ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන්‍යතාවය විදහා පාන්නක්.හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට දින තුනක් පාසල් ගීය ගායනා කෙරෙනවාමයි. දිනපතා උදෑසන වතාවත්වලින් අනතුරුව පාසල් ගීය හා ජාතික ගීය ගායනා කෙරෙන අතලොස්සක් පාසල් අතර ආනන්දයේ නමටත් තැනක් ලැබෙනවා. ඒ අතරින් එදා සිටම ජාතික ගීයේ අඩක් නොව සමස්ත ගීතයම ගායනා කරන,මා දන්නා එකම පාසලත් ආනන්දයයි.
ආනන්දය සතුව එවැනි නිල මට්ටමේ ගීත දෙකක් තිබෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ විද්‍යාලයීය ගීතය(school anthem) නමින්,අනෙක ආනන්දයේ ගීතය(school song) නමින් හැඳින්වෙනවා.මින් පාසලේ උත්සව අවස්ථාවන් සමාරම්භයේදී සහ උදෑසන වතාවත්වලින් අනතුරුව ගායනා කෙරෙන්නේ විද්‍යාලයීය ගීතය යි. ආනන්දයේ ගීතය වාදනය කෙරෙන්නේ පාසලේ අධ්‍යන කටයුතු අවසානයේ චත්ත මානවක ගාථා සජ්ජායනය කිරීමෙන් අනතුරුවයි.
මීට අමතරව ආනන්දයේ සුවඳ විදහා දැක්වෙන අපූරු ගීත පෙළක්ම තිබෙනවා.
අනදතා පාන,උද්දාමයේ ගීතය,ආනන්දේ අභිමානේ, ඉරහඳ පවතින තුරු හෙළ දෙරණේ වගේම ආනන්ද නාලන්දා සුලෝහිත සහෝදරත්වය විදහා දැක්වෙන ආනන්දයේ නිර්මාණ වන
සුලෝහිත රාවය,ආනන්දේ සෙවණේ වැඩි දරුවන්,සිංහයෝ අපි වගේම භාතිය හා ජනනාත් වරකාගොඩ ගායනා කරන
ආනන්ද නාලන්ද විදු දෑලේ ගීත සුවිශේෂයි.ඒ අතරින්
ආනන්ද නාලන්ද විදු දෑලේ ගීතය ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වුනා.අද බ්ලොග් පොස්ටුවෙන් මේ ගීත 10ම ගේය පද සමගින් වීඩියෝ පටය පල කරන්නයි බලාපොරොත්තුව.ඒ එක්කම කාලයා සමග අභාවයට ගිය ගීත කිහිපයක අංශු මාත්‍රීය තොරතුරු මට ලැබුනා,පසුවට ඒ ගැනත් පල කරන්නම්.
ආනන්දයේ විද්‍යාලයීය ගීතය කියන්නේ ඉතාමත් සාඩම්බරනීය ගීතයක්.රණ බෙර රාවයක් අතරින් එන වේගවත් ගී පදවැල් සැබවින්ම ආනන්ද පලිහ මත අවිධරා සිටින සිංහ සලකුණ සිහිපත් කරවනවා.
දින දින කිතු ගොස බෝ වී
වැජබෙනු අනද'ප මාතා //
සුදිලී ජය වී ලොවෙහී
සාදා දීලා සිප් සත හා
කලා ද විනේ ද පහදා..
එඩිතර සිංහල දරු කැල සදලා//
දින දින කිතුගොස බෝ වී
වැජබෙනු අනදප මාතා//
ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝවැඩ සලසා//
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමු තිලෝන දෙසු සේ..
දින දින කිතු ගොස බෝ වී
වැජඹෙනු අනදප මාතා..//
විද්‍යාලයීය ගීතය වේග රිද්ම ස්වභාවයක් ගත්තත් ආනන්දයේ ගීතයට ඇත්තේ ඉතාමත් නිවී සැනසුන බවක්.මේ ගීතය ලියවී තිබෙන්නේ ආදී ආනන්දයීය ,ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ පියා වන විමල් අභයසුන්දරයන් අතින්.එතුමා වසර කිහිපයකට මත්තෙන් අප අතරින් සමුගත්තද, ආනන්දය පවතින තුරාවට මේ ගීය දිනපතා සවස වාදනය වද්දී ඔහුව අනුස්මරණය වේවි..තනුව සහ සංගීතයෙන් මේ ගීතය රසවත් කලේ අනිල් මිහිරිපැන්න මහතා යි.
ආනන්දේ අද ආනන්දයි
ආනන්දය ගැන කියවෙන පැරණිම ගීත අතරින් පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ කණ්ඩායම ගායනා කරන
ඉරහඳ පවතින -තුරු හෙළ දෙරණේ ගීතය සුවිශේෂයි.
මෙය 1986දී රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනය වූවක් බව සඳහන් වෙනවා. අපූරු ගායනයක් සමගින් එක්වී තිබෙන රූප රචනය සැමටම මතක් කර දෙන්නේ ආනන්දයේ ආදී කතෘවරුන් ආනන්දය බිහි කලාවූ සැබෑම අරමුනයි. මේ වීඩියෝ පටය අනිවාර්යෙන්ම බැලිය යුත්තක් බව මතක් කරන්නේ ඒ නිසාමයි.
ඉර හඳ පවතින
තුරු හෙළ දෙරණේ
අනුහස නොනිමෙන
තුරු බුදු වදනේ
ලොව මිනිසත් බව
එලි කරමින්නේ
පහනක් වේවා
මනු දම් උයනේ..//
පරාධීන වී හෙළ ගති සැඟවුන
යුගයක වැදී සටන්..//
අධීන විරුවන් පඬුවන් බිහි කර
යලි දැය නගන ලෙසින්
උදා වුනේ ඔබ උදාර විරුවකු
ලෙස හෙළ දෙරණ මතින්
දැයේ පහන් ටැඹ
වී හෙළි කල මග
ඇත ලොව සතර දෙසින්
ඉර හඳ පවතින..//
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව
මේ ගීතය ලියවුන 1986 වර්ෂය කියන්නේ ආනන්දය ශත සංවත්සරය සැමරූ වසරයි.ඉන් අනතුරුව 2011වසරේදී එළඹුන 125 වැනි සංවත්සරය පුරා වසරක්ම මුළු ආනන්ද ප්‍රජාවම සැමරුවා. 2011 නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුන ඒ අසම සම දිනය වෙනුවෙන් ආනන්දය සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධානය කලේ 2011 වසර මැද භාගයේ සිටන්මයි. 2012 වසරේ මාර්තුමස අවසන් දිනයේදී ලොව පාසලක පැවැත්වූ දැවැන්තම ප්‍රදර්ශනය වන අනද අබිමන් ප්‍රදර්ශනය අවසානය වන තුරුම ආනන්දය උත්සව ශ්‍රීයෙන් බබලනු ලැබුවා.ප්‍රදර්ශනය අතරතුරේ ලබපු අත්දැකීමක් කලින් මේ බ්ලොග් අඩවියට ඇතුල් කළා,ඒක බලන්න පුළුවන්
මෙන්න මෙතනින්.මේ වකවානුව තුලදී ආනන්දයේ ගීත සාහිත්‍ය වෙතට නවමු ගීත කිහිපයක්ම එකතු වුනා.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ 125 අනද අබිමන් උළෙලේ නිල ගීය වන
අනදතා පාන ගීතයටයි.
අනදතා පාන ගීතයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආනන්දය තුලින් බිහිව සංගීත ක්ෂේත්‍රයේ විවිද ඉසව්වන්හී නම් දැරූ කළා කරුවන් මෙම ගීතය සම්පාදනය කිරීමට දායක වී තිබීමයි. මේ ගීතය ලියවී ඇත්තේ නුවන් කුමාර කටුගම්පොල(1991) අතින්.ගේය පද සංගීතයෙන් ඔපවත් කර ඇත්තේ සහන් රන්වල (1997) විසිනි. ගීතය නිෂ්පාදනය කොට ඇත්තේ ආදී ආනන්දයීය 97 කණ්ඩායමයි.
මේ ගීතය ආනන්දීයන් කෙතරම් දැඩිව වැළඳගත්තාද කිවහොත්,සෑම කෙනෙකුගේම ජංගම දුරකතනවල රින්ග් ටෝනය ලෙස වැඩි කලක් මෙය පැවතුනා.එසේම ශ්‍රී ලංකාවේ සෑම දුරකථන ආයතනයකින්ම මේ සඳහා රින්ග් ටෝන් පහසුකම ලබා දුන්නා.
අනදතා පාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ//
බන දම දැනගෙන හැදුනෝ
විදු නැණ යහ ගුණ පිරුණෝ
කෙලිලොව දිනවන හපනෝ
රණ ජය බිම..
රණ ජයබිම මහ මුදුනෝ..
පසු මං නොබසින ඇත්තු..
පෙරමන් හොබවන පුත්තු..
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..
වෙඩි වැස්සට සැලෙන් නෑ
අඩි පස්සට හැරෙන් නෑ..
අනදතාපාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ..
කළා විලේ සිය පත් වූ
නිලේ බලේ අග පත් වූ
එලෝ මෙලෝ සුවපත් වූ
අනාගතේ...
අනාගතේ පැහැපත් වූ..
අනුහස් ඇති පුතණුවෝ..
කොතනත් රජ කරනවෝ..
ආනන්දේ පුත්තු..
අපි ආනන්ද පුත්තු..
උරුම රකී පෙර දිනේ
දියුණු ලොවේ පෙරමුණේ..
අනදතා පාන නොපමා නිපුනෝ..
කුමරතා මාන ගජතා පිරුණෝ..
විහාරයේ රන් බුදු රැස්
සෙනේහයේ රන් කුළු රැස්
එදා ආදී රන් කතු රැස්
අපේ කාලේ...
අපේ කාලේ රන් සිසු රැස්..
විජාති බල තෙද සින්දු
ලොවේම හෙළ නම රැන්දූ
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..
එකා වාගේ නැගේවී
අනද සරණ ලබාවී..
අනදතා පාන නොපමා නිපුණෝ
කුමරතා මාන
ගජතා පිරුණෝ..
ගායනය : භාතිය ජයකොඩි ('95)
මධු මාධව අරවින්ද ('92)
ජගත් වික්‍රමසිංහ ('85)
කසුන් කල්හාර (ආ'2000)
සහන් රන්වල ('97)
ජනනාත් වරකාගොඩ ('96)
හර්ෂණ දිසානායක (ආ'10)
අකලංක ගනේගම (ආ'2000)
දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
නිමන්ත හේෂාන් ('97)
ඉසුරු ජයරත්න ('97)
සචිත් අනුත්තර (ආ'10)
ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එකම මොහොතක එකම පාසලකින් බිහි කිරීමේ අරුමැසි සිදුවීම සිදු කළාවූත්,හතරවැනි ඊලාම් යුද්ධය අවසන් කල මහ විරුවන් මුල් පුටුවේ සිට බොහොමයක් බිහිකලාවූත් ආනන්දය වෙනුවෙන් මේ ගීතයෙන් සැබෑ සාධාරණත්වයක් ඉටුවී තිබේ.එසේම ජාතික ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කර ඇත්තේද ආනන්දයයි.ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආනන්ද නාලන්දා ක්‍රීඩක නියෝජනය ක්‍රීඩකයන් 6 දෙනෙකි.1996 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය ආනන්දියකු දරද්දී එහි ආනන්ද නාලන්දා සුලෝහිත සහභාගිත්වය ක්‍රීඩකයන් 5 දෙනෙකි.ආනන්දයත්, ඉන් බිහිවූ නාලන්දාවත් සැබවින්ම විශ්මකර්ම විදුබිම් බව අතිශයෝක්තියක් නොවේ.අනුහස් ඇති අනද පුතනුවන් කොතනත් රජ කරනා බව පවසන්නේ එබැවිනි.
ආනන්ද නාලන්දා සහෝදරත්වය ගැන කියවෙන මෙම ගීතය අන් සියල්ලකටම වඩා පසිඳු වූවකි.මේ ගීතයට හඬ මුසු කරන්නේ ආදී ආනන්දයීයන් දෙපලක් වන ජනනාත් වරකාගොඩ සහ භාතිය ජයකොඩියි.මේ ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයයි.
ආනන්ද නාලන්ද විදු දෑලේ
මහ ක්‍රිකට් තරඟ උළෙලේ
අසිරියෙන් කෙලි මඩල බබලන්නයි
සමගියෙන් දස්කමින් ජයගන්නයි..//
ජාතික තලයට
සුරු විරු දරුවන්
නිබඳ තිලිණ කරනා
ඒ දරුවන් ලොව
ජය ලබනා විට
යසස කිරුල දරනා..//
අනද මෑණියන් සෙවණේ..
හෙළ හැදියාවෙනි වැඩුනේ..
යහ ගුණ දහමින් විදු නැණ ලබමින්
කිතු ගොස දින දින නැගුනේ..
ආනන්ද නාලන්ද..//
තරඟය ක්‍රීඩා පිටියට පමණයි
ජය පැරදුම එකසේ විඳ ගැනුමයි..//
සොහොවුරු දහමින් බැඳී නැගෙන්නයි..
කෙලි බිම.. මව් බිම..
ජය බිම වන්නයි..///
සුලෝහිත සංග්‍රාමය නිල ගීතයට අමතරව,ආනන්දය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ 83 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වෙනම නිල ගීතයක් නිර්මාණය වනවා.
සුලෝහිත රාවය නමින් මේ ගීතය නිර්මාණය වන්නේ පාසලේ එවකට සිටි සිසුන් අතින්මයි.ගීතයේ හඬ මුසු කිරීම් සිදු කෙරුනේ
රැඩිසිස් ශබ්දාගාරයේදී යි.ගීතයේ පද පෙළ මගේ හිත මිත්‍ර මංගල සේනාධිපතිගේ සංකල්පනාවක්.ගීතය නිර්මාණය වන්නේ මගේ සමකාලින සොහොයුරන් කිහිප දෙනෙකු අතින්.
ගුගුරුවා වා තලේ
සරසවා මිහිතලේ
ලේ නොහලා රත් පැහැ ගන්වා
රන් රිදී අකුණු සරින්
අඳුරු වලා ගැබ
එලි කරනා..
කඟවේනුන්ගේ සිරි මවමින්
තණ නිල්ලත් දෙදරවනා
ලෝ සොලවාලන සිංහ පුතුන් හට
තිඹිරි ගෙයක් සදනා
සුලොහිතයන්ගේ මහ සැණකෙලියයි
සොහොවුරු කම් දිදුලනා..
කෙසරුන්ගේ රණ හඬ මැද්දෙන්
ජය ඝෝෂා නැන්වෙනා..
දඟ කැවූ පන්දුවේ
කස හඬ එක් වුනේ..
ජය දඩ නංවා ඇත හඬ දීලා..
සොවුරු පෙමින් අප එක් වීලා..
නිහඬ ලොවක් සොලවා..
ගී පද : මංගල සේනාධිපති
සංගීතය : මධුරිත සමරසිංහ , ලහිරු තිලකරත්න
හඬ සංයෝජනය : රනුක හෙට්ටිආරච්චි
ගායනය : රෙසිල් ඉර්ෂාද් ,මධුරිත සමරසිංහ,ලහිරු තිලකරත්න,රනුක හෙට්ටිආරච්චි,මංගල සේනාධිපති
ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ගීතවත් මුහුණුවර එතෙකින් නොනැවතී තබපු තවත් එක පියවරක් විදියට ආනන්දේ සෙවණේ වැඩි දරුවෝ තේමා ගීතය කරලියට එනවා.හැබැයි මේ ගීතය වැඩි දෙනෙක් අසා නැති බවයි මගේ හැඟීම. බලන්න අහල තියෙනවද කියලා?
ආනන්දේ සෙවණේ වැඩි දරුවන්..
ලෝ තලයට එසවීනි හපනුන්..
ලොවම මවිත කල කෙලි බිම විරුවන්
දිලෙයි අනද තරු සැමට ඉහලින්..
රන් ලෝහිත දදවැල් බන්දා
ඉතිහාසයේ අබිමන් නංවා
සිප් මවගේ ආසිරිද ලබා
අනද පුතුන් අපි ශතක හඹා..
අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ ජය රූ ජය රූ...
අපෙ නෙතු අද්දර මැවිලා
ආනන්දේ නාලන්දේ විදුහල් පියසේ
සිප් සරනා අප සොයුරන් වේ..
සමගිය වඩනා..ලොව අගනා දේ..
ජය පැරදුම විඳුමයි එක සේ..
තරඟ බිමයි එක තණ නිල්ලයි
කුසලානෙයි සිංහයෝ දෙපිලයි
හදක පැතුම් ඉටුවන දිනයයි
ආනන්දය දිනනා දිනයයි..
අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ අපෙ නෙතු අද්දර මැවිලා..//
සුලෝහිත කෙලි බිමයි මහ සංග්‍රාමයයි...
ආනන්දය සහ ක්‍රිකට් කියන්නේ කිසිදා නොබිඳෙන සබදතාවක්.ඉතින් ඒ ගැන ලියවෙන ගීත මෙතෙකින් නවතින්නේ නෑ. මේ 84වැනි සුලෝහිත සංග්‍රාමය ගැන ලියවුනක්..
සිංහයෝ අපි..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. ආනන්දයෙන්..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. නාලන්දයෙන්..
ජය හඬ මැදින්..
සිංහයෝ අපි..//
විදු මව් තුරුලෙන්..
උණුහුම විඳිමින්..
සොහොයුරන් සේ විඳිමින්..
පායන හිරු මෙන්..
පායන සඳු මෙන්..
නොනිවෙනා එක හැඟුමෙන්..
සිංහයෝ අපි..//
කෙලි බිම කළඹා
ඔද තෙද වඩවා..
රජත රන් දද සෙවණේ..
පිබිදෙන හැඟුමෙන්..
නොසිදෙන දිරියෙන්..
නොබිදෙනා සොයුරු දමින්..
කෙලි බිම අරුමේ..
සිංහයෝ අපි..//
ගායනය : වතිල මානකමල් ,ඉසුරු සමරසිංහ,ලහිරු ගුරුසිංහ
සංගීතය : වතිල මානකමල්
රූප රචනය : හසන්ත සුනෙත්, ලහිරු ගුරුසිංහ
ක්‍රිකට් ගැන කතා කලෝතින් ලාංකේය ක්‍රිකට් ලෝලීන් සතුව තියෙන ඉහලම මතකය තමයි 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය. මේ ඒ ගැන සඳහන් වෙන ආනන්දය ගැන ගීයක්.. මේ ගීතයේ ගායකයා LedartRaXX; යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙතත් LedartRaXX යනු මගේ හිත මිතුරු සජන වීරසේකර බව දැනගන්නට ලැබුණා.ගීතය ගායනා කරන්නේ ඔහු සමගින් පසිඳු භාග්‍ය සොයුරා.මේ ගීතයේ තනුවද සජන වීරසේකර සතුයි. සංගීත රචනය නිමැවෙන්නේ 83 වැනි සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයට සංගීතය සැපයූ රනුක හෙට්ටිආරච්චි සොයුරා අතින් රැඩිසිස් ශබ්දාගාරයේදී යි.
වීර විකුම් පානට මේ දරුවෝ..
ඉදිරියටම එයි සිංහ වෙසේ..
ලොවටම පූජිත කුසලානේ..
ලක් මෑණිට දුන් පුතුණානන්..
ලක් මව් තුරුලෙයි ආනන්දේ..
ලක් මව් බිම මේ සරසන්නේ..
කිතු ගොස නංවයි අභිමානේ..
ආනන්දේ... අභිමානේ..//
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ..
අභිමානේ.. අභිමානේ..
මහ රල සේ මහ මුහුදේ..
නොසැලෙයි නොමියෙයි දෙරණ මතේ..
කිතු ගොස නංවයි ආනන්දේ..
මහ රල සේ මහ මුහුදේ...
ආනන්දේ... අභිමානේ..
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. ////
 |
| රන් හා රිදී අකුණු සර දෙකක්.. |