Wednesday, May 18, 2016

පවන් සංදේශය !

A whisper to the wind, a request not to cry...


හමන සුළගේ නදට මුමුනමි
ගෙනයන්න හසරැල් පියුම්
දුරක තනියම හඬන නුඹ වෙත
සැනසෙන්න, හැර පිනි සැලුම්

පිනි දියෙන් එන සිසිල් සුව නොව
සොවින් මත් උණුසුම දැනේවී
නෙතඟ තෙමනා ඒ දියෙන් මතු
පිපෙන සියපත් හැඩ කරාවී

ලොවම එළි කල හිරු සඳුත්
නැතේ කිසි දින මුව බලාලා
නොදැක සිටියත් ඒ හිරුත් සඳු
කලෙද අමතක, එළිය දීලා?

කරූ

Saturday, May 14, 2016

කල් ඉකුත් වූ කොන්ත්‍රාත්තු හෙවත් නොනිමි කතාවක්


පෙරවදන..

කාලෙකට කලින් ලියලා දාන්න උන්නු කතාවක් නමුත් මොකක්දෝ හේතුවකට හිතේ මතකයක්ම වී පැවතුන, මෑත කාලීන තවත් සමාන අත්දැකීමකට මුසු වුන නිසා යලි පණ ආපු මගේ කතාවක්..



Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ
පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ
හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ
පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව
මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල කලින් නොවුණ
සුවයක් දැනුනා මැණිකේ
මගේ කුරුටු අකුරුවලට
හරි හැඩ පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා
සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ
“කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?”
උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං”
“හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ”
රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම
උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?
ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට
උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ
ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව
ආයෙත් මුණ ගැහෙයි කියල
“මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?”
එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
ආයෙත් අපි මුණගැහේවි
එදා වගෙම කෝපි හලේ
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

Wednesday, May 11, 2016

දේවතා එළි පෙනෙයි ද ආදරෙන් ?













හිතක් පපුවක් නැති පත්තරකාරයෙක්?


ඒ මාව පහුගිය අවුරුදු කීපය ඇතුලත සමහරු හඳුනාගත්ත විදිය වෙන්න පුළුවනි.

අනුකම්පාවක් නැති කම්මැලියෙක්, එහෙමත් නැත්තම් හිතට වැටුන ඉවක්, පුංචි උනන්දුවක් පිටිපස්සේ නොකා නොබී හඹා යන නොසන්ඩාලයෙක්?   ඒ තවත් එක විදියක්.


ඔව්, මෑතකාලීනව අපූරුවට රවුම් රටා වැටුණ දරාගන්න බැරි රක්ත-තප්ත කවචයක් ඇතුලේ හැංගුණ මනුස්සයෙක් විදියට මාව මිනිස්සු හඳුනාගත්තේ එහෙමයි. ලියන අකුරුවල ඒ බවක් පේන්න නැතත්, හැබෑ චරිතේ ලියන වචනවලින් ගොඩක් ඈත්වෙලා තිබුණා.








හැබැයි ඌ දවසින් දවස ඒ හැංගුණ කවචෙන් එලියට ආවා. 


කෙල්ලෙක් නිසා!

ඒක කොහෙත්ම තනියම ජීවත් වෙන, ගෙයක් දොරක් පැත්ත පළාතේ යන්න ආස නැති කොල්ලෙක්ට ලේසියෙන් දරාගන්න පුළුවන් ආදරයක් නම් වුනේ නෑ.



අවුරුදු විසිදෙකක කෙල්ලෙක්ට තරම් නොවෙන පිස්සුවක්? පාර දිගේ මාත්  එක්ක යටිගිරියෙන් හූ කිය කියා යන්න පුළුවන්, මූණට ක්‍රීම් ටිකක්වත් ගාන්න ආසාවක් මළාට එන්නේ නැති, මං ඇවිදින පාත්ත-තාරා  ගමන බම්බලපිටියේ මැරයින් ඩ්‍රයිව් නාඳුනන සෙනග ගොඩේ රඟපාන්න ගාණක් නැති, කොල්ලෙක් වගේ ලේසියට මුල් තැන දීලා ඇඳුම් තෝරන පොලවේ පිහිටපු කෙලි අඩි දෙකක්.


කෙල්ලගේ  පාර්ශවේ වචනවලින් කිව්වොත්, ටොම්  බෝයියෙක්! 


උදේට කන්න බොන්න දේ  අරං මගේ නවාතැනට  එන්න, මගේ රෙදි ඔක්කොම හෝදලා, නානකාමර හෝදලා,කුස්සි අස් කරලා, කන්න බොන්න දේ ලැස්ති කරලා, මට කවදාවත් නුහුරු මේ දේ දිහා දත කට කාගෙන බලාගෙන ඉඳලා මම කාමරේට ඇවිත් ඔලුව හංගාගන්නකොට මගේ ඔලුව අතගාන්න, එහෙම-ම මාව නින්දට ගෙනියන්න පුළුවන්, පුදුමාකාර හදවතක්, කොහෙන්දෝ මගේ ලිපියකට හිත ගිහින් මාව හොයාගෙන ඇවිත් තිබුනා. කාලයාගේ අවෑමෙන්, ඒ කෙනා මගේ වුණා.

කොච්චර මාව එලෙව්වත්, ආයේ විනාඩියෙන් විනාඩිය පස්සෙන් ගිහින් මම දැවටුනා. තේ එක හදනකන්, කුස්සියේ ඉන්නකන්, රෙදි හෝදනකන්, මම ළඟ දැවටී දැවටී උන්නේ හාවෙක් වගේ. 

එයා ඒ දේට පුදුම විදියට ආසා කළා.

අවුරුදු ගණනාවකට කලින් මම අම්මගෙන් අප්පච්චිගෙන් අහපු, කිසිම භාෂාවකට අයිති නැති අමුතුම හුරතල් නම් රොත්ත මට ආයේ අහන්න ලැබුනේ මේ කෙලීගේ කටින්.

ඒ මට තවත් අම්මෙක් වුණා, දෙවෙනි අම්මෙක් කියන්න මට හිත ඉඩ දෙන්නේ නැත්තේ, මගේ හිතේ එයාව කාටවත් දෙවෙනි වෙන්න පලවෙනියෙක් නොඋන්න නිසා. 


ඒ විශ්වාසය, ඒ කැපකිරීම් සහ කරුණාව, කොයි තරම් නිදහසක් තිබිලත් ශාරීරික දෙයකට පරිවර්තනය වුනේ නෑ. සමහරවිට, මගෙන් සමුගද්දී කකුල් දෙක අල්ලලා වඳින එක පිටිපස්සේ, ඒ විදියේ ලොකු තේරුමකුත් තියෙන්න ඇති. "ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එලිය සේ අචින්ත්‍යයි" කියපු සුනිල් ආරියරත්නයන්ට 'නෂ්ටකාමියා' යැයි ගරහන සමාජෙක, මං මගේ ගැනම, අපි අපේ ගැනම හරිම ආඩම්බර වුනා.

සමහරවිට මගේම මිත්‍රයෙකුගේ අම්මා කියපු විදියට, ඒගැන කල්පනා කරද්දී කාර්යාලේදී පවා ඇස්වලට කඳුළු ආපු විදියට, මම ගෙදරක,පවුලක  ජීවත් වෙලා පුරුදු එකෙක් නෙවෙයි වෙන්න ඇති.

ඇත්ත! මට පවුලක් තිබුනේ මට වයස අවුරුදු 9 වෙනකන් විතරයි. ඒක මගේ වරදක් නෙවෙයි.


හැබැයි මේ අරුම ආදරේ මාව හැමතිස්සෙම මගේ පරණ මතක ඇතුලේ අසරණ කළා.

කවදා හරි මගේ ගෙදර 'පවුලක්' හැදෙන්න, ඒක පරිපූර්ණ වෙන්න අඩු වෙලා තිබුන එකම වටිනා දේ හමුවුන බව මම විස්වාස කළා.

පූර්ණි! ඒ නම වගේම කවදාවත් මට වචනෙකින් හිත නොරිද්දපු  ඒ ආදරෙත් හරි පරිපූර්ණයි!


ඔයා මල් කඩන්න දන්නේ නෑ! ඔව්, අවුරුදු ගාණක් පරණ, වෙන කෙනෙකුගේ චෝදනාවක්. හැබැයි ඒ අවුරුදු ගාණකට කලින් 


ඒ පොලවට පය ගහපු හිත, අව්‍යාජකම, හරිම පුදුමාකාර විදියට මගේ හිත දිනාගත්තා. ආදරේ දිනාගත්තා. මාව 'මල් කඩන්නෙක්' කළා.

කවදාවත්, නොවෙන දේවල්, කරන්න බැරි දේවල් කවදාවත් ඒ වචනවල මගේ තිබුනේ නෑ.කියපු ඇත්තවලට හිත රිදුනත්, මගේ ඒ ගතිය වෙනුවෙන්, මං කෙරෙහි පුදුමාකාර ගෞරවයක් ඒ හිතේ වෙන් වෙලා තිබුණා.


හැබැයි 'පත්තරකාරයෙක්' කියන මම ලෝකෙට ආඩම්බරෙන් කියන රස්සාවයි, මේ සමාජ ක්‍රමයයි නිසා, මගේ ඉස්සරහා අපි දෙන්නා අතරේ පුදුමාකාර බැම්මක් ගොඩ නැගිලා.

මිනිස්සු මාව අඳුරගත්තේ අහවල් ඉස්කෝලේ අහවලා විදියට, අහවල් පත්තරේ අහවලා විදියට මිසක්, අහවල් අධිකාරියේ අහවල් යුගයේ උන්නු අධ්‍යක්ෂවරයාගේ එකම පුතා විදියට හෝ අහවල් පාසලේ අහවල් කාලේ උගන්නපු ගුරුතුමීගේ එකම පුතා විදියටවත්, නෙවෙයි. 

මම මගේ අනන්‍යතාවක් ඇතුව සමාජෙට ආවා. මම කාගේ කවුද, කාටවත් වැදගත් වුණේ නැහැ. වැදගත් වෙන්න, ඒ අය මගේ ලඟත් නැහැ.


කවදාවත් දෙමවුපියන්ගේ හිත රිදවන කෙල්ලෙක්ව විශ්වාස කරන්නේ නෑ මම කියපු මම තවමත් ඒ තීරණේ නොවෙනස්ව ඉන්නවා.


නමුත්,

අවසානය කොතනද, මම දන්නේ නෑ. හැබැයි මම ජීවිතෙත් ඔට්ටුවට තියලා, ලොකු සටනක් දෙන්න නම් ලෑස්තියෙන් ඉන්නවා.


දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?

ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?



Related Posts Plugin for WordPress, Blogger...