Sunday, March 16, 2014

...නිහඬ කල්පනා...



හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි?

අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ

දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේ
වෙන්වමු ඉතිං හමුවන සිතින්
අපි ආයේ දවසක.... අද වගේ..


   අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා.

   එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..




අදින් පසු ඔබ
ඔබට හිමි මග
ඉතින් මට
උරුම තනි මග
ආයෙමත් හමු වන තුරා
දෙතැන ඉමු අපි මග බලා...


තුටින් හමු වුන
සුහදබව අපි
අරං යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ..


  මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..
මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..
ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද?

   මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා..

   හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.
අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.

හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එලියෙන් නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..


සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙන් නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එළියෙන් ලොව බබලන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

Related Posts Plugin for WordPress, Blogger...