Showing posts with label ගොසිප්. Show all posts
Showing posts with label ගොසිප්. Show all posts

Sunday, March 25, 2018

ප්‍රබුද්ධ කූඹියෝ!



කූඹියෝ කියන්නේ ලංකාවේ ස්ටෑන්ඩඩ් එක redefine කරපු නිර්මාණයක් කියන එකට විවාදයක් නෑ..

හැබැයි ඕක බැලුවේ මාර ප්රබුද්ධ උගත් බුද්ධිමත් ජනතාවක් කියල හිතනවා නම්, අන්න ඒක වැරදියි.

උදේට මරදාන ස්ටේෂන් එකෙන් එලියට ඇදෙන මහා ජනසන්නිපාතයෙන් දෝතක් ගත්තාම ඒක ඇතුලේ තියෙන පීඩිතබව, හැබෑ ලෝකේ හැමතැනින්ම තැලෙන එක නිසා සයිබරේට ආවම මතුවෙන උද්දච්චකම, මෝඩකම, කවදාවත් මූනට හම්බෙන එකක් නැති නිසා අහුවෙන මිනිහෙක්ට පලු යන්න බැනලා කීබෝඩ් එක කොටලා පොඩි තෘප්තියක් ගන්න ගතිය, අනිකා වැරදි මං හරි මානසිකත්වය ඔය ලට්ට පට්ට ඔක්කොම අර කූඹිගුල ඇතුලේ තියෙනවා. අන්න උන්ට, "අඩෝ මම රොම්බ කූඹි ෆෑන් කෙනෙක්" කියන්නේ අනිකාට නැති පදක්කමක් තමන්ට ගහගන්න තියෙන හොඳ චාන්ස් එකක්!

ටෙලිවිෂනය අත ඇරලා ගිය එක්තරා සෙට් එකක් (බොහොම අඩු පිරිසක්) ආපහු ඇවිල්ල කූඹියෝ වටේ එකතු වුන එක ඇත්ත. හැබැයි ඕකත් බැලුවේ ඔය ඕනම නාට් පඩංගුවක් අල්ලං ඔහේ බලන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න අපේ හුදී ප්රේක්ෂක පරම්පරාවේ බහුතරයක් එක්ක මිසක් මේ අඟහරුවලින් ආපු අමුතු ප්රේක්ෂක පරම්පරාවක් නෙවේ.


ඉතින් තුමිදුලා සීයක් සම්මාන ගත්තත්, කූඹියෝ 2 නෙවේ සීසන් හතක් හැදුනත් මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ. තුමිදු මොනා කිව්වත් (with all respect to him as a fine actor and a mentor) තුමිදුට ඔය ඡන්ද ටික හම්බුනේ මේ කොහෙවත් තියෙන සිස්ටම් චේන්ජ් කරන "මල ඉලව් ප්රතිපත්ති ප්රකාශනයක්" නිසා නෙවෙයි, "අඩෝ මම කූඹි රසිකයෙක්" කියලා ගහගෙන ඉන්න පදක්කමේ ක්රෙඩිබිලිටි වැඩි කරගන්න විතරයි.


.ලි. මමත් කවදාවත් නැතිව සම්මාන උළෙලකට වෝට් කරා කූඹීයෝ වෙනුවෙන්, කූඹි කණ්ඩායමේ සාමූහික එෆර්ට් එකටයි උන් ඕක චැනල් එකක පෙන්නගන්න වින්ද වේදනාවටයි මානසික පීඩාවටයි ගෞරවයක් විදියට.

ප.ප.ලි. ලියපු දමිත සහ ලකා ටත්, අසංක ඇතුළු කූඹි කණ්ඩායමටත් මල් මිටක් තැබීමට ද මෙය අවස්තාවක් කරගනිමි.


Thursday, June 4, 2015

'ගප්පියා' සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි

සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය. විවිධත්වය යනු, සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය. ඇතැම්හු සුවිශේෂවන අතර, සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරපේක්ෂ තලවල පවතී. නිරපේක්ෂ පුද්ගලයෙකු පිලිබඳ සිදු කරන්නට ලැබුණ සාපේක්ෂ කතා බහක් ගැන සටහනකි මේ.

ඔහු නමින් තරිඳු විජේසේකර ය. සිංහල සයිබර් අවකාශය තුල ඔබ දන්නා නමින්, ගප්පියා ය.  ගප්පියා මුණ ගැසෙන්නට මට අවස්තාව සැලසුනේ අහම්බෙන් මෙනි. ගප්පියා ශ්‍රී ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබී වැඩි දිනක් ගත වීමට මත්තෙන්ම, ඔහුව මුණ ගැසෙන්නට ලැබීමත්, සුහද පිළිසඳරක යෙදෙන්නට ලැබූ අවස්ථාවෙන්, යූටියුබයේ  ඔබ අප මුණගැසෙන විහිලුකරුවාගෙන් ඔබ්බට, ඔහු තුල සිටින මිනිසා තුලට මම එබී බැලීමි.


සුහද ආගිය කතා බහකින් අනතුරුව, ගප්පියා නම් මිනිසා තුලට එබී බලන්නට මම උත්සුක වුනෙමි. ඔහු මා වෙත පවසා සිටි, අනාගත ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් "ලොකුවට" සෑදීමේ ආසාව ගැන මම විමසා සිටියෙමි. "ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් ලොකුවට හදනවා කියන්නේ ලොකු බජට් එකකට යනවා කියන එක ද?" සවස් වරුවක උද්යෝගජනක කතා බහක්  අතරතුර ඔහු හා මවුබිම වෑන් රියෙන් ඔහුගේ නිවසට යන අතරතුර මම ඇසීමි.  "නැහැ, මුදල නෙවෙයි වැදගත්. හොඳ කතාවක් හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක,හොඳ නිර්මාණයක් ටිකක් දිග කතාවක් විදියට  සැලසුම සකස් කරන එකයි වැදගත්. එතනින් එහාට ඒක ෆෝන් එකකින් වීඩියෝ කලත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්". 

"එතකොට ගප්පියා කියන්නේ, අදහස් වගේම නිර්මාණශිලිත්වය අතින් පමණක් බජට් ඒක බිග් වුනාම ඇතිද? 

"අනිවාර්යෙන්ම". ඒ ඔහුගේ පැහැදිලි දැක්මයි.


ඉහත දැක්වෙන්නේ කාර්යබහුල යුගයක, මේ බ්ලොග් පිටුව අතහැර දමා තිබූ වකවානුවක වූවත්, ඒ දිනවලදී මා ලියා තබන්නට ආරම්භ කල සටහනකි. මාස ගණනාවක් පුරා අසම්පූර්ණ-පල නොකළ ලිපි ගොන්න අතර තිබූ මේ ලිපිය සොයා අද අවසන් කරන්නට සිතුනේ, මේ ඊට හොඳම වකවානුව බව මට සිතුනු නිසාවෙන් ය.

ගප්පියා පිළිබඳව නැවත කතා බහට ලක් වන්නේ දින දෙකකට පෙරාතුව පොසොන් පොහොය දිනයේ ඔහු පල කර තිබූ එක්තරා කාටූනයක් ය.


ෆෙස්බුකිය සහ සිංහල සයිබර් අවකාශය පුරාවටම ඉහත කාටූණය පිලිබඳ සාධාරණීකරණය කරමින්, එමෙන්ම දොස් නගමින් විවිධාකාර ලිපි සහ සටහන් මේ දින දෙක පුරාවටම එකතු වී තිබිණ. නමුත් ඒ පිලිබඳ අදහස් දැක්වීමකට වඩා, මේ කාටූණය පසුපස සිටිනා මිනිසා ගැන මට හැඟෙන දේ සටහන් තබන්නට මම කල්පනා කලෙමි.

ඔහු දැනට දස වසරක පමණ පෙර සිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියේද වසර දහයකට පසු පළමු වරට ය. ශ්‍රී ලංකාවට පැමිණි අලුතම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ලබා ගත් පුවත්පත් සහ වීඩියෝ සම්මුඛ සාකච්චාව අවසානයේ නිවසට ගිය පසු, 'අර කෑල්ල දාන්න එපා-මේ කෑල්ල දාන්න එපා' යැයි නේක ගතු නොකී, මහ පොලව මත පිහිටි මිනිසෙකු ලෙස මම ඔහුව හඳුනා ගතිමි. ඕස්ට්‍රේලියාවේ කල රැකියාව ලෙස මා සමග පැවසු 'වලන් සෝදන රස්සාව' යන පිළිතුර, මා සමග පෞද්ගලිකව සේම නිල සම්මුඛ සාකච්ඡාවටත් එක ලෙස පැවසු අපූරු පුද්ගලයා ඔහු ය. ඕස්ට්‍රේලියාවේ ගෙවුන අවුරුදු දහයක අවසරයෙන් කටට සිංහල නුහුරු කර නොගත් මිනිසෙකු සමග ලැබුණ ඒ අවස්තාව මට විශාල ගෞරවයක් විය. සැබවින්ම එය පොලවේ පය ගැසුවත් පොලවට බරක් නොවුන නිහතමානි මිනිසෙකු සමග සුන්දර අදහස් හුවමාරුවක් බව මට දැනුන හැගීමයි.

ලංකාවේ පුවත්පත් අතිරේකවල 'තරු පිටු' කියවන පාඨකයාගේ රසය වෙනක කි. එකී පාඨකයන්ගේ හිතසුව වෙනුවෙන් සිදු කල ආගිය කතා බහෙන් අනතුරුව පෞද්ගලිකව ඔහු අල්ලාගන්නට ලැබුන රාත්‍රී වාහන තද බදය අතරතුර ඔහුගේ නිවස වෙත ගිය ගමන අතරතුර සිදු වූ කතා බහ තුලින්, ඔහු කන-බොන දේ යන එන තැන් ආදියෙන් බැහැරව වැදගත් යමක් මගේ බ්ලොග් පිටුවෙන් හෝ සටහන් කිරීමට මම සිතා ගතිමි.
වචනවලින් පොලවේ පය ගසන මිනිසුන් සේම සැබවින් පොලවේ පය ගසන මිනිසුන් වශයෙන්, බැලු බැල්මට පෙනෙන පොලවේ පය ගසන්නන් වර්ග දෙකකි. ඔහු සැබවින්ම ක්‍රියාවෙන් පොලව මත පිහිටි චරිතයක්ම බව, ඔහු හඳුනාගෙන ගත වූ කාලය ඇතුලත මට පසක් වූ බව සටහන් නොකර බැරි වන්නේ පෙර කී වචනයෙන් පොලවේ පය ගසන්නන්ද මට හමු වී ඇති බැවිණි.



මචං, සල්ලි පස්සේ එලවන්න එපා. ඔහු මද නිහඬතාවයකට පසු කට හඬ අවධි කලේ ය.  තමන් ආස දේ කරන්න, සල්ලි ලැබෙන්න ගනියි, හදිසියේ නෙවේ පසුවට..

ඒ ඔහු එකතු කල අදහස්වල සාරාංශය යි.


"ගප්පියා රඟපාන්න කවදා හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවද? ටෙලි නාට්‍යවලට එහෙම අඩගැහුවොත් යනවද?"
මගෙන් ප්‍රශ්න වැලකි. "ඉගෙනගෙන නැහැ, බැරි දේ කරන්න ගිහින් චාටර් වෙන්න ඕනේ නෑනේ, මට පුළුවන් දේ කරගෙන මම ඉන්නවා". ඒ ඔහු දැක්වූ අදහසයි.


කෙසේ හෝ මා හඳුනාගත් ගප්පියා යනු, තමන්ගේ අදහස වාරණයකින් තොරවම ඉදිරිපත් කරන එකෙකු බව ඔහුගේ නිර්මාණවලින්ම වඩා හමු වූ මුල් වතාවේදීම පසක් කර ගතිමි. කාර්යාලයේ එක්තරා නිලධාරියෙකු, සම්මුඛ සාකච්ඡාවට මොහොතකට පෙර ඊට සූදානමින් සිටි මට සහ සහෝදර මාධ්‍යවේදී දෙපල වෙත පවසා ගිය කාරණයකින් අනතුරුව, "එයාගේ ලොකු එක නෙහ්?" කියා ගප්පියා ඇසු විට අපි මොහොතකට නිරුත්තර වුනෙමු. සිතට නැගෙන අවංක අදහස වාරණයකින් තොරව ඉදිරිපත් කිරීමේ අව්‍යාජ බව මේ මිනිසා තුල පවතින බව මම නැවත නැවතත් දිටිමි. 

ගප්පියා ගැන කාලීන මාතෘකාව වන ඉහත කාටූණය පිළිබඳව මට පැවසීමට ඉතිරිව ඇත්තේ ද එය යි. සෙල්පිවල ඇති වැරද්දක් නැති මුත් අවශ්‍ය වුවත් පමණට වඩා අවශ්‍ය නැති බවට ඒ පණිවිඩය දෙන්න ඔහු කල කදිම නිර්මාණයක් හැරෙන්නට, බුදු දහමට කල අපහාසයක් නම් මම ඒ කාටූණයෙක් නොදිටිමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කල එම සිදුවීම දා පවා සිටියේ අද වැනි සෙල්ෆි මේනියා කාරයන් නම් සිදු වන්නේ එවැනි දෙයක් බව ඔහු මතුකළ අදහස යි. ලිපියේ අරමුණ තවත් එකී කාටුණය පිලිබඳ අදහස් දැක්වීම නොවුන ද,මා ඒ ගැන දරන මතයට ආසන්න මතයක් ලියවී තිබූ ලිපියක සබැඳිය මෙලෙස එකතු කරන්නම්.

ලිපිය 01


සටහන


අවසාන වශයෙන්, ගප්පියා යනු අපි වගේම කොල්ලෙකි. ඌට අහවල් තරු අමාරුවක් තිබුනේද නැත. කියන්නට ඇති දේ කෙලින් කියන ගතියට කවුරුත් ආස කරන්නේ කෙලින් කිව්ව දෙයින් රිදෙන්නේ තමන්ට නොවන තාක් ය. රිදෙන්න ඕනේ තැනට රිදෙන්න බැරි නම් ඕනේ මගුලක් වෙන්න කියා, කියන්න තියෙන දේ කියන්න පුළුවන් මිනිස්සු නැති කාලෙක එකෙක් දෙකෙක් හරි ඉන්න එක ගැන මට නම් සතුටු ය.


ගප්පියා සමග කල වීඩියෝ සාකච්ඡාව




Monday, May 18, 2015

තරිණිට මොකෝ වුනේ?

තරිණි, දැන් ඕක තමයි සෑහෙන දවසක ඉඳන් බුකියේ ට්‍රෙන්ඩින් ටොපික් එක.

කොල්ලන්ට තරිණි තරිණි කියන්නේ හෙන ආතල් එකක්, කෙල්ලන්ට නම් ලොකු කුතුහලයක්, මොකද්ද සීන් එක කියලා අහපු කව්රුත් නොකියන බවයි වාර්තා වුනේ.


හැබැයි ඕකේ පොඩි ගත යුත්තක් තියේ.

තරිණි ගැන කිව්වොත්, තරිණිලා හැම තැනම අද ඉන්නවා. ඒකට හේතුවක් තියේ..

සමාජයේ අපි දකින සමහරු විතරක් සාන්තුවරු, සමහරු විතරක් මැරයෝ, යක්කු,වනචරයෝ, දෙවිවරු. ඒ නිසාම, ශරීර කූඩුව ඇතුලේ ඉන්න චරිතේ එක එකාගේ එක එක විදියයි, එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ.

නෑ. ඒක වැරදි යි.


ඇත්ත කාරනාව, "මනුස්සයා" කියන නමින් අපි හඳුන්වන, කලින් කිව්ව කොයි ජාතියේ මිනිහා ඇතුලේ වුනත් ඉන්නේ එකම සතා යි. දෙවියා, යක්ෂයා,වනචරයා වගේම වනචාරියා ඔය කොයි චරිත ලක්ෂණත්, කොටින්ම ගල් යුගයේ උන්න මස් වැද්දාගේ ඉඳන්ම ගති ගුණ අනලා මුහු වෙච්ච එක හා සමාන "චරිතයක්" තමයි ඔය කොයි කාගේත් ඇතුලේ ඉන්නේ..

ඇයි එහෙනම් මේ ගති ගුණ වෙනස් වෙන්නේ, කොයි කාගේත් ඇතුලේ ඉන්න එකෙක් නම්?

ඔය ඇතුලේ ඉන්න චරිතෙන් කොයි කොයි ලක්ෂණ ඉස්මතු වෙලා කොයි කොයි ලක්ෂණ යට යනවද කියන කාරණය, කොටින්ම දෙවියෙක් වෙනවද යක්ෂයෙක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ උගේ ගත වුන ජීවිතය මත. ගත වුන ජීවිතය කියන්නේ මොකද්ද කියනවා නම්, උගේ බාල කාලය, උගේ ඇසුර, ඌ ඇහුව දැක්ක දේවල්, ඌ ඇසුරු කල පොත පත වගේම එතනින් එහාට සිදු වුන හැලහැප්පීම්, උගේ වෘත්තීය කියන දේවල් මත කොයි කාගේත් ඇතුලේ ඉන්නේ එකම එකෙක් වුනත්, උගෙන් මතු වෙන්නේ කුමන ලක්ෂණද කියන දේ තීරණය වෙනවා.

අතීතයට වඩා අද තරිණිලා වැඩි ද?


උත්තරේ ඔව්.

ගෑනු පිරිමි බේදයක් නැතුව, එදා අද වෙනසක් නැතුව, ඇතුලේ ඉන්න එකා කවදත් එකම උනත්, අද තරිනිලා මතු වෙනවා වැඩියි. ඒකට හේතුවක් තියෙනවා. අර ඇතුලේ ඉන්න 'එකී'ගේ බලපෑම නිසා, කාන්තාවෝ කොහොමත් කැමති නිදහසේ ඉන්න. එක, තනි පිරිමි පරානෙකට ඇලීලා පවුලකට බැඳිලා ඉන්න ප්‍රියතාවක් කොහොමත්ම කාන්තාවන්ට නැහැ.


මාතෘත්වයට ගෞරවය දීලා තියෙන සමාජයක් ඉස්සරහා, පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටුන/දාපු අදහස් වලට එදිරිව මෙහෙම කතා කරන්න ගියොත් ගුටි කන්න වුනත්, ඇත්ත කතන්දරේ තමයි ඒක. අතීතයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ රැකවරණය අවශ්‍යම තැනක තියලා බෙල හීන කරලා තිබුන බව නොරහසක්. තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය අවශ්‍ය බව දැනුනත්, තමන්ගේ දේ තමන්ට කරගන්න බැරි තත්වෙක උන්න කාන්තාවට, තමන්ගේ පිරිමියාට බැඳිලා සිටිනවා විනා කල හැකි අන් දෙයක් තිබුනේ නැහැ. කෙටියෙන්, එදා තිබුන පරිසර තත්ත්වය, ඇතුලේ ඉන්න එකීගෙන් "තරිණි"ලාව මතු කරන්න ලොකු ඉඩක් දීලා තිබුනේ නැහැ. තමන්ට බැඳුන පිරිමියාගෙන් මොන අඩත්තේට්ටම් වුනත්, තමන්ට රස්සාවක් කරගන්න බැරි, තමන්ගේ කටයුතු වෙනුවෙන් සමාජය ඉදිරියේ සමාජය සමග මුසු වෙන්න වගේම ගැටෙන්න හයියක් නැති තැන, ගැහැණියට කල හැකි අන් දෙයක් ඉතිරිව තිබුනේ නෑ. කාන්තාවකගේ කෙටි කාලීන ලෝයලිටි එක ආකර්ෂණය මත පදනම් වෙලා කල් ගත වෙද්දී එක්ස්පයර් වුනත්, දිගුකාලීන ලෝයලිටි එක පිටිපස්සේ තිබුන රහස ඕකයි. අවබෝධය මත ඇතිවෙන හිතවත් පක්ෂපාතීත්වය කොච්චර දුර්ලභද කියනවා නම්, ඒ ගැන කතා කලත් කෙනෙක්ට ඇති වැඩක් නැහැ.


අද තත්වය වෙනස්.

තමන්ගේ වියහියදම් තමන්ට සපයාගන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනට වාහනයක් පැදගෙන යන්න පුළුවන්,සමාජය එක්ක මුහු වෙලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්, ඉස්සරට වඩා ශක්තිමත්,පිරිමියා එක්ක හරි හරියට කරට කර ඉන්න ගැහැනියකට, ඕන දෙයක් දරාගෙන එකෙක් එක්කම ඉන්න තරම් අමාරුවක් නැහැ. සිදු විය යුත්තේත් එයම යි. නමුත්, අර ඇතුලේ ඉන්න "කෙනා" සමහරවිට ඔය පියවරෙන් ඔබ්බට කාන්තාව මෙහෙයවපු අවස්තාවක් තමයි තරිණි. අනිකාගේ නාසය අගට විතරක් බස්තම වන්න තියෙන පෞද්ගලික හිමිකම තමන්ගේ හුදු ආශාවන් වෙනුවෙන් එකෙකුගෙන් නොනැවතී කිහිප දෙනෙක්ගේම නාස් පොලු බින්දෙන්නම බස්තම වන්න තැනට කාන්තාව පත් වීම නම්, විය යුත්තක් නෙවේ
.

පිරිමියා වගේම කාන්තාවත්, පනින කොටු ඕනෑ තරම්. එතනින්, පිරිමියා කොටු පනින්න පටන් ගන්නේ සෑහෙන මුල සිටමයි. පිරිමියා කොටු පැනලා, අවසානයේ ඇති රහක් නැති වග දැනගන්න වයසත් පහු කලාම තමයි ගැහැණියට කොටු පනින්න නිදහසක් ලැබෙන වයස උදා වෙන්නේ. නමුත්, ඔය කොයි පාර්ශවයට වුනත් ඇරියස් පිහිටියෝතින් නම්, රහක් නැති වග තේරෙන්න ගත වෙන කාලය නිසාම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි නෑ.

ඔය වීඩියෝ එක ගහපු එකා ඉන්නේ අන්න එහෙම තත්වෙක. හිත බිඳීම නිසා අවස්ථාවට නොගැලපෙන උන්මත්තක හැසිරීමක් පෙන්වීම හරි හෝ වැරදි වේවා, විවාහ වී දරුවන් සිටිද්දී පවා කොහේ හෝ යන තරිනියෙක් ඇඟ දවටාගෙන කරගත් මෝඩකම, ඇරියස් පිහිටීමේ විපාකයක්.



Thursday, June 26, 2014

ලංකා ඊ නිව්ස්! ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින්??

සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය.ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත්,නාන මංකඩටත් වඩා හරි අපුරුවටත් පහසුවටත් වසුරු පීප්ප ගණන් පතුරුවා හරින්න බුකියත් එහි සරි සරණ බුකියෝත් හරි හපනුන් ය. බුකියන්ගේ ටේස්ට් එකට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්නට බුකි පේජ් සහ ඇඩ්මින් බුකියෝත් බුකියේ හැරෙන හැරෙන අත වැහි වැහැලා ය.


බුකි පිටුවල රසික බුකිවරුන්ගේ හා ගොසිප් සයිට්වල රසික බුවාලාගේ හරි අපුරු සමානතා ඇත. ඔවුන්ට අනුව මේ රටේ වැදගත් දේශපාලනයක නිරත වූ කිසිදු මිනිසෙකු නැත. අපේ රටට ගොඩ ඒමක්ද නැත. පාර්ලිමේන්තුවකින්  වැඩක්ද නැත. ගමේ පොල් අතු මඩුවේ ඉගෙන ගන්නා කෙල්ලෝ හැදියාවෙන් ඉස්තරම්ය. කොළඹ පාසලක ඉගෙන ගන්නේ සල්ලි වැඩිකමකටය.ඒ නිසා උන් වල්කමට ඇනුවල් වෝක් යනවාය. ඉස්කෝලේ යන්නේ කොලබ නම් ඕන කෙල්ලෙක් බඩු ය. කොළඹ බාලිකා පාසල් යනු බඩු පොට් ය. ඒවා වසා දැමිය යුතුය. මෙකි බුවාලා තරම් දැනමුතු බුවාලා ලොවෙත් නැති යයි දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා ය. ඔවුන් තරම් දැනුමින් පිරිපුන් නිර්දෝෂී බුවාලා මේ රටට වාසනාවන් ය. 


මේවා එක අතකින් ට්‍රෙන්ඩ් ය. හෙවත් පෙරකී ඉල්ලුමට අනුව සැපයුම දෙන එල කිරි ටොපික් එකක් හසු වූ කල මවන නිර්මාණ ය.කොයි හැටි වේවා බුකියේත් සයිබරයේ තබා කුමන මාධ්‍යකින් හෝ තමන් අසා දැනගන්නා තොරතුරු පැතිරවීමට පෙර නුවනින් විමසා බැලිය යුතු ය. මේ ලංකා ඊ නිව්ස් හී පලවුන එවැනි සටහනක් පිලිබඳ කෙටි විමසුමකි.


ආනන්දය ගැන මේ මාතෘකාවට එළබෙන විට නොකියා මග හරිය නොහැකි කතාවක් ඇත. ඒනම් ආනන්දය කෙසේ බිහිවී කුමන ගමනක් ආවේද යන්න යි. ලංකා ඊ නිව්ස්වලට අනුව එය බිහිකළේ බෞද්ධ සුද්දෙකි. ඒ අදහස ඉඳුරාම පිළිගන්නා අතර මේ ටිකද එක් කරමි. හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇමරිකන් කාරයෙකි, කොකා කොලා ගුගල් ගහන රටේ තවත් එක් වර්ජනය කල යුතු ට්‍රේඩ් මාක් එකකි. නමුත් එකී ට්‍රේඩ් මාක් එක යටතේ බිහිවුන ආනන්දය නම් පාසල කොකා කොලා කෑන් එකට යට වුන කොළඹ පොෂ් සමාජය වෙනුවෙන් නොව ඉංගිරිසිය නිසා බාදාවට පත් වූ තම ජාතිය ආගම පාවා නොදුන් ස්වදේශිකයන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බිහි වුවකි. එය එදාටත් අදටත් එසේමය. චේතනාව පාරිශුද්ධ වේ නම් ඕල්කට්තුමාගේ ඇමරිකන්කමෙන් අහක ඉන්න ගොබිලන්ට පලක් තිබිය යුතු නැත.


ආනන්දය බිහි වන්නේ බෞද්ධ ඉංගිරිසි පාඨශාලාව නමිනි. ඒනම් ආගමත් ජාතියත් පාවා නොදුන් ස්වදේශියන්ට ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ආයතනය යි. එය බිහි වෙන්නේ අද කාලේ කට වහරට අනුව NGO ඩොලර් හෝ පිට රට කළු සල්ලි වලින් නොවේ. පිටකොටුවේ කොළඹ නගරයේ පාරක් පාරක් පාසා ඇවිද එකතු කර ගන්නා කැට සල්ලි වලිනි. ආනන්දය බිහි වන්නේ රාත්‍රියේ ආලෝකය වෙනුවෙන් ලාම්පු තෙල් මිලදී ගැනීමට කඩපිලට ආ ආච්චි කැටයට දැමු, ඒ සන්තකේටම තිබු සත කාලේ ඒවාගෙනි. නැව් වලින් මෙරටට ගොඩ බට මිෂනාරි අධ්‍යාපනඥයන්ගේ පහස ලත් රැජිනගේ පවුම් වලින් ගොඩ නැගු පාසල් අතරේ පිටකොටුව මැලිබන් විදියේ ගොඩේ සිංහල කොලු ගැටයන්ට අකුරු කියා දෙන්නට පොල් අතු මඩුවක් බිහි වෙන්නේ එලෙසිනි. යාබද පල්ලියේ කෙනෙහිලිකම් මැද මරදානට ස්ථාන මාරු ලබන ආනන්ද කොලීජිය තම පනස්වන සංවත්සරය දිනයේදීත් මරදානේ ඉඩම් ණය තුරුස් ගෙව්වාය. 


අතීත කතා තුලින් මෑත කාලයට එද්දී සිහි වන්නේ මෙවන් කතා පුවතකි.විසි එක්වන සියවසේ අකුරු කරන්නට පැමිණි අපත් භාවිතා කරන විද්‍යා මන්දිර ගොඩනැගිල්ල, 1930-40 දශකයෙදී බිහිවන්නේ දුටුගැමුණු අරමුදලෙනි. ඒ වෙනත් පාසලක අධ්‍යාපනයට සුදුසුකම් නැති සිංහල බෞද්ධ කොල්ලන් පාරක් පාරක් ගානේ ඇවිද එකතු කරගත් රුපියල් හතලිස් පන්දහසකිනි. අදටත් ආනන්දයේ ජිව විද්‍යා විද්‍යාගාර දෙකක්,රසායන විද්‍යා විද්‍යාගාර දෙකක්,භෞතික විද්‍යා විද්‍යාගාර දෙකක්,කෘෂි විද්‍යාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් පවතින්නේ එදා කොලු ගැටයන්ගේ හිඟා කෑමට පින් සිදු වන්නටය.


ඒ ආනන්දයේ එදා තත්වයයි. අද?


අද ආනන්දය යනු දිවයිනේ ප්‍රධානතම පාසලකි. නමින් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ යි. කෝපාවිෂ්ට ගුරුවරියකගේ අදහසකට අනුව මුදුන් මල්කඩ නොව මුදුනේ මළකඩ යි. එයට යම් සත්‍යතාවක්ද ඇත. පාසල බිහි කළාවූ අරමුණු කෙසේ වෙතත් අද නම් බෞද්ධ අධ්‍යාපනයක් වෙනුවෙන් කාල සටහනේ විශේෂ තැනක් බුදු දහම වෙනුවෙන් ආනන්දයේ නැත. වෙනත් ඕනෑම පාසලක මෙන් ආනන්දයේද ඇත්තේ බුද්ධ ධර්මය විෂයය සදහා කාලචේද දෙකකි.ඉගැනිවීමේ නිරත වන්නේද වෙනත් ඕනෑම ජාතික පාසලකින් මාරුවක් හරි ගිය ගුරුතුමෙක් හෝ ගුරුතුමියකි. ඒ අතරින් තමා මේ පා තබා තිබෙන්නේ, කෙසේ කුමට බිහි වූ තැනකටදැයි දන්නා ගුරුතුමන්ලා මෙන්ම ශිෂ්‍යයෝද අද කාලේ විරලය. කාලය විසින් මැවූ අරුමයකට වඩා එය නම් දැන දැන මවනා ලද වෙනසකි. නුදුරු අනාගතයේ මීටත් වඩා තතු වෙනස් විය හැකිය.



එවැනි වාතාවරණයක් හමුවේ සමාජයේ යම් ස්ථරයකට පැමිණි ආදී ශිෂ්‍යයෝ නොසිටියා නම් ආනන්දය වසා දමන්නට සිදු වී බොහෝ කළකි. විදුහලේ විදුලි හා ජල බිල් වියදම මාසිකව ලක්ෂ ගණනකි. ඒවාට රජයෙන් සොච්චමකවත් ආධාරයක් ලැබෙන්නේ නැත.විද්යාලය විසින් සේවයට ගත යුතුව ඇති අනධ්‍යන කාර්ය මණ්ඩලයද සුළු පටු නැත. ඔවුන්ට සරිලන වැටුපක් සැපයිය යුතුය. ඇතැම් විට අවශ්‍ය සේවකයන් ලබා ගන්නේ ළමුන්ගේ දායකත්වයෙනි,ඇතැම්විට ආදී ශිෂ්‍යයෙකු හෝ දෙමාපියෙකු සහයෝගය ලබා දෙයි.දිවා ආහාරයක් සපයන්නේ ඇතැම් විට ගුරු මවකි,උදෑසන තමන්ටත් පවුලේ උදවියටත් බත් මුල් ඔතද්දී සිහිවෙන හිතෛෂී මුහුණ වෙනුවෙන් තවත් බත් මුලක් එතෙන්නේ මිනිස් කමේ නාමයෙනි. ආනන්දය නමැති සමාජ ඒකකයෙන් ලබා ගන්නා අමිල සත්කාර වෙනුවෙන් කුමක් හෝ දෙයක් ආපිට ලබා දෙන්නට උත්සුක වන පිරිසක් මෙහි වෙති.



ගැටලුව පැන නගින්නේ මෙහිදීය. සාමාන්‍ය පෙළ දක්වා සිසුවෙකුගෙන් වසරකට පහසුකම් හා සේවා ගාස්තු සමගින් පන්තිය පිළිසකර කර ගැනීම සඳහා රුපියල් තුන් දහසේ සිට පන් දහස දක්වා වාර්ෂිකව මුදලක් අයවේ.එයින් සැම සතයක් සඳහාම රිසිට්පත් නිකුත් වන අතර පන්තිය පිලිසකර කර ගැනෙන්නේ දෙමාපියන්ගේ මුල්‍ය කළමනාකාරිත්වයෙන් දෙමාපියන්ගෙන් තෝරාගත් කෙනෙකු සතුව ඇති කළමනාකරණ හැකියාවකින් හා පුර්ණ විනිවිද භාවයෙනි. උසස්පෙළ වසර දෙක සඳහා වසරකට රුපියල් 6000ක් වැනි මුදලක් පාසල වෙත ලබා ගනී. වැදගත්ම කරුණ වන්නේ යම් ශිෂ්‍යයෙකුට මෙම මුදල දැරිය නොහැකි නම් ඒ සඳහා කිසිදු බලකිරීමක් නොමැති වීමයි. එසේ වුවත්,මෙම ආනන්දය නමැති සම්ප්‍රධාය හා සමාජ ඒකකයේ රටාව තුල මොනයම් හෝ අයුරින් පාසල වෙත ඇති ණය ගෙවාලිමට මෙහි බහුතරය උත්සුක වෙති.ආනන්දයට පය තබා හෝ දිනක් මෙහි ජිවත් වී නොමැති, වත්මන් සමාජ ආර්ථික ධාවන තරඟයේ යෙදෙන  අයෙකුට මෙම සංසිද්ධිය වටහා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇත. ග්‍රාම සේවා සහතික අවශ්‍ය නැත, තමාව පෝෂණය කරනා ආනන්දය පවත්වා ගැනීමට සහයෝගය දැක්වීමට තරම් තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව පෙන්වීමට අවශ්‍ය එකම සහතිකය හදවතේ සාක්ෂිය පමණි.



ලංකා ඊ නිව්ස් හි දැක්වෙන මෙම සිද්දියේ අගමුල විමසීමට නම් මෙම තොරතුරු කෙනෙක් විමසා බලා සිටිය යුතුය. ආනන්දය වෙනුවෙන් එක වසරෙන් ළමුන් ඇතුලත් කර ගත් පසු ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රධානම අවස්තා දෙක පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මත ඇතුලත් කර ගැනීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් උසස්පෙළ සඳහා ඇතුලත් කර ගැනීමයි. මේ අතරින් පතර පැරෂුට් එකෙන් බසින්නන්ද නැතුවාම නොවේ. එයද සිමා සහිත වන අතර මා ආනන්දයේ උගත් සමයේදී අප වසරට සිසුන් ඇතුලත් කරගත්තේ ඇති තරම් ඉඩ කඩ තිබු ඉංග්‍රිසි මාධ්‍ය පන්ති දෙකෙන් එක පන්තියකට පමණි. පහ වසර සමතුන් ලෙස ආනන්දයට ඇතුලත් වූ මට මෙන්ම මගේ සහෘද ශිෂ්‍යයන්ටද ඩොනේෂන් පිලිබඳ ඉල්ලීමක් ලැබුනේ නැත.නමුත් මා උසස් පෙලට පැමිණෙන විට තත්වය වෙනස් වී තිබිණ. සියල්ලටම පාහේ පාසලට කල හැකි ආධාරයක් පිලිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුන අතර බහුතරය ඇති හැකි අයුරින් කුමක් හෝ දායකත්වයක් සපයා දී තිබුණි. නමට රජයේ පාසලක් වුවත් රජයෙන් කිසිදු නඩත්තුවක් සිදු නොකෙරේ නම් එය තම තමන් සපයා ගන්නා තත්වයට කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ පාසල් පත් වුයේ අද ඊයේ නොවේ. ඩොනේෂන් සංස්කෘතිය හා එහි ගෝත්‍රික වියුත්පන්නය වන පාගා සංස්කෘතිය බිහි වුයේ ඊට පින් සිදු වන්නටය.

මෙවන් සමයකදී ලංකා ඊ නිව්ස් මගින් වාර්තා කරන්නේ හරි අපුර්ව පුවතකි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි යම්කිසි දෙමාපියෙකුට තම දරුවා ඉදිරියේ එක්තරා ගුරු මාතාවක් විසින් "ඔයාගේ දෙමව්පියෝ ඔයාට සලකන්නේ මෙහෙම නම් ආනන්දයට ඒම ගැන හිතන්නවත් එපා" යනුවෙන් ප්‍රකාශ කර ඇත. 


ලංකා ඊ නිව්ස් වාර්තා කරන සිදු වීම ගැන කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. බණ්ඩාරනායක නම් ගුරු මාතාව ආනන්දයේ ජෙෂ්ටතම ගුරු මාතාවකි. ආනන්දය හෙවත් තමා පය ගසා සිටින භූමිය කුමක්දැයි දන්නා, විනය ඉහලින් අගය කරනා ගුරු මවකි. එතුමියගේ පාලනයට ඉහලින් ගණිත අංශය උඩින් මැස්සෙකුටවත් පියඹා යා නොහැකි බව එකල අප සිතුවේ බිය මුසු බවකින් මෙන්ම අද වන විට ඉතාමත් ගෞරවයකිනි. මෙම පුවත බොහෝ විට එතුමිය පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් හෝ එතුමිය මෙන්ම සමස්ත ආනන්ද ප්‍රජාව පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් විය යුතුය. එතුමිය හඳුනන,එතුමිය හා එක්ව කටයුතු කර ඇති ඕනෑම කෙනෙකුට එතුමිය හා මෙකි වචනවල ඇති පරස්පර විරෝධය හසු වේ. 



ආනන්දය බිහි වූ අරමුණ ධනපති පන්තියට අධ්‍යාපනය දීම නොවේ. ධනපතීන්ට එරෙහිව සටන් කිරීමටද නොවේ. සිංහල බෞද්ධ දරුවාට අකැප වූ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමත්, ඔහු ගුණ දහමින් පෝෂණය කර, ඇති හැකි අයෙක් ලෙස සමාජයට දායාද කිරීමත් ආනන්දයේ අරමුනයි. එය එසේ නොවන්නට අද මටත්,තවත් බොහෝ දෙනාටත් ආනන්දය අහිමි වන්නට ඉඩ තිබිණ. ලංකාවේ දහස් ගණනක් පාසල් අතර ආනන්දය යනු තවත් එක් පාසලක් පමණක් බවට පත් වීමට ඉඩ තිබු බව මුළු සමාජයම විසින් ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු කරුණකි. කොළඹ තදාසන්න නාගරික සංස්කෘතියක් මැද ආනන්දයේ දොරටුව පසු කල විට අභය භූමියකට,පන්සලකට ඇතුළු වූ හැඟීම ලබා දෙන්නා වූ ආනන්ද පරිසරය තුල අකුරු කිරීමට අවශ්‍ය එකම සාධකය වාසනාව මිස මිල මුදල් හෝ ඩොනේෂන් නොවේ. එසේම අපව තැනුවා වූ අපව වැදුවා වූ ආනන්දය පෝෂණය කිරීම රක බලා ගැනීම අප ජිවිතයට බරක්ද නොවේ.  කුමන බාහිර බලපෑම් හමුවේ වුවද,ආනන්දය තවත් චිරාත් කාලයක් ආනන්ද ප්‍රජාව තුලින්ම රැකි සමාජයේ දිදුලනවා ඇතී.








Wednesday, September 4, 2013

ලින්කන් හා කෙනඩි ඝාතනවල අබිරහස් සමානතා-කෙටි සටහනක්,අනිවාර්ය කියැවුමක්!

මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතුරන් අතර ප්‍රසිද්ධ කරුණකි.මගේම සොයුරෙකු බඳු සුලක්ෂණ,මගේ ඇස දැන්වීම් පුවරුවක් දෙස හැරී ඇති බව දුටු සැනින් "දැන් ඉතින් ඉවරයි" කියන්නේ මා එහි රැඳුනහොත් කෙලෙසින්වත් නැවත කැඳවාගෙන යා නොහැකි බව දන්නා හෙයිනි.විවේක කාලය හා ඇතැම්විට මීළඟ කාලචේදය පසුවන තුරු යලිත් පන්ති කාමරය වෙත යාම අමතක කරවන රසයක් මේවාගේ තිබිණ. එකල මගේ ප්‍රියතම (පසුකාලීන පරිපාලනයන්ගේ මහිමයෙන් නන්නත්තාර වී ගිය) බිත්ති පුවත්පත වූයේ හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව යි.එකල එහි පල වූ අදහස් කෙතරම් තියුණු හා මතභේදාත්මක මුහුණුවරක් ගත්තේද යත්,කී වරක් මේ පුවත්පතට ප්‍රහාර එල්ල කොට විනාශ කෙරුනේදැයි මටද නිනව් නැත.

මෙකී පුවත සොයා වාර්තා කර තිබුනේ එක්තරා 10 වසර පන්තියක්(මා ඊටත් කුඩා කලදී) විසින් පවත්වාගෙන ගිය බිත්ති පුවත්පතකය. එය පිහිටා තිබුනේ දැනට ඉවත්කර දැමීමට යෝජිත මුවර් ගොඩනැගිල්ලේ කුලරත්න අන්තය දෙසිනි. නැවතත් අන්තර්ජාලය පීරා එකී කරුණු කාරනා මෙපරිද්දෙන් සොයා බ්ලොග් සටහනට ඇතුලත් කිරීමට කල්පනා කලේ එහි ඇති ගුප්ත රසය ඔබ සමගින්ද බෙදාගන්නා අරමුණෙනි.

ජෝන් ඇෆ්.කෙනඩි හා ඒබ්‍රහම් ලින්කන් යනු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බව අමුතුවෙන් නොකිව මනා ය.එයින් ඒබ්‍රහම් ලින්කන් යනු ජාතිකත්වය පසෙකලා මුහු මහත් ලෝකයම විසින් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රේෂ්ට මිනිස් චරිතයකි.නමුත් අවාසනාවකට මෙම ජිවිත දෙකම කෙලවර වූයේ අමු ලේ වැගිරවීමකිනි. මෙම ජීවිත කතා දෙකෙහි ඉතාමත් සිත්ගන්නාසුළු 100 ඉලක්කම වටා ගෙතුණු සමානතාවක් ඇත.



ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950

ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි 
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.


ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson

ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

ලින්කන් ඝාතකයා උපන්නේ :  1839
කෙනඩි ඝාතකයා උපන්නේ :   1939


ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී


Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7


  • දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.

  • දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

  • දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

  • ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

  • ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.



කෙසේ වුවද ලින්කන්ට කෙනඩි නම් ලේකම්වරයෙකු නොසිටි බවත්,එම කරුණ කටකතාවක් බවත් මම තැනක දිටිමි.එනමුත් කෙනඩි ජනපතිවරයාට ලින්කන් නමින් ලේකම්වරයෙකු සිට ඇත.

Friday, August 23, 2013

ආ ගිය කතා-අල ගිය තැන් හෙව්වෙමි.

කාලෙකින් බ්ලොගේ මකුළු දැල් කඩාගෙන අලුත් බෝඩ් ලෑලි කෑල්ලක් එල්ලන් ආවට මොකද ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙලා තිබ්බේ නෑ. ප්‍රෝපයිලෙට අල්තයීර් කියලා කෑල්ලක් ඔබන් නමත් වෙනස් කරගෙනයි දෙයියනේ කියලා ආයෙත් වැඩ ඇල්ලුවේ.හෙන්රි බ්ලොග් කරක්ගසන්නා ද ඩූඩ් අයියට,සෙන්නාට වගේම ධාරාට,රෙහානිට,දේශකයාට  එහෙමත් මාව මතක තිබුනා ඔන්න. කට්ටියටම තැන්කිව් ඈ. හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනවද.

ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා. පස්සේ පස්සේ ඉව වැටුනා මේකා බ්ලොගක් ලියන එකෙක් තමයි හැංගි හැංගි වෙස් බැන්දට කියලා.ඔන්න ඊට පස්සේ සමියාගේ බ්ලොගේට මගෙනුයි මගේ බ්ලොගේට සමියාගෙනුයි කොමෙන්ටු එක දෙක වැටෙන්න ගත්තා.කස්ටිය දන්නවනේ කොමෙන්ටුවක් වැටුන පමාවෙන් මේල් කට්ටක් එනවා කියලා! ඔය මේල් කට්ට උඩ නිකමට කෙටිලා මට සමියාගේ G+ එකවුන්ටුවට යැවුනා!



දෙයියෝ සාක්කි!


මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!

ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන.මේ ඉන්නේ අපේ ඒ කාලේ පොත් ගැන්සියේ බුවෙක්! අපිට වඩා අවරුදු දෙකක් වැඩිමල්.සෙට් එක සෙට් වෙන්නේ ඉස්කෝලේ ඇරුනම ඉස්සරහ ගේට්ටුව ගාව බංකුවට.මම ඉන්නවා 3ට අම්මා එනකන්,මොකෝ අම්ම වැඩ කලේ ටිකක් ඈත ඉස්කෝලෙක නිසා එන්න පරක්කුයි.මට ඒ කාලේ තනියම පාරේ යන්න දුන්නේ නෑ කියන්න බෑ ඕයි ලැජ්ජයිනෙ. කොහොම හරි මේ සෙට් එක ඉස්කූල් වෑන් එනකන් ඉද්දි මාත් ඉන්නේ උන් එක්ක තමයි.මේ ගැන්සියේ උන්නා මේ ලොකු සමියා සහ අපේ වයසේ පොඩි සමියා,නිලංජන,රුතාශාන් සහ මම.සමියලා වගේම චමියාගේ තාත්තත් උන්නා අපි එක්ක චමියා එකනක්.මේ අතරින් රුතාශාන් පහු ගිය වසරේදී අපි අතරින් සදහටම සමුගත්තා. නමුත් කරපු ආතල් වැඩ නිමක් නෑ,දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.කොහොමින් හරි අන්තිමට මේ සමියාව හම්බුනේ සෑහෙන කාලෙකට කලින්,ඉස්කෝලේ ලැබ් බිල්ඩින් එකේ කොරිඩෝ එකකදී.. "යන්නන් අයියේ" කියාගෙන දුවන් ආපු මට ඊගාවට මේ සහෘදයාව මුණ ගැහුනේ සයිබරයේදී.ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි.

ස්ථානය: බුකිය

                                මුලින් සමීයා කියලා ෆේක් බුකි කාරයෙක් අඳුනගත්තා


                                 පස්සේ දැනගත්තා සමී කියලා බ්ලොගර් කෙනෙක්

                                                                                                                         ඊට පාස්සේ?
                                                                                                                                     :D

                                  දැන් තප්පර ගානකට කලින් ආපු මේල් එකක් රීඩිරෙක්ට් වෙලා දැනගත්තා                                             මේ අපේ ස්කූල් වෑන්  එක එනකන් ගේට් එක ගාව ඉඳන් කතන්දර පොත්                                                         ෂෙයාර් කරපු කල්ලියේ ***** අයියා කියල!

                                                     :O
                                       :D
                                                      මතකද ගයාන් නිලන්ජනවයි මාවයි!

                                                                                                                          හුටා!                                                                     :D


ඔන්න ඔහොමයිලු ඉතින් කතාව ගියේ.කැරකිලා කැරකිලා අන්තිමට සෙට් වුන පරණ යාළුකම්,සහෝදරකම්,කරපු කුපාඩිකම්, ජඩකම් ඔන්න දැන් අලුත් වෙලා. :D

ආපු ගමන් කරපු ගොන්  වැඩේනේ මොකද්දෝ මේ අල්තයීර් කෑල්ලක් ගහගත්ත එක. දැන් ඉතින් මං දිගාරින්නම්කො ඕකේ අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම.මොකෝ අපේ සෙන්නා "මොකද්ද බං මේ අල්තයීර් කියන්නේ" කියල ප්‍රශ්නාවලියක් අග අවසන් ප්‍රශ්නේ විදියට ඇහැව්ව නිසා හරියට කියන්න බැරි උනානේ.අල්තයීර් කියලා කියන්නේ ඔය ඇසැසීන්ස් ක්‍රීඩ් කියලා කොම්පීතර ගේමක ඉන්න බුවෙක්.ඉතිහාස කතා ඇසුරෙන් මේක නිර්මාණය වෙන්නේ.අල්තයීර්ගේ චරිතයට පසුබිම් උනා කියන්නේ 1200ගණන්වල මැදපෙරදිග උන්නයි කියන යුධ නායකයෙක්. යුධ නායකයෙක් කිව්වට මොකද සොල්දාදුවාගේ තැන ඉඳන් පටන් ගෙන තමයි මෙයා ඉස්සරහට යන්නේ පොතේ හැටියට.මේ කොම්පීතර ගේමේ ඉන්න චරිත ගත්තොතින් ඒ ඉන්නේ ඉතිහාස පොතේ ඉන්න චරිත සහ ඇත්ත නම්,නමුත් මේ අල්තයීර් සැබෑවක් උනත් මේ නම ඇත්ත යුධ වීරයාගේ නම නෙවෙයි.එක එක මෙහෙයුම්වලට දේශ දේශාන්තරවල එහෙම ගියාම ඕක එක එක විදියට සද්ද කෙරෙනෝ,අල්තයී..ර් කියලා ඇද..ල කියන්නේ ජෙරුසේලමේදීද කොහෙද.

කොහොමහරි මේ නම මට හරියන්නේ මේකයි.මං මෙහෙම උන්නට හරි රණකාමි යුධ කාමී යුධ සූරයෙක් කියල මුන්ට කියන්න හොඳ නෑ. ඉස්සරම කාලේ ,ඒ කියන්නේ 2011දී විතර මං බ්ලොග් කියෙව්වේ මේ සැම්සුන් කෝබි කට්ටකින්.බොහොම අමාරුවෙන් තමා දුක් විඳගෙන බ්ලොග් කියෙව්වේ ඒ කාලේ,ඉතින් කොමෙන්ටු එහෙම කොටන්න වෙන්නේ නෑ..සද්ද නැතුව එනවා-කියෝනවා-යනවා.ආයේ සලකුණක්වත් ඉතිරි නොකර යන්න මම හරීම දස්සයි නේද ඈ. නෑ! මේ අල්තයීර් කියන්නේ නිහඬ ඝාතකයෙක්! හා හා බය වෙන්න එපා මම මදුරුවෙක්වත් මරන්නෑ! ක්‍රීඩාවේදී අල්තයීර්ව ඉලක්කයට මෙහෙයවන්න ඕනේ ඉතාම නිහඬවයි.මේ ඇසසින්ලගේ ස්වභාවය තමයි තමන්ගේ ඉලක්කය සපුරාගත්තම මයිල්ගහක්වත් ඉතුරු නොකර නිහඬවම පිටවෙලා  යන එක. ඉස්සර මගේ බ්ලොග් කියවිල්ල වගේ තමයි!
ඉතින් මට නැද්ද බොලව් අල්තයීර් වෙන්න සුදුසුකම්! 

හහ්..!

අපේ සෙන්නා ඇහුවනේ කවුද බොලා මේ සුලොහිතයෝ කියන්නේ කියලා.. ඔන්න මං හදපු බඩ්ඩක් පෙන්නන්නයි යන්නේ. කියන්න එහෙම එපා මේක එක එක බුකි පේජ්වල කවරේ තියෙනවා දැක්කයි ය,ඒ හින්ද මම උස්සලයිය කියලහෙම.මං තමයි මේක හදලා බුකියට මුදා හැරියේ. බුකි පේජ් දෙක තුනක්ම මේක කවරේට එහෙම දාල තිබ්බා. මෙන්න මේ ඉස්කෝලවල ඉන්න කොලු රංචුවලට තමා සුලෝහිතයෝ කියලා ලේ වල පාටෙන් හඳුන්වන්නේ.


ඉතින් මාත් සුලෝහිතයෙක්.සුද්දට කණේ පාරක් ගහන්න හිතාගෙන,සතේ සතේ එකතු කරලා හදපු ඉක්කෝලෙක කොලුවෙක්.ලාම්පු තෙල් ගන්න පාරට ආපු ආච්චිත් ලාම්පු තෙල් ටික නොගෙන පුදපු සන්තකේම යටවුන ඉස්කෝලෙක කොල්ලෙක්.හතලිස්ගණන්වලදී ඉස්කෝලේ කොල්ලෝ ටික පාරට බැහැල එකතු කරපු රුපියල් හතලිස්පන්දහෙන් හදපු ලැබ් බිල්ඩින් එකේ අනුමාපන,විච්චේදන කරපු කොල්ලෙක්.පනස් අවුරුද්දක් ඉඩම්වල ණය ගෙව්ව ත්,රටටම එලිය දුන්න ඉස්කෝලෙකට යන්න වාසනාවන්ත වුන කොල්ලෙක්.ඉතින් හරිම ආඩම්බරයි. ඒ හින්දා මම මෙන්න මෙහෙම ලියල තිබ්බා මේ කටුඅකුල් ගොන්නක් මැද අමාරු ගමනක් ගිය ඉස්කෝල හතර පහ ගැන මට ගලපගන්න පුළුවන් වුන පද පේලි  ටිකක්.
අවසාන වශයෙන් මෙන්න දෙකක්.....

කොළඹ නලඳ උඩරට දම් රජ            සෙවණේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු            බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු      සෙවණේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ

එකසිය විසි හත් වසරක් නම          රන් දා
හැම හද තුලම ආනන්දය පැල්       බන් දා
නාලන්දයට පෙර මං පෙන්වා        සැම දා
අනද නලඳ නම් තුන් කල් මන      බැන් දා


ප.ලි.
මගේ draft දැන් එන්න එන්නම ගැබ්බරයි! කළල ගොඩයි,පෝෂණය කරන්න වෙලාව මදි. කොයි හැටි වෙතත් හෙට අනිද්දට "භාව සන්න සහිත-වැසිකිලි වරුණාව" බලාපොරොත්තු වන්න.!


-Altair෴
altair.ibn.la.ahad1190@gmail.com
Related Posts Plugin for WordPress, Blogger...