Friday, July 10, 2015

වියපත් ජීවක පෙම්වතියට



සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ගැහෙනා එක රුහිරු බිඳක්
ඔබ හා හිනැහෙද බැලුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා පපුතුර
එදා සෙනේහයෙන් සැතපි
යහනේ සුව කොයි සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා හදවත
රස කර ලිව් පෙමකුරු රැස
කොහෙන් ගැලූවෙද සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ඔබ හා දොඩමලු මුවගට
වදන් ගැලූ තැන් සෙවුමට



මා ඇකයේ හිස හොවාන
ඔබ කන් දුන් හද ගැහේ ද
සැත් තුඩකින් පලන අතර
හෙමින් හොරෙන් බලනු මැනව



මුළු හද ඔබ වෙත පිදුවැයි
මා කිව් දා සිහි කරගෙන
සැත් තුඩකින් හද දොර හැර
එහි ඔබෙ නම සොයනු මැනව



ඔබ හිස මා උර හොවාන
කෙහෙ රැල්ලක හංකිතියට
දෙඇස් වසා උන් මතකෙන්
එසේ ඉන්න හරිනු මැනව



සැත් තුඩකින් පලන අතර
තරහ නොවනු මැන සොඳුරිය
සෙනෙ’න් නළල පිරිමැදි අත්
දරදඬු වී තිබෙනු නිසැක



නිදි යාමේ හද තෙරපී
ගැස්ම අවදි කල මතකෙට
සැත් තුඩකින් යලි රිදවා
අවදි නොකළ මැන සොඳුරිය



ඔබ ඇසුරෙන් මිදී යන්න
මට අණ කල ක’පල් තලය
වැරෙන් සැත් තුඩට යටකර
සාප නොකළ මැන සොඳුරිය



සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
මා සෙනෙහෙන් රැකි ඔබ හද
සෙනෙ’න් නැවත බාර ගන්න



සැත් තුඩකින් පලන අතර
පුදුම නොවනු මැන සොඳුරිය
ඔබ වෙනුවෙන් පිපි හසරැල්
මැකී නොයා තිබෙන විලස



සැත් තුඩකින් පලන අතර
අත්වැසුමට විවේක දී
අපේ ඇඟිලි දොඩමලු කර
නොවැලපෙන්න මා සොඳුරිය


සොහොන් කොතේ ලියනු පිණිස
ලෝ අවසර නොමැති කවිය
ජීවක පෙම්වතිය විලස
කඳුළු වසා කියනු මැනව


මිය ගිය දා මා මළකඳ
පලා හේතු නුදුටු විලස
හිස් තැන් පුරවන කොලයක
අනෙක් යමක් ලියනු මැනව



සමුගත් හැම හැන්දෑවෙම
පය පාමුල දණ නවද්දී
අසිරි සෙනෙහෙ පැතූ ඇඟිලි
මහපට බැඳ තියනු මැනව


සෙනේ නොඅඩු අතීතයේ
දෙපා නැමද සමා අයැදි
සුළු දොසටත් නුඹ සිපගත්
දෙපා බඳිනු මැන නම්-පත.


“   කේ. ඇම්. බී. පී. කේ.    ”



පින්තූරයේ කතාව

පින්තූරයේ දැක්වෙන්නේ එසේම අවසාන පදයේ කියැවෙන "නම් පත" යනුවෙන් හඳුන්වා ඇත්තේ මරණයේ හැඳුනුම්පත (Death Identity) යනුවෙන් හැඳින්වෙන මෘත ශරීරයක යම් කිසි දත්ත කිහිපයක් ලියා තැබෙන සටහනකි. මෙය සාමාන්යෙන් මෘත ශරීරයේ කකුලේ ඇඟිල්ලක එල්ලා තබනු ලැබේ. නම (නිශ්චිත/හඳුනාගත් අයුරින්) මරණයට හේතුව(නිශ්චිතව තීරය කොට ඇතිනම්/මරණයට අදාළ සිදුවීම/ස්ථානය) වශයෙන් යම් යම් හඳුනා ගැනීමට හැකි දත්ත කිහිපයක් මෙහි අඩංගු ය.

මෘත ශරීරයක් හඳුනා ගැනීමේ පෙරේට්ටුවකදී හඳුනාගන්නන් (පවුලේ උදවිය/වෙනත්) ට මෙය බැලීම සඳහා ඉඩ නොලැබෙයි.  


( නමුත් යම්කිසි අවස්තාවකදී මුහුණ බැලීමට තමන්ට බෑ බෑ වගේ නම්, ඒ මොහොතෙහි හිතේ ඇති ආවේගය සහ වේදනාව පෙරදැරිව "උඹේ අම්මට.." වැනි බැල්මක් සේවා මුරය පුරා බීමතින් සිටින මෝචරි කාරයාට හෙලීමෙන් මෙය පමණක් බලා හඳුනා ගැනීම අවසන් කර මෝචරියෙන් පිටට පැමිණීමට හැකි බව වසර නමයක් පමණ පැරණි පෞද්ගලික අත්දැකීමක් මට මතක් කරයි. )


4 comments:

  1. මෙහෙම එකක් බලන්නට
    ලඟකදී ඉඩ නොලැබේවා....

    ඔබ එහෙම අත්දැකීමකට මුහුණ දුන්නද? අප්පා....

    ReplyDelete
    Replies
    1. තාම ෆර්ස්ට් ඉයර් එයා, කල් තියෙනවා :p

      ඔව්නේ :/

      Delete
  2. මෙහෙම එකක් බලන්ට මටත් ඕනේ නැහැ.වසර දෙකකට විතර කලින් මේ ආකාරයේ මෘත දේහයක් හඳුනා ගන්න යන්න මට සිද්ධ වුනත් මම ඒ අවස්ථාව මග හැරියා මොකද මගේ මානසිකත්වය ඒ මොහොතේ දුර්වලව තිබු නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට නොවරදවාම මග අරින්න කියන එකයි මගෙ අදහස..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...