Wednesday, May 20, 2015

පියෙහි සම්පයොගො-පියෙහි විපපයොගො

කාලෙකට උඩදී හිතාදර මිත්‍රයෙක්ගේ කෙටි කාලීන වෙන්වීමක් වෙනුවෙන් තබපු සටහනක්.. මාස කීපයකට පස්සේ කියවද්දීත්, හදවතට දැනුන හැගීම් ගොන්න නිසා, බ්ලොග් පිටුවේ අලවලා සංරක්ෂණය කරන්න හිතුවා.. පාසල් වියේ මිතුරුකම්වල වටිනාකම හා තරඟ කරන බැදීමක්, අදටත් මට හමු වෙලා නැහැ.වගකීම් යුතුකම් පෙරදැරිව එන ගනුදෙනු ස්වරූපී හැඳුනුම්කම් විනා, මිතුරුකම් ලැබෙන තැනක් පාසලෙන් පසු හමු වන්නේ නැහැ.. 
මේ ඒ සමනල් වියේ හමුවුණු සුන්දර හදවත් කීපයක් වෙනුවෙන් තැබුන සටහනක්. 




ජීවිතේ හරිම පුදුමයි මචං.. උසස්පෙළ කාලේ එක පන්තියට වැටිලා, මාසයක් හමාරක් වුනත් ඉස්කෝලේ නයිට අදින්න වැඩිම නිදහස තිබුන කොල්ලෝ හතර දෙනා, Kalanaka උඹ, මම, Janaka සහ අපේ Evindu මෝරා යාළුවො සහෝදරයෝ කලේ අනද අබිමන් කරද්දී එකට කාගෙන බීගෙන, හිඟා කාගෙන වගේම බඩගින්නේ නිදිමතේ වේලි වේලි ඉද්දි තිබුන බැඳීම, ඉස්කෝලේ වෙනුවෙන් නිදි මරාගෙන කාපු කට්ටට හරි යන්න දෙවියෝ මට දීපු තෑග්ග, උඹලගේ සහෝදරකම.

අපි රටේ තැන් තැන් වලින් ඇවිත් එකතු වෙච්ච හැටිත් පුදුමයි. කලයා, උඹ ඔක්කොම ඉස්කෝල 6කටයි කොළඹ ඉස්කෝලේ 3 කටයි ගිහින් අන්තිමේ ආනන්දෙන් නැවතුන අමුතුම පොරක්. මෝරා උඹව 6 වසරේ ඉඳන් දැනගෙන උන්නත්, උඹයි මමයි හරියටම සෙට් වුනේ 6 වසරේ අපේ පරණ යාලුවා ඉසුරු ගැන කතා කරන්න ගිහින්. ජනක උඹනේ අපේ බහුශෘත අති පණ්ඩිත පිසික්ස් ශූරී ස්ත්‍රී විසේසඥ සංගීත විශාරද අතිගරු පෙරමොන් තුමා.

බොහොම පස්සේ කාලෙක, කලනක, ජනක උඹල දෙන්නා එක්ක මම, එකොළහ වසර ෆ්‍රිට් කුන්ස් බිල්ඩිම දිහා ඉඳන් විහාරේ පැත්තට ඇවිදගෙන එද්දී දැනුන පුදුමාකාර අඩුව මොකද්ද කියලා කල්පනා කරද්දී, අඩෝ මචන් මෝරා නෑ කියලා දැනෙනවා නේද බන් කියද්දී කලනක කල්පනා කර කර උන්න දේත් ඒක. ළඟ උන්නා නෑ කියලා නෑ, අපේ නම් වෙනුවට කියවුන ස්ත්‍රී ලිංග නම් කාලෙන් කාලෙට කොච්චර වෙනස් වුනත්, නොවෙනස් වුන එකම දේ අපේ ෆිට් එක විතරයි.

හැබැයි ජනක මම උඹ එක්ක මාස 13ක් කතා නොකර උන්නා. හැබැයි චීත්තවලට අපිව කොටවන්න දෙන්න බැරි බව, පාඩම් ගණනාවකින් පස්සේ උඹත් මමත් තේරුම් ගත්තා.

ආපහු හතර දෙනා කම්ප්ලීට්. හැබැයි තව සති දෙකකට විතරයි කියලා මතක් වෙද්දී පිස්සු වගේ මචං.
මචන් කලනක.. කෙලීගේ තාත්තා අසනීප වෙලා අයි සී යු ඉන්න දවස්වල, මාත් එක්ක හොස්පිටල් ගානේ කාපු කටු අමතක නෑ මචන්, ඒ දවස්වල මෝරා උඹයි අමන්දයි ජනකයි දුන්න සප් එක අමතක වෙන්නේ නෑ. මගේ හිඟන පාත්තරේට හෙනහුරා කඩන් වැටුනාම, මගේ ෆන්ඩ් රයිසින් වලට තමන්ගේ කෑමබීමත් අමතක කරන අමුතුම තාලේ එකෙක් තමා උඹ, අනිකා තමා Sulakshana.. උඹලා මගේ වෙනුවෙන් තියෙන බැඳීම මාරයි මචං, මට ගෙදර පවුලේ වෙන කිසි එකෙක්ට වඩා උඹලගේ සහෝදරකම ඉස්තරම්. හැම දේටම මිලක් නියම වෙන මේ සමාජ ආර්ථික රටාවේ, අන්න ඒ දේට මිලක් දෙන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බෑ මචං.
මචං කලනක, මේ සටහන තියන්න පටන් ගත්තේ උඹ වෙනුවෙන්.. හැබැයි මෙතනට එන්න කලින් බොහොම ලොකු වටයක් එන්න වුනා මචං.. උඹට හැම දේම හරි යනවා, මතක තියාගනින්, ඒ හැම දේම හරි යන්නේ උඹේ හිත ලස්සන හින්දා. අන්න ඒ දේ නැති කර ගන්න එපා මචන්. යන ගමන ලස්සනට ගිහින් ගිය වැඩේ ලස්සනට කරගෙන වරෙන්. හිත ගියොත්, හිත ගිය ලන්තෙන්ම මාලිගාව ගහපන්, හිත ගිය උන්දෑවත් එක්කම යන නිසා. මන් වෙනුවෙන් වුන අර පොරොන්දුව ඉටු කරපං, ඒ දේ මගේ අතේ දුරට ආපහු ආවොත් එනකන්..

හොඳ දොස්තරෙක් වෙයන්. උඹට පුළුවන් එහෙම එකෙක් වෙන්න. උඹට එහෙම වුනාම අම්බානක් හම්බ කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි මිනිස්සු හම්බ කරපං, මැරෙද්දි ගෙනියන්න පුළුවන් දේවල් ගොඩ ගහගනින්. වෙන එකෙක්ට වඩා උඹට මන් මෙහෙම කියන්නේ, උඹේ විදිය මම දන්නා නිසයි. ඔව් උඹට පුළුවන්.

මෝරා, බඩියා, කලේ ඇන්ඩ් ජේක්. අවුරුදු ගානකට පස්සේ හතර දෙනා ආපහු බදාදා හමු වේවි. තව අවුරුදු ගණනාවක් වෙනුවෙන් අපිට වෙන් වෙන්න සිද්ද වෙන්න කලින්, ජීවිතේටම මතක හිටින, ගොඩක් වැදගත් දවස් කීපයක් ගත කරන්න ලැබෙයි මචං. කොහේ ගියත්, ලංකාවෙත් ආනන්දෙත් නම තියපන්. උඹට වරදින්නේ නෑ.

කලයෝ, උඹට ආනන්ද මාතාවගේ සරණයි!

1 comment:

  1. ජීවිතේ ලස්සනම මතක බැඳිලා තියෙන්නේ ඉස්කෝලෙත් එක්ක. ගොඩාක්ම අව්‍යාජ බැඳීම් නිසා වෙන්නැති ඒවා මෙච්චර ලස්සන..

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...