Saturday, April 27, 2013

වරද කොතැන ද????





 











 පාසල් කාලයේ මගේ මිතුරෙකු විය. හේ නමින් මොහොමඩ් සදුර්දින් අමානාත් උසාමා ය. ඔව්! ඔබෙ සිතිවිල්ල නිවැරදි ය.ඔහු උපතින් ඉස්ලාම් භක්තිකයෙකි. ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ මා උගත් සමයේ අංශයේ සිටි මුස්ලිම් ළමුන් තිදෙනාගෙන් එක අයෙකු වූ ඔහු සිටියේ මගේ පන්තියේ ය.හේ මිත්‍රශිලිය,එසේම කෙළියට නැඹුරුය. සිංහල විද්‍යාලයත්, බුද්ධධර්මයත් ඔහුට හරාම් නොවිය. ඉස්ලාම් දහම උගෙනීමට පහසුකම් රහිත වූ ම'පාසලේ බුද්ධධර්මය විෂය අවස්ථාවන්හිදී අප හා එකට එකතුව පාඩම අසා සිටීම ද ඔහුට හරාම් නොවිය.හේ අපූරු චරිතයකි. හේ තම මව අමතන නාමය "උම්මා" බව මා සමග පැවසීමට ලැජ්ජා වූ අයුරු තවමත් මගේ මතකයේ ඇත. 2001 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල් ක්වයිදා ප්‍රහාරයට පසුව සිංහල මිතුරන්  ඔහුව ඇමතු සුරතල් නාමය වූ ඔසාමා බින්-ලාඩන් යන නම කෙතරම් දරුණු වුවද එයද ඔහුට හරාම් වුයේ නැත.ඔහු කැමති වේවා අකමැති වේවා හෙතෙම එය උපේක්ෂාවෙන් ඉවසා සිටියේ ය. කොටින්ම අප විවේකයේදී අනුභව කරන ඕනෑම කඩචෝරුවක් ඔහුට හරාම් වුයේ නැත.අප ගෙදරින් රැගෙන එන කෑම පාර්සලයක් ඔහුට හරාම් වූ කිසිදු දිනයක් පිළිඹඳ මගේ මතකයේ තිබීමට හේතුවක් ද නැත.හේතුව එවන සිදුවීමක් කිසි දිනක සිදුවීම උගහට බැවිනි.අප එකල කල අපූරු කෙලියක් වූයේ ගිනිසීරියා දඬු ගෝනි නූල් වලින් බෙල්ලේ එල්ලා සකසා ගන්නා තුවක්කුවලින් කල යුධ කෙළියයි. අපගේ යුධ පිටිය වූයේ පාසලේ අන්තිම කෙලවරේ වූ ගුරු නිවාසය පසුපස මිදුලයි. අතහැර දැමු වැසිකිලි පද්ධති කිහිපයක් අපගේ "බංකර" ලෙස භාවිතා වූ අතර විරුද්ධ පිලේ "බංකර" වෙත කඩා පැන ද්වන්ධ සටනකට එළඹී මොහොතකදී අප දෙදෙනා අතර තුවාල සිදුකරගන්නාතෙක් සටන් කල මතකයක් තවමත් මගේ මනසට සිනහ රැල්ලක් ගෙන එයි. එලෙස බොදු,කිතුනු මිතුරන් හා කෙලි සෙල්ලම ඔහුටද අප හා සමානව විනෝදය ගෙන දුන්නා මිස එය ඔහුට හරාම් නොවීය.

     ඔහුගේ මව ද සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවකි. පාසලේ අතිරේක පාඩම්වලට හවස්කාලයේ රඳවා ගන්නා දිනයන්හි ඇය නොවරදවාම කෑම පාර්සලය සමග දෙහි යුෂ බෝතලක් එවන්නේ කිසි දිනක ඔහු එය පානය නොකළ බව දැන දැන මෙන්ම ඇතැම් දිනක මුළු බෝතලයම එක උගුරට ඉවර කරන්නේ මා බවද දැනගෙන විය හැකිය. ජාති වාදීන් ලෙස හංවඩු ගසා ඇති (මා ද ඇතුලත්ව) අයවලුන් ඔබගේ මනසට ඇතුලත් කර ඇති දත්තයන් විශ්ලේෂණය කරන ඔබට "උපත් පාලනය" නම් වැකියක් මා එය කියන විට මතක් විය හැකි වුවත්, මා ඔහුව අවසන් වරට දුටු මා පාසලෙන් සමුගත් දිනයෙන් වසර 7කට පසුව හදිසියේ කොළඹ නගරයේදී මා දැක හඳුනාගෙන  වැළඳගත් ඒ සහෝදරයා ගැන එවන් අදහසක් මා තුල ඇති වීම කෙසේ සිදුවිය හැක්කක් ද?

    අද හලාල් ගැන කුඩා දරුවෝ පවා දනිත්.එය කෙතෙක්ද යත්, වසර 5ක කුඩා දරුවෙකු පවා ආහාර දවටනයක හලාල් ලාංඡනය හඳුනා ය ප්‍රතික්ෂේප කරන මට්ටමක් දක්වා එය පැමිණ ඇත.එය අතිශයෝක්තියක් නොව මා දන්නා සත්‍ය සිදුවීමකි. දැනගෙන යන්නන් මෙන්ම නොදැන යන්නන් යන දෙපිරිසගේම අරමුණ කතරගම යාම වුවද, මග නොදැන කතරගම යන්නාගේ ඉරණම හා මග දැන කතරගම යන්නාගෙ  ඉරණම කිසිදිනක සමාන වේ ද? කතරගම යාමට සිතීම නිවරද තීරනයක් විය හැකිය. නමුත් මග නොදන්නේ නම් මග උගත යුතුමය.නැතහොත් පෙනීයන්නේ පෙනය පාන නයා පසුපස සිට වෙලුනු කොස් කොලයක් ඔසවන ගැරඬියකුගේ සිනහ උපදවන දර්ශනයකි.මෙහිදී කිව යුතුම කාරණයක් වන්නේ මා සර්ව ආගම වැළඳගත් හෙන්චයියකු නොවන බවය. එවන් අමුතු ආගමක් වැළඳ ගැනීමට හේතු භූත වන සාධක කිසිවක් මා හැදුනු වැදුණු පරිසරයේ හෝ මා උගත් පාසල්වල හෝ,අවම වශයෙන් මගේ උප්පැන්න සහතිකය තුල හෝ නැත. මගේ මව හෙළකම ,බොදුකම හඳුනන පවුලක තැනැත්තියකි. මගේ පියාගේ පියා සුද්දන්ගෙන් ගත තානාන්තරවල නිස්සාර බව අත්දැකීමෙන් හඳුනා ගත තැනැත්තෙකි.මගේ මවත් පියාත් මමත් තිදෙනාගේම කටට ඉංගිරිසිය හොඳින් හුරුය. නමුත් මා පාසලේ සයවන වසර උගත් සමයෙන් පසුව කසිදු දිනක නිවැසියන් අතරේ පරගැති බස වනා නැත. ඉන් පෙර එවැන්නක් සිදු කලේ මගේ උගැන්ම තකාය. මම වසර ගණනක් දහම් පාසල් ගියෙමි. එසේම එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කලෙමි. ඉදින් මම ද හෙලකම මෙන්ම බොදුකම හඳුනමි. අවසාන මොහොත තෙක් හෙළ බිම සිංහ කොඩිය ළෙලදෙවන්නට කටයුතු කල කන්ද උඩරැටියන්ගේ ලෙය දුවවන මගේ හදවතට රට ජාතිය ආගමට එරෙහිව සිදුවන දෑ නිකරුනේ බලා සිටීමට ඉඩක් සපයා නැත.එය මගේ පෞද්ගලිකත්වය යි. නමුත් මෙපරිද්දෙන් එය නිරාවරණ කිරීමට හේතුව මා ලබා සිටින ජාතිවාදී බෝඩ් ලෑල්ල මත්තෙන් සර්ව ආගමික කපුටු වසුරෙන් අපවිත්‍ර වූ පිරුවටය කිසිවෙකු එලලීම වැලක්වීමට ය. සිංහලයාට අනන්‍ය වූ ශිෂ්ට සම්පන්න බවක් ඇත. ශිෂ්ට සම්පන්න භාෂාවක් ඇත. සියවසින් විසි එකක් වූ අද දවස ශිෂ්ට යැයි කියාගන්නා අයවලුන්ට ද පුදුම එලවනසුලු ශිෂ්ට සම්පන්න බවක් එදා හෙළයා සතු වූ බව එදා හෙළදිව දුටු රොබර්ට් නොක්ස් සනාථ කරයි.අපේ කම,අපේ උරුමය රැකගැනීමට කරන අරගලයේදී ශිෂ්ට සම්පන්න බව අගය කල ,එහි අගය මතක් කල අයවලුන්ට සර්ව ආගමික නම්බු නාමය නිකුත් කරන මෙවන් සමයකදී එවන් නිරාවරණයක් නොකරම බැරි ය.

   ඔබගේ අසල්වැසියා මුසල්මානුවකු විය හැකිය.ඔබගේ හොඳම මිතුරා මුසල්මානුවකු විය හැකිය. ඔබ ප්‍රියතම නළුවා මුසල්මානුවකු වන ඛාන් කෙනෙකු වීමට හැකිය. එය ඔබගේ අයිතිය යි. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැක. ඇතැමුන් අන්තවාදය ලෙස හඳුන්නවන සටන ක්‍රියාත්මක වුයේ,වන්නේ ඔවුන්ට එරෙහිව නොවන බව දැන සිටීම කතරගම යන කොයි කාගේත් මග දැනුමට යහපත් ය. මෙකි ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ එහා ගෙදර වෙසෙන මොහොමඩ්ට විරුද්ධව හෝ,හන්දියේ කුඩා තේ කඩයකින් තම ජීවිකාව ගෙනයන නජීම්ට විරුද්ධව හෝ,තම දරුපැටවුන් බලා කියාගෙන නිවසට වී සිටින ෆාතිමාට විරුද්ධව නොවේ.මේ දිවයිනට ආවේනික වූ සංස්කෘතියක් ඇත. ඒ මත ගොඩනැගුනා වූ මහා ශිෂ්ටාචරයක්ද මේ දේශයට හිමිය. එහි සැබෑ අයිතිකරුවෝ තවමත් මේ දිවයිනේ ජිවත් වන්නෝ ය. උස් මිටිකම් නොසලකා හැරි විට ලෝකයේ කුමන රටේ වුවද මීට සමාන තත්වයක් ඇත.එවන් සංස්කෘතියක් හිමි කුමන ජාතියක් වුවද තවත් දේශයකට ඊර්ෂ්‍යා කිරීම හෝ කෙල හැලීම තමන්ටම කරගන්නා නිගාවක් සේ දැකිය යුතුය. ඉදින් මෙකි සටන,එවන් අන්තවාදී ජිහාඩ් සංවිධානවලට එරෙහිව මිස හුදීජනයාට එරෙහිව නොවේ.එසේම එය ජාතිවාදය නොවන අතර,එය ජාතිවාදයට විරුද්ධවීම සේ දැකිය යුතුය.ඉදින් එකී ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ පෙරකී උරුමයන් රැකගනිමින් තම සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට වල කපන පිරිස්වලට විරුද්ධවය.ලාට රටින් පිටුවහල් කල විජයට පවා තම නැව මෙහෙයවිය යුතු අත ගැන දැක්මක් තිබිණි. එසේ නොවුයේ නම් ඔහුට සිදුවන්නේ තම පිරිවර සමග තම්බපන්නියට ගොඩ බැසීමට නොව මුහුදට බිලිවිමටය. අරමුණ නොදැන අරඹන,අන්ධ මානසිකත්වයක් සමගින් යාත්‍රා කරන කොයි කාටත් සිදුවන්නේ වලපල්ලට යාම විනා අන් දෙයකට නොවේ.

    දිනක් මා දුම්රියේ ගමන් ගන්නා විට මුසල්මානු කාන්තාවන් දෙදෙනෙකුගේ ගාලගෝට්ටියක් කණ වැකිනි. මීළඟ දුම්රිය ස්ථානය මරදාන ද නැද්ද යන්න පිළිබඳව වූ එම විවාදය මිනිත්තු කිහිපයක් පුරාවටම මහා කන්දොස්කිරියාවක්ව විය. තරමක සෙනගක්ද දුම්රිය මැදිරිය තුල වූ බැවින් ඔවුන්ගේ අභිනවයන්ද අසල සිටියවුන්ට හිංසාවක් බව මම දුටුවෙමි. කෙසේ හෝ ළඟ සිටි අයවලෙක් මීළඟ දුම්රිය ස්ථානය කුමක්දැයි සනාථකොට ඔවුන් නිහඬ කරවීය.අවසානයේ ඔවුන් ගමනාන්තයට ලඟා වූ විටද හැසිරුනේ ඉතාමත් අශෝබන අයුරිනි. අන් මගීන් ඉතාමත් නොඉවසිලිවන්ත ලෙස පෙරලා දමමින් ඔවුන් දොරටුව වෙත ලංවීමට උත්සහ දරනු දුටු මට "මුං හැසිරෙන්නවත් දන්නේ නැ,ඒ වුනාට කල්පනාව රටත් අල්ලන්ට"යයි කියවිණි.ඔවුන්ට එය  ඇසුණු නොඇසුණු බව පිලිබඳ මම නොදනිමි. නමුත් මා එය නොඇසුනේ නම් මැනවයි දැන් මට සිතේ. හේතුව එවන් චෝදනාවක් කිරීමට මට කිසිදු අයිතියක් නොමැති බැවිනි.ඔවුන්ගේ හැසිරීම අනෙක් මගීන්ට බාධාවක් වූ බව සත්‍යකි,නමුත් ජාති වාදයෙන් ඔද වැඩි ගිය එවැනි චෝදනාවක් කිරීමට නොහැක. එසේ කිරීමට නම් ඔවුන් රට ඇල්ලීමට කුමන්ත්‍රණ කල බවට මා සතුව පැහැදිලි සාක්ෂි තිබිය යුතු ය.
 
   දිනක් ගුරුවරයෙකු නොමැති අවස්ථාවකදී මම මගේ සගයන් ඇමතුවෙමි. විනාඩි 20ක පමණ විවාදයකින් අනතුරුව මම ඔවුන්ට පෙන්වා දුන්නේ හලාල් ලේබලය සමග සිංහල ජාතියට සිදුවීමට යන විපත ය. ඒ ගණන් මිනුම් සහිතවය. අවමය 1,75,000වූ ගාස්තුවකට යටත්ව සීමාසහිත වසරක කාලයකට හලාල් සහතිකය ලබාගන්නා 4200ක් පමණ වූ නිෂ්පාදන මිලදී ගැනීමෙන් එකී කොටි ගණනක මුදල්වලට අවසානයේ සිදු වන දෙය පිලිබඳ හේතු සහිතව ඉදිරිපත් කල විට ඔහුන්ගේ හදවත් කිරි ගැසී ගියා නොඅනුමානය. ඇතැමෙක් එදින පටන් හලාල් වර්ජනයට සිතට ගත්හ. එදිනම සවස හොඳම මිතුරියකගෙන් ලත් බීස්කට් පැකට්ටුවක් එපිට මෙපිට හරවා හලාල් දැයි බලා ප්‍රතික්ෂේප කල මගේ සගයෙක්ද විය. ඔහු අනුකරණ වාදියෙක් නොවූ බව මට සහතික ය. හෙතෙමත් , අන්ධයකු ලෙස හලාල් ප්‍රතික්ෂේප කරනෙකුත් අතර මම විශාල වෙනසක් දකිමි.අවශ්‍ය කරන්නේ එවන් අවබෝධාත්මක හැසිරීමක් විනා අනුකරණවාදී  හෝ ප්‍රකෝපකාරී හැසිරීමක් නොවේ.

   facebook හෙවත් කොයි කව්රුත් දන්නා බුකිය යනු,ලොව ඇති ජනප්‍රියතම සමාජ ජාල අතරින් එකකි. එහි අරමුණ වන්නේ මිතුරන් වර්ධනය කර ගැනීම හෝ තම දේශපාලනික අදහස්  හා මත  බෙදා හරිම නොවේ.එහි ප්‍රධාන අරමුණ වන්නේ තමන් සැබෑ ලෝකයේදී දන්නා හඳුනන මිතුරන් අතර අදහස් හුවමාරුව යි. වෙහෙසකර දිනයක අවසානයේ කෙනෙකු තම facebook ගිණුම වෙත පිවිසෙන්නේ දේශපාලනික ගැටළු හෝ විවේචනාත්මක හෝ ක්‍රෝධ සහගත ලිපි හෝ පුවරු දැක තම ලේ කෝප කරගැනීමට නොවේ. ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින් හා ජිවන දර්ශනයක් පවතින රටක් බව සැබෑ ය. දේශපාලන විශේඥයකු වන හැරල්ඩ් ලැස්කි මහතාගේ නිර්වචනයකට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජීවන දර්ශනයක් තුලදී  "කෙනෙකුට තම බස්තම
වැනිය හැක්කේ අනෙකාගේ නාසය අග කෙලවර දක්වා පමණි" ( one can twist his walking stick only up to another's nose).එසේ නම් රට ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා බස්තම වනන්නේ අනෙකාගේ නාස්පොල්ල කැඩී යන අයුරින් නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනුයේ කෙලෙසින් ද? ශ්‍රී ලංකාව බහු පක්ෂ ක්‍රමයක් සහිත රටකි. එසේම ඕනෑම කෙනෙකුට තම තමන්ගේ දේශපාලන මත දැරීමට හා ඒ පිලිබඳ කතා කිරීමට ඕනෑ තරම් වේදිකාද ඇත.ජාති වාදීන්ට වේවා, සර්ව ආගමික සහජීවනය ගැන කතා කරන්නන්ට වේවා,අන්තවාදීන්ට වේවා ඕනෑම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය තරම් ස්ථාන තිබියදී තම බීජ වැපිරීමට බුකිය යොදාගැනීම අනුමත කල නොහැක. අවම වශයෙන් මා පෙර කී සභ්‍ය භාෂාව ඒ සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය ය. බුකිය තුල තම සෙම් සොටු වපුරන ඇතැමුන්ට බුකිය තුල වැඩියෙන්ම මතක් වන්නේ අන් අයගේ මව් පියන් ය.ඔවුන් දෙවිවරුන්ගේ මව් පියන්ද ආමන්ත්‍රණය කිරීමට තරම් මුල් ගුරු පත්වීම් ලබා සිටිති.එසේම ඇතැම් පිරිසක් බුදු රූප විකෘත කරන අතර ඇතැමුන් වෙනත් ආගම්වල ඉගැන්වීම් හාස්‍යට ලක් කරති. ආගම යනු බලෙන් ඇඟට පැටවිය යුත්තක් නොවේ. එය තම තම නැණ පමණින් දැන විශ්වාස කල යුත්තකි.අවශ්‍ය වන්නේ එලෙස මඩ ප්‍රහාර එල්ල කර ගැනීම නොව විවෘත සාකච්චාවකට එළඹීම යි. අතීතයේ වැඩ සිටි තෙරුන් වහන්සේලා පානදුරා වාදය වැනි උදාහරණ අප වෙනුවෙන් ඉතිරිකර ගොස් ඇත්තේ පෙළ පොත්වල පිටු පිරවීමට නොවන බව සිහි තබා ගත යුතුය.

   රටට අවශ්‍ය වන්නේ බුකියේ රඟදෙන කාඩ්බෝඩ් වීරයන් නොවේ. එසේම බුකියට වී මුසල්මානුවන්ගේ බූර්කා ගලවන්නන්ද නොවේ. එම ඇඳුම ඔවුන්ට අපහසු නම් එම විරෝධතාවය ඔවුන් තුලින්ම දිනක නැගෙනු ඇති. අවශ්‍ය වන්නේ රටට ආකල්පමය වෙනසක් ලබා දිය හැකි, රට ජාතිය ආගම ගැන හැඟීමක් සිත්සතන් තුල ඇති කරලිය හැකි නායකයන් ය.මුසල්මානු ව්‍යාපාර වෙත යන්නන්ට බිත්තර ගසන අශ්ලීලයන් මෙරටට අවශ්‍ය නැත. හුදී ජනයාට කාවදින අයුරින් ආදීනව පහදාලිය හැකි නායකයන් බිහි වූ දිනට බිත්තර අවශ්‍ය නොවනු ඇත.එවන් නායකත්වයක් මගින් කුණු බිත්තර සේම පෙරකී අශ්ලීල මුල බීජද තුරන් කරවීමට හැකි වනු නොඅනුමාන ය.

Thursday, April 25, 2013

ඇයගෙන් ලද පිළිතුරක්.....




























පැතුම නුඹයි මා සොයනා උණුසුමද          නුඹයි
කැකුල මමයි මිලින නොවූ එහි සුවඳ        නුඹයි
දිවි මග මා අතැර  නොයන හිරු කුමරු      නුඹයි
සංසාරෙම මගේ වස්තුව නුඹයි නුඹ           තමයි

පිය සෙනෙහසයි ආදරයයි මට                 දුන්න
හද ගැබ දිලෙන පැතුම් සඳට පන              දුන්න
ඒ රැස් මැදින් නුඹේ අත ගෙන           ඇවිදින්න
ආසයි මටත් වස්තුවේ තව බෑ                  ඉන්න

වැව් තලයේ රැලි සැඩවී ගලන                     විට
ඒ රැලි දරා පිට වානෙන් පිට                    කරන
ඔබ කුළු වැවයි මගෙ ශක්තිය            රැකගන්න
දෙපා නමදුවත් මට පව් නෑ                      ඔන්න

ඔබෙ නෙතු ළඟ සසල හැඟුම් දොරේ ගලා        යයි
හැඟුම් දියේ රැලි මුවදොර සොයා දඟ            කරයි
සයුර නුඹේ හද මඬලයි දෙතොල මුව           දොරයි
ඒ මා නොව ඔබේම වූ කෝල මගෙ               සිතයි

ඔබෙ නෙතු ළඟ කවදාවත් එපා කඳුළු               නැගෙන්න
මගේ පැතුම ඔබෙ හසරැලි සදා මුවඟ                  රැඳෙන්න
ජිවිතයේ සැනසුම ඔබෙ තුරුලේ හිඳ                    ලබන්න
මමත් එන්නේ යන්න නෙවෙයි රත්තරනේ            හිඳින්න



                                                                                 © ඇය෴

Monday, April 22, 2013

ඇයට ලියමි..










තරු ඇස් ළඟ දැවටී දැවටී මිහිර                     විඳින්න
හද මඬලට සඳ පායන සිසිල                      දැනෙන්න
නුඹේ සෙනෙහෙ උණුසුම ළඟ සැනහී              ඉන්න
රත්තරනේ මම එනවා බලා                           හිඳින්න..


නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


සොයුරි නුඹයි කෝලකමට සුරතලී                   නුඹයි
මෑණි නුඹයි මා රකිනා මිතුරියද                        නුඹයි
සෙනෙහෙ නුඹයි සෙනෙහස දුන් ගඟුල නුඹේ     නමයි
සසර පුරා මගේ හදවත හිමිකාරී                       නුඹයි

කවිය නුඹයි කවිකම දුම් කිවිඳියද                    නුඹයි
කුකවි මමයි මගේ කවියේ එලිය නුඹ                තමයි
නුඹේ අද්දර නිහඬ මගේ සිතුම් වැල                මෙයයි
නුඹේ තරු ඇස් මගේ නෙතු මත සොයන දේ     එයයි


සුපුරුදු ආදර මාවත එලිය                             කරන්න
මම ආසයි නුඹේ ඇත ගෙන ඇවිදන්                  යන්න
සෙමෙන් හොරෙන් හාදු පුදා කොපුල්          තෙමන්න
යන්න නෙමෙයි මම එන්නේ වස්තුවේ              ඉන්න..




                                                                                        © කරූ.

Thursday, April 11, 2013

මනුසතා..











ලෝකයේ පවත්වන්නා වූ
අපමණක් සතුන් අතරෙහි
ලෝකයක් නසන්නා වූ
එකම එක ඒ සතා...










උපුටා ගැනුම: අකාලිකෝ වෙළුම
                      එකසිය විසිහයෙන් දහතුනක්
                         මංගල සේනාධිපති

පොත ගැන වැඩි විස්තර, http://karuugesithroo.blogspot.com/2013/03/blog-post_31.html#comment-form






Friday, April 5, 2013

විපුල පාසල සියල් පාසල් මැද....








පණ ගිය ජාතියට පිඹීනට              ජී ව                              ගුණ
ගුණනද  හිමිගේ  දහදිය මත       ලැබුව                             පණ
සෙන්පති  ඕල්කොට්  ඉටු දෙවි      සැදුව                            මන
ජාතියේ  මහා ආනන්දය               එකලු                             වුන


ඉංගිරිසිය  කට  වණ කර  තිබු                                        යුගයේ
හෙළ වෙණ වයන්නට  හුරු  පුතුණන්                              ආයේ
බිහි කල තිඹිරි ගෙය ආනන්දය                                        වූයේ
නාලන්දාව   ඒ මවගේම  පුතු                                           වූයේ


සුද්දගේ  අණට  නතු වුන  හෙළ  බිම                              අගනේ
හෙළ සිහ  දදය  නංවන්නට   මේ                                  දෙරණේ
කවිය අවිය කොටගත්  ටිබෙටයේ                              තෙරුණේ
ඔබෙ කවියටයි  ආනන්දය  සෙවන                                  වුණේ


අවිය නසන්නට රුපු ජය කෙහෙළි                             මකන්නට
තිස් වසරක කුරිරු  සොවින්  රට                                මුදවන්නට       
ජය මං සෙව් බල ඝනයන්  මග                              පෙන්වන්නට     
ගිනි  පෙන්වා දුන් පන්නර  අනද පුතුන්                                හට


ඊළම්  සිතියම  මෙලොවින් තුරන්                                        කල
යුද ගුව නා  නායකයන්  එකවර බිහි                                    කල
ආනන්දය  නම්  නාමය  කෙදිනක  සම                                කල
හැකි යම් අන්  අසිරි තැනක්  බිහිවේද මේ                            කල


කොළඹ  නලද  උඩරට දම් රජ                                     සෙවනේ
ඇතුගල මලියදෙව්  දකුණේ  මිහිඳු                                    බලේ
සඟමිත් මියුසියස්  පෙන්වන  බොදු                              සෙවනේ 
වැඩි හෙළ දරු කැලක්  සිටියි සහයට අනද                        බලේ


එකසිය  විසි  හත්  වසරක්  නම                                        රන්දා
හැම  හද තුලම  ආනන්දය පැල්                                        බන්දා
නාලන්දයට  පෙර මං  පෙන්වා                                        සැමදා
අනද  නලඳ නම්  තුන් කල්  මන                                      බැන්දා


          © බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න  
          ආනන්ද විද්‍යාලය.


              

Tuesday, April 2, 2013

අවසන් වසරේ ආනන්දේ...

                                                     හෙවත් වසරකට පසු..

 
ජිවිතේ  අප ලබන හැම සුන්දර  අත්දැකීමක්ම  කාලයත්  සමගින් සුන්දර මතකයක් බවට  පෙරලෙ යි.  නමුත් අප විඳගත්  ඒ සුන්දර අත්දැකීම්වල ප්‍රහර්ෂය ,හදවතේ කොනක සටහන් වුන සුන්දර මතකයත් එක්කම  ගැබ්වී තිබේවි.. කාලගේ අවෑමෙන්  හදවතේ රැඳී සුන්දර  මතකයන්වල රූප රාමු පාට මැකී බොඳවී ගියත්,මතකයන් අවදි කරවන එක් සුළු සිදු වීමකින් පවා ඒ රූප රාමුවල වර්ණ අලුත් වනවා සත්තයි.. එවැනි ආදරණිය මොහොතක් ගෙවී ගොස් එළබෙන වර්ෂ පූර්ණ දිනය  එවැනි  බොඳව ගිය සිත්තම් වර්ණ අලුත් කරන  එකක් බව මගේ අත්දැකීමයි..

  දිනය  වර්ෂ 2012 මාර්තු මස තිස් එක්වන සෙනසුරාදාව.. බොහෝ දෙනෙක්ට එදා සාමාන්‍ය දවසක් වුනත්  ආනන්දයේ  අපට  එදා සුවිශේෂී දවසක්  වුණා.. අනද මෑණියන්ගේ  වසර එකසිය විසි පහක දැවැන්ත  යුග මෙහෙවර ලොවට හඬගා කිමට සංවිධානය වූ  " අනද අබිමන්" අධ්‍යාපනික,සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය පුරා සතියක් පවත්වා  එළඹී අවසන්  දිනය වූයේ එයයි.. සටහනේ  අරමුණ  "අනද අබිමන් "නම් වූ ලොව පාසලක පැවැත්වූ දැවැන්තම  ප්‍රදර්ශනය පිලිබඳ සටහන් කිරීම නොවුවත්,අද සටහනේ  පසුබිම සැකසෙන්නේ අනද අබිමන්  වටා වීම විශේෂ යි.

 එදා  වෙහෙසකර දිනය අවසානයේ එක් සුවීශේෂී  හමුවීමක් මා යොදාගත්තා. එලෙසින්ම ,වෙහෙසකර සතිය අවසානයේ මේසා විශාල කැපවීමක ප්‍රතිපලය වන  අක්කර  තිහක භූමි භාගය  පුරා පැතිරුණ  ප්‍රදර්ශන භූමිය  නැරඹීමටත්  මගේ මේ සුවීශේෂී  "අමුත්තා" සමග  සූදානමින් මා සිටියා.. ඒ අන් කවරෙක්වත් නොව, මගේ ආදරය දිනාගත් මගේ අනාගත සහකාරිය යි.සවස් වන විට ඇය පවූලේ සියල්ලන්ම සමගින්  ප්‍රදර්ශන භූමිය වූ ආනන්දය වෙත පැමිණ සිටියා. දිනයේ අවසන් යාමය ,මගේ ජිවිතයේ සුන්දරම හොරාවන්ගෙන්  පිරි  ගියේ වෙහෙසකර සතියක  විඩාව මගෙන්  ඈතට ගෙන යමින්..


   ඒ සොඳුරුතම සවස් යාමය මගේ හදවතෙහි  වර්ණවත්ව සිත්තම් වූයේ නිරායාසයෙන්ම යි .. බාල කාලයේ පටන්  මගේ  ජීවිතය සිත්තම් වූ  ආනන්දයේ පසුබිම් වට කොට ගනිමින්  තවත්  එක් සුන්දර සන්ධ්‍යාවක් මගේ ජිවිත සිත්තමෙහි සනිටුහන් වූවා..බාල කාලයේ  දුව පැන ඇවිදින විට අපට සෙවන දුන් අඹ ගස,මෙදින විඩාබර අප දෙපලට සෙවන ලබා දුන්නා.. එදා කෙලිදලෙන් ක්‍රීඩා කල සෙන්පති රාජපක්ෂ ක්‍රීඩාංගනය  මෙදා අපේ සන්සුන් ගමනට ඉඩ ලබා දුන්නා.. අවසානයයේ  මා ඈ අතගෙන ආනන්ද මාවත ඔස්සේ  පියමන් කල ඒ සුන්දර රාත්‍රිය ,මගේ  දිවියේ සොඳුරුම මතකයන් අතරට එකතු වූවා.. එය මගේ සිත් ගත් ගීතයක පද පෙළ වෙනස් කරමින්  එම ගීතය තුල ගැබ්  ගත්තා..


"  අවසන් වසරේ ආනන්දේ..

  ඔබේ අත අරගෙන ආනන්ද මාවතේ..

 අබිමන් අවසන සැන්දෑවේ..

 පිය මැනූ devian නුඹද ලඳේ..

***

පසු වදන :







                                               මේ අඹ ගස හැර වෙන අඹ ගස් ඇත් ද? 
                                                              නැත. කිසිසේත් ම නැත.


                                                                                                       

   

                                                  
       සෙන්පති  ජී.ඩබ්. රාජපක්‍ෂ ක්‍රීඩාංගනය                                       

මුල් ගීතය රස විඳීමට පිවිසෙන්න.

අසම සම මුල් ගායනය, විජේරත්න වරකාගොඩ මහතා.

"මල් ගීය"






















පියුම් පෙති මත
රත වසා
ගෙතෙනු ඇත රොද
බිඟු සදා
ගැයෙන බිඟු ගුම්
තනු අසා
තනුව පුරවමි
පද ගොතා..


Related Posts Plugin for WordPress, Blogger...