Thursday, June 21, 2018

කෙටිම කෙටි-ප්ලේන්ටි සහ අමරිකානෝ



බැරිස්ටා හරි කොහෝ හරි ගිහින් කපචිනෝ එකක් අමරිකානෝ එකක් ගහන එක ආතල් එකක් නෑ කියල මොකෙක් හරි කියනවා නම් ඒක මහා කුප්ප මෝඩ කතාවක්. ගම්ගොඩක ලෑලි බංකුවක ඉඳන් ප්ලේන්ටියක් ගහන එක ඊට වඩා ආතල් කියලා කියනවා නම් ඒකත් ඉතින් ඊට නොදෙවෙනි ගොන් කතාවක්. (එහෙම කියනවා නම් ඒක ඉතින් ඔය බුකි පේජ් කාරයෙක් ලයික් ටිකක් ලයින් කරගන්න කියන කතාවක් තමයි)

හොඳ දේශීය මල් වට්ටියකට අත ගහලා චන්ද්‍රගත වෙලා, පාවෙලා වගේ හොඳ කොෆි ෂොප් එකකට ගිහින් අර සීනි පැකට් ඔක්කොම කලවම් කරලා අමරිකානෝ එකක් ගගහා, පැය දොළහක් විතර ගත වෙන්න ඇති කියලා හිතෙන පැය දෙකක් ගත කරන එක වෙනම ආතල් එකක්. (මම මේ නීති විරෝධී දේවල් ප්‍රමෝට් කරනවා නෙවේ) වගේම, හොඳ කට්ටක් කාලා, බංකුවට බර වුන ගමන් ඇඟේ පතේ අමාරු ඔක්කොම නිදහස් වෙලා යන උගුරේ පතුලෙන්ම එන ආආහ්හ්ර්ර්හ්හ් සද්දයක් එක්ක, "ප්ලේන්ටියක් දාන්ඩ මාමා" කියලා ප්ලේන්ටියක් ඕඩර් කරලා, හොඳට පැද්දී පැද්දී ප්ලේන්ටිය ගහන එක වෙනම ආතල් එකක්.. සසදන්න බැරි, අසමසම, එකකට වඩා අනික හොඳයි කියන්න බැරි එකිනෙකට වෙනස් සුපිරිම අත්දැකීම් දෙකක් තමයි .

දෙමෝදර ආරුක්කු නවයේ පාලමට කිලෝමීටරයක් මෙහා කාර් පාක් එක තියෙන්නේ ඇයි කියන කාරනාව මොලේට ප්‍රොසෙස් වෙන්න චුට්ටක් පරක්කු වුන නිසා, බ්‍රේක් උණු වෙලා වැක්කෙරෙන්න ඉඩ තිබ්බ අංශක හැත්තෑවක අසූවක කන්දේ වංගු කීපයක්ම බයික් එක ඇදලා, ප්‍රපාතේ දැක්කම පණ එපා වෙලා බයික් එක ලගේජ් එකත් එක්කම කැලයක් අස්සේ ගහලා,පාලම බලලා ඇවිල්ලා බයික් එකත් කන්ද පහලට බාගෙන, හොඳ පණ ගිහින් උන්න වෙලාවක මගේ ගමන් සගයා ගහපු ප්ලේන්ටිය තමයි මේ.

ඒක අර මුලින් කිව්ව ආතල් දෙකටම වඩා වෙනස්,වෙනමම ආතල් එකක්!


Monday, June 18, 2018

මොටෝසයිකල් දිනපොත-හොල්මන් වැස්සේ ඉදිරියටම!

Image result for motorbike riding  night rain
සේයාරුව අන්තර්ජාලයෙනි


මොටෝසයිකලයේ ඇල්ල ගිය ගමන රස කතා පිරුණකි. මාර්ග තද බදය මග හැරීමට සුපුරුදු පරිදී රාත්‍රී දහය පසු වී ගමන ආරම්භ කළ මගදී අපට සිදුවූයේ වැස්සෙන් සිදුවන බාදාවට මුහුණ දෙන්නට . මා ගමන් සගයා සම්පූර්ණයෙන් වැහි කබාවලින් ආවරණය වී කැමරා ආම්පන්න ආරක්ෂා කරගෙන සිටියද, පසුපස ලගේජය වැසි ආවරණයකින් ආරක්ෂා කර ගැනීම අපට මග හැරී තිබිණ. මේ හේතුව නිසා අධික වර්ෂාවේ සෙමෙන් සෙමෙන් හෝ ඉදිරියටම ගමන් ගැනීමේ අවදානම අප විසින් බාර ගත්තේ නැත. යම්හෙයකින් ඇඳුම් ටික පෙඟී තිබුණා නම් අපට සිදුවන්නේ (ඉන් පෙර අත්දැකීමකදී මෙන්) කොහේ හෝ දිය ඇල්ලකින් නා-කියාගෙන ගල්තලාවක් උඩ ඇඳුම් වේලෙන තුරු අව්ව තැපීමට . 2016 වසරේ ඊසානදිග මෝසම සක්රියව පැවති දිනවලදී රටේ නැගෙනගිර වෙරළේ සිට බටහිර වෙරළ දක්වා රට හරහා ගිය මොටෝසයිකල ගමනේදී, එක දිගට කිලෝමීටර 100ක් පමණ මහ වැස්සේ සෙමෙන් සෙමෙන් ධාවනය කරන්නට අවස්තාව ලැබුනේ එය ආපසු එන ගමනක් නිසා ලගේජයට හෙණ ගැහුවත් කමක් නැතැයි සිතිවිල්ල නිසා .

කෙසේ හෝ වැස්සේ හිරිහැරය තදබල ලෙස දැනෙන අවස්තාවලදී අපි කොහේ හෝ සෙවනක් සොයාගෙන මොටෝසයිකලය නවතා, විශාල වැහි කබායකින් ලගේජය වසා දමා වැස්ස අඩුවන තුරු සිටියෙමු. අලුයම එකට පමණ රත්නපුර පසු කර බළන්ගොඩ දෙසට පැමිණෙන විට, අප පසු කරමින් සිටි ජනාකීර්ණ නොවන පෙදෙසකදී නැවතත් තදබල වර්ෂාවක් අපට හරස් වීමට පැමිණියේය. වැස්ස නවතිනතුරු රැඳී සිටීමට අප තැනක් සොයමින් යන විට අපට අත්හැර දමන ලද වඩුමඩුවක් වැනි ස්ථානයක් පෙනී ගිය නිසා මොටෝසයිකලය වහ වහ පාරෙන් ඉවතට පන්නා වෙත ධාවනය කිරීමට අපි උත්සහ කළෙමු. වහා සෙවනක් දුටු සතුටට පාරෙන් ඉවතට දැමුවද අප වැටී තිබුණේ පදික වේදිකාවකට නොව අඟල් හයක පමණ කානුවකටය. අඟලක පමණ ජල පහරක් ගලාගෙන ගිය කාණුවේ කෙසේ හෝ මොටෝසයිකලය සමබර කොට රඳවා දැමු අපි වහ වහා වඩුමඩුව වෙත දිව ගියෙමු.

වඩුමඩුව අපටම කියාපු තැනක් බව පෙනුනේ තුලට ගොඩ වැදුන පසුවය. අතහැර දමා තිබූ ලී කොටන් සහ ලෑලි අතරේ පැරණි ප්ලාස්ටික් පුටුවක්, තවත් කැඩී ගිය කුෂන් පුටුවක යකඩ රාමුවක් ආදී නොයෙක් වටිනා දේ අපේ කුඩා විදුලිපන්දමට පෙනී ගිය නිසා අපි වහ වහා ඒවා එලියට ඇදගෙන තමන්ගේම ගෙදරට පැමිණියා වැනි ප්රීතියකින් වාඩි වුනෙමු. හාත්පස පැවති අඳුරට බාදාවක් නොවන්නට, දිගටම දැල්වූ විදුලි පන්දමක් බිම රඳවා බිත්තිය දෙසට හරවා තැබුණේ ක්ෂණිකව අතට ගැනීමට හැකිවන පරිදී . කිසිවෙකුගෙන් බාධාවක් නොවන බව පෙනී ගිය නිසා, අප බොහොම සැහැල්ලුවෙන් යුතුව හෙල්මට්ටු, ග්ලවුස් සහ වැහිකබා ගලවා පුටුවල වාඩි වී සිටියේ වැස්ස අඩුවුණු පසු නැවතත් ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් .

විනාඩි පහලවකට පමණ පසුව තවමත් මහ හඬින් වැස්ස ඇදවැටෙමින් තිබියදී පුටුවෙන් නැගිටගත් මගේ ගමන් සගයා නැවත වරක් වඩුමඩුව වටා ඇවිදිමින් විපරම් කරන්නට පටන් ගත්තේ . බොහෝ කලකට ඉහතදී මිස මෑතකදී භාවිතයට ගත් කිසිදු සලකුණක් මෙහි නොතිබූ බව අපි දෙදෙනා නැවත නැවතත් නිරීක්ෂණය කළෙමු. තවමත් වැස්සේ මහ හඬ මැද්දෙන් එකවරම මගේ ගමන් සගයා කීවේ අමුතු කතාවකි. "එහ්! වැස්ස නැවතිලානේ බං!" හෙතෙමගේ කතාවෙන් හොල්මන් වී ගිය මම එලිය බැලුවේ ඈතින් වැටී තිබු මාර්ග ආලෝකවල ආධාරයෙන් මට තවමත් පෙනෙමින් තිබූ බිමට පතිත වන  වැහි බින්දු දෙස . සගයාගේ කතාවෙන් තරමක් අන්දුන් කුන්දුන් වී ගිය මම "ඔය වහින්නේ බං ඇහෙන්නේ නැද්ද" කියා ඇසීමි. අවසානයේ බලන විට අප රැඳී සිට ඇත්තේ ගෝෂා නගමින් ගලා බසිනා ඔයක් හෝ ඇලක් වැනි ජලාශයක් අද්දර . මෙම ශබ්දය නිසා තවමත් වැස්ස පතිත බව බවට අදහස කෙතරම් ඔලුවට කා වැදී තිබුනේද යත්, වඩුමඩුවෙන් එලියට පැමිණ පාරට ගොස් නොතෙමෙන බවට සැක හැර දැනගන්නා තුරුම සිතට දැනුනේ අප තවමත් මහ වැස්සක් මැද සිටින බව .

බළන්ගොඩ නගරයට අලුයම තුන හමාරට පමණ ලඟා වූ පසුව අපි රාත්‍රී කඩයකට ගොස් නැවතී තෙත පාවහන් එන්ජිමේ උණුසුම ආධාරයෙන් වෙලාගෙන, ගිනිගහන තේ කෝප්පයකින් සර්වාංගයම උණුසුම් වූ පසුව, තවත් පැයක පමණ කාලයක් රැඳී සිට නැවත බණ්ඩාරවෙල දෙසට පිටත් වූයෙමු.


Related Posts Plugin for WordPress, Blogger...