Friday, October 7, 2016

තවමත්, ජීවතුන් අතර ය! - Yes I'm still alive!

මේක ලිය ලියා හිටපු එකා තවමත් ජීවතුන් අතර ය. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුණේ, ජීවතුන් අතර සිටිය  ද ජීවත් වෙන්නට අමතක වූ නිසා  ය.

දෙදාස් දහසය වසර අවසානයට තව මාස තුනකි. ගත වුන මාස දහය තුල සේවය කල ආයතන දෙකකට පොල්ල තබා අවසන් ය. තුන්වැන්නට පොල්ල තැබීමට ඉතිරි මාස තුන ඕනෑවටත් වඩා වැඩි ය. එම පොල්ලට ද මේ වන විට සියලු පිඹුරුපත් සකසා සාක්කුවේ හිඳ එබිකම් කරයි. කිසිදු නිළ දැන්වීමකින් තොරව, හිත මිතුරන්ට ද නොදන්වා සේවය අතහැර යාම වැලක්වීමට රැකියාව ස්ථිර රැකියාවක් වීම ප්‍රභල හේතුවක් නොවී ය. ඉතින් මා කරන්නට තීරණය කලේ, කල දුටු කල වල ඉහගෙන ලියාපදිංචි තැපෑලෙන් පැමිණෙන ලිපි මාලාව සේවය අත්හිටුවීමේ ලිපිය ලැබෙන තුරුම රස විඳීම ය. 

පත්තරකාරයෙකු වීමේ චයිල්ඩ්හුඩ් ෆැන්ටසිය ද, පත්තරකාරයෙකු බව කියද්දී දිව අග පොපියන මහාමානය ද ආර්ථික වශයෙන් වඩා වාසිදායක සැලසුම් ඉදිරියේ පදිරි වී ගියේ එහෙම ය.මම වාසි අතට හෝයියා වූයෙමි. තව දුරටත් සමාජ තත්ත්වය සහ කාගේ හෝ අනුන්ගේ නමුත් පිළිගත් ආයතනයක යහපත් තනතුරක් දැරීම 'මගේ ක්‍රමය' නොවිය යුතු බවට මම තීරණයක් ගෙන සිටියෙමි.

ආයතනවලට පොලු තැබූව ද, ජීවිත කාලයටම වාර්තා වූ  ඉහලම ආදායම් වාර්තා වූයේ මේ වසරට ය. හුදෙක් ජීවිත කාලයේම සෙවූ මුදල් ප්‍රතිඉපයීමට මට ගත වූයේ දිනකට පැය දෙකක් නිදි මරා ගත කල සති කිහිපයකි. ඒ නමුත්, කිලෝ මීටර විසි පහකට පෙට්‍රල් ලීටරයක් වැය කිරීමට තවමත් ලෝබ සිතෙන බව කිව යුතු ය. සැලසුම නම් පෙට්‍රල් වෙනුවට ඩීසල්වලට මාරු වී, එය ද ලීටරය කිලෝ මීටර පහකට කැප කිරීමට හැකියාව උදා කර ගැනීමට බවත් කිව යුතු ය.. 

කරන කියන දේ සතුටට හිලව් කල මම, එයින් මිදී හැකියාව මාකට් කිරීමේ දැඩි ප්‍රතිපත්තියකට එළඹ සිටියෙමි. නමුත් තව දෙයක් කිව යුතු ය. ඒ, මම ජීවතුන් අතර සිටිය ද, ජීවත් වීමට අමතක කර ජීවත් වූ බව ය.


මීළඟ පියවර තවත් ආයතයක සේවකයෙකු වීමට නොවේ ය. හෙට අනිද්දා කොළඹට නුදුරේ මගේ ම,අපේ ම කාර්යාලයක් විවෘත වීමට නියමිත ය. එය වැඩ කටයුතු අඩු කිරීමක්, ජීවත් වීමට වැඩ වඩා ඉඩ ලබා දීමක් නොවන බව ද කිව යුතු ය. එය තව තවත් ජීවත් වීම ජීවිතයට අමතක කරවන්නක් බව ද, මම පිළිගත යුතුම ය.

තවමත් සීත අරණේ සුපුල් නාමල ට පෙම් බඳිමි.. තවමත් කසුන්ගේ "එක වසන්තයක" ගීය කවදත් සේම අදටත් එක සේ මා හඬවන්නට සමත් ය. තවමත් කැමරාව බෙල්ලේ ය. සාක්කුවේ පෑනක්  නැතත් නිතර පිරී යන ඩිජිටල් අකුරු සටහන් ජන්ගමයා මතින් තවමත් සටහන් වෙනවා ය. නමුත් එකම වෙනස, එකී අකුරු ආත්ම තෘප්තියට වඩා මූල්‍යමය තෘප්තිමත් භාවය පළමු අරමුණ කොට මෙහෙයවනු ලැබූ ඒවා වීම ය.




Wednesday, May 18, 2016

පවන් සංදේශය !

A whisper to the wind, a request not to cry...


හමන සුළගේ නදට මුමුනමි
ගෙනයන්න හසරැල් පියුම්
දුරක තනියම හඬන නුඹ වෙත
සැනසෙන්න, හැර පිනි සැලුම්

පිනි දියෙන් එන සිසිල් සුව නොව
සොවින් මත් උණුසුම දැනේවී
නෙතඟ තෙමනා ඒ දියෙන් මතු
පිපෙන සියපත් හැඩ කරාවී

ලොවම එළි කල හිරු සඳුත්
නැතේ කිසි දින මුව බලාලා
නොදැක සිටියත් ඒ හිරුත් සඳු
කලෙද අමතක, එළිය දීලා?

කරූ

Saturday, May 14, 2016

කල් ඉකුත් වූ කොන්ත්‍රාත්තු හෙවත් නොනිමි කතාවක්


පෙරවදන..

කාලෙකට කලින් ලියලා දාන්න උන්නු කතාවක් නමුත් මොකක්දෝ හේතුවකට හිතේ මතකයක්ම වී පැවතුන, මෑත කාලීන තවත් සමාන අත්දැකීමකට මුසු වුන නිසා යලි පණ ආපු මගේ කතාවක්..



Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ

පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ

රෝස පොකුරු අතට ඒවි
පුරුදු මූණ හොයන්නෙපා
අත්දෙක මැද තුරුළු කරන්
සිඹිනු මැනවි නළල් තලේ


හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ

මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල මට නොදැනුන
සුවයක් දැනුනා මැණිකේ

පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව


මගෙ පත්තර අකුරුවලට
ලස්සන පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා

සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ


"කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?"

"උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං"

"හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ"

රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම

උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?

ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට

උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ

ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව්
ආයෙත් මුණ ගැහෙයි කියල

"මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?"

එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
අපි ආයෙත් හමුවෙනවනෙ
එදා වගෙම කෝපි හලේ

Wednesday, May 11, 2016

දේවතා එළි පෙනෙයි ද ආදරෙන් ?













හිතක් පපුවක් නැති පත්තරකාරයෙක්?


ඒ මාව පහුගිය අවුරුදු කීපය ඇතුලත සමහරු හඳුනාගත්ත විදිය වෙන්න පුළුවනි.

අනුකම්පාවක් නැති කම්මැලියෙක්, එහෙමත් නැත්තම් හිතට වැටුන ඉවක්, පුංචි උනන්දුවක් පිටිපස්සේ නොකා නොබී හඹා යන නොසන්ඩාලයෙක්?   ඒ තවත් එක විදියක්.


ඔව්, මෑතකාලීනව අපූරුවට රවුම් රටා වැටුණ දරාගන්න බැරි රක්ත-තප්ත කවචයක් ඇතුලේ හැංගුණ මනුස්සයෙක් විදියට මාව මිනිස්සු හඳුනාගත්තේ එහෙමයි. ලියන අකුරුවල ඒ බවක් පේන්න නැතත්, හැබෑ චරිතේ ලියන වචනවලින් ගොඩක් ඈත්වෙලා තිබුණා.








හැබැයි ඌ දවසින් දවස ඒ හැංගුණ කවචෙන් එලියට ආවා. 


කෙල්ලෙක් නිසා!

ඒක කොහෙත්ම තනියම ජීවත් වෙන, ගෙයක් දොරක් පැත්ත පළාතේ යන්න ආස නැති කොල්ලෙක්ට ලේසියෙන් දරාගන්න පුළුවන් ආදරයක් නම් වුනේ නෑ.



අවුරුදු විසිදෙකක කෙල්ලෙක්ට තරම් නොවෙන පිස්සුවක්? පාර දිගේ මාත්  එක්ක යටිගිරියෙන් හූ කිය කියා යන්න පුළුවන්, මූණට ක්‍රීම් ටිකක්වත් ගාන්න ආසාවක් මළාට එන්නේ නැති, මං ඇවිදින පාත්ත-තාරා  ගමන බම්බලපිටියේ මැරයින් ඩ්‍රයිව් නාඳුනන සෙනග ගොඩේ රඟපාන්න ගාණක් නැති, කොල්ලෙක් වගේ ලේසියට මුල් තැන දීලා ඇඳුම් තෝරන පොලවේ පිහිටපු කෙලි අඩි දෙකක්.


කෙල්ලගේ  පාර්ශවේ වචනවලින් කිව්වොත්, ටොම්  බෝයියෙක්! 


උදේට කන්න බොන්න දේ  අරං මගේ නවාතැනට  එන්න, මගේ රෙදි ඔක්කොම හෝදලා, නානකාමර හෝදලා,කුස්සි අස් කරලා, කන්න බොන්න දේ ලැස්ති කරලා, මට කවදාවත් නුහුරු මේ දේ දිහා දත කට කාගෙන බලාගෙන ඉඳලා මම කාමරේට ඇවිත් ඔලුව හංගාගන්නකොට මගේ ඔලුව අතගාන්න, එහෙම-ම මාව නින්දට ගෙනියන්න පුළුවන්, පුදුමාකාර හදවතක්, කොහෙන්දෝ මගේ ලිපියකට හිත ගිහින් මාව හොයාගෙන ඇවිත් තිබුනා. කාලයාගේ අවෑමෙන්, ඒ කෙනා මගේ වුණා.

කොච්චර මාව එලෙව්වත්, ආයේ විනාඩියෙන් විනාඩිය පස්සෙන් ගිහින් මම දැවටුනා. තේ එක හදනකන්, කුස්සියේ ඉන්නකන්, රෙදි හෝදනකන්, මම ළඟ දැවටී දැවටී උන්නේ හාවෙක් වගේ. 

එයා ඒ දේට පුදුම විදියට ආසා කළා.

අවුරුදු ගණනාවකට කලින් මම අම්මගෙන් අප්පච්චිගෙන් අහපු, කිසිම භාෂාවකට අයිති නැති අමුතුම හුරතල් නම් රොත්ත මට ආයේ අහන්න ලැබුනේ මේ කෙලීගේ කටින්.

ඒ මට තවත් අම්මෙක් වුණා, දෙවෙනි අම්මෙක් කියන්න මට හිත ඉඩ දෙන්නේ නැත්තේ, මගේ හිතේ එයාව කාටවත් දෙවෙනි වෙන්න පලවෙනියෙක් නොඋන්න නිසා. 


ඒ විශ්වාසය, ඒ කැපකිරීම් සහ කරුණාව, කොයි තරම් නිදහසක් තිබිලත් ශාරීරික දෙයකට පරිවර්තනය වුනේ නෑ. සමහරවිට, මගෙන් සමුගද්දී කකුල් දෙක අල්ලලා වඳින එක පිටිපස්සේ, ඒ විදියේ ලොකු තේරුමකුත් තියෙන්න ඇති. "ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එලිය සේ අචින්ත්‍යයි" කියපු සුනිල් ආරියරත්නයන්ට 'නෂ්ටකාමියා' යැයි ගරහන සමාජෙක, මං මගේ ගැනම, අපි අපේ ගැනම හරිම ආඩම්බර වුනා.

සමහරවිට මගේම මිත්‍රයෙකුගේ අම්මා කියපු විදියට, ඒගැන කල්පනා කරද්දී කාර්යාලේදී පවා ඇස්වලට කඳුළු ආපු විදියට, මම ගෙදරක,පවුලක  ජීවත් වෙලා පුරුදු එකෙක් නෙවෙයි වෙන්න ඇති.

ඇත්ත! මට පවුලක් තිබුනේ මට වයස අවුරුදු 9 වෙනකන් විතරයි. ඒක මගේ වරදක් නෙවෙයි.


හැබැයි මේ අරුම ආදරේ මාව හැමතිස්සෙම මගේ පරණ මතක ඇතුලේ අසරණ කළා.

කවදා හරි මගේ ගෙදර 'පවුලක්' හැදෙන්න, ඒක පරිපූර්ණ වෙන්න අඩු වෙලා තිබුන එකම වටිනා දේ හමුවුන බව මම විස්වාස කළා.

පූර්ණි! ඒ නම වගේම කවදාවත් මට වචනෙකින් හිත නොරිද්දපු  ඒ ආදරෙත් හරි පරිපූර්ණයි!


ඔයා මල් කඩන්න දන්නේ නෑ! ඔව්, අවුරුදු ගාණක් පරණ, වෙන කෙනෙකුගේ චෝදනාවක්. හැබැයි ඒ අවුරුදු ගාණකට කලින් 


ඒ පොලවට පය ගහපු හිත, අව්‍යාජකම, හරිම පුදුමාකාර විදියට මගේ හිත දිනාගත්තා. ආදරේ දිනාගත්තා. මාව 'මල් කඩන්නෙක්' කළා.

කවදාවත්, නොවෙන දේවල්, කරන්න බැරි දේවල් කවදාවත් ඒ වචනවල මගේ තිබුනේ නෑ.කියපු ඇත්තවලට හිත රිදුනත්, මගේ ඒ ගතිය වෙනුවෙන්, මං කෙරෙහි පුදුමාකාර ගෞරවයක් ඒ හිතේ වෙන් වෙලා තිබුණා.


හැබැයි 'පත්තරකාරයෙක්' කියන මම ලෝකෙට ආඩම්බරෙන් කියන රස්සාවයි, මේ සමාජ ක්‍රමයයි නිසා, මගේ ඉස්සරහා අපි දෙන්නා අතරේ පුදුමාකාර බැම්මක් ගොඩ නැගිලා.

මිනිස්සු මාව අඳුරගත්තේ අහවල් ඉස්කෝලේ අහවලා විදියට, අහවල් පත්තරේ අහවලා විදියට මිසක්, අහවල් අධිකාරියේ අහවල් යුගයේ උන්නු අධ්‍යක්ෂවරයාගේ එකම පුතා විදියට හෝ අහවල් පාසලේ අහවල් කාලේ උගන්නපු ගුරුතුමීගේ එකම පුතා විදියටවත්, නෙවෙයි. 

මම මගේ අනන්‍යතාවක් ඇතුව සමාජෙට ආවා. මම කාගේ කවුද, කාටවත් වැදගත් වුණේ නැහැ. වැදගත් වෙන්න, ඒ අය මගේ ලඟත් නැහැ.


කවදාවත් දෙමවුපියන්ගේ හිත රිදවන කෙල්ලෙක්ව විශ්වාස කරන්නේ නෑ මම කියපු මම තවමත් ඒ තීරණේ නොවෙනස්ව ඉන්නවා.


නමුත්,

අවසානය කොතනද, මම දන්නේ නෑ. හැබැයි මම ජීවිතෙත් ඔට්ටුවට තියලා, ලොකු සටනක් දෙන්න නම් ලෑස්තියෙන් ඉන්නවා.


දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?

ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?



Sunday, April 3, 2016

මගේ දිනපොතේ අද රෑ ලියන්නේ...



"කවදාක හෝ
එක්තැන් වෙලා..
සුව හා සුසුම්
සම සේ දරා,
අත්වැල් බැඳන්
යමු ජීවිතේ..."

ඒ කී වදන්, බොල් හීනෙකී...

"...
අප පෙම් කතාවේ, අවසානයයි..
මම නේන හෙට ඔබ, මනමාලියයි..."

පාසල් සමේ, අපි දෙන්නගේ,
නම් කුරුටු ගෑ, කඩදාසි මේ
ගිනි අවුලුවා නටඹුන් පෙමින්
අපි වෙන් වෙමූ, දෛවය ලෙසින්..

මගේ දින පොතේ, අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ, අවසානයයි..

සමහර දේවල් ගිණි අවුලුවලා  විනාස  කරනවට  වඩා  හොඳයි, බලන්න  ඇත  තියලා  ගන්න  දුරකම  තිබ්බත්, ආයේ  ඒ දිහා  නොබලාම  ඉන්න එක.. 

තිබ්බ  විදියටම, ඔහේ තියෙද්දෙන්...






Thursday, March 17, 2016

මළ ගිය ඇත්තන්ගේ වැලන්ටයින් දා

පහුගිය පෙබරවාරි දා හතර වෙනිදා රාත්‍රියේ, ඒ කියන්නේ 2016 අවුරුද්දේ ආදරවන්තයන්ගේ දවසේ සිද්ධ වුන සිද්ධියක්, ටික දවසකට පස්සේ මේ අඩවියට මේ විදියට එකතු කරනවා.. 
__________________________
මට එතනට යනකොට දැනුනේ මස් කඩයක් ඇතුලට යද්දි දැනෙන නාහේ විනිවිද යන සංවේදනයමයි.. ඒක එන්නේ විසිරුණ ලේ වලින්ද, නැත්තම් රතුපාට මස් එක්ක කැකෑරිලා ගිය කහපාට මේද පටකයෙන්ද කියන්න මං දැනන් උන්නේ නෑ.
හැබැයි දෙනෝදාහක් කෑ කොස්සන් අතරේ මේ ඔලුව කඳෙන් වෙන් වෙලා මැරිලා ඉන්නේ මනුස්සයෙක් කියන දේ විතරක් මගේ ඔලුවට සංනිවේදනය වෙලා තිබුනා.

දුම්රියෙන් බැහැලා 'කඩිමුඩියේ' දුවන් ආපු මිනිස්සු වගේම තාමත් ටාං ටාං ගාන රේල් ගේට්ටුවට හිර වුන වාහන රන් එකේම දාලා දුවන් ආපු මිනිස්සුත් එතන පිරිලා ඉතිරිලා උන්නත්, විනාඩි ගණනාවක් යනකං කාගෙන්වත් ක්‍රියාවක් පේන්න නෑ.

Wednesday, March 2, 2016

ඩිකැප්‍රියෝ හෙළ සිනමාවේ සලකුණක්-විශේෂ හෙළිදරව්ව



ඔබ නොදත් ඩිකැප්‍රියෝ නම් හෙළ වැසියා

ලියනාඩො ඩිකැප්‍රියෝ ඔබ හඳුනන්නේ ටයිටැනික් (titanic) හී ජැක් ලෙසම පමනක් වූවාට කමක් නැත. නමුත් ඔහුට හිමිවීමට තිබූ ඔස්කා සම්මානය දශකයකට පමන පසුව හෝ ඔහු අතට පත් වු මෙම අවස්තාවේ ඔබ නොදත් ඩිකැප්‍රියෝ ගැන මෙම සටහන තබන්නේ ඔබත් මමත් මෙතෙක් කල් නොදැන සිටි ඩිකැප්‍රියෝ නම් ඔහු ගැන කියන්නටය.

ඔහු අද්විතීය සිනමාතරුවක් බවට විවාදයක් නැත. නමුත් ඔබ දන්නවාද ඔහු අප රටට දරණ නෑකම මෙන්ම බෞද්ධාගමිකයෙකු වීමට හේතුව? ඔස්කාසම්මාන ලාභී ඩිකැප්‍රියෝ යනු අපට ලේ නෑකම් දක්වන හෙළයෙකු බව ඇසූ විට ඔබ පුදුමවනු නිසැකය. එසේම ඉන්ග්‍රීසි හඬ කැවූ සිනමා තරුවක ජීවන අන්දරය වටා ගෙතුණු ද කැම්කෝඩර් නම් සිංහල වෘත්තාන්ත සිනමාපටයක ද එතුමා ආරාධිත රංගනයක යෙදී ඇත.

නිදහස් අධ්‍යාපනයේ පියා?


ඩිකැප්‍රියෝගේ මව හෙලේනා ශිරන්ති මැනිකේ ඩිකැප්‍රියෝ යනු ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන C.W.W.කණ්නන්ගර මැතිතුමාගේ නැගෙනියගේ දෙටු දියණියයි. ඇය 1966 වර්ශයේ විවාහයෙන් පසුව වහාම ඇමරිකා එක්සත් ජනපදය වෙත යන්නේ සිනමාව හැදෑරීමටය. නමුත් අවාසනාවකට මෙන් ඇයව ප්‍රධාන චරිත වෙනුවෙන් තෝරා නොගැනෙන්නේ ඇය හෙල කුල සිරිතට අනුව හැදුන යුවතියක බැවින් නූඩ් (nude) දසුන්වලට පෙනී සිටීම ඇය ප්‍රතික්ෂේප කල නිසා ය. එයින් නොසැලුන ඈ විවාහයෙන් පුතෙකු පතන්නේ එකී අභියෝගය ජයගත හැකි සිනමා තරුවක් ලොවට දායාද කිරීමට ඇයට ඇති එකම බලාපොරොත්තුව නිසාය.

කැප්‍රියෝ හෙලබිමට


ඒ අනුව 1974 නොවැම්බර් 11 වැනිදා උපත ලබන මෙම හෙල ලේ(සිංහ ලේ නොවේ) ඇති දරුවා කුඩා කල සිටම සිනමාවට යොමු කරන්නට ඔහුගේ මව පියවර ගත්තා ය. පලමුව ළමා ශිල්පියෙකු ලෙස hey lion dude charlie සිනමා සිත්තටමට ආලෝකය සැපයූ ඔහු 1986 වසරේ හෙල බිමට නැවත එන්නේ ඔහුගේ උරුමය හිමි කර ගැනීමට ය. කොළඹ නාරාහේන්පිට ශ්‍ර්‍රි අභයාරාම පුරාණ රජ මහා විහාරාධීශ්වර පූජ්‍ය කුරක්කන්දෙනියේ මිහිඳු හිමියන්ගෙන් පන්සිල් සමාදන් වන ඔහුට අනතුරුව රුක්මණී දේවී, ගාමිණී සහ මාලිනී ෆොන්සේකා ආදී රංග විශාරදයන්ගේ ඇසුර ලැබීමට භාග්‍යවන්ත විය.

ටයිටැනික් ජනප්‍රිය වුනේ බෞද්ධයෙකු වූ නිසා?


 පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වූ පසු පෙරලා ඇමරිකා එක්සත් ජනපදයට ගිය පසුව සිදුකල පලමු රංගනය වන ටයිටැනික් සිනමා සිත්තම ඔහුව ලෝක ප්‍රකට කරන්නේ ඔහු නොසිතූ අන්දමට ය. වරක් ඔහු මේ ගැන පවසා ඇත්තේ මෙවැනි අදහසකි.

විජයග්‍රහණයේ හෙළ නද

"මම හෙළ වැසියෙක්. ලංකාවට ගිය පසු මගේ සිරුරේ හෙල ජවය මා හඳුනාගත්තා. එසේම රූගතකිරීම් අතරතුර කේට් වින්ස්ලට් සමග තිබූ නිරුවත් දර්ශන නිසා අපේ මිතුදම පළුදු නොවූයේ මා තුල හෙල බොදු ගති තුලින් ඉස්මතු වූ ගුණ දහම් පැවතුන නිසායි'
ඔහු කී අයුරින්ම මේවර ඇකඩමි සම්මාන උලෙලේදී ඔහුගේ ලඟම මිතුරිය වන ටයිටැනික් හී රෝස් හෙවත් කේට් වින්ස්ලට් ඉතා හැඟීම්බරව බලා සිටීමෙන් ඔවුන් අතර පවතින නොකැලැල් මිතුදම ඒ ගැන සාක්ශි දරනවා ඇත.

හික්මීමත් සාර්ථකත්වයත් හෙල ලෙය තුල ගැබ්ව ඇති බවට ඩිකැප්‍රියෝ ගෙන එන්නේ ජීවමාන සාධක බව නොඅනුමානයි. හෙලයෙක් වීම ගැන ආඩම්බරයිනම් ශෙයා කරන්න.

ගවේශනාත්මක තොරතුරු වාර්තාකරණය බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.


Sunday, February 28, 2016

ඒ කී වදන්, බෝල් හීනයක් නොවේ මැයි...






විටෙක මා හැඬවූ, විටෙක මා සැනසූ,
විටෙක මා කල්පනාවේ නිමග්න කරවූ,

ලෝකයේ කොයි හෝ මුල්ලක 
තාමත් ඇතියැයිම හිතෙන
පිටු දහ අට විස්ස දිග හසුන් මහ ගොඩකට
මට පූර්විකා සැපයීමටමදෝ

අපූරු නිමැවුම් අකුරු කල,
ආචාර්‍ය අජන්තා රණසිංහ නම් 

සොඳුරු වදන් ගලපන්නානෙනි
පුවත්පත් කළාවේදියානෙනි,

ඔබට නිවන් සුව පතමි.




පින්තූර ගෞරවය, සහන කසීර වික්‍රමසිංහ සහෝදරයාගේ බුකි වෝලයෙන්

Saturday, February 27, 2016

විශේෂ මතක සටහනක්, අනාගත සැමරුම් පිණිසම

අවුරුදු දහයකට කලින් එක පාරක් විතරක් කියවපු, හැබැයි අදටත් ගිරවා වගේ එක හුස්මට කියන්න පුලුවන් දත්ත මගෙ ඔලුවේ තියෙනවා, ඒත් එහෙම උනත් දැන් පොඩ්ඩකට කලින් කියවපු දෙයක් ගැන කිසිසේත්ම මට මතක නැති වෙන්න පුලුවන්.

හැමදේම ඇතුලේ පර්ෆෙක්ශන් හොයපු, වැදගත් වැඩක යෙදුනත් නැතත් මේසේ උඩ දූවිලි බිංදුවක් නැතිව තියෙනවා දකින්න ඕනෙ වුන කෙනෙක් වෙච්ච මම,වෙලාවට වැඩ නොකරන උන්ව පෙන්නන්න බැරි වෙලා උන්න මම අද තනිකරම ඒවාගෙ අනික් පැත්ත.

මට වැදගත් නෑ පොලවේ ඉඳන් ඉරට තියෙන දුර, ලීටරේට මිලිලීටර් ගණන, හැබැයි මං මැරෙන්න කලින් දත්ත දෙකෙන් එකක් හරි ඕනෙ වුනොත්, ඕනම වෙලාවක මට දේවල් බලාගන්න විධි ඕනේ තරම් තියෙන විත්තිය මම දන්නවා.

හැබැයි ඔය අතරේ මම තේරුම් ගත්ත එකම දත්තය තමයි, මගෙ ඔලුව හැදිලා තියෙන්නේ දත්තවලින් පුරවලා සිස්ටමැටික් විදියට සමාජයට මුදා හරින්න නොවෙන විත්තිය.

සමහරවිට ශිෂ්යත්ව විභාගෙන් සිරා දිස්ත්රික් සාමර්ථයක් ඇතිව ආනන්දෙට එවලා, සාමාන් පෙලට අටකුත් ඇතුව උසස් පෙලට එවලා උසස් පෙල පන්තියේදිත් පන්තියේ දෙවෙනියා පවා වෙද්දී මගෙ ලඟ උන්නු මිනිස්සු,අම්මා බලන් උන්නේ මං මෙහෙම බොහීමියානු වැසියෙක් වෙයි කියලා නෙවෙයි වෙන්න ඇති.

ඇතුලකට වෙලා කවුරුත් උගන්නන දෙයක් අහගෙන විභාගයකට එන උත්තර ටිකත් විදියටම අල්ලගෙන ලියලා අමුතු ලල් එකක් ගන්න ආතල් එක මට අවුරුදු දහ අටක් විස්සක් යද්දී එපා වෙලා ගියා. අද වෙද්දී, ඉන්නේ තනියම නෙවේ නම් පුටුවක් උඩට වෙලා ඉන්නවා කියන වැඩේ අමාරු වැඩක් නෙවේ,කරන්න බැරි වැඩක්.

Sunday, February 14, 2016

වැලන්ටයින් කතා හතරක්



මගේ වැලන්ටයින් කතා හතර

_______________________________

අංක එක

"ඔයා වැලන්ටයින් සමරලා තියෙනවද?"
"ම්ම්හු. ඔයා?"
"නෑ!"
"ශා!! අපි දෙන්නා මේ පාර සමරමු!"
"හා!"
ඉතිං කෙල්ලගෙන් කොල්ලට රතු රෝස මලකුයි, ටෙඩියෙකුයි හම්බුනා.
ලොකූ... රෝස මලක් අලවපු කාඩ් එකකුත් එක්කම...
කෙල්ලටත් ඉතිං මේසේ උඩ තියන පෙට්ටගමක් වගේ පෙන්සිල් හෝල්ඩර් එකක්. ඒක තෝරගන්නෙත් යාලුවෙක්ට කියල,බෝම අමාරුවෙන්.
දෙන්නට හම්බෙන්න නම් බැරි වුනා. ඉතිං තෑග්ග ගියේ යාලුවෙක් අතේ.

කෙල්ල අද වෙන්න දොස්තර නෝනා කෙනෙක්.
කොල්ලා පත්තරකාරයෙක්.

අද දෙන්නා ඉන්නෙත් රටවල් දෙකක.

_______________________________
අංක දෙක
Related Posts Plugin for WordPress, Blogger...