Tuesday, August 18, 2015

මණ්ඩුක න්‍යාය හෙවත් අල්තයීර්ගේ "ද ගෙම්බා" සංකල්පය

අද හෙට ලියන්න උන්න දෙයක් නොවෙන නමුත්, අද මේ සටහන ලියන්න හිතුවා. කිසිසේත්ම ගැටීමකින් ඇලීමකින් හෝ කලකිරීමකින් ලියන දෙයක් නොවුනත්, මේ වචන ටික කොයි යම් මොහොතක හෝ උපේක්ෂාවෙන් ලියලා තියන්නයි කල්පනා කලේ..



ලියන්න හිතුවේ වැරදි දවසකද මංදා, ඡන්ද උණුසුමත් එක්කම, නමුත් මේ කිසිසේත්ම ඡන්දයට අදාළ කතාවක් නෙවෙයි.


සටහනේ අරමුණට එළබෙන්න කලින් පුංචි ඉල්ලීමක්, මේ සටහන කියවලා තමන්ගේ ඔලු ගෙඩියට දෙයක් දාගන්නවා නම් විතරක් , අදහසක් පල කරනවා නම්, සටහනේ කිසිම අකුරක් මග අරින්න එපා කියන දේ මං ඉල්ලන්න කැමතියි. ජොලි කතාවක් නෙවෙයි, ජොලි කතාවක් කියවන්න ආවා නම් අදට සමාවෙන්න.


අකුරක් නෑර කියවන්න කිව්වේ වෙන හේතුවක් නිසා නෙවෙයි, මේ කතාවේ මම දකින කෝණය එලෙසින්ම දකින අය ඉන්නේ මම විතරයි, සමහර විට ඊට වඩා හොඳින් හෝ ඊට අඩුවෙන් තේරුම දකින අය,තව ඕනේ තරම් ඉඳීවි. නමුත්, හාත්පසින්ම වැරදි අදහසක් ඔලුවට දාගන්න පුද්ගලයන් ගණන එකකින් හරි අඩු කරගන්න, අකුරක් හෝ මග ඇරලා කියවන්න එපා කියලා මම ඉල්ලනවා!

ඇත්තටම කතන්දරයත් ඒකමයි.ඕනෙම කෙනෙක් දෙයක් දකින පරාසය සීමා සහිතයි, ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඔබ දකින පරාසය සහ දුර නෙවෙයි මගේ දුර හෝ පරාසය වෙන්නේ, හොඳ දේ මොකද්ද නරක දේ ගැන සංවාදයක් නොවුනත්, පරාසය සහ දුර වෙනස් සහ ආවේනිකයි කියන කාරණය විතරයි මම මේ සටහන පුරාවට මතු කරන අදහස.

කෙනෙක් දෙයක් දකින්නේ,ද්වීමාන පරාසයක වෙන්න පුළුවන්, කෙනෙක් ඒ ද්වීමාන තලයේම ඊට වඩා පුළුල්ව දකින්න පුළුවන්, කෙනෙක්ට පුංචි අදහස් පුංජයක් දුන්නාම ඒ වටා ඕනෑම දිශාවක් ඔස්සේ ත්‍රිමාන තලයේ හැම අතටම හිතන්න පුළුවන්. 

මේ කොයිකද හොඳ විදිය, කොයිකද වැදගත් විදිය කියන දේ නෙවෙයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ ඒ කෙනාට ඒ ඒ හැකියාව වෙනස් කියන කාරණය විතරයි.

හැබැයි, වැදගත්ම කාරණය වෙන දෙයක්. තම තමන් දෙයක් දකින විදිය කොයි තරම් පුළුල් වුනත්,ඒ හැමෝටම අදාළ කාරණයක් තියෙනවා. ඒ තමයි, තමන් දකින දෙයි නොදකින ඉසව්ව,නොදකින තලය හෝ නොදකින පැතිකඩ කවදාවත් තමන්ට දැනගන්න වෙන්නේ නැති වග. 

ඉතිං වැදගත්ම දේ, කොයි අරමුණක් ගැන තොරතුරු හෙව්වත්, ඔලුව ඇතුලේ ඒ තොරතුරු ගබඩා කරගෙන කොයි තරම් හැම අතටම හිතුවත්, කවදාවත් තමන්ට තනියම ඔලුවට එන්නේ නැති පැතිකඩක් ඒ හැම සිතිවිල්ලටම අරමුනටම තියෙන විත්තිය. 

සමහරවිට ඒ පැතිකඩ වෙනත් කෙනෙක්ට පෙනිලා පෙන්නලා දුන්නොත් තේරෙන්න පුළුවනි, නොතේරෙන්නත් පුළුවනි.

නමුත්, ඒ හැම වෙලාවේම ඔය කොයි කාණ්ඩයේ කෙනෙක්ට වුනත් කරන්න පුළුවන් හොඳම දේ තමයි, එහෙමත් නැත්තම් ඔබටත් මටත් කරන්න පුළුවන් හොඳම දේ තමයි " ඕනෙම දේක තමන් නොදන්නා දත්ත තියෙන විත්තිය වගේම දන්නා දත්තවල අපි නොදකින පැති තියෙන විත්තිය" නිතර දෙවේලේ ඔලුවේ වැඩ කරන්න මනස සකස් කරගන්න එක.



" ගෙම්බෙක්ට කවදාවත් ගැඹුර කියන සංකල්පය තේරුම් කරන්න බැහැ, ඌ දකින දෘෂ්ටිය එක්ක,උගේ ඇස්දෙක සකස් වෙලා තියෙන විදිය එක්ක, ගැඹුර කියන වචනේවත් උගේ ශබ්දකෝෂයේ නැහැ. ඕනෙම උඩකින් ඌව තිබ්බොත්,ඌ පනිනවා. මොකද ඌ ගැඹුර කියන සංකල්පය දන්නේ නැහැ, දැනගන්න ශාරීරික භෞතිකය සකස් වෙලා නෑ. "


ඔබ සාපේක්ෂව ත්‍රිමාන දෘෂ්ටියක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්, පුංචි අදහසක් දුන්නාම ඒ වටේම හිතන්න පුළුවන් පුළුල් පරාසයකින් දෙයක් දකින්න උත්සහ කරන කෙනෙක් වෙන්න පුළුවන්.පුංචි අදහස් පුංජයකින් ඔබට ඉදිරියට,පිටුපසට,ඉහලට පහලට මේ සෑම අතකටම හිතන්න වගේම, ඒ අදහස දිහාම වෙනත් කෙනෙකු තුල සිට එබී බලන්නත් හැකියාව තියෙනවා වෙන්න පුළුවන්. ඔබේ ඔලුවට අදහස් එන විදිය බොහෝ අයට හිතාගන්නවත් බැරි වෙන්න පුළුවන්. අපූරුයි, නමුත් ඔබ වෙනුවෙනුත් පොදු කාරනා දෙකක් කියන්න තියෙනවා.


අංක එක- කාට කොයි දේ ඉගැන්නුවත්,පෙන්නලා දුන්නත්, කවදාවත් ගෙම්බට ගැඹුර ගැන උගන්නන්න යන්න එපා,කලකිරෙන්නත් ගැටෙන්නත් එපා.උපේක්ෂාවෙන් ඉන්න.

අංක දෙක- අන් සියල්ලන්ගේම වගේම ඔබගේත් දෘෂ්ටි පරාසය හෝ ඔබේ දත්ත ගබඩාව පරිපූර්ණ නෑ. සෑම විටම ඔබට නොහිතුනු පැතිකඩ ගැන අවදානම-අවධානය වගේම සූදානම පවත්වාගන්න.

ගෙම්බට ගැඹුර ගැන උගන්නන්න ගියෝතින්, මුලින්ම ඔබ කියන දේට හාත්පසින්ම වෙනස් දෙයක් ගෙම්බා හිතාගන්න පටන් ගන්නවා. ඒ දේ නිවැරදි කරන්න යන ගානේ ඔබ වෙහෙසට පත් වෙනවා,අවසානයේ ඔබ බොරු කාරයෙක් වෙන්නත් බැරි නැහැ.

කතන්දරේ මෙච්චරයි. සටහන පුරාවට කිව්වා වගේ, මේ දේ මගෙ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔලුවට ගිය අය එකෙක්වත් නෑ, යන්තන් ලඟින් නමුත් හරි දේ ගිය අය ඇති. නමුත් මේක ලිව්ව මමත්,කියෙව්ව ඔබත් වචන මහා ගොඩකින් දික් ගස්සපු මේ පුංචි අදහසේ පරිපූර්ණ දෘෂ්ටි කෝණය අල්ලාගත්තේ නෑ.

මම දැක්ක සියල්ල ඔබත්,ඔබ දැක්ක සියල්ල මමත් දැක්කේ නෑ.

ඉතින්! වැදගත්ම දේ, අපි හැමෝටම තම තමන් නොදැක්ක,නොහිතුන දේ බොහොම ඇති වග දැනගෙන සැහැල්ලුවෙන්, ඇලීම් ගැටීම් නැතිව ඉන්න බලන එක!!! හැමෝම වෙනුවෙන් මට කියන්න අවශ්‍ය වුන පණිවිඩය එපමණයි.

ඔබ මම සහ අපි සියල්ලෝම, එකිනෙකාට සහ එක එක අවස්ථාවට, ඒ ඒ මොහොතට සාපේක්ෂ ලොකු සහ පොඩි ගෙම්බන් කියලා අවසාන වශයෙන් කියන්න පුළුවන්.වැදගත් වෙන්නේ අපි කවුරුත් අඩු වැඩි වශයෙන් ගෙම්බන් බව සහ අප ඉන්නේ කොතන වූවත් අපේ දර්ශන පථය අපි හිතන තරම් පුළුල් නැතිවග සිහියේ තබා ගැනීම පමණයි.

1 comment:

  1. ගෙම්බන් ඉපදෙන්නේ කොහොමත්ම උන්ට අදාළ ශබ්දකෝෂයක් සහ විනය පද්ධතියක් එක්ක. නැත්තම් ඌට පැවැත්මක් නැහැ. හිතන්න ඌට ගැඹුර ගැන යම් අදහසක් ආව කියල, එතැනින් උගේ ගෙඹි ජිවිතේ හාමාරයි. නැද්ද? ඌ තවදුරටත් ගෙම්බෙක් නොවේ. ස්වභාවධර්මය විසින් එය වෙනකොට තනනවා. ඉතින් ගෙම්බෙක්ගෙන් එලෙස වෙද්දී මාළුවන් පිනනවා. ඌ පුදුම වෙනවා ගොඩබිම ඇවිදගෙන යනවා කියල ඇහුවත්!

    මම හිතන්නේ මම කියපු එක මටවත් ආයේ විස්තර කරන්න බැහැ.

    මේ වගේ පෝස්ටු හත අටක්ම මම draft කරගෙන ඉන්නවා. දාන්න හිතෙන්නේ නැහැ. ඔබ මෙහෙම දාපු එක හොඳයි.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...