Wednesday, July 1, 2015

ඇසළ කුමාරයා ( පුංචි කෙටි කතාවක්)

"මේ කොලුවට බඩගිනි පාටයි..  කන්න මොනා හරි දෙමු.."

අවුරුද්දට දවස් තුන්සිය හැට දෙකක්ම මේ කතාව අහලා හොඳටෝම හුරුයි ඒ කාලේ. වෙසක්, පොසොන්, ඇසළ පෝය දවස් තුන , අවුරුද්දේ තුන්සිය හැට පස් දා වෙනුවෙන් ඉතිරිය ඌණ පූරණය කෙරුවා.

 මහ දවල් පල්ලිය ළඟට වෙලා නාවර පෙරුණු බට්ටෝ ටික එක්ක ඉද්දි ඉගිල්ලිලා ආපු රෝද හතරක් බඩ පිරෙව්වට පස්සේ, රෑ එළිවෙනකන් තනියට හිටියේ කාක්කෝ ලගින මාර ගහ යට කොලපාට බංකුව විතරයි. මාරුවෙන් මාරුවට ආපු බැටන් පොල්ලයි මදුරු රෑනයි නම් හිටපු ගමන් නින්ද උදුර ගත්ත. බංකුවේ නිදාගත්තට බැටන් පොල්ල නාපු දාට ඇඟ රිදෙන්නේ නෑ මෙච්චර. ඌ බීලා ආවොත්, පහුවදා මුළු දවසෙම මට බිම ඉඳගන්නවත් බෑ.


 කමක් නෑ, එදා ඇසල පෝය. පැත්ත පළාතටම ඇසල පෝයට තියෙන එකම බත් දන්සල මේ පාරත් තියේ ය කියලා පරණ බැනර් රෙද්දම සුදු තීන්ත පාරකින් හෝදලා කළු පාටින් කුරුටු ගාලා තිබ්බ. කියවන්න නම් දන්නේ නෑ, හැමෝම කොල්ල, කළුව කියල කිව්වට නමක් නෑලු මට හරියට. ඉතින් නමක්වත් නැති මං මොනා ලියන්න කියවන්නද.


 එකොලොස්වැනි වරට සංවිධානය කරන, තරුණ සමිතියේ බත් දන්සැල. කවුදෝ කෙනෙක් එහෙම කියද්දී, ගිය පාර දන්සැල ඉවර වෙලා ඔය රෙදි කෑල්ල පොරවාගෙන ගහ යට බංකුවේ නිදාගෙන ඉන්නකොට කාපු කණේ පාර ආපහු මතක් උනා. බැටන් පොල්ලකට මැදි වුනේ ඔය සන්තැසිය වුන දා ද කොහෙ ද. බැටන් පොල්ලේ නමක් නම් දන්නේ නෑ, නම ඇවුවම කියැව්වේ සර් කියාපන් කියල. බැටන් පොල්ල කියල නම දැම්මේ නම් සමහර දාට ඌට මාව හොයල දෙන ටකරමා.

"උඹහැ උපන්න දාම තමා ඔය දන්සැල මුලින්ම තිබ්බෙත්, උඹහැ අම්ම මැරෙන්න පණාදිනකොට ඔකේ  කොල්ලෝ තමා එදා උන්දැව ඉස්පිරිතාලේ ඇන්න ගියේ" ටකරමා දවසක්දා උගේ ගොර ගොර ගාන නාකි බෙලෙක්ක කටහඬින් මං එක්ක කියැව්වේ එහෙමයි.

 අවුරුද්දකට දන්සැල් හම්බෙන පෝය තුනයි උනාට, දන්සැල් නැති පෝය නම් හෙනට තියෙනව. එහෙම දාට පන්සල ඉස්සරහ සපත්තු මහන නාකි ටකරමාගෙන් කීයක් හරි හම්බුනොත් පන්සල ඉස්සරහ ගලෝන හම් සෙරෙප්පු පටි හත අටක් හෙමීට කපනව. අම්ම මළ දා කතාව කිව්වේ එහෙමත් දවසක සෙරෙප්පු හදල හම්බුන සල්ලිවලින් ගානක් අතේ තිබ්බ වෙලේ. 

 හැමදාම සිද්ද වෙන හරිය දන්න හින්ද උදේම දන්සැල් පෝලිම ගහන හරියෙන් හිටගන්න ඕනේ. අනිත් බට්ටෝ ටිකත් ඇවිල්ල උදේ ඉදන් කැරකි කැරකි ඉන්නව. මේ පෝලිමේ පෙළක් දවසට ඉස්සර අපිත් එක්ක දවසක් දෙකක් විතරක් උන්න බට්ටියොත් ඇවිත් ඉන්නව දකිනව. උන් නම් හෙන වෙනස් ඇඳිල්ල පැළඳීල්ල හෙමත් දැන්. අලුත් නම් හෙමත් තියේලු. ටකරමා තමා කිව්වේ. ඒම ඉදලා මාත් අතුරුදහන් උනොත් මටත් නමක් හම්බෙයිද කියල නාකි ටකරමාගෙන් ඇවුවම ඌ බඩ අල්ලන් හිනා උනා. ඌ අවුවට ගහගෙන ඉන්න මහ කුඩේ පෙරලලා දාල මං එතනින් එන්න ආව එදා.


උදේ ඉදන් පෝලිමේ උන්නට මොකද උයල ඉවර උනත් හැමදාම කන්න හම්බෙන්නේ කළු පාට වීදුරු ගහපු වාහනෙකින් එන මාත්තයෙක් බැහැල ඇවිල්ල කාලා ගියාම තමා. ඒ මහත්තැන් එන්න පරක්කු උනා කියල නෑ, ගෙවල්වල ඉන්න මිනිස්සු පවා තව ඇවිත් දන්සැල්  පෝලිමට එකතු වෙනව.

පෝලිමේ බලන් ඉද්දි ඔන්න කළු වීදුරු වාහනේ මහත්තැන් ආව. අලුත් වාහනයක්, ගිය පාර ආපු සුදු එක නෙවේ, කළු එකක්. ආ දැන් ඇමති තුමානේ, කවුද කවුදෝ කසු කුසු ගානවා ඇහුන. වෙනද වගේ නෙවේ, රතින්න වැලකුත් පත්තු උනා, බත් කෑවේත් නෑ, හැබැයි පොඩි කතාවක් කරල ඔක්කොටම අත වනල හරි ඉක්මනට ගියා. 

ඉක්මනට කන්න පුළුවන්, උදේ ඉදන් හිටං උන්නට අමාරු නම් නෑ ඒකෙ, හැබැයි ඉක්මනට කාල යන්න තිබ්බ නම් මරු.

සිලි සිලියට දඟලන එහා මෙහා පේන ඉටි කොලයක් පිඟානට එලාගෙන ඉක්මනටම පෝලිමේ ඉස්සරහටම ඇදුන. මං ඉස්සරහම හරියේ වගේ උන්නේ, මට ඉස්සරහින් උන්නු  අයගෙන් එකෙක් විතරයි අපේ එවුන්ගෙන් හිටියේ.


පිගාන අතට ගත්ත වෙලේ ඉදං ඉස්සරහ එකා පෙරලගෙන යන්නමයි හිතෙන්නේ. නිදාගන්න හම්බුනේ නැති එකයි බඩගින්නයි අව්වේ හිටං ඉඳිල්ලයි කලවන් වෙලා හරි අමාරුයි.



සලාං...!


ඉස්සරහ උන්නු මනුස්සයාගේ ඇඟටත් එක්කම, බාගෙට බෙදල දුන්න සුදු බත් පිඟාන හැලුණා. පිඟාන කුඩු.


කාලකන්නියා !!!

කාපාලුවා !!!

උදේ ඉඳන් මෙතන ලැගගෙන මූසලයා !!!

අඩෝ මූ නේද බැනර් හොරා !!!

ඕන තරං අහලා තිබ්බ වචන ගොඩක් බඩගින්න පෙරලගෙන මගෙ බෙල්ල මිරිකුවා.

මේ කොල්ලට බඩගිනි පාටයි, අද කවුරුත් එහෙම කියනවා ඇහුනේ නෑ.


"ඔය දරුවට ඉන්න දෙන්න, පිඟන් බිදෙනවා නොවෑ. 
ඔහොම කෑ ගානවද පොඩි එකෙක්ට."


කවදාවත් අහල නැති කට හඬක් ආපහු මගෙ ඇස්දෙක ඉස්සුව.

හාමුදුරු නමක්. මං වගේම සෙරෙප්පු දෙකක්වත් දාගෙන නෑ.

බිඳුන පිඟාන වෙනුවට ආපහු බෙදල දුන්න බත් එක අරගෙන කකුල ඉක්මන් කළා. බත් එක දිහා බලන් උන්නට, කාගන්න බැරි තැන ඒක විසි කරලා මම ගහ යට බංකුව ආව. බඩගින්නක් නොදැනුනාට ආපහු බැටන් පොල්ල මතක් උන නිසා, ටකරමාටවත් මාව හොයල දෙන්න බැරි වෙන්න, පුළුවන් තරං ඈතට මං ඇවිදගෙන ආව. ආයේ මොහොතකින් මතු වෙන බඩගින්න, බැටන් පොල්ල මගෙ අතේ මිටිකරන කාසි දෙක තුන මට ආයේ ආයෙත් මතක් උනා. ඔහොම දවස් දෙක තුනක් යන්න ඇති.

" කොලුවෝ.."

පුරුදු බංකුවට ගොඩාක් ඈතින් පාර අයිනේ බිම නිදාගෙන ඉද්දි ටකරමාගේ ගොර ගොරේ ඇහුනා. බැටන් පොල්ල ඇවිත් ඇති හිතාන ඇස් අරිද්දී දැක්කේ  දිලිසෙනකන් මැදපු කළු පාට උල් සපත්තු දෙක නෙවේ, මගෙ වගේම සෙරෙප්පු නැති නිකංම නිකං මුඩු කකුල් දෙකක්.

දන්සැලේ හාමුදුරුවෝ..  

වෙනදට ටකරමා කැන්දගෙන එන උල් සපත්තු ජෝඩුව වෙනුවට, ඇයි මේ අද?

හාමුදුරුවෝ මගෙ දිහාට නැමුනා.

හමුදුරුවන්ගේත් මගෙ වගේම කකුල් දෙකේ කවදාවත් සෙරෙප්පු නොතිබුණාට, කන්දෙකෙන් වැක්කෙරෙන මගෙ වගේ කොන්ඩයක් නම් උන්නාන්න්සේට තිබ්බේ නෑ. 

"ඔය දරුවා මහන වෙන්න කැමතිද? "

 බැටන් පොල්ල අතේ මිටිකරන කාසි ටික මට මතක් උනා. ඒ හිතුවිල්ලටම, මම ඔහේ ඔලුව වැනුවා.

සෙරෙප්පු කපන්න විතරක් නැගපු විහාර පඩිපෙළ දිගේ නැගලා, මුල්ම වතාවට පන්සලට එක්කන් ආවා. ආවාස ගෙයි ඇතුලේ බුදු රූ,සේසත් පිරුණ කුටියක් මැද ඉඳන් මම බිම දිහා බලාන උන්නා.

"ඔය දරුවාගේ නම මොකද්ද? "

මං ආපහු බිම බැලුවා.

"හ්ම්ම්ම්, මට සපතේරු මහත්තය කිව්ව විස්තරේ."

" ඔය දරුවා සාසනේ පැවිදි වෙන්න. ඉගෙන ගන්න.

මම දෙන්නම් නමක්, රාහුල. "

" රාහුල? "

ආවාස ගෙයි ඇතුලේ තිබුන හන්දියේ කඩල කාරයාට ගෙනිහින් දීලා කාසි අහුරක්ම ගන්න පුළුවන් විදියේ ලොකුම ලොකු පොත් දාපු අල්මාරියකින්, කඩල කාරයාගේ කාසි මඩියේ සුවඳ ආවා.

රාහුල, මගෙ අලුත් නම. ඒ කාසි සුවඳ එක මොහොතින් එලවල දැම්මා.



24 comments:

  1. පුංචි කෙටි කතාවක් නෙවෙයි මේක 'මහා' කෙටි කතාවක්. පෝය දවසේ පංසලකට ගිහින් බණක් ඇහුවට වඩා ලොකු 'බණක්' කියෙව්වා.. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍ර :)

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි නි මෝ :)

      Delete
  3. Replies
    1. තැන්කු වේවා ජෙමයියා :D

      Delete
  4. එක හුස්මට කියෙව්වා බං...රහයි !

    ReplyDelete
  5. පට්ට මචං.....ආයේ සුපිරි ම සුපිරි....

    ReplyDelete
  6. පෝය නාට්‍යකට හොඳයි තව අලවට්ටම් ටිකක් දාලා ගත්තා නම්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මිනිස්සු පෝයටත් ඉතින් ආලවට්ටම් තමා හොයන්නේ බං ඒක හැබෑව.

      Delete
  7. අල් තයීර් මීට කලින් මේ වගේ කතාවක් ලියලා නෑ නේද? ඇත්තෙන්ම හොඳ කතාවක්. තව තවත් හොඳ නිර්මාණ බිහිවේවා ඔය අතින්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩූඩ් අයියේ, ඇයි සුදු වැලි පාර? කීපයක් තියේ බුකියට දාලා එහෙමම යට ගියපු, වෙලාවක හොයලා බ්ලොගේටත් දාන්නම්කො..

      Delete
  8. රිදෙන්න ලියල තියෙනවා බන්.. අපුරුයි.. හිත හෙල්ලිලා ගියා..

    මේක පුංචි කෙටි කතාවක් නෙවේ.. විශාල අරුතක් ගැබ් වුනු මහා කෙටි කතාවක්..

    ReplyDelete
  9. නියමයි................. හිතට අැල්ලුවා

    ReplyDelete
  10. හිතට දැනෙන්න ලියලා තියෙනවා... අපූරුයි..

    ReplyDelete
  11. Anthimata una de therune ne ban siraawatama.. Liwillanam siraa..

    ReplyDelete
  12. Eka husmata kiyewwa.. Puduma lassanai.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...