Thursday, July 16, 2015

බොරැල්ල කනත්තේ නිහඬ කතා - කනත්ත හරහා නිහඬව ගමන් කල සිව් හෝරාවක්

සියල්ලෝ මිය යති. අති බහුතරය මළවුන් සේ මිහි වැළඳ ගද්දී ඇතැම්හු දිවි ඇත්තන් සේ තව තවත් සජීවින්ගේ හද වැළඳ ගනිති. එකී හදවත්වල උරුමක්කරුවෝ තම හද රැඳී ඡායාවන්ගෙන් අකුරු සිත්තම් ගොතා සදා නොමැකෙන සේ මං පෙත්වල සනිටුහන් කරති. මේ එකී කතාවල අංශුමාත්‍රයක් හෙවත්, බොරැල්ල කනත්ත හරහා ඇදී ගිය වෙනස් ආරක නෙතක ගැටුන වෙනස් ආරක කතාවයි. 


පුරා දෙවසරකට වැඩි කාලයක් නොපළ ලිපි ගොන්න අතරේ පැවති මේ නිම නොකළ සටහන සහ සේයා රූ මා පාසලින් ඉවත් වූ කාලයේම වාගේ ජංගම දුරකතනයකින් සටහන් කර ගන්නා ලදව ඒවා එකිනෙක අමුණමින් ගොඩ නැගීමට උත්සහ කල සර්වත්‍ර කතාන්දරයක කුඩා සටහනකි. 

කතාන්දරය ලියා තබන්නට ආරම්බ කල මොහොතේ උඩගත කල සේයා රූ කිහිපය හැරෙන්නට, 50ක් පමණ වූ සේයා රූවලින් අන් කිසිවක් මේ ලිපිය පල වන අද දිනය වන විට මා සතුව නොමැති වීම කණගාටුවට කරුණකි.



අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුන පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට

දහදිය දියවුනේ නෑ මාලිගාවල
කඳුලැලි වැටුනේ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැලෑවල
කරගැට මතු වුනේ නගුලට උදැල්ලට

මහකෙත් රණ බිමට වැදගෙන උදලුකෙටි
මේ රළු පොලව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මලත් හෙට මා උන් සුවඳ ඇතී

-අබේවර්ධන බාලසූරිය 







   රජ මැතියන් ගුරුන් සියල් දෙන අවසනදී එක්ව-සිව් මහා භූත රූපයනට නැවත විසිරෙන බිම ගුරු දෙවියෙකූ ගැන තැබුන සටහනක්...



කුරා කුහුඹුවකුටවත් වරදක් නැති
වැරදි හදා ලොව දිනන්නට
ජාතියට දූ පුතුන් බිහිකළ
ක්‍රීඩාව වෙනුවෙන්ම උපන්
ක්‍රීඩාව වෙනුවෙන්ම මිය ගිය
දේශයේ අභිමානය අවධි කල
සතුරුකම් ළඟ නිහඬ වූ
මිනිසුන්ට සැබවින්ම ආදරය කල 
රත්තරන් හදවතක් හිමි
ආදරණීය මිනිසා ඔබය..


බොරැල්ල කනත්ත පුරා දෑස් යොමමින් රැඳුන පැය කිහිපයේදී,මට නැවත නැවතත් මේ ගීතය මතක් කරවන්නට යෙදුන සිහිවටනය මෙය යි.


මව්නි සදා වඳින දෑත
ඔබ කිරි කර පෙවූ
කිරේ ණය ගෙවන්නට මා
වැන්දත් නිරතුරු
ගුණ යහපත් කම් දන්නා
අම්මේ ලොව් තුරු
බුදු බව ලැබු දවසේදීත් මා සිත සනසනු..


යට නොවී උන් ළඟ දෙපා
යුගයක් නිවැරදි කල 
සාක්ෂියයි අම්මා
-ආදර දරු කැළ-



ඇතැම් මතක පොතක ඇතැම් යට ගියාවකට  පිටු අතර ගිලිහුන පිටුවක් වීමට අවශ්‍ය වන්නේ සුළු කාලයකි.මතක පොතේ පිටු අතර සුරැකිව රැඳුන හිතාදර මතකයක්  තව දුරටත් එහි සුරැකි කරනු වස්, දශක ගණනාවකින් පසුවදී පවා ගන්නා ආයාසයක් කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.



ලොවට සේවයක් කලාවූ,නොකලාවූ සියල්ලෝම අවසානයේ නවතින තැන මෙයයි. ලොව සිටින අග්‍රගන්‍යතම ගෘහ නිමැවුම්කරුවා කෙතරම් අගනා සොහොන් ටැම් නිමවුවත්,ලොව සිටින ශ්‍රේෂ්ටතම කවියා අතින් අන් අය වෙනුවෙන් නොයෙක් විසිතුරු විරිත් ගෙන ශෝක කවි ලියවුවත්, ලෝකයා වෙනුවෙන්ම ඉස්තරම් දේ නිමවා දෙන ඔවුනගේ මරණය වෙනුවෙන් ඉස්තරම් දේ නිමවීමට සිටින්නේ කව්රුන්ද? මේ එවැනි කතාවකි. (පින්තූරය විශාලකොට බැලීම සඳහා පින්තූරය මත ක්ලික් කරන්න.) මේ විශිෂ්ට ගෘහ නිමැවුම් ශිල්පියෙකු වෙනුවෙන් ඉදි වූ සොහොන් ටැඹකි.



බොරැල්ල කනත්තට ඇතුළු වූ මොහොතේම අවධානය යොමු වූ පළමු සොහොන් ටැඹ වූයේ මා කුඩා කල සිටම ඉතාමත් ප්‍රිය කල ගායන ශිලිපියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සොහොන් ටැඹ වීම මා මදක් සසල කරවීය. මේ මා එහිදී ලබා ගත් පළමු සේයා රුව යි. 




පහත දැක්වෙන්නේ තවත් අපූරු කතා පුවතකි. කතා රසය නොමරනු පිණිස, මේ සිටින්නේ දිවයිනේ ප්‍රමුඛම මල් ශාලා ව්‍යාපාරයක නිර්මාතෘ බව හැර, අන් කිසිවක් නොකියමි.







අබේවර්ධන බාලසූරිය ගීතවත් නාදයත්, ගැමුණු විජේසූරිය සුවිසේෂ හඬ පෞරුෂයත්, ධර්මසිරි ගමගේ හුස්ම ගන්න අකුරු පෙලහරත් එකට හමු වූ මොහොත. 




හෙට දවසේ, අප දෙදෙනා
අද වාගේම හමු විය යුතු වේ
අද දවසේ ඔබ ගෙන ආ 
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

අදත් මිහිර ගෙන එන, ඒ නැවත නොඑන ප්‍රේමයේ කීර්තිය.







තම සැබෑ දිවියේ ප්‍රේමයේ සෝ ගීයම, දශක ගණනක් කළා ලොවට දායාද කල හඬ, මිල්ටන්. 





සාමාන්‍යයෙන් බොරැල්ල කනත්තේ සේයා රූ ගැනීමට නම් විශේෂ අවසරයක් ලබා ගත යුතු ය. නමුත් මා තවමත් පාසල් සිසුවෙකු බව පවසා ( ඒවන විට මා පාසලෙන් ඉවත් වී හමාරය) මුරකරුවාගෙන් පහසුවක් ලබා ගැනීමට හැකි වීමෙන් බොහෝ සේයා රූ නිදහසේ ලබා ගැනීමට හැකි විය.  

ලබා ගත් සේයා රූ අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිහිවටන වූවද, මගෙ අවශ්‍යතාවය වූවේ ඉහත වැනි හිත නවතින සටහන් සහිත සොහොන් ටැඹවල් සොයා යාමයි. ඒ වෙනුවෙන් හිතේ අදහසක් ඇති වූයේ පාසලෙන් ඉවත් වූ විගස අප වෙනුවෙන් පැවැත්වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුවේදී ජෙෂ්ට ආදී ආනන්දයීයයෙකු සිතේ පැල කල අදහසක් අනුවය.එතුමන්ටත් ස්තූතිවන්ත වන අතරම, ලිපියට අදාළ බොහෝ සේයා රූ අහිමි වී තිබුනද, මොහොතක් මෙහි සිත නවතන්නෙකු වෙනුවෙන් මේ ඉතාමත් ප්‍රමාණවත් බව විශ්වාස කරන්නෙමි. 




















සෙනෙහබර තුතිය, මගේම සොයුරෙක් සොයුරියක් නොමැති වූවත්, තනිව යාමට ඉඩ නොදී රටේ සුව සෙත ආරෝග්‍ය සැපත වෙනුවෙන් ඇති වගකීම අමතක කොට දහසක් රාජකාරි මැද මා පසු පස ආ අක්කාට.  







12 comments:

  1. දෙලොවක් අතරේ ( බොරැල්ල කණත්ත සහ කාසල් රෝහල ) අධ්‍යාපනය ලැබු නිසා ඔය ස්ථානය මට බොහොම සුපුරුදුයි..

    නිහඬ සොහොන් කොත් සැඟවුනු නිහඬ කතා බොහෝමයක් ලෝකයට කියනව නේද ...

    ReplyDelete
    Replies
    1. තුෂානි දෙලොවක් අතර බාලිකා ද ;) අඩේ මං මරදාන සෙන්ට්‍රල් බොල :D


      මොහොතක් නැවතුනොත්, ඒ කතා ආයේ ආයේ සජීවීව අහන් ඉන්න පුළුවන්..

      Delete
  2. ඉතාම ප්‍රසංසනීය වැඩක් අල් තයීර්. ඒ අදහස ඔහේ වැලලිලා යන්න නොදී ක්‍රියාත්මක කරපු එකම කොච්චර දෙයක්ද!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ් අයියේ.. මේ කනත්තේ කියන්න නම් තව බොහෝ කතා තියෙනව. ඔය උඩ ඉන්න තුෂානි නම් අපිටත් වඩා අහල ඇති ඕවා :D

      Delete
  3. එල ද බ්‍රා..
    මේක අලුත්ම අත්දැකිමක්

    ReplyDelete
    Replies
    1. එල එල බ්‍රා, පිලිගන්නවා අඩවියට!

      Delete
  4. හම්මේ.. අපිත් ඒලෙවල් කාලෙ මාස දෙකකට සැරයක් වත් ඔතන්ට යනව.... වෙන මොහොකටවත් නෙවෙයි.. චිත්‍ර අඳින්න... හි හි.... අපිට ඉතිං ඕක කනත්ත කියල මතක් වෙන්නෙත් නෑ.. ගිය‌ වෙලාවෙ ඉඳලා හොඳට බලා අඳින්න පුළුවන් ගස් ගල් හොය හොය යන එක තමා අපේ වැඩේ....

    ReplyDelete
    Replies
    1. හහා අපේ අසල්වාසියෙක් වගේ මෙයත් ;)

      Delete
  5. හරිම වටිනා පර්යේෂණයක්.. අඩුපාඩුවක් කියන්නද?? ඉදල නැතිවෙච්චි,,. කොටාගන්න බැරිකමට අමාරුවෙන් නිදාගන්න මිනිස්සු ගැනත් බලන්න තිබුනා.. ඒක එහෙම උනත් අති විශ්ෂ්ඨයි බං. මෙනන් මගේ ආචාරය.. උඹල වගේ උන් තමා අද ලෝකෙට ඕන..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකතුමෝ.. ඒ කතාවත් එකක තව අදහසක් පැලපදියම් වුණා.. බලමුකෝ ඉස්සරහට.. :)

      Delete
  6. හොඳ වැඩක්. කනත්ත ගැන පර්යේෂණයක් උපාධි නිබන්ධනයට කරන්න හිතාගෙන ඉන්නේ. අදහසක් දෙන්න පුලුවන්නද තොරතුරු හොයන්න ඕන පැත්තක් ගැන.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...