Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

Sunday, February 28, 2016

ඒ කී වදන්, බෝල් හීනයක් නොවේ මැයි...






විටෙක මා හැඬවූ, විටෙක මා සැනසූ,
විටෙක මා කල්පනාවේ නිමග්න කරවූ,

ලෝකයේ කොයි හෝ මුල්ලක 
තාමත් ඇතියැයිම හිතෙන
පිටු දහ අට විස්ස දිග හසුන් මහ ගොඩකට
මට පූර්විකා සැපයීමටමදෝ

අපූරු නිමැවුම් අකුරු කල,
ආචාර්‍ය අජන්තා රණසිංහ නම් 

සොඳුරු වදන් ගලපන්නානෙනි
පුවත්පත් කළාවේදියානෙනි,

ඔබට නිවන් සුව පතමි.




පින්තූර ගෞරවය, සහන කසීර වික්‍රමසිංහ සහෝදරයාගේ බුකි වෝලයෙන්

Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..

Thursday, June 11, 2015

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

තෝරක් නැතිව කඩිගුල වගේ ඇවිස්සුන මිනිස්සු එකිනෙකාගේ හැප්පී හැප්පී වේගෙන් ඇවිදින බස් නැවතුමක් මැද මම බංකුවකට බරවෙලා. සෙරෙප්පුවට පෑගිලා කකුල් අගින් නූල් ඇදුන ඩෙනිම, එක බොත්තමක් උනාපු අත් නමාපු කමිසේ ඇඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන, මම ඔරලෝසුවට එබෙනවා.. ඔහේ ගැලවුන සෙරෙප්පුවක්, කිසිම අවධානයක් නොලබා ලඟින් යන්නවුන්ගේ පය පැකිලෙද්දී මම ඉගිලෙන්නේ වෙනම කල්පනා ලෝකෙක.. මගේ වගේම කන් දෙකෙන් බේරෙන දිග කොන්ඩ තියෙන පාසල් කාලයේ මිත්‍රයෝ, මට අත වන වනා යනවා... 


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඈතින් මතු වෙනවා පෙනේද්දීම, මම නැගිටිනවා. දවසකට පස්සේ මුණ ගැහුනත්, මාසෙකට පස්සේ මුණ ගැහුනත්, මම අත කිටි කිටියේ මිරිකන විදියේ වෙනසක් නැහැ."ඌයි, ඒක රිදුණා" සමහර දාට, මගේ හරස්පද ප්‍රහේලිකාවට එහෙම කිය-වෙනවා..

"මග එනකොට සින්දුවක් ඇහුණා, මට බය හිතුනා.. "
"මොකද්ද සින්දුව දරුවෝ?"

 එහෙම අහගෙන මම කුතුහලයෙන් ඒ පුංචි ඇස්දෙකට එබෙනවා. නිදිමත ඇස්දෙකක්, එයා නම් කියන්නේ එහෙමයි. හැබැයි ඒ ඇස්දෙකේ නිදාගෙන උන්න අහිංසකියෙක්, මං ඒ කාලේ බොහොම පරිස්සමින් රැකගත්තා.

"මේ නගරය" එහෙම කියමින් ඇය මුහුණ පුළුටු කර ගන්නවා.
"ඒ සින්දුවේ එහෙම කිව්වට,එහෙම වෙන්නේ නෑ", මම අසීමිත විශ්වාසයකින් තෙපලනවා.

තමන්ගේ කරගන්න ආත්මාර්ථයට එහා, හිත ගිය තැන මාලිගා හදනවාට වඩා,හිත ගිය තැන-ට හිත ගිය මාලිගාව හදාගන්න පිටිපස්සෙන් අත දෙන්න හිතෙන, ඈ සෝපාහාසාත්මකව හඳුන්වන "බෝධිසත්ත්ව" මානසිකත්වය, අදටත් මම අදහනවා. 


වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඩෙනිමට,සෙරෙප්පු දෙකට සමු දීලා, කොටට කාපාපු කොණ්ඩය පැත්තකට පීරාගෙන, ජීවිතේ  රූපී විරූපී හැම මතකයක්ම පිරුණ මේ නගරයේ,අද මගේ දෙකකුල් සපත්තු දෙකකින් බර වෙලා.

 වැව් ඉස්මත්තේ ඉඳන් කියපු කියුම්, ලියපු ලියමන්,ගංගාරාමය අද්දරින් කාර්යාලීය රථයකින් යද්දී, මගේ මතක බර කරනවා. මහ පාන්දර පෝස්ටර් අලවන්න, පාසලේ මහ රෑ ගත කරන දාක මහ පාන්දර ඇවිදින්න එලියට බැහැලා ඇවිදපු පාරවල්,කවුළුවේන් පිටත හදිසියේම එලිය බලද්දී පෙනෙනකොට, ඉස්සර වේගයෙන් ඔලුව වනද්දී හතර අතේ විසි වෙන කෙස්ස මගේ ඔලුව උඩ නැති අඩුව තදටම දැනෙනවා. ඩෑෂ් බෝඩ් එකට උඩින් ගහපු PRESS කියන අකුරු පහ වින්ඩ්ස්ක්රීන් එකෙන් පරාවර්තනය වෙලා දකිනකොට, කට කොනකින් හිනාවක් එක්ක මේ නගරයට අලුත් වටිනාකම් පොදියක් ඇවිත් නේද කියලා, මම කල්පනා කරනවා. මේ නගරයේ මං ගත කරන, තවත් සුන්දර තාවකාලික නවාතැන් පොලක්, මම ඒ අකුරු පහ අතරෙ විඳිනවා. 

නිදහස් චතුරශ්‍ර තණ නිල්ලේ දිය මල්, අපි නැතුවත් අදත් පණලනවා. ඒ තණ ගොල්ලට වෙලා, මම දවසකට පිටු දෙක ගානේ පණ පොවන, ආදර කතාවක් නොවන නවකතා අත්පිටපතතේ හැංගිලා ඉන්න අතරෙ , බිම වැටුණ දම් පාට මල් උඩ වාඩිවුණ පෙම්වතියන් දිහාට කැමරා මානන කොල්ලෝ දිහා, මං වෙලාවකට බලන් ඉන්නවා. මගේ අතේ හොම්බ දිග කැමරාවක් තියෙන වග දකින ඒ සමහරු අතින්, උන්ගේ කැමරා මට බාර වෙනවා. දම්පාට මල් ඉහිරුණ තණ ගොල්ල උඩ ඉඳගෙන කවුරු මගේ කැමරාවට මුහුණ දුන්නත්, කම්මුල් දෙකේ දෑත් තියාගෙන බිම ඉඳගෙන හිනාවෙන මගේ මල් ගීය, මගේ ඉදිරියේ තාමත් ඉන්නවා.

පලවෙනි සැමරුම දා අපි උන්න ඇහැළ ගහ, එදායින් පස්සේ විහිළුවටවත් එතනට පිටදෙන්න නොගිය මං දිහා බලාගෙන, රතුපාට මල් බිම විසුරවනවා. තුන් වෙනි සැමරුම දාත්, අපි එනකං බලන් ඉන්න ඇතී.



ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

එදා ඒ දෙබස දා විහිළුවටවත් බය නොහිතුන මට, මේ වචන ටික ඇහෙන මොහොතක් ගානේ හිත කීරි ගැහෙනවා. ජීවිතේ සීයට තිහක් මේ නගරය මැද ගෙවුනත්, ආවට වැඩිය දුර ඉදිරි ජීවිතේ මේ නගරය මැද ගෙවන්න එපා කියලා, මේ නගරය මට අත වනනවා..

මතකයන් සමගම සියදිවි නසාගත් ඈ එතෙර ඉගිලුණු සැටියෙන්ම, මේ නගරය හැරදා මුහුදෙන් එහා ඉගිලෙන්න,වෙලාවකට මම කල්පනා කරනවා.

Tuesday, June 9, 2015

අනුරාගයේ මතක වස්තුව සමරමි...

හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක විරාමයක් ඇතුලේ, කල්ප කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන් වීමක් අද්දර වුණත්, සදා කල් මතකයේ රදවන, මේ ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ මතක වස්තුවක්..

හාද්ද....!


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?

පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා ඉම දිහා, කළුවර ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...


හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට ගියාවට උඩින්, මතකයේ රැඳී එකම වස්තුව! ඇයි මේ? මම පාලමක්, දෙගොඩ යා කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..  

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත සිද්ධවෙන බව, මේ පලවෙනි අවස්තාව නොවන වග, වෙලාවකට මම කල්පනා කරනවා...

ඉතිංසසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...




BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:


Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

Sunday, August 18, 2013

ආනන්දේ ගී රාවේ! ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද?

 
           
 ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන්‍යතාවය විදහා පාන්නක්.හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට දින තුනක් පාසල් ගීය ගායනා කෙරෙනවාමයි. දිනපතා උදෑසන වතාවත්වලින් අනතුරුව පාසල් ගීය හා ජාතික ගීය ගායනා කෙරෙන අතලොස්සක් පාසල් අතර ආනන්දයේ නමටත් තැනක් ලැබෙනවා. ඒ අතරින් එදා සිටම ජාතික ගීයේ අඩක් නොව සමස්ත ගීතයම ගායනා කරන,මා දන්නා එකම පාසලත් ආනන්දයයි.

             ආනන්දය සතුව එවැනි නිල මට්ටමේ ගීත දෙකක් තිබෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ විද්‍යාලයීය ගීතය(school anthem) නමින්,අනෙක ආනන්දයේ ගීතය(school song) නමින් හැඳින්වෙනවා.මින් පාසලේ උත්සව අවස්ථාවන් සමාරම්භයේදී සහ උදෑසන වතාවත්වලින් අනතුරුව ගායනා කෙරෙන්නේ විද්‍යාලයීය ගීතය යි. ආනන්දයේ ගීතය වාදනය කෙරෙන්නේ පාසලේ අධ්‍යන කටයුතු අවසානයේ චත්ත මානවක ගාථා සජ්ජායනය කිරීමෙන් අනතුරුවයි.

           මීට අමතරව ආනන්දයේ සුවඳ විදහා දැක්වෙන අපූරු ගීත පෙළක්ම තිබෙනවා. අනදතා පාන,උද්දාමයේ ගීතය,ආනන්දේ අභිමානේ, ඉරහඳ පවතින තුරු හෙළ දෙරණේ  වගේම ආනන්ද නාලන්දා සුලෝහිත සහෝදරත්වය විදහා දැක්වෙන ආනන්දයේ නිර්මාණ වන සුලෝහිත රාවය,ආනන්දේ සෙවණේ වැඩි දරුවන්,සිංහයෝ අපි වගේම භාතිය හා ජනනාත් වරකාගොඩ ගායනා කරන ආනන්ද නාලන්ද විදු දෑලේ ගීත සුවිශේෂයි.ඒ අතරින් ආනන්ද නාලන්ද විදු දෑලේ ගීතය ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වුනා.අද බ්ලොග් පොස්ටුවෙන් මේ ගීත 10ම ගේය පද සමගින් වීඩියෝ පටය පල කරන්නයි බලාපොරොත්තුව.ඒ එක්කම කාලයා සමග අභාවයට ගිය ගීත කිහිපයක අංශු මාත්‍රීය තොරතුරු මට ලැබුනා,පසුවට ඒ ගැනත් පල කරන්නම්.

          ආනන්දයේ විද්‍යාලයීය ගීතය කියන්නේ ඉතාමත් සාඩම්බරනීය ගීතයක්.රණ බෙර රාවයක් අතරින් එන වේගවත් ගී පදවැල් සැබවින්ම ආනන්ද පලිහ මත අවිධරා සිටින සිංහ සලකුණ සිහිපත් කරවනවා.

                                                       
දින දින කිතු ගොස බෝ වී
වැජබෙනු අනද'ප මාතා //

සුදිලී ජය වී ලොවෙහී
සාදා දීලා සිප් සත හා
කලා ද විනේ ද පහදා..
එඩිතර සිංහල දරු කැල සදලා//

දින දින කිතුගොස බෝ වී
වැජබෙනු අනදප මාතා//

ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝවැඩ සලසා//
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමු තිලෝන දෙසු සේ..

දින දින කිතු ගොස බෝ වී
වැජඹෙනු අනදප මාතා..//




                   විද්‍යාලයීය ගීතය වේග රිද්ම ස්වභාවයක් ගත්තත් ආනන්දයේ ගීතයට ඇත්තේ ඉතාමත් නිවී සැනසුන බවක්.මේ ගීතය ලියවී තිබෙන්නේ ආදී ආනන්දයීය ,ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ පියා වන විමල් අභයසුන්දරයන් අතින්.එතුමා වසර කිහිපයකට මත්තෙන් අප අතරින් සමුගත්තද, ආනන්දය පවතින තුරාවට මේ ගීය දිනපතා සවස වාදනය වද්දී ඔහුව අනුස්මරණය වේවි..තනුව සහ සංගීතයෙන් මේ ගීතය රසවත් කලේ අනිල් මිහිරිපැන්න මහතා යි.





ආනන්දේ අද ආනන්දයි

                                   ආනන්දය ගැන කියවෙන පැරණිම ගීත අතරින් පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ කණ්ඩායම ගායනා කරන ඉරහඳ පවතින -තුරු හෙළ දෙරණේ  ගීතය සුවිශේෂයි.  මෙය 1986දී රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනය වූවක් බව සඳහන් වෙනවා. අපූරු ගායනයක් සමගින් එක්වී තිබෙන රූප රචනය සැමටම මතක් කර දෙන්නේ ආනන්දයේ ආදී කතෘවරුන් ආනන්දය බිහි කලාවූ සැබෑම අරමුනයි. මේ වීඩියෝ පටය අනිවාර්යෙන්ම බැලිය යුත්තක් බව මතක් කරන්නේ ඒ නිසාමයි.



ඉර හඳ පවතින
තුරු හෙළ දෙරණේ
අනුහස නොනිමෙන
තුරු බුදු වදනේ
ලොව මිනිසත් බව
එලි කරමින්නේ
පහනක් වේවා
මනු දම් උයනේ..//

පරාධීන වී හෙළ ගති සැඟවුන
යුගයක වැදී සටන්..//
අධීන විරුවන් පඬුවන් බිහි කර
යලි දැය නගන ලෙසින්
උදා වුනේ ඔබ උදාර විරුවකු
ලෙස හෙළ දෙරණ මතින්
දැයේ පහන් ටැඹ 
වී හෙළි කල මග
ඇත ලොව සතර දෙසින්

ඉර හඳ පවතින..//


ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

        මේ ගීතය ලියවුන 1986 වර්ෂය කියන්නේ ආනන්දය ශත සංවත්සරය සැමරූ වසරයි.ඉන් අනතුරුව 2011වසරේදී එළඹුන 125 වැනි සංවත්සරය පුරා වසරක්ම මුළු ආනන්ද ප්‍රජාවම සැමරුවා. 2011 නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුන ඒ අසම සම දිනය වෙනුවෙන් ආනන්දය සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධානය කලේ 2011 වසර මැද භාගයේ සිටන්මයි. 2012 වසරේ මාර්තුමස අවසන් දිනයේදී ලොව පාසලක පැවැත්වූ දැවැන්තම ප්‍රදර්ශනය වන අනද අබිමන් ප්‍රදර්ශනය අවසානය වන තුරුම  ආනන්දය උත්සව ශ්‍රීයෙන් බබලනු ලැබුවා.ප්‍රදර්ශනය අතරතුරේ ලබපු අත්දැකීමක් කලින් මේ බ්ලොග් අඩවියට ඇතුල් කළා,ඒක බලන්න පුළුවන් මෙන්න මෙතනින්.මේ වකවානුව තුලදී ආනන්දයේ ගීත සාහිත්‍ය වෙතට නවමු ගීත කිහිපයක්ම එකතු වුනා.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ 125 අනද අබිමන් උළෙලේ නිල ගීය වන අනදතා පාන ගීතයටයි.

      අනදතා පාන ගීතයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආනන්දය තුලින් බිහිව සංගීත ක්ෂේත්‍රයේ විවිද ඉසව්වන්හී නම් දැරූ කළා කරුවන් මෙම ගීතය සම්පාදනය කිරීමට දායක වී තිබීමයි. මේ ගීතය ලියවී ඇත්තේ නුවන් කුමාර කටුගම්පොල(1991) අතින්.ගේය පද සංගීතයෙන් ඔපවත් කර ඇත්තේ සහන් රන්වල (1997) විසිනි. ගීතය නිෂ්පාදනය කොට ඇත්තේ ආදී ආනන්දයීය 97 කණ්ඩායමයි.මේ ගීතය ආනන්දීයන් කෙතරම් දැඩිව වැළඳගත්තාද කිවහොත්,සෑම කෙනෙකුගේම ජංගම දුරකතනවල රින්ග් ටෝනය ලෙස වැඩි කලක් මෙය  පැවතුනා.එසේම ශ්‍රී ලංකාවේ සෑම දුරකථන ආයතනයකින්ම මේ සඳහා රින්ග් ටෝන් පහසුකම ලබා දුන්නා.



අනදතා පාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ//

බන දම දැනගෙන හැදුනෝ
විදු නැණ යහ ගුණ පිරුණෝ
කෙලිලොව දිනවන හපනෝ
රණ ජය බිම..
රණ ජයබිම මහ මුදුනෝ..
පසු මං නොබසින ඇත්තු..
පෙරමන් හොබවන පුත්තු..
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

වෙඩි වැස්සට සැලෙන් නෑ
අඩි පස්සට හැරෙන් නෑ..
අනදතාපාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ..

කළා විලේ සිය පත් වූ
නිලේ බලේ අග පත් වූ
එලෝ මෙලෝ සුවපත් වූ
අනාගතේ...
අනාගතේ පැහැපත් වූ..

අනුහස් ඇති පුතණුවෝ..
කොතනත් රජ කරනවෝ..
ආනන්දේ පුත්තු..
අපි ආනන්ද පුත්තු..

උරුම රකී පෙර දිනේ
දියුණු ලොවේ පෙරමුණේ..
අනදතා පාන නොපමා නිපුනෝ..
කුමරතා මාන ගජතා පිරුණෝ..

විහාරයේ රන් බුදු රැස්
සෙනේහයේ රන් කුළු රැස්
එදා ආදී රන් කතු රැස්
අපේ කාලේ...
අපේ කාලේ රන් සිසු රැස්..

විජාති බල තෙද සින්දු
ලොවේම හෙළ නම රැන්දූ
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

එකා වාගේ නැගේවී
අනද සරණ ලබාවී..

අනදතා පාන නොපමා නිපුණෝ
කුමරතා මාන
ගජතා පිරුණෝ..


ගායනය : භාතිය ජයකොඩි ('95)
               මධු මාධව අරවින්ද ('92)
               ජගත් වික්‍රමසිංහ ('85)
               කසුන් කල්හාර (ආ'2000)
                සහන් රන්වල ('97)
               ජනනාත් වරකාගොඩ ('96)
               හර්ෂණ දිසානායක (ආ'10)
               අකලංක ගනේගම (ආ'2000)
               දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
               නිමන්ත හේෂාන් ('97)
               ඉසුරු ජයරත්න ('97)
               සචිත් අනුත්තර (ආ'10)

                  ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එකම මොහොතක එකම පාසලකින් බිහි කිරීමේ අරුමැසි සිදුවීම සිදු කළාවූත්,හතරවැනි ඊලාම් යුද්ධය අවසන් කල මහ විරුවන් මුල් පුටුවේ සිට බොහොමයක් බිහිකලාවූත් ආනන්දය වෙනුවෙන් මේ ගීතයෙන් සැබෑ සාධාරණත්වයක් ඉටුවී තිබේ.එසේම ජාතික ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කර ඇත්තේද ආනන්දයයි.ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආනන්ද නාලන්දා ක්‍රීඩක නියෝජනය ක්‍රීඩකයන් 6 දෙනෙකි.1996 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය ආනන්දියකු දරද්දී එහි ආනන්ද නාලන්දා සුලෝහිත සහභාගිත්වය ක්‍රීඩකයන් 5 දෙනෙකි.ආනන්දයත්, ඉන් බිහිවූ නාලන්දාවත් සැබවින්ම විශ්මකර්ම විදුබිම් බව අතිශයෝක්තියක් නොවේ.අනුහස් ඇති අනද පුතනුවන් කොතනත් රජ කරනා බව පවසන්නේ එබැවිනි.
 
                  ආනන්ද නාලන්දා සහෝදරත්වය ගැන කියවෙන මෙම ගීතය අන් සියල්ලකටම වඩා පසිඳු වූවකි.මේ ගීතයට හඬ මුසු කරන්නේ ආදී ආනන්දයීයන් දෙපලක් වන ජනනාත් වරකාගොඩ සහ භාතිය ජයකොඩියි.මේ ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයයි.





ආනන්ද නාලන්ද විදු දෑලේ
මහ ක්‍රිකට් තරඟ උළෙලේ
අසිරියෙන් කෙලි මඩල බබලන්නයි
සමගියෙන් දස්කමින් ජයගන්නයි..//

ජාතික තලයට
සුරු විරු දරුවන්
නිබඳ තිලිණ කරනා
ඒ දරුවන් ලොව
ජය ලබනා විට
යසස කිරුල දරනා..//

අනද මෑණියන් සෙවණේ..
හෙළ හැදියාවෙනි වැඩුනේ..
යහ ගුණ දහමින් විදු නැණ ලබමින්
කිතු ගොස දින දින නැගුනේ..

ආනන්ද නාලන්ද..//


තරඟය ක්‍රීඩා පිටියට පමණයි 
ජය පැරදුම එකසේ විඳ ගැනුමයි..//
සොහොවුරු දහමින් බැඳී නැගෙන්නයි..
කෙලි බිම.. මව් බිම..
ජය බිම වන්නයි..///

  
                 සුලෝහිත සංග්‍රාමය නිල ගීතයට අමතරව,ආනන්දය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ  83 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වෙනම නිල ගීතයක් නිර්මාණය වනවා.සුලෝහිත රාවය නමින් මේ ගීතය නිර්මාණය වන්නේ පාසලේ එවකට සිටි සිසුන් අතින්මයි.ගීතයේ හඬ මුසු කිරීම් සිදු කෙරුනේ රැඩිසිස් ශබ්දාගාරයේදී යි.ගීතයේ පද පෙළ මගේ හිත මිත්‍ර මංගල සේනාධිපතිගේ සංකල්පනාවක්.ගීතය නිර්මාණය වන්නේ මගේ සමකාලින සොහොයුරන් කිහිප දෙනෙකු අතින්.




ගුගුරුවා වා තලේ
සරසවා මිහිතලේ
ලේ නොහලා රත් පැහැ ගන්වා
රන් රිදී අකුණු සරින්
අඳුරු වලා ගැබ 
එලි කරනා..

කඟවේනුන්ගේ සිරි මවමින්
තණ නිල්ලත් දෙදරවනා
ලෝ සොලවාලන සිංහ පුතුන් හට 
තිඹිරි ගෙයක් සදනා
සුලොහිතයන්ගේ මහ සැණකෙලියයි
සොහොවුරු කම් දිදුලනා..
කෙසරුන්ගේ රණ හඬ මැද්දෙන් 
ජය ඝෝෂා නැන්වෙනා..

දඟ කැවූ පන්දුවේ
කස හඬ එක් වුනේ..
ජය දඩ නංවා ඇත හඬ දීලා..
සොවුරු පෙමින් අප එක් වීලා..
නිහඬ ලොවක් සොලවා..

ගී පද : මංගල සේනාධිපති
සංගීතය : මධුරිත සමරසිංහ , ලහිරු තිලකරත්න
හඬ සංයෝජනය : රනුක හෙට්ටිආරච්චි
ගායනය : රෙසිල් ඉර්ෂාද් ,මධුරිත සමරසිංහ,ලහිරු තිලකරත්න,රනුක හෙට්ටිආරච්චි,මංගල සේනාධිපති

                        ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ගීතවත් මුහුණුවර එතෙකින් නොනැවතී තබපු තවත් එක පියවරක් විදියට ආනන්දේ සෙවණේ වැඩි දරුවෝ තේමා ගීතය කරලියට එනවා.හැබැයි මේ ගීතය වැඩි දෙනෙක් අසා නැති බවයි මගේ හැඟීම. බලන්න අහල තියෙනවද කියලා?



ආනන්දේ සෙවණේ වැඩි දරුවන්..
ලෝ තලයට එසවීනි හපනුන්..
ලොවම මවිත කල කෙලි බිම විරුවන්
දිලෙයි අනද තරු සැමට ඉහලින්..

රන් ලෝහිත දදවැල් බන්දා
ඉතිහාසයේ අබිමන් නංවා
සිප් මවගේ ආසිරිද ලබා
අනද පුතුන් අපි ශතක හඹා..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ ජය රූ ජය රූ...
අපෙ නෙතු අද්දර මැවිලා

ආනන්දේ නාලන්දේ විදුහල් පියසේ
සිප් සරනා අප සොයුරන් වේ..
සමගිය වඩනා..ලොව අගනා දේ..
ජය පැරදුම විඳුමයි එක සේ..
තරඟ බිමයි එක තණ නිල්ලයි
කුසලානෙයි  සිංහයෝ දෙපිලයි
හදක පැතුම් ඉටුවන දිනයයි
ආනන්දය දිනනා දිනයයි..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ අපෙ නෙතු අද්දර මැවිලා..//

සුලෝහිත කෙලි බිමයි මහ සංග්‍රාමයයි...



            ආනන්දය සහ ක්‍රිකට් කියන්නේ කිසිදා නොබිඳෙන සබදතාවක්.ඉතින් ඒ ගැන ලියවෙන ගීත මෙතෙකින් නවතින්නේ නෑ. මේ 84වැනි සුලෝහිත සංග්‍රාමය ගැන ලියවුනක්..




සිංහයෝ අපි..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. ආනන්දයෙන්..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. නාලන්දයෙන්..
ජය හඬ මැදින්..
සිංහයෝ අපි..//

විදු මව් තුරුලෙන්..
උණුහුම විඳිමින්..
සොහොයුරන් සේ විඳිමින්..
පායන හිරු මෙන්..
පායන සඳු මෙන්..
නොනිවෙනා එක හැඟුමෙන්..

සිංහයෝ අපි..// 

කෙලි බිම කළඹා
ඔද තෙද වඩවා..
රජත රන් දද සෙවණේ..
පිබිදෙන හැඟුමෙන්..
නොසිදෙන දිරියෙන්..
නොබිදෙනා සොයුරු දමින්..
කෙලි බිම අරුමේ..

සිංහයෝ අපි..//

ගායනය : වතිල මානකමල් ,ඉසුරු සමරසිංහ,ලහිරු ගුරුසිංහ
සංගීතය : වතිල මානකමල්
රූප රචනය : හසන්ත සුනෙත්, ලහිරු ගුරුසිංහ

       ක්‍රිකට් ගැන කතා කලෝතින් ලාංකේය ක්‍රිකට් ලෝලීන් සතුව තියෙන ඉහලම මතකය තමයි 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය. මේ ඒ ගැන සඳහන් වෙන ආනන්දය ගැන ගීයක්.. මේ ගීතයේ ගායකයා LedartRaXX; යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙතත් LedartRaXX යනු මගේ හිත මිතුරු සජන වීරසේකර බව දැනගන්නට ලැබුණා.ගීතය ගායනා කරන්නේ ඔහු සමගින් පසිඳු භාග්‍ය සොයුරා.මේ ගීතයේ තනුවද සජන වීරසේකර සතුයි.  සංගීත රචනය නිමැවෙන්නේ 83 වැනි සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයට සංගීතය සැපයූ  රනුක හෙට්ටිආරච්චි සොයුරා අතින් රැඩිසිස් ශබ්දාගාරයේදී යි.

වීර විකුම් පානට මේ දරුවෝ..
ඉදිරියටම එයි සිංහ වෙසේ..
ලොවටම පූජිත කුසලානේ..
ලක් මෑණිට දුන් පුතුණානන්..

ලක් මව් තුරුලෙයි ආනන්දේ..
ලක් මව් බිම මේ සරසන්නේ..
කිතු ගොස නංවයි අභිමානේ..
ආනන්දේ... අභිමානේ..//
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. 
අභිමානේ.. අභිමානේ..

මහ රල සේ මහ මුහුදේ..
නොසැලෙයි නොමියෙයි දෙරණ මතේ..
කිතු ගොස නංවයි ආනන්දේ..
මහ රල සේ මහ මුහුදේ...
ආනන්දේ... අභිමානේ..
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. ////
රන් හා රිදී අකුණු සර දෙකක්..















Related Posts Plugin for WordPress, Blogger...