Saturday, July 11, 2015

වර්ෂපූර්ණයක්-අවසානයක් පසු පස ආ ආරම්භයක්-පුංචි කතාවක්


තවත් එක වර්ෂපූර්ණයක්, තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක්, අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත අලුත් කතා කීපයක්.. දෙදෙනෙකුගේ අවසන් හමු වීම දා අලුතෙන් පටන් ගත්ත,අලුත් ආරම්භයක කතාවක්..


ඔන්න එක්තරා කොල්ලෙක් ඉන්නවා.. කෙල්ලෙකුත් ඉන්නවා.. යාලු ෆිට් එකක් තියෙන්නේ,දෙන්නට දෙන්නා පොඩි ක්‍රෂ් එකක් නොතිබී නෙවෙයි අඳුරගත්ත මුල් කාලේ, හැබැයි ප්‍රාථමික ක්‍රෂ් එකකට එහා ෆිට් එකක් ගොඩ නැගෙනවා මේ දෙන්නා අතරේ. හැබැයි දවසක් මේ දෙන්නගේ විහිළුවක් දුර දිග යනවා.. ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙන්නට දෙන්නා "ආ හබියෝ" "ආ වයිෆියෝ" කියලා කතා කරගන්න පටන් ගන්නවා, විහිලුවට.

කොල්ලට මේ කෙල්ල ගැන තිබුනේ මොකද්ද අමුතු හැගීමක්, දැක්ක මොහොතේ ඉඳන් හුරු පුරුද්දක් වගේ දෙයක්, ක්‍රෂ් එකක් වුණාට රාගික හැඟීමක් නෙවෙයි. කෙල්ල හිතන් ඉන්නේ කොලුවා අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා, හැබැයි මුන් එක වයසේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමේ මුන් දෙන්නා සෙට් වෙනව.

කතාව මේක නෙවෙයි, හැබැයි ලස්සනම කතාව කියන්න මේ ටික නැතිව බැහැ.


එක්තරා දවසක කොල්ලට කෙල්ලගෙන් පොඩි පණිවිඩයක් හම්බෙනවා, කොලුවා මේ වෙලාවේ ඉන්නේ අහල පහලක කියලා දැනගත්තම.

අද හවස යමුද කැළණි පන්සල්? කෙල්ල කොල්ලගෙන් අහනවා.

කොලුවා ඉන්නේ යාලුවෙක්ගෙ ගෙදර, යාලුවත් එක පයින්ම මූව එලවනවා පල පල කියලා.

කොලුවා යන්නේ එන්නේ පාරේ පොදු ප්‍රවාහන සේවයේ, ගම්පහ ඉඳන් ඇවිත් කැලණියේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා, ගඟ අයින දිගේ හෙමින් හෙමින් එද්දී ඔන්න පණිවිඩයක් එනවා..

"මම ඇවිත් ඉන්නේ"

ඒ එක්ක කොලුවාගේ කකුල් සෑහෙන්න ඉක්මන් වෙනවා. ගඟ අයින දිගේ ඇවිත් විහාරයේ පඩිපෙළ නැගලා මකර තොරණ පහු කරලා වෙහෙර මළුවට කොලුවා ඉවෙන් වගේ ඇතුල් වෙනවා.

කැළණි වෙහෙරත් පහු කරගෙන, ප්‍රධාන ඇතුල් වීමේ ගේට්ටුව දිහාට එද්දී කොල්ලව ඉද්ද ගැහුවා වගේ නවතිනවා. ඒක හරිම පුදුම දර්ශනයක්.

තමන්ගේ කෙලි පොඩ්ඩ, සුදුම සුදු පාට අත් දිග බ්ලවුස් එකකුයි, සුදුම සුදු කකුල් දෙකටම දිග සායකුයි ඇඳගෙන, තාමත් යාන්තන් තෙතබරිත කොන්ඩේ පිට දිගේ වැටෙන්න ඇරලා, තමන් එනකන් ප්‍රධාන පාර දිහා බලාගෙන තමන්ට පිටුපාලා ඉන්නවා කොල්ලා දකිනවා.

මොහොතකට ගමන නැවතුනත්, ආපහු අඩිය තියලා ලඟට ගිහින් තමන්ට පිටු පා ඉන්න කෙල්ලට කතා කරනවා.. කෙල්ල ආපිට හැරෙනවා.

සුදුම සුදු පාට නෙලුම් මල් දුසිමකට වඩා දෝත පුරෝගෙන, මල් පෙති මුහුණේ තැවරෙනවා..
කොලුවා කවියෙක් නෙවෙයි, හැබැයි කොලුවා මෙහෙම කල්පනා කරනවා. " සමහරවිට කලින් ආත්මෙකත්, මම එනකන් මේ විදියට නෙලුම් මල් දෝත පුරා දරාගෙන මග බලමින් ඉන්න ඇති, ඒ නෙලුම් මල් කෙල්ලටත් හොරෙන් ඒ හමේ පාට හොරකම් කරන්න ඇති "

කවුරු මොනවා කිව්වත්, ඒ කොල්ලා තමන්ගේ කෙල්ලව ජීවිතේ වැඩියෙන්ම ලස්සනට දැකපු දවස තමයි එදා .

ඉතින් තමන්ගේ හිතට ආපු අදහස, මේ කොලුවා ගෙදරට ඇවිත් කවියට නගනවා.. නමුත්,
ඒ කවි පන්තියේ අවසාන කවියේ අවසාන පද දෙක නැතිව කොලුවා හිර වෙනවා.

කෙල්ලගේ ඉල්ලීමක් තියෙනවා, ලියන හැම දේම කාට පෙන්නන්නත්, කොහෙට දාන්නත් කලින් තමන්ට පෙන්නන්න කියලා. පුංචි,අහිංසක ඉල්ලීමක්.
අසම්පූර්ණ කවි පන්තියේ සම්පූර්ණ කොටස විතරක් පෙන්නලා, ඒ කවි කතාව තව අවුරුද්දකට යට යනවා.
කොයි දේටත් කෙළවරක් තියෙනවනේ, සමහර විට ලබන ආත්මෙට ඉතුරු කරගන්න වෙන්න ඇති, ඔය සම්බන්ධකමටත් ඉතින් අවසානය පේන්න පටන් ගන්නවා, අවුරුදු තුනක් විතර කිට්ටු වෙන්න ආපුවාම.
තවත් කාලයක් එකට ඉන්න නම් බැරි බව මේ දෙන්නට තේරෙනවා. ඒත් ඉන්නේ අතීරණයක, ඔය වගේ වකවානුවක, සෑහෙන දවසකට පස්සේ මේ දෙන්නා හමුවෙනවා.

හරියටම මීට අවුරුද්දකට කලින්, ජූලි මාසේ දහ වැනිදාවක.

ඒ යද්දී කොල්ලා යන්නේ තමන් ලියපු, අර අසම්පූර්ණ කවි පන්තිය සම්පූර්ණ කරගෙන. ඒ කවි පන්තිය එදා කෙල්ලගේ අතටම දෙනවා.

මේ දෙන්නම නොදැන හිටියට, එදා තමයි ඒ දෙන්නා පෙම්වතුන් විදියට හම්බුන අන්තිම දවස..
මේ කවි පන්තිය, තමන් වැඩිපුරම "වින්ද" තමන්ගේ කවි පන්ති තුනෙන් එකක් විදියට, මේ කොලුවා විශ්වාස කරනවා.

කවි පන්තියේ කතාව ආපහු මාස ගණනකට යට යනවා.. කවියේ කතාව ආපහු එලියට එන්නේ මේ කොලුවාගේ මිත්‍රයෙක් මේ කවි පන්තිය දැක්කට පස්සේ..

" මචං, උඹේ කවි පන්තිය නම්...... ........ මං ඒක අපේ තාත්තට පෙන්නුවා..... ......, ඔන්න තාත්තට උඹව හම්බෙන්න ඕනෙලු........"

ඔය විදියට ඔය කවි පන්තිය නිසා, සංගීත පොත් මාලාවක් වෙනුවෙන් පද රචනය කරන්න පුංචි දායකත්වයක් දෙන්න මේ කොලුවට අවස්තාවක් ලැබෙනවා.

ඔය අතරේ තවත් කලා ක්ෂේත්‍රයේ මිත්‍රයෙකු මේ කවි පන්තිය දකිනවා,ඊමේලකින්.

"මල්ලි, මේ අදහස නම් මාරයි. අපි මේ පද ටික රාමුවෙන් එලියට අරගෙන සින්දුවක් කරමු"

ඒ අදහස අනුව, තවත් අලුත් වැඩක් හෙමින් සූදානම් වෙන්න පටන් ගන්නවා...

අවසන් වරට මුණ ගැහුණ ජූලි දහ වැනිදාව, තවත් කතන්දර බොහොමයකට ආරම්භයක් වුනේ එහෙමයි.

මේ කතාව කොහෙන් කෙලවර වෙයිද? කොලුවා වෙලාවකට කල්පනා කරනවා.

2 comments:

  1. හ්ම්.................. හ්ම්.......................

    ReplyDelete
  2. 🌸🌸🌸

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...