සේයාරුව අන්තර්ජාලයෙනි |
මොටෝසයිකලයේ ඇල්ල ගිය ගමන ද රස කතා පිරුණකි. මාර්ග තද බදය මග හැරීමට සුපුරුදු පරිදී රාත්‍රී දහය පසු වී ගමන ආරම්භ කළ ද මගදී අපට සිදුවූයේ වැස්සෙන් සිදුවන බාදාවට මුහුණ දෙන්නට ය. මා ද ගමන් සගයා ද සම්පූර්ණයෙන් වැහි කබාවලින් ආවරණය වී කැමරා ආම්පන්න ද ආරක්ෂා කරගෙන සිටියද, පසුපස ලගේජය වැසි ආවරණයකින් ආරක්ෂා කර ගැනීම අපට මග හැරී තිබිණ. මේ හේතුව නිසා අධික වර්ෂාවේ සෙමෙන් සෙමෙන් හෝ ඉදිරියටම ගමන් ගැනීමේ අවදානම අප විසින් බාර ගත්තේ නැත. යම්හෙයකින් ඇඳුම් ටික පෙඟී තිබුණා නම් අපට සිදුවන්නේ (ඉන් පෙර අත්දැකීමකදී මෙන්) කොහේ හෝ දිය ඇල්ලකින් නා-කියාගෙන ගල්තලාවක් උඩ ඇඳුම් වේලෙන තුරු අව්ව තැපීමට ය. 2016 වසරේ ඊසානදිග මෝසම සක්රියව පැවති දිනවලදී රටේ නැගෙනගිර වෙරළේ සිට බටහිර වෙරළ දක්වා රට හරහා ගිය මොටෝසයිකල ගමනේදී, එක දිගට කිලෝමීටර 100ක් පමණ මහ වැස්සේ සෙමෙන් සෙමෙන් ධාවනය කරන්නට අවස්තාව ලැබුනේ එය ආපසු එන ගමනක් නිසා ලගේජයට හෙණ ගැහුවත් කමක් නැතැයි සිතිවිල්ල නිසා ය.
කෙසේ හෝ වැස්සේ හිරිහැරය තදබල ලෙස දැනෙන අවස්තාවලදී අපි කොහේ හෝ සෙවනක් සොයාගෙන මොටෝසයිකලය නවතා, විශාල වැහි කබායකින් ලගේජය වසා දමා වැස්ස අඩුවන තුරු සිටියෙමු. අලුයම එකට පමණ රත්නපුර පසු කර බළන්ගොඩ දෙසට පැමිණෙන විට, අප පසු කරමින් සිටි ජනාකීර්ණ නොවන පෙදෙසකදී නැවතත් තදබල වර්ෂාවක් අපට හරස් වීමට පැමිණියේය. වැස්ස නවතිනතුරු රැඳී සිටීමට අප තැනක් සොයමින් යන විට අපට අත්හැර දමන ලද වඩුමඩුවක් වැනි ස්ථානයක් පෙනී ගිය නිසා මොටෝසයිකලය වහ වහ පාරෙන් ඉවතට පන්නා ඒ වෙත ධාවනය කිරීමට අපි උත්සහ කළෙමු. වහා සෙවනක් දුටු සතුටට පාරෙන් ඉවතට දැමුවද අප වැටී තිබුණේ පදික වේදිකාවකට නොව අඟල් හයක පමණ කානුවකටය. අඟලක පමණ ජල පහරක් ගලාගෙන ගිය කාණුවේ කෙසේ හෝ මොටෝසයිකලය සමබර කොට රඳවා දැමු අපි වහ වහා වඩුමඩුව වෙත දිව ගියෙමු.
වඩුමඩුව අපටම කියාපු තැනක් බව පෙනුනේ ඒ තුලට ගොඩ වැදුන පසුවය. අතහැර දමා තිබූ ලී කොටන් සහ ලෑලි අතරේ පැරණි ප්ලාස්ටික් පුටුවක්, තවත් කැඩී ගිය කුෂන් පුටුවක යකඩ රාමුවක් ආදී නොයෙක් වටිනා දේ අපේ කුඩා විදුලිපන්දමට පෙනී ගිය නිසා අපි වහ වහා ඒවා එලියට ඇදගෙන තමන්ගේම ගෙදරට පැමිණියා වැනි ප්රීතියකින් වාඩි වුනෙමු. හාත්පස පැවති අඳුරට ද බාදාවක් නොවන්නට, දිගටම දැල්වූ විදුලි පන්දමක් බිම රඳවා බිත්තිය දෙසට හරවා තැබුණේ ක්ෂණිකව අතට ගැනීමට ද හැකිවන පරිදී ය. කිසිවෙකුගෙන් බාධාවක් නොවන බව පෙනී ගිය නිසා, අප බොහොම සැහැල්ලුවෙන් යුතුව හෙල්මට්ටු, ග්ලවුස් සහ වැහිකබා ගලවා පුටුවල වාඩි වී සිටියේ වැස්ස අඩුවුණු පසු නැවතත් ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ය.
විනාඩි පහලවකට පමණ පසුව තවමත් මහ හඬින් වැස්ස ඇදවැටෙමින් තිබියදී පුටුවෙන් නැගිටගත් මගේ ගමන් සගයා නැවත වරක් වඩුමඩුව වටා ඇවිදිමින් විපරම් කරන්නට පටන් ගත්තේ ය. බොහෝ කලකට ඉහතදී මිස මෑතකදී භාවිතයට ගත් කිසිදු සලකුණක් මෙහි නොතිබූ බව අපි දෙදෙනා නැවත නැවතත් නිරීක්ෂණය කළෙමු. තවමත් වැස්සේ මහ හඬ මැද්දෙන් එකවරම මගේ ගමන් සගයා කීවේ අමුතු කතාවකි. "එහ්! වැස්ස නැවතිලානේ බං!" හෙතෙමගේ කතාවෙන් හොල්මන් වී ගිය මම එලිය බැලුවේ ඈතින් වැටී තිබු මාර්ග ආලෝකවල ආධාරයෙන් මට තවමත් පෙනෙමින් තිබූ බිමට පතිත වන වැහි බින්දු දෙස ය. සගයාගේ කතාවෙන් තරමක් අන්දුන් කුන්දුන් වී ගිය මම "ඔය වහින්නේ බං ඇහෙන්නේ නැද්ද" කියා ඇසීමි. අවසානයේ බලන විට අප රැඳී සිට ඇත්තේ ගෝෂා නගමින් ගලා බසිනා ඔයක් හෝ ඇලක් වැනි ජලාශයක් අද්දර ය. මෙම ශබ්දය නිසා තවමත් වැස්ස පතිත බව බවට අදහස කෙතරම් ඔලුවට කා වැදී තිබුනේද යත්, වඩුමඩුවෙන් එලියට පැමිණ පාරට ගොස් නොතෙමෙන බවට සැක හැර දැනගන්නා තුරුම සිතට දැනුනේ අප තවමත් මහ වැස්සක් මැද සිටින බව ය.
බළන්ගොඩ නගරයට අලුයම තුන හමාරට පමණ ලඟා වූ පසුව අපි රාත්‍රී කඩයකට ගොස් නැවතී තෙත පාවහන් එන්ජිමේ උණුසුම ආධාරයෙන් වෙලාගෙන, ගිනිගහන තේ කෝප්පයකින් සර්වාංගයම උණුසුම් වූ පසුව, තවත් පැයක පමණ කාලයක් රැඳී සිට නැවත බණ්ඩාරවෙල දෙසට පිටත් වූයෙමු.
රසවත්
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවාට..
Deleteහැකිනම් Motorcycle Diaries ඔරිජිනල් පොත හොයා ගෙන කියවන්න. ෆිල්ම් එකත් නරකම නෑ, හැබැයි පොත වඩා රසවත්.
ReplyDeleteෆිලුම නම් බැලුවා, පොත නම් තාම කියවලා නෑ..
Deleteඅම්මට සිරි තව එකෙක්
ReplyDeleteමරු මරු
එක බෝට්ටුවේ
ඒ පැත්තෙත් මම ආවා මේ කොමෙන්ටුවෙන් පස්සේ!
Delete