සයිබරයට මුදා හැර නිදහස්වනු පිණිස තබන සටහන්
".....ගඟ පැත්තෙන් පඩි පෙළ නැග....." සේයාරුව Daily News |
දෑවුරුද්දකට පමණ පෙර මිත්‍රයෙකුගේ පොතක එලි දැක්වීමක් නිසා ගම්පහ ඔහුගේ නිවසේ බර සාකච්ඡාවක සිටි මොහොතක ලැබුන කෙටි පණිවිඩයක්..
"අද හවස කැළණි පන්සල් යමු(ද)"
ඉතිං වැඩ පැත්තක තියලා, හවස් වෙද්දී මම බස් එකක නැගලා කැළණි විහාරෙට ආවා..
මම ටිකක් පරක්කුයි, බස් නැවතුම්පොලෙන් බැහැලා කැළණි ගඟ පැත්තෙන් ඇවිත් පඩිපෙළ දිගේ නැගලා, වෙහෙර මලුව උඩට ඇවිත් මම වට පිට බැලුවා, ඒ වෙද්දී ඈ එතන වග දැනගෙන උන්න නිසා..
මම ගඟ පැත්තෙන් ආවට මොකද, අනිත් පැත්තේ බස් පාර දිහාවට එබීගෙන, වෙහෙර මලුව කෙලවර පවුරට බර වෙලා ඈ ඉන්නවා..
සුදුම සුදු පාට දිගම දිග සාය,
සුදුම සුදු පාට අත් දෙකටම දිග බ්ලවුස් එක,
තවමත් ලාවට තෙත බරිත කඩා දාපු කොන්ඩේ,
රතු පාට අත් බෑගය,
සුදු පාට නෙලුම් මල් කළඹක් පපුවට තද කරගත් ඇය!
සුදුම සුදු පාට සුසුදු දසුනක්!
මට පිටු පාලා ඈ උන්නු ඈ ලඟට ගිහින් කතා කරන්න කලින්, මොහොතකට මගේ ගමන නැවතුනා කියලා ඈ අදටත් දන්නේ නැතුව ඇති.
අදටත් ඈව වැඩිපුරම ලස්සනට දැකපු දවස, ඉතිං එදා ගෙදර ඇවිත් කොහොම මෙහෙම නොලියා ඉන්න ද?
කොහොමද මේ මල් සුදු පාට වුණේ?
පහු ගිය ආත්මෙක මේ වගේ මං එනකං මග බලාගෙන නෙලුම් මල් තුරුළු කරගෙන උන්නු මොහොතක, ඈටත් හොරෙන් ඒ මල් ඇගේ පාට හොරකම් කරන්න ඇති.
ඉතිං මේ, ඒ හොරකමේ කතාවයි!
පැහැසර අහස නිල්වන් බැල්මෙන් | දිලෙනා |
රූ සර වත කමල සිත දුර | ගෙනයන්නා |
පුරව ර කැළණි කොත රන් පාටින් | දිලෙනා |
පිනිබ ර උදේ ඇගෙ ඇරයුම | පිළිගන්නා |
උදයේ ඉරට හිනැහුණ සියපත් | යායේ |
පියුමන් දෝත පුරවා පේවී | ආයේ |
පිණිවට සුදු නෙලුම් රැඳී කැලුමන් | ආයේ |
ඇගෙ මුවෙ පැහැය කෙලෙසද නොදැනී | ලැබුයේ |
පෙර අත් බවෙක පුරවා හද බැති | පැතු මන් |
පෙර මං බලා ඉන්නට ඇති තුටු | සිතු මන් |
පුර වා දෝත සියපත් ලය මත | හැඟු මන් |
සොර සේ ගන්න ඇති වත පැහැ ඒ | පියු මන් |
මිදුණු වරල උර මත නිල්ලෙන් | දිලෙනා |
සුසුදු දසුන බැතිබර හැඟුමෙන් | පිරෙනා |
වෙහෙස බල බලා මහ මග දෙස | එබෙනා |
වෙහෙර මලුව උඩ ඈ තනියම | උන්නා |
දේවි උලකුඩය පැතුමෙන් දරු | දුකින |
එවී විභීෂණ දෙවි වෙත | සැළලිහිණ |
පිය ඹා හසුන කැලණි පුරට ආ | සැටින |
මෙපුර පුදට ආවේ අද අප | දෙදෙන |
පුදින කුසුම් හද පැතුමන් සුවඳ | ගෙනේ |
ජිවන ඔරුව සිඳු ගැඹුරට ඇදෙනු | දැනේ |
සැඩ රල පෙරලි පෙරලී නීති විඩා | ගෙනේ |
විරිය දෙන්න අප දෑතට | ස්වාමිනේ |
කවියේ අලයිමන්ට් හදාගන්න උදව් වුන 'අලුත් මල්ලි'ගේ ගැජට් එකට ගොඩක් ස්තුතියි. මෙන්න කවි ටික නයා ගියා වගේ නැතුව එළිසමය මතු වෙන්න ලස්සනට දාන්න පුළුවන් නියම ගැජට් එකක්, සිව්පද.
හරිම ලස්සනයි බන්..
ReplyDeleteකවියෙක්ට පෙම්වතියක් වෙන ඒක මොනතරම් සුන්දර හැගීමක් වෙනවා ඇත් ද ?
ස්තුතියත් එක්කම, ඔන්න මේ කමෙන්ට් එකේ උත්තරේට වෙනම පෝස්ට් එකක් ලිව්වා!
Deletehttp://karuugesithroo.blogspot.com/2015/06/blog-post_39.html
Delete