Saturday, December 19, 2015

පහන් සංවේගය! (Light Sympathy) :D

ඉස්සර බස්වල සිග්නල් ලයිට් එක්ක,බ්රේක් ලයිට් එක්ක ඇතුලෙනුත් පත්තුවෙන විදියට ප්‍රේක්ෂක මගී ජනයාගේ පහන් සංවේගය (light sympathy??) වෙනුවෙන් ලයිට් හයිකරලා තිබ්බා. තාම ගමේ ගොඩේ දුවන ලංගම බස්වල මේවා තියෙනවා වරද්දන්නෙ නැතිව.

කොහොම හරි එහෙම කලේ බෝම ඉස්සර.. දැන් කරන්නේ බ්රේක් ලයිට් එක බස් එක ඇතුලේ බෝම ගෞරවයෙන් වඩා හිඳවාපු දේවතා මණ්ඩලේ වටේ රැස් වළල්ලට සින්ක් කරන එක..

සාදු සාදු සාදු!

බ්රේක් ගහද්දි පින්වතුනී දෙයියන්ටත් ඔලුවෙන් නහයෙන් කටෙන් තරු විසිවෙනවා බලන්න හරි ලස්සනයි.. කතරගම විෂ්ණු ධන ලක්ෂ්මී වර්ෂන් එකෙන් ඕනේ නම් ඒකත් තියේ,මරිය මව් ජේසු තුමා වර්ෂන් එක ඕනේ නම් ඒකත් තියේ. කැමති එකකින් වර්ග රැසකින් තෝරාගන්න පුළුවන්. තනිපාට රැස්, දේදුණු පාට රැස්, මොනාද ඕනේ ඕන එකක් ගන්න පුළුවන්..

ඔන්න ඉතින් ඔකෙනුත් පස්සේ අලුත්ම එක අද මං දැක්කා.. කෙලින්ම දේවතා මණ්ඩලේ VIP අප්ග්‍රේඩ් එක. සත්බුදුවරුන්ගේ බ්රේක් ලයිට් රැස් මාලාව.. විපස්සී සිඛී වෙස්සභූ කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම.... බ්රේක් ගහන ගහන වාරෙට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙනවා මිත්‍රවරුනි බ්රේක් ගහද්දි හොම්බ කට කඩලා එලෝ ගියොත් කෙලින්ම යන්නේ නිවන්. 

වැරදිලාවත් මේ නත්තල් කාලේ වත්තල ජා ඇල මීගමුව වෙන්නප්පුව හරහා කොහේ හරි කොළඹ පුත්තලම බස් පාරේ ගියොත් පැය එක හමාරක දෙකක බස් ගමනට පැය තුන හමාරකට වැඩියෙන් යනවාමයි...

ඉතිං බ්රේක් දෙයියන්ට නිවනක් නෑ, මේ ටිකේම...


Friday, December 11, 2015

ඒයි ඒයි මිනිහෝ!

"ඒයි ඒයි මිනිහෝ!"

" තොපි තමයි මේ ඉස්කෝලේ නම කන්නේ.. "


මාව ඇදලා අරං දීපි නැතැයි පිට මැදට..

දඩෝන්....!

වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව මං තුෂ්ණිම්භූත වුණා. පන්තියට කවුරු හරි එනවද බලන්න දොරගාවට ගිහිං, ඇඟත් ඇතුලේ තියාගෙනම හොම්බ දොරෙන් එලියට දාද්දීම මගෙ මූණට අඟලක් ඉස්සරහින් ප්‍රසාද් සර්!

එහෙමම පන්තිය ඇතුලට අඩියක් තියලා මගෙ කණෙන් අල්ලගත්ත ගමන් සිද්ධ වුන සන්තැසිය තමයි ඒ. සිද්ධ වුනේ මොකද්ද හිතාගන්න බැරිව මම ආයේ දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා.
ඒ අපි නවය වසරේ, ඒ කියන්නේ මුවර් ගොඩනැගිල්ලේ ඒ කාලේ හතරවෙනි තට්ටුව.
බිම ඉඳන් පෝලිමට පස් වෙනි තට්ටුවේ මුවර් හෝල් එකට යන ආරාධිත පාසල් කොටු කරවල් ටිකක් මට පෙනුනා.

සිද්ධ වෙලා තියෙන දේ මට තේරුනේ එතකොටයි, සර් හිතලා තියෙන්නේ මං කොටු කරවල් නරඹන්න ඔලුව එලියට දැම්මා කියලයි. ඔය සිද්ධිය කොටු කරවල්, කාසල් වීදිය සහ කොටා රෝඩ් එක මට ඒ කාලේ ඉඳන්ම අපල බව කියන්න හොඳ සාක්කියක් !
සර් උදේම එනවා,

"ආආ..... ඉංග්‍රීසි මා.....ධ්‍යය පා.....න්තිය"

"අතුගෑවද?"

"ආආ.. කුණු අස් කරලා නෑ."

"තොපේ වැඩ බාගේටනේ,

ඉංග්‍රීසි මාධ්‍ය පාන්තිය, හෝදන්නේ නෑ, පිහදානවා විතරයි...."


නවය වසර සහ ප්‍රසාද් සර් කියන්නේ නයි වෛරයක්!
නවය වසරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය සහ ප්‍රසාද් සර් කියන්නේ ජන්මාන්තර වෛරයක්..!!!

හැබැයි නවයෙන් දහයට ගිය තප්පරේ ඉඳන් ප්‍රසාද් සර් කියන්නේ පුදුම හිතවතෙක්, ඕන වැඩකට අපි එක්ක බොක්කෙන්.

ඉතිං, සර් යනවා කියන ආරංචියත් එක්කම මේ ඔක්කොම මට මතක් වුණා.

සර්, අපි තැනකට ගිහිං ඉද්දි, නාඳුනන අයත් ලඟට ඇවිත් කතා කර කර ඉන්න අතරේ, "පුතා ආනන්දෙද" කියලා අහන තැනට අපේ හැසිරීම හැදුවේ, සර්ලා වගේ ඒ කාලේ අපිට යක් වෙසින් පෙනුන ගුරුවරු තමයි.
වැරදි වැටහීමක් නිසා එදා ඒ කාපු ඒ ගුටිය ආනන්දේ ජීවිතේ මම කාපු ගුටි දෙකෙන් එකක් උනත්, ගුටි කන්න බයටම අපි හැදුනු විදිය නම් හරි අපූරුයි.


සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි.



පින්තූර  ගෞරවේ, facebook වෙත  එකතු  කල නම නොදත් ඒ සහෝදරයාට.. 

Related Posts Plugin for WordPress, Blogger...