Saturday, May 25, 2013

සුළඟ වගේ ඇවිදින්.. සුළඟ සමග ඇවිද ගියෙමි..


 දෙවන හැරී බැලුම..

සුළඟ වගේ ඇවිදින් පොත කියවපු උනුසුමෙන්ම දිනේෂ් කොළඹගේ සොයුරා( ඔහුත් සහෝදර ආනන්දියෙකු බැවින් එසේ අමතනු කැමැත්තෙමි) වෙත ඊයක් යැවූ බව කරූගේ සිත් රූ එක්ක එකතු වෙලා උන්න ඔයාලා දන්නවා. සමනලුන් වගේ කාලයත් එක්ක පියාඹා ගිය පාසල් කාලයේ මතකයන් නෙතට කඳුලක් කැඳවාගෙනෙමින්ම මතක් කර දුන් නිර්මාණයක් ලෙසයි "සුළඟ වගේ ඇවිදින්" මට දැනුනේ.. ඉතිං ඒ මතකයන් එක්කම මගේ හදවතට සුළඟේ සිසිල දැනුනේ කොහොමද කියල තමයි ඒ ලිපිය. ඔන්න ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න.

ලිපිය ලියවෙන්නේ පොත ගැන උනත්,ඔන්න කරූ නම් කීයටවත් කතාවේ සාරාංශය සදහන් කරන්න ලැස්ති නෑ.කතාව ගලා යන්නේ කොයිබටද කියලා පොත කියවලාම දැනගන්න කියලයි කරූ ආරාධනා කරන්නේ.ළඟකදී මේ පොතේ අලුත්  ප්‍රින්ට් එකකුත් එලියට ආවා,හොයාගන්න බැරි උනොත් pdf ෆයිල් එකක් විදියට මෙතනින් බා ගන්නත් පුළුවන්.

  සුළඟ ලියැවිලා තියෙන්නේ හරිම සරල භාෂාවකින්,හරියට මේ පොස්ටුව ආරම්භයේදී කොටන්න හිතපු ශෛලිය වගේ තමයි. උසස් පෙළ කාලේ ගත කරන කොලු රෑනකගේ විත්ති කියන්න හොඳම භාෂාව දිනේෂ් විසින් තෝරාගෙන තියෙනවා.ඉතිං මේ පොත මගේ හදවතට මේ තරන්ම ලං වෙන්න හේතු වුන හේතු මතක සටහන් ටිකක් මම මේ ලිපියට එක් කරන්නම්.

  කතාව ගොඩ නැගෙන්නේ කොළඹ නගරය,නුගේගොඩ මහරගම ප්‍රදේශය වට කරගෙන.කතාවේ ප්‍රධාන පිරිමි චරිත වන මාලින්ද,බින්දු,කොටා,ගිහාන්, අමිල ඉගෙන ගන්නා පාසල තියෙන්නේ කොළඹ නගරයේ මරදාන අවට කියලා හුරු පුරුදු ඕනෑම කෙනෙකුට දැනී යනවා. නමුත් දිනේෂ්ගේම වචනයෙන් කිව්වොත්, "එක මරදානේ ඉස්කෝලයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්" නමුත් ආනන්දියකු වුන දිනේෂ්ගේ ආනන්දනීය මතකයන් ඔහුටත් දැනී නොදැනීම මේ නිර්මාණයට එක් වන්නට ඇතී.සමනල් සේයාවෙන් පාවී ගිය පාසල් කාලයේ සුන්දරත්වය ආනන්දයෙන් විඳි,නොවිඳි ඕනෑම කෙනෙක්ට සමීප කරවන්න දිනේෂ්ගේ ඒ ආයාසය හේතු වන්නටත්  ඇතී.

  පොත ගැන දැනුන අදහස්වලින් බිඳක් එක් කරලා යවපු ඊයට පිළිතුරු දෙන්න දිනේෂ් සහෝදරයා කාරුණික උනා. පොත කියවන විට රචකයාගෙ ස්වභාවය ගැන හිතේ ඇඳුනු චිත්‍රය ඒ විදියටම රැකුන පිළිතුරක් මට ලැබුනා කිවොත් මම හරි.ඔහු තමන්ගේ පෞද්ගලිකත්වය ඉහලින්ම අගය කරන නිසා පාඨක ඔබටත් වැදගත් වේ යයි හැඟෙන අදහස් කිහිපයක් පමණක් මම එයින් උපුටා පල කරන්නම්.


පොත කියවන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක ඇත්ත කතාවක්ද කියන එකනේ. මෙන්න ඔහු ඒ වෙනුවෙන් ලබා දෙන පිළිතුර. "බුද්ධි, මම කවදත් මගේ  නිර්මාන එලියට දාලා හැංගිලා ඉන්නේ. මොකද, මම තදින්ම විශ්වාස කරනවා  වඩාත් වැදගත් නිර්මාණය මිසක් නිර්මාණකරුවා නෙමෙයි කියලා. සුළඟ‍, අහසේ ඔහේ පාවෙන ලස්සන සරුංගලයක් කියලා හිතන්න..සරුංගලේ ලස්සන බලන්න..., සැහැල්ලුවෙන් ඒකත් එක්ක පාවෙන්න.ඒක ඇත්ත සරුංගලයක්ද? එහෙම නැත්නම් මායාවක්ද?,  ඒක හැදුවේ කවුද...?,  ඒ ඇයි ? කියලා හොයන්න ගියොත් අපිට සරුංගලේ ලස්සන බලන්න බැරිවෙනවා.
හැබැයි එහෙම විස්තර හොයන්න හිතෙන එකත්, ඒ කුතුහලයත් සාමාන්‍යය දෙයක්. මගෙන් පොත බලපු හැමෝම වගේ ඔය ප්‍රශ්ණය අහනවා." 

ඇත්ත. සුළඟ සමග පියඹා යන්න,ඒ සුළගේ සිසිල විඳගන්න ඒ සුළඟ ඇත්තක්ම වෙන්න ඕනෑ නෑ.සුළගේ සිසිලස අපට සමීපව දැනෙනවා නම්,ඒ සිසිලස අපට හුරු පුරුදු නම් අපට ඒ සුළගේ ඉගිලෙන සරුංගලයේ ලස්සන දැනගන්න පුළුවන් වේවි. ඉතිං ඔහුට මම මේ වගේ පිළිතුරක් ලබා දුන්නා."සරුන්ගලයේ නිදසුන මම එකසිතින්ම පිලිගන්නවා අයියේ.ඒ සරුංගලය මට විශේෂයි,මොකද කිව්වොත් සුළඟ වගේ පා වෙලා යන ඒ සරුංගලය මීට අවුරුදු දහ අටකට කලින් පාවුණේ මගේ සරුංගලය දැන් පාවෙන අහසේම වුන නිසා,ඒ සරුංගලේ සමහර රැලි,පාට මගේම සරුන්ගලයේත් තියෙන නිසා.. :) සුළඟ වගේ ඇවිදින් පොත තවත් දස දහසක් දෙනාගේ සිත්වල රැදේවි,සුළඟ වගේ ඉවතට නොයා ම"

    වසර දහ අටකට එහා පාවුණ ඒ සරුන්ගලේම හැඩය ගත්ත මගේත් සගයන්ගේත් සරුන්ගලවල පාට ගැන මතකයන් මේ සටහනට එක කරන්නම්.

"ඒයි.. අද ඇප්ලයිඩ් සර් නෑ! "
කොහේදෝ ඉඳල ආපු ජැකා පන්තියටම කෑගැහුවා.
"නියමයිනේ. ලාස්ට් පීරියඩ් දෙකම සොමියේ ඉන්න පුළුවන්."
කොටා කිව්වා.
#35 පිටුව
(12 B4  ක්ලාස් එක,කැමරාව ජැකාගේ!)





මේ!
මට එහා පැත්තේ ඉඳපු කෙල්ලක් කතා කළා
මටද? මම හැරුනා
ඔයාගේ නම මාලින්දද?
ඔව් ඇයි?
ක්ලාස් ඉවර වෙලා මාව හම්බු වෙන්න පුලුවන්ද?
ඇයි?
එතකොට කියන්නම්.
මාව කරකොල අතැරිය වගේ උනා.
ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ ?
#45 පිටුව

(අනද අබිමන් ප්‍රදර්ශනයේදී,-කරූ)
මේ  පීරියඩ් එක ඉවර උන ගමන්ම පනිමු එලියට.
ඊට පස්සේ උඹගේ ලව් පාටිය දීපං..
නැත්තන් ඕවා කල් දාගත්තොත් ජීවිතේට හම්බු වෙන්නේ නෑ..
#166 පිටුව
#cake #cake#cake# නුගේ හන්දිය!

කට් එක
දෙල්කඳ හන්දිය!

අරුණි මගේ දිහා බැලුවා.
මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන
  176 කරගම්පිටිය බස් එකට අත දැම්මා
#174 පිටුව

(අපි 176කට අත දාන්න බලාගෙන,මරදානේ)

"අපි ගැන්සිය දහයක් විතර පිට්ටනියෙන් එලියට ආවා.
කොටා,අමිල,මම,අසංග බිංදු...
කට්ටියම නැග්ගා බොරැල්ල සුපර් මාකට් එකට..
අමිල ගෙනාපු ඩ්‍රම් එක ගහන්න පටන් ගත්තා.

පාරේ නටපු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලනුව උඩින් ඇර සොයිසා.. ලනුව උඩින් ඇර...
හායි හායි හිප්පි හිප්පි හායි...

#116 පිටුව



අපි දෙන්නා පාරෙන් එහා පැත්තට ආවා.
අරුණි අක්කගේ  යාළුවො ටික එතනම නැවතුනා,බස් එකේ නගින්න.

"ටවුන් හෝල් ගිහින් 138ක නගිමු නේද?"
"හා.."
#91 පිටුව
(වෙනදට 138 අල්ලන්න ටවුන් හෝල් එන අපි,
පාන්දර දෙකට පෝස්ටර් අලවන්න ඇවිත්)







"අන්ජලී මේ හරියේ නිදහසේ කතා කරන්න
 පුළුවන්  එකම තැන පාක් එක විතරයි.
#60 පිටුව

(පැරඩ් ගිහින් අන්තිමට යන්න තැනක් නැතුව විහාරමහදෙවියට සෙට් උන අපි-12 වසර) 











































    මතකයට නගන්න,සුළඟ සමගින් මතකයෙන් අවදි වෙන්න තියෙන සිහිවටන බොහොමයි. ඒ මතකයන් එක්කම සංවේදී වන හදවතකින් මෝදු වන කඳුළු බින්දු ගැන දිනේෂ් අදහස් දැක්වුවේ මෙහෙමයි.සුළඟ කියවලා දෙනෙත් තෙත් වුනා එකගැන මට කියන්න තියෙන්නේ, මාලින්ද සහ අරුණි ගැන දුක් වෙන්නේ බොහොම සංවේදී හදක් තියෙන අය කියලා. මට හිනායන්නේ නැති, හැඟීම් දැනෙන්නේ නැති, ඇඬෙන්නේ නැති කතා මම ලියන්න ආසා නෑ. මට දැනෙන දේ අනිත් අයටත් දැනෙන එක ගැන නම් අවංකවම සන්තෝසයි. (සමහර වෙලාවට ස්කෝලේ වැරුද්දක් වෙන්නත් පුලුවන් :-) ).  සත්තකින්ම ඔහුට දැනෙන දේ,ඔහු සන්නිවේදනය කල දේ හදවතට සමීප වීම වෙනුවෙන් මට තිබු සුදුසුකම අප දෙදෙනාගේ ඉස්කෝලේ වරද නම් නොවේ! කියමනට කියන "හතුරෙක්ටවත්වෙන්න එපා වර්ගයේ ඛේදයකට මුහුණ දෙන මාලින්ද ගැන හදවතක් ඇති ඕනෑම අයෙකු සංවේදී වේවි.ඒ වෙනුවෙන් කඳුලක් හලාවී.එහි ඇති රහස නම් ඔහු මේ කතාන්දරය පාඨකයාට ඉදිරිපත් කරන සමීප වූ භාෂාවයි.එය කියවන විට දැනෙන්නා වූ රසය ඨාකුරයන්ගේ ගෝරා කියවන විට දැනෙන රසය හෝ විභූතිගේ අරණකට පෙම් බැඳ කියවන විට දැනෙන රසය ආකාර නොගත්තත් සුළඟ පොතද ඔබ කියවූ ආදරණීයම පොත් ගොන්න අතරට එකතු වනවා ඇතී.

"බලපන් මේ සුමානෙම අධ්‍යාපනේ කියල සත පහක දෙයක් කලේ නෑ.
අදවත් පාඩම අහගන්නවා කියල ආවේ.එදාට සර් නෑ.
යන්ද ලයිබ්‍රි? පාඩමක් දාන්න."
#14 පිටුව
⬛පබ් එක 


කතාව මේ තරමටම හිතට අල්ලන්න තවත් එක හේතුවක් උනේ සිදුවීම් මාලාවේ තියෙන තාත්වික බව. සුළු සිද්ධීන් එකට යා කරමින්,ප්‍රධාන සිද්ධි කිහිපයක් අතරේ දෝලනය වෙන මේ කතාවේ දෙබස් වලත් තියෙන්නේ හිතාගන්න බැරි තාත්වික බවක්.කතාව ගොඩ නැගෙන පරිසරයේ තිබෙන සමීප බවත් එක්කම ඒ පරිසරය කතාවේ ගලා යාමට දක්වා ඇති සහයෝගය නිසාම,මෙහි හුදු කල්පිතයකට එහා ගිය සත්‍යතාවක් ඇතැයි ඕනෑම අයෙකුට දැනෙයි.සුළඟ සත්‍යක් යයි මාද ඇතුළුව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නට පෙළඹෙන්නේ ඒ නිසාම විය යුතුය.


ඔබෙ පාසල් දිවියත් සුළඟ වගේ පැමිණ ගොස් ඇතී. නැතිනම් සුළඟ සේ දැවටෙමින් තවමත් ඔබ ලඟම ඇතී.නමුත් දිනයක එය සුළඟ සේම නික්ම යාවි.කාටවත් නොදන්වාම.පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඔබට මතක් කර දීමට සුළඟ සමත් වේවි.සුළඟ සමග ඇවිද යන්න. එය රස විඳින්න.එය මගේ මෙන්ම ඔබෙත් පාසල් මතකයන් අවදි කරනවා සත්තයි.ඊළඟ පොස්ටුවෙන් හමු වෙමු.

38 comments:

  1. මට පේන්නේ "සුළඟ වගේ ඇවිදින්" පොත කරූගේ බොක්කට ම වැදිලා වගේ. පින්තූර ටික නං මරු. ඉස්කෝලේ කාලේ ගත්ත පින්තූර දිහා බලද්දී ඒ පින්තූරේ ලොකු කතාවක් කියනවා. :)

    ReplyDelete
    Replies
    1. "සුළඟ වගේ ඇවිදින්" මේ තරන්ම සමීප උනේ,බොක්කටම වැදුනේ එකේ උන්නේ අපි අපිම නිසයි ධාරා, එකතු කල පින්තුර පිටිපස්සේත් සුළඟ වගේම දිග කතන්දර තියෙනවා.. :) මේ පැත්තේ ඇවිත් යන්න ආවට ස්තුතියි ධාරා.. ජය ශ්‍රී!

      Delete
  2. හිතට පුදුම සතුටක් ගෙන ආ පෝස්ටුවක් මේක නම්. මාවත් මගේ පාසල් කාලයට රැගෙන ගියා..ඔය පොතේ සිද්ධි දාමයන්න අපේ ජීවිතත් ඒ කාලේ බොහොම සමීපයි.. මේ ඔබ එක් කළ පිංතුර කියන්නේ ඒ කතාවයි.. මාත සහෘද සුලෝහිතයෙක්නේ... අනික් කරුණ දිනේෂ් ගේ මේ කතාව තරුණයා පිටු අතර රදවන්න මගේ දෑතුත් ඒ දිනවල මෙහෙයක් කළ නිසයි..
    පත්තරේ ඩමි කොළයේ ‍බෝ‍රමයිඩ් එක අලවන්නත් කලින් ම අපි මේ කතාව රස කර කර කොටස් වශයෙන් බැලුවා.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියගේ කොමෙන්ටුව කියෙව්වමත් මට පුදුම තරමේ සතුටක් දැනෙන්නේ,අවන්කවම සතුටුයි මම ලියන දේ කෙනෙක්ගේ සතුටට හේතු වුන එක ගැන.. දිනේෂ්ගේ වෑයම පාඨකයා අතට ගෙනයන්න දායක උන කෙනෙක් විදියට,සුලොහිතයෙක් විදියට මේ පරිසරය ඇසුරු කල කෙනෙක් විදියට ඔබට දැනෙන හැගීම් වචනයෙන් විස්තර කර ගන්න බැරි තරම් වෙන්න ඕනෑ. එකතු කල පින්තුර නැවතත් මාව පාසල් ජීවිතේට ඇදගෙන යන්නේ මටත් නොදැනීමයි. මේ පැත්තේ ආවට ස්තුතියි නලීන් අයියේ. ජය වේවා!

      Delete
  3. ජීවිතෙට සමීප වුනු සිදුවීම තියෙන ඕනිම දෙයක් අපි අපේ ජීවිත වලට ලං කරගන්න එකෙ වැරැද්දක් නෑ මල්ලි..

    ReplyDelete
  4. ලක්ෂන පින්තූර කතාවකි...මාද කුඩාකල ඔය පොත හොද බව අසා ඇත

    ReplyDelete
    Replies
    1. කියවා බලන්න කියල පුංචි ආරාධනේකුත් තියෙනවා දැන් ඔන්න.. :)

      Delete
  5. මේක කියවද්දි ආනන්දෙ ඒ සුන්දර මතකයන් අලුත් වෙලා, පුංචි කඳුළක් එක්ක අහිංසක සතුටක් දැනුනෙ නෑ කියන්නෙ නෑ මචං.. මෙතන ලියවිලා නැතත්, ආනන්දෙ අපේ ජීවිත වෙනස් කරපු හැටි, ආනන්දෙන් අපිට ලැබුණ දේවල්, ඒ මතකයන්, උඹට, මට, 'අපිට' අමතක කරන්න බැරි වෙයි.. දිගටම ලියපන් මචං. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ආනන්දය කියන්නේ වචනයෙන් විස්තර කර ගන්න බැරි අත්දැකීමක් මචං..මේ පොතේ කතුවරයගේම වචනවලින් මම ඒ කිව්වේ.. ඒ ගැනත් මගේ බ්ලොග් සටහනේ වැඩි ඉඩක් වෙන් වේවි මචං.. ඒ වගේම උඹේ,අපේ මතකයන් අවධි කරවන රූප රාමු පල කරන්න අවසර දුන්නටයි,උඹේ කැමරාවටයිත් ස්තුතියි මචං.. ඔන්න ස්තුතියි කිව්වට මට පස්සේ බැනපන් :)

      Delete
  6. (අරුණි මගේ දිහා බැලුවා.මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන,176 කරගම්පිටිය බස් එකට අත දැම්මා)මාත් මගේ ලජ්ජාශීලි හිනාව බොහොම අමාරුවෙන් නවතාගෙන කමෙන්ටුවක් දාන්නයි ලෑස්තිය. මගේ නමයි චරිතයේ නමයි සමාන වීම ලජ්ජාශීලි හැගීමක් හිතට දැනුනත් බුද්ධිගේ හැකියාව අද මා අගය නොකලොත් එය විශාල මග හැරීමක් විය හැකිය. බුද්ධී අපේ සමකාලීනයන් අතරින් ඔබ ඉතා විශිෂ්ට ලේඛන හැකියාවක් ඇති අයෙක්.ඔබේ අපුරු සිත් ගන්නා ලේඛන විලාසය දිගු ගමනක පෙර නිමිති සේ මට හැගෙනවා.ඒ වගේම කිව යුතුයි ඔබේ මේ වැයම අති සාර්ථකයි බුද්ධි.අද සුළග වගේ ඇවිදින් නවකතාව දෙස අපුරු ඇසකින් ඔබ බැලුවත් කෙදිනක හෝ ඔබත් ආනන්දය පාදක කර ගනිමින් කතාවක් නොලිව්වොත් එය පුදුමයක් වේවි.මගේ අවාසනාවකට සුළග වගේ ඇවිදින් පොත තවම කියවීමට නොහැකි වුවත් ඔබේ අදහස් පෙළ දුටු විට මා දැන් නම් කෙසේ හෝ පොත හොයා කියවීමට සිතා ගතිමි.කෙසේ නමුදු දුර ගමනක සාර්ථක ලකුණු පල කරමින් ලේඛන කලාවේ යෙදෙන ඔබට ජය ශ්‍රී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණි,ඔබගේ අගය කිරීම මට ලොකු හයියක්, ඒ නිසාවෙන්ම මගේ අතින් තවත් මෙවැනි දේ ලියවේවි.හිතේ කොනක කාලෙක ඉඳන් තියෙන පුංචි අදහසක් ගැන තමයි අරුණි ඔබ කිව්වේ.. දවසක ඒ හීනෙත් හැබෑ වේවි.. :D මේ පැත්තේ ආවාට බොහොමත්ම ස්තුතියි අරුණි,මේ පැත්තේ ආයේ එන්න කියලා වගේම අනිවා පොත කියවන්න කියලත් මම ආරාධනා කරනවා. :) ජය ශ්‍රී!

      Delete
  7. මූ ගල් ආඳෙක්ය... මගෙන් ලිස්සා ගියේද ඔහොමමය... :D

    ReplyDelete
    Replies
    1. අන්න අයියේ ඉස්කෝලේ වැරැද්ද අපි තුන් දෙනාගේම. ;) කොහොම උනත්,දිනේෂ් කියන්නේ කව්රු උනත්,කොහේ මොනා කර කර උන්නත්,අදහස් නම් මසුරන් වටිනවා.නිර්මාණත් ඉස්තරම්..

      Delete
  8. සුළග වගේ ඇවිදින් " ගැන බ්ලොග් ලොව තුල මා දැකපු දෙවැනි පෝස්ටුව තමයි මේ !ඇත්තටම හොඳ කතාවක් කියා හිතනවා ..තවම එය කියවීමට් නොලැබීම ගැන කනගාටුයි

    ReplyDelete
    Replies
    1. මගේ එකෙත් දෙකක් තියෙනෝ,උඩින් ඉන්න "මගේ හිත"අයියගේ එකෙත් දෙකක් තියෙනෝ,තවත් එකක් මම දැක්කා තරියාගේ කෙරුවාවේ.. ඔය උඩ තියෙන ලින්කුවෙන් පොත බාගන්නත් පුළුවනි. මේ පැත්තේ ආවාට ස්තුතියි රෙහානි,ආයේ ඇවිත් යන්න එන්නකෝ :)

      Delete
    2. එතනින් ගන්න බෑ මල්ලියා

      Delete
    3. ලින්කුව මාරු කළා,, ආයෙත් උත්සහ කරන්න බලන්න?

      Delete
  9. පුදුමයි!
    මගේ ජීවිතේ වැඩිපුරම ආසා කරපු පොතක් ගැන, මම හිතන විදියට පොඩ්ඩක් හරි සමාන අදහසක් මට හම්බ උනා .... සුබපැතුම්! මමත් මේ පොත ඇතුලේ ජීවත් උන කෙනෙක්.... වරදවල හිතන්න එපා.... පොත ගැන නම් ඉතින් ඊට වඩා කියන්න ගියොත් මම ලියයි පිටු ගණන්...

    මේ පොත මට වස්තුබීජයක් උනා මම ලියපු නවකතාවකට.... සිද්ධි නෙවෙයි.... භාෂා ශෛලිය... මම බයෙන් හිටියේ ඒ වගේ භාෂා ශෛලියක් නොගලපෙඉද කියලා ... දිනේෂ් ඒ අභියෝගය හොදින් බාරගෙන තිබ්බ නිසා මගේ බය නැති උනා . මම නම් ලිව්වේ මගේ යාලුවෙක් මට කියපු ඇත්තම ඇත්ත කතාවක්! සංවේදී... ටිකක් සුළග වගේ ඇවිදින් කතාවට පොඩි සම්බන්ධයක් තියෙන කතාවක්. ඒ ගැන මෙතන කියන්න මගේ සුදානමක් නැහැ.
    ඔයාගේ පොස්ට් එක මාව පුදුම කලා...... ඒ වගේම මගේ කතාවේ වස්තුබීජ කතාව මට ආයෙමත් ඒත් වෙනස් විදියට මතක් කරලා දුන්නා ...

    hats off !

    ReplyDelete
    Replies
    1. මමත් සුළඟ වගේ ඇවිදින් කියෙව්වේ තරුණයා පත්තරෙන්. මට මකක හැටියට ඊට පස්සේ ඔහු තරුණයා එකට ලිව්ව කතාවල තිබුනේ වෙනමම භාෂා රටාවක්. ඔහු ලියපු ඒ අනිත් පොත් නිකුත් වෙලාද?

      Delete
    2. @ ඇනෝ. මම දන්නා තරමින් අනෙක් කතා දෙක පොත් විදියට නිකුත් වෙලා නෑ.

      Delete
  10. Whoaa!ඔව් දිනේෂ් බාරගෙන තියෙන්නේ ලොකු අභියෝගයක් කියන එක පැහැදිලියි, මොකද මේ වගේ ශෛලියකින් ලියවුන පොතකට පහර එල්ල වෙන්න පුළුවන් ඉඩකඩ සාපේක්ෂව ගොඩක් වැඩි නිසා.. කලිනුත් කිව්වා වගේම උසස් පෙළ කොලු රෑනකගේ රසබර තොරතුරු සජීවී විදියට කතාවෙන් ඉදිරිපත් කරන්න ඒ භාෂා රටාව උදව් වුනා කියන එකයි මගේ අදහස. හැබැයි ඒක හැම පොතකටම ගැලපෙන්නේ නෑ, උදාහරණයක් විදියට ටාකූර්ගේ "ගෝරා" ලියවුනේ මේ රටාවට නම් (lol) කව්රුත් එකේ හරයක් දකින එකක් නැහැ..

    උපේක්ෂාගේ බ්ලොගේ මම කියවලා බැලුවා,නිවාඩු පාඩුවේ අදහසක් පලකරන්නත් මම එන්නම්කෝ :) මේ පැත්තට ආවාට වගේම අදහස් දැක්වූවාට ස්තුතියි.. ආයේ එන්න මේ පැත්තේ :)

    ReplyDelete
    Replies
    1. ගෝරා ! ගෝරා ! අය්යෝ... ඔන්න ඉතින් මට අයෙත් පිස්සු හැදෙනවා..... මම කැමතිම... කැමතිම..... පොත් වලින් එකක්! ඔව් ඒක තමයි මමත් හිතන්නේ. අදහසක් උනත් සීරුවෙන් කියන්න භාෂාව කොතරම් ලොකු පහුරක් වෙනවද?

      මගේ blog එක ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි... තාම ඒක ඉන්නේ ළදරු අවධියේ.. comments දැම්මේ නැතුවට නම් කමක් නැහැ..... තාම ගතයුත්තක් නැහැ :-D

      ඉදිරියේදී පොඩි වෙනස්කමක් කරන්න බලන් ඉන්නවා. ඒත් ඉතිං බොහොම පොඩියට... වෙලාව තියෙන හැටියට....

      Delete
    2. අර නීල් ආම්ස්ට්‍රොන්ග් කියන ගගන ගාමියගේ කියමන මතකයි නේ? පුංචි පියවරකින් තමයි හැමෝම පටන් ගන්නේ, නිවාඩු පාඩුවේ ගොඩ නගන්න උපේක්ෂා, අපි එනවනේ බලන්න.. ජයෙන් ජයම වේවා!

      Delete
  11. මුලින්ම මචං සොරි වෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු වුනාට.. ඒ වගේම මං උඹේ ලින්ක් එකෙන් පොත බාලා බැලුවා.. පට්ට කතාවක් වගේ.. චුට්ටක් කියවලා බැලුවා.. ලියලා තියන විදිහට එක පාරක් නෙමෙයි සිය පාරක් කියවන්න හිතෙනවා බං..

    අනිත් දේ තමා අරුණි කොමෙන්ට් එකකින් කියලා තියෙන්නෙ.. උඹට ලියන්න හොඳ හැකියාවක් තියනවා.. දිගටම ලියහන් සහෝ.. ජය!!!!!

    ReplyDelete
    Replies
    1. උඹ මේ සමාව ඉල්ලනවා! මේ කොමෙන්ටුව දැක්කේ අයි බොල මං එහෙනම් මාව ගහපිය උස්සලා පොලේ! එකනේ කොල්ලෝ මම කිව්වේ කියෝපන් අනිවා උඹලට අපිට කික් වෙන කතාවක් කියලා.. එළ එළ සහෝදරයා ජය වේවා!

      Delete
  12. ඕං මචං මාත් ආවා... :)

    ReplyDelete
    Replies
    1. කෙරුවාවට පිළිගත්තා වගේ මගේ කෙහෙල් කොටුවටත් පිලිගන්නවා! ජය වේවා!

      Delete
  13. අදයි මුලින්ම මෙහෙ ආවේ..

    "සුළඟ වගේ ඇවිදින්" කියන්නේ මගෙත් බොක්කටම වැදුණු පොතක්.
    කතාව ගොඩනැගිලා තියෙන්නේ කොළඹ පාදක කරගෙන උනාට කොළඹින් ඈත ඉන්න මගේ ජීවිතෙත් අඩු වැඩි වශයෙන් ඔහොමම වෙලා තියෙනවා. ඒ වගේම තවත් අනන්ත අප්‍රමාන ජීවිත වලටත් මේ කතාව පොදුයි කියලත් දන්නවා. මොනවා උනත් සිරාවටම ලියලා තියෙන, බොක්කටම වදින, ආයේ ආයේ කියවන්න හිතෙන, කොච්චර කියෙව්වත් එපා නොවෙන කතාවක්...

    ReplyDelete
  14. මුලින්ම සාදරයෙන් පිලිගන්නවා අඩවියට.. කොළඹද පිටද කියලා නෑ,සුළඟ කියන්නේ පොලවට හුඟක් ළඟ,හිතට වදින පොතක්.. ආයේ පාසල් කාලයට,අපේ මතකයන්ට අපිව අරන් යන පොතක්,ආයේ කතා දෙකක් නෑ ඒ ගැන..

    ReplyDelete
  15. math me potha kiyawala tiyana ... podi kale hariytama kiwwoth 10 wasaredi wage ..99% k ma jeewitheta godak sameepa lassna kathawak ,,, mama wishawasa kare meka aththa siduwmak kiyala .. adatath ehemai ... den me blog eka kiyewwama apahu potha kiyawanna asa hithuna ... api eda gathakarpu jeewithen kochcara athata gihinda ada ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිදුවීමක් කියලයි මටත් දැනෙන්නේ, මගේ පෞද්ගලික මතය නම් කතාවේ මුල කොහොම උනත් අග ප්‍රතිනිර්මාණය කළා කියලයි, අරුණි මැරුණා නෙවේ කතාකරු ඇයව මැරුවා.. හිතට සමීප පොතක්,සම්පූරයෙන්ම ඇත්ත.

      Delete
  16. හැ .. සුළග වගේ ඇවිදින් ..

    මම වගේ ආවේ කවුද

    බොක්කටම දැනෙන කාලය පාසල් කාලය .. කතා කරන්න සිදුවීම් ගොඩයි .. ලස්සන අතීතයක් .. එත් දුක මට ලස්සනට ලියන්න බැනේ ..

    පොත හොයාගෙන කියවන්නම් .. සිංහල පරිවර්තන විතරයි මම කියවන්නේ .. කමක් නැ .. මේක කියවලා බලන්නම

    ජය හෝ ...

    ReplyDelete
    Replies
    1. "සුළඟ" ව දැක්ක ගමන් මට මතක් උනෙත් මේ පෝස්ට් එක,මෙන්න සුළඟ ඇවිත්! සිංහල පරිවර්තන වගේම ඇගේ ඇති සිංහල කතා පොතුත් තියේ,පුළුවන් වෙලේක කියවන්නකෝ.. යමන් ලියන්නත් බලන්න,මටත් අකුරු විතරයි ලියන්න පුළුවන්,ලස්සන නෙවෙයි නෙව.
      ජය වේවා සුළඟ! සුළඟ වගේ නැවත එන්න!

      Delete
  17. Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyawala baluwe ada. Onnemai eeka kiyawanna. Buddhi wage kenek matta munagahila nee meeta kalin.. godak lassanata kiyana dee saralwa hithata denawa. Liyanna Buddhi.. mama kiyawanna aasai

    ReplyDelete
  18. Potha nam kiyawala nee. Eeth budhi ge warune kiyawala baluwe ada. Onnemai eeka kiyawanna. Buddhi wage kenek matta munagahila nee meeta kalin.. godak lassanata kiyana dee saralwa hithata denawa. Liyanna Buddhi.. mama kiyawanna aasai

    ReplyDelete
  19. මචන් පොඩ්ඩක් පරක්කු වෙලා දාන කමෙන්ට් එකක්.....
    ඔය පොතේ තියෙනවා චන්දරේගෙ කැන්ටිමේ මාලු පාන් කන්න ගිහින් මාට්ටු වෙන හැටි. ඔතනින් තමයි මේක ආනන්දෙ වෙන්නේ...චන්දරේ කියන්නේ 1990 ගනන්වල කැන්ටිම කරපු අහින්සක මනුස්සයා..උගේ කැන්ටිමට කිව්වේ චන්දරයගෙ බොක්ක...මොකද ඕක තිබුනේ කොමස් එකයි දැන් බයෝ එක තියෙන තැන ඉස්සර තිබුන පොඩි බිල්ඩින් පෙලියයි මැද්දෙ. ඔතන තමයි පීරියඩ් කට් කරන හොට් ස්පොට් එක. චන්දරය පපුවෙ අමාරුවක් හැදිල මලා..ඌට කාත් කවුරුවත් හිටියෙ නෑ කැන්ටිම බාර අරගෙන කරන්න. පස්සෙ කාලෙක චන්දරයගෙ බොක්ක සමතලා කරල බයෝ එක හැදුන. චන්දරය කියන්නෙ අදටත් ආදරනීය මතකයක්..වයසක කොල්ලෙක්...සල්ලි නෑ බන් කිව්වම පස්සෙ දීපන් කියලා මාලු පාන් 1ක් මේසෙ උඩට දාන මනුස්සයෙක්..අපිට ආනන්දෙ ඉස්කෝලෙකට වැඩි යමක් වෙන්නෙ මෙ මනුස්සකම් මැද්දෙ අපි හැදුන නිසා..

    ReplyDelete
    Replies
    1. ලස්සනම වැඩේ පොතේ කොතනකවත් ආනන්දෙ ගැන කියලා නෑ..හැබැයි ආනන්දෙට ගිය නොගිය ඕනේ එකෙක් කියන්නේ ඕක ආනන්දෙ කතාවක් කියලා (ගොඩාක් අය දිනේෂ් ආනන්දෙට ගියා කියලා දන්නෙත් නැ).
      චන්දරේ උඩ කැන්ටිමේ ඉන්නකොට පහල බුක් ෂොප් එකේ හිටියේ එකැස්..සැර අහිංසකයෝ දෙන්නෙක්. සල්ලි නැති එවුන්ට නිකං දෙනවා. සර්ලා එනකොට කොල්ලන්ව බේරගන්නවා.
      නිවන් සුව!

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...