Friday, December 11, 2015

ඒයි ඒයි මිනිහෝ!

"ඒයි ඒයි මිනිහෝ!"

" තොපි තමයි මේ ඉස්කෝලේ නම කන්නේ.. "


මාව ඇදලා අරං දීපි නැතැයි පිට මැදට..

දඩෝන්....!

වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව මං තුෂ්ණිම්භූත වුණා. පන්තියට කවුරු හරි එනවද බලන්න දොරගාවට ගිහිං, ඇඟත් ඇතුලේ තියාගෙනම හොම්බ දොරෙන් එලියට දාද්දීම මගෙ මූණට අඟලක් ඉස්සරහින් ප්‍රසාද් සර්!

එහෙමම පන්තිය ඇතුලට අඩියක් තියලා මගෙ කණෙන් අල්ලගත්ත ගමන් සිද්ධ වුන සන්තැසිය තමයි ඒ. සිද්ධ වුනේ මොකද්ද හිතාගන්න බැරිව මම ආයේ දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා.
ඒ අපි නවය වසරේ, ඒ කියන්නේ මුවර් ගොඩනැගිල්ලේ ඒ කාලේ හතරවෙනි තට්ටුව.
බිම ඉඳන් පෝලිමට පස් වෙනි තට්ටුවේ මුවර් හෝල් එකට යන ආරාධිත පාසල් කොටු කරවල් ටිකක් මට පෙනුනා.

සිද්ධ වෙලා තියෙන දේ මට තේරුනේ එතකොටයි, සර් හිතලා තියෙන්නේ මං කොටු කරවල් නරඹන්න ඔලුව එලියට දැම්මා කියලයි. ඔය සිද්ධිය කොටු කරවල්, කාසල් වීදිය සහ කොටා රෝඩ් එක මට ඒ කාලේ ඉඳන්ම අපල බව කියන්න හොඳ සාක්කියක් !
සර් උදේම එනවා,

"ආආ..... ඉංග්‍රීසි මා.....ධ්‍යය පා.....න්තිය"

"අතුගෑවද?"

"ආආ.. කුණු අස් කරලා නෑ."

"තොපේ වැඩ බාගේටනේ,

ඉංග්‍රීසි මාධ්‍ය පාන්තිය, හෝදන්නේ නෑ, පිහදානවා විතරයි...."


නවය වසර සහ ප්‍රසාද් සර් කියන්නේ නයි වෛරයක්!
නවය වසරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය සහ ප්‍රසාද් සර් කියන්නේ ජන්මාන්තර වෛරයක්..!!!

හැබැයි නවයෙන් දහයට ගිය තප්පරේ ඉඳන් ප්‍රසාද් සර් කියන්නේ පුදුම හිතවතෙක්, ඕන වැඩකට අපි එක්ක බොක්කෙන්.

ඉතිං, සර් යනවා කියන ආරංචියත් එක්කම මේ ඔක්කොම මට මතක් වුණා.

සර්, අපි තැනකට ගිහිං ඉද්දි, නාඳුනන අයත් ලඟට ඇවිත් කතා කර කර ඉන්න අතරේ, "පුතා ආනන්දෙද" කියලා අහන තැනට අපේ හැසිරීම හැදුවේ, සර්ලා වගේ ඒ කාලේ අපිට යක් වෙසින් පෙනුන ගුරුවරු තමයි.
වැරදි වැටහීමක් නිසා එදා ඒ කාපු ඒ ගුටිය ආනන්දේ ජීවිතේ මම කාපු ගුටි දෙකෙන් එකක් උනත්, ගුටි කන්න බයටම අපි හැදුනු විදිය නම් හරි අපූරුයි.


සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි.



පින්තූර  ගෞරවේ, facebook වෙත  එකතු  කල නම නොදත් ඒ සහෝදරයාට.. 

3 comments:

  1. යකෝ ගුටි දෙකයි ද බන් කෑවේ??? උඹ ඉස්කෝලේ ගියේම නැද්ද බන්?

    ReplyDelete


  2. සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි. සර් පැන්ෂන් යනවද එහෙම නැත්නම්????

    කොයිකලේ ආනන්දෙට උගන්වන්න පටන් ගත්තේ කියලා දන්වනවද

    1975 ඔය තට්ටු 5 හා හදලා මුලින්ම අපි යනකොට [7 ශ්‍රේණිය ]නමක් තිබුනේ නැ කර්නල් ජි ඩබ්ලිව් රාජපක්ෂ ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක යටම තට්ටුවේ මෙන් ස්ටාෆ්රුම් එක එකට අනික් පැත්තේ. කුලරත්න හෝල් එක අලුතින් හදන නිසා මේන් හෝල් එක තිබුනේ ඕක උඩ තට්ටුවේ ස්ටේජ් එක අංග සම්පුර්නව තිබුනා ෆෑන් එකක්වත් නැ වටේට කොට තාප්පනිසා හොඳ ස්වභාවික සුලන්පොදක් තිබුණා.

    ReplyDelete
  3. ගුරුවරු තමයි මිනිස්සුන්ව හදන්නෙ.. හැම කෙනෙක්ටම ඉන්නවා අමතක නොකළ හැකි ගුරුමවක්.. ගුරුපියෙක්

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...