Monday, September 9, 2013

අහිමි නොවූ ඔහු-සොඳුරු මං පෙතේ ධාරාට පිළිතුරක්

සොඳුරු මං පෙතේ පියනගන්නී ධාරා පහුගිය දවසක අපූරු කවි පන්තියක් ලියා තිබුනා.ගමේ සුවඳ ගමේ මතකයන් විහිදෙන අපූරු කවිපන්තියට ධාරා අරමුණු කරගෙන තිබුනේ ගැමි තරුණියකගේ සිතිවිලි දහරාවයි. බාල කාලයේ පටන් කෙලිදලෙන් ගත කල මිතුරු පෙමක්,සොවුරු පෙමක් ඔවුන්ටත් නොදැනීම ඉන් ඔබ්බට ගිය අප්‍රකාශිත පෙමක් බවට පත් වී ,අවසානයේ තරුණයා සරසවිය වෙනුවෙන් ඉවත ගිය පසු තරුණිය තුලින් ප්‍රකාශ වෙන අයුරු ගැමි ලියගේ සිතුවිලි දහරාවටම ඔබින ශෛලියකින් ඇය ගලපා තිබුනා. ඒ කවි පෙළ මෙතනින් ගිහින් රසවිඳින්න පුළුවනි.

        සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්? "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි.

        පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.



                                    
දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය අරා
සුපස න් හදින් නැගෙනා මතකයන්දරා
කෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙසරා
සැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම කරා
  
තුඩ තුඩ ගැයෙන ගී අම රසදැනේ වී
නිල් නුබ දිලෙන සොමි පව්වෙන්එබේ වී
හද හද දිලෙන පැතුමන් හෙට යාවෙ වී
හසුනක් ලැබෙන තුරු ඔබ මගබලා වී
  
කඳු හෙල් රළු හසර ඔබ හා පසුවූවා
හන්තානටත් නුඹේ අත ගෙන ලං වූවා
දොළ අයිනේ නුඹ හා සිත යා වූවා
අක්බර් පොකුණ ළඟ අද මම තනි වූවා
  
වෙහෙස නිවා ගන්නට අප රැඳුන එදා
සිහිලැල් නදී දිය ඇලි මතකයේ සදා
මහවැලි ඉවුර ළඟ මා තනි විටදී මෙදා
ගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරුබිඳා
  
බිඳෙ යි මහද රජ කල සිතුවිලි රෑ න
නැගෙ යි අපේ බාලේ මතකේ ගේ න
රිදෙ යි කීරි ගැහෙනා හදවතගැහෙ න
බඳි යි හද වැටක් නුඹ පමණක් ඉන් න
  
රොද හැරගියත් බිඟු මල් පැණි සොයාගෙනේ
සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී දයාවෙනේ
මල් මී ගොමුව වෙත ආවත්විගසකිනේ
එයි සිය රොදට නොඇලෙයි මල්මීගොන්නේ
  
රම්නද සිවිලිමේ මං නෙත යවන වෙලේ
අත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිතඑකලේ
ගෙන එයි දසකයක් එපිටින් සොඳුරු කලේ
නුඹ හද පිදුවේ මට බව දැනුනයි ආලේ
  
සරසවි දිවිය වෙහෙසයි හද විඩාගෙනේ
මල් මාවතක් ඇතිමුත් තනිකමක් දැනේ
හසුනක් එවන පමා මවෙත නැතිවමෙනේ
පවස නිවන වදන් ලියන හැටි නොදැනේ
  
පමා බවට මගෙ හසුනට රහස එයයි
දමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයි
සමා අයැද මං නුඹේ බව කියන බවයි
මෙමා ලියන පළමු හසුන ලැබුනවගයි
  

                                                                                         ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴


කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.

Wednesday, September 4, 2013

ලින්කන් හා කෙනඩි ඝාතනවල අබිරහස් සමානතා-කෙටි සටහනක්,අනිවාර්ය කියැවුමක්!

මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතුරන් අතර ප්‍රසිද්ධ කරුණකි.මගේම සොයුරෙකු බඳු සුලක්ෂණ,මගේ ඇස දැන්වීම් පුවරුවක් දෙස හැරී ඇති බව දුටු සැනින් "දැන් ඉතින් ඉවරයි" කියන්නේ මා එහි රැඳුනහොත් කෙලෙසින්වත් නැවත කැඳවාගෙන යා නොහැකි බව දන්නා හෙයිනි.විවේක කාලය හා ඇතැම්විට මීළඟ කාලචේදය පසුවන තුරු යලිත් පන්ති කාමරය වෙත යාම අමතක කරවන රසයක් මේවාගේ තිබිණ. එකල මගේ ප්‍රියතම (පසුකාලීන පරිපාලනයන්ගේ මහිමයෙන් නන්නත්තාර වී ගිය) බිත්ති පුවත්පත වූයේ හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව යි.එකල එහි පල වූ අදහස් කෙතරම් තියුණු හා මතභේදාත්මක මුහුණුවරක් ගත්තේද යත්,කී වරක් මේ පුවත්පතට ප්‍රහාර එල්ල කොට විනාශ කෙරුනේදැයි මටද නිනව් නැත.

මෙකී පුවත සොයා වාර්තා කර තිබුනේ එක්තරා 10 වසර පන්තියක්(මා ඊටත් කුඩා කලදී) විසින් පවත්වාගෙන ගිය බිත්ති පුවත්පතකය. එය පිහිටා තිබුනේ දැනට ඉවත්කර දැමීමට යෝජිත මුවර් ගොඩනැගිල්ලේ කුලරත්න අන්තය දෙසිනි. නැවතත් අන්තර්ජාලය පීරා එකී කරුණු කාරනා මෙපරිද්දෙන් සොයා බ්ලොග් සටහනට ඇතුලත් කිරීමට කල්පනා කලේ එහි ඇති ගුප්ත රසය ඔබ සමගින්ද බෙදාගන්නා අරමුණෙනි.

ජෝන් ඇෆ්.කෙනඩි හා ඒබ්‍රහම් ලින්කන් යනු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බව අමුතුවෙන් නොකිව මනා ය.එයින් ඒබ්‍රහම් ලින්කන් යනු ජාතිකත්වය පසෙකලා මුහු මහත් ලෝකයම විසින් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රේෂ්ට මිනිස් චරිතයකි.නමුත් අවාසනාවකට මෙම ජිවිත දෙකම කෙලවර වූයේ අමු ලේ වැගිරවීමකිනි. මෙම ජීවිත කතා දෙකෙහි ඉතාමත් සිත්ගන්නාසුළු 100 ඉලක්කම වටා ගෙතුණු සමානතාවක් ඇත.



ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950

ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි 
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.


ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson

ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

ලින්කන් ඝාතකයා උපන්නේ :  1839
කෙනඩි ඝාතකයා උපන්නේ :   1939


ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී


Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7


  • දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.

  • දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

  • දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

  • ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

  • ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.



කෙසේ වුවද ලින්කන්ට කෙනඩි නම් ලේකම්වරයෙකු නොසිටි බවත්,එම කරුණ කටකතාවක් බවත් මම තැනක දිටිමි.එනමුත් කෙනඩි ජනපතිවරයාට ලින්කන් නමින් ලේකම්වරයෙකු සිට ඇත.

Sunday, September 1, 2013

පරංගියා අපෙන් කෑවෝ! තුන් විජාතික ඉල්ලං කෑම! (නොමිලේ)

      ද ඉරිදා.ගොඩක් දෙනා ගෙදර ඉන්න දවස.ඇත්තටම මේ ඉරිදා කියන දවසට නිවාඩුවක් හඳුන්වා දුන්නේ කවු ද? ඒ ගැනත් සඳහනක් අද පොස්ටුවෙන් කෙරේවි.පෝස්ටු කීපයක් ලියවෙමින් පැවතුනත් එක ගැම්මට කරලා ඉවර කරන්න වාරයක් ලැබුනේ නෑ.සමහර ඒවා හිර වෙලා,සමහර ඒවා අතගහන්න හිතෙන්නේ නෑ.මේක ටිකක් වෙනස් විදියේ කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත ඉතිහාස කතාවක්.


       1505 කියලා කියන්නේ ලංකාවේ අපේ සමාජ රටා උඩු යටිකුරු වෙන්න මුල පිරූ අවුරුද්දක්.කුනාටුවකට ගහගෙන අවුදින්  ලක් පොලවට පය ගැහුව අල්මේදා උන්නැහේ ලංකාවේ අපේ ජන ජීවිතයට ගෙනාවේ නම් හැබෑම කුණාටුවක්.හැබැයි එදා ඒ පය ගහපු භූමියම පරංගියා මුළු ආසියාකරයෙන්ම ලබන ලොකුම යුධ පරාජයට හේතුවෙන භූමිය කියලා හීනෙකින්වත් නොහිතන්න ඇතී.

         
1875-මරාදාපු තැන හෙවත් මරදාන
පරංගි හටන සමගින් නිතැතින්ම බැඳුනු වදනක්  පරණවාඩිය කඳවුර. කොළඹ කොටුවට කොටුවී අන්තිම අසරණ අඩියට වැටුණු පරංගි හමුදා බළල් මසෙන් ජිවිතේ රැකගද්දී සිංහල හමුදා රැඳී සිටි ආසන්නතම සහ ප්‍රධානම කඳවුරයි මේ පරණවාඩිය. පරණ වාඩිය කඳවුරේ සිට සැලසුම් කල කිසිම මෙහෙයුමක් අසාර්ථක වී කෙළවරව නොමැති බව ජනප්‍රවාදයේ එනවා.වීදිය බණ්ඩාර තමන්ගේ මූලස්ථානයක් කරගත් තැනක් ලෙසත් පරණවාඩිය සඳහන්.මේ අඩවියේ හිමිකාර වංශවතුන් වුනේ වාසල මුදලි රාජපක්ෂ පරම්පරාවයි. අදටත්,පරණවාඩිය ගම්මානය  එනමින් නැතත් ලංකාවේම ප්‍රසිද්ධ ප්‍රදේශයක් ලෙස කොයි කව්රුත් දන්නවා.(අන්තිමට කියන්නම්!) හරි, අප්‍රසිද්ධ ඉතිහාස කතාවෙන් අපි දැන් යමු ප්‍රසිද්ද ඉතිහාස කතාවට,හැබැයි අද කතාව කවියෙන්.අපහාසය උපහාසය වගේම වදින තැන්වලට රිදෙන්නත් මේ කවි පෙළ ලියැවී තිබෙනවා.පරංගි යුධ කාලයේ පටන් අවසානයේ මේ පරණවාඩියට අත්වූ ඉරණම ඉන් කියවේවි.

             මේ කවි පෙළ ලියවෙන්නේ මගේ මිතුරු මංගල සේනාධිපති අතින්,ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.ඉදින් මේ කවිපෙලේ පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවිය යුතුම යි.මේ අපේ කවි ගී සඳැල්ලේ ආරම්භකයා වගේම අපේ ලොකු උන්නැහේගේ කවි පෙළක්.


                 අහ්හ්! තව දෙයක්! කොන්ස්තන්තිනෝපලය බිඳ වැටිලා,ඉස්තාන්බුල් කියලා හලාල් උනාට පස්සේ පරංගින්ට වගේම කොයි යුරෝපියාටත් පෙරදිගට ගොඩබිම් මාර්ගය වගේම තමන්ගේ වෙළඳාම් අහිමි උනා.මේ මං තුමා හෙවත් අල්තයීර් උන්නැහේ( ඔරිජිනල් එකා)ලගේ වැඩ හින්ද තමා යුරෝපියන්ට ගොඩබිම් මාර්ගය අහිමි උනේ. ඒ ගෞරවය ගෞරවපූර්ව මහත්වූ මෙව්වා එක පෙරදැරිව (අල්තයීර් වෙනුවෙන්) මේ මං තුමාට පුද කරන්න ඈ.. :D


සුද්ද   නගරෙ අරාබියාගෙන්   ගන් න
යුද්ද   කළා පාප්ගේ හමුදා   ගොන් න
සිද්ද  වුනේ සතුරා හට        පරදින් න
සද්ද  වහන් ඉන්නව මේ අය   ඔන් න

මසට  දාන්නට දැන් දුරු මිරිස්        නැ තී
රසට   නොවේ කල් තියාන කන්න නැ තී
කන්ට  නැතිව දරුවෝ හාමතේ     වෙ තී
කුසට   පහල වූ නුවණක් එයින්       එ තී

මහා  රටක් ඉන්දියාව නමින් ඇතේ
එහා  ඉමේ අරාබියට සතුරු  වෙතේ
මහා  රජෙක් ජෝන් කියා රජ කරතේ
වහා  ගියොත් යුද්දෙට ඔහු සහය දෙතේ

පාප්ගේ  සවනෙ වත්කළ ඒ මී බින්දු
සේප්පු  බින්දා පල්ලියෙ බිම    රැන්දු
තාප්ප වට්ටා සතුරට ජය       කැන්දු
පාප් සිතන්නේ ගැයුමට ගී        සින්දු

රවටා   ගෙන  පල්ලියෙ රත්තරන් අරන්        ගොස්තරේ
වෙරදා ගෙන  ගොඩ නගන්නේ නැව් හදනා    සාස්තරේ
බිඳදා  ගෙන  හැම බාදක සොයා ගන්නෙ          සූත්තරේ
පදවා  ගෙන  ගොස් සොයන්නෙ ඉන්දියාව හීන්    සැරේ


වැරදී ලා   ඇමෙරිකාව ඉන්දියාව යැයි       සිතාලා
නම දීලා   මිනිස්සුන්ට රතු ඉන්දියානුවො කියාලා
පැටලීලා   සිදු වූවත් එවන් වැරදි ඉඳ           හිටලා
පාවී  ලා   අහම්බයෙන් ඉන්දියාව හමු           වීලා


එම    නැවේ නැව් පති     තුමා
නම   වස්කෝ ද            ගාමා
සැම   සතුටු සිත         කෝමා
තම   හඬින්             දක්වම්මා

"ක්‍රිස්තු අදහන ජෝන් රජුගේ පිරිස යි
කුරුඳු විකුණන ගොවියන් දැක්ම   සතුටු යි
සයුර බිඳගෙන සැපත් වූයේ          එනිස යි
වස්තු අරගෙන යන්න නම් තව කල්   ය යි"

මහා මුහුද පරන්ගියගේ සපත්තුවට            පෑගෙන   වා
ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවට අහු       වෙන වා
කණ කොක් නද හෙළ ගුවනේ ඒ මේ ඇත රැව් දෙන වා
පෝදා සඳ රාහු ගිලී පරංගියා මෙහි                   එන වා

එක් අතකින් බයිබලයි බයිනෙත්තුව අනිත්      අතේ
වයින් ගඳින් ගෙරි මස් ගඳ නෑ යන්නේ හපුටු     ගතේ
අසරණ බිලිඳුන් අමුණයි බයිනෙත්තුවේ තුඩග පුතේ
විහාරයන් වනසාලා පල්ලි හදයි හතර             අතේ


දියුණු යැයි සම්මතව        ඉන්නා
මහත්මා යයි කියා           ගන්නා
මිත්‍යාව ඇයි ඇත්තෙ    පෙන්නා
සිංහලේ හයි එසේ         කන්නා

සිහි කල යුත්තකි මෙහි ලා වන්නේ
නැවකට පරංගි පනහකි    එන්නේ
නිසි අණ දීමයි විනයයි       දන්නේ
කපටි උපායෙනි රටක්   නසන්නේ

පරන්ගියාගේ සිවල්          උපා
මිහිබට හෙළයට නිරය     දපා
නොපනත් කම් ඇත සිනා පපා
අසිපත ගත යුතු වාද         එපා

සීහල විරුවන් එසේ      සිතා
මරුවාටත් මරු වෙමුයි   පතා
කඩු ගාමුයි ඒ නපුරු      සතා
සතුරට හටනට කළා   කතා

රණ දවුලේ හඬ            නංවාලා
කඳවුරු බැඳුමට තැන් සොයලා
ජය බිම සේසත්           ඔසවාලා
විජය කොඩිය ඇත     ලෙලදීලා

සිංහලයන් පන්නමුයි    කියා
පරංගියා එහි පිනූ         නියා
සතුරාගේ හිස අහස   සොයා
හෙළ අසිපත වැද කැපී ගියා

පරංගි හිස් වැහි බිඳු       වැන්නේ
හෙළ අසිපත විදිලිය    දෙන්නේ
දෙගොඩ තලා ලා     ගලමින්නේ
සුදු වැදි ලේ ගඟ     වෑහෙන්නේ

මරා දාපු තැන අද            මරදාන  යි
සීහල කඳවුර හෙටත් ජය      බිම  යි
විරුවන් බිහිවෙන සාර පින් කෙත යි
ආනන්දේ කවදත්           ආනන්ද යි

=======================================================

සිඟාල සිවල් කැනහිල් වැනි නම්  බෝමා
නරියට යෙදෙයි උන් හැම නරියන් සේමා
හම සුදු වුවත් හදවත කළුවන්       බෝමා
තුන් ජාතියක් ඒරොප්පෙන් මෙහි    ඒමා

පරංගි ලංසි ඉංග්‍රීසින් නම්              වන්නේ
කල්කිරියාවෙන් එක ලෙස  හැසිරෙන්නේ
ඉන්ගිරිසියා අවසානේ           ජයගන්නේ
රට වනසාලා සාරය එහි ගෙන    යන්නේ


පුරවා ගන්නට විගහට සුද්දගේ          මල්ල
පැල කෙරුවා මෙහි ගෙනවිත් තේ     දල්ල
දල්ල නෙලන්නට ආ ලෙච්චමී        කෙල්ල
කොටි පැටියෙක් වැදුවා දෙයියන්     පල්ල

සුළු වරිගේ තෝරා බේරා             ගන්නේ
මිෂනාරීන් උන් හට ඉගෙනුම     දෙන්නේ
මහ ජාතිය සුලුවරිගෙන් බැට        කන්නේ
හැමදා යුද ගැටුම් රට තුල ඇති   වෙන්නේ


එයයි සුද්ද රට රට වල කල       හදිය
ලංකාවටත් දුන්නා රස කර        සුදිය
සීහල පැටව් හට නෑ         අධ්‍යාපනය
කොටිපැටියාට ඇත ඉගෙනුම් අවසරය

මුදල් හදල් ඇති බොදු මව්පියො    දෙන්නා
සුද්දගෙ පාසලට පැටියව          දක්කන්නා
මිෂනාරියා වැඩ කිඩ හොඳ හැටි  පෙන්නා
කළු සුද්දෙක්ව හදලා එලියට          දුන්නා

ඉංගිරීසියෙන් කතා කරනවා කලිසම් අඳිනා           මහත්තුරු
කලිසම උඩහින් සරමක් ඇන්දා ඉංගිරිසිය බැරි      මහත්තුරු
ගිණි මද්දහනේ ටයි පටි බැඳගෙන දාඩිය දාගෙන   මහත්තුරු
සුද්දගෙ පදයට අඩිය තියනවා මේ හැම කළු සුදු    මහත්තුරු
රු 2000 සමරු කාසිය


මේ විපතින් ජාතිය ගලවා   ගන්න
ඕනේ අපේ පාසල් මෙහි අරඹන්න
හෙළ බොදු වියත් වැට එය සිතුවා ඔන්න
සීහල ගමෙත් හැදුනා පාසල මෙන්න

ගුණානන්ද හිමි තැනු පාසල්      පොකුරේ
මුල් පාසල ගුණානන්ද විය          මිතුරේ
වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ
හිමි ඉල්ලීම මත වෙනසකි ඒ       අතරේ
ආනන්දය යන නම එලෙසින්     පැතිරේ

  එදා පරන්ගියාව හිස් ලූ ලූ අත එලවූ අවි ආයුධ සන්නද්ධ යුද්ධය,පසු කාලීන ඉංගිරිසි ආණ්ඩු ක්‍රමයේදී වෙනස් මුහුණුවරකට හැරෙන්නට පටන් ගත්තා.අධ්‍යාපන අයිතිය හිමි කර ගනිමින්,හෙළ බිම වෙනුවෙන් වියතුන් බිහි කර ගැනීමේ අසීරු ,දිගු කාලීන මෙහෙවර වෙනුවෙන් පැරණි පරණවාඩිය කඳවුරු බිම වෙන් වුනා. දහනම වන සියවස අගභාගයේදී එම රණ භූමියේ හිමිකරුවා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන් එකී ජය බිම ආනන්දය ගොඩ නැගීම වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්නේ අන්න ඒ නිසාමයි. එදා පරණවාඩිය කඳවුර, යුධ මූලස්ථානය,පසුව පරණවාඩිය ගම්මානය ආනන්දය නම් වූ තක්සලා බිමක් බවට පත් වෙන්නේ ඒ විදියටයි.පරංගියා මරා දැමු මරදානක් අද තිබුනත්,පරණවාඩිය නම ඉතුරු නොවුනේ එලෙසින්.නමුත් අදටත්,පරණවාඩිය සෙන්ට්‍රල් එක විදියට ආනන්දේ කොල්ලෝ තමන්ගේ ඉස්කෝලේ හඳුන්වන්නේ හරිම ආඩම්බරෙන්.


නමින් ආනන්දේ
ගෙනෙයි ආනන්දේ
සදයි ආනන්දේ
බෙදයි ආනන්දේ..
සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක









Thursday, August 29, 2013

නොඑනු මැනවි ගිම්හානය- Aging! you aren't welcome!



වසන්තයේ හිමිදිරියට
පිණි වැස්සෙන් අලුත් වෙලා
තණ ගොල්ලේ පිපෙන කුසුම්
යලි නොඑන්න පිටත් කරන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



නිසංසලේ සැරි සරන්න
ගිරා මලිති කැන්දන් එන
වසන්තයේ අතු අග ඵල
අවසන් කර උන් යවන්න
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න


නිවන් සදන කණ පිනවන
සනසන අප සිත නලවන
කොවුල් නාද සැම අගයන
නිහඬ ලොවක තනි කරවන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



රතු පාටින් එරබදු මල්
ගෙමිදුල සැරසු මතකය
ඈත් කරන් එරබදු කටු
අප දෙදෙනට පෙන්වන්නට
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



ගිම්හානේ කටුක කිරණ
අපෙ වත්තට එපා එන්න
ඈත් වෙලා යමින් ගමන්
වසන්තයට අත වනන්න
වසන්තයට රැඳෙනු නොදී
එන්න එපා මෙහි රැඳෙන්න

 _________කරූ_________



Sunday, August 25, 2013

වැව් ඉස්මත්ත-මගේ පලවෙනි කෙටි කතාව.


  බැස යන්නේ හිරුදැයි ,නැතිනම් කැරකෙන්නේ ලොවදැයි නොදනිමි.. කෙසේ හෝ හිරු අවරට හැරී ඇති මොහොතකි.හැර යන්නේ හිරු වුවද කැරකෙන්නේ ලොව වුවද කම් නැත,කාලය වේගයෙන් ගලා යනු ඇත.ගලා යන කාලය සන්තතික වුවද,විවික්ත වුවද,එයට ගලා යාමට ඉඩ දුන්නද නොදුන්නද එය ලිස්සා යයි. ස්ථානය කපුටන් ගැවසීගත් ගංගාරාමයයි. බේරේවැව දෙසින් හමා එන පුසුඹ පසෙකලා තමන්ගේ කතිකාවතෙහි යෙදීමට උත්සහගත් දෙපළකි.ඔබත් මා සමග අසල බංකුවකින් වාඩි ගන්න. 'ඔහු' හා 'ඇය'ට නුදුරින්.



"මොකද කතා නැත්තේ?"

"කල්පනා කරනවා.."
   ඔහු ඉවත බලයි..

"මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"


"කල්පනා කරන්නද දේවල් නැත්තේ දරුවෝ"
  ප්‍රශ්නයකි, ප්‍රශ්නයකි.

අසලින් කොට කලිසමක් හැඳි මහල්ලෙක් දුවයි.කනේ ජන්ගමයකට වයර් ගසා ඇත.කට ඉංගිරිසියෙන් පොපියයි,
බඩු තුන්ඩුවක් අසාගන්නා අයුරකි.
ඔහු ද මහල්ලා දෙස බලා සිටියි.

"අපේ මිනිස්සුන්ට මක් වුනාද මන්ද.."
 ඇය ඔහු දෙසට හැරෙයි..

හ්ම්..

නිහඬතාවයකි..


"සුද්ද රට දාල ගියේ කළු සුද්දෝ ටික මෙහෙ දාල නොවෑ"
ඔහු නිහඬතාවයට සමුදෙන්න කල්පනා කළ සැටියකි.එහෙත් තවමත් දෑස් රැඳී ඇත්තේ කොහේදෝ අනන්තයක ය.

"ලඟදි මම ගියා අම්මත් එක්ක කඩේකට."
 ඈ  කතා පෙට්ටිය විවර කිරීමට සැරසෙයි.ඔහු තවමත් කල්පනාවේ නිමග්නය.


"එතනට ඇවිත් හිටියා ගෑනු කෙනෙක්.ඈත හිටිය පොඩි එකාව ලඟට ගෙන්න ගන්න කතා කළා කම් දෙයාර් කියල."

ඔහු ඇයගේ මුහුණට එබෙයි.ඇය එකී ගැහැණියට සිනාසේන්නේදැයි බැලීමට විය යුතු ය.


"දන්නා සිංහලෙන් නැතුව නොදන්නා කෙහෙල්මල් තමා මිනිස්සු කරන්නේ.මට ලඟට ගිහින් කියන්න තරම් කේන්තියක් ආවේ"..
ඇය වේගවත් වෙයි.. මුහුණේ රැඳී ඇත්තේ කේන්තියකි.ඇයද ඔහුටම දෙවෙනි නොවේ.

"හරි ඉතිං,ඕක කම් හියර් කියලම කියන්න ඕනෙද?ළමයට තේරුනා නම් කිව්වේ
ලඟට එන්නයි කියල ඒ මදෑ.."කියන්නා කෙසේ කීවද ඔහුගේ පිළිවෙල තර්ක කිරීම බව මට හැගින..


"තේරුනා නම් ඇති තමයි,ඒ වුනාට මම කියන්නේ හරියට භාෂාවක් පාවිච්චි කරන්න බැරි නම් බස නසන්න නෙවෙයි,දන්නා බාසාවක් පාවිච්චි කරන්න ඕනේ කියලයි."


"භාෂාව හරියට ජීවියෙක් වගේ ළමයෝ.ඌ පරිනාමය වෙනවා. භාෂාව පරිනාමය වෙන්නේ වැරදි කරන්න කරන්න තමයි.වැඩියෙන්ම ඉංග්‍රීසි වගේ බාසාවක්.මීට අවරුදු සීයකට කලින් බලපුවාම තිබ්බ ඉන්ගිරිසියයි දැන් තියෙන ඉංගිරිසියයි අතරේ කොච්චර වෙනස්කම් තියෙනවද?ඒ අතින් බලපුවාම සිංහල වෙනස් වෙන්නේ බොහොම හෙමින්.ඉංගිරිසි වගේ බාසාවල එකම වැරැද්ද වැඩි දෙනෙක් කරන්න කරන්න ඒ දේ හරි දේ බවට පත් වෙනෝ" ඔහු එක පයින් ඇයගේ කීමට එකඟ නොවුන සැටියකි.

"ආ යූ ගේ?" ඈ ඔහුගෙන් විමසයි.ඔහු සිනහසෙමින් ඇයගේ කොන්ඩයෙන් ඇදීමට උන් තැනින් මෑත්ව ලං වෙයි.
"යෙහ් අයෑම්! බට්, අයි මීන් ඉන් ඕල්ඩ් ඉංග්ලිෂ්.." දෙදෙනාම සිනාසෙති.



කුරුල්ලෝ ඈත අහසේ ඉගිල ගොස් එහා ඉමකින් හෝ ගොඩනැගිල්ලකින් වැසී අතරමං වෙති.යුවලක් කුඩා සිඟිත්තකු සමග හංස බෝට්ටුවකින් සවාරියක් යති. ඔවුන්ගේ මුව සිනා කැන් පල දරයි. ඈ ඒ දෙස බලා සිටින්නීය..ඒ බෝට්ටුව කෙතරම් දුරින් ඇත්දැයි ඇය සිතින් සිතනවා විය යුතුය.ඔහු තොල් විකාගෙන තවත් මනෝ ලෝකයක ය. හදිසියේම ඔහුට ඇ'දෙස බැලීමට මතක් වෙයි.



"ඇයි ඔයා කඩුවට ඔච්චර බැන බැන කඩ්ඩ මීඩියම් කරන්නේ?"

"ඇයි ඔයත් කලේ එහෙනම්?"

"ඉතින් මං අතැරියනේ ළමයෝ.."  ඔහු දිනන්නට සැරසෙයි..

"හරි ඉතින් හය අව්රුද්දක් කලේ?"

"කළා තමයි,හැබැයි දැනුමක් ගන්න. හය වසරෙන් මට හම්බුන මිස් කෙනෙක් ලස්සන කතාවක් කිව්වා.
උඹලා මගෙන් මේක ඉගෙනගනිල්ලා ළමයිනේ,කවද හරි අපේ කම ලෝකෙට පෙන්නන්න ඕන උඹලා,අන්න එදාට මේක උඹලට ඕනේ වෙනවා.
මේක අපේ බාසාව නෙවෙයි තමා.හැබැයි මේකෙන් අපේ කම ලෝකෙට ගෙනියපල්ලා.."

"ආපෝ.. ඔය පිරිමි ඉස්කෝලවල ටීචර්ස්ල ඔහොමම වෙන්නැති ළමයින්ට කතා කරන්නේ."

"එහෙම තමා,ඒ ෆිට් එකට.
අනික ඒ මිස් අපිට හරි  ආදරෙයි."

ඇගේ මුව ගොලුවෙයි.. එහෙත් ඇය සිතින් නිහඬ නැති බව ඔහු හොඳාකාරවම දන්නවා විය හැක..
ඈ ගැන මෙවැනි කවක් ලිව හැකි කෙනෙක් ඈට ලැබුනා නම්....

නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


"පැටියෝ.. මුනාද අනේ කල්පනා කලන්නේ.."
මට මහ පුදුමයක් දැනුනි.මෙවැනි පද මොහුට හුරු වුයේ කෙසේද?
එහි ලතාවක් තිබිණි. පොඩි එකෙක් හුරතල් කරන්නා මෙනි.


"හිතට මහා බරක් දැනෙනවා පණ.."
මගේ පැනයට පිළිතුර එහි තිබුණි.


"මම දන්නවා දරුවෝ,මට ඒක දැනෙනවා"

"අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි.."
"මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ,
හැබැයි ලෝකේ හොඳම යාළුවො දෙන්න අපි වෙන්න ඇති"

"මම දන්නවා වස්තුවේ,මම දරදඬු වැඩියි ඔයාට.. මට කල් දෙන්නකෝ..
මගේ වැඩ එක්ක හිත කරදරෙන් තියෙන්නේ.. ඉක්මනින් මේ දේවල් ඉවර කරන්නම්.."

ඈ ඉවත බලා ගත්තා ය.
රණවිරු  සේවා ආපන ශාලාව අසල සිටින  කුඩා දරුවෙකු දෙස ඈ ආසාවෙන් බලා සිටියි.
ඌ විටෙක වැටෙයි.හිතලාද වැටෙයි.
ඌ ඇවිදින වයසේ එකෙකි.ඇවිදින්නේ වයස නිසා නොව වැටි වැටි ඇවිද්ද නිසා ය.
පියා දුව විත් ඌ ඔසවාගෙන මව වෙත ගියේය.ඈ දරුවාට කන්න දෙයක් තෝරයි.

"මම කැමති නෑ ඔයා ගොඩක් ප්‍රසිද්ද වෙනවට,ලොකු සල්ලි කාරයෙක් වෙනවට?
ඔයා පන්නන්නේ ඒවා පස්සේ නෙමෙයි තමයි.ඒත්..
ඔයා කරන දේවල් නිසා ඒවත් වැඩිපුර එන්න ඉඩ තියෙනවා..
ඒවත් එක්ක,උවමනා කම් වැඩි වෙද්දී,තව තව මදි වෙද්දී..
ලස්සන ජිවිතයක් කියන එක අපෙන් ඈත් වෙයි.."


"මට ඕනේ සරල මිනිහෙක්..
ලොකු මිනිහෙක් නෙවේ.."


"හ්ම්ම්.."
 සුසුමක් බෙරේ වැවේ රැලි නංවමින් ඈතට ඇදී ගියේය..

"මේ බලන්න මගෙ දරුවෝ..
අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි වැඩකට..
ඒ දේත් කරන්න ඕනේ,අපේ ආසාවල් වගේම.."

"අපි මේ එන්නේ පරණ කතාවකටමයි කරූ..
බලන්න? අර ඉර බැහැගෙන යන ලස්සන?"


බේරේ වැව් රැලි තපහ් තපහ් හඬින් ගල් බැමි ඉවුරේ වදින්නට විය..
වැව් ඉවුර මත කෙතෙක් ගැටුනද,වැව කිසිදා පිටාර නොගලනු ඇත.
කිසිදා..

ඔවුහූ නැගී සිටියහ.. අත් වැල් එකිනෙක පැටලින.
ඈ ඔහුගේ උරහිස මත හිස හොවාගත්තා ය.
මම බංකුව මතම දෑස් පියාගතිමි.

මෙතෙක් වෙලා ගෙලේ එල්ලෙමින් පැවතුන ඉයර් ෆෝන් දෙක මම කණේ රුවා ගතිමි.
ගීතයක් එහි මැදින් වාදනය වමින් පැවතින.

අර ගැටුම්.. මේ නැටුම්
බත ඉදෙනකන් විතරයි..
ඔය හැඬුම්.. ඒ දෙඩුම්..
රෑ එළිවෙනකොට ඉවරයි..
තෝරාගත්තේ ඔබව මං..
ඉන්නමයි ඒ වාගේ..
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි....
ආදරෙයි...

ඔය නුවන්..මේ සවන්..අහන දකිනා ඒවා..
හොඳ හිතින්.. එක හිතින්..
කරන කියනා දේවල්..
විසදමු අතිනත් බැඳන්..ඉන්නමයි ඒ වාගේ..
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපිට අපි හරි..ආදරෙයි...

මම දෑස් විවර කලෙමි.ඔවුන් තවමත් පෙනෙන මානයේය.
ඔහු ඇයගේ බඳ වටා අතක් යැවීය.ඈ තව තවත් ලං වුවාය.
හිරව තිබූ සුසුමක් පිටකර හැරීමි.

මහල්ලා තව වටයක් මා ඉදිරිපිටින් නොනැවතී දිව ගියේය.

                                                                                         -කරූ




පසු වදන:
කණා මැදිරි එලි-අනුරාධා පෙරේරා.mp3


සිහිපත් කෙරුම:

  • මගේ අම්මා..


  • ඉංගිරිසිය කියා දුන් බොහෝ ගුරුතුමන් අතරේ ඉංගිරිසිය මොකටදැයි කියා දුන් ජයේශ්මී ගුරු මෑණියන්


  • ජිවිතයේ නුදුටු සමහර පැති ආදරෙන් පෙන්නා දුන්,සොයුරියත් මිතුරියත්,සෙවනැල්ලත් සේ ළඟ සිට,මගේ රටේ නැති වැඩ ඉවසා සිටින,  ඇය- "මල් ගී" .


:)

Friday, August 23, 2013

ආ ගිය කතා-අල ගිය තැන් හෙව්වෙමි.

කාලෙකින් බ්ලොගේ මකුළු දැල් කඩාගෙන අලුත් බෝඩ් ලෑලි කෑල්ලක් එල්ලන් ආවට මොකද ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙලා තිබ්බේ නෑ. ප්‍රෝපයිලෙට අල්තයීර් කියලා කෑල්ලක් ඔබන් නමත් වෙනස් කරගෙනයි දෙයියනේ කියලා ආයෙත් වැඩ ඇල්ලුවේ.හෙන්රි බ්ලොග් කරක්ගසන්නා ද ඩූඩ් අයියට,සෙන්නාට වගේම ධාරාට,රෙහානිට,දේශකයාට  එහෙමත් මාව මතක තිබුනා ඔන්න. කට්ටියටම තැන්කිව් ඈ. හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනවද.

ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා. පස්සේ පස්සේ ඉව වැටුනා මේකා බ්ලොගක් ලියන එකෙක් තමයි හැංගි හැංගි වෙස් බැන්දට කියලා.ඔන්න ඊට පස්සේ සමියාගේ බ්ලොගේට මගෙනුයි මගේ බ්ලොගේට සමියාගෙනුයි කොමෙන්ටු එක දෙක වැටෙන්න ගත්තා.කස්ටිය දන්නවනේ කොමෙන්ටුවක් වැටුන පමාවෙන් මේල් කට්ටක් එනවා කියලා! ඔය මේල් කට්ට උඩ නිකමට කෙටිලා මට සමියාගේ G+ එකවුන්ටුවට යැවුනා!



දෙයියෝ සාක්කි!


මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!

ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන.මේ ඉන්නේ අපේ ඒ කාලේ පොත් ගැන්සියේ බුවෙක්! අපිට වඩා අවරුදු දෙකක් වැඩිමල්.සෙට් එක සෙට් වෙන්නේ ඉස්කෝලේ ඇරුනම ඉස්සරහ ගේට්ටුව ගාව බංකුවට.මම ඉන්නවා 3ට අම්මා එනකන්,මොකෝ අම්ම වැඩ කලේ ටිකක් ඈත ඉස්කෝලෙක නිසා එන්න පරක්කුයි.මට ඒ කාලේ තනියම පාරේ යන්න දුන්නේ නෑ කියන්න බෑ ඕයි ලැජ්ජයිනෙ. කොහොම හරි මේ සෙට් එක ඉස්කූල් වෑන් එනකන් ඉද්දි මාත් ඉන්නේ උන් එක්ක තමයි.මේ ගැන්සියේ උන්නා මේ ලොකු සමියා සහ අපේ වයසේ පොඩි සමියා,නිලංජන,රුතාශාන් සහ මම.සමියලා වගේම චමියාගේ තාත්තත් උන්නා අපි එක්ක චමියා එකනක්.මේ අතරින් රුතාශාන් පහු ගිය වසරේදී අපි අතරින් සදහටම සමුගත්තා. නමුත් කරපු ආතල් වැඩ නිමක් නෑ,දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.කොහොමින් හරි අන්තිමට මේ සමියාව හම්බුනේ සෑහෙන කාලෙකට කලින්,ඉස්කෝලේ ලැබ් බිල්ඩින් එකේ කොරිඩෝ එකකදී.. "යන්නන් අයියේ" කියාගෙන දුවන් ආපු මට ඊගාවට මේ සහෘදයාව මුණ ගැහුනේ සයිබරයේදී.ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි.

ස්ථානය: බුකිය

                                මුලින් සමීයා කියලා ෆේක් බුකි කාරයෙක් අඳුනගත්තා


                                 පස්සේ දැනගත්තා සමී කියලා බ්ලොගර් කෙනෙක්

                                                                                                                         ඊට පාස්සේ?
                                                                                                                                     :D

                                  දැන් තප්පර ගානකට කලින් ආපු මේල් එකක් රීඩිරෙක්ට් වෙලා දැනගත්තා                                             මේ අපේ ස්කූල් වෑන්  එක එනකන් ගේට් එක ගාව ඉඳන් කතන්දර පොත්                                                         ෂෙයාර් කරපු කල්ලියේ ***** අයියා කියල!

                                                     :O
                                       :D
                                                      මතකද ගයාන් නිලන්ජනවයි මාවයි!

                                                                                                                          හුටා!                                                                     :D


ඔන්න ඔහොමයිලු ඉතින් කතාව ගියේ.කැරකිලා කැරකිලා අන්තිමට සෙට් වුන පරණ යාළුකම්,සහෝදරකම්,කරපු කුපාඩිකම්, ජඩකම් ඔන්න දැන් අලුත් වෙලා. :D

ආපු ගමන් කරපු ගොන්  වැඩේනේ මොකද්දෝ මේ අල්තයීර් කෑල්ලක් ගහගත්ත එක. දැන් ඉතින් මං දිගාරින්නම්කො ඕකේ අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම.මොකෝ අපේ සෙන්නා "මොකද්ද බං මේ අල්තයීර් කියන්නේ" කියල ප්‍රශ්නාවලියක් අග අවසන් ප්‍රශ්නේ විදියට ඇහැව්ව නිසා හරියට කියන්න බැරි උනානේ.අල්තයීර් කියලා කියන්නේ ඔය ඇසැසීන්ස් ක්‍රීඩ් කියලා කොම්පීතර ගේමක ඉන්න බුවෙක්.ඉතිහාස කතා ඇසුරෙන් මේක නිර්මාණය වෙන්නේ.අල්තයීර්ගේ චරිතයට පසුබිම් උනා කියන්නේ 1200ගණන්වල මැදපෙරදිග උන්නයි කියන යුධ නායකයෙක්. යුධ නායකයෙක් කිව්වට මොකද සොල්දාදුවාගේ තැන ඉඳන් පටන් ගෙන තමයි මෙයා ඉස්සරහට යන්නේ පොතේ හැටියට.මේ කොම්පීතර ගේමේ ඉන්න චරිත ගත්තොතින් ඒ ඉන්නේ ඉතිහාස පොතේ ඉන්න චරිත සහ ඇත්ත නම්,නමුත් මේ අල්තයීර් සැබෑවක් උනත් මේ නම ඇත්ත යුධ වීරයාගේ නම නෙවෙයි.එක එක මෙහෙයුම්වලට දේශ දේශාන්තරවල එහෙම ගියාම ඕක එක එක විදියට සද්ද කෙරෙනෝ,අල්තයී..ර් කියලා ඇද..ල කියන්නේ ජෙරුසේලමේදීද කොහෙද.

කොහොමහරි මේ නම මට හරියන්නේ මේකයි.මං මෙහෙම උන්නට හරි රණකාමි යුධ කාමී යුධ සූරයෙක් කියල මුන්ට කියන්න හොඳ නෑ. ඉස්සරම කාලේ ,ඒ කියන්නේ 2011දී විතර මං බ්ලොග් කියෙව්වේ මේ සැම්සුන් කෝබි කට්ටකින්.බොහොම අමාරුවෙන් තමා දුක් විඳගෙන බ්ලොග් කියෙව්වේ ඒ කාලේ,ඉතින් කොමෙන්ටු එහෙම කොටන්න වෙන්නේ නෑ..සද්ද නැතුව එනවා-කියෝනවා-යනවා.ආයේ සලකුණක්වත් ඉතිරි නොකර යන්න මම හරීම දස්සයි නේද ඈ. නෑ! මේ අල්තයීර් කියන්නේ නිහඬ ඝාතකයෙක්! හා හා බය වෙන්න එපා මම මදුරුවෙක්වත් මරන්නෑ! ක්‍රීඩාවේදී අල්තයීර්ව ඉලක්කයට මෙහෙයවන්න ඕනේ ඉතාම නිහඬවයි.මේ ඇසසින්ලගේ ස්වභාවය තමයි තමන්ගේ ඉලක්කය සපුරාගත්තම මයිල්ගහක්වත් ඉතුරු නොකර නිහඬවම පිටවෙලා  යන එක. ඉස්සර මගේ බ්ලොග් කියවිල්ල වගේ තමයි!
ඉතින් මට නැද්ද බොලව් අල්තයීර් වෙන්න සුදුසුකම්! 

හහ්..!

අපේ සෙන්නා ඇහුවනේ කවුද බොලා මේ සුලොහිතයෝ කියන්නේ කියලා.. ඔන්න මං හදපු බඩ්ඩක් පෙන්නන්නයි යන්නේ. කියන්න එහෙම එපා මේක එක එක බුකි පේජ්වල කවරේ තියෙනවා දැක්කයි ය,ඒ හින්ද මම උස්සලයිය කියලහෙම.මං තමයි මේක හදලා බුකියට මුදා හැරියේ. බුකි පේජ් දෙක තුනක්ම මේක කවරේට එහෙම දාල තිබ්බා. මෙන්න මේ ඉස්කෝලවල ඉන්න කොලු රංචුවලට තමා සුලෝහිතයෝ කියලා ලේ වල පාටෙන් හඳුන්වන්නේ.


ඉතින් මාත් සුලෝහිතයෙක්.සුද්දට කණේ පාරක් ගහන්න හිතාගෙන,සතේ සතේ එකතු කරලා හදපු ඉක්කෝලෙක කොලුවෙක්.ලාම්පු තෙල් ගන්න පාරට ආපු ආච්චිත් ලාම්පු තෙල් ටික නොගෙන පුදපු සන්තකේම යටවුන ඉස්කෝලෙක කොල්ලෙක්.හතලිස්ගණන්වලදී ඉස්කෝලේ කොල්ලෝ ටික පාරට බැහැල එකතු කරපු රුපියල් හතලිස්පන්දහෙන් හදපු ලැබ් බිල්ඩින් එකේ අනුමාපන,විච්චේදන කරපු කොල්ලෙක්.පනස් අවුරුද්දක් ඉඩම්වල ණය ගෙව්ව ත්,රටටම එලිය දුන්න ඉස්කෝලෙකට යන්න වාසනාවන්ත වුන කොල්ලෙක්.ඉතින් හරිම ආඩම්බරයි. ඒ හින්දා මම මෙන්න මෙහෙම ලියල තිබ්බා මේ කටුඅකුල් ගොන්නක් මැද අමාරු ගමනක් ගිය ඉස්කෝල හතර පහ ගැන මට ගලපගන්න පුළුවන් වුන පද පේලි  ටිකක්.
අවසාන වශයෙන් මෙන්න දෙකක්.....

කොළඹ නලඳ උඩරට දම් රජ            සෙවණේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු            බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු      සෙවණේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ

එකසිය විසි හත් වසරක් නම          රන් දා
හැම හද තුලම ආනන්දය පැල්       බන් දා
නාලන්දයට පෙර මං පෙන්වා        සැම දා
අනද නලඳ නම් තුන් කල් මන      බැන් දා


ප.ලි.
මගේ draft දැන් එන්න එන්නම ගැබ්බරයි! කළල ගොඩයි,පෝෂණය කරන්න වෙලාව මදි. කොයි හැටි වෙතත් හෙට අනිද්දට "භාව සන්න සහිත-වැසිකිලි වරුණාව" බලාපොරොත්තු වන්න.!


-Altair෴
altair.ibn.la.ahad1190@gmail.com

Sunday, August 18, 2013

ආනන්දේ ගී රාවේ! ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද?

 
           
 ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන්‍යතාවය විදහා පාන්නක්.හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට දින තුනක් පාසල් ගීය ගායනා කෙරෙනවාමයි. දිනපතා උදෑසන වතාවත්වලින් අනතුරුව පාසල් ගීය හා ජාතික ගීය ගායනා කෙරෙන අතලොස්සක් පාසල් අතර ආනන්දයේ නමටත් තැනක් ලැබෙනවා. ඒ අතරින් එදා සිටම ජාතික ගීයේ අඩක් නොව සමස්ත ගීතයම ගායනා කරන,මා දන්නා එකම පාසලත් ආනන්දයයි.

             ආනන්දය සතුව එවැනි නිල මට්ටමේ ගීත දෙකක් තිබෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ විද්‍යාලයීය ගීතය(school anthem) නමින්,අනෙක ආනන්දයේ ගීතය(school song) නමින් හැඳින්වෙනවා.මින් පාසලේ උත්සව අවස්ථාවන් සමාරම්භයේදී සහ උදෑසන වතාවත්වලින් අනතුරුව ගායනා කෙරෙන්නේ විද්‍යාලයීය ගීතය යි. ආනන්දයේ ගීතය වාදනය කෙරෙන්නේ පාසලේ අධ්‍යන කටයුතු අවසානයේ චත්ත මානවක ගාථා සජ්ජායනය කිරීමෙන් අනතුරුවයි.

           මීට අමතරව ආනන්දයේ සුවඳ විදහා දැක්වෙන අපූරු ගීත පෙළක්ම තිබෙනවා. අනදතා පාන,උද්දාමයේ ගීතය,ආනන්දේ අභිමානේ, ඉරහඳ පවතින තුරු හෙළ දෙරණේ  වගේම ආනන්ද නාලන්දා සුලෝහිත සහෝදරත්වය විදහා දැක්වෙන ආනන්දයේ නිර්මාණ වන සුලෝහිත රාවය,ආනන්දේ සෙවණේ වැඩි දරුවන්,සිංහයෝ අපි වගේම භාතිය හා ජනනාත් වරකාගොඩ ගායනා කරන ආනන්ද නාලන්ද විදු දෑලේ ගීත සුවිශේෂයි.ඒ අතරින් ආනන්ද නාලන්ද විදු දෑලේ ගීතය ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වුනා.අද බ්ලොග් පොස්ටුවෙන් මේ ගීත 10ම ගේය පද සමගින් වීඩියෝ පටය පල කරන්නයි බලාපොරොත්තුව.ඒ එක්කම කාලයා සමග අභාවයට ගිය ගීත කිහිපයක අංශු මාත්‍රීය තොරතුරු මට ලැබුනා,පසුවට ඒ ගැනත් පල කරන්නම්.

          ආනන්දයේ විද්‍යාලයීය ගීතය කියන්නේ ඉතාමත් සාඩම්බරනීය ගීතයක්.රණ බෙර රාවයක් අතරින් එන වේගවත් ගී පදවැල් සැබවින්ම ආනන්ද පලිහ මත අවිධරා සිටින සිංහ සලකුණ සිහිපත් කරවනවා.

                                                       
දින දින කිතු ගොස බෝ වී
වැජබෙනු අනද'ප මාතා //

සුදිලී ජය වී ලොවෙහී
සාදා දීලා සිප් සත හා
කලා ද විනේ ද පහදා..
එඩිතර සිංහල දරු කැල සදලා//

දින දින කිතුගොස බෝ වී
වැජබෙනු අනදප මාතා//

ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝවැඩ සලසා//
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමු තිලෝන දෙසු සේ..

දින දින කිතු ගොස බෝ වී
වැජඹෙනු අනදප මාතා..//




                   විද්‍යාලයීය ගීතය වේග රිද්ම ස්වභාවයක් ගත්තත් ආනන්දයේ ගීතයට ඇත්තේ ඉතාමත් නිවී සැනසුන බවක්.මේ ගීතය ලියවී තිබෙන්නේ ආදී ආනන්දයීය ,ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ පියා වන විමල් අභයසුන්දරයන් අතින්.එතුමා වසර කිහිපයකට මත්තෙන් අප අතරින් සමුගත්තද, ආනන්දය පවතින තුරාවට මේ ගීය දිනපතා සවස වාදනය වද්දී ඔහුව අනුස්මරණය වේවි..තනුව සහ සංගීතයෙන් මේ ගීතය රසවත් කලේ අනිල් මිහිරිපැන්න මහතා යි.





ආනන්දේ අද ආනන්දයි

                                   ආනන්දය ගැන කියවෙන පැරණිම ගීත අතරින් පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ කණ්ඩායම ගායනා කරන ඉරහඳ පවතින -තුරු හෙළ දෙරණේ  ගීතය සුවිශේෂයි.  මෙය 1986දී රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනය වූවක් බව සඳහන් වෙනවා. අපූරු ගායනයක් සමගින් එක්වී තිබෙන රූප රචනය සැමටම මතක් කර දෙන්නේ ආනන්දයේ ආදී කතෘවරුන් ආනන්දය බිහි කලාවූ සැබෑම අරමුනයි. මේ වීඩියෝ පටය අනිවාර්යෙන්ම බැලිය යුත්තක් බව මතක් කරන්නේ ඒ නිසාමයි.



ඉර හඳ පවතින
තුරු හෙළ දෙරණේ
අනුහස නොනිමෙන
තුරු බුදු වදනේ
ලොව මිනිසත් බව
එලි කරමින්නේ
පහනක් වේවා
මනු දම් උයනේ..//

පරාධීන වී හෙළ ගති සැඟවුන
යුගයක වැදී සටන්..//
අධීන විරුවන් පඬුවන් බිහි කර
යලි දැය නගන ලෙසින්
උදා වුනේ ඔබ උදාර විරුවකු
ලෙස හෙළ දෙරණ මතින්
දැයේ පහන් ටැඹ 
වී හෙළි කල මග
ඇත ලොව සතර දෙසින්

ඉර හඳ පවතින..//


ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

        මේ ගීතය ලියවුන 1986 වර්ෂය කියන්නේ ආනන්දය ශත සංවත්සරය සැමරූ වසරයි.ඉන් අනතුරුව 2011වසරේදී එළඹුන 125 වැනි සංවත්සරය පුරා වසරක්ම මුළු ආනන්ද ප්‍රජාවම සැමරුවා. 2011 නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුන ඒ අසම සම දිනය වෙනුවෙන් ආනන්දය සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධානය කලේ 2011 වසර මැද භාගයේ සිටන්මයි. 2012 වසරේ මාර්තුමස අවසන් දිනයේදී ලොව පාසලක පැවැත්වූ දැවැන්තම ප්‍රදර්ශනය වන අනද අබිමන් ප්‍රදර්ශනය අවසානය වන තුරුම  ආනන්දය උත්සව ශ්‍රීයෙන් බබලනු ලැබුවා.ප්‍රදර්ශනය අතරතුරේ ලබපු අත්දැකීමක් කලින් මේ බ්ලොග් අඩවියට ඇතුල් කළා,ඒක බලන්න පුළුවන් මෙන්න මෙතනින්.මේ වකවානුව තුලදී ආනන්දයේ ගීත සාහිත්‍ය වෙතට නවමු ගීත කිහිපයක්ම එකතු වුනා.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ 125 අනද අබිමන් උළෙලේ නිල ගීය වන අනදතා පාන ගීතයටයි.

      අනදතා පාන ගීතයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආනන්දය තුලින් බිහිව සංගීත ක්ෂේත්‍රයේ විවිද ඉසව්වන්හී නම් දැරූ කළා කරුවන් මෙම ගීතය සම්පාදනය කිරීමට දායක වී තිබීමයි. මේ ගීතය ලියවී ඇත්තේ නුවන් කුමාර කටුගම්පොල(1991) අතින්.ගේය පද සංගීතයෙන් ඔපවත් කර ඇත්තේ සහන් රන්වල (1997) විසිනි. ගීතය නිෂ්පාදනය කොට ඇත්තේ ආදී ආනන්දයීය 97 කණ්ඩායමයි.මේ ගීතය ආනන්දීයන් කෙතරම් දැඩිව වැළඳගත්තාද කිවහොත්,සෑම කෙනෙකුගේම ජංගම දුරකතනවල රින්ග් ටෝනය ලෙස වැඩි කලක් මෙය  පැවතුනා.එසේම ශ්‍රී ලංකාවේ සෑම දුරකථන ආයතනයකින්ම මේ සඳහා රින්ග් ටෝන් පහසුකම ලබා දුන්නා.



අනදතා පාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ//

බන දම දැනගෙන හැදුනෝ
විදු නැණ යහ ගුණ පිරුණෝ
කෙලිලොව දිනවන හපනෝ
රණ ජය බිම..
රණ ජයබිම මහ මුදුනෝ..
පසු මං නොබසින ඇත්තු..
පෙරමන් හොබවන පුත්තු..
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

වෙඩි වැස්සට සැලෙන් නෑ
අඩි පස්සට හැරෙන් නෑ..
අනදතාපාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ..

කළා විලේ සිය පත් වූ
නිලේ බලේ අග පත් වූ
එලෝ මෙලෝ සුවපත් වූ
අනාගතේ...
අනාගතේ පැහැපත් වූ..

අනුහස් ඇති පුතණුවෝ..
කොතනත් රජ කරනවෝ..
ආනන්දේ පුත්තු..
අපි ආනන්ද පුත්තු..

උරුම රකී පෙර දිනේ
දියුණු ලොවේ පෙරමුණේ..
අනදතා පාන නොපමා නිපුනෝ..
කුමරතා මාන ගජතා පිරුණෝ..

විහාරයේ රන් බුදු රැස්
සෙනේහයේ රන් කුළු රැස්
එදා ආදී රන් කතු රැස්
අපේ කාලේ...
අපේ කාලේ රන් සිසු රැස්..

විජාති බල තෙද සින්දු
ලොවේම හෙළ නම රැන්දූ
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

එකා වාගේ නැගේවී
අනද සරණ ලබාවී..

අනදතා පාන නොපමා නිපුණෝ
කුමරතා මාන
ගජතා පිරුණෝ..


ගායනය : භාතිය ජයකොඩි ('95)
               මධු මාධව අරවින්ද ('92)
               ජගත් වික්‍රමසිංහ ('85)
               කසුන් කල්හාර (ආ'2000)
                සහන් රන්වල ('97)
               ජනනාත් වරකාගොඩ ('96)
               හර්ෂණ දිසානායක (ආ'10)
               අකලංක ගනේගම (ආ'2000)
               දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
               නිමන්ත හේෂාන් ('97)
               ඉසුරු ජයරත්න ('97)
               සචිත් අනුත්තර (ආ'10)

                  ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එකම මොහොතක එකම පාසලකින් බිහි කිරීමේ අරුමැසි සිදුවීම සිදු කළාවූත්,හතරවැනි ඊලාම් යුද්ධය අවසන් කල මහ විරුවන් මුල් පුටුවේ සිට බොහොමයක් බිහිකලාවූත් ආනන්දය වෙනුවෙන් මේ ගීතයෙන් සැබෑ සාධාරණත්වයක් ඉටුවී තිබේ.එසේම ජාතික ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කර ඇත්තේද ආනන්දයයි.ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආනන්ද නාලන්දා ක්‍රීඩක නියෝජනය ක්‍රීඩකයන් 6 දෙනෙකි.1996 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය ආනන්දියකු දරද්දී එහි ආනන්ද නාලන්දා සුලෝහිත සහභාගිත්වය ක්‍රීඩකයන් 5 දෙනෙකි.ආනන්දයත්, ඉන් බිහිවූ නාලන්දාවත් සැබවින්ම විශ්මකර්ම විදුබිම් බව අතිශයෝක්තියක් නොවේ.අනුහස් ඇති අනද පුතනුවන් කොතනත් රජ කරනා බව පවසන්නේ එබැවිනි.
 
                  ආනන්ද නාලන්දා සහෝදරත්වය ගැන කියවෙන මෙම ගීතය අන් සියල්ලකටම වඩා පසිඳු වූවකි.මේ ගීතයට හඬ මුසු කරන්නේ ආදී ආනන්දයීයන් දෙපලක් වන ජනනාත් වරකාගොඩ සහ භාතිය ජයකොඩියි.මේ ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයයි.





ආනන්ද නාලන්ද විදු දෑලේ
මහ ක්‍රිකට් තරඟ උළෙලේ
අසිරියෙන් කෙලි මඩල බබලන්නයි
සමගියෙන් දස්කමින් ජයගන්නයි..//

ජාතික තලයට
සුරු විරු දරුවන්
නිබඳ තිලිණ කරනා
ඒ දරුවන් ලොව
ජය ලබනා විට
යසස කිරුල දරනා..//

අනද මෑණියන් සෙවණේ..
හෙළ හැදියාවෙනි වැඩුනේ..
යහ ගුණ දහමින් විදු නැණ ලබමින්
කිතු ගොස දින දින නැගුනේ..

ආනන්ද නාලන්ද..//


තරඟය ක්‍රීඩා පිටියට පමණයි 
ජය පැරදුම එකසේ විඳ ගැනුමයි..//
සොහොවුරු දහමින් බැඳී නැගෙන්නයි..
කෙලි බිම.. මව් බිම..
ජය බිම වන්නයි..///

  
                 සුලෝහිත සංග්‍රාමය නිල ගීතයට අමතරව,ආනන්දය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ  83 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වෙනම නිල ගීතයක් නිර්මාණය වනවා.සුලෝහිත රාවය නමින් මේ ගීතය නිර්මාණය වන්නේ පාසලේ එවකට සිටි සිසුන් අතින්මයි.ගීතයේ හඬ මුසු කිරීම් සිදු කෙරුනේ රැඩිසිස් ශබ්දාගාරයේදී යි.ගීතයේ පද පෙළ මගේ හිත මිත්‍ර මංගල සේනාධිපතිගේ සංකල්පනාවක්.ගීතය නිර්මාණය වන්නේ මගේ සමකාලින සොහොයුරන් කිහිප දෙනෙකු අතින්.




ගුගුරුවා වා තලේ
සරසවා මිහිතලේ
ලේ නොහලා රත් පැහැ ගන්වා
රන් රිදී අකුණු සරින්
අඳුරු වලා ගැබ 
එලි කරනා..

කඟවේනුන්ගේ සිරි මවමින්
තණ නිල්ලත් දෙදරවනා
ලෝ සොලවාලන සිංහ පුතුන් හට 
තිඹිරි ගෙයක් සදනා
සුලොහිතයන්ගේ මහ සැණකෙලියයි
සොහොවුරු කම් දිදුලනා..
කෙසරුන්ගේ රණ හඬ මැද්දෙන් 
ජය ඝෝෂා නැන්වෙනා..

දඟ කැවූ පන්දුවේ
කස හඬ එක් වුනේ..
ජය දඩ නංවා ඇත හඬ දීලා..
සොවුරු පෙමින් අප එක් වීලා..
නිහඬ ලොවක් සොලවා..

ගී පද : මංගල සේනාධිපති
සංගීතය : මධුරිත සමරසිංහ , ලහිරු තිලකරත්න
හඬ සංයෝජනය : රනුක හෙට්ටිආරච්චි
ගායනය : රෙසිල් ඉර්ෂාද් ,මධුරිත සමරසිංහ,ලහිරු තිලකරත්න,රනුක හෙට්ටිආරච්චි,මංගල සේනාධිපති

                        ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ගීතවත් මුහුණුවර එතෙකින් නොනැවතී තබපු තවත් එක පියවරක් විදියට ආනන්දේ සෙවණේ වැඩි දරුවෝ තේමා ගීතය කරලියට එනවා.හැබැයි මේ ගීතය වැඩි දෙනෙක් අසා නැති බවයි මගේ හැඟීම. බලන්න අහල තියෙනවද කියලා?



ආනන්දේ සෙවණේ වැඩි දරුවන්..
ලෝ තලයට එසවීනි හපනුන්..
ලොවම මවිත කල කෙලි බිම විරුවන්
දිලෙයි අනද තරු සැමට ඉහලින්..

රන් ලෝහිත දදවැල් බන්දා
ඉතිහාසයේ අබිමන් නංවා
සිප් මවගේ ආසිරිද ලබා
අනද පුතුන් අපි ශතක හඹා..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ ජය රූ ජය රූ...
අපෙ නෙතු අද්දර මැවිලා

ආනන්දේ නාලන්දේ විදුහල් පියසේ
සිප් සරනා අප සොයුරන් වේ..
සමගිය වඩනා..ලොව අගනා දේ..
ජය පැරදුම විඳුමයි එක සේ..
තරඟ බිමයි එක තණ නිල්ලයි
කුසලානෙයි  සිංහයෝ දෙපිලයි
හදක පැතුම් ඉටුවන දිනයයි
ආනන්දය දිනනා දිනයයි..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ අපෙ නෙතු අද්දර මැවිලා..//

සුලෝහිත කෙලි බිමයි මහ සංග්‍රාමයයි...



            ආනන්දය සහ ක්‍රිකට් කියන්නේ කිසිදා නොබිඳෙන සබදතාවක්.ඉතින් ඒ ගැන ලියවෙන ගීත මෙතෙකින් නවතින්නේ නෑ. මේ 84වැනි සුලෝහිත සංග්‍රාමය ගැන ලියවුනක්..




සිංහයෝ අපි..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. ආනන්දයෙන්..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. නාලන්දයෙන්..
ජය හඬ මැදින්..
සිංහයෝ අපි..//

විදු මව් තුරුලෙන්..
උණුහුම විඳිමින්..
සොහොයුරන් සේ විඳිමින්..
පායන හිරු මෙන්..
පායන සඳු මෙන්..
නොනිවෙනා එක හැඟුමෙන්..

සිංහයෝ අපි..// 

කෙලි බිම කළඹා
ඔද තෙද වඩවා..
රජත රන් දද සෙවණේ..
පිබිදෙන හැඟුමෙන්..
නොසිදෙන දිරියෙන්..
නොබිදෙනා සොයුරු දමින්..
කෙලි බිම අරුමේ..

සිංහයෝ අපි..//

ගායනය : වතිල මානකමල් ,ඉසුරු සමරසිංහ,ලහිරු ගුරුසිංහ
සංගීතය : වතිල මානකමල්
රූප රචනය : හසන්ත සුනෙත්, ලහිරු ගුරුසිංහ

       ක්‍රිකට් ගැන කතා කලෝතින් ලාංකේය ක්‍රිකට් ලෝලීන් සතුව තියෙන ඉහලම මතකය තමයි 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය. මේ ඒ ගැන සඳහන් වෙන ආනන්දය ගැන ගීයක්.. මේ ගීතයේ ගායකයා LedartRaXX; යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙතත් LedartRaXX යනු මගේ හිත මිතුරු සජන වීරසේකර බව දැනගන්නට ලැබුණා.ගීතය ගායනා කරන්නේ ඔහු සමගින් පසිඳු භාග්‍ය සොයුරා.මේ ගීතයේ තනුවද සජන වීරසේකර සතුයි.  සංගීත රචනය නිමැවෙන්නේ 83 වැනි සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයට සංගීතය සැපයූ  රනුක හෙට්ටිආරච්චි සොයුරා අතින් රැඩිසිස් ශබ්දාගාරයේදී යි.

වීර විකුම් පානට මේ දරුවෝ..
ඉදිරියටම එයි සිංහ වෙසේ..
ලොවටම පූජිත කුසලානේ..
ලක් මෑණිට දුන් පුතුණානන්..

ලක් මව් තුරුලෙයි ආනන්දේ..
ලක් මව් බිම මේ සරසන්නේ..
කිතු ගොස නංවයි අභිමානේ..
ආනන්දේ... අභිමානේ..//
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. 
අභිමානේ.. අභිමානේ..

මහ රල සේ මහ මුහුදේ..
නොසැලෙයි නොමියෙයි දෙරණ මතේ..
කිතු ගොස නංවයි ආනන්දේ..
මහ රල සේ මහ මුහුදේ...
ආනන්දේ... අභිමානේ..
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. ////
රන් හා රිදී අකුණු සර දෙකක්..















Related Posts Plugin for WordPress, Blogger...