ එලිවෙනතුරු "හොල්මන් වැස්සකට" ද මුහුණ දෙන්නට සිදු වූ මේ ගමනේ පළමු පැච් එක යන්නේ බණ්ඩාරවෙල නගරය පසුකර සුලු දුරකින් පසුව ය. අතරමගදී මීරිගම, ඇහැලියගොඩ සහ බළංගොඩ නගරවලදී රොටී, ආප්ප සහ ප්ලේන්ටී ආදිය සප්පායම් වී සිටිය ද බණ්ඩාරවෙලදී බරසාර උදේ ආහාර වේලක් ලබා ගැනීමේ උවමනාව තදබල ලෙස තිබූ බව මතක ය. ආහාරවේල බරසාර කරගැනීමට තරම් මට්ටකම කඩයක් නුදුටු තැන නගරය ද පසුකර කිනිගම හන්දියට එද්දී අපට හමු වූයේ සිරා බුෆේවකි. බත් ද, පරිප්පු හා සම්බෝල, කුකුළු මස් ආදිය යහමින් බෙදාගෙන භුක්තිවිඳ, වටලප්පම් ද යහමින් බඩට යවා කඩේ තරුණයා හා අල්ලාප සල්ලාපයට වැටුනේ මදක් හුස්ම ගැනීමට තරම්වත් බඩ බහින තුරු ය. 


සාමාන්‍යයෙන් මොටෝසයිකල් සංචාරවලදී ආගන්තුකයන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙනවිට ඔවුන් අප ගැන අසන පැණවලට දිය හැකි සරල පිලිතුරු කිහිපයක් අපි මුල සිටම පුරුදු වී ඇත්තෙමු. බොහෝවිට එම උත්තර අර්ධ-සත්‍ය ය. අසන ප්‍රශ්නවලට ඇත්තම නොකියා සියල්ල ලඝුකොට කීමේ ප්‍රධානම හේතුව අපව 'මැජික් එකක්' ලෙස පෙනීම වලක්වා ගැනීම ය.  ඒ පැණවලට ඒ සරළ පිලිතුරු කිහිපය ලබා දුන් පසුව එලබෙන්නේ අප ඔවුන්ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ වාරය ය. කිනිගම පාර ඔස්සේ ඇල්ල නගරයට ලඟා විය හැකි වඩා දර්ශනීය මාර්ගයක් ඇතිවග අප දැනගන්නේ කඩේ තරුණයා හා යෙදුන ඒ අල්ලාප සල්ලාපයේදී ය. ඉතින් සුපුරුදු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය මගහැර, නැවත සෑහෙන දුරකට නගරයක් හසු නොවන හුදෙකලා මාර්ගයට අප යොමුවන්නේ ඒ අනුව ය. අවාසනාවක මහත ට ඒ ගමනේ පලමු පැච් එක යන්නේ ඒ මාර්ගයේ දරුණු කඳු, පල්ලම් සහ වංගු පසුකරමින් කිලෝමීටර තුනක් පමන පැද යෑමෙන් අනතුරුව ය! විනාඩි හතලිහක පමණ දහදිය මුගුරු හෙලීමකින් අනතුරුව නැවත මාර්ගය වෙනස් කිරීමට තීරණය කල ස්ථානය වෙතටම මොටෝසයිකලය තල්ලු කිරීමට සිදුවන්නේ ඒ අනුව ය! නැවතත් මදක් විපරම් කිරීමෙන් අනතුරුව සොයාගත් ටයර් වෙළඳසැලකින් අවශ්‍ය අලුත්වැඩියාව කරගන්නා අතරතුර මා යාබද නිවසකට ගොඩ වැදුනේ ශරීර කෘත්‍යය වෙනුවෙනි. මගේ සගයාට එවන් අවශ්‍යතාවක් ඒ වනවිට නොවූයේ ඌ උදේ පාන්දරම හපුතලේ දුම්රියපොලේ 'නිරීක්ෂණ චාරිකාවක්' අතරතුර බර සැහැල්ලුකරගෙන සිටි නිසා ය. කෙසේ හෝ අලුත්වැඩියාවෙන් පසුව වෙහෙසටත් හිතේ අමාරුවටත් තීරණ ගැනීමේ අයිතිය පවරා, අපි සුපුරුදු බදුල්ල පාර ඔස්සේම ඇල්ල බලා හැල්මේ ඇදුනෙමු.
රැය පහන්වනතුරු කල ධාවනයකින් පසුව
උදෑසන හමුවන හුදෙකලා කැලෑබද මාර්ගයක් යනු
කෙටි නින්දකට තෝතැන්නකි


සාර්ථක සංචාරයකින් පසු ආපසු එන ගමනේ දෙවන පැච් එක ද යන්නේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ය. වාසනාවට කිලෝමීටර දෙකක් ඇතුලත ටයර් වෙලඳසැලක් තිබූ හෙයින් පැය බාගයක් තුල ටියුබයම මාරුකොට අලුත්වැඩියා කරගැනීමට හැකිවීම අපේ වාසනාව ය.

පැච්කතා හමාර කිරීමට මත්තෙන් ලිවිය යුතු honorary mentions ද ඇත! ටයර් ටියුබය හිල් වී හුලං බිඳුවක් නැති බව දැන දැනම "වෙන දෙයක් වෙත්දෙන්" කියා පැදගිය උපරිම දුර කිලෝමීටර් හතලිස් පහකි. වේගය අවම වශයෙන් පැයට කි.මි. 40ට වඩා පවත්වා ගන්නට ද සිදු වූයේ වේගය අඩුකල සැනින් දැනෙන්නට ගන්නා අධික පුනරාවර්තී ගැස්ම නිසා ය. එම රාත්‍රියේ මට තිබුණේ විකල්ප දෙකකි. එකක් උදෑසනවනතුරු මොටෝසයිකලය ද සමග පැය දොලහක් පමන පාර අයිනේ ගත කර, උදෑසන කෙසේ හෝ නගරයක් සොයා ගැනීම ය. දෙවැන්න, සිදුවන අලාභහානියක් පසුව විඳ දරාගෙන මොටෝසයිකලය පැද ගොස් ගෙදරට වී නිදා ගැනීම ය. ඉතින් මා තෝරාගත්තේ දෙවැන්න ය! රිම් එකට හෝ ටයරයට කිසිදු හානියක් වී නොතිබූ අතර, ටියුබය මාරු කිරීමට සිදු වූ නමුත්, පසුදා උදෑසන මගක් තල්ලුකරගෙන එන විට පෙරදා රාත්‍රියේ එතරම් දුරක් පැද ආ හැටි සිටිපත් වී 'ඔන්න ඔහේ' නිවස සමීපයේ ටයර් කඩය දක්වා ඉතිරි දුර පැද යාමට සිත් වී මගදී පොලිසියෙන් දඩයක් කෑමට නම් සිදු විය. ඊට හේතුව තල්ලුකරගෙන යාමේ අටියෙන් එලියට බැස්සේ හෙල්මට් නොමැතිව බව මෙහි ලියා තබන්නට නුඋවමනා තරම් ය!

Thursday, June 21, 2018

කෙටිම කෙටි-ප්ලේන්ටි සහ අමරිකානෝ



බැරිස්ටා හරි කොහෝ හරි ගිහින් කපචිනෝ එකක් අමරිකානෝ එකක් ගහන එක ආතල් එකක් නෑ කියල මොකෙක් හරි කියනවා නම් ඒක මහා කුප්ප මෝඩ කතාවක්. ගම්ගොඩක ලෑලි බංකුවක ඉඳන් ප්ලේන්ටියක් ගහන එක ඊට වඩා ආතල් කියලා කියනවා නම් ඒකත් ඉතින් ඊට නොදෙවෙනි ගොන් කතාවක්. (එහෙම කියනවා නම් ඒක ඉතින් ඔය බුකි පේජ් කාරයෙක් ලයික් ටිකක් ලයින් කරගන්න කියන කතාවක් තමයි)

හොඳ දේශීය මල් වට්ටියකට අත ගහලා චන්ද්‍රගත වෙලා, පාවෙලා වගේ හොඳ කොෆි ෂොප් එකකට ගිහින් අර සීනි පැකට් ඔක්කොම කලවම් කරලා අමරිකානෝ එකක් ගගහා, පැය දොළහක් විතර ගත වෙන්න ඇති කියලා හිතෙන පැය දෙකක් ගත කරන එක වෙනම ආතල් එකක්. (මම මේ නීති විරෝධී දේවල් ප්‍රමෝට් කරනවා නෙවේ) වගේම, හොඳ කට්ටක් කාලා, බංකුවට බර වුන ගමන් ඇඟේ පතේ අමාරු ඔක්කොම නිදහස් වෙලා යන උගුරේ පතුලෙන්ම එන ආආහ්හ්ර්ර්හ්හ් සද්දයක් එක්ක, "ප්ලේන්ටියක් දාන්ඩ මාමා" කියලා ප්ලේන්ටියක් ඕඩර් කරලා, හොඳට පැද්දී පැද්දී ප්ලේන්ටිය ගහන එක වෙනම ආතල් එකක්.. සසදන්න බැරි, අසමසම, එකකට වඩා අනික හොඳයි කියන්න බැරි එකිනෙකට වෙනස් සුපිරිම අත්දැකීම් දෙකක් තමයි .

දෙමෝදර ආරුක්කු නවයේ පාලමට කිලෝමීටරයක් මෙහා කාර් පාක් එක තියෙන්නේ ඇයි කියන කාරනාව මොලේට ප්‍රොසෙස් වෙන්න චුට්ටක් පරක්කු වුන නිසා, බ්‍රේක් උණු වෙලා වැක්කෙරෙන්න ඉඩ තිබ්බ අංශක හැත්තෑවක අසූවක කන්දේ වංගු කීපයක්ම බයික් එක ඇදලා, ප්‍රපාතේ දැක්කම පණ එපා වෙලා බයික් එක ලගේජ් එකත් එක්කම කැලයක් අස්සේ ගහලා,පාලම බලලා ඇවිල්ලා බයික් එකත් කන්ද පහලට බාගෙන, හොඳ පණ ගිහින් උන්න වෙලාවක මගේ ගමන් සගයා ගහපු ප්ලේන්ටිය තමයි මේ.

ඒක අර මුලින් කිව්ව ආතල් දෙකටම වඩා වෙනස්,වෙනමම ආතල් එකක්!


Related Posts Plugin for WordPress, Blogger...