Tuesday, October 14, 2014

යාල් දේවි හීන අරං - යාල් පානමට වඩින්න......

කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..

දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..

යාල් දේවි හීන අරං
යාල්පානමට වඩින්න..
යාල් දේවි උඹ තරහද
අහිතක් නෑ මට කියන්න

යකඩ හදට උඹේ රිදුනද
මිනිස් අතින් නුඹ පෙලුවද
ලේ මස් කැටි කොට මිරිකුණු
හද කාගේද උඹ හිතුවද

සම් මස් ඇට ලේ විහිදුනු
යදඬු අතින් නුඹ පෙළුනද
තූ තූ කොට උඹ කෙලෙසුව
එවුන් තාම පණ පිටින් ද?

යාල් දේවි හීන අරන්
යාල්පානමට වඩින්න
මෙච්චර කල් නාවේ මොකද
හීන් සැරේ දැන් කියන්න


Saturday, September 6, 2014

හිත නැවතුන තැන.....

පරිපූර්ණම සතියක නින්දක් නැතිව ගත කරපු අවසාන දවස් තුනේ හදවතට වැඩිපුරම සමීප වුන දවස අද. ඊයෙ දවසේ බැච් පාටියේ රාත්‍රියටත් වඩා අද හවස මගෙ හිතට සමීප වුනා කිව්වොත් කවුරුත් මගෙ එක්ක අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා  ගෙදර එද්දි රෑ එකොලහ ලං වුනත් මේ සටහන ෆේස්බුක් එකට වගේම බ්ලොගේට එකතු නොකර නිදාගන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මේක එක අතකට පම්පෝරියක් තමයි, හැබැයි එක්තරා විදියක.

නින්දක් නැතිව එක දිගට දවස් කීපයක් මහන්සි වෙන එක වගේම ගමනක් යන්න වාහනයක් නැත්තම් කිලෝමීටර් පනස් හතරක ගමනක් වුනත් අවුරුදු දහයක් පරණ බයිසිකලේකින් යන එක මට මහ ලොකු වැඩක්වත් නුහුරු දෙයක්වත් නෙවේ. මොකද කාලෙකට කලින් උදේ ඉස්කෝලෙ ගිහින් හවස ගෙදර ඇවිල්ලා පුටුවෙ ඉඳගෙන, පහුවදා පුටුවෙන් නැගිටලා ක්ලාස් ගිහින් රෑ දහයට ගෙදර ඇවිත් තව පැය දෙකතුනක් කෙලින් ඉන්න එක ලොකු ගේමක් වුනේ නැති නිසා වගේම අනද අබිමන් කාලෙ පැය හතලිහ හතලිස් පහ එක දිගට ඇහැරගෙන වැඩ කල වාර ගණන මටවත් මතක නැති නිසා.

එහෙම කැපකිරීමක් මගෙන් ලබපු අය බොහොම සීමිතයි. ඒ අය අතරින් අංක එක මගේ ආනන්දය. ඉස්කොලේ බැච් පාටියට යම්දෝ නොයම්දෝ දෙගිඩියාවෙන් උන්න මොහොතක මිත්‍රයන්ගෙ ඉල්ලිම නිසාමයි යන්න තීරනය කලේ. එහෙම මොහොතක මංගල සහෝදරයගෙන් ලැබුනේ අහක දාන්න හයියක් නැති ඉල්ලීමක්. පාටියට කලින් දවසේ ගම්පහ වැඩපොලට ඇවිල්ලා මල් සැරසිලි වැඩ හිරවෙලා තිබ්බ තැනින් ගොඩ ගන්න පුංචි උදව්වක් දෙන්න යන්න තීරනය කලේ ඒ නිසයි. ඒ ගමන වෙනුවෙන් සතියේ වැඩ කටයුතු එහෙ මෙහෙ කරගනිමින් ඉන්න මොහොතක කලණක සහෝදරයගෙන් ලැබුනේ තවත් අහක දාන්න බැරි ඉල්ලීමක්. කලින් දවස් දෙකේ යොදාගෙන තියෙන වැඩවල වෙහෙස ගැන වගේම බැච් පාටියෙන් පස්සෙ මං ගෙදරයන වෙලාව ගැන හාංකවිසියක් නොදන්වාම බැච්පාටි රාත්‍රියෙන් පස්සේ ගෙදර ඇවිත් ආයෙත් පැය කීපෙකින් ආපහු කොළඹ එන්න වචනෙ දුන්නෙ මංගල වගේම කලනක සහෝදරයගෙත් වචනයක් අහක දාන්න මට බැරි නිසාමයි.

අද මං මොකක් හෝ තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ මගෙ දෙමව්පියො, ආනන්දය වගේම මේ නම් කිව්ව නොකිව්ව මහෙ සහෝදරත්වයේ ඉන්න යාලුවෝ නිසා. මේ කොල්ලො සෙට් එක මට මගේ සහෝදරයො වගේ දැනෙන්නේ ගෙදරට ඉන්න එකම එකා මං නිසා විතරක් නෙවේ. ජීවිතේ මං කාපු කටුවලදි මාව තනි නොකර තමන්ගෙ වැඩපොලත් පස්සට දාගෙන මගෙ ජීව්තේ වෙනුවෙන් දුන්න ගාඩ් එක වගේම හිත අවුල් කරගෙන නටද්දි දුන්න සැර වැර උපදෙස් නිසා. මම මේ කියන්නේ කොහෙවත් යන ගෑනියෙක්ගෙන් බූටක් කාපුවාම ලඟට වෙලා හොටු පිහලා දෙන එක වගේ බොළඳ දෙයක් නෙවේ, ඇත්ත ජීවිතේ ඊට වඩා එහා ගිය පොලවේ පය ගහලා ඉන්න තත්වේ අවස්තාවල එකට උන්න සහෝදරකම නිසා.

අද කලනකගේ ජීව්තේ විශේෂ දවසක්. ඕනතරම් මිනිස්සු ඔනෑ තරම් ඕනෑවට එපාවට කරන දෙයක, වෙනස් විදියේ ආරකට ජීවිතේටම මතක හිටින සිහිවටනයක් එක් කරන්න මේ දේ සංවිධානය කෙරෙද්දී තිරයෙන් පිටිපස්සෙ උන්න සහ අද එකතු වුන මිත්‍රයෝ ගණන විස්සකට කිට්ටුයි. එහෙව් කණ්ඩායමක මට අද වැඩියෙන්ම සතුටු හේතුව ඒ දේ වෙනුවෙන් කලේ'ටත් කොලේ වහලා අද නිදහස් චතුරස්‍රයට එකතු වෙන්න මම කාපු කට්ට මතක් වෙද්දියි. නින්දක් නැති තුන් වෙනි දවසේ හවස් වරුවේ "අඩෝ උඹ කොච්චර ට්‍රයි කලත් උඹට ඇස් දෙක බාගෙකට වඩා ඇරං ඉන්න බෑ බං" කියලා ජනක සහෝදරයා කියද්දී දැනුන සතුට ඇත්තටම දන්නෙ මං විතරමයි වෙන්න ඇති.

මං ජීවිතේට මුදලට විකිනිලා නෑ, මුදල් වෙනුවෙන් මගෙ එක ඉස්පිල්ලක් හෝ එක දාඩිය බිංදුවක් ගන්න උත්සහකල කිසිම කෙනෙක්ට ඒ මුදල වෙනුවෙන් මම විකිනෙන්න සූදානම් වෙලත් නෑ. යම් හෙයකින් එහෙම නොවුනා නම්, හෙට දවසේ හතරවෙනි ජයග්‍රාහී නිදි නැති දවස වෙනුවෙන් මගේ මුදල්මය වටිනාකම නම් කරන්න මම පැකිලෙන එකකුත් නෑ.නමුත්, ජීවිතේ එක මිනිත්තුවත් කල්ප ගණනක් වගේ දැනුන කාලවල ඒ කල්ප කාලාන්තරේ ජීවත් වීම පහසුවක් කරවපු සහෝදරත්වයේ මිතුරන් දෙන්නෙක් වෙනුවෙන් මගේ උපරිම මහන්සිය කැප කරලා, හෙට සෙනසුරාදා දවසෙ ලැබුන වෘතිමය කටයුත්තේ මගේ මහන්සිය වෙනුවෙන් යෝජනාවුන මුදල්මය අගයන් මම ප්‍රතික්ශේප කලා.

කවදාවත්,කිසිම කෙනෙක්ට මාව හෝ මගේ එක මිනිත්තුවක් හෝ මගෙ අතින් ලියවුන එක ඉස්පිල්ලක් පාපිල්ලක් මුදලට ගන්න ලැබිලා නෑ. නමුත්, කොන්දේසි විරහිතවම මගේ ජීවිතේ හිමිකාරකම කියන්නේ මගේ ආනන්දයත්,මගේ අම්මාත්, සහෝදර සහෝදරියන් හිස් වුනා කියලා මගේ තිබුන සිතුවිල්ල කොච්චර නම් වැරදිද කියලා මට පෙන්නපු කොල්ලො ටික විතරයි,විතරමයි. උන් වෙනුවෙන් කැප කරන වෙහෙස මට ගෞරවයක්. මනුස්සයෙක් විදිහට මට අවුරුදු තුන් හාරසියයක ජීවිත කාලයක් ගෙවන්න ලැබිලා නැති බව හැබෑව. නමුත් ජීවිතේට මුනගැහුනු සමහර ගුණමකු මිනිස්සු වෙනුවෙන් කැප කල අති විශාල කාලෙකටත් වඩා මගේ ආනන්දය,මගේ අම්මා වගෙම මගේ කොල්ලො ටික වෙනුවෙන් හෙලන එක දාඩිය බිංදුවත් මට අති විශාල සතුටක්.



ප.ලි. මේක ලියවුනේ ඊයේ මහ රෑ. නමුත් ඊයෙම පල නොකළේ, ඊයේ දවසේ මගේ කැමරා ඇසට අහු වුන හොඳම චායාරුපය පල කිරීම පිලිබඳ අදාළ පාර්ශව වෙතින් අවසර ගන්න හිතපු නිසයි. ;) ඔන්න ඒකත් හරි :D

Friday, July 4, 2014

ඔබ විශ්වාස කරන්නේ නම්, ජිවිතේ සුන්දරයි..


පුංචි කතා දෙකක්.. ඔබ අවධානයෙන් සිටින්නේ නම්, සීමා මායිම් පරයමින් ඔබේ සිතුවිලි වෙනස් කරාවි.



කතාව අංක එක..



මගේ පුංචි ලේන්නු දෙන්නා. මගේ කිව්වට මගේ නෙවෙයි, අයිතිය මගේ හිමිකාරකමත් කියන ස්වභාවධර්මයටමයි. වෙන කිසිම කෙනෙක්ට ලං නොවෙන මේ දෙන්නා මටත්,මගේ අම්මටත් විතරක්, බය සැක නැතිව ලං වනවා.  කෑම කන වෙලාවට නොවරදවාම ලඟට එන්නේ කන්න දෙයක් වරදින්නේ නැති බව දන්නා නිසායි.


වෙලාවකට මගේ කාමරේ, අදත් එක සිනි බනිසේ බෙදාගෙන අපි තුන් දෙනා කෑවේ. කාලා ඉවර වෙලා එලියට ගියා, එක තුන් ඉරි අප්පු කෙනෙක්, නෑ වැරදුනා. තුන් ඉරි මැණිකේ කෙනෙක්. ඔන්න අම්ම කෙනෙක් වෙන්නයි ලෑස්තිය. 


මගේම කාමරේට රිංගලා මගේ කෑම එකත් කිසි අනුකම්පාව්වක් නැතිව ගිල දාන මෙයා, පුංචි කූඩුව හදන්නත් කපලා තිබ්බේ අප්පච්චි නිදියපු මෙට්ටේ. අරං එද්දිම මං දන්නවා හොරා කවුද,හොරකම කොහෙන්ද කියලා. මං ළඟ උන්නට ගානක් නෑ, මෙයා මං අත පොවන මානේම පුංචි කුඩුවක් හදන්න පටන් අරං. හෙමින් සීරුවේ හොරකම කරගෙන ඇවිල්ලා,මං බලන් ඉඩදීම පුංචි කූඩුව ඇතුලට රිංගුවා. කූඩුව ඇතුලේ පුළුන් නලියනවා විටින් විටේ, හොරකම මට මාට්ටු නෑ කියලා උඩ පනිනවද මංදා. සෑහෙන වෙලාවක් මං බලන් උන්නා. 

ලේනෙක් වෙලා උපන්නත්, උඹත් මව් රැජිනක් තමයි. මෙට්ටේ කපනවා දැක්කේ මං හින්දම හොඳයි.මට හිතුනා.





කතාව අංක දෙක..




අහම්බෙන් හම්බුන වීඩියෝවක්.. ඔබ දුකෙන් සිටින්නේ නම්,මෙය ඔබේ මුවට සිනහවක් ගෙනේවි. හෙඩිමේ තිබ්බේ එහෙමයි.සැවානා තණ බිමක්. සුපුරුදු විදියටම කැලෑ හරක්, සීබ්‍රාවන්, සිංහයන්,චීටාවන් හා හයිනාවන්.අපේ කතා නායකයා මොහොතක වයස ඇති කැලෑ හරක් පැටියෙක්.


අපේ කතා නායකයා මවු කුසින් අපේ සැවානා කරලියට එනවා. විනාඩි කිහිපයක අවෑමෙන්, ඔහු ඇවිදින්නට ඉගෙන ගන්නවා. ගොදුරු සොයා ඇදෙන විලොපිකයන්ගේ අරමුණ,පහසු ඉලක්කයක්.අලුත උපන් අපේ කතා නායකයා,හයිනා රැලකගේ ඉලක්කය බවට පත් වෙන්නේ අන්න ඒ නිසයි.


හයිනාවන් ප්‍රහාරය අරඹනවා, ගව රෑන පැවැත්ම වෙනුවෙන් දිවයද්දී අවසානයේ මව් ගව දෙනත් ඊට එක් වෙනවා. පහසු ඉලක්කය වශයෙන් අපේ කතා නායකයා ඉතිරි වද්දී කොහේදෝ සිටි සිංහ ධේනුවක් කරලියට පැමිණෙනවා.ඇය හයිනා ග්‍රහණයෙන් ගව පැටියාව මුදා ගනු ලබනවා.


ඇය පැටවාව සපා බලනවා. තවමත් කලලාවාරික තරලයෙන් මේ පැටියා තෙත බරිතයි. සිංහ දෙන ගව පැටියාව ලෙව කනවා. තමා සමග සිටින්නා ගැන කිසිම හැඟීමක් නැති ගව පැටියා,නොපෙනෙන මානයේ සිටින තම වර්ගයා අමතක කොට සිංහ දෙනගේ ඇඟේ දැවටෙමින් ඇය හා යනවා.


ඔහුට බඩගිනි, කිරි බිඳක් නැතිව පැය ගණනකට පසු දළු කොළ උලා කන්නට ගව පැටියා උත්සහ දරනවා. සිංහ දෙන අසලම මේ දෙස නෙත් යොමනවා.


නැවතත්, ගව රැල තණබිම් වෙත පැමිණෙනවා. පුදුමයකට මෙන්, සිංහ ධේනුව පටවා ගව රැල වෙත යොමු කරනවා. පැය විසි හතරක් තිස්සේ තමා අතුරේ සිටි ගව පැටවාට මෙන්ම,ගව රැලටත් ඇයගෙන් තර්ජනයක් හෝ සිදු වන්නේ නෑ.


සිදු වූ සන්තැසිය ගැන කිසිදු අදහසක් නැති ගව පටවා දන්නේ බඩගින්න පමණයි. තමන්ගේ මව කොහීද,ඔහු විපරීත වන්නට ඇතී.පැටවෙකුට කිරි දෙන මවකගේ කිරි දිය වෙනුවෙන් ඔහු යොමු වෙනවා. නොපහන් පිළිගැනීමක් ලබන ගව පැටියාව අංවලින් ඇනීමෙන් පලවා හැරෙනවා.


දෛවය, කෙසේ හෝ ගව පැටියාව මව වෙතම යොමු කරනවා. මව්-පුතු හමුවෙන් දෙදෙනාගේම පිපාසාවන් සන්සිදෙනවා.

සිංහයා කැලයේ රජා වුනත් කැලයේ සතුන්ව රකිනවාද? මං ඉස්සර එහෙම හිතුවේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා.


කතා දෙක මෙතනින් ඉවරයි,කතා දෙකක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ එකම කතාවයි. 

සබදතා කිසිවක් අසම්මත නෑ. සම්මතයට පිටින් තිබුනාට අසම්මත වෙන්නෙත් නෑ. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ජිවත් වන සමාජය කුමක් වුනත්,ඔබේ සිතුවිලි ඔබගේ ජීවිතය ලස්සන කරාවි.



අදට එපමණයි.

-අල්තයීර්




Thursday, June 26, 2014

ලංකා ඊ නිව්ස්! ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින්??

සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය.ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත්,නාන මංකඩටත් වඩා හරි අපුරුවටත් පහසුවටත් වසුරු පීප්ප ගණන් පතුරුවා හරින්න බුකියත් එහි සරි සරණ බුකියෝත් හරි හපනුන් ය. බුකියන්ගේ ටේස්ට් එකට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්නට බුකි පේජ් සහ ඇඩ්මින් බුකියෝත් බුකියේ හැරෙන හැරෙන අත වැහි වැහැලා ය.


බුකි පිටුවල රසික බුකිවරුන්ගේ හා ගොසිප් සයිට්වල රසික බුවාලාගේ හරි අපුරු සමානතා ඇත. ඔවුන්ට අනුව මේ රටේ වැදගත් දේශපාලනයක නිරත වූ කිසිදු මිනිසෙකු නැත. අපේ රටට ගොඩ ඒමක්ද නැත. පාර්ලිමේන්තුවකින්  වැඩක්ද නැත. ගමේ පොල් අතු මඩුවේ ඉගෙන ගන්නා කෙල්ලෝ හැදියාවෙන් ඉස්තරම්ය. කොළඹ පාසලක ඉගෙන ගන්නේ සල්ලි වැඩිකමකටය.ඒ නිසා උන් වල්කමට ඇනුවල් වෝක් යනවාය. ඉස්කෝලේ යන්නේ කොලබ නම් ඕන කෙල්ලෙක් බඩු ය. කොළඹ බාලිකා පාසල් යනු බඩු පොට් ය. ඒවා වසා දැමිය යුතුය. මෙකි බුවාලා තරම් දැනමුතු බුවාලා ලොවෙත් නැති යයි දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා ය. ඔවුන් තරම් දැනුමින් පිරිපුන් නිර්දෝෂී බුවාලා මේ රටට වාසනාවන් ය. 


මේවා එක අතකින් ට්‍රෙන්ඩ් ය. හෙවත් පෙරකී ඉල්ලුමට අනුව සැපයුම දෙන එල කිරි ටොපික් එකක් හසු වූ කල මවන නිර්මාණ ය.කොයි හැටි වේවා බුකියේත් සයිබරයේ තබා කුමන මාධ්‍යකින් හෝ තමන් අසා දැනගන්නා තොරතුරු පැතිරවීමට පෙර නුවනින් විමසා බැලිය යුතු ය. මේ ලංකා ඊ නිව්ස් හී පලවුන එවැනි සටහනක් පිලිබඳ කෙටි විමසුමකි.


ආනන්දය ගැන මේ මාතෘකාවට එළබෙන විට නොකියා මග හරිය නොහැකි කතාවක් ඇත. ඒනම් ආනන්දය කෙසේ බිහිවී කුමන ගමනක් ආවේද යන්න යි. ලංකා ඊ නිව්ස්වලට අනුව එය බිහිකළේ බෞද්ධ සුද්දෙකි. ඒ අදහස ඉඳුරාම පිළිගන්නා අතර මේ ටිකද එක් කරමි. හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇමරිකන් කාරයෙකි, කොකා කොලා ගුගල් ගහන රටේ තවත් එක් වර්ජනය කල යුතු ට්‍රේඩ් මාක් එකකි. නමුත් එකී ට්‍රේඩ් මාක් එක යටතේ බිහිවුන ආනන්දය නම් පාසල කොකා කොලා කෑන් එකට යට වුන කොළඹ පොෂ් සමාජය වෙනුවෙන් නොව ඉංගිරිසිය නිසා බාදාවට පත් වූ තම ජාතිය ආගම පාවා නොදුන් ස්වදේශිකයන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බිහි වුවකි. එය එදාටත් අදටත් එසේමය. චේතනාව පාරිශුද්ධ වේ නම් ඕල්කට්තුමාගේ ඇමරිකන්කමෙන් අහක ඉන්න ගොබිලන්ට පලක් තිබිය යුතු නැත.


ආනන්දය බිහි වන්නේ බෞද්ධ ඉංගිරිසි පාඨශාලාව නමිනි. ඒනම් ආගමත් ජාතියත් පාවා නොදුන් ස්වදේශියන්ට ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ආයතනය යි. එය බිහි වෙන්නේ අද කාලේ කට වහරට අනුව NGO ඩොලර් හෝ පිට රට කළු සල්ලි වලින් නොවේ. පිටකොටුවේ කොළඹ නගරයේ පාරක් පාරක් පාසා ඇවිද එකතු කර ගන්නා කැට සල්ලි වලිනි. ආනන්දය බිහි වන්නේ රාත්‍රියේ ආලෝකය වෙනුවෙන් ලාම්පු තෙල් මිලදී ගැනීමට කඩපිලට ආ ආච්චි කැටයට දැමු, ඒ සන්තකේටම තිබු සත කාලේ ඒවාගෙනි. නැව් වලින් මෙරටට ගොඩ බට මිෂනාරි අධ්‍යාපනඥයන්ගේ පහස ලත් රැජිනගේ පවුම් වලින් ගොඩ නැගු පාසල් අතරේ පිටකොටුව මැලිබන් විදියේ ගොඩේ සිංහල කොලු ගැටයන්ට අකුරු කියා දෙන්නට පොල් අතු මඩුවක් බිහි වෙන්නේ එලෙසිනි. යාබද පල්ලියේ කෙනෙහිලිකම් මැද මරදානට ස්ථාන මාරු ලබන ආනන්ද කොලීජිය තම පනස්වන සංවත්සරය දිනයේදීත් මරදානේ ඉඩම් ණය තුරුස් ගෙව්වාය. 


අතීත කතා තුලින් මෑත කාලයට එද්දී සිහි වන්නේ මෙවන් කතා පුවතකි.විසි එක්වන සියවසේ අකුරු කරන්නට පැමිණි අපත් භාවිතා කරන විද්‍යා මන්දිර ගොඩනැගිල්ල, 1930-40 දශකයෙදී බිහිවන්නේ දුටුගැමුණු අරමුදලෙනි. ඒ වෙනත් පාසලක අධ්‍යාපනයට සුදුසුකම් නැති සිංහල බෞද්ධ කොල්ලන් පාරක් පාරක් ගානේ ඇවිද එකතු කරගත් රුපියල් හතලිස් පන්දහසකිනි. අදටත් ආනන්දයේ ජිව විද්‍යා විද්‍යාගාර දෙකක්,රසායන විද්‍යා විද්‍යාගාර දෙකක්,භෞතික විද්‍යා විද්‍යාගාර දෙකක්,කෘෂි විද්‍යාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් පවතින්නේ එදා කොලු ගැටයන්ගේ හිඟා කෑමට පින් සිදු වන්නටය.


ඒ ආනන්දයේ එදා තත්වයයි. අද?


අද ආනන්දය යනු දිවයිනේ ප්‍රධානතම පාසලකි. නමින් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ යි. කෝපාවිෂ්ට ගුරුවරියකගේ අදහසකට අනුව මුදුන් මල්කඩ නොව මුදුනේ මළකඩ යි. එයට යම් සත්‍යතාවක්ද ඇත. පාසල බිහි කළාවූ අරමුණු කෙසේ වෙතත් අද නම් බෞද්ධ අධ්‍යාපනයක් වෙනුවෙන් කාල සටහනේ විශේෂ තැනක් බුදු දහම වෙනුවෙන් ආනන්දයේ නැත. වෙනත් ඕනෑම පාසලක මෙන් ආනන්දයේද ඇත්තේ බුද්ධ ධර්මය විෂයය සදහා කාලචේද දෙකකි.ඉගැනිවීමේ නිරත වන්නේද වෙනත් ඕනෑම ජාතික පාසලකින් මාරුවක් හරි ගිය ගුරුතුමෙක් හෝ ගුරුතුමියකි. ඒ අතරින් තමා මේ පා තබා තිබෙන්නේ, කෙසේ කුමට බිහි වූ තැනකටදැයි දන්නා ගුරුතුමන්ලා මෙන්ම ශිෂ්‍යයෝද අද කාලේ විරලය. කාලය විසින් මැවූ අරුමයකට වඩා එය නම් දැන දැන මවනා ලද වෙනසකි. නුදුරු අනාගතයේ මීටත් වඩා තතු වෙනස් විය හැකිය.



එවැනි වාතාවරණයක් හමුවේ සමාජයේ යම් ස්ථරයකට පැමිණි ආදී ශිෂ්‍යයෝ නොසිටියා නම් ආනන්දය වසා දමන්නට සිදු වී බොහෝ කළකි. විදුහලේ විදුලි හා ජල බිල් වියදම මාසිකව ලක්ෂ ගණනකි. ඒවාට රජයෙන් සොච්චමකවත් ආධාරයක් ලැබෙන්නේ නැත.විද්යාලය විසින් සේවයට ගත යුතුව ඇති අනධ්‍යන කාර්ය මණ්ඩලයද සුළු පටු නැත. ඔවුන්ට සරිලන වැටුපක් සැපයිය යුතුය. ඇතැම් විට අවශ්‍ය සේවකයන් ලබා ගන්නේ ළමුන්ගේ දායකත්වයෙනි,ඇතැම්විට ආදී ශිෂ්‍යයෙකු හෝ දෙමාපියෙකු සහයෝගය ලබා දෙයි.දිවා ආහාරයක් සපයන්නේ ඇතැම් විට ගුරු මවකි,උදෑසන තමන්ටත් පවුලේ උදවියටත් බත් මුල් ඔතද්දී සිහිවෙන හිතෛෂී මුහුණ වෙනුවෙන් තවත් බත් මුලක් එතෙන්නේ මිනිස් කමේ නාමයෙනි. ආනන්දය නමැති සමාජ ඒකකයෙන් ලබා ගන්නා අමිල සත්කාර වෙනුවෙන් කුමක් හෝ දෙයක් ආපිට ලබා දෙන්නට උත්සුක වන පිරිසක් මෙහි වෙති.



ගැටලුව පැන නගින්නේ මෙහිදීය. සාමාන්‍ය පෙළ දක්වා සිසුවෙකුගෙන් වසරකට පහසුකම් හා සේවා ගාස්තු සමගින් පන්තිය පිළිසකර කර ගැනීම සඳහා රුපියල් තුන් දහසේ සිට පන් දහස දක්වා වාර්ෂිකව මුදලක් අයවේ.එයින් සැම සතයක් සඳහාම රිසිට්පත් නිකුත් වන අතර පන්තිය පිලිසකර කර ගැනෙන්නේ දෙමාපියන්ගේ මුල්‍ය කළමනාකාරිත්වයෙන් දෙමාපියන්ගෙන් තෝරාගත් කෙනෙකු සතුව ඇති කළමනාකරණ හැකියාවකින් හා පුර්ණ විනිවිද භාවයෙනි. උසස්පෙළ වසර දෙක සඳහා වසරකට රුපියල් 6000ක් වැනි මුදලක් පාසල වෙත ලබා ගනී. වැදගත්ම කරුණ වන්නේ යම් ශිෂ්‍යයෙකුට මෙම මුදල දැරිය නොහැකි නම් ඒ සඳහා කිසිදු බලකිරීමක් නොමැති වීමයි. එසේ වුවත්,මෙම ආනන්දය නමැති සම්ප්‍රධාය හා සමාජ ඒකකයේ රටාව තුල මොනයම් හෝ අයුරින් පාසල වෙත ඇති ණය ගෙවාලිමට මෙහි බහුතරය උත්සුක වෙති.ආනන්දයට පය තබා හෝ දිනක් මෙහි ජිවත් වී නොමැති, වත්මන් සමාජ ආර්ථික ධාවන තරඟයේ යෙදෙන  අයෙකුට මෙම සංසිද්ධිය වටහා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇත. ග්‍රාම සේවා සහතික අවශ්‍ය නැත, තමාව පෝෂණය කරනා ආනන්දය පවත්වා ගැනීමට සහයෝගය දැක්වීමට තරම් තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව පෙන්වීමට අවශ්‍ය එකම සහතිකය හදවතේ සාක්ෂිය පමණි.



ලංකා ඊ නිව්ස් හි දැක්වෙන මෙම සිද්දියේ අගමුල විමසීමට නම් මෙම තොරතුරු කෙනෙක් විමසා බලා සිටිය යුතුය. ආනන්දය වෙනුවෙන් එක වසරෙන් ළමුන් ඇතුලත් කර ගත් පසු ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රධානම අවස්තා දෙක පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මත ඇතුලත් කර ගැනීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් උසස්පෙළ සඳහා ඇතුලත් කර ගැනීමයි. මේ අතරින් පතර පැරෂුට් එකෙන් බසින්නන්ද නැතුවාම නොවේ. එයද සිමා සහිත වන අතර මා ආනන්දයේ උගත් සමයේදී අප වසරට සිසුන් ඇතුලත් කරගත්තේ ඇති තරම් ඉඩ කඩ තිබු ඉංග්‍රිසි මාධ්‍ය පන්ති දෙකෙන් එක පන්තියකට පමණි. පහ වසර සමතුන් ලෙස ආනන්දයට ඇතුලත් වූ මට මෙන්ම මගේ සහෘද ශිෂ්‍යයන්ටද ඩොනේෂන් පිලිබඳ ඉල්ලීමක් ලැබුනේ නැත.නමුත් මා උසස් පෙලට පැමිණෙන විට තත්වය වෙනස් වී තිබිණ. සියල්ලටම පාහේ පාසලට කල හැකි ආධාරයක් පිලිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුන අතර බහුතරය ඇති හැකි අයුරින් කුමක් හෝ දායකත්වයක් සපයා දී තිබුණි. නමට රජයේ පාසලක් වුවත් රජයෙන් කිසිදු නඩත්තුවක් සිදු නොකෙරේ නම් එය තම තමන් සපයා ගන්නා තත්වයට කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ පාසල් පත් වුයේ අද ඊයේ නොවේ. ඩොනේෂන් සංස්කෘතිය හා එහි ගෝත්‍රික වියුත්පන්නය වන පාගා සංස්කෘතිය බිහි වුයේ ඊට පින් සිදු වන්නටය.

මෙවන් සමයකදී ලංකා ඊ නිව්ස් මගින් වාර්තා කරන්නේ හරි අපුර්ව පුවතකි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි යම්කිසි දෙමාපියෙකුට තම දරුවා ඉදිරියේ එක්තරා ගුරු මාතාවක් විසින් "ඔයාගේ දෙමව්පියෝ ඔයාට සලකන්නේ මෙහෙම නම් ආනන්දයට ඒම ගැන හිතන්නවත් එපා" යනුවෙන් ප්‍රකාශ කර ඇත. 


ලංකා ඊ නිව්ස් වාර්තා කරන සිදු වීම ගැන කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. බණ්ඩාරනායක නම් ගුරු මාතාව ආනන්දයේ ජෙෂ්ටතම ගුරු මාතාවකි. ආනන්දය හෙවත් තමා පය ගසා සිටින භූමිය කුමක්දැයි දන්නා, විනය ඉහලින් අගය කරනා ගුරු මවකි. එතුමියගේ පාලනයට ඉහලින් ගණිත අංශය උඩින් මැස්සෙකුටවත් පියඹා යා නොහැකි බව එකල අප සිතුවේ බිය මුසු බවකින් මෙන්ම අද වන විට ඉතාමත් ගෞරවයකිනි. මෙම පුවත බොහෝ විට එතුමිය පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් හෝ එතුමිය මෙන්ම සමස්ත ආනන්ද ප්‍රජාව පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් විය යුතුය. එතුමිය හඳුනන,එතුමිය හා එක්ව කටයුතු කර ඇති ඕනෑම කෙනෙකුට එතුමිය හා මෙකි වචනවල ඇති පරස්පර විරෝධය හසු වේ. 



ආනන්දය බිහි වූ අරමුණ ධනපති පන්තියට අධ්‍යාපනය දීම නොවේ. ධනපතීන්ට එරෙහිව සටන් කිරීමටද නොවේ. සිංහල බෞද්ධ දරුවාට අකැප වූ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමත්, ඔහු ගුණ දහමින් පෝෂණය කර, ඇති හැකි අයෙක් ලෙස සමාජයට දායාද කිරීමත් ආනන්දයේ අරමුනයි. එය එසේ නොවන්නට අද මටත්,තවත් බොහෝ දෙනාටත් ආනන්දය අහිමි වන්නට ඉඩ තිබිණ. ලංකාවේ දහස් ගණනක් පාසල් අතර ආනන්දය යනු තවත් එක් පාසලක් පමණක් බවට පත් වීමට ඉඩ තිබු බව මුළු සමාජයම විසින් ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු කරුණකි. කොළඹ තදාසන්න නාගරික සංස්කෘතියක් මැද ආනන්දයේ දොරටුව පසු කල විට අභය භූමියකට,පන්සලකට ඇතුළු වූ හැඟීම ලබා දෙන්නා වූ ආනන්ද පරිසරය තුල අකුරු කිරීමට අවශ්‍ය එකම සාධකය වාසනාව මිස මිල මුදල් හෝ ඩොනේෂන් නොවේ. එසේම අපව තැනුවා වූ අපව වැදුවා වූ ආනන්දය පෝෂණය කිරීම රක බලා ගැනීම අප ජිවිතයට බරක්ද නොවේ.  කුමන බාහිර බලපෑම් හමුවේ වුවද,ආනන්දය තවත් චිරාත් කාලයක් ආනන්ද ප්‍රජාව තුලින්ම රැකි සමාජයේ දිදුලනවා ඇතී.








Sunday, March 16, 2014

...නිහඬ කල්පනා...



හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි?

අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ

දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේ
වෙන්වමු ඉතිං හමුවන සිතින්
අපි ආයේ දවසක.... අද වගේ..


   අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා.

   එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..




අදින් පසු ඔබ
ඔබට හිමි මග
ඉතින් මට
උරුම තනි මග
ආයෙමත් හමු වන තුරා
දෙතැන ඉමු අපි මග බලා...


තුටින් හමු වුන
සුහදබව අපි
අරං යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ..


  මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..
මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..
ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද?

   මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා..

   හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.
අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.

හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එලියෙන් නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..


සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙන් නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එළියෙන් ලොව බබලන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

Friday, February 14, 2014

මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ



මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙන හමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ  රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න.

   වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද? මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද? මේවාගේ සැබෑ අරමුණ කුමක්ද? මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය.



    හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.

Related Posts Plugin for WordPress, Blogger...