Saturday, May 14, 2016

කල් ඉකුත් වූ කොන්ත්‍රාත්තු හෙවත් නොනිමි කතාවක්


පෙරවදන..

කාලෙකට කලින් ලියලා දාන්න උන්නු කතාවක් නමුත් මොකක්දෝ හේතුවකට හිතේ මතකයක්ම වී පැවතුන, මෑත කාලීන තවත් සමාන අත්දැකීමකට මුසු වුන නිසා යලි පණ ආපු මගේ කතාවක්..






"මේ ගුරු පාරේ මේ දොළ අයිනේ " ලියවුන රහස් කතා වගේම, නිදහස් චතුරශ්‍ර උද්‍යානයේ බොහොමයක් ගස් යට, නුගේගොඩ මං මාවත්වල ලියවුන "ඔවුන්ගේ" රහස් කතා, අනන්තයි, අප්‍රමානයි.

 හැම ගුරුදාවක ම වයස අවුරුදු දහ නමයක පමණ තරුණියකට රස කතා කියමින් බත් කවන දර්ශනයක්, මේ කියන නුගේගොඩ නගරයේ එක්තරා අවන්හලක සේවකයන්ට හුරු පුරුදු දසුනක් වී තිබුණා. වරෙක පැය ගණනින් මේ ස්ථානයේ රැඳී සිටියත්, එම සුප්‍රසිද්ධ අවන්හලෙන් මේ යුවලට කිසිම දිනයක බාධාවක් ඇති නොවුනේ, ඕනෑ තරම් ඉඩ පහසුකම් තිබු ස්ථානයක් වීමට වඩා ඒ ඔවුන් දෙදෙනාගේ හිතෛෂීබව සහ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ගෞරවයට ගෞරවකල, සැබෑ පෙම්වතුන් යුවලක් බව ඔවුන් හඳුනාගෙන සිටි නිසාම වෙන්න ඇති.



මේ විදියට මේ අවන්හලට ඒමට පුරුදු වී වසර එක හමාරක් පමණ ගත වී තිබුණා. ඒ සැම දිනකම, තරුණයා තරුණියට සහ තරුණිය තරුණයාට බත් කවන දර්ශනය සුපුරුදු කාරණයක් වී තිබුණා. දිනක් ඔවුන් දෙදෙනා දෙස බොහොම පැහැදිලි ලෙස බලා සිටි කාන්තාවක දැකීමෙන්, ඔවුන් දෙදෙනා මදක් අපහසුතාවයට පත් වුනේ මොහොතකට වාගෙයි. ඒ බව දුටු කාන්තාව සිනා මුවින් ඇය සිටි ස්ථානයෙන් නැගී සිට ඔවුන් දෙදෙනා වෙත පැමිණියා.


" ඔය දෙන්නා දකිනකොට, මට මගේ අතීතය මතක් වෙනවා....."


ඔවුන් දෙදෙනා මොහොතකට ගොළු වුණා. 

තරමක් නිහඬ, සවන් දෙන්නියක වූ තරුණිය කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් කට කාර තරුණයා ට ද කීමට යමක් සිතා ගැනීමට නොහැකි වුණා. මොහොතකින් සිනහවක් දල්වා ගත් ඔවුන් දෙදෙනාම, මේ ආදරණීය අපූරු කාන්තාව හා සිනාසුනා.



ඇය ද, සිනා මුවින් එතැනින් නික්ම ගියා..



මේ යුවල මුණ ගැසුණු අවසාන දිනය උදා වුනා, නමුත් ඒ ඔවුන් මුණ ගැසෙන අවසාන දිනය බව ඔවුන් දෙදෙනාවත් දැන සිටියේ නැහැ.



" ඔයා ඔයාගේ ජීවිතේට නිර්වචනයක් හදාගන්න දරුවෝ. තමන් මේ රටට, ලෝකෙට මොන වගේ දෙයක් ද කරන්න ආවේ කියන දේ තීරණය කරන්න.. ඔහොම පාවී පාවී ඉන්න එපා...."


" ඒ නිර්වචනයට යන්න මම උදව් කරන්නම්.. සමහරවිට ඒ යන පාරට මාව ගැලපෙන එකක් නැහැ. අපි ඒක එදාට බලමු.. එදාට මට වඩා සුදුස්සෙක් අවශ්‍ය වුනොත්, මම උදව් කරන්නම් මගේ දරුවෝ..."

වටේ හැම තැනම දුව පනිමින් සිටි කුඩා දරුවන්ට හෝ මා පියන්ට, මේ දෙබස ගැන පුංචිවත් සංඥාවක් දැනෙන්න නැතිව ඇති. නමුත් ඉවසීමෙන් හා කරුණාවෙන් තරුණයා එක දිගට බොහෝ වෙලාවක් ගෙන, දීර්ග නිහැඬියා අතරින් මතු කරන එම වදන්  සියල්ල තරුණිය නිහඬව අසා සිටියා.



වටේ හැම තැනම, කහ පාට විදුලි බුබුළු එකින් එක පත්තු වෙමින් පැවතුනා. නුගේගොඩ නාගරික උද්‍යානයට පය ගැසූ මුල්ම දවසේ, ඒ හැන්දෑවේ ලස්සන යාන්තම් හෝ ඇස ගැටුනත්, තමන් කිසිදා මේ උයනට පය නොගසන වග ඔහු දැන සතියේ නෑ.



"ඔයා පිළිවෙලක් වෙන්න, යන කිසිම ගමනකට මාව බාධාවක් කරගන්න එපා.. ඒත්, දවසක මම ආසයි ආපහු මෙතනට එන්න. පුංචි කොලු පැටියෙක් එක්ක.. ඒ එන කොලු පැටියාගේ අම්මා ඔයා නම්, එදාට මට පුදුම සතුටක් දැනේවි.."

තරුණයා කියද්දී තරුණිය ඔහුගේ අත මිරිකා ගත්තා. තරුණයා ද අත මිරිකාගෙනම සුළු මොහොතකින් නැගී සිටියා. තරුණිය තවත් මොහොතක්, හිඳ සිටි අයුරින්ම ඔහේ බලාගෙන සිටියා.



ඔවුන් පෙම්වතුන් සේ හමු වූ අවසාන දිනය බව, ඔවුන් එදා දැන සිටියේ නැහැ.



----------------------------------------------



වසර දෙකකට පසු දිනක් තරුණයා තම රැකියා ස්ථානය ආසන්නයේ ඇති අවන්හලකට ගොඩ වැදුනේ පළමු අවස්තාවටයි. නුගේගොඩ පැරණි මතක අවන්හල් සමූහයේම ශාඛාවක් බව, ඔහු කලින් සිටම දැක තිබුණා..


ඔහු ගොඩ වදිනවිට පුදුමයකට මෙන් එක් කාන්තාවක පමණක් හැරෙන්නට පැරණි පුරුදු නුගේගොඩ කාර්ය මණ්ඩලයම එහි සිටියා. රාත්‍රී කාලයේ පිටත්ව යාමට තිබූ රාජකාරියක් නිසා කඩිමුඩියේ ආහාර ගැනීමට ගියත්, තරුණයා පොඩි කතාවකට මුල පිරුවා.


" මාව මතකද!"

එක්තරා සේවකයෙකුගෙන් ඔහු විමසුවා.

මොහොතක් බලා සිටි ඔහු, "හානේ! කාලෙකින් ආවෙ නෑනේ? දැන් මොකද කරන්නේ?"

"මම අහවල් පත්තරේ, මාධ්‍යවේදියෙක්" ඔහු පිළිතුරු දුන්නේ ඔහු සැබවින්ම තමාව හඳුනාගතේ දෝ කුකුසකිනි.


"නියමයිනේ, මිස් මොකද කරන්නේ දැන්?"

තරුණයාගේ සැකයට පිළිතුරු ලැබුණා.


 "එයා දැන් ලංකාවේ නෑනේ, ඉගෙනගන්න ගියා. දැන් නුගේගොඩ කට්ටියම මෙහෙ නේද?"


ඔව්, නුගේගොඩ අපේ කොන්ත්‍රාත් ඉවර වුණා. දැන් අපි මෙහෙ..



"හ්ම්ම්ම්, මගේ කොන්ත්‍රාත් කාලයත් ඉවර වුනා.." එසේ කල්පනා කලත් තරුණයා එයට වචන ගැලපුවේ නෑ...



________________________


එයිනුත් සෑහෙන කලක් ගත වී යනවා..


මේ අතර තරුණයා ලිපියක් ලියනවා, "අනාගත හිමිකාරිනියට ලියා තබමි" නමින්. (එය මෙම බ්ලොග් අඩවියේ පල කර තිබුන ද පසුව ඉවත් කෙරුණා) මාස කිහිපයක සිට තරුණයාගේ විවිධ බ්ලොග් සටහන් සහ පුවත්පත් ලිපි කියවමින් සිටි එක්තරා තරුණියක, මේ තරුණයා වෙත විද්‍යුත් ලිපියක් ලියන්නට කල්පනා කරන්නේ මේ සටහනින් අනතුරුවයි. මතක සිටින මට්ටමේ ලැබුන හිතවත් සටහන් අතරින්, බොහෝ දීර්ග වූත් හිතවත් වූත් එම පාඨක සටහන, තරුණයාගේ සිත් බැඳගන්නවා.


ඔවුන් මුණ ගැසෙනවා. පුදුමාකාර අනොන්‍ය බැඳීමක් දක්වා එම හිතවත්කම දුර යනවා. 

අවුරුදු විසිදෙකක කෙල්ලෙක්ට තරම් නොවෙන පිස්සුවක් ඇයට තිබුනා. පාර දිගේ ඔහු හා යටිගිරියෙන් හූ කිය කියා යන්න, මූණට ක්‍රීම් ටිකක්වත් ගාන්න ආසාවක් නැති, තරුණයා ඇවිදින පාත්ත-තාරා  ගමන බම්බලපිටියේ මැරයින් ඩ්‍රයිව් නාඳුනන සෙනග ගොඩේ රඟපාන්න ගාණක් නැති, කොල්ලෙක් වගේ ලේසියට මුල් තැන දීලා ඇඳුම් තෝරන පොලවේ පිහිටපු චරිතයක් විදියට, මේ තරුණියව තරුණයා විසින් හඳුනා ගන්නවා.



උදේට කන්න බොන්න දේ ගෙන ඔහුගේ නවාතැනට  එන්න, ඔහුගේ රෙදි සියල්ල සෝදා, නානකාමර කුස්සි අස් කර, කන්න බොන්න දේ ලැස්ති කරන පුදුමාකාර මව් චරිතයක් ඇය තුල සිටියා. 


ඇය තේ සාදන තුරු, රෙදි සෝදන තුරු, ඔහු නිබඳවම ඇය වටා කැරකුනා, ඇයව ආත්මීයව වැළඳ ගත්තා.


නමුත් ලෝකයා ඔවුන්ට එරෙහි වුණා.


"කවදාවත් අම්මල තාත්තලාගේ හිත රිදවන්න එපා... ගෙදර අයව එපා මට ඕනේ ඔයාවමයි කියන කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න එපා"

තරුණයා කිව්වා.


"ඒ අයගේ හිත රිද්දලා නෙවෙයි, අපි හොඳින් කැමැත්ත ගන්න බලමු. පුංචි කාලෙකට දැනුන දෙයක් නිසා ජීවිත කාලයක් බලාගත්ත දෙමව්පියන්ට දුක් දෙන්න එපා.."

ඔහු කිව්වා.


වසර කිහිපයකට කලින් " ඔයා ඔයාගේ පාරේ යන්න, ගැලපෙන කෙනෙක් හම්බුනොත් මමත් උදව් කරන්නම්" කියන වචන ටික වසර ගණනක් පෙම් කල තමන්ගේ පෙම්වතිය තුරුලේ හිඳ කියන්නට ඔහුට හැකි වුයේ කෙසේ දැයි ඔහු නිතරම පුදුමයට පත් වූ කාරණයක්.

 නමුත්, මේ වර්තමාන සිදුවීම නිසා, ඔහු වචනයෙන් විස්තර කිරීමට තවමත් නොදන්නා දෙයක් තේරුම් ගෙන තිබුනා.



තමන් ආදරය නමින් විශ්වාස කලේ, කායික හෝ වගකීම් සම්බන්ධ නාමික හෝ ලිඛිත බැඳීමකට වඩා, පරිත්‍යාගය වෙන්න ඇති. ඔහු ම කල්පනා කළා.


_________________________

ඔවුන් දෙදෙනා ද මුණ ගැසෙන අවසාන දින කිහිපයත් උදා වුනා. අවසාන දිනයට පෙර දිනයේ, ඔවුන් මාර්ගයේ යන විට, වයසක කාන්තාවක බිම හිඳගෙන සිටියා. එදා අතීත කතාවේ තරුණයා කට කාර වුවද, මෙදා තරුණයාට වඩා තරුණිය වඩාත් කටකාර මෙන්ම කරුණාවන්ත වදන් හැසිරවීම අතින් ද තරුණිය ඉදිරියෙන් සිටියා.


"අම්මා මොකද මේ බිම කරන්නේ??"
ඇය ඇසුවා.


"මාව මෙතනින් බස්සලා ගියේ පුතේ බස් එකෙන්. ගෙදරට ඇවිදින්න විදියක් නැහැ.. මම මේ කකුලේ තුවාලෙට බෙහෙත් දාගන්න ගියේ, පුතා හිටියෙත් නෑ ගෙදර.. ...."

ඇය දුක් කතාවක් කිව්වා...



තරුණයාත් තරුණියත් ඇයව ත්‍රී රෝද රියක නංවාගෙන ඇය දවල් කාලයේ තනිව වෙසෙන දුප්පත් නිවසට පැමිණියා.


"වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්..." ඇය තව මොන මොනවදෝ තරුණියට හා තරුණයා වෙත පැවසුවා.



එකතු වෙන්නට වාසනාවක් තමන්ට තවත් නැති වග තරුණයා දැන සිටියා. වසර ගණනකට පෙර අවන්හලේ කාන්තාව ද එම මොහොතේ මතකයට පැමිණියා.. ඉන් ඉදිරිරියට වයසක මව පැවසු දෙයක් ඔහුගේ මතකයේ නැහැ. ඊට වැඩි යමක් ඒ මොහොතේ ඔහුට ඇසුනේ ද නැහැ.



වයසක මව නිවසට ඇරලු පසු, තරුණයා තරුණියව නිවස වෙත පිටත් කළා. ඔවුන් තවත් මුණ ගැසුනේ එක් දිනක් පමණයි.


ඔවුන් ද,පෙම්වතුන් ලෙස ඔවුන් හමුවන අවසාන දිනය බව එදා දැන සිටියේ නැහැ.


-නොනිමි යි.



4 comments:

  1. හ්ම්ම්ම්...

    මට නම් ගොඩක් දැනුනා මචෝ..

    හේතුව කියන්න ඕනේ නැහැනේ...
    ------------

    ලියවිල්ල නම් අතිශයින්ම සුන්දරයි...හදවතට දැනෙන සුළුයි...

    මේ වෙලාවේ කියන්න පුළුවන් එච්චරයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා..... මේක ලස්සන ලිවිල්ලක් ලියාගන්න කරපු උත්සාහයකට වඩා දුක පිට කර ගැනීමක්...

      Delete
  2. “මරු“ තව කියන්න දෙයක් නැහැ බං..

    තව එකක් තියෙනවද? අහවරද?

    ReplyDelete
    Replies
    1. අහවර වෙන එකක් නෑ සෑම් මේ අන්තිම කතාව නම්.. තාම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මම.

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...