අතෝරක් නැතිව කඩිගුල වගේ ඇවිස්සුන මිනිස්සු එකිනෙකාගේ හැප්පී හැප්පී වේගෙන් ඇවිදින බස් නැවතුමක් මැද මම බංකුවකට බරවෙලා. සෙරෙප්පුවට පෑගිලා කකුල් අගින් නූල් ඇදුන ඩෙනිම, එක බොත්තමක් උනාපු අත් නමාපු කමිසේ ඇඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන, මම ඔරලෝසුවට එබෙනවා.. ඔහේ ගැලවුන සෙරෙප්පුවක්, කිසිම අවධානයක් නොලබා ලඟින් යන්නවුන්ගේ පය පැකිලෙද්දී මම ඉගිලෙන්නේ වෙනම කල්පනා ලෝකෙක.. මගේ වගේම කන් දෙකෙන් බේරෙන දිග කොන්ඩ තියෙන පාසල් කාලයේ මිත්‍රයෝ, මට අත වන වනා යනවා...
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
ඈතින් මතු වෙනවා පෙනේද්දීම, මම නැගිටිනවා. දවසකට පස්සේ මුණ ගැහුනත්, මාසෙකට පස්සේ මුණ ගැහුනත්, මම අත කිටි කිටියේ මිරිකන විදියේ වෙනසක් නැහැ."ඌයි, ඒක රිදුණා" සමහර දාට, මගේ හරස්පද ප්‍රහේලිකාවට එහෙම කිය-වෙනවා..
"මග එනකොට සින්දුවක් ඇහුණා, මට බය හිතුනා.. "
"මොකද්ද සින්දුව දරුවෝ?"
එහෙම අහගෙන මම කුතුහලයෙන් ඒ පුංචි ඇස්දෙකට එබෙනවා. නිදිමත ඇස්දෙකක්, එයා නම් කියන්නේ එහෙමයි. හැබැයි ඒ ඇස්දෙකේ නිදාගෙන උන්න අහිංසකියෙක්, මං ඒ කාලේ බොහොම පරිස්සමින් රැකගත්තා.
"මේ නගරය" එහෙම කියමින් ඇය මුහුණ පුළුටු කර ගන්නවා.
"ඒ සින්දුවේ එහෙම කිව්වට,එහෙම වෙන්නේ නෑ", මම අසීමිත විශ්වාසයකින් තෙපලනවා.
තමන්ගේ කරගන්න ආත්මාර්ථයට එහා, හිත ගිය තැන මාලිගා හදනවාට වඩා,හිත ගිය තැන-ට හිත ගිය මාලිගාව හදාගන්න පිටිපස්සෙන් අත දෙන්න හිතෙන, ඈ සෝපාහාසාත්මකව හඳුන්වන "බෝධිසත්ත්ව" මානසිකත්වය, අදටත් මම අදහනවා.
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඩෙනිමට,සෙරෙප්පු දෙකට සමු දීලා, කොටට කාපාපු කොණ්ඩය පැත්තකට පීරාගෙන, ජීවිතේ රූපී විරූපී හැම මතකයක්ම පිරුණ මේ නගරයේ,අද මගේ දෙකකුල් සපත්තු දෙකකින් බර වෙලා.
වැව් ඉස්මත්තේ ඉඳන් කියපු කියුම්, ලියපු ලියමන්,ගංගාරාමය අද්දරින් කාර්යාලීය රථයකින් යද්දී, මගේ මතක බර කරනවා. මහ පාන්දර පෝස්ටර් අලවන්න, පාසලේ මහ රෑ ගත කරන දාක මහ පාන්දර ඇවිදින්න එලියට බැහැලා ඇවිදපු පාරවල්,කවුළුවේන් පිටත හදිසියේම එලිය බලද්දී පෙනෙනකොට, ඉස්සර වේගයෙන් ඔලුව වනද්දී හතර අතේ විසි වෙන කෙස්ස මගේ ඔලුව උඩ නැති අඩුව තදටම දැනෙනවා. ඩෑෂ් බෝඩ් එකට උඩින් ගහපු PRESS කියන අකුරු පහ වින්ඩ්ස්ක්රීන් එකෙන් පරාවර්තනය වෙලා දකිනකොට, කට කොනකින් හිනාවක් එක්ක මේ නගරයට අලුත් වටිනාකම් පොදියක් ඇවිත් නේද කියලා, මම කල්පනා කරනවා. මේ නගරයේ මං ගත කරන, තවත් සුන්දර තාවකාලික නවාතැන් පොලක්, මම ඒ අකුරු පහ අතරෙ විඳිනවා.
නිදහස් චතුරශ්‍ර තණ නිල්ලේ දිය මල්, අපි නැතුවත් අදත් පණලනවා. ඒ තණ ගොල්ලට වෙලා, මම දවසකට පිටු දෙක ගානේ පණ පොවන, ආදර කතාවක් නොවන නවකතා අත්පිටපතතේ හැංගිලා ඉන්න අතරෙ , බිම වැටුණ දම් පාට මල් උඩ වාඩිවුණ පෙම්වතියන් දිහාට කැමරා මානන කොල්ලෝ දිහා, මං වෙලාවකට බලන් ඉන්නවා. මගේ අතේ හොම්බ දිග කැමරාවක් තියෙන වග දකින ඒ සමහරු අතින්, උන්ගේ කැමරා මට බාර වෙනවා. දම්පාට මල් ඉහිරුණ තණ ගොල්ල උඩ ඉඳගෙන කවුරු මගේ කැමරාවට මුහුණ දුන්නත්, කම්මුල් දෙකේ දෑත් තියාගෙන බිම ඉඳගෙන හිනාවෙන මගේ මල් ගීය, මගේ ඉදිරියේ තාමත් ඉන්නවා.
පලවෙනි සැමරුම දා අපි උන්න ඇහැළ ගහ, එදායින් පස්සේ විහිළුවටවත් එතනට පිටදෙන්න නොගිය මං දිහා බලාගෙන, රතුපාට මල් බිම විසුරවනවා. තුන් වෙනි සැමරුම දාත්, අපි එනකං බලන් ඉන්න ඇතී.
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
එදා ඒ දෙබස දා විහිළුවටවත් බය නොහිතුන මට, මේ වචන ටික ඇහෙන මොහොතක් ගානේ හිත කීරි ගැහෙනවා. ජීවිතේ සීයට තිහක් මේ නගරය මැද ගෙවුනත්, ආවට වැඩිය දුර ඉදිරි ජීවිතේ මේ නගරය මැද ගෙවන්න එපා කියලා, මේ නගරය මට අත වනනවා..
මතකයන් සමගම සියදිවි නසාගත් ඈ එතෙර ඉගිලුණු සැටියෙන්ම, මේ නගරය හැරදා මුහුදෙන් එහා ඉගිලෙන්න,වෙලාවකට මම කල්පනා කරනවා.
උඹේ හිත වෙලාවකට මට ප්‍රෙහෙලිකාවක්..
ReplyDeleteහෙක් හෙක්!
Deleteමම ආස නෙහෙ මේකට...
ReplyDeleteඅපොයි දෙයියනේ ඒ මොකෝ?
Deleteමටත් හරි ආසයි Press කියල පොඩියට දවසකට දෙකකට හරිවත් රස්සාවක් කරන්න. විරහව නීරස උනාට මේ ලියවිල්ල රසයි.. ඒක නිසා මම නම් මේකට ලයික්.
ReplyDeleteතුන් අවුරුද්දකට එහා බ්ලොග් කට්ටක් අටවගත්ත එකෙන් ආපු අලුත් පාරේ නොහිතපු වෙලේක හම්බුන චාන්ස් එකක් තමයි ඉතිං, ඔය උඩ ඉන්න මොනරි එක්ක ඉන්ටර්විව් ගිහින් දෙන්නම එක්ක එකම දවසේ වැඩ වැඩ බාරගත්තා!
Deleteවිරහව නීරස වුනාට ඒක ගැන මනෝ පාරක් ගහලා මොනා හරි ලිව්වම නම් පොඩි රසයක් තියේ එහෙනම්, ස්තුතියි කල්‍යාණ මිත්‍රයා..
ඇනෝ මචං කමෙන්ට් එක පේන්නේ නෑ බං, ප්‍රශ්නාර්ථ දෙකක් පෙන්නන්නේ.. ඊයේ එහෙම ඒක දැම්මෙත් ඔයාද ඔයාද ඇඃ?
ReplyDeleteකිසිම දෙයක් ගැන ඕනවට වඩා වද වෙන්න එපා බං.. ඒක ජීවිතේට හුරු කරගනිං. එතකොට ජීවිතේ හරිම සරලයි පහසුයි
ReplyDeleteකල්පනා කරද්දී ඔය දේ නොතෙරෙනවත් නෙවෙයි බං, ඒත් තීරණයක් ගත යුතු තැන් ඉස්සරහ ඔය ධර්මතාවය ගොඩක් අයගේ ඔළුවල වැඩ කරන්නේ නෑ, ඉතිං ආපිට හැරිලා බලද්දී ගත්ත තීරණ පිටිපස්සේ ඔය කාරණය ගෑවිලාවත් නෑ.. :(
Deleteතේරුනාට අවබෝධයක් නෑ තාම, ලොකු පුහුණුවක් ඕනේ වෙනවා කෙල වෙලාම.. ඉස්සර උන්න එකාට වඩා වෙනස් ඒක නිසා වෙන්නැති මං..