Saturday, September 6, 2014

හිත නැවතුන තැන.....

පරිපූර්ණම සතියක නින්දක් නැතිව ගත කරපු අවසාන දවස් තුනේ හදවතට වැඩිපුරම සමීප වුන දවස අද. ඊයෙ දවසේ බැච් පාටියේ රාත්‍රියටත් වඩා අද හවස මගෙ හිතට සමීප වුනා කිව්වොත් කවුරුත් මගෙ එක්ක අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා  ගෙදර එද්දි රෑ එකොලහ ලං වුනත් මේ සටහන ෆේස්බුක් එකට වගේම බ්ලොගේට එකතු නොකර නිදාගන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මේක එක අතකට පම්පෝරියක් තමයි, හැබැයි එක්තරා විදියක.

නින්දක් නැතිව එක දිගට දවස් කීපයක් මහන්සි වෙන එක වගේම ගමනක් යන්න වාහනයක් නැත්තම් කිලෝමීටර් පනස් හතරක ගමනක් වුනත් අවුරුදු දහයක් පරණ බයිසිකලේකින් යන එක මට මහ ලොකු වැඩක්වත් නුහුරු දෙයක්වත් නෙවේ. මොකද කාලෙකට කලින් උදේ ඉස්කෝලෙ ගිහින් හවස ගෙදර ඇවිල්ලා පුටුවෙ ඉඳගෙන, පහුවදා පුටුවෙන් නැගිටලා ක්ලාස් ගිහින් රෑ දහයට ගෙදර ඇවිත් තව පැය දෙකතුනක් කෙලින් ඉන්න එක ලොකු ගේමක් වුනේ නැති නිසා වගේම අනද අබිමන් කාලෙ පැය හතලිහ හතලිස් පහ එක දිගට ඇහැරගෙන වැඩ කල වාර ගණන මටවත් මතක නැති නිසා.

එහෙම කැපකිරීමක් මගෙන් ලබපු අය බොහොම සීමිතයි. ඒ අය අතරින් අංක එක මගේ ආනන්දය. ඉස්කොලේ බැච් පාටියට යම්දෝ නොයම්දෝ දෙගිඩියාවෙන් උන්න මොහොතක මිත්‍රයන්ගෙ ඉල්ලිම නිසාමයි යන්න තීරනය කලේ. එහෙම මොහොතක මංගල සහෝදරයගෙන් ලැබුනේ අහක දාන්න හයියක් නැති ඉල්ලීමක්. පාටියට කලින් දවසේ ගම්පහ වැඩපොලට ඇවිල්ලා මල් සැරසිලි වැඩ හිරවෙලා තිබ්බ තැනින් ගොඩ ගන්න පුංචි උදව්වක් දෙන්න යන්න තීරනය කලේ ඒ නිසයි. ඒ ගමන වෙනුවෙන් සතියේ වැඩ කටයුතු එහෙ මෙහෙ කරගනිමින් ඉන්න මොහොතක කලණක සහෝදරයගෙන් ලැබුනේ තවත් අහක දාන්න බැරි ඉල්ලීමක්. කලින් දවස් දෙකේ යොදාගෙන තියෙන වැඩවල වෙහෙස ගැන වගේම බැච් පාටියෙන් පස්සෙ මං ගෙදරයන වෙලාව ගැන හාංකවිසියක් නොදන්වාම බැච්පාටි රාත්‍රියෙන් පස්සේ ගෙදර ඇවිත් ආයෙත් පැය කීපෙකින් ආපහු කොළඹ එන්න වචනෙ දුන්නෙ මංගල වගේම කලනක සහෝදරයගෙත් වචනයක් අහක දාන්න මට බැරි නිසාමයි.

අද මං මොකක් හෝ තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ මගෙ දෙමව්පියො, ආනන්දය වගේම මේ නම් කිව්ව නොකිව්ව මහෙ සහෝදරත්වයේ ඉන්න යාලුවෝ නිසා. මේ කොල්ලො සෙට් එක මට මගේ සහෝදරයො වගේ දැනෙන්නේ ගෙදරට ඉන්න එකම එකා මං නිසා විතරක් නෙවේ. ජීවිතේ මං කාපු කටුවලදි මාව තනි නොකර තමන්ගෙ වැඩපොලත් පස්සට දාගෙන මගෙ ජීව්තේ වෙනුවෙන් දුන්න ගාඩ් එක වගේම හිත අවුල් කරගෙන නටද්දි දුන්න සැර වැර උපදෙස් නිසා. මම මේ කියන්නේ කොහෙවත් යන ගෑනියෙක්ගෙන් බූටක් කාපුවාම ලඟට වෙලා හොටු පිහලා දෙන එක වගේ බොළඳ දෙයක් නෙවේ, ඇත්ත ජීවිතේ ඊට වඩා එහා ගිය පොලවේ පය ගහලා ඉන්න තත්වේ අවස්තාවල එකට උන්න සහෝදරකම නිසා.

අද කලනකගේ ජීව්තේ විශේෂ දවසක්. ඕනතරම් මිනිස්සු ඔනෑ තරම් ඕනෑවට එපාවට කරන දෙයක, වෙනස් විදියේ ආරකට ජීවිතේටම මතක හිටින සිහිවටනයක් එක් කරන්න මේ දේ සංවිධානය කෙරෙද්දී තිරයෙන් පිටිපස්සෙ උන්න සහ අද එකතු වුන මිත්‍රයෝ ගණන විස්සකට කිට්ටුයි. එහෙව් කණ්ඩායමක මට අද වැඩියෙන්ම සතුටු හේතුව ඒ දේ වෙනුවෙන් කලේ'ටත් කොලේ වහලා අද නිදහස් චතුරස්‍රයට එකතු වෙන්න මම කාපු කට්ට මතක් වෙද්දියි. නින්දක් නැති තුන් වෙනි දවසේ හවස් වරුවේ "අඩෝ උඹ කොච්චර ට්‍රයි කලත් උඹට ඇස් දෙක බාගෙකට වඩා ඇරං ඉන්න බෑ බං" කියලා ජනක සහෝදරයා කියද්දී දැනුන සතුට ඇත්තටම දන්නෙ මං විතරමයි වෙන්න ඇති.

මං ජීවිතේට මුදලට විකිනිලා නෑ, මුදල් වෙනුවෙන් මගෙ එක ඉස්පිල්ලක් හෝ එක දාඩිය බිංදුවක් ගන්න උත්සහකල කිසිම කෙනෙක්ට ඒ මුදල වෙනුවෙන් මම විකිනෙන්න සූදානම් වෙලත් නෑ. යම් හෙයකින් එහෙම නොවුනා නම්, හෙට දවසේ හතරවෙනි ජයග්‍රාහී නිදි නැති දවස වෙනුවෙන් මගේ මුදල්මය වටිනාකම නම් කරන්න මම පැකිලෙන එකකුත් නෑ.නමුත්, ජීවිතේ එක මිනිත්තුවත් කල්ප ගණනක් වගේ දැනුන කාලවල ඒ කල්ප කාලාන්තරේ ජීවත් වීම පහසුවක් කරවපු සහෝදරත්වයේ මිතුරන් දෙන්නෙක් වෙනුවෙන් මගේ උපරිම මහන්සිය කැප කරලා, හෙට සෙනසුරාදා දවසෙ ලැබුන වෘතිමය කටයුත්තේ මගේ මහන්සිය වෙනුවෙන් යෝජනාවුන මුදල්මය අගයන් මම ප්‍රතික්ශේප කලා.

කවදාවත්,කිසිම කෙනෙක්ට මාව හෝ මගේ එක මිනිත්තුවක් හෝ මගෙ අතින් ලියවුන එක ඉස්පිල්ලක් පාපිල්ලක් මුදලට ගන්න ලැබිලා නෑ. නමුත්, කොන්දේසි විරහිතවම මගේ ජීවිතේ හිමිකාරකම කියන්නේ මගේ ආනන්දයත්,මගේ අම්මාත්, සහෝදර සහෝදරියන් හිස් වුනා කියලා මගේ තිබුන සිතුවිල්ල කොච්චර නම් වැරදිද කියලා මට පෙන්නපු කොල්ලො ටික විතරයි,විතරමයි. උන් වෙනුවෙන් කැප කරන වෙහෙස මට ගෞරවයක්. මනුස්සයෙක් විදිහට මට අවුරුදු තුන් හාරසියයක ජීවිත කාලයක් ගෙවන්න ලැබිලා නැති බව හැබෑව. නමුත් ජීවිතේට මුනගැහුනු සමහර ගුණමකු මිනිස්සු වෙනුවෙන් කැප කල අති විශාල කාලෙකටත් වඩා මගේ ආනන්දය,මගේ අම්මා වගෙම මගේ කොල්ලො ටික වෙනුවෙන් හෙලන එක දාඩිය බිංදුවත් මට අති විශාල සතුටක්.



ප.ලි. මේක ලියවුනේ ඊයේ මහ රෑ. නමුත් ඊයෙම පල නොකළේ, ඊයේ දවසේ මගේ කැමරා ඇසට අහු වුන හොඳම චායාරුපය පල කිරීම පිලිබඳ අදාළ පාර්ශව වෙතින් අවසර ගන්න හිතපු නිසයි. ;) ඔන්න ඒකත් හරි :D
Related Posts Plugin for WordPress, Blogger...