Tuesday, May 7, 2019

මොටෝසයිකල් දිනපොත 04 - චරිත තුනක්

එලිවන ජාමයේ රත්නපුරයේ සිට මීළඟ නැවතුම ලෙස නම් කල පඹහින්න දක්වා මොටෝසයිකල් බඩියන් දෙදෙනාව ලීඩ්කරේ පඹහින්න හන්දියේ ඇති රසම රස රෑ කෑම කඩයක් ගැන උන් දෙදෙනාට දහසක් බලාපොරොත්තු දෙන අතරේ ය. ‘බක්කා’ ගේ අමුත්තෙකු ලෙස සබරගමුවේ ගත කල දිනවලදී පාන්දර එකට, දෙකට, නොඑසේ නම් හතරට වුව ද, හඳෙන් පෘථිවියට බැස සාක්කුවේ දෑත් ඔබා අමු හීතලේ වෙවුල වෙවුලා පඹහින්න හන්දියට ගාටමින් පැමිණ උණු උණුවේ ප්ලේන්ටියක් ගසන්නට ඒ තේ කඩය කදිම වූ බව මට මතක ය. මෙදින ද තවමත් අවදියෙන් යුතුව බක්කා නේවාසිකාරයේ ඉන්නා බව ද සැකහැර දැනගෙන, අප පඹහින්න හන්දියට පැමිණෙන විට අවාසනාවේ මහිමයට ඒ තේ කඩය වසා දමා තිබිණ. වේලාව යාන්තම් පාන්දර තුන පසු වූවා පමණ වුව ද ඒ වන විට මොටෝසයිකල් ගමන්වලටම ආවේනික අති විශේෂ පොඩි බඩගින්න අපට දැනෙමින් පැවතිණ.
බඩේ ගින්න විසඳීම මොහොතකට කල් දමා, මගේ මොටෝසයිකලයට උදාවන දිනය තුල අධික දස වදයක් ලබා දීමට නියමිතව තිබූ නිසා මීළඟට මා හැරවූයේ පඹහින්න හන්දියේම පිහිටා ඇති ඉන්ධනහල වෙත ය. අයිස් තොප්පියක් කණ් දෙක මෙන්ම ඇස් දෙකද වැහෙන සේ පහලට ඇද ප්ලාස්ටික් පුටුවකට බර වී නිදි කිරමින් සිටි මැදිවිය ද ඉක්මවා තිබූ ඉන්ධනහලේ සේවකයාව මම නින්දෙන් අවදි කලෙමි.
“මාමා…! මෝනින්!” මගේ හිස් ආවරනය ගලවන අතරේ කට පුරා හිනා වීගෙන මා කියූ විට හෙතෙම අයිස් තොප්පිය ඉහලට ඇද අත්ලෙන් මුහුණ පිස දමමින් මා දෙස බැලීය. ගමේ මිනිසුන්ට අංකල් කීමට වඩා මාමා කියා ඇමතීම වඩාත් හෘදයාංගම ය. ඇතැම් අවස්ථාවකදී ගමේ බාසාවෙන් අංකල් යනු ‘මහල්ලා’ යන්නට පර්යාය පදයකි. එම නිසා ඕනෑම තැනකදී මාමා කියා ඇමතීම හැම අතින්ම ඇඟට ගුණ ය.
“ලූස් එන්ජින් ඔයිල් තියෙනව ද?” මම ඇසීමි.
“….ම්ම් මොනවට වගේ ද පුතා?” හෙතෙම තවමත් බාගෙට නින්දේ ය.
“පොඩි ප්‍රමාණයක් ගන්නයි ඕනෙ, මේ චේන් එකට දාගන්න” මම කීවෙමි.
ඔහු කාලේ බෝතලයක් ගෙන එන්ජින් ඔයිල් කුඩා ප්‍රමාණයක් මනින්නේ නැතිවම බෝතලයට දමා මට දුන්නේ ය. තෙල් ටික මට ඉහටත් උඩින් ප්‍රමාණවත් ය. මම ඉන්ධනහලේ කෙළවරකට ගොස් බිම වාඩි වී ඔයිල් දමා ඩ්‍රයිව් බෙල්ටය සීරුමාරු කළෙමි. ඩබල් දමා යකාගේ පඩිපෙළ කඳු පන්තිය ඕෆ් රෝඩ් තරණ කිරීමේ වික්‍රමය වෙනුවෙන් මොටෝසයිකල් කෙල්ල සූදානම් බව මට දැන් විශ්වාස ය.
“කීයද මාමා ගාණ?” මම ඇසුවෙමි.
“චැහ්! සල්ලි ඕන් නෑ පුතා..!”
මම ඔහුට ස්තුති කළෙමි.
පඹහින්නේ සිට කළුපහන හන්දිය දක්වා ඇත්තේ සුළු දුරකි. කළුපහන හංදියෙන් ප්‍රධාන මාර්ගයට සමු දුන් පසු එතැන් පටන් ඇත්තේ වාහනයක් කිට්ටු කළ නොහැකි දුර්ග මාර්ගයක් ඔස්සේ ඇති ගමනකි. ගමනේ ඒ අදියර ඇරඹීමට නම් උදෑසන පළමු හිරුකිරණ දකින තුරුවත් අප ඉවසිය යුතු ය. මීළඟ කිලෝමීටර දෙක-තුන ඇතුලත හමු වූ පළමු රෑ කඩය අල්ලා මොටෝසයිකල දෙක නවත්වා දැමුවේ බඩගින්න නිවන්නට වාගේම ඉර උදාවනතුරු කාලය ගෙවා දැමීමට ය.තේ කඩයට එහා පැත්තේ නොනවත්වා වතුර ගලාගෙන එන එස්ලෝන් පයිප්පයකි. එහි අනෙක් කෙළවර කොහේ හෝ දිය උල්පතකට සම්බන්ධ බව අපට පෙනී ගියේ ය. ප්‍රියමනාප, මැදිවිය ඉක්මවූ පුද්ගලයෙකු විසින් තනිවම පවත්වාගෙන ගිය ඒ තේ කඩයේ වැදගත් යමකට ඉතිරිව තිබුණේ බිත්තර කොත්තු, ප්ලේන්ටී සහ සිගරැට් පමණ ය. ෆුල් බිත්තර කොත්තු දෙකක් සූදානම් වන අතරේ අපි ඉඟුරු දැමූ උණු උණු ප්ලේන්ටී තුනක් සප්පායම් වෙමින් ගිනියම් දුම්කොල දුමෙන් පෙනහැළි පුරවන්නට වූයෙමු. ඒ අතරේ අත්පොලසන් නාද සහ තොර තෝංචියක් නැති කෑ කොස්සන් ගැසීම්වලින් පිරීගිය පාසල් සිසුන් ගමන් ගත් ලේලන්ඩ් බස් රථයක් විදුලි වේගයෙන් අප පසු කර ගොස් එක වරම බ්‍රේක් ගැසී ය. එයින් බැස දිවගෙන ආ රියදුරු සහයක තැන අප සිටි කඩයේ මුදලාලිට කතා කලේ ය.
“මුදලාලි..! පණහකට තේ ගන්න පුලුවන් ද?”
“මහත්තයා.. වහන්ඩ යන්නෙ මහත්තයෝ…”
“එහෙමද….?”
“ඔහොමම තව ඉස්සරහට යන්ඩ කිලෝමීටරයක්. තැනක් තියෙනවා..”
රියදුරු සහයක තැන ආපු වේගයෙන්ම නැවත බස් රථයට දිව ගියේ ය. මුදලාලි අප හා සිනාසුනේ ය.
“ඔය කිව්වට තව සෑහෙන දුරක් යනකන් තැනක් නෑ මේ වෙලාවෙ. ඔච්චර ගොඩකට තනියම තේ දෙන්ඩ බෑ මහත්තයෝ..” ඔහු අප දෙස බලමින් කීවේ ය.
“මේකනේ.. කට්ටිය තේ කෝප්ප අරගෙන බස් එකටත් යනවා, ඊට පස්සෙ ඒවා ආයේ එන්නෙ නෑ. පාඩුයිනේ එතකොට…” ඔහු අප හා ඇත්තම කීවේ ය.
මාත් මගේ සගයාත් මුහුණෙන් මුහුණ බලාගතිමු. “මූ නම් එල ඩයල් එකක් බං” යන්න වචනයෙන් නොකියා සිටිය ද ඒ අර්ථය නොඅඩුවම අප දෙදෙනා හුවමාරු කරගත් බැල්මේ ගැබ් වී තිබිණ. මෙතෙක් වේලා මිටි ප්ලාස්ටික් මේසයක් වටා ප්ලාස්ටික් පුටුවලට බර වී සිටි අප, වාඩි වී උන් තැන්වලින් නැගිට කඩය තුලට ගොස් අප වෙනුවෙන් සෑදෙමින් තිබූ කොත්තුව රත්වන තැටිය වටා වට වී මුදලාලි හා කයිවාරුවට වැටුනේ ඉන් පසුව ය.
“පුතාලා කැම්පස් ද?” කතාවේ අතරමැද ඔහු අපෙන් ඇසුවේ ය. මගේ සගයා ඒවන විට ජ’පුර වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකි. මම ඔහුව හඳුන්වා දුන්නෙමි.
“මෙහෙ සබරගමුවේ ළමයි 54 දෙනෙක් පන්ති තහනම් කරලා… ගෑණු ළමයිම 40ක්.. අනේ නිතරම මෙහෙට එන ළමයි” ඔහු ශෝකයෙන් කීවේ ය. සතියේ ප්‍රවෘත්ති ආයාසයකින් තොරව නිවැරදිවම මතක හිටින මට ඔහු කියූ ගණන් හිලව් තිතටම හරි බව එකිනෙහිම වැටහී ගියේ ය. මෑතභාගයේ ඇරඹූ සරසවියක් වුව ද එය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය තුලට කිඳා බැස ඇති අපූරුව පුදුම සහගතය. කෙටියෙන්ම, ආසන්න ගම්පළාත් සියල්ලන්ගේම ආර්ථිකය ඒ හා බැඳී ඇති වග මේ ප්‍රදේශයේ කිහිප දිනක් ගත කළ මට තේරුම් ගොස් තිබූ කාරණයකි.
මුදලාලි අපගේ ගමන ගැන විමසා සිටියේ ය. මෙවැනි ගමනකදී පිළිතුරු දෙන්නට අපහසුම ප්‍රශ්න උදා වන්නේ අතරමගදී හමුවන මිනිසුන් අප ගැන අසන ප්‍රශ්නවලට වඩා ගමන ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ගිය විට ය. අප හා මුවින් සිනාවුව ද, කරුණු වසන් කරමි අප ලබා දෙන අර්ධ සත්‍ය උත්තරවලින් පවා අපට කොයි තරම් පිස්සුදැයි ඔවුන් සිතන බව අප දැන සිටියෙමු. ‘රෑ ගමන් යන්නේ ඇයි, යාලුවෙක්ගෙ ගෙදර හරි හෝටලේක හරි ද ගිහින් ඉන්නේ, බයික්වල යන්නේ ඇයි, අමාරු නැද්ද, වෙන වාහනේක යන්න තිබුණනේ, තනියම යන්නෙ ඇයි තව යාලුවෝ එක්ක යන්න තිබුණනේ, ඒ කොහෙද යන තැන අපි අහලා නෑනේ’ ආදී වශයෙන්වන මේ ප්‍රශ්නවල නිමක් නැත. කොටින්ම යන තැනක් ද, නැවත එන දිනයක් ද තබා ඉන්නේ කොහේදවත් තීරණයක් නැතිව යන මේ ගමන්ගැන වගතුග හා අපේ අරමුණූ ගැන ආගන්තුකයන්ට තබා අපේ ළඟම මිතුරන්ට පවා පැහැදිලි කිරීම කෙතරම් අපහසුදැයි දන්නේ අප දෙතුන් දෙනා ය.
“අපි යන්නේ බඹරකන්ද ඇල්ල බලන්න. බලලා එහෙමම නුවර එලියට යනවා.”
ඒ වෙලාවේ ළඟම ඇති සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානයක නමක් ගලපා අඩක් සත්‍ය පිලිතුරක් ගැට ගසා ගැනීම අපට දැන් හුරු පුරුදු ය.
“මම උපන්දා ඉඳන් අවුරුදු හැටක් වෙනවා මේ ගමේ… මම තවම ගිහින් නෑ බඹරකන්ද ඇල්ල බලන්ඩ” ඔහු කීවේ ය. රටේ උසම දිය ඇල්ලට මිනිත්තු විස්සක දුරින් කුඩා ව්‍යාපාරයක් කරමින් දිවි ගැට ගසා ගන්නා ඔහු අපට ලබා දුන් ඒ පිලිතුරෙන් අප එතරම් පුදුම වූ බවක් මට කිව නොහැකි ය. ළඟ ඇති දේ ගැන අගයක් නැති වීමේ දුර්වලතාව මම ද ඉතා ආයාසයකින් යුතුව දුරු කර ගැනීමට උත්සාහ ගන්නා ගතිගුණයකි.
උණු උණුවේ මේසයට ආ ප්‍රණීත බිත්තර කොත්තු සප්පායම් වී, ඉර උදාවෙන තුරු කල් මැරීමට තිදෙනා කෝපි කෝප්ප හයක් ද තොල ගාමින් හිඳ, යාන්තම් ඉර පායාගෙන එන විටම කළුපහන හන්දියෙන් හැරී බඹරකන්ද ඇල්ල පසු කරමින් අප යක්ෂයාගේ පඩිපෙල තරණය කිරීම ඇරඹුවෙමු.
යක්ෂයාගේ පඩිපෙල ඔස්සේ පැය හතරකට ආසන්න කාලයක් ගත කරමින් ගෙවා දැමූ කිලෝමීටර 24ක ගමන ගැන වෙනමම ලියා තැබිය යුත්තකි. විටෙක දණක් ගැඹුරු දිය පහරවල් ඔස්සේ ද, ගල් කුට්ටි මතින් මොටෝසයිකලය පන්නමින් කඳු වැටියෙන් කඳු වැටියට මාරු වෙමින් ගමන් ගත යුතු එම මාර්ගයට ‘යකාගේ පඩිපෙල’ යන්නට වඩා ගැලපෙන වෙනත් නමක් සිතා ගැනීමට අපහසු ය.
කෙසේ හෝ උදෑසන දහය පමණ වන විට ඔහිය වෙත ළඟා වූයෙමු. යකාගේ පඩිපෙල ගමනෙන් යකෙක් කන්න බඩගිනි වූ අපි ඔහිය දුම්රියපළ අසල වූ රොටී කඩයක් වෙතට පැමිණියෙමු. විඩාවෙන් ද කුසගින්නෙන් ද පීඩිත වූව ද රුධිරයේ ඇඩ්‍රනලින් මට්ටම් ඉහලින්ම පැවති සාර්ථක වික්‍රමාන්විත ගමනකින් පසුව අප තවමත් උද්‍යෝගී ය. නමුත් ඔහිය අවටින් උදෑසන ආහාරය ලබාගෙන කෙටි නින්දක් සැලසුම් කලේ, පෙරදා සවස පටන් මොටෝසයිකල පැද ආ දුරටත් වඩා දුරක් ගමන් ගැනීමට අපට නියමිත නිසා ය.
මගේ ගමන් සගයා අපව රොටි කඩය වෙත ගෙන ගියේ කලින්ම අපට අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසුව ය.
“ඒ කඩේ රොටි බං… පට්ට…! හැබැයි කඩේ එකාගේ ලොකු සීන්” හෙතෙම කීයේ ය.
කඩයේ මේස හා පුටු පෙරදා වැහි කෝඩයෙන් තවමත් තෙත බරිත ය. එක කිසිසේත්ම නොසලකා අතට හසු වූ පුටු ඒ මේ අතින් එක ළඟට ඇදගනිමින් ඒවාට බර වූයෙමු. මගේ මිත්‍රයාගේ රොටී ඇනවුමෙන් පසුව අප තිදෙනාට රොටී හයක් මේසය මතට පැමිණියේ ලුණු මිරිස් ද සමග ය. කඩේ හිමිකරු විශේෂ හිතවත්කමක් හෝ සිනහවක් නොපෙන්වූව ද, මගේ සගයා කියූ තරමේ අප්‍රසන්න හැඟීම් දනවන බවක් ඔහු කෙරේ තිබුණේ නැත. බ්ලෙන්ඩරයේ අඹරා සකසා තිබූ ලුණු මිරිස පංකාදු ය. එය රොටියේ රස පදමට අපූරුවට පෑහුනේ ය. මේසයට පැමිණි රොටී හය විනාඩි දෙකක් තුල වාශ්පවන විට මම වටපිට බැලීමි.
“තව ගෙනෙයි ද මචං” මම සගයාගෙන් ඇසීමි.
“මෙහෙ එහෙම තමයි බං…” ඔහු දිග කතාවකට අර ඇඳී ය.
“දවසක් පාන්දර හතරට පහට විතර අපි පස් දෙනෙක් මේ කඩේට ඇවිල්ල කඩේ රොටි ඔක්කොම කෑවා. මූ අපට බැන්නා කියහංකෝ..”
“බැන්නා?” මම අවිශ්වාසයෙන් යුතුව ඇසීමි.
“බැන්නා බං, ඔයාලා ඔක්කොම කෑවම අනික් මිනිස්සුන්ට අපි මොනවද දෙන්නෙ කියල අපෙන් ඇහුවා”
රොටී ටික කාට විකිණුව ද ලැබෙන ලාබය එකම වග සැබෑ ය. නමුත් මීලඟ පාරිභෝගිකයන්ගේ ද බඩ පුරවන්නට ඕනෑ බව ද ඇත්ත ය. අනෙක් අතට පස් දෙනෙකු කඩේ රොටී සියල්ල ගිල දැමූව ද එකෙකුගේවත් බඩ පිරේ ද මට සැක ය. තවමත් ශෝකේසයේ ඇති රොටී කන්ද දෙස හොරැහින් බලමින් මම ප්ලේන්ටි ඕඩර් කලෙමි. මගේ සගයා සිගරැට්ටු ඉල්ලුවේ ය.
“සිගරැට් නෑ” කඩේ හිමිකරු කීය.
“සිගරැට් නෑ, සිගරැට් ගන්නත් එපා, සිගරැට් බොන්නත් එපා, අරගෙන යන්නත් එපා”
ඔහු කීවේ ය.
එකිනෙකාගේ මුහුණු දෙස බලාගත් අපි, සිනාසීම පසුවට කල් තබා ඔහිය දුම්රියපළෙහි විවේකාගාරය වෙත කකුල් එසවූවෙමු.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-

5 comments:

  1. මේ ඊයෙ පෙරේද අපි ගිය කතාව තාම ලියනව. වීඩියෝ එක නම් බාගයක් විතර ඉවරයි පට්ටම ආතල් ගමනක්. අපි යද්දි වැස්ස නැති නිසාද එහෙම නැත්තම් මීටත් අමාරු පාරවල් වල ගියපු නිසාද මන්ද මටනම් ඒ පාර එච්චර අමාරුවක් නෑ

    වීඩියෝ එක වෙනම එල්ලන්නම් එපා වගේනම් මකල දාපන්.

    ReplyDelete
    Replies
    1. අවංකවම ඩෙවිල්ස් ස්ටෙයාවලට වඩා අමාරු රූට් එකක් සෙට් වෙලාම නෑ.. මම ගියේ තව එකෙක් පිටිපස්සෙ දාගෙන, කිලෝ දහයක විතර පොඩි ලගේජ් එකක් එක්ක (ඒකෙන් කිලෝ හයක්ම කැමරා)

      Delete
  2. https://www.youtube.com/playlist?list=PLmV2EvQzgiLgmDDC_2oYNVSDxDrBM8Tyz

    ReplyDelete
  3. ලංකාවට දුවගෙන ඇවිත් ආයේ රස්තියාදු ගහන්න හිතෙනවා බං මෙව්වා කියවද්දී...

    ReplyDelete
  4. සුපිරි ගමනක්...

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...