Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ

පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ

රෝස පොකුරු අතට ඒවි
පුරුදු මූණ හොයන්නෙපා
අත්දෙක මැද තුරුළු කරන්
සිඹිනු මැනවි නළල් තලේ


හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ

මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල මට නොදැනුන
සුවයක් දැනුනා මැණිකේ

පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව


මගෙ පත්තර අකුරුවලට
ලස්සන පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා

සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ


"කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?"

"උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං"

"හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ"

රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම

උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?

ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට

උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ

ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව්
ආයෙත් මුණ ගැහෙයි කියල

"මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?"

එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
අපි ආයෙත් හමුවෙනවනෙ
එදා වගෙම කෝපි හලේ

4 comments:

  1. හිතට දැනුණු කවි පෙළක්...

    ReplyDelete
  2. ලස්සනයි. විරහව මිනිසුන් කවියන් කරයි...
    ජයවේවා

    ReplyDelete
  3. ජීවිතේ ම තියෙනවා................

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...