Friday, May 29, 2015

මනමාලි-ලෝරන්ස්-සුදු කළු සහ අළු

පහු ගිය දොහේ ගත්ත තීරණත් වෙච්ච අලකලන්චිත් එක්ක, ජීවිතේ ජීවත් වෙන බව දැනෙන දවස් අඩු වෙලා එකම රූටින් එකට දුවපු දවස් ගාන පොඩ්ඩක් වැඩි වුනත්, අද පොඩ්ඩක් එලියට බැහැලා වෙනදා හිනා වෙලා ඉන්න කොලුවාව එලියට ගන්න යාන්තන් පුළුවන් වුණා. ඒ ඉස්පාසුවට අද කලේ ඉස්කෝල කාලේ යාළුවො දෙන්නෙක් එක්ක මරදානේ ටවර් රඟහලට ගිහින් ලෝරන්ස්ගේ මනමාලිවත් බලාගෙනම,සුපුරුදු ධවලගිරියෙන් වඩේ පාරක් කන එකයි.


ලෝරන්ස්ගේ මනමාලි නාටකය, සුදු පාටයි කළු පාටයි අතරෙ දෝලනය වෙලා අළු පාටින් කෙලවර වෙන කතාවක් කිව්වොත් සමහරවිට හරි. ඉන්නට ගෙයක් නැතත් පාරට බහින්නට පයිසයක් නැතත් ලෝකය ඉදිරියේ මමී-ඩැඩී ආලවට්ටම්වල එහා අන්තයත්, සරම බැනියම හා අමු හෙළුවෙන් වැනිල්ලේ විප්‍රකාරත් වේදිකාවේ අමු හෙළුවෙන් දූෂණය වද්දී කැකිරි පලා ඔල්වරසන් නගන ප්‍රේක්ෂකයා ගෙදර විත් කන්නාඩියෙන් මුහුණ බැලු පසු කොට්ට බදාගෙන හඬනු ඇති බව නම් මට විශ්වාස ය.සමාජ රාමුවකට කොටුවී ඒ රාමුවෙන් පිට මයිල් ගසක් සෙලවීම පවා නොරුස්සන, මහපොළවට නොපිහිටවූ දෙපා වේදිකාව උඩ දනගස්වන අතරම, ප්‍රේක්ෂකයා සිනාවෙන් ගිල්වද්දී, සිනාවෙන් පසු ගත යුත්තක් නොසැඟවීම එලියට ආ හැටි නම් අපූරු ය. නමුත් ඉන් යම් කිසි අන්තයක් උපහාසයට ලක්වීම උචිත නොවේ නොවේ වැනි හැගීමක් ඔබට ඇති වේ නම්, ඔබේ මධ්‍ය ශූන්‍ය ගැල්වනොමීටරයේ අංශුමාත්‍රීය හෝ උත්ක්රමණයක් ඇත්නම් එහි දිශාව ඔබටම සොයාගත හැකි වනු ඇත.


ලෝරන්ස්ගේ මනමාලි බැහැදකින්න ගිහින් මුළු පැය දෙකම ලෝරන්ස්ගේ ආගමනය වෙනකන් බලාගෙන උන්න හැමෝටම, අන්තිමේ සිදු වූයේ එක දෙයකි.. එන්ජිනියරින් ඩිග්‍රිය සහිත, ඉන්ට ගෙයක් ඇති සාම්ප්‍රදායික පරිපූර්ණ බෑනාගේ නූතන මූලාවයවයන් සහිත ලෝරන්ස්, කතාව ඉවර වෙන තුරුම වේදිකාවට නාවත්, අවසානයේ ලෝරන්ස් ඔබටත් මටත් හමු වන්නේ අපගේම සිත් තුලින්ම ය. ඒ අතින්, බඳින්නට ලෝරන්ස් කෙනෙක් සොයන 'ලෝරන්ස්ගේ මනාලියනුත්' , මනාලියක් වෙනුවෙන් 'ලෝරන්ස්' වෙන්න පතන මනාලයනුත් හැර ඒ දෙ-කුලකයට හසු නොවන නිදහස් මිනිසුන් සිටින්නේ ඉතාමත් සොච්චමක් වෙන්න ඇති, බාගදා, නැතුවාත් ඇති යන්න මගේ අවසාන හැගීම විය.


සුදු පැහැයේ නග්න බවටත් කළු පැහැයේ අඳුරටත් ඇති වෙනතුරු සිනා වෙන ප්‍රේක්ෂකයා අවසානයේ නවතින්නේ සුදුත් නොවන කලුත් නොවන 'ප්‍රේම් කුමාර්' සමගින් ය. 'ප්‍රේම් කුමාර්' ලෝරන්ස්ට අප අප තුලින්ම සොයා ගැනීමට ඉඩ තබා මනමාලි අවසානයේ කැටුව යන හැටි නම් හරි අගේ ය. ලෝරන්ස්ගේ ආගමණය වෙනුවෙන් බලාසිටින ප්‍රේක්ෂකයා අවසානයේ සතුටු වන්නේ 'ප්‍රේම් කුමාර්'ගේ වික්‍රමය දැන කියා ගැනීම තුළිණි . ලෝරන්ස් ඔන්න එතැයි මෙන්න එතැයි කියා කූටප්‍රාප්තිය වෙත අප ගෙන යන නාට්‍යකරුවා අවසානයේ අපිට දෙන තිළිණය නම් අපූරුය. නාටකය බලන්නටම වටින්නේ එනිසා ය.


නාට්‍යයේ ආලෝකකරණය ඉතා ඉහලින් මගේ සිත වැළඳ ගන්නා මට්ටමක තිබු බව නොකීවොත් මේ සටහනෙන් පලක් නැත. කතාවට වඩා මා බලා සිටියේ ආලෝකය තුලින් හැගීම් දැනවීමේ අපූරු හැකියාව කදිමට භාවිතා කර තිබු සැටියේ අපූර්වත්වය ය.


'ලෝරන්ස්'ලා එන්න, 'මනමාලියෝ' එන්න, 'ලෝරන්ස්ගේ මනමාලි', පරක්කු වෙලා දැන් හරි බලන්න!


Wednesday, May 20, 2015

පියෙහි සම්පයොගො-පියෙහි විපපයොගො

කාලෙකට උඩදී හිතාදර මිත්‍රයෙක්ගේ කෙටි කාලීන වෙන්වීමක් වෙනුවෙන් තබපු සටහනක්.. මාස කීපයකට පස්සේ කියවද්දීත්, හදවතට දැනුන හැගීම් ගොන්න නිසා, බ්ලොග් පිටුවේ අලවලා සංරක්ෂණය කරන්න හිතුවා.. පාසල් වියේ මිතුරුකම්වල වටිනාකම හා තරඟ කරන බැදීමක්, අදටත් මට හමු වෙලා නැහැ.වගකීම් යුතුකම් පෙරදැරිව එන ගනුදෙනු ස්වරූපී හැඳුනුම්කම් විනා, මිතුරුකම් ලැබෙන තැනක් පාසලෙන් පසු හමු වන්නේ නැහැ.. 
මේ ඒ සමනල් වියේ හමුවුණු සුන්දර හදවත් කීපයක් වෙනුවෙන් තැබුන සටහනක්. 




ජීවිතේ හරිම පුදුමයි මචං.. උසස්පෙළ කාලේ එක පන්තියට වැටිලා, මාසයක් හමාරක් වුනත් ඉස්කෝලේ නයිට අදින්න වැඩිම නිදහස තිබුන කොල්ලෝ හතර දෙනා, Kalanaka උඹ, මම, Janaka සහ අපේ Evindu මෝරා යාළුවො සහෝදරයෝ කලේ අනද අබිමන් කරද්දී එකට කාගෙන බීගෙන, හිඟා කාගෙන වගේම බඩගින්නේ නිදිමතේ වේලි වේලි ඉද්දි තිබුන බැඳීම, ඉස්කෝලේ වෙනුවෙන් නිදි මරාගෙන කාපු කට්ටට හරි යන්න දෙවියෝ මට දීපු තෑග්ග, උඹලගේ සහෝදරකම.

අපි රටේ තැන් තැන් වලින් ඇවිත් එකතු වෙච්ච හැටිත් පුදුමයි. කලයා, උඹ ඔක්කොම ඉස්කෝල 6කටයි කොළඹ ඉස්කෝලේ 3 කටයි ගිහින් අන්තිමේ ආනන්දෙන් නැවතුන අමුතුම පොරක්. මෝරා උඹව 6 වසරේ ඉඳන් දැනගෙන උන්නත්, උඹයි මමයි හරියටම සෙට් වුනේ 6 වසරේ අපේ පරණ යාලුවා ඉසුරු ගැන කතා කරන්න ගිහින්. ජනක උඹනේ අපේ බහුශෘත අති පණ්ඩිත පිසික්ස් ශූරී ස්ත්‍රී විසේසඥ සංගීත විශාරද අතිගරු පෙරමොන් තුමා.

බොහොම පස්සේ කාලෙක, කලනක, ජනක උඹල දෙන්නා එක්ක මම, එකොළහ වසර ෆ්‍රිට් කුන්ස් බිල්ඩිම දිහා ඉඳන් විහාරේ පැත්තට ඇවිදගෙන එද්දී දැනුන පුදුමාකාර අඩුව මොකද්ද කියලා කල්පනා කරද්දී, අඩෝ මචන් මෝරා නෑ කියලා දැනෙනවා නේද බන් කියද්දී කලනක කල්පනා කර කර උන්න දේත් ඒක. ළඟ උන්නා නෑ කියලා නෑ, අපේ නම් වෙනුවට කියවුන ස්ත්‍රී ලිංග නම් කාලෙන් කාලෙට කොච්චර වෙනස් වුනත්, නොවෙනස් වුන එකම දේ අපේ ෆිට් එක විතරයි.

හැබැයි ජනක මම උඹ එක්ක මාස 13ක් කතා නොකර උන්නා. හැබැයි චීත්තවලට අපිව කොටවන්න දෙන්න බැරි බව, පාඩම් ගණනාවකින් පස්සේ උඹත් මමත් තේරුම් ගත්තා.

ආපහු හතර දෙනා කම්ප්ලීට්. හැබැයි තව සති දෙකකට විතරයි කියලා මතක් වෙද්දී පිස්සු වගේ මචං.
මචන් කලනක.. කෙලීගේ තාත්තා අසනීප වෙලා අයි සී යු ඉන්න දවස්වල, මාත් එක්ක හොස්පිටල් ගානේ කාපු කටු අමතක නෑ මචන්, ඒ දවස්වල මෝරා උඹයි අමන්දයි ජනකයි දුන්න සප් එක අමතක වෙන්නේ නෑ. මගේ හිඟන පාත්තරේට හෙනහුරා කඩන් වැටුනාම, මගේ ෆන්ඩ් රයිසින් වලට තමන්ගේ කෑමබීමත් අමතක කරන අමුතුම තාලේ එකෙක් තමා උඹ, අනිකා තමා Sulakshana.. උඹලා මගේ වෙනුවෙන් තියෙන බැඳීම මාරයි මචං, මට ගෙදර පවුලේ වෙන කිසි එකෙක්ට වඩා උඹලගේ සහෝදරකම ඉස්තරම්. හැම දේටම මිලක් නියම වෙන මේ සමාජ ආර්ථික රටාවේ, අන්න ඒ දේට මිලක් දෙන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බෑ මචං.
මචං කලනක, මේ සටහන තියන්න පටන් ගත්තේ උඹ වෙනුවෙන්.. හැබැයි මෙතනට එන්න කලින් බොහොම ලොකු වටයක් එන්න වුනා මචං.. උඹට හැම දේම හරි යනවා, මතක තියාගනින්, ඒ හැම දේම හරි යන්නේ උඹේ හිත ලස්සන හින්දා. අන්න ඒ දේ නැති කර ගන්න එපා මචන්. යන ගමන ලස්සනට ගිහින් ගිය වැඩේ ලස්සනට කරගෙන වරෙන්. හිත ගියොත්, හිත ගිය ලන්තෙන්ම මාලිගාව ගහපන්, හිත ගිය උන්දෑවත් එක්කම යන නිසා. මන් වෙනුවෙන් වුන අර පොරොන්දුව ඉටු කරපං, ඒ දේ මගේ අතේ දුරට ආපහු ආවොත් එනකන්..

හොඳ දොස්තරෙක් වෙයන්. උඹට පුළුවන් එහෙම එකෙක් වෙන්න. උඹට එහෙම වුනාම අම්බානක් හම්බ කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි මිනිස්සු හම්බ කරපං, මැරෙද්දි ගෙනියන්න පුළුවන් දේවල් ගොඩ ගහගනින්. වෙන එකෙක්ට වඩා උඹට මන් මෙහෙම කියන්නේ, උඹේ විදිය මම දන්නා නිසයි. ඔව් උඹට පුළුවන්.

මෝරා, බඩියා, කලේ ඇන්ඩ් ජේක්. අවුරුදු ගානකට පස්සේ හතර දෙනා ආපහු බදාදා හමු වේවි. තව අවුරුදු ගණනාවක් වෙනුවෙන් අපිට වෙන් වෙන්න සිද්ද වෙන්න කලින්, ජීවිතේටම මතක හිටින, ගොඩක් වැදගත් දවස් කීපයක් ගත කරන්න ලැබෙයි මචං. කොහේ ගියත්, ලංකාවෙත් ආනන්දෙත් නම තියපන්. උඹට වරදින්නේ නෑ.

කලයෝ, උඹට ආනන්ද මාතාවගේ සරණයි!

Monday, May 18, 2015

තරිණිට මොකෝ වුනේ?

තරිණි, දැන් ඕක තමයි සෑහෙන දවසක ඉඳන් බුකියේ ට්‍රෙන්ඩින් ටොපික් එක.

කොල්ලන්ට තරිණි තරිණි කියන්නේ හෙන ආතල් එකක්, කෙල්ලන්ට නම් ලොකු කුතුහලයක්, මොකද්ද සීන් එක කියලා අහපු කව්රුත් නොකියන බවයි වාර්තා වුනේ.


හැබැයි ඕකේ පොඩි ගත යුත්තක් තියේ.

තරිණි ගැන කිව්වොත්, තරිණිලා හැම තැනම අද ඉන්නවා. ඒකට හේතුවක් තියේ..

සමාජයේ අපි දකින සමහරු විතරක් සාන්තුවරු, සමහරු විතරක් මැරයෝ, යක්කු,වනචරයෝ, දෙවිවරු. ඒ නිසාම, ශරීර කූඩුව ඇතුලේ ඉන්න චරිතේ එක එකාගේ එක එක විදියයි, එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ.

නෑ. ඒක වැරදි යි.


ඇත්ත කාරනාව, "මනුස්සයා" කියන නමින් අපි හඳුන්වන, කලින් කිව්ව කොයි ජාතියේ මිනිහා ඇතුලේ වුනත් ඉන්නේ එකම සතා යි. දෙවියා, යක්ෂයා,වනචරයා වගේම වනචාරියා ඔය කොයි චරිත ලක්ෂණත්, කොටින්ම ගල් යුගයේ උන්න මස් වැද්දාගේ ඉඳන්ම ගති ගුණ අනලා මුහු වෙච්ච එක හා සමාන "චරිතයක්" තමයි ඔය කොයි කාගේත් ඇතුලේ ඉන්නේ..

ඇයි එහෙනම් මේ ගති ගුණ වෙනස් වෙන්නේ, කොයි කාගේත් ඇතුලේ ඉන්න එකෙක් නම්?

ඔය ඇතුලේ ඉන්න චරිතෙන් කොයි කොයි ලක්ෂණ ඉස්මතු වෙලා කොයි කොයි ලක්ෂණ යට යනවද කියන කාරණය, කොටින්ම දෙවියෙක් වෙනවද යක්ෂයෙක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ උගේ ගත වුන ජීවිතය මත. ගත වුන ජීවිතය කියන්නේ මොකද්ද කියනවා නම්, උගේ බාල කාලය, උගේ ඇසුර, ඌ ඇහුව දැක්ක දේවල්, ඌ ඇසුරු කල පොත පත වගේම එතනින් එහාට සිදු වුන හැලහැප්පීම්, උගේ වෘත්තීය කියන දේවල් මත කොයි කාගේත් ඇතුලේ ඉන්නේ එකම එකෙක් වුනත්, උගෙන් මතු වෙන්නේ කුමන ලක්ෂණද කියන දේ තීරණය වෙනවා.

අතීතයට වඩා අද තරිණිලා වැඩි ද?


උත්තරේ ඔව්.

ගෑනු පිරිමි බේදයක් නැතුව, එදා අද වෙනසක් නැතුව, ඇතුලේ ඉන්න එකා කවදත් එකම උනත්, අද තරිනිලා මතු වෙනවා වැඩියි. ඒකට හේතුවක් තියෙනවා. අර ඇතුලේ ඉන්න 'එකී'ගේ බලපෑම නිසා, කාන්තාවෝ කොහොමත් කැමති නිදහසේ ඉන්න. එක, තනි පිරිමි පරානෙකට ඇලීලා පවුලකට බැඳිලා ඉන්න ප්‍රියතාවක් කොහොමත්ම කාන්තාවන්ට නැහැ.


මාතෘත්වයට ගෞරවය දීලා තියෙන සමාජයක් ඉස්සරහා, පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටුන/දාපු අදහස් වලට එදිරිව මෙහෙම කතා කරන්න ගියොත් ගුටි කන්න වුනත්, ඇත්ත කතන්දරේ තමයි ඒක. අතීතයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ රැකවරණය අවශ්‍යම තැනක තියලා බෙල හීන කරලා තිබුන බව නොරහසක්. තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය අවශ්‍ය බව දැනුනත්, තමන්ගේ දේ තමන්ට කරගන්න බැරි තත්වෙක උන්න කාන්තාවට, තමන්ගේ පිරිමියාට බැඳිලා සිටිනවා විනා කල හැකි අන් දෙයක් තිබුනේ නැහැ. කෙටියෙන්, එදා තිබුන පරිසර තත්ත්වය, ඇතුලේ ඉන්න එකීගෙන් "තරිණි"ලාව මතු කරන්න ලොකු ඉඩක් දීලා තිබුනේ නැහැ. තමන්ට බැඳුන පිරිමියාගෙන් මොන අඩත්තේට්ටම් වුනත්, තමන්ට රස්සාවක් කරගන්න බැරි, තමන්ගේ කටයුතු වෙනුවෙන් සමාජය ඉදිරියේ සමාජය සමග මුසු වෙන්න වගේම ගැටෙන්න හයියක් නැති තැන, ගැහැණියට කල හැකි අන් දෙයක් ඉතිරිව තිබුනේ නෑ. කාන්තාවකගේ කෙටි කාලීන ලෝයලිටි එක ආකර්ෂණය මත පදනම් වෙලා කල් ගත වෙද්දී එක්ස්පයර් වුනත්, දිගුකාලීන ලෝයලිටි එක පිටිපස්සේ තිබුන රහස ඕකයි. අවබෝධය මත ඇතිවෙන හිතවත් පක්ෂපාතීත්වය කොච්චර දුර්ලභද කියනවා නම්, ඒ ගැන කතා කලත් කෙනෙක්ට ඇති වැඩක් නැහැ.


අද තත්වය වෙනස්.

තමන්ගේ වියහියදම් තමන්ට සපයාගන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනට වාහනයක් පැදගෙන යන්න පුළුවන්,සමාජය එක්ක මුහු වෙලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්, ඉස්සරට වඩා ශක්තිමත්,පිරිමියා එක්ක හරි හරියට කරට කර ඉන්න ගැහැනියකට, ඕන දෙයක් දරාගෙන එකෙක් එක්කම ඉන්න තරම් අමාරුවක් නැහැ. සිදු විය යුත්තේත් එයම යි. නමුත්, අර ඇතුලේ ඉන්න "කෙනා" සමහරවිට ඔය පියවරෙන් ඔබ්බට කාන්තාව මෙහෙයවපු අවස්තාවක් තමයි තරිණි. අනිකාගේ නාසය අගට විතරක් බස්තම වන්න තියෙන පෞද්ගලික හිමිකම තමන්ගේ හුදු ආශාවන් වෙනුවෙන් එකෙකුගෙන් නොනැවතී කිහිප දෙනෙක්ගේම නාස් පොලු බින්දෙන්නම බස්තම වන්න තැනට කාන්තාව පත් වීම නම්, විය යුත්තක් නෙවේ
.

පිරිමියා වගේම කාන්තාවත්, පනින කොටු ඕනෑ තරම්. එතනින්, පිරිමියා කොටු පනින්න පටන් ගන්නේ සෑහෙන මුල සිටමයි. පිරිමියා කොටු පැනලා, අවසානයේ ඇති රහක් නැති වග දැනගන්න වයසත් පහු කලාම තමයි ගැහැණියට කොටු පනින්න නිදහසක් ලැබෙන වයස උදා වෙන්නේ. නමුත්, ඔය කොයි පාර්ශවයට වුනත් ඇරියස් පිහිටියෝතින් නම්, රහක් නැති වග තේරෙන්න ගත වෙන කාලය නිසාම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි නෑ.

ඔය වීඩියෝ එක ගහපු එකා ඉන්නේ අන්න එහෙම තත්වෙක. හිත බිඳීම නිසා අවස්ථාවට නොගැලපෙන උන්මත්තක හැසිරීමක් පෙන්වීම හරි හෝ වැරදි වේවා, විවාහ වී දරුවන් සිටිද්දී පවා කොහේ හෝ යන තරිනියෙක් ඇඟ දවටාගෙන කරගත් මෝඩකම, ඇරියස් පිහිටීමේ විපාකයක්.



Saturday, May 9, 2015

මගේ ක්‍රෂ් මටම ක්‍රෂ් !!!

මට ඉන්න ක්‍රෂ් විවිධාකාරයි ය.මගේ ක්‍රෂ් අතරින් පලවෙනි කාණ්ඩයේ විසේසත්වය වන්නේ පෙනුම ය. හේතුව පොත්තේ සුදු කමක් හරි ලස්සනක් හරි නෙවේ ය, පෙනුමෙන් හැසිරීමෙන් නිකන් ලීඩර්ෂිප් එකක් වගේ තියෙන ගෑල්ලමයින්ට මං හෙන කැමතී කියා මට හිතෙනවා ය. පොත්ත සුදු උන් දැක්කම ලස්සනයි හිතුනත් උන්ට ක්‍රෂ් වෙන්නේ නෑ ය.  අනේ මන්දා ය. එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි මුත් උන් මාව දන්නෙත් නැතුව ඇති කියලා හිතාගෙන මං බෝම උපේක්සා සහගතව ඉන්නවා ය. 

අනිත් වර්ගයේ  ක්‍රෂ් එක අදහස් ආකල්ප වලට ක්‍රෂ් වෙන එක ය, මේ කැටගරි එකේ ඉන්න ඔක්කොම මට වඩා අවුරුදු හතර පහ හය හත වැඩිමල් වීම විසේස ලක්සනයක් ය. එව්වා ඉතිං ඔබ්වියස් ක්‍රෂ් නිසා බය වෙන්න දෙයක් නෑ මූණටම කියනවා ය. මේ වර්ගයේ ක්‍රෂ් මොකක් හෝ කෝලමකට ඇඟට නගින්න එන තුරුම ක්‍රෂ් එක නොනැසී පවතිනවා ය. කෝමත් මං මගේ වයසේ උන් (ගෑල්ලමයි) එක්ක වැදගත් දෙයක් කතා කරන්න ආස නෑ ය. උන් ඉන්න සුරංගනා ලෝක මම උපේක්ෂාවෙන් විඳ දරාගන්නවා ය. මේ කැටගරි එකේ ක්‍රෂ් එක්ක වැදගත් මාතෘකා කතා කරන්න මං හෙන කැමැත්තක් දක්වනවාය. හැබැයි මුන්ගේ පෙනුම ගැන කීමට ඒ හැටි දෙයක් නැතිය. එච්චරටම චොර යැයි ද හිතන්නට එපා ය. 


අනිත් ක්‍රෂ් ජාතිය ඉන්ස්ටග්රම් ක්‍රෂ් ය, අම්මෝ ගොඩක් උන්නා ය.  එක ඉන්ස්ටා ක්‍රෂ් එකක් නම් හැබැහින් දැක්ක මුල්ම දාම එපා වුනා ය.  හැබැයි තාම ක්‍රෂ් නමුත් දැන් පලවෙනි කැටගරි එකේ ය..  මේ කණ්ඩායමේ එකෙක්වත් මාව දන්නේ නෑ ය.


ඔය ඔක්කොම හිච්චි හිච්චි ඒවා ය. කෝමත් එකෙක් තෝරාගන්න වෙන දාට කිසිසේත්ම ඕක කොලිපිකේසොන් එකක් නම් වෙන්නේ නෑ ය කියා මම දන්නවා ය.


මෙයිනුත් පලවෙනි හා තුන් වෙනි වර්ගයේ අය සමග වචනෙකට දෙකකට වඩා කතා කර නොමැති වීම හෝ කිසිසේත්ම කතා කර නොමැති වීම විසේස ලක්සනයක් සේ සැලකීමට ද පුළුවන් ය. 


කතාතුරකින් සෙට් වෙන වෙනස්ම හතර වෙනි කැටගරියක්ද තිබේ ය. මේ කැටගරිය මොන මගුලකට හිත යනවාද  මං දන්නේ ද නැති ය. එක්කෝ මල කෝලමක් ය , නැත්තම් මං ගැන අම්බානක වද වෙන්න ලෑස්ති ඩයල් එකක් ය. පණ ඇරගෙන ය. හම්මෝ ය. බොහෝ විට මේ කැටගරියට පොඩි පහේ පෙනුමක්ද පිහිටා ඇති බව ඉතිහාසය පෙන්වා දෙනවා ය.


ඕම මේම බැලුවාම වත්මන් ක්‍රෂ් පහක් විතර ඉන්නවා ය. ඉතිහාසය පුරා විස්සක් විතර ඉන්න ඇති ය.  සිව් දෙනෙක්ගේ පොත්ත තරමක් සුදුය, අනිකාගේ පොත්ත ස්වල්ප වශයෙන්  සුදුය. නමුත් මට ක්‍රෂ් වීමට බලපාන්නේ පොත්තේ සුද නොවන බව ඉතිහාසය පුරා සාක්ෂි ගෙන හැර බැලීමේදී පෙනී යනවා ය.ඉන් අති බහුතරය මට වඩා කලුය. මං කලුයි කියන්නේ මට සාපේස්සව ය. කෙසේ වෙතත් දුටු මතින් ඉටි රූපයක් බඳු වූ රූප සුන්දරියන් දුටු සතුටු ලයිස්තුවේ සිටියත් ක්‍රෂ් ලයිස්තුවේ නොසිටි බව මා අවදාරණය කොල යුතුම ය.


හැබැයි ඔය ක්‍රෂ් අතරෙ තාම මගේ කරගන්න හිතෙන තරම් ප්‍රබල ක්‍රෂ් එකක් ජීවිතේට තිබිලා නෑ ය. (ඒකත් කියන්න එපයි ය.)  ඒ මොනා උනත් ක්‍රෂ් එකක් ගැන දවසට විනාඩියක් දෙකක් හෝ කල්පනා කිරීමට කතා කිරීමට ලැබීම පොඩි පහේ ලල් එකක් ගෙන දීමට සමත් ය.


මාව ක්‍රෂ් කරන් සිටි  මං දන්නා අය විවිධාකාර නැතිමුත් පුදුමාකාරයි ය.උන්ට මඥ්ඥන් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ ය. එක්කෙනෙක් ක්‍රෂ් යුගය පුරාවට(  පසුව වෙන යුගයක් උදා වුනා ය) හිතන් ඉඳලා තියෙන්නේ මං අයියෙක් කියලා ය. තව එකෙක් මාස හයක් පුරා මගේ පස්සෙන් එලෝලා, මං බස් එකෙන් බහින තැන හොයාගන්න දුන්න අති විසාල ගේම  මම දන්නේ ඒක පාෆොච්චාරණය කොරපු දවසේ සහ ජීවිතේ දෙවෙනියට හම්බුන ලව් ලෙටර් එක අදාළ චූදිතයාම මගේ අතේ ගුලි කල දා ය (මං ඒ වෙද්දී ඒම එව්වා ලියලා නෑහ්හ් ය) මං ඔව්වා ලිව්වේ එකෙක්ට විතරයි ය.  හැබැයි ඇස් ඇම් ඇස් වෙනුවට කන්දක් විතර ඔව්වා ලිව්වා ය.


තව එක ඔබ්වියස් ක්‍රෂ් එකක් උන්නා ය, අනෝන්‍ය වසයෙන් හොරෙන් හොරෙන් කරස් වී ඉස්කෝලෙන් අවුට් වුනාටත් පස්සේ දවසක මරදාන ඉස්ටෙසොමේ පාලමේ ඉඳන් පාපොච්චාරණය කල දාටද පෙර සිට මම බළලා දැක තිබුනා ය. හම්මේ ඉතිං මේමත් කෝලන් ය.  අම්මපා ය.


මාගේ ක්‍රෂ් පුරාණය මෙතකින් සමාප්ත නැති ය. මා මේ සැරසෙන්නේ කුමක්දෝ අඩව්වකට බව නම් තතු දන්නෝ අදහස් පලකරනු ඇති ය. අනේ නැතිය. තාම නැතිය. මං මේ ටිකේ බිසී ය. බිසී ඇයි කියාද තතු දන්නෝ පවසනු ඇති ය. ඒවා මෙහි නොකිවමනා ය. 


කෙසේ වෙතත් මේ කොයි සක්කරවට්ටමත් මගේ ක්‍රෂ් එකක් වන්නේ මේකප් තලියක් උලාගෙන මදිවාට මූනේ පාටට නොගැලපෙන තරමේ අධි සාන්ද්‍ර ලිප්ස්ටික් තලියක් උලාගෙන සිටිනු මා දකින දිනය එනතුරු පමණි ය. මේකප් හොඳ ය. ලිප්ස්ටික්ද හොඳ ය. අධි සාන්ද්‍රණ වමනය කැන්දන සුළු ය. මෙතෙක් පැවතී බහුතරයක් අහවල් ඒවා පලා ගියේ එවන් මොහොතක දී වීම සිහි තබා ගත යුතු කරුණ කි ය.
Related Posts Plugin for WordPress, Blogger...