Showing posts with label සින්දු කතන්දර. Show all posts
Showing posts with label සින්දු කතන්දර. Show all posts

Thursday, September 6, 2018

“සන්තාන සුසුම..”

සරත්චන්ද්‍රගේම “වලේ දී” සරත්චන්ද්‍රගේම මනමේට තමන්ගේම කඩුව අහිමිවෙලා යනවා නම් මේ ඉන්න අපට මොනවා වුනාම මොකද? හැබැයි එහෙම හිතනකොට අපට මග ඇරෙන එක දෙයක් තියෙනවා. මනමේගේ විතරක් නෙවේ, මනමේගේ කඩුව ඩැහැගන්න වැදිරජාගේත් අයිතිය තියෙන්නේ සරත්චන්ද්‍රටමයි. වැදිරජා වගේම මනමේත් රඟන්නේ සරත්චන්ද්‍රගේම වලේ, එහෙම බැලුවොත් අන්තිමට කතාවේ වීරයා මනමේවත් වැදිරජාවත් නෙවේ, සරත්චන්ද්‍ර.
අපි රඟන මේ වේදිකාව අනුන්ගේ වේදිකාවක්. උඩ ඉන්න එකාට අයිති මේ වේදිකාවේ අපි නළුවෝ විතරයි, ශේක්ස්පියර් කිව්වේ එහෙම. අනුන් හදපු වේදිකාවකදී පාර්ශවයක් ජයග්‍රාහී වීරයෝ වෙන අතරේ, පාර්ශවයක් දුෂ්ටයෝ හෝ පරාජිත විරහවන්තයන් වීම ලෝකයේ ඕනෑම කියූ-නොකියූ ආදර කතාවක ගතයුත්තක් ඉතුරුවෙන එකම සාරාංශය වෙන්න පුළුවන්. බොහොමයක් එහෙම කතාවල වටිනාකමක් ඉතුරු වෙන්නේ ඒ කතාවේ හිටපු චරිත ටිකට විතරයි. එතනින් එහාට, ගොඩක් දෙනාට තමන්ගේ කරගන්න පුළුවන් කතාන්දර අඩුයි. “සන්තාන සුසුම” අපට හම්බෙන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ කරගන්න පුළුවන් කතාවක් විදියට..
කවුරු හරි කෙනෙක් මල් වීදි අතරේ හැංගිලා ගිය තමන්ගේ හාදු තාම තියෙනවාද කියලා ආයේ හොයන දවසක, ඒ හාදුවලට හෙවන දුන්න තුරුහිස් තව අඟල්-අඩි ගණනින් උස්වෙලා ගිහින් කියලා දකින්න ලැබේවි. සමහරවිට ඒ මල් වීදි අතරේ හුළඟට ගහගෙන ගිය හාදු තවමත් ඇති, ඒ වුනත් සමහර වටිනාම හාදු හුළගේ ගිය පාරවල්වල අපි ආපහු සැරිසරන්න යන්නේ නෑ. එහෙම නොයන්න හේතුව විදියට අපි ගොඩක් වෙලාවට කියන්නේ “ආයේ ඒ පැත්තේ යන්න හයියක් නෑ ” වගේ බොරු රෝමාන්තික හේතු, ඒත් ඇත්ත හේතුව ඒක නෙවෙයි. ඒ ඒ තැන්වල අපි හදලා එන්නේ දේවාල, ඒ තමා පරාජිත ප්‍රේම කතාවල නමින් අපි ඒ ඒ තැන්වල හදලා ආපු දේවාල. ඒ තැන්වලට ආයේ නොයා ඉඳීමෙන් අපි කරන්නේ ඒ දේවාලවලට දෙන්න පුළුවන් ඉහලම වටිනාකම ලැබෙන පූජාවක් සිද්ධ කරන එක. ආපහු එක දවසක් ඒ ඉසව්වක ඇවිදලා එන්න ගියෝතින්, ඒ හදලා ආපු දේවාල පොඩිපට්ටම් කරලා එන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අපි ඒකට බයයි, සමහරවිට වැල්පාලම හෙලවිලා අපිව තිගස්සලා බලන්නේ අපි ඒකට තාම බයද කියලා වෙන්න පුළුවන්.
හෙට උඹ, මම, අපි කවුරු උන්නත් නොඋන්නත් අහසේ නැගෙනහිර පැත්තෙන් මේ ලෝකෙට ඉර පායනවා. එතනින් එහාට, අපි ආගිය තැන්වල ගංගා ගලනවද, මල් පිපෙනවද කියන්නේ අවශේෂ කාරනා විතරයි. හෙට හමන හුළඟ සන්තාපයේ සුසුමක් ද, නැත්තම් තෘප්තකර මද පවනක් වෙනවද කියන එක අපි එකාගෙන් එකාට වෙනස් වෙන කාරනා. හැබැයි ඔය සම්පූර්ණ පින්තූරේ ඇතුලේ අහුවෙන අපි කාටත් පොදු වෙච්ච පුංචි පුංචි අංශුමාත්‍රීය තැන් ටිකක් අරගෙන නුවන් ලියනගේ කියලා කෙනෙක් අතින් හරි අපූරුවට ලියවුන ගීතයක්, “සන්තාන සුසුම්” අහල බලන්න.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හමුවා

මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ළගදි මනමේ හැඩුවා

ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා


පද රචනය නුවන් ජූඩ් ලියනගේ

https://www.youtube.com/watch?v=JKKMiNL46s4

Sunday, October 11, 2015

නොනැගිටිමි


සුපෙම් හැඟුම්-ඔබෙන් එපා.. මිතුරු දම් විනා, නෞකාවකි ඔබ මෑත සමුදුරේ..කොල්ලෝ කෙල්ලෝ ගැන, ආදරේ ගැන මිනිස්සු ඕන තරම් සින්දු,කවි,කතන්දර ලියලා ඇති. මිනිස්සු ඒවා ආදරෙන් වැළඳගෙන ඇති, පරම්පරාවෙන් පරම්පරාවට, අවුරුදු සිය ගණනක් යනකන් ඒ කතන්දර අහන්න,විඳින්න වගේම සමහරවිට තමන්ගේම අත්දැකීම් කරගන්න ඇති.
රෝමියෝ-ජුලියට් ඔය තරන්ම මිනිස්සු වැළඳ ගත්තා කියලා ඒ දෙන්නා ආපිට ජීවතුන් අතරට ආවේ නෑ. ධම්මික බණ්ඩාර තමන් ඉස්කෝලේදී දැක්ක, කොල්ලා කෙල්ලට බත් කවන දර්ශනය, පස්සේ කාලෙක ඒ කොලුවා තනියම හම්බුන වෙලාවක අහලා දැනගත්ත කතාව උඩ ලියවුන හන්තානට පායන සඳඋන් දෙන්නමත් රස විඳින්න ඇති. හැබැයි ආයෙමත් කවදාවත් එකතු නොවෙන්න ඇති.
ඒ ඒ නිර්මාණ මිනිස්සු කොයි තරම් තදින් අල්ලා ගත්තත්, ඒවා ඇතුලේ උන්න මිනිස්සු තව දුරටත් ඒවා ජීවිතේ කරගන්න නැතිව ඇති. මොනවද මනුස්සයෝ උඹ තවත් පරණ දේවල් ගැන ලියන්නේ?” “ඇයි බුද්ධි ඔයා තාමත් මේ??” යාළුවො,දන්න-නොදන්න මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙටත් මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. තාමත් පරණ සිද්ධි මතක් කර කර මම හිනා වෙනවා, අඬන්නේ නැතත් කඳුළු එනවා.. ඒවා මාත් එක්කම කම්පනය වෙන්න පුළුවන් කීප දෙනෙක් එක්ක අකුරුවලින් බෙදාගන්නවා..
එතනින් එහාට ඒ මගේ ජීවිතේ නෙවෙයි, මගේ වර්තමානය හෝ අනාගතය නෙවෙයි. කට කොනක හිනාවකට හරි කඳුලකට හරි හේතු වෙන පුංචි අතීතකාමයක් විතරයි.
ලියල ඇති කවි කෑලි ඕනේ තරම්, කෑලි එල්ලෙන කහ ගැහුණු සටහන් පොත් තාම මගේ ගාව, ලයිබ්‍රරියේ ඉඳන් එවෙලෙට හිතෙන දේ කුරුටු ගාපු කොළ කෑල්ලේ ඉඳන්, ෆෝමැට් වෙලා එක රොත්තට නැති වෙලා ගිය අකුරු කෑලි තිබ්බ වැඩකට නැති හාඩ් ඩිස්ක් කෑල්ලේ ඉඳන්, දාන්න පුළුවන් කියලා හිතුන වෙලාවට බුකියට,බ්ලොග් එකට අත ඇරපු කුරුටු, ඔය ඔක්කොම තාම මන් ගාව,එකක් වත් විසි කරන්න අවශ්යව වෙලා නෑ.
මට ලියන ඒවා මට විතරක් පෙන්නන්නකියපු කාලෙන් පස්සේ, ලියපුවා කිසිම එකෙක්ට නොපෙන්නා ඩෙස්ක්ටොප් එකේම තනි එක ෆෝල්ඩරයක් ඇතුලට රිංගවලා දාන කාලයක් වෙලා තිබුනේ පහු ගිය මාස ගානම.. සමහර විට ඒක ඉවර වෙයි, සමහරවිට ඉවර නොවෙයි. දිගටම ඒ ෆෝල්ඩරේ පිරෙයි.
සමහර විට දවසක මමත්, කඩේක කොල්ලට ආදරෙන් බත් කවන කෙල්ලෙක් දැකලා ලඟට ගිහින් ඔයාල දෙන්නා දැක්කම මට මගේ ඉස්සර කාලේ මතක් උනාකියලා කියයි. උන් දෙන්නත් මේ මොකද වුනේ කියලා එවෙලාවට ඇඹරුනත්, පස්සේ කාලෙක මම වගේ ගොඩක් දේ තේරුම් ගනියි.
හැමදාම ඉර පායයි, ලෝකේ හරි රවුම් නැතත්, සිද්ධ වෙන හැම දේම හරි රවුම් කියලා එකෙක් දෙන්නෙක් හරි තේරුම් ගනියි.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
.......කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........


Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..

Thursday, June 11, 2015

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

තෝරක් නැතිව කඩිගුල වගේ ඇවිස්සුන මිනිස්සු එකිනෙකාගේ හැප්පී හැප්පී වේගෙන් ඇවිදින බස් නැවතුමක් මැද මම බංකුවකට බරවෙලා. සෙරෙප්පුවට පෑගිලා කකුල් අගින් නූල් ඇදුන ඩෙනිම, එක බොත්තමක් උනාපු අත් නමාපු කමිසේ ඇඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන, මම ඔරලෝසුවට එබෙනවා.. ඔහේ ගැලවුන සෙරෙප්පුවක්, කිසිම අවධානයක් නොලබා ලඟින් යන්නවුන්ගේ පය පැකිලෙද්දී මම ඉගිලෙන්නේ වෙනම කල්පනා ලෝකෙක.. මගේ වගේම කන් දෙකෙන් බේරෙන දිග කොන්ඩ තියෙන පාසල් කාලයේ මිත්‍රයෝ, මට අත වන වනා යනවා... 


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඈතින් මතු වෙනවා පෙනේද්දීම, මම නැගිටිනවා. දවසකට පස්සේ මුණ ගැහුනත්, මාසෙකට පස්සේ මුණ ගැහුනත්, මම අත කිටි කිටියේ මිරිකන විදියේ වෙනසක් නැහැ."ඌයි, ඒක රිදුණා" සමහර දාට, මගේ හරස්පද ප්‍රහේලිකාවට එහෙම කිය-වෙනවා..

"මග එනකොට සින්දුවක් ඇහුණා, මට බය හිතුනා.. "
"මොකද්ද සින්දුව දරුවෝ?"

 එහෙම අහගෙන මම කුතුහලයෙන් ඒ පුංචි ඇස්දෙකට එබෙනවා. නිදිමත ඇස්දෙකක්, එයා නම් කියන්නේ එහෙමයි. හැබැයි ඒ ඇස්දෙකේ නිදාගෙන උන්න අහිංසකියෙක්, මං ඒ කාලේ බොහොම පරිස්සමින් රැකගත්තා.

"මේ නගරය" එහෙම කියමින් ඇය මුහුණ පුළුටු කර ගන්නවා.
"ඒ සින්දුවේ එහෙම කිව්වට,එහෙම වෙන්නේ නෑ", මම අසීමිත විශ්වාසයකින් තෙපලනවා.

තමන්ගේ කරගන්න ආත්මාර්ථයට එහා, හිත ගිය තැන මාලිගා හදනවාට වඩා,හිත ගිය තැන-ට හිත ගිය මාලිගාව හදාගන්න පිටිපස්සෙන් අත දෙන්න හිතෙන, ඈ සෝපාහාසාත්මකව හඳුන්වන "බෝධිසත්ත්ව" මානසිකත්වය, අදටත් මම අදහනවා. 


වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඩෙනිමට,සෙරෙප්පු දෙකට සමු දීලා, කොටට කාපාපු කොණ්ඩය පැත්තකට පීරාගෙන, ජීවිතේ  රූපී විරූපී හැම මතකයක්ම පිරුණ මේ නගරයේ,අද මගේ දෙකකුල් සපත්තු දෙකකින් බර වෙලා.

 වැව් ඉස්මත්තේ ඉඳන් කියපු කියුම්, ලියපු ලියමන්,ගංගාරාමය අද්දරින් කාර්යාලීය රථයකින් යද්දී, මගේ මතක බර කරනවා. මහ පාන්දර පෝස්ටර් අලවන්න, පාසලේ මහ රෑ ගත කරන දාක මහ පාන්දර ඇවිදින්න එලියට බැහැලා ඇවිදපු පාරවල්,කවුළුවේන් පිටත හදිසියේම එලිය බලද්දී පෙනෙනකොට, ඉස්සර වේගයෙන් ඔලුව වනද්දී හතර අතේ විසි වෙන කෙස්ස මගේ ඔලුව උඩ නැති අඩුව තදටම දැනෙනවා. ඩෑෂ් බෝඩ් එකට උඩින් ගහපු PRESS කියන අකුරු පහ වින්ඩ්ස්ක්රීන් එකෙන් පරාවර්තනය වෙලා දකිනකොට, කට කොනකින් හිනාවක් එක්ක මේ නගරයට අලුත් වටිනාකම් පොදියක් ඇවිත් නේද කියලා, මම කල්පනා කරනවා. මේ නගරයේ මං ගත කරන, තවත් සුන්දර තාවකාලික නවාතැන් පොලක්, මම ඒ අකුරු පහ අතරෙ විඳිනවා. 

නිදහස් චතුරශ්‍ර තණ නිල්ලේ දිය මල්, අපි නැතුවත් අදත් පණලනවා. ඒ තණ ගොල්ලට වෙලා, මම දවසකට පිටු දෙක ගානේ පණ පොවන, ආදර කතාවක් නොවන නවකතා අත්පිටපතතේ හැංගිලා ඉන්න අතරෙ , බිම වැටුණ දම් පාට මල් උඩ වාඩිවුණ පෙම්වතියන් දිහාට කැමරා මානන කොල්ලෝ දිහා, මං වෙලාවකට බලන් ඉන්නවා. මගේ අතේ හොම්බ දිග කැමරාවක් තියෙන වග දකින ඒ සමහරු අතින්, උන්ගේ කැමරා මට බාර වෙනවා. දම්පාට මල් ඉහිරුණ තණ ගොල්ල උඩ ඉඳගෙන කවුරු මගේ කැමරාවට මුහුණ දුන්නත්, කම්මුල් දෙකේ දෑත් තියාගෙන බිම ඉඳගෙන හිනාවෙන මගේ මල් ගීය, මගේ ඉදිරියේ තාමත් ඉන්නවා.

පලවෙනි සැමරුම දා අපි උන්න ඇහැළ ගහ, එදායින් පස්සේ විහිළුවටවත් එතනට පිටදෙන්න නොගිය මං දිහා බලාගෙන, රතුපාට මල් බිම විසුරවනවා. තුන් වෙනි සැමරුම දාත්, අපි එනකං බලන් ඉන්න ඇතී.



ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

එදා ඒ දෙබස දා විහිළුවටවත් බය නොහිතුන මට, මේ වචන ටික ඇහෙන මොහොතක් ගානේ හිත කීරි ගැහෙනවා. ජීවිතේ සීයට තිහක් මේ නගරය මැද ගෙවුනත්, ආවට වැඩිය දුර ඉදිරි ජීවිතේ මේ නගරය මැද ගෙවන්න එපා කියලා, මේ නගරය මට අත වනනවා..

මතකයන් සමගම සියදිවි නසාගත් ඈ එතෙර ඉගිලුණු සැටියෙන්ම, මේ නගරය හැරදා මුහුදෙන් එහා ඉගිලෙන්න,වෙලාවකට මම කල්පනා කරනවා.

Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ
Related Posts Plugin for WordPress, Blogger...