Showing posts with label හිත ගිය පොත්. Show all posts
Showing posts with label හිත ගිය පොත්. Show all posts

Sunday, September 1, 2013

පරංගියා අපෙන් කෑවෝ! තුන් විජාතික ඉල්ලං කෑම! (නොමිලේ)

      ද ඉරිදා.ගොඩක් දෙනා ගෙදර ඉන්න දවස.ඇත්තටම මේ ඉරිදා කියන දවසට නිවාඩුවක් හඳුන්වා දුන්නේ කවු ද? ඒ ගැනත් සඳහනක් අද පොස්ටුවෙන් කෙරේවි.පෝස්ටු කීපයක් ලියවෙමින් පැවතුනත් එක ගැම්මට කරලා ඉවර කරන්න වාරයක් ලැබුනේ නෑ.සමහර ඒවා හිර වෙලා,සමහර ඒවා අතගහන්න හිතෙන්නේ නෑ.මේක ටිකක් වෙනස් විදියේ කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත ඉතිහාස කතාවක්.


       1505 කියලා කියන්නේ ලංකාවේ අපේ සමාජ රටා උඩු යටිකුරු වෙන්න මුල පිරූ අවුරුද්දක්.කුනාටුවකට ගහගෙන අවුදින්  ලක් පොලවට පය ගැහුව අල්මේදා උන්නැහේ ලංකාවේ අපේ ජන ජීවිතයට ගෙනාවේ නම් හැබෑම කුණාටුවක්.හැබැයි එදා ඒ පය ගහපු භූමියම පරංගියා මුළු ආසියාකරයෙන්ම ලබන ලොකුම යුධ පරාජයට හේතුවෙන භූමිය කියලා හීනෙකින්වත් නොහිතන්න ඇතී.

         
1875-මරාදාපු තැන හෙවත් මරදාන
පරංගි හටන සමගින් නිතැතින්ම බැඳුනු වදනක්  පරණවාඩිය කඳවුර. කොළඹ කොටුවට කොටුවී අන්තිම අසරණ අඩියට වැටුණු පරංගි හමුදා බළල් මසෙන් ජිවිතේ රැකගද්දී සිංහල හමුදා රැඳී සිටි ආසන්නතම සහ ප්‍රධානම කඳවුරයි මේ පරණවාඩිය. පරණ වාඩිය කඳවුරේ සිට සැලසුම් කල කිසිම මෙහෙයුමක් අසාර්ථක වී කෙළවරව නොමැති බව ජනප්‍රවාදයේ එනවා.වීදිය බණ්ඩාර තමන්ගේ මූලස්ථානයක් කරගත් තැනක් ලෙසත් පරණවාඩිය සඳහන්.මේ අඩවියේ හිමිකාර වංශවතුන් වුනේ වාසල මුදලි රාජපක්ෂ පරම්පරාවයි. අදටත්,පරණවාඩිය ගම්මානය  එනමින් නැතත් ලංකාවේම ප්‍රසිද්ධ ප්‍රදේශයක් ලෙස කොයි කව්රුත් දන්නවා.(අන්තිමට කියන්නම්!) හරි, අප්‍රසිද්ධ ඉතිහාස කතාවෙන් අපි දැන් යමු ප්‍රසිද්ද ඉතිහාස කතාවට,හැබැයි අද කතාව කවියෙන්.අපහාසය උපහාසය වගේම වදින තැන්වලට රිදෙන්නත් මේ කවි පෙළ ලියැවී තිබෙනවා.පරංගි යුධ කාලයේ පටන් අවසානයේ මේ පරණවාඩියට අත්වූ ඉරණම ඉන් කියවේවි.

             මේ කවි පෙළ ලියවෙන්නේ මගේ මිතුරු මංගල සේනාධිපති අතින්,ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.ඉදින් මේ කවිපෙලේ පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවිය යුතුම යි.මේ අපේ කවි ගී සඳැල්ලේ ආරම්භකයා වගේම අපේ ලොකු උන්නැහේගේ කවි පෙළක්.


                 අහ්හ්! තව දෙයක්! කොන්ස්තන්තිනෝපලය බිඳ වැටිලා,ඉස්තාන්බුල් කියලා හලාල් උනාට පස්සේ පරංගින්ට වගේම කොයි යුරෝපියාටත් පෙරදිගට ගොඩබිම් මාර්ගය වගේම තමන්ගේ වෙළඳාම් අහිමි උනා.මේ මං තුමා හෙවත් අල්තයීර් උන්නැහේ( ඔරිජිනල් එකා)ලගේ වැඩ හින්ද තමා යුරෝපියන්ට ගොඩබිම් මාර්ගය අහිමි උනේ. ඒ ගෞරවය ගෞරවපූර්ව මහත්වූ මෙව්වා එක පෙරදැරිව (අල්තයීර් වෙනුවෙන්) මේ මං තුමාට පුද කරන්න ඈ.. :D


සුද්ද   නගරෙ අරාබියාගෙන්   ගන් න
යුද්ද   කළා පාප්ගේ හමුදා   ගොන් න
සිද්ද  වුනේ සතුරා හට        පරදින් න
සද්ද  වහන් ඉන්නව මේ අය   ඔන් න

මසට  දාන්නට දැන් දුරු මිරිස්        නැ තී
රසට   නොවේ කල් තියාන කන්න නැ තී
කන්ට  නැතිව දරුවෝ හාමතේ     වෙ තී
කුසට   පහල වූ නුවණක් එයින්       එ තී

මහා  රටක් ඉන්දියාව නමින් ඇතේ
එහා  ඉමේ අරාබියට සතුරු  වෙතේ
මහා  රජෙක් ජෝන් කියා රජ කරතේ
වහා  ගියොත් යුද්දෙට ඔහු සහය දෙතේ

පාප්ගේ  සවනෙ වත්කළ ඒ මී බින්දු
සේප්පු  බින්දා පල්ලියෙ බිම    රැන්දු
තාප්ප වට්ටා සතුරට ජය       කැන්දු
පාප් සිතන්නේ ගැයුමට ගී        සින්දු

රවටා   ගෙන  පල්ලියෙ රත්තරන් අරන්        ගොස්තරේ
වෙරදා ගෙන  ගොඩ නගන්නේ නැව් හදනා    සාස්තරේ
බිඳදා  ගෙන  හැම බාදක සොයා ගන්නෙ          සූත්තරේ
පදවා  ගෙන  ගොස් සොයන්නෙ ඉන්දියාව හීන්    සැරේ


වැරදී ලා   ඇමෙරිකාව ඉන්දියාව යැයි       සිතාලා
නම දීලා   මිනිස්සුන්ට රතු ඉන්දියානුවො කියාලා
පැටලීලා   සිදු වූවත් එවන් වැරදි ඉඳ           හිටලා
පාවී  ලා   අහම්බයෙන් ඉන්දියාව හමු           වීලා


එම    නැවේ නැව් පති     තුමා
නම   වස්කෝ ද            ගාමා
සැම   සතුටු සිත         කෝමා
තම   හඬින්             දක්වම්මා

"ක්‍රිස්තු අදහන ජෝන් රජුගේ පිරිස යි
කුරුඳු විකුණන ගොවියන් දැක්ම   සතුටු යි
සයුර බිඳගෙන සැපත් වූයේ          එනිස යි
වස්තු අරගෙන යන්න නම් තව කල්   ය යි"

මහා මුහුද පරන්ගියගේ සපත්තුවට            පෑගෙන   වා
ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවට අහු       වෙන වා
කණ කොක් නද හෙළ ගුවනේ ඒ මේ ඇත රැව් දෙන වා
පෝදා සඳ රාහු ගිලී පරංගියා මෙහි                   එන වා

එක් අතකින් බයිබලයි බයිනෙත්තුව අනිත්      අතේ
වයින් ගඳින් ගෙරි මස් ගඳ නෑ යන්නේ හපුටු     ගතේ
අසරණ බිලිඳුන් අමුණයි බයිනෙත්තුවේ තුඩග පුතේ
විහාරයන් වනසාලා පල්ලි හදයි හතර             අතේ


දියුණු යැයි සම්මතව        ඉන්නා
මහත්මා යයි කියා           ගන්නා
මිත්‍යාව ඇයි ඇත්තෙ    පෙන්නා
සිංහලේ හයි එසේ         කන්නා

සිහි කල යුත්තකි මෙහි ලා වන්නේ
නැවකට පරංගි පනහකි    එන්නේ
නිසි අණ දීමයි විනයයි       දන්නේ
කපටි උපායෙනි රටක්   නසන්නේ

පරන්ගියාගේ සිවල්          උපා
මිහිබට හෙළයට නිරය     දපා
නොපනත් කම් ඇත සිනා පපා
අසිපත ගත යුතු වාද         එපා

සීහල විරුවන් එසේ      සිතා
මරුවාටත් මරු වෙමුයි   පතා
කඩු ගාමුයි ඒ නපුරු      සතා
සතුරට හටනට කළා   කතා

රණ දවුලේ හඬ            නංවාලා
කඳවුරු බැඳුමට තැන් සොයලා
ජය බිම සේසත්           ඔසවාලා
විජය කොඩිය ඇත     ලෙලදීලා

සිංහලයන් පන්නමුයි    කියා
පරංගියා එහි පිනූ         නියා
සතුරාගේ හිස අහස   සොයා
හෙළ අසිපත වැද කැපී ගියා

පරංගි හිස් වැහි බිඳු       වැන්නේ
හෙළ අසිපත විදිලිය    දෙන්නේ
දෙගොඩ තලා ලා     ගලමින්නේ
සුදු වැදි ලේ ගඟ     වෑහෙන්නේ

මරා දාපු තැන අද            මරදාන  යි
සීහල කඳවුර හෙටත් ජය      බිම  යි
විරුවන් බිහිවෙන සාර පින් කෙත යි
ආනන්දේ කවදත්           ආනන්ද යි

=======================================================

සිඟාල සිවල් කැනහිල් වැනි නම්  බෝමා
නරියට යෙදෙයි උන් හැම නරියන් සේමා
හම සුදු වුවත් හදවත කළුවන්       බෝමා
තුන් ජාතියක් ඒරොප්පෙන් මෙහි    ඒමා

පරංගි ලංසි ඉංග්‍රීසින් නම්              වන්නේ
කල්කිරියාවෙන් එක ලෙස  හැසිරෙන්නේ
ඉන්ගිරිසියා අවසානේ           ජයගන්නේ
රට වනසාලා සාරය එහි ගෙන    යන්නේ


පුරවා ගන්නට විගහට සුද්දගේ          මල්ල
පැල කෙරුවා මෙහි ගෙනවිත් තේ     දල්ල
දල්ල නෙලන්නට ආ ලෙච්චමී        කෙල්ල
කොටි පැටියෙක් වැදුවා දෙයියන්     පල්ල

සුළු වරිගේ තෝරා බේරා             ගන්නේ
මිෂනාරීන් උන් හට ඉගෙනුම     දෙන්නේ
මහ ජාතිය සුලුවරිගෙන් බැට        කන්නේ
හැමදා යුද ගැටුම් රට තුල ඇති   වෙන්නේ


එයයි සුද්ද රට රට වල කල       හදිය
ලංකාවටත් දුන්නා රස කර        සුදිය
සීහල පැටව් හට නෑ         අධ්‍යාපනය
කොටිපැටියාට ඇත ඉගෙනුම් අවසරය

මුදල් හදල් ඇති බොදු මව්පියො    දෙන්නා
සුද්දගෙ පාසලට පැටියව          දක්කන්නා
මිෂනාරියා වැඩ කිඩ හොඳ හැටි  පෙන්නා
කළු සුද්දෙක්ව හදලා එලියට          දුන්නා

ඉංගිරීසියෙන් කතා කරනවා කලිසම් අඳිනා           මහත්තුරු
කලිසම උඩහින් සරමක් ඇන්දා ඉංගිරිසිය බැරි      මහත්තුරු
ගිණි මද්දහනේ ටයි පටි බැඳගෙන දාඩිය දාගෙන   මහත්තුරු
සුද්දගෙ පදයට අඩිය තියනවා මේ හැම කළු සුදු    මහත්තුරු
රු 2000 සමරු කාසිය


මේ විපතින් ජාතිය ගලවා   ගන්න
ඕනේ අපේ පාසල් මෙහි අරඹන්න
හෙළ බොදු වියත් වැට එය සිතුවා ඔන්න
සීහල ගමෙත් හැදුනා පාසල මෙන්න

ගුණානන්ද හිමි තැනු පාසල්      පොකුරේ
මුල් පාසල ගුණානන්ද විය          මිතුරේ
වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ
හිමි ඉල්ලීම මත වෙනසකි ඒ       අතරේ
ආනන්දය යන නම එලෙසින්     පැතිරේ

  එදා පරන්ගියාව හිස් ලූ ලූ අත එලවූ අවි ආයුධ සන්නද්ධ යුද්ධය,පසු කාලීන ඉංගිරිසි ආණ්ඩු ක්‍රමයේදී වෙනස් මුහුණුවරකට හැරෙන්නට පටන් ගත්තා.අධ්‍යාපන අයිතිය හිමි කර ගනිමින්,හෙළ බිම වෙනුවෙන් වියතුන් බිහි කර ගැනීමේ අසීරු ,දිගු කාලීන මෙහෙවර වෙනුවෙන් පැරණි පරණවාඩිය කඳවුරු බිම වෙන් වුනා. දහනම වන සියවස අගභාගයේදී එම රණ භූමියේ හිමිකරුවා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන් එකී ජය බිම ආනන්දය ගොඩ නැගීම වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්නේ අන්න ඒ නිසාමයි. එදා පරණවාඩිය කඳවුර, යුධ මූලස්ථානය,පසුව පරණවාඩිය ගම්මානය ආනන්දය නම් වූ තක්සලා බිමක් බවට පත් වෙන්නේ ඒ විදියටයි.පරංගියා මරා දැමු මරදානක් අද තිබුනත්,පරණවාඩිය නම ඉතුරු නොවුනේ එලෙසින්.නමුත් අදටත්,පරණවාඩිය සෙන්ට්‍රල් එක විදියට ආනන්දේ කොල්ලෝ තමන්ගේ ඉස්කෝලේ හඳුන්වන්නේ හරිම ආඩම්බරෙන්.


නමින් ආනන්දේ
ගෙනෙයි ආනන්දේ
සදයි ආනන්දේ
බෙදයි ආනන්දේ..
සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක









Saturday, June 1, 2013

කවිය නුඹ.. දොරට වැඩුම අදයි..



මිතුරෙකුගේ කවි පොතකට පෙර වදනක් එක් කරන්න කියන ඉල්ලීම නිසා කරූ කොලුවාට ටිකක් පුදුමයි. "ඇඃ මං මොනා කියල  ලියන්නද හප්පේ" කරූ කොලුවා කල්පනා කළා.කොහොමින් හරි අන්තර්ජන්ජාලෙන් පිටපතේ නිර්මාණ කීපයක් ගෙන්නාගෙන බැලුවාම කරූටත් මාර හැපී ඈ.. හිතට දැනෙන අදහස් ටික වචන කීපෙකට ගොනු කරලා පෙර වදනක් සපයා දෙන්න කරූ පොරොන්දු වුනා.අපේ මේ කිවිඳිය කොළඹින් බැහැර ඉන්න නිසා ජාතික පුස්තකාලෙන් ISBN අංකය වෙන්කර දුන්නෙත් මේ සත් ගුණවත් ඉලන්දාරියාම තමා. මේ කවිකාරි වෙන කෙනෙක් නෙවේ, "මොනරු" නවකතාවට බ්ලොග් ගඩොල් බඳින  අරුණි කළුපහන. ඉතිං අද දවසේ දොරට වැඩියේ ඇයගේ කුලුඳුලේම එලි දකින කාව්‍ය සංග්‍රහය වන "කවිය නුඹ-සුළඟ සේ විත්"


පෙරවදන...


  අරුණි කළුපහන සොයුරිය විසින් පබඳින්නට යෙදුන "කවිය නුඹ" කාව්‍යමය සිත්තම වෙනුවෙන් වචනයක් එක් කරන්නේ ඉමහත් සතුටකිනි. මව්කුස පටන් වෘධ විය අවසානය දක්වා ගැහැණියකගේ දිවිය සිසිර,වසන්ත,ගිම්හාන,සරත් යන සෘතු විපර්යාස තුලින් විනිවිද දුටු කාව්‍යකරණ ආයාසයක් ලෙස කවිය නුඹ නිර්මාණ පෙළහර හැඳින්වීමට පුළුවන. කවිය නුඹ සිරස තුලින් ඇය ගම්‍ය කරවීමට උත්සහ දරන ගැහැණියකගේ ජිවිතයම කවියක් ය යන පණිවුඩය ඇයටම හුරු ආරකින් සහෘදයා වෙත ඉදිරිපත් කිරීමට අරුණි සමත්ව සිටින්නී ය.මනා සංකේතාත්මක යෙදුම්වලින් පිරි ඇයගේ නිර්මාණයන් භාව රූප ගොඩනංවමින් නිර්මාණයේ යෙදෙන අතරතුර ඇය ගමන්ගත් පථය ඔස්සේම සහෘදයා කැටුව යාමට සමත්ව තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.
   කවිත්වය යනු උපතින් හිමි වන්නක් මෙන්ම නිතැතින් නිරන්තරයෙන් හුරු කොට ගත යුත්තකි. වදන් මගින් සහෘදයා තුල සිත් රූ මවාලිය හැකි අපූරු හැකියාව ඇය තමන්ගේ නිරන්තර හුරුව කොටගත් බව මෙම නිර්මාණ එකතුව තුලින් කදිමට පෙනී යයි.  විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ කඩඉම ජය ගැනීමට වෙර දරන කාර්ය බහුලත්වය අතරතුර හුදෙක් තමන්ගේ ආත්මතෘප්තිය වෙනුවෙන් ලියවෙන ලද මෙම නිර්මාණ ගොන්න ග්‍රන්ථයක් ලෙස පාඨකයා වෙත සමීප කරවන මොහොත වෙත දායක වන්නට ලැබීම මට සතුටු කාරණයකි.අණුක සුත්‍ර ශ්‍රිත ප්‍රස්තාර අතර සිරවී නොසිට ලද විවේකයන් අතරතුරදී  තව තවත් මෙවන් රසබර කවිකම් කිරීමට අරුණි කළුපහන සොයුරියට දිරිය ශක්තිය ලැබේවා යි මම ඉතසිතින් ප්‍රර්ථනා කර සිටිමි. 

බී.පී.කරුණාරත්න
ලේකම්
අනද කවි ගී සඳැල්ල
ආනන්ද විද්‍යාලය-කොළඹ 10.
ප.ලි. උපුටා ගැනීම් පසුවට බලාපොරොත්තු වන්න. ( අරුණිගේ කොපි රයිට් මෙව්වා එක ඇපෘ වෙන්න එපායෑ)

Saturday, May 25, 2013

සුළඟ වගේ ඇවිදින්.. සුළඟ සමග ඇවිද ගියෙමි..


 දෙවන හැරී බැලුම..

සුළඟ වගේ ඇවිදින් පොත කියවපු උනුසුමෙන්ම දිනේෂ් කොළඹගේ සොයුරා( ඔහුත් සහෝදර ආනන්දියෙකු බැවින් එසේ අමතනු කැමැත්තෙමි) වෙත ඊයක් යැවූ බව කරූගේ සිත් රූ එක්ක එකතු වෙලා උන්න ඔයාලා දන්නවා. සමනලුන් වගේ කාලයත් එක්ක පියාඹා ගිය පාසල් කාලයේ මතකයන් නෙතට කඳුලක් කැඳවාගෙනෙමින්ම මතක් කර දුන් නිර්මාණයක් ලෙසයි "සුළඟ වගේ ඇවිදින්" මට දැනුනේ.. ඉතිං ඒ මතකයන් එක්කම මගේ හදවතට සුළඟේ සිසිල දැනුනේ කොහොමද කියල තමයි ඒ ලිපිය. ඔන්න ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න.

ලිපිය ලියවෙන්නේ පොත ගැන උනත්,ඔන්න කරූ නම් කීයටවත් කතාවේ සාරාංශය සදහන් කරන්න ලැස්ති නෑ.කතාව ගලා යන්නේ කොයිබටද කියලා පොත කියවලාම දැනගන්න කියලයි කරූ ආරාධනා කරන්නේ.ළඟකදී මේ පොතේ අලුත්  ප්‍රින්ට් එකකුත් එලියට ආවා,හොයාගන්න බැරි උනොත් pdf ෆයිල් එකක් විදියට මෙතනින් බා ගන්නත් පුළුවන්.

  සුළඟ ලියැවිලා තියෙන්නේ හරිම සරල භාෂාවකින්,හරියට මේ පොස්ටුව ආරම්භයේදී කොටන්න හිතපු ශෛලිය වගේ තමයි. උසස් පෙළ කාලේ ගත කරන කොලු රෑනකගේ විත්ති කියන්න හොඳම භාෂාව දිනේෂ් විසින් තෝරාගෙන තියෙනවා.ඉතිං මේ පොත මගේ හදවතට මේ තරන්ම ලං වෙන්න හේතු වුන හේතු මතක සටහන් ටිකක් මම මේ ලිපියට එක් කරන්නම්.

  කතාව ගොඩ නැගෙන්නේ කොළඹ නගරය,නුගේගොඩ මහරගම ප්‍රදේශය වට කරගෙන.කතාවේ ප්‍රධාන පිරිමි චරිත වන මාලින්ද,බින්දු,කොටා,ගිහාන්, අමිල ඉගෙන ගන්නා පාසල තියෙන්නේ කොළඹ නගරයේ මරදාන අවට කියලා හුරු පුරුදු ඕනෑම කෙනෙකුට දැනී යනවා. නමුත් දිනේෂ්ගේම වචනයෙන් කිව්වොත්, "එක මරදානේ ඉස්කෝලයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්" නමුත් ආනන්දියකු වුන දිනේෂ්ගේ ආනන්දනීය මතකයන් ඔහුටත් දැනී නොදැනීම මේ නිර්මාණයට එක් වන්නට ඇතී.සමනල් සේයාවෙන් පාවී ගිය පාසල් කාලයේ සුන්දරත්වය ආනන්දයෙන් විඳි,නොවිඳි ඕනෑම කෙනෙක්ට සමීප කරවන්න දිනේෂ්ගේ ඒ ආයාසය හේතු වන්නටත්  ඇතී.

  පොත ගැන දැනුන අදහස්වලින් බිඳක් එක් කරලා යවපු ඊයට පිළිතුරු දෙන්න දිනේෂ් සහෝදරයා කාරුණික උනා. පොත කියවන විට රචකයාගෙ ස්වභාවය ගැන හිතේ ඇඳුනු චිත්‍රය ඒ විදියටම රැකුන පිළිතුරක් මට ලැබුනා කිවොත් මම හරි.ඔහු තමන්ගේ පෞද්ගලිකත්වය ඉහලින්ම අගය කරන නිසා පාඨක ඔබටත් වැදගත් වේ යයි හැඟෙන අදහස් කිහිපයක් පමණක් මම එයින් උපුටා පල කරන්නම්.


පොත කියවන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක ඇත්ත කතාවක්ද කියන එකනේ. මෙන්න ඔහු ඒ වෙනුවෙන් ලබා දෙන පිළිතුර. "බුද්ධි, මම කවදත් මගේ  නිර්මාන එලියට දාලා හැංගිලා ඉන්නේ. මොකද, මම තදින්ම විශ්වාස කරනවා  වඩාත් වැදගත් නිර්මාණය මිසක් නිර්මාණකරුවා නෙමෙයි කියලා. සුළඟ‍, අහසේ ඔහේ පාවෙන ලස්සන සරුංගලයක් කියලා හිතන්න..සරුංගලේ ලස්සන බලන්න..., සැහැල්ලුවෙන් ඒකත් එක්ක පාවෙන්න.ඒක ඇත්ත සරුංගලයක්ද? එහෙම නැත්නම් මායාවක්ද?,  ඒක හැදුවේ කවුද...?,  ඒ ඇයි ? කියලා හොයන්න ගියොත් අපිට සරුංගලේ ලස්සන බලන්න බැරිවෙනවා.
හැබැයි එහෙම විස්තර හොයන්න හිතෙන එකත්, ඒ කුතුහලයත් සාමාන්‍යය දෙයක්. මගෙන් පොත බලපු හැමෝම වගේ ඔය ප්‍රශ්ණය අහනවා." 

ඇත්ත. සුළඟ සමග පියඹා යන්න,ඒ සුළගේ සිසිල විඳගන්න ඒ සුළඟ ඇත්තක්ම වෙන්න ඕනෑ නෑ.සුළගේ සිසිලස අපට සමීපව දැනෙනවා නම්,ඒ සිසිලස අපට හුරු පුරුදු නම් අපට ඒ සුළගේ ඉගිලෙන සරුංගලයේ ලස්සන දැනගන්න පුළුවන් වේවි. ඉතිං ඔහුට මම මේ වගේ පිළිතුරක් ලබා දුන්නා."සරුන්ගලයේ නිදසුන මම එකසිතින්ම පිලිගන්නවා අයියේ.ඒ සරුංගලය මට විශේෂයි,මොකද කිව්වොත් සුළඟ වගේ පා වෙලා යන ඒ සරුංගලය මීට අවුරුදු දහ අටකට කලින් පාවුණේ මගේ සරුංගලය දැන් පාවෙන අහසේම වුන නිසා,ඒ සරුංගලේ සමහර රැලි,පාට මගේම සරුන්ගලයේත් තියෙන නිසා.. :) සුළඟ වගේ ඇවිදින් පොත තවත් දස දහසක් දෙනාගේ සිත්වල රැදේවි,සුළඟ වගේ ඉවතට නොයා ම"

    වසර දහ අටකට එහා පාවුණ ඒ සරුන්ගලේම හැඩය ගත්ත මගේත් සගයන්ගේත් සරුන්ගලවල පාට ගැන මතකයන් මේ සටහනට එක කරන්නම්.

"ඒයි.. අද ඇප්ලයිඩ් සර් නෑ! "
කොහේදෝ ඉඳල ආපු ජැකා පන්තියටම කෑගැහුවා.
"නියමයිනේ. ලාස්ට් පීරියඩ් දෙකම සොමියේ ඉන්න පුළුවන්."
කොටා කිව්වා.
#35 පිටුව
(12 B4  ක්ලාස් එක,කැමරාව ජැකාගේ!)





මේ!
මට එහා පැත්තේ ඉඳපු කෙල්ලක් කතා කළා
මටද? මම හැරුනා
ඔයාගේ නම මාලින්දද?
ඔව් ඇයි?
ක්ලාස් ඉවර වෙලා මාව හම්බු වෙන්න පුලුවන්ද?
ඇයි?
එතකොට කියන්නම්.
මාව කරකොල අතැරිය වගේ උනා.
ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ ?
#45 පිටුව

(අනද අබිමන් ප්‍රදර්ශනයේදී,-කරූ)
මේ  පීරියඩ් එක ඉවර උන ගමන්ම පනිමු එලියට.
ඊට පස්සේ උඹගේ ලව් පාටිය දීපං..
නැත්තන් ඕවා කල් දාගත්තොත් ජීවිතේට හම්බු වෙන්නේ නෑ..
#166 පිටුව
#cake #cake#cake# නුගේ හන්දිය!

කට් එක
දෙල්කඳ හන්දිය!

අරුණි මගේ දිහා බැලුවා.
මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන
  176 කරගම්පිටිය බස් එකට අත දැම්මා
#174 පිටුව

(අපි 176කට අත දාන්න බලාගෙන,මරදානේ)

"අපි ගැන්සිය දහයක් විතර පිට්ටනියෙන් එලියට ආවා.
කොටා,අමිල,මම,අසංග බිංදු...
කට්ටියම නැග්ගා බොරැල්ල සුපර් මාකට් එකට..
අමිල ගෙනාපු ඩ්‍රම් එක ගහන්න පටන් ගත්තා.

පාරේ නටපු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලනුව උඩින් ඇර සොයිසා.. ලනුව උඩින් ඇර...
හායි හායි හිප්පි හිප්පි හායි...

#116 පිටුව



අපි දෙන්නා පාරෙන් එහා පැත්තට ආවා.
අරුණි අක්කගේ  යාළුවො ටික එතනම නැවතුනා,බස් එකේ නගින්න.

"ටවුන් හෝල් ගිහින් 138ක නගිමු නේද?"
"හා.."
#91 පිටුව
(වෙනදට 138 අල්ලන්න ටවුන් හෝල් එන අපි,
පාන්දර දෙකට පෝස්ටර් අලවන්න ඇවිත්)







"අන්ජලී මේ හරියේ නිදහසේ කතා කරන්න
 පුළුවන්  එකම තැන පාක් එක විතරයි.
#60 පිටුව

(පැරඩ් ගිහින් අන්තිමට යන්න තැනක් නැතුව විහාරමහදෙවියට සෙට් උන අපි-12 වසර) 











































    මතකයට නගන්න,සුළඟ සමගින් මතකයෙන් අවදි වෙන්න තියෙන සිහිවටන බොහොමයි. ඒ මතකයන් එක්කම සංවේදී වන හදවතකින් මෝදු වන කඳුළු බින්දු ගැන දිනේෂ් අදහස් දැක්වුවේ මෙහෙමයි.සුළඟ කියවලා දෙනෙත් තෙත් වුනා එකගැන මට කියන්න තියෙන්නේ, මාලින්ද සහ අරුණි ගැන දුක් වෙන්නේ බොහොම සංවේදී හදක් තියෙන අය කියලා. මට හිනායන්නේ නැති, හැඟීම් දැනෙන්නේ නැති, ඇඬෙන්නේ නැති කතා මම ලියන්න ආසා නෑ. මට දැනෙන දේ අනිත් අයටත් දැනෙන එක ගැන නම් අවංකවම සන්තෝසයි. (සමහර වෙලාවට ස්කෝලේ වැරුද්දක් වෙන්නත් පුලුවන් :-) ).  සත්තකින්ම ඔහුට දැනෙන දේ,ඔහු සන්නිවේදනය කල දේ හදවතට සමීප වීම වෙනුවෙන් මට තිබු සුදුසුකම අප දෙදෙනාගේ ඉස්කෝලේ වරද නම් නොවේ! කියමනට කියන "හතුරෙක්ටවත්වෙන්න එපා වර්ගයේ ඛේදයකට මුහුණ දෙන මාලින්ද ගැන හදවතක් ඇති ඕනෑම අයෙකු සංවේදී වේවි.ඒ වෙනුවෙන් කඳුලක් හලාවී.එහි ඇති රහස නම් ඔහු මේ කතාන්දරය පාඨකයාට ඉදිරිපත් කරන සමීප වූ භාෂාවයි.එය කියවන විට දැනෙන්නා වූ රසය ඨාකුරයන්ගේ ගෝරා කියවන විට දැනෙන රසය හෝ විභූතිගේ අරණකට පෙම් බැඳ කියවන විට දැනෙන රසය ආකාර නොගත්තත් සුළඟ පොතද ඔබ කියවූ ආදරණීයම පොත් ගොන්න අතරට එකතු වනවා ඇතී.

"බලපන් මේ සුමානෙම අධ්‍යාපනේ කියල සත පහක දෙයක් කලේ නෑ.
අදවත් පාඩම අහගන්නවා කියල ආවේ.එදාට සර් නෑ.
යන්ද ලයිබ්‍රි? පාඩමක් දාන්න."
#14 පිටුව
⬛පබ් එක 


කතාව මේ තරමටම හිතට අල්ලන්න තවත් එක හේතුවක් උනේ සිදුවීම් මාලාවේ තියෙන තාත්වික බව. සුළු සිද්ධීන් එකට යා කරමින්,ප්‍රධාන සිද්ධි කිහිපයක් අතරේ දෝලනය වෙන මේ කතාවේ දෙබස් වලත් තියෙන්නේ හිතාගන්න බැරි තාත්වික බවක්.කතාව ගොඩ නැගෙන පරිසරයේ තිබෙන සමීප බවත් එක්කම ඒ පරිසරය කතාවේ ගලා යාමට දක්වා ඇති සහයෝගය නිසාම,මෙහි හුදු කල්පිතයකට එහා ගිය සත්‍යතාවක් ඇතැයි ඕනෑම අයෙකුට දැනෙයි.සුළඟ සත්‍යක් යයි මාද ඇතුළුව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නට පෙළඹෙන්නේ ඒ නිසාම විය යුතුය.


ඔබෙ පාසල් දිවියත් සුළඟ වගේ පැමිණ ගොස් ඇතී. නැතිනම් සුළඟ සේ දැවටෙමින් තවමත් ඔබ ලඟම ඇතී.නමුත් දිනයක එය සුළඟ සේම නික්ම යාවි.කාටවත් නොදන්වාම.පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඔබට මතක් කර දීමට සුළඟ සමත් වේවි.සුළඟ සමග ඇවිද යන්න. එය රස විඳින්න.එය මගේ මෙන්ම ඔබෙත් පාසල් මතකයන් අවදි කරනවා සත්තයි.ඊළඟ පොස්ටුවෙන් හමු වෙමු.

Saturday, May 18, 2013

සුළඟ වගේ ඇවිදින්.......

                      *දිනේෂ් කොළඹගේට ඊයක් යැවූවෙමි.























ඔබ දිනේෂ් කොළඹගේ ය  යන විශ්වාසයෙන් යුතුව ලියමි.මම පොත කියෙව්වේ ඊයේ.පොත කියවද්දී හිතේ ඇඳුන පසුබිම ආනන්දය මිසක අනෙකක් නොවේ.පයින් ටවුන් හෝල් ඇදලා 138 අල්ලන එක,තාප්පේ තරණය, ධවලෙන් තොසේ පාරක් දාන එක,පපට්ලගේ සරඹ,පබ් එකේ වල බැහිල්ල,නුගේගොඩ නටන පිස්සු අදටත් පොදුයි. කතාව හදවතට මේ තරම ලං වුනේ ඒ නිසා වෙන්න ඕනෑ. මාලින්දලා පිට්ටනිය දෙසින් පැන ගිය වසර 50ක් පමණ පැරණි තාප්පය මීට වසර දෙකක් පමණ වනතුරුම ආනන්දය වට කර තිබිණ.අද ඇත්තේ එහි කොටසක් පමණි. පොතක් කියවලා ඇහැට කඳුලක් අන්තිමට ඉනුවේ මම 7 වසරේදී,විභූතිභූෂණගෙ අපරාජිත ජිවිතයක් කියවලා, ඊට පස්සේ ඊයේ.හේතුව,සුළඟ වගේ ඇවිදින්..

කතාව කියවා අවසන් වූ මගේ සිතේ රැඳී පැණ නම් බොහොමයකි.නමුත් මා ඒ පිළිබඳවද ඔබෙන් ප්‍රශ්න කර වෙහෙස කරවීමටද අදහස් නොකරමි. හුදෙක් දැනුවත් කිරීම සඳහා ඒවා සඳහන් කිරීමට කැමැත්තෙමි.බ්ලොග් අවකාශය තුල මෙම පොත ගැන සොයා බැලීමේදී මෙම පැණ ඇත්තේ මට පමණක් නොවන බවද දැනගතිමි.නැගුන ප්‍රධානතම පැනය නම් මෙය සත්‍ය කතාවක්ද යන්නයි.එසේ වුවද නොවුවද මම මෙකි කතාව සත්‍යක් යයි විශ්වාස කිරීමට කැමැත්තෙමි.එය මම කතාව තුල විඳි රසය ඔපවත් කරවයි.එසේම තවත් පැනයක් වන්නේ මෙය සත්‍ය කතාවක් වුවද එය දකින අවසානය පවා සැබෑ ලෝකයේ සිදු වුවක්ද නැති නම් අවසාන කොටස ප්‍රති නිර්මාණය කරන ලද්දක්ද යන වගයි.සැබවින්ම අරුණි මිය නොගියානම් මම කැමැත්තෙමි.නමුත් කතාව හා සැබෑව අතර වෙනස අරුණිගේ අකමැත්ත නොතකා ඇයව සමන්ට විවාහ කර දීම නම් හා එසේ සිදු වී හෝ ඇය ජීවත්ව සිටිමම යන්න යැයි විටෙක මට සිතෙයි.එසේම අරුණිගෙ මරණයෙන් පසුව මාලින්දගේ ජීවිතය කෙසේ ගලා ගියේදැයි යන්න මට කුහුලකි.

මෙය මා කියවූ ප්‍රථම සිංහල ආදර කතාවයි. ජිවිතයේ මුල්ම වතාවට ආදර කතාවක් කියවීමට වයස අවරුදු දහඅටක් අවසාන වනතුරු හිඳිම ප්‍රමාදයක්දැයි මම නොදනිමි.කෙසේ හෝ මෙම නව කතාව ඇතුලත හමු වූ සිදුවීම් හා පසුබිම් මෙන්ම චරිතද,හැබෑ ලෝකයේදී මා ආනන්දයේ ගත කල දිවියේදී හමු වී තිබීම මෙය මගේ හදවතට වඩ වඩාත් සමීප කරවීමට සමත්විය.මාලින්ද,බින්දු,අමිලයා,ගිහාන්.... ඔව්හු අප අතර අදටද සිටිති.අන්ජලීලා,ඉසංකාලාද අප අතරම සිටිති.අදටත් 138පාසල් බස් රථය උදෑසන 6.45 වන විට අනිවාර්යෙන්ම මහරගමට ලඟා වෙයි.7.45වන විට විහාරය අසල නැවත්වු විට බින්දුලා,මාලින්දලා සීසන් අතට ගෙන පපට්ලාට පෙන්වා මාරු වෙති.හැමදාම වරද බස් ඩ්‍රයිවර්ට පැටවෙයි.සුළඟ සේ ඇවිදින් කතාන්දරය කතාන්දරයක් සේ මට නොදැනෙන්නේ එනිසා විය යුතුය.එසේම මා රස විඳි එක්තරා ගීතයක්ද මෙම නවකතාවේ තේමාව ඔස්සේ ගලා යන්නේ නොවේදැයි මට සිතේ.එම ගීතය තුල සුළඟක් වගේ ඇවිද... වැනි පදයක් එක්ව තිබීමෙන් මෙම නවකතාව අරබයාම ලියවුනක් දැයි මට සිතෙයි. එම ගීතය මෙසේය.


රෑ අඳුරේ තනි රකින
තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගේ ලෝකයේ

සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
පුද දුන්න කුලුදුල් සෙනේ
මිහිදුම් වලා
සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්න ප්‍රේමාදරේ
සසරේ සදා
පෙරුමන් පුරා
හමුවන්න මල්මාලියේ

ගීතය මෙතැනින්..

එම ගීතය පුරාවට කිසිදු වදනකින් එක එල්ලේ මල්මාලිය මිය ගිය වගක් නොකියවුනද,එහි තාලය ඔස්සේ මට දෑනී ගියේ එකී මල්මාලිය මියගොස් ඇති බවක්ය.එය මට දැනී ගියේ මා පොත කියවීමටද පෙරාතුවය.

 ඔබගේ තවත් නිර්මාණ වේනම් ඒවා ගැනද දැනගැනීමට කැමැත්තෙමි.ඔබ කල එළියේ බැබලීමට අකමැති අයෙකු වශයෙන් මගේ සිතේ අදහසක් ගොඩ නැගී ඇතත්(එය එසේ නොවේනම් සමා වන්න) ඔබ මෙම ලිපියට ප්‍රතිචාර දක්වනු ඇති සිතමි. මගේ බ්ලොග් අඩවියේද පොතෙන් මා විඳි රසය ගැන ලිපියක්  පල කිරීමට සිතා සිටිමි.http://karuugesithroo.blogspot.com/ ඔබ එයට දිනක පැමිණ බලනු ඇතැයි සිතමි.

ජය වේවා!
බී.පී. කරුණාරත්න.
ආ' 2013


















Thursday, April 11, 2013

මනුසතා..











ලෝකයේ පවත්වන්නා වූ
අපමණක් සතුන් අතරෙහි
ලෝකයක් නසන්නා වූ
එකම එක ඒ සතා...










උපුටා ගැනුම: අකාලිකෝ වෙළුම
                      එකසිය විසිහයෙන් දහතුනක්
                         මංගල සේනාධිපති

පොත ගැන වැඩි විස්තර, http://karuugesithroo.blogspot.com/2013/03/blog-post_31.html#comment-form






Sunday, March 31, 2013

'එකසිය විසිහයෙන් දහතුනක්'












  අද මට විශේෂ ගමනක් යන්න සිද්ද වුනා.. නිතර දෙවේලේ ගමන් බිමන් යන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක් වුනත් අද මා මේ ගමන ගියේ  බොහොම සතුටෙන් ,කැමැත්තෙන්.. ගමනේ අරමුණ මගේ  හිත මිත්‍ර මංගල සේනාධිපතියන්ගේ  "එකසිය විසි හයෙන්  දහතුනක්' සොඳුරු කවි එකතුව එලි දැක්වීම  අදට නියමිතව  තිබීම. දහසක්  බාධක  මැද වුනත්, ඒ සොඳුරුතම  කටයුත්තට ගම්පහ තරුණ  බෞද්ධ සමිති ශාලාව  අප වෙනුවෙන් වෙන්  කරගන්නට හැකි වුණා.. සුපුරුදු ප්‍රමාද දෝෂය මා සතු උනත්  උදේ  9 වන විටම එහි ලගා වීම ගැන මමත්, මගේ  සුමිතුරු  මංගල සේනාධිපතියනුත්  සතුටට පත් වුණේ නොමසුරුවයි.. ලිපියේ අරමුණ මගේ අද දින චර්යාව ඔබ හමුවට පත් කිරීමට නොවුනත් , මංගල ගැන පුංචි වචන ටිකක් මගේ  අන්තර්ජාල සටහන වෙත එක කිරීමටයි.

  කවිත්වය කෙනෙකුට උපතින්  උරුමවන්නක් මෙන්ම නිතැතින්  නිරන්තරයෙන්  හුරුකොට ගත යුත්තකි.. උපතින් තමන්ට හිමිවූ කවිත්වය නිතැතින්ම  හුරුව කරගත්  මංගල සේනාධිපතියන්ගේ  කාව්‍ය කරණයේ අග්‍රපලය  "එකසිය විසිහයෙන්  දහතුනක් " කාව්‍ය  එකතුව බව මගේ හැඟීමයි.. වසර එකසිය විසියහයක්  ආයු විඳි අනද මෑණියන්ගේ සෙවනෙහි  ගත කල දහතුන්  වසරක  සොඳුරු මතකයන්  පුනරාවර්ජනය කරවන  එම  කාව්‍යකරණ ආයාසය  සැබවින්ම  ඕනෑම ආනන්දියකුගේ  නෙතට කඳුලක්  නැංවීමට සමත් ය.. ගත කල දහතුන් වසර පුරාවට  සිතට ලං වූ  සොඳුරුතම මතකයන් මෙන්ම ,එකල සුළු ලෙස දැනුනද  වසර ගණනක පුනරාගමනයකින්  පසුව සොඳුරුතම හැඟීම් දැනවීමට සමත්  මතක සටහන් සමුදායක්  කැටි කොට ගනිමින්  කාව්‍යය කරණයේ යේදී තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.විටෙක හාස්‍ය රසයද කැන්දමින්,ආනන්දයේ  අප දුටු ,නොදුටු සියලු පැතිකඩ  අනාවරණ කරමින්  ඉදිරිපත් කර ඇති මෙම  කාව්‍යකරණ ආයාසය සැම ආනන්දියකුම, ආදී ආනන්දියකුම විසින් රස විඳිය යුත්තක්  බව මගේ හැඟීම යි..

  අවසාන වශයෙන්, 'අනද කවි ගී  සදැල්ල' පිහිටවූ  ඔබ වෙනුවෙන්  ස්තූතිය පුද දීමටත්, රැස්ව සිටි පිරිස අමතා  ආනන්දය  පිළිබඳව ,ඔබ පිලිබඳ ව  මගේ හර්දයාංගම අදහස් දක්වමින්  සංවේදී  වදන් බිඳක් දිග හැරුමට ලබා දුන් අවකාශය පිළිබඳවත්, කාව්‍ය කරන ආයාසය අවසානයේ  ග්‍රන්ථයක් ලෙස පාඨකයාට සමීප කරවීමට ගත් අසීමිත උත්සාහය තුල මංගල සොයුරා හා මා වෙනුවෙන්  නන් අයුරින් සහය දුන්  සැමටත්  ස්තුතිය පිරිනැමීමට ලබා දුන්  අවස්තාව පිළිබඳවත්  මගේ  හද පිරි ස්තුතිය මින් පිරිනමමි.. මංගල, කවිත්වය අවිය කොටගත් නුඹට සදා ජය පතමි..
Related Posts Plugin for WordPress, Blogger...