Saturday, December 19, 2015

පහන් සංවේගය! (Light Sympathy) :D

ඉස්සර බස්වල සිග්නල් ලයිට් එක්ක,බ්රේක් ලයිට් එක්ක ඇතුලෙනුත් පත්තුවෙන විදියට ප්‍රේක්ෂක මගී ජනයාගේ පහන් සංවේගය (light sympathy??) වෙනුවෙන් ලයිට් හයිකරලා තිබ්බා. තාම ගමේ ගොඩේ දුවන ලංගම බස්වල මේවා තියෙනවා වරද්දන්නෙ නැතිව.

කොහොම හරි එහෙම කලේ බෝම ඉස්සර.. දැන් කරන්නේ බ්රේක් ලයිට් එක බස් එක ඇතුලේ බෝම ගෞරවයෙන් වඩා හිඳවාපු දේවතා මණ්ඩලේ වටේ රැස් වළල්ලට සින්ක් කරන එක..

සාදු සාදු සාදු!

බ්රේක් ගහද්දි පින්වතුනී දෙයියන්ටත් ඔලුවෙන් නහයෙන් කටෙන් තරු විසිවෙනවා බලන්න හරි ලස්සනයි.. කතරගම විෂ්ණු ධන ලක්ෂ්මී වර්ෂන් එකෙන් ඕනේ නම් ඒකත් තියේ,මරිය මව් ජේසු තුමා වර්ෂන් එක ඕනේ නම් ඒකත් තියේ. කැමති එකකින් වර්ග රැසකින් තෝරාගන්න පුළුවන්. තනිපාට රැස්, දේදුණු පාට රැස්, මොනාද ඕනේ ඕන එකක් ගන්න පුළුවන්..

ඔන්න ඉතින් ඔකෙනුත් පස්සේ අලුත්ම එක අද මං දැක්කා.. කෙලින්ම දේවතා මණ්ඩලේ VIP අප්ග්‍රේඩ් එක. සත්බුදුවරුන්ගේ බ්රේක් ලයිට් රැස් මාලාව.. විපස්සී සිඛී වෙස්සභූ කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම.... බ්රේක් ගහන ගහන වාරෙට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙනවා මිත්‍රවරුනි බ්රේක් ගහද්දි හොම්බ කට කඩලා එලෝ ගියොත් කෙලින්ම යන්නේ නිවන්. 

වැරදිලාවත් මේ නත්තල් කාලේ වත්තල ජා ඇල මීගමුව වෙන්නප්පුව හරහා කොහේ හරි කොළඹ පුත්තලම බස් පාරේ ගියොත් පැය එක හමාරක දෙකක බස් ගමනට පැය තුන හමාරකට වැඩියෙන් යනවාමයි...

ඉතිං බ්රේක් දෙයියන්ට නිවනක් නෑ, මේ ටිකේම...


Friday, December 11, 2015

ඒයි ඒයි මිනිහෝ!

"ඒයි ඒයි මිනිහෝ!"

" තොපි තමයි මේ ඉස්කෝලේ නම කන්නේ.. "


මාව ඇදලා අරං දීපි නැතැයි පිට මැදට..

දඩෝන්....!

වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව මං තුෂ්ණිම්භූත වුණා. පන්තියට කවුරු හරි එනවද බලන්න දොරගාවට ගිහිං, ඇඟත් ඇතුලේ තියාගෙනම හොම්බ දොරෙන් එලියට දාද්දීම මගෙ මූණට අඟලක් ඉස්සරහින් ප්‍රසාද් සර්!

එහෙමම පන්තිය ඇතුලට අඩියක් තියලා මගෙ කණෙන් අල්ලගත්ත ගමන් සිද්ධ වුන සන්තැසිය තමයි ඒ. සිද්ධ වුනේ මොකද්ද හිතාගන්න බැරිව මම ආයේ දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා.
ඒ අපි නවය වසරේ, ඒ කියන්නේ මුවර් ගොඩනැගිල්ලේ ඒ කාලේ හතරවෙනි තට්ටුව.
බිම ඉඳන් පෝලිමට පස් වෙනි තට්ටුවේ මුවර් හෝල් එකට යන ආරාධිත පාසල් කොටු කරවල් ටිකක් මට පෙනුනා.

සිද්ධ වෙලා තියෙන දේ මට තේරුනේ එතකොටයි, සර් හිතලා තියෙන්නේ මං කොටු කරවල් නරඹන්න ඔලුව එලියට දැම්මා කියලයි. ඔය සිද්ධිය කොටු කරවල්, කාසල් වීදිය සහ කොටා රෝඩ් එක මට ඒ කාලේ ඉඳන්ම අපල බව කියන්න හොඳ සාක්කියක් !
සර් උදේම එනවා,

"ආආ..... ඉංග්‍රීසි මා.....ධ්‍යය පා.....න්තිය"

"අතුගෑවද?"

"ආආ.. කුණු අස් කරලා නෑ."

"තොපේ වැඩ බාගේටනේ,

ඉංග්‍රීසි මාධ්‍ය පාන්තිය, හෝදන්නේ නෑ, පිහදානවා විතරයි...."


නවය වසර සහ ප්‍රසාද් සර් කියන්නේ නයි වෛරයක්!
නවය වසරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය සහ ප්‍රසාද් සර් කියන්නේ ජන්මාන්තර වෛරයක්..!!!

හැබැයි නවයෙන් දහයට ගිය තප්පරේ ඉඳන් ප්‍රසාද් සර් කියන්නේ පුදුම හිතවතෙක්, ඕන වැඩකට අපි එක්ක බොක්කෙන්.

ඉතිං, සර් යනවා කියන ආරංචියත් එක්කම මේ ඔක්කොම මට මතක් වුණා.

සර්, අපි තැනකට ගිහිං ඉද්දි, නාඳුනන අයත් ලඟට ඇවිත් කතා කර කර ඉන්න අතරේ, "පුතා ආනන්දෙද" කියලා අහන තැනට අපේ හැසිරීම හැදුවේ, සර්ලා වගේ ඒ කාලේ අපිට යක් වෙසින් පෙනුන ගුරුවරු තමයි.
වැරදි වැටහීමක් නිසා එදා ඒ කාපු ඒ ගුටිය ආනන්දේ ජීවිතේ මම කාපු ගුටි දෙකෙන් එකක් උනත්, ගුටි කන්න බයටම අපි හැදුනු විදිය නම් හරි අපූරුයි.


සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි.



පින්තූර  ගෞරවේ, facebook වෙත  එකතු  කල නම නොදත් ඒ සහෝදරයාට.. 

Sunday, October 11, 2015

නොනැගිටිමි


සුපෙම් හැඟුම්-ඔබෙන් එපා.. මිතුරු දම් විනා, නෞකාවකි ඔබ මෑත සමුදුරේ..කොල්ලෝ කෙල්ලෝ ගැන, ආදරේ ගැන මිනිස්සු ඕන තරම් සින්දු,කවි,කතන්දර ලියලා ඇති. මිනිස්සු ඒවා ආදරෙන් වැළඳගෙන ඇති, පරම්පරාවෙන් පරම්පරාවට, අවුරුදු සිය ගණනක් යනකන් ඒ කතන්දර අහන්න,විඳින්න වගේම සමහරවිට තමන්ගේම අත්දැකීම් කරගන්න ඇති.
රෝමියෝ-ජුලියට් ඔය තරන්ම මිනිස්සු වැළඳ ගත්තා කියලා ඒ දෙන්නා ආපිට ජීවතුන් අතරට ආවේ නෑ. ධම්මික බණ්ඩාර තමන් ඉස්කෝලේදී දැක්ක, කොල්ලා කෙල්ලට බත් කවන දර්ශනය, පස්සේ කාලෙක ඒ කොලුවා තනියම හම්බුන වෙලාවක අහලා දැනගත්ත කතාව උඩ ලියවුන හන්තානට පායන සඳඋන් දෙන්නමත් රස විඳින්න ඇති. හැබැයි ආයෙමත් කවදාවත් එකතු නොවෙන්න ඇති.
ඒ ඒ නිර්මාණ මිනිස්සු කොයි තරම් තදින් අල්ලා ගත්තත්, ඒවා ඇතුලේ උන්න මිනිස්සු තව දුරටත් ඒවා ජීවිතේ කරගන්න නැතිව ඇති. මොනවද මනුස්සයෝ උඹ තවත් පරණ දේවල් ගැන ලියන්නේ?” “ඇයි බුද්ධි ඔයා තාමත් මේ??” යාළුවො,දන්න-නොදන්න මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙටත් මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. තාමත් පරණ සිද්ධි මතක් කර කර මම හිනා වෙනවා, අඬන්නේ නැතත් කඳුළු එනවා.. ඒවා මාත් එක්කම කම්පනය වෙන්න පුළුවන් කීප දෙනෙක් එක්ක අකුරුවලින් බෙදාගන්නවා..
එතනින් එහාට ඒ මගේ ජීවිතේ නෙවෙයි, මගේ වර්තමානය හෝ අනාගතය නෙවෙයි. කට කොනක හිනාවකට හරි කඳුලකට හරි හේතු වෙන පුංචි අතීතකාමයක් විතරයි.
ලියල ඇති කවි කෑලි ඕනේ තරම්, කෑලි එල්ලෙන කහ ගැහුණු සටහන් පොත් තාම මගේ ගාව, ලයිබ්‍රරියේ ඉඳන් එවෙලෙට හිතෙන දේ කුරුටු ගාපු කොළ කෑල්ලේ ඉඳන්, ෆෝමැට් වෙලා එක රොත්තට නැති වෙලා ගිය අකුරු කෑලි තිබ්බ වැඩකට නැති හාඩ් ඩිස්ක් කෑල්ලේ ඉඳන්, දාන්න පුළුවන් කියලා හිතුන වෙලාවට බුකියට,බ්ලොග් එකට අත ඇරපු කුරුටු, ඔය ඔක්කොම තාම මන් ගාව,එකක් වත් විසි කරන්න අවශ්යව වෙලා නෑ.
මට ලියන ඒවා මට විතරක් පෙන්නන්නකියපු කාලෙන් පස්සේ, ලියපුවා කිසිම එකෙක්ට නොපෙන්නා ඩෙස්ක්ටොප් එකේම තනි එක ෆෝල්ඩරයක් ඇතුලට රිංගවලා දාන කාලයක් වෙලා තිබුනේ පහු ගිය මාස ගානම.. සමහර විට ඒක ඉවර වෙයි, සමහරවිට ඉවර නොවෙයි. දිගටම ඒ ෆෝල්ඩරේ පිරෙයි.
සමහර විට දවසක මමත්, කඩේක කොල්ලට ආදරෙන් බත් කවන කෙල්ලෙක් දැකලා ලඟට ගිහින් ඔයාල දෙන්නා දැක්කම මට මගේ ඉස්සර කාලේ මතක් උනාකියලා කියයි. උන් දෙන්නත් මේ මොකද වුනේ කියලා එවෙලාවට ඇඹරුනත්, පස්සේ කාලෙක මම වගේ ගොඩක් දේ තේරුම් ගනියි.
හැමදාම ඉර පායයි, ලෝකේ හරි රවුම් නැතත්, සිද්ධ වෙන හැම දේම හරි රවුම් කියලා එකෙක් දෙන්නෙක් හරි තේරුම් ගනියි.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
.......කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........


Sunday, August 23, 2015

විඳීම-විඳවීම-වයික්කාලේ බෝගන්විලා පඳුර සහ ඉරටු රටා

උළුවලට ප්‍රසිද්ධ එක්තරා ප්‍රදේශයක පිහිටි කුඩා උප දුම්රිය ස්ථානයක් අද්දර පිහිටා තිබෙන පුංචි කුටියක්. පුංචි කුටියක් කියලා මම හිතුවට කෙනෙකු හෝ පුංචි පවුලක් මේ පුංචි කුටිය නිවහනක් කරගෙන තිබෙනවා වෙන්නත් පුළුවන්.

Tuesday, August 18, 2015

මණ්ඩුක න්‍යාය හෙවත් අල්තයීර්ගේ "ද ගෙම්බා" සංකල්පය

අද හෙට ලියන්න උන්න දෙයක් නොවෙන නමුත්, අද මේ සටහන ලියන්න හිතුවා. කිසිසේත්ම ගැටීමකින් ඇලීමකින් හෝ කලකිරීමකින් ලියන දෙයක් නොවුනත්, මේ වචන ටික කොයි යම් මොහොතක හෝ උපේක්ෂාවෙන් ලියලා තියන්නයි කල්පනා කලේ..

Sunday, August 9, 2015

මං-කෙල්ලෙක්-වඩේ සහ මේක් අප්- (ආතල් ඉරිදා ආතල් කතා)

ඔන්න  මිත්රවරුනී මං අද උදේ සකලබුජන් කොට කලිසම ගහගෙන ඉරිදා පොලට ගිහින් වඩයක් හප හප එනවා ඈ, අපේ ගෙවල් පාර දිගේ..


රතු පාට ස්කූටියක මෙන්න ලොකු.... කෙල්ලෙක් ඉඳන් මං දිහා බලනවා.. කොන්ඩේ ඉස්ටෙට් කොරලා මේක් අප් නාලා හප්පේ! මං අහක බලන් ආවා, මොකද බුදු ෂුවර් මං දිහා නෙවේ හරියටම මට පිටිපස්සේ තියෙන දෙයක් දිහා විය යුතුමයි බලන්නේ කියලා පළපුරුද්දෙන් මං දන්න නිසා!
හැබැයි මං හෙමීන් ආයේ බැලුවා ඈ, මෙන්න හිනා වෙනෝ! කවුද බොලේ මේ ඒරියා එකට බැස්ස අලුත් කෑල්ල, හිතද්දීම මෙන්න මේකි හෙල්මට් එක ගලවලා  අහපි "අඳුරන්න බැරිද අනීව්' කියල! මාත් ඇඟට නොදැනී පාර පනින ගමන්ම මීටරේ කැරකෙව්වා!

Thursday, August 6, 2015

අනාගත හිමිකාරිණියට ලියා තබමි !



ඔබ මා දන්නවා විය හැකිය.
නොදන්නවාද විය හැකි ය.
මෙය සටහන් තබන මොහොත වන විට
ඔබ මා දැන සිටින්නේ මොහොතක, දිනයක
නැතිනම් වසරක හෝ දශකයක සිට විය හැකි ය.
ඒ කෙසේ වුවත්, මා ද නොදන්නා මා ගැන
ජීවිත කාලයක් ඉගෙන ගැනීමට සිදුවනවා ඇති බව නිසැක ය.

කාන්තා ගති පැවතුම් මම නොරුස්සන බව
අනේක වාරයක් කියනු සහ ලියනු
ඔබ අසා ඇතිවා, දැක ඇතිවා විය හැකි ය.
නමුත්,
මම මෙහිදී වඩාත් අවංක වනු කැමැත්තෙමි.
ඒ කුමක් වූවද, එයින් යම් කිසි ව්‍යුත්පන්න විශේෂයක් ඔබ තුලින් දුටු වහාම
ඔබව මා වැළඳ ගන්නා බවද කිව යුතුම ය.
පිළිගන්නා බව කිව යුතු ය.

අන් අය ආදර සබඳතා අරඹන්නේ
මං ඔයාට ආදරෙයි කියා විය හැකි ය.
මට එසේ නොහැකි බව කීවොත්
අමනාප නොවන මෙන් ඉල්ලමි.
ආදරය යන්නට මගේ අරුත,
ඕනෑම කැපකිරීමක් කිරීමට ඇති සූදානම යැයි
ඔබ දන්නේ නම් මැනවි.
එසේ නම්,
ඔබට ආදරෙයි යනුවෙන් කීමට මට වසර දෙක තුනක්වත්
ගත වනු ඇති බව,
කාලයාට ඉඩ දිය යුතු බව
ඔබ දන්නේ නම් මැනවි.
මා එසේ කියන දාට,
එහි අගය ද,එහි අරුත ද
ඔබට සිහිපත් වනවා නම් අගනේ ය.

ඔබට නේක හීන තිබෙනවා විය හැකිය.
....මල්වත්තක හිඳ ආදර වදන් මුමුනන්න,
අත් අල්ලන් වැස්සේ තෙමෙන්න......
සරල වුනත්, ඒ හීනවලට මගෙන් ඉඩ ලැබෙනු ඇත.
කෙතරම් බොළඳ වුවද, එවැනි මොහොතක ගත කරද්දී
දැනෙන සතුට, මටද සුළුපටු නැත..
එවැනි කුඩා නමුත් සුළු නොමැති
කිසිවෙකු වෙනුවෙන් කැප නොකළ හීන ගොඩක්
මටද තවම ඇත.
එහෙයින් තවමත්, මා තුල කුඩා දරුවෙකු ජීවත් වන බව මම දනිමි,
ඔබද එය දන්නේ නම් අගනේ ය.

අප දෙදෙනා එක්ව ගත කරන සුන්දර හෝරා ගැන,
ගෙදර විත් මම වචනයක් දෙකක් ලියනවා වෙන්නට පුළුවන.
ඒ වචන ඔබ ළඟ හිඳ මුමුණන විටක
මට රාජකීය හැගීමක් දැනෙනු ඇති බවද
ඔබ දන්නේ නම් හරි අගේ ය.

ඔබ හා මා අතගෙන පාරේ යන මොහොතක
අප පසු කරන කඩවසම් රුව ගැන වර්ණනා කිරීමට ඔබට නිදහස ඇත.
සිතැඟි පවසා කොක් හඬලා සිනා සීමට ද ඔබට හැක.
නමුත්, වැදගත් දේ හමුවේ
අවශ්‍ය විට නිසි තැනදී බරපතල වීමට හැකි නම් අගනේය.

සංස්කෘතියේ සළු පිළිවලින් වසා ඔබටත් මටත් ඇතුලේ සිටින්නේ
නිරුවත් වානරයෙක් බව මා සේම ඔබද දන්නවා නම් වටනේ ය.
ඔබේ සිතැඟි සිර කරනු නොහැකි සේම,ඒ සිතැඟි මා හා හෙළි කිරීම
වරදක් සේ ද මම නොදකිමි.
නමුත්, ඔබ ඔබේත්, මගේත් දෙදෙනාගේම ගෞරවය ආරක්ෂා කල යුතු ය.

මම නිහඬතාව ප්‍රිය කරමි.
අතොරක් නැතිව ඔබ හා දොඩමලු වීමට වඩා,
නිහඬතාවයෙන් සන්නිවේදනය කල හැකි සුන්දර පණිවුඩ
වචනවලට හැරවූ විට මොට වන බව මම විශ්වාස කරමි.
පැය ගණන් සවන්දීමට මෙන්ම,
පැය ගණන් එක දිගට කතා කිරීමට ද මට හැකි වග
ඔබ දන්නේ නම් මැනවි..
මා හොඳ කථිකයෙකු බවද,
මට ඇත්ත සේ බොරුත් බොරු සේ ඇත්තත්
කිව හැකි බව දන්නේ නම් හා,
එවැනි අවස්ථාවල හඳුනාගැනීමට හැකි
අතලොස්සක් සමීපතමයන් ගොන්නට
එක්වීමට හැකි වේවා යැයිද
සෙනෙහසින් පතමි.

මම විකල්පයක් නොවෙමි.
දෙවෙනි තෝරා ගැනීම ද නොවෙමි.
හදිසි තෝරා ගැනීමක් ද නොවෙමි.
දිගුකාලීන හඳුනාගනීමකින් පසු
කෙරෙන තෝරා ගැනීමක් ප්‍රිය කරමි.
එවැන්නක් කෙරෙහි
දැඩි විශ්වාසයක් හා ගෞරවයක් තබමි.

ඔබ මගේ ආදරයට ප්‍රථම ගෞරවය දිනා ගත යුතුය.
කොට ඇඳුමක සරාගී බව මෙන්ම
දිග ඇඳුමක ගර්වය හා රාජකීය බව ඔබ හැඳිනිය යුතුය.
කොට ඇඳුමකින් අවධානය යදින
අසරණ යාචිකාවක් නොවිය යුතුය.
හැඩට සිටින්නට ඔබට ඇති ප්‍රියතා මම හඳුනමි,
ඔබ එසේ සිටිනවාට මම ද කැමැත්තෙමි,
අවශ්‍ය දේ කිරීමට,ඔබට ඕනා තරම් ඉඩ ඇත.
අවධානය යදින්නියන් සහ එසේ නොවන්නන් හඳුනාගැනීමට
මට ඒ තරම් අපහසු නැත.
ඔබ වෙනුවෙන් පූර්ණ අවධානය මා සතුව ඇත.
වෙන කවුරු කියලද, මගෙ අයිතියට?? අම්මා තාත්තා?? සහෝදර සහෝදරී?
නැත! කිසිවෙක් නැත!
තනි,නොබෙදුණු අයිතියක්, ඔබට ඇත!

සුදු පිරිසුදු බවත් කළු සිත්කළු බව හැබෑය,
පෙනුම සිත්කළු නොවුවද
ආකල්ප හා හැසිරීම අවධානය කැන්දා ගන්නා අපූරු ගුණයෙන් යුතු විය යුතු ය.
කෙනෙකු මගෙ ආශ්‍රිතයන් අතර සිටී නම්, මේ කරුණ මත මම දැඩිව පිහිටන බව
ඔබ දැන සිටිය යුතු ය.


මම නිදහස ප්‍රිය කරමි, සංචාරයට ප්‍රිය කරමි.
ඒ, මගෙ ගෙදර අසබඩ කොහේ හෝ වන්නට මෙන්ම
සැතපුම් සිය ගණනක් ඈත කොහේ හෝ වන්නට ද පුළුවන.
පැයක රාජකාරියක් වෙනුවෙන් පිටත් වන මිනිසා
ක්ෂණයකින් තව ගමනක් පිටත්ව,
එදින නිවසට නොඑන්නට ද පුළුවන.
ඕනෑම මොහොතක සූදානම් ගමන් මල්ල සමගින් පිටත් වන මම,
පිටත් වන මොහොතේ නැවත එන මොහොතක් ගැන නොසිතමි.
ඔබට ද,
මා හා එක්වීමට නිදහස සහ විවේකය තිබිය යුතුම ය!

මම තනි තීරණ ප්‍රිය නොකරමි.
සාකච්ඡා කොට තීරණ ගැනීමට හැකි
සම සීල,සම චාග, සම පඥ්ඥා ඇති පුද්ගලයෙකු
වන්නේ නම් මැනවි.

ඔබගේ පෙනුම මට අදාළ නැත.
මේ සටහන රූපයට විශාල තැනක් දෙන්නෙකුගේ නොවන බව
කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත.
ඔබගේ පෙනුම කෙසේ වුවද
බැඳීම තුල ගැබ්වන ආකර්ෂණයේ මෙහෙයවීමෙන්
මා නිතර වර්ණනා කරනු ඇති බව නම්
නොකියාත් බැරි ය.

ඔබ පතන්නේ සාමාන්‍ය ජීවිතයක්,
රස්සාවක්,මුදල්,දරුවන්,උන්ගේ ඉස්කෝලේ හා
අන්තිමේ නාකි වී මිය යාම නම්
මා තෝරා නොගන්නා මෙන් ද ඉල්ලමි.
මා සොයා යන අරමුණක් ඇත,යා යුතු මාවතක් ද ඇත.
සමාජය සහ සුද්දා විසින් උසස් යැයි සම්මත කර දුන් දේ ගැන
මට කිසිදු උවමනාවක් නැත.
සම්මත රාමුවකට කොටු වී
බෙදාගත් වගකීම් යුතුකම් ගොන්නකට මැදි වීමට බලාගෙන
මගෙ ජීවිතයට නාවාටද කමක් නැත.
මම මොහොතකින් අමතක වන දැනුම පසෙක ලා,
ආකල්ප පසුපස හඹා යමි.
ඔබද මා හා ඒ ගමනේ කොයිම හෝ තැනක සිට එකතු වන්නෙක් නම්
මම කැමැත්තෙමි.

ජීවත් වීම පිණිස මුදල් මිස
මුදල් පිණිස ජීවත් වන්නට අවශ්‍ය නම්
මා හා එක් නොවූවාට කමක් නැත.
නමුත්, ගෞරවය යනු මම ඉහලින් අගය කරන සංකල්පයක් බව
වටහා ගන්නේ නම් මැනවි.
ඒ ගෞරවය යනු, සුද්දාගේ දැලට අහු වී ලංකාවේ සමාජය විසින් සම්මත කර ගත්
ඊනියා ගෞරවයක් නොවන බවද වටහා ගන්නේ නම් මැනවි.
ඒ බහුතර සමාජය විසින්,
මම උදේට සරමක් හැඳ හන්දියට පාන් ගෙන්න පයින් යනවා දකිනවා හැරෙන්න
මං ගැන වෙන දෙයක් නොදැන සිටියාට මට දුකක් ද නැති බව
ඔබ හඳුනාගෙන තිබෙනවා නම් යහපත් ය.

ඔබ මා ගැන දැන නොසිටිය යුතු යැයි විශ්වාස කරන
කිසිවක් නැති බව ද මම විශ්වාස කරමි.
ඔබට දැනගන්නට අවශ්‍ය කුමක්ද, ඒ සැම දේටම පිළිතුරු දීමට
මම ශක්තිමත් බව ඔබ දන්නේ නම් අගනේ ය.
මගෙ මුරපද, මගේ ගිණුම්, ඔබේ පාවිච්චියටද ඔට්ටු බව කීවොත්
තව දුරටත් පැහැදිලි වනු ඇතැයි ද සිතමි.

අවසාන වශයෙන්,
මම ජීවිතය පෙළ ගස්වා ගන්නේ
පනස්පහෙන් හැටෙන් මොකෝ මම කරගත්තේයි විස්සෝප වන්නට නොව
කල කී දේ ගැන සතුටු වන්නට,
ජීවිතේ හැම දවසක්ම වෙනස් දෙයක් කරන
ඒකාකාරී නොවන
අලුත් දවසක් කරගන්න බව ද ඔබ දැන සිටිය යුතුය.
ඔබ ද ඊට උනන්දු නම්,
ඔබ වෙනුවෙන් හදවතේ කුටීර හතරම බලා සිටිනවා ඇත!
අන් සියලු සබඳතා ද, වගකීම් ද
ඔබ හමුවේ ශූන්‍ය කිරීමට හැකි බවද
එතැනට මා ගෙන ඒමට ඔබට හැකි වගද
මම අවසන් වශයෙන් කියමි..

ඔබ හමු වූ දිනෙක, මම මෙය ඔබට පෙන්වමි,
ඔබේ අදහස්
දවසක් වුව අසා ඉමි!

ලියා අත්සන් කලේ,
අවන්කෙන්ම මං

Tuesday, August 4, 2015

ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය නව මගකට-සු.ප්‍රේ.



මෘදුකාංග නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ගෘහස්ත කර්මාන්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව වෙත නොමිලයේ අන්තර්ජාලය සැපයීම වෙනුවෙන් ඇමරිකාවේ ගූගල් සමාගම හා එක්ව ගූගල් ලූන් ව්‍යාපෘතිය සමගින් තබා ඇත්තේ ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ ගමන් මගෙහි නවමු සංසිද්ධස්ථානයක් බව හිටපු පා.ම. සුනිල් ප්රෙමජයනෙත්ති  මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති බටහිර කුමන්ත්‍රණවල අවසානය සනිටුහන් කිරීම සඳහා දේශයේ පංචායුධය වන විමල් වීරසේන මැතිදුන් විසින් ගෙන ගිය උදාරතර සංග්‍රාමයේ ජය අත් කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ උන්නතිය සඳහා සහ ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය සඳහා උර දීමට, එක්සත් ජනපදයේ ප්‍රධානතම මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් තම නවතම මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 10 ද නොමිලයේ නිකුත් කිරීම, ජාති මාමක බලවේගවල නොමද උත්සාහයන්ගේ ප්‍රතිපලයක් බව ද එතුමන් වැඩි දුරටත් සඳහන් කරයි.

Saturday, August 1, 2015

කරනවා නම්, මෙන්න ජීවිතේ ලස්සනම සරල දේවල්

මහ රෑ තනියම, මැස්සෙක්වත් නැති කෝච්චියේ පාපුවරුවේ බිම ඉදගෙන, කළුවර දිහා බලාගෙන එන වෙලාවක, ගෙදර ගිහින් මේ ලෝකේ මම කරන්න ආසම කරන දේවල් ගැන පුංචි සටහනක් තියන්න හිතුණා.

අංක පිළිවෙලක්, හොඳම එක මොකද්ද කියන්නවත් මම දන්නේ නැති වුණාට, මෙන්න මේ දේවල් තමයි මගේ ජීවිතේ දැනට කරලා තියෙන, සහ ඉදිරියටත් කරන ආසම දේවල් කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්, සීමා විරහිත දේවල් එකතු කරලා ලියවුන සීමා සහිත සටහනක් මේ.

මම කරන්න ආස දේවල්වල විශේෂම දේ තමයි, ඒ කාරනාවල සංයුතිය තනිකරම කාරනා දෙකක් මත පිහිටා තිබීම. ඒ තමයි මට බොහෝ වෙලාවට හොයාගන්න අමාරු වෙන "නිදහස් මනසකින් ඉන්න මම", සහ ඒ වෙනුවෙන් ගත කරන්න කාලය සොයා ගැනීම. කාලය ඒ වෙනුවෙන් කොහොම හරි නිදහස් කරගත්තත්, මගේම ඇතුලාන්තය නිදහස් කර ගැනීම තමයි අමාරුම කාරණය. ඒ කාරනා දෙක මුහු කරලා මම ගන්න 'මගේ ආතල් එකේ' පදම සාපේක්ෂව වෙනස්. ඒ වගේම මේ සටහන ලියලා ඉවර වුනාට පස්සේ මටම දැනුන දෙයක් තමයි, ඒ බොහෝ දේ ඇතුලේ ඉන්න එකම මනුස්ස ප්‍රාණියා මම විතරක් වීම, ඒ නමුත් කිසිසේත් ම 'මම' කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතන මනුස්සයෙක් නම් නෙවෙයි. 'මම' කියන්නේ නිදහසේ පියාඹන්න ආස, කොහේටවත් බැඳීමක් නැති, තනියම හැදුන, නිදහස් නිවහල් කුරුල්ලෙක්! මට හිතෙන්නේ එහෙමයි. මූලිකවම, මම ජීවත් වෙන බව මටම දන්වන,මගේ ප්‍රධානම සන්නිවේදන මාර්ග තමයි මේ කියලා මම කිව්වොත් වඩාත් හරි.

පාසල් කාලේ ඉදන්ම, මම කරන්න ආසා වුන දෙයක් තමයි නිදහස් චතුරශ්‍රය වටේ තියෙන තණකොළ නිල්ලට වෙලා මුළු දවසම ගත කරන එක. එක යායට වවපු තණකොළ ගොල්ල උඩ, දාගෙන ගිය සෙරෙප්පු දෙක ඔහේ විසි කරලා දාලා, පිටේ දාගෙන ආපු බෑග් එකත් පැත්තකට විසි කරලා, ඉඳගෙන,ඇවිද ඇවිද, ගහකට පිට දීගෙන, බිම නිදාගෙන එකී මෙකී නොකී විවිධ ඉරියව්වලින් මම මේ තැනට වෙලා ඉන්න පුදුම තරම් ආසයි. බිම දිගා වෙලා අහස දිහා බලන්, කකුලක් පිට කකුලක් දාගෙන,මුළු වරුවක්ම මොනාදෝ හීන දකින, ඩෙනිමකුයි අත් නවාපු ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න එකෙක්ගේ දර්ශනයක් දැකලා පුරුදු නම්,බොහෝ විට ඒ මං වෙන්න බැරි නෑ! උදේ අටට වගේ මම යනකොට සුපුරුදු ගස මට අහිමි වෙලා නම්, ළඟ පාත කොතන හෝ වේවා මගේ ක්‍රීම් සෝඩා ලීටර් දෙක එක්ක තනි වෙලා,සමහර වෙලාවකට මගේ වටේ ඇවිදින මිනිස් මූණුවලට එබෙන එක මගේ පුරුද්දක්. හිතට කලකිරීමක් දුකක් ආ වෙලාවලටත්, මේසේටයි පුටුවටයි වටනොවී පොතක් පතක් බලාගන්න ඕනේ වුනාමත්, සුහද හමුවකටත් මම යොදාගන්න හොඳම තැන තමයි ටොරින්ටන් තණ නිල්ල. මෙතනට වෙලා අවුරුදු දහ නමයේ විස්සේ 'බබාලා' එක්ක අල්ලන සෙල්ලන් කරපු දවසුත්, බෝතලෙකින් ෆුට් බෝල් ගහපු,ලොකු ලොකු ප්ලෑන් ඇඳපු දවස් එහෙමත් ඕනෑ තරම් ඇති. දැන් නම් එතනම ආකේඩ් කියලා එකක් හදලා තියෙන නිසා තැන ගැන නම් නොදන්නා කෙනෙක් නෑ. උදේ අටේ ඉදං හවස පහ හය වෙනකන් ඔය අවට තනියම නිදහසේ ඇවිද ඇවිද හිටපු දවස් ඕනෑ තරම්.


මම වැඩිපුරම කරන්න ආස දෙයක් තමයි, පහුවදා උදේ පාන්දර කොහෙවත් යන්න නැති සැනසිල්ල තියෙන දවස්වල, රෑ එළිවෙනකන් ඇහැරගෙන, මහ රෑ දවල් හීන දකින එක, ඒ ගැනම මොනා හරි ලියන එක හෝ පොතක් කියවන එක. පාන්දර එක,දෙක,තුන,හතර කියන්නේ මං අහසේ පා වෙවී ගත කරන කාලයක්.එහෙම ගත කරන සමහර දවස්වලට, ප්ලේන් ටී හයක් හතක්, කිරි වීදුරු දෙක තුනක් නැත්තම් කොකා කෝලා ලීටර් දෙකක් නම් වරදින්නේ ම නෑ. මම එදා මෙදා තුර පටන් ගත්ත හැම අලුත් වැඩක්ම සිහියට ආවේ, ඒවා සැලසුම් කලේ, ලියලා තියෙන කවි පංති, නිසදැස්, වෙනස් විදියේ පුවත්පත්/බ්ලොග්/සඟරා ලිපිවලින් වැඩි හරියක් ලියලා තියෙන්නේ මෙන්න මේ හෝරාවල තමයි. පාන්දර ගතවෙන පැය කීපය කියන්නේ මගේ ඔලුවට එක දිගට අදහස් ගලාගෙන එන වෙලාවක්. සමහර මිත්‍රයෝ මගෙන් අහන, මං කවදාවත් උත්තරයක් දීලා නැති "කොහෙන්ද බුද්ධි මේවා ඔලුවට එන්නේ" ප්‍රශ්නෙට දෙන්න පුළුවන් එක උත්තරයක් තමයි මේ මේ කාලයේ මට දැනෙන මැජිකල් ගතිය එක්ක මගේ හිත දුවන දිවිල්ලේ රඟ!

මීට අවුරුදු කීපෙකට කලින් මම ආස වුන දෙයක් තමයි, ආදරේ කරන ගෑනු ළමයාගේ අතින් අල්ලාගෙන යන්න පුළුවන් හැම තැනම ඇවිදින එක. ආදරෙන් ලං වෙලා උන්නත්, කොල්ලයි කෙල්ලයි ජීවිතේට කතා නොකරන විදියේ මාතෘකා කතා කරන එක, ඒවාට රණ්ඩු වෙන එක. ආදරෙන් කතා කරනවට, ගොඩාක් වෙලා ඕන දෙයක් අහන් ඉන්නත් මහ පුදුමාකාර බොළඳ ආසාවක් තිබුණා. ඒ දේවල් නම් අද වෙද්දී ගොඩක් වෙනස්. අද එහෙම ඇවිදින්න කෙල්ලෙක් තියා ඒ තරමට ලං කරගත්ත මිතුරියක්වත් නැති වුනත්, දවසක මම ආස ආයෙත් ඒ දේවල්ම කරන්න නෙවේ. හුඟක් ලඟින් ඉදං ඉන්නවට වඩා මම කැමති යම් පරතරයක් ඇතිව,ඈතින් ඉදගෙන ඉන්න. කතා කරන වචන ගණන වැඩි වෙනවට වඩා, කතා කරන වචන අතර නිහඬතාවය,ඒ නිහඬතාවයෙන් සන්නිවේදනය කරන තේරුමේ ගැඹුර වැඩි වෙනවට මං කැමතියි. කිසිම කෙනෙක් අනවශ්‍ය අගෑලුම් පාන ඒක ගැන, මගේ කිසි මනාපයක් නැහැ. කාලයා විසින් ආසා දේ ආසා නැති දේ බවට හරවන එක ගැන හොඳ උදාහරණයක් මේකත්.

හැන්දෑවේ හතර හමාරෙන් පහෙන් පස්සේ, කවුරුත් ලස්සනයි කියලා නොහිතන තැනක ෆොටෝ ගගහා ඇවිදින්නත් මම පුදුම තරම් ආසයි. හරියටම කිව්වොතින් පිටකොටුව වගේ තැනක,සුද්දගේ කාලේ පරණ ගරා වැටුණ ගොඩනැගිලි, මිනිස්සුන්ගේ නාවර පිරුණු මූණු, වෙහෙස ජීවන බර දැනෙන වටපිටාවක් මැද්දෙන් කැමරාවක් බෙල්ලේ දාගෙන ඇවිදන් යන එක, ඒ රූප සටහන් ගෙදර ගෙනත් පැය ගණන් බලන් ඉන්න එක,මට මහා පුදුම ලස්සන දෙයක්. තව මාස කීපෙකින් හොඳම විවේකයක් අරගෙන ලංකාව පුරා ඇවිදින්න ඇඟිලි ගැන ගැන ඉන්නෙත්, ළඟකදී හිත ගිය මේ පුදුම ලස්සන කටයුත්තේ රහ වැටුණ නිසා. ඒ රූප රාමුවලට ඉගෙනගත්ත දේ යොදවන එකත්, ඒ වෙනුවෙන් පැය ගණන්, වෙන අයගේ වචනවලින් 'නාස්ති කරන' එකත්, මට මහ පුදුම ලස්සන, මම ජීවත් වෙනවා කියන හැගීම මට උපරිමයෙන්ම දෙන කටයුත්තක්.


හමුවීම්-සතුටු සාමිචිවලට මම කොපමණ තැන් යොදා ගත්තත්, ඒ වෙනුවෙන් මට හම්බුන හොදම තැන තමයි දුම්රිය පා පුවරුව. මීට මාස කීපයකට උඩදී,මැදින් පෝය දා ත්‍රිකුණාමල-මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රියේ පාපුවරුව උඩ මිත්‍රයෙක් එක්ක බිම ඉදගෙන කරපු සුන්දර ආගිය තොරතුරු පිලිබඳ කතා බහ මගේ ජීවිතේ තියෙන තාක් මතක තියේවි. වයඹ ලඳු, උතුරුමැද-නැගෙනහිර පලාත්වල මහ ගණ කැලෑ බිම් මැදින් පුර හඳ පිරුණු දවසකගිය ඒ දීර්ඝ දුම්රිය ගමන මගේ ජීවිතේ මම ගිය හොඳම ගමන බව කිව්වොතින්, ඒ කාරණය මං මැරෙන දවසටත් වලංගු වේවි කියා මට විශ්වාසයි.


මගේ ජීවිතේ මම කරලා තියෙන ලස්සනම,හිතට දැනුනම දෙයක් තමයි මං උපයාගත්ත මුදලක් ගිහින් අම්මගේ අතින් තියන එක. ඒ දේ මුල් වතාවට කරද්දී මට යන්තන් වයස අවුරුදු විස්සයි.ඒකත්, පුංචි කාලේ ඉඳන් හීන දැක්ක, මම ආසම කරපු දෙයක්.


මම උපතින්ම ඇවිදින නැකතකින් උපන්න එකෙක් බව මටම දැනුනේ සෑහෙන කල් ඉඳලයි. අවුරුදු තිස් පහක් හතළිහක් වෙනකං උපරිම මහන්සි වෙලා, ඊට පස්සේ හැම දේම අත ඇරලා දාන්න හිතාගෙන ඉන්න සිතුවිල්ලට හේතු වුන එක්තරා බරපතල සාධකයක් තමයි ඇවිදින්න තියෙන බලවත් උවමනාව. ලංකාවේ හැම තැනම, මගේ ජාතියේම එකෙක් එක්ක බැරි නම් තනියම හරි ඇවිදින්න තියෙන ආසාව, මැරෙන්න කලින් පුළුවන් උපරිමෙන්ම ඉටු කර ගන්න මම ගොඩක් වෙලාවට හීන දකිනවා.

සින්දුවක් අහන්න, ඒ සින්දුවක් එක්ක පරණ කතාවකට ආපහු යන්න තියෙන්නේ මම නොදැනුවත්කමින්ම ඇති වුන ආසාවක්. ගීතයක වයලීන් පාට් එකක් අහගෙන හුස්ම අල්ලගන්න, එක පාරටම පපුව පිපිරෙන්න එන හීල්ලුමකින් මම මෙච්චර වෙලා හුස්ම තද කරගෙන අහගෙන ඉඳලා නේද කියලා තේරෙද්දී දැනෙන්නේ හරිම පුදුම හැගීමක්. නිතර නොවෙන, කලාතුරකින් ඇති වෙන ඒ සංවේදනයට හිතා මතා යන්න බැරි වුනත්, එතනට යන්න පුළුවන් විදියේ නිර්මාණ හොයාගෙන රස විඳින එක මම ආසා කරන දෙයක්.

තව ආසාවක් තියෙන්නේ මං ආසම කරන ගායකයන් අතරින් හැකියාවට මම ගරු කරන කීප දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී.



ඒ වගේම, මම ආස කරන හැම තැනකටම, හැම මොහොතකටම එක පැයක් අතරේ හිත යවලා, මම ලිව්ව මේ සටහනත්, මං ආසම කරන දේවල් අතරට මේ මොහොතේ ඉඳන් එකතු වේවි. මම හීන දකින, මම ආස කරන, මම තේරුම් ගන්න, මට තේරුම් යන, මගේ අත්දැකීම් වගේම මම බිඳ වැටුන තැන් හැම දෙයක්ම අකුරුවලට හරවලා, අනිත් අය එක්ක බෙදාගන්න එකත්, මම ආසම කරන දෙයක්. කෙටියෙන්ම කිව්වොතින්, මගේ ජීවිතේ මං ආසම කරන දෙයක්!

Related Posts Plugin for WordPress, Blogger...