බැස යන්නේ හිරුදැයි ,නැතිනම් කැරකෙන්නේ ලොවදැයි නොදනිමි.. කෙසේ හෝ හිරු අවරට හැරී ඇති මොහොතකි.හැර යන්නේ හිරු වුවද කැරකෙන්නේ ලොව වුවද කම් නැත,කාලය වේගයෙන් ගලා යනු ඇත.ගලා යන කාලය සන්තතික වුවද,විවික්ත වුවද,එයට ගලා යාමට ඉඩ දුන්නද නොදුන්නද එය ලිස්සා යයි. ස්ථානය කපුටන් ගැවසීගත් ගංගාරාමයයි. බේරේවැව දෙසින් හමා එන පුසුඹ පසෙකලා තමන්ගේ කතිකාවතෙහි යෙදීමට උත්සහගත් දෙපළකි.ඔබත් මා සමග අසල බංකුවකින් වාඩි ගන්න. 'ඔහු' හා 'ඇය'ට නුදුරින්.
"මොකද කතා නැත්තේ?"
"කල්පනා කරනවා.."
ඔහු ඉවත බලයි..
"මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"
"කල්පනා කරන්නද දේවල් නැත්තේ දරුවෝ"
ප්‍රශ්නයකි, ප්‍රශ්නයකි.
අසලින් කොට කලිසමක් හැඳි මහල්ලෙක් දුවයි.කනේ ජන්ගමයකට වයර් ගසා ඇත.කට ඉංගිරිසියෙන් පොපියයි,
බඩු තුන්ඩුවක් අසාගන්නා අයුරකි.
ඔහු ද මහල්ලා දෙස බලා සිටියි.
"අපේ මිනිස්සුන්ට මක් වුනාද මන්ද.."
ඇය ඔහු දෙසට හැරෙයි..
හ්ම්..
නිහඬතාවයකි..
"සුද්ද රට දාල ගියේ කළු සුද්දෝ ටික මෙහෙ දාල නොවෑ"
ඔහු නිහඬතාවයට සමුදෙන්න කල්පනා කළ සැටියකි.
එහෙත් තවමත් දෑස් රැඳී ඇත්තේ කොහේදෝ අනන්තයක ය.
"ලඟදි මම ගියා අම්මත් එක්ක කඩේකට."
ඈ කතා පෙට්ටිය විවර කිරීමට සැරසෙයි.ඔහු තවමත් කල්පනාවේ නිමග්නය.
"එතනට ඇවිත් හිටියා ගෑනු කෙනෙක්.ඈත හිටිය පොඩි එකාව ලඟට ගෙන්න ගන්න කතා කළා කම් දෙයාර් කියල."
ඔහු ඇයගේ මුහුණට එබෙයි.ඇය එකී ගැහැණියට සිනාසේන්නේදැයි බැලීමට විය යුතු ය.
"දන්නා සිංහලෙන් නැතුව නොදන්නා කෙහෙල්මල් තමා මිනිස්සු කරන්නේ.මට ලඟට ගිහින් කියන්න තරම් කේන්තියක් ආවේ"..
ඇය වේගවත් වෙයි.. මුහුණේ රැඳී ඇත්තේ කේන්තියකි.ඇයද ඔහුටම දෙවෙනි නොවේ.
"හරි ඉතිං,ඕක කම් හියර් කියලම කියන්න ඕනෙද?ළමයට තේරුනා නම් කිව්වේ
ලඟට එන්නයි කියල ඒ මදෑ.."කියන්නා කෙසේ කීවද ඔහුගේ පිළිවෙල තර්ක කිරීම බව මට හැගින..
"තේරුනා නම් ඇති තමයි,ඒ වුනාට මම කියන්නේ හරියට භාෂාවක් පාවිච්චි කරන්න බැරි නම් බස නසන්න නෙවෙයි,දන්නා බාසාවක් පාවිච්චි කරන්න ඕනේ කියලයි."
"භාෂාව හරියට ජීවියෙක් වගේ ළමයෝ.ඌ පරිනාමය වෙනවා. භාෂාව පරිනාමය වෙන්නේ වැරදි කරන්න කරන්න තමයි.වැඩියෙන්ම ඉංග්‍රීසි වගේ බාසාවක්.මීට අවරුදු සීයකට කලින් බලපුවාම තිබ්බ ඉන්ගිරිසියයි දැන් තියෙන ඉංගිරිසියයි අතරේ කොච්චර වෙනස්කම් තියෙනවද?ඒ අතින් බලපුවාම සිංහල වෙනස් වෙන්නේ බොහොම හෙමින්.ඉංගිරිසි වගේ බාසාවල එකම වැරැද්ද වැඩි දෙනෙක් කරන්න කරන්න ඒ දේ හරි දේ බවට පත් වෙනෝ" ඔහු එක පයින් ඇයගේ කීමට එකඟ නොවුන සැටියකි.
"ආ යූ ගේ?" ඈ ඔහුගෙන් විමසයි.ඔහු සිනහසෙමින් ඇයගේ කොන්ඩයෙන් ඇදීමට උන් තැනින් මෑත්ව ලං වෙයි.
"යෙහ් අයෑම්! බට්, අයි මීන් ඉන් ඕල්ඩ් ඉංග්ලිෂ්.." දෙදෙනාම සිනාසෙති.
කුරුල්ලෝ ඈත අහසේ ඉගිල ගොස් එහා ඉමකින් හෝ ගොඩනැගිල්ලකින් වැසී අතරමං වෙති.යුවලක් කුඩා සිඟිත්තකු සමග හංස බෝට්ටුවකින් සවාරියක් යති. ඔවුන්ගේ මුව සිනා කැන් පල දරයි. ඈ ඒ දෙස බලා සිටින්නීය..ඒ බෝට්ටුව කෙතරම් දුරින් ඇත්දැයි ඇය සිතින් සිතනවා විය යුතුය.ඔහු තොල් විකාගෙන තවත් මනෝ ලෝකයක ය. හදිසියේම ඔහුට ඇ'දෙස බැලීමට මතක් වෙයි.
"ඇයි ඔයා කඩුවට ඔච්චර බැන බැන කඩ්ඩ මීඩියම් කරන්නේ?"
"ඇයි ඔයත් කලේ එහෙනම්?"
"ඉතින් මං අතැරියනේ ළමයෝ.." ඔහු දිනන්නට සැරසෙයි..
"හරි ඉතින් හය අව්රුද්දක් කලේ?"
"කළා තමයි,හැබැයි දැනුමක් ගන්න. හය වසරෙන් මට හම්බුන මිස් කෙනෙක් ලස්සන කතාවක් කිව්වා.
උඹලා මගෙන් මේක ඉගෙනගනිල්ලා ළමයිනේ,කවද හරි අපේ කම ලෝකෙට පෙන්නන්න ඕන උඹලා,අන්න එදාට මේක උඹලට ඕනේ වෙනවා.
මේක අපේ බාසාව නෙවෙයි තමා.හැබැයි මේකෙන් අපේ කම ලෝකෙට ගෙනියපල්ලා.."
"ආපෝ.. ඔය පිරිමි ඉස්කෝලවල ටීචර්ස්ල ඔහොමම වෙන්නැති ළමයින්ට කතා කරන්නේ."
"එහෙම තමා,ඒ ෆිට් එකට.
අනික ඒ මිස් අපිට හරි ආදරෙයි."
ඇගේ මුව ගොලුවෙයි.. එහෙත් ඇය සිතින් නිහඬ නැති බව ඔහු හොඳාකාරවම දන්නවා විය හැක..
ඈ ගැන මෙවැනි කවක් ලිව හැකි කෙනෙක් ඈට ලැබුනා නම්....
නෙතු අද්දර නිහඬ සිතුම් වදන් ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ ඉන්න
"පැටියෝ.. මුනාද අනේ කල්පනා කලන්නේ.."
මට මහ පුදුමයක් දැනුනි.මෙවැනි පද මොහුට හුරු වුයේ කෙසේද?
එහි ලතාවක් තිබිණි. පොඩි එකෙක් හුරතල් කරන්නා මෙනි.
"හිතට මහා බරක් දැනෙනවා පණ.."
මගේ පැනයට පිළිතුර එහි තිබුණි.
"මම දන්නවා දරුවෝ,මට ඒක දැනෙනවා"
"අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි.."
"මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ,
හැබැයි ලෝකේ හොඳම යාළුවො දෙන්න අපි වෙන්න ඇති"
"මම දන්නවා වස්තුවේ,මම දරදඬු වැඩියි ඔයාට.. මට කල් දෙන්නකෝ..
මගේ වැඩ එක්ක හිත කරදරෙන් තියෙන්නේ.. ඉක්මනින් මේ දේවල් ඉවර කරන්නම්.."
ඈ ඉවත බලා ගත්තා ය.
රණවිරු සේවා ආපන ශාලාව අසල සිටින කුඩා දරුවෙකු දෙස ඈ ආසාවෙන් බලා සිටියි.
ඌ විටෙක වැටෙයි.හිතලාද වැටෙයි.
ඌ ඇවිදින වයසේ එකෙකි.ඇවිදින්නේ වයස නිසා නොව වැටි වැටි ඇවිද්ද නිසා ය.
පියා දුව විත් ඌ ඔසවාගෙන මව වෙත ගියේය.ඈ දරුවාට කන්න දෙයක් තෝරයි.
"මම කැමති නෑ ඔයා ගොඩක් ප්‍රසිද්ද වෙනවට,ලොකු සල්ලි කාරයෙක් වෙනවට?
ඔයා පන්නන්නේ ඒවා පස්සේ නෙමෙයි තමයි.ඒත්..
ඔයා කරන දේවල් නිසා ඒවත් වැඩිපුර එන්න ඉඩ තියෙනවා..
ඒවත් එක්ක,උවමනා කම් වැඩි වෙද්දී,තව තව මදි වෙද්දී..
ලස්සන ජිවිතයක් කියන එක අපෙන් ඈත් වෙයි.."
"මට ඕනේ සරල මිනිහෙක්..
ලොකු මිනිහෙක් නෙවේ.."
"හ්ම්ම්.."
සුසුමක් බෙරේ වැවේ රැලි නංවමින් ඈතට ඇදී ගියේය..
"මේ බලන්න මගෙ දරුවෝ..
අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි වැඩකට..
ඒ දේත් කරන්න ඕනේ,අපේ ආසාවල් වගේම.."
"අපි මේ එන්නේ පරණ කතාවකටමයි කරූ..
බලන්න? අර ඉර බැහැගෙන යන ලස්සන?"
බේරේ වැව් රැලි තපහ් තපහ් හඬින් ගල් බැමි ඉවුරේ වදින්නට විය..
වැව් ඉවුර මත කෙතෙක් ගැටුනද,වැව කිසිදා පිටාර නොගලනු ඇත.
කිසිදා..
ඔවුහූ නැගී සිටියහ.. අත් වැල් එකිනෙක පැටලින.
ඈ ඔහුගේ උරහිස මත හිස
හොවාගත්තා ය.
මම බංකුව මතම දෑස් පියාගතිමි.
මෙතෙක් වෙලා ගෙලේ එල්ලෙමින් පැවතුන ඉයර් ෆෝන් දෙක මම කණේ රුවා ගතිමි.
ගීතයක් එහි මැදින් වාදනය වමින් පැවතින.
අර ගැටුම්.. මේ නැටුම්
බත ඉදෙනකන් විතරයි..
ඔය හැඬුම්.. ඒ දෙඩුම්..
රෑ එළිවෙනකොට ඉවරයි..
තෝරාගත්තේ ඔබව මං..
ඉන්නමයි ඒ වාගේ..
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි....
ආදරෙයි...
ඔය නුවන්..මේ සවන්..අහන දකිනා ඒවා..
හොඳ හිතින්.. එක හිතින්..
කරන කියනා දේවල්..
විසදමු අතිනත් බැඳන්..ඉන්නමයි ඒ වාගේ..
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපිට අපි හරි..ආදරෙයි...
මම දෑස් විවර කලෙමි.ඔවුන් තවමත් පෙනෙන මානයේය.
ඔහු ඇයගේ බඳ වටා අතක් යැවීය.ඈ තව තවත් ලං වුවාය.
හිරව තිබූ සුසුමක් පිටකර හැරීමි.
මහල්ලා තව වටයක් මා ඉදිරිපිටින් නොනැවතී දිව ගියේය.
-කරූ
පසු වදන:
කණා මැදිරි එලි-අනුරාධා පෙරේරා.mp3
සිහිපත් කෙරුම:
- ඉංගිරිසිය කියා දුන් බොහෝ ගුරුතුමන් අතරේ ඉංගිරිසිය මොකටදැයි කියා දුන් ජයේශ්මී ගුරු මෑණියන්
- ජිවිතයේ නුදුටු සමහර පැති ආදරෙන් පෙන්නා දුන්,සොයුරියත් මිතුරියත්,සෙවනැල්ලත් සේ ළඟ සිට,මගේ රටේ නැති වැඩ ඉවසා සිටින, ඇය- "මල් ගී" .
:)