Tuesday, June 30, 2015

කරුණාවේ සුහද අස්න! සාර්ථකව නිම වෙයි...

පසුගිය විසි පස් වැනිදා ඉඳන් දින තුනක් පුරාවට රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ පැවැත්වුන 'සුහෘල්ලේඛා' - කරුණාවේ සුහද අස්න- චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත් වුනා.

'සුහෘල්ලේඛා' එහෙමත් නැත්නම් කරුණාවේ සුහද අස්න කියන අරුතින් මේ නම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුනා. අද කාලයේ පැවැත්වෙන බොහොමයක් චිත්‍ර ප්‍රදර්ශනවල සුලබ දර්ශනයක්නේ, චිත්‍ර කීපයක් යටින් විතරක් රවුම් කාඩ්බෝඩ් කෑල්ලක රතු පාටින් රිබන් ගැටගහලා එක දෙක තුන කියලා සලකුණක් දාන එක, ඉතින් මේ ප්‍රදර්ශනයේ එහෙම දෙයක් තිබුනේ නෑ. හරියටම කිව්වොතින්, මේ ප්‍රදර්ශය පිටුපස කිසිම තරඟයක් තිබුනේ නෑ. සිසු සිසුවියන් හැමෝම, කිසිම තරඟකාරී බවකින් තොරව,නිදහසේ තමන්ගේ නිර්මාණ එළිදක්වා තිබුනා. කළා නිර්මාණවල ඇති නිරපේක්ෂ බව, කළාවට තරඟකාරීත්වය නුසුදුසු බව මුළු ලෝකයටම හඬගා කියන්න උත්සහ කල කරුණාරත්නයේ දරුවන් ගෙන ආවේ හැබෑම කරුණාවේ සුහද හසුනක් තමයි.

Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..

Monday, June 15, 2015

කවිකාර පෙම්වතාට කියාගත නොවුන 'රහස'

"කවියෙකුට පෙම්වතිය වී හිඳින්නට ලැබීම, කෙතරම් සොඳුරු හැගීමක් වනු ඇති ද? "

කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.




ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..


Saturday, June 13, 2015

ඇයි ද මෙතරම් සුසුදු සියපත්?

සයිබරයට මුදා හැර නිදහස්වනු පිණිස තබන සටහන්

".....ගඟ පැත්තෙන් පඩි පෙළ නැග....."
සේයාරුව Daily News

දෑවුරුද්දකට පමණ පෙර මිත්‍රයෙකුගේ පොතක එලි දැක්වීමක් නිසා ගම්පහ ඔහුගේ නිවසේ බර සාකච්ඡාවක සිටි මොහොතක ලැබුන කෙටි පණිවිඩයක්..

"අද හවස කැළණි පන්සල් යමු(ද)"

ඉතිං වැඩ පැත්තක තියලා, හවස් වෙද්දී මම බස් එකක නැගලා කැළණි විහාරෙට ආවා..

මම ටිකක් පරක්කුයි, බස් නැවතුම්පොලෙන් බැහැලා කැළණි ගඟ පැත්තෙන් ඇවිත් පඩිපෙළ දිගේ නැගලා, වෙහෙර මලුව උඩට ඇවිත් මම වට පිට බැලුවා, ඒ වෙද්දී ඈ එතන වග දැනගෙන උන්න නිසා..

මම ගඟ පැත්තෙන් ආවට මොකද, අනිත් පැත්තේ බස් පාර දිහාවට එබීගෙන, වෙහෙර මලුව කෙලවර පවුරට බර වෙලා ඈ ඉන්නවා..

සුදුම සුදු පාට දිගම දිග  සාය,  

සුදුම සුදු පාට අත් දෙකටම දිග බ්ලවුස් එක,

තවමත් ලාවට තෙත බරිත කඩා දාපු කොන්ඩේ, 

රතු පාට අත් බෑගය,

සුදු පාට නෙලුම් මල් කළඹක් පපුවට තද කරගත් ඇය!


සුදුම සුදු පාට සුසුදු දසුනක්!

Friday, June 12, 2015

යකා මැරීම සහ ප්‍රේක්ෂක මල යකා නැගිටීම

බොහොම එක ළඟ වේදිකා නාට්‍ය දෙකක් නැරඹුවා නම් ඒ පුංචි සන්දියේදී සුබ සහ යස නාට්‍යයේ උදෑසන පාසල් දර්ශනය සහ සවස මහජන දර්ශනය යන දෙකම  බැලුව වතාව වෙන්න ඕනෑ. නමුත් මාසයක් තුල වේදිකා නාටක දෙකක් බැලුවා නම් ඒ පසුගිය දවසක බලාපු ලෝරන්ස්ගේ මනමාලි අපූරු නාට්‍යය සහ ඊයේ සවස බලාපු යකා මලා පමණක් වෙන්න ඕනෑ! තුන වසරේදී හෝ හතර වසරේදී නැරඹු සුබ සහ යස නාටකයේ මට නොතේරුණු හරි අපූරු දෙබසක් තාමත් මතක එළිපත්තේ යාන්තමට අත වන යි. කොහොම නමුත් නාට්‍ය බලාපු අවධියේම පුස්තකාලෙන් හම්බුන සුබ සහ යස නාට්‍ය පිටපතෙත් තිබුන ඒ අපූරු දෙබසේ තේරුම කාගෙන්වත් අහන්න නම් හොඳ නැති විත්තිය මගේ ළමා මනසට නිකමට තේරිලා තිබුනා!

 මං ඔබේ... ලද බොළඳ.... සුකුමාල...... දේවිය!!! දූෂණය කළා!!!! 

Thursday, June 11, 2015

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

තෝරක් නැතිව කඩිගුල වගේ ඇවිස්සුන මිනිස්සු එකිනෙකාගේ හැප්පී හැප්පී වේගෙන් ඇවිදින බස් නැවතුමක් මැද මම බංකුවකට බරවෙලා. සෙරෙප්පුවට පෑගිලා කකුල් අගින් නූල් ඇදුන ඩෙනිම, එක බොත්තමක් උනාපු අත් නමාපු කමිසේ ඇඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන, මම ඔරලෝසුවට එබෙනවා.. ඔහේ ගැලවුන සෙරෙප්පුවක්, කිසිම අවධානයක් නොලබා ලඟින් යන්නවුන්ගේ පය පැකිලෙද්දී මම ඉගිලෙන්නේ වෙනම කල්පනා ලෝකෙක.. මගේ වගේම කන් දෙකෙන් බේරෙන දිග කොන්ඩ තියෙන පාසල් කාලයේ මිත්‍රයෝ, මට අත වන වනා යනවා... 


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

ඈතින් මතු වෙනවා පෙනේද්දීම, මම නැගිටිනවා. දවසකට පස්සේ මුණ ගැහුනත්, මාසෙකට පස්සේ මුණ ගැහුනත්, මම අත කිටි කිටියේ මිරිකන විදියේ වෙනසක් නැහැ."ඌයි, ඒක රිදුණා" සමහර දාට, මගේ හරස්පද ප්‍රහේලිකාවට එහෙම කිය-වෙනවා..

"මග එනකොට සින්දුවක් ඇහුණා, මට බය හිතුනා.. "
"මොකද්ද සින්දුව දරුවෝ?"

 එහෙම අහගෙන මම කුතුහලයෙන් ඒ පුංචි ඇස්දෙකට එබෙනවා. නිදිමත ඇස්දෙකක්, එයා නම් කියන්නේ එහෙමයි. හැබැයි ඒ ඇස්දෙකේ නිදාගෙන උන්න අහිංසකියෙක්, මං ඒ කාලේ බොහොම පරිස්සමින් රැකගත්තා.

"මේ නගරය" එහෙම කියමින් ඇය මුහුණ පුළුටු කර ගන්නවා.
"ඒ සින්දුවේ එහෙම කිව්වට,එහෙම වෙන්නේ නෑ", මම අසීමිත විශ්වාසයකින් තෙපලනවා.

තමන්ගේ කරගන්න ආත්මාර්ථයට එහා, හිත ගිය තැන මාලිගා හදනවාට වඩා,හිත ගිය තැන-ට හිත ගිය මාලිගාව හදාගන්න පිටිපස්සෙන් අත දෙන්න හිතෙන, ඈ සෝපාහාසාත්මකව හඳුන්වන "බෝධිසත්ත්ව" මානසිකත්වය, අදටත් මම අදහනවා. 


වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඩෙනිමට,සෙරෙප්පු දෙකට සමු දීලා, කොටට කාපාපු කොණ්ඩය පැත්තකට පීරාගෙන, ජීවිතේ  රූපී විරූපී හැම මතකයක්ම පිරුණ මේ නගරයේ,අද මගේ දෙකකුල් සපත්තු දෙකකින් බර වෙලා.

 වැව් ඉස්මත්තේ ඉඳන් කියපු කියුම්, ලියපු ලියමන්,ගංගාරාමය අද්දරින් කාර්යාලීය රථයකින් යද්දී, මගේ මතක බර කරනවා. මහ පාන්දර පෝස්ටර් අලවන්න, පාසලේ මහ රෑ ගත කරන දාක මහ පාන්දර ඇවිදින්න එලියට බැහැලා ඇවිදපු පාරවල්,කවුළුවේන් පිටත හදිසියේම එලිය බලද්දී පෙනෙනකොට, ඉස්සර වේගයෙන් ඔලුව වනද්දී හතර අතේ විසි වෙන කෙස්ස මගේ ඔලුව උඩ නැති අඩුව තදටම දැනෙනවා. ඩෑෂ් බෝඩ් එකට උඩින් ගහපු PRESS කියන අකුරු පහ වින්ඩ්ස්ක්රීන් එකෙන් පරාවර්තනය වෙලා දකිනකොට, කට කොනකින් හිනාවක් එක්ක මේ නගරයට අලුත් වටිනාකම් පොදියක් ඇවිත් නේද කියලා, මම කල්පනා කරනවා. මේ නගරයේ මං ගත කරන, තවත් සුන්දර තාවකාලික නවාතැන් පොලක්, මම ඒ අකුරු පහ අතරෙ විඳිනවා. 

නිදහස් චතුරශ්‍ර තණ නිල්ලේ දිය මල්, අපි නැතුවත් අදත් පණලනවා. ඒ තණ ගොල්ලට වෙලා, මම දවසකට පිටු දෙක ගානේ පණ පොවන, ආදර කතාවක් නොවන නවකතා අත්පිටපතතේ හැංගිලා ඉන්න අතරෙ , බිම වැටුණ දම් පාට මල් උඩ වාඩිවුණ පෙම්වතියන් දිහාට කැමරා මානන කොල්ලෝ දිහා, මං වෙලාවකට බලන් ඉන්නවා. මගේ අතේ හොම්බ දිග කැමරාවක් තියෙන වග දකින ඒ සමහරු අතින්, උන්ගේ කැමරා මට බාර වෙනවා. දම්පාට මල් ඉහිරුණ තණ ගොල්ල උඩ ඉඳගෙන කවුරු මගේ කැමරාවට මුහුණ දුන්නත්, කම්මුල් දෙකේ දෑත් තියාගෙන බිම ඉඳගෙන හිනාවෙන මගේ මල් ගීය, මගේ ඉදිරියේ තාමත් ඉන්නවා.

පලවෙනි සැමරුම දා අපි උන්න ඇහැළ ගහ, එදායින් පස්සේ විහිළුවටවත් එතනට පිටදෙන්න නොගිය මං දිහා බලාගෙන, රතුපාට මල් බිම විසුරවනවා. තුන් වෙනි සැමරුම දාත්, අපි එනකං බලන් ඉන්න ඇතී.



ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

එදා ඒ දෙබස දා විහිළුවටවත් බය නොහිතුන මට, මේ වචන ටික ඇහෙන මොහොතක් ගානේ හිත කීරි ගැහෙනවා. ජීවිතේ සීයට තිහක් මේ නගරය මැද ගෙවුනත්, ආවට වැඩිය දුර ඉදිරි ජීවිතේ මේ නගරය මැද ගෙවන්න එපා කියලා, මේ නගරය මට අත වනනවා..

මතකයන් සමගම සියදිවි නසාගත් ඈ එතෙර ඉගිලුණු සැටියෙන්ම, මේ නගරය හැරදා මුහුදෙන් එහා ඉගිලෙන්න,වෙලාවකට මම කල්පනා කරනවා.

Tuesday, June 9, 2015

අනුරාගයේ මතක වස්තුව සමරමි...

හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක විරාමයක් ඇතුලේ, කල්ප කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන් වීමක් අද්දර වුණත්, සදා කල් මතකයේ රදවන, මේ ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ මතක වස්තුවක්..

හාද්ද....!


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?

පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා ඉම දිහා, කළුවර ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...


හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට ගියාවට උඩින්, මතකයේ රැඳී එකම වස්තුව! ඇයි මේ? මම පාලමක්, දෙගොඩ යා කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..  

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත සිද්ධවෙන බව, මේ පලවෙනි අවස්තාව නොවන වග, වෙලාවකට මම කල්පනා කරනවා...

ඉතිංසසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...




BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:


Saturday, June 6, 2015

එන්න! හදවතේ පිපෙන මල් බලන්න එන්න!!

ඉහත සේයාරුව
අදාළ හිමිකරුවා සතුයි
සුගිය දිනක රැකියා ස්ථානයෙන් ලැබුණු හදිසි ඇමතුමක් මත දෙයියනේ කියා නිවසේ රැදී සිටි උදේ වරුවෙම නැවතත් රොස්මීඩ් පෙදෙසේ කාර්යාලය වෙතට මම ඇදුනෙමි. අවශ්‍ය වූ ලිය කියවිලි ගොන්න කාර්යාලය වෙත බාර දුන් පසුව සවස් යාමයේ මගේ පැරණි පාසල් මිතුරෙකු හමු වී කොළඹ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගියේ මාස හයකින් පමණ හමු නොවූ මගේ ඒ අතිජාත මිතුරා සමග කතා බහ කරගන්නට දහසකුත් එකක් කාරණා තිබූ නිසා ය. ඔය අතරේම මගේ තවත් මිත්‍රයෙකුගේ ඇරයුමක් නිසා, සවස නිවසට ඒම පසෙකලා රාජකීය විද්‍යාලය අසලින් 122 අවිස්සාවේල්ල  බස් රථයක මා එල්ලී ගත්තේ එකී මිතුරාගේ නිවසට ගොස් තවත් අපූරු කටයුත්තකට අත ගසන්නට ය. හදිසියේ ලැබුණු ඒ ආරාධනාව මත යොදා ගත් ඒ ගමන,මන කළඹන අත්දැකීම් ගොන්නක් මා වෙත ගෙන ඒම සඳහා ලැබුනක් බව මගේ තුන් හිතකවත් අදහසක් නොවී ය!




සංගීතය පිලිබඳ කතිකාචාර්යවරයෙකු සහ ගත් කතුවරයෙකු වන මගේ මිතුරාගේ පියා සමග, එතුමන්ගේ මීළඟ පොත වෙනුවෙන් සරල ගී රචනයක යෙදෙන්නට මමත්, මගේ මිතුරන් දෙදෙනෙකුත් එදා රාත්‍රිය වෙනුවෙන් එක් රැස් වී සිටියෙමු. පසුදා පාන්දර දෙක තුන වන තුරුම කුඩා දරුවන්ගේ මනසට උචිත අයුරින් සංකල්පනා ගොඩ නගන්නටත්, පොතේ අරමුණුවලට උචිත පරිදී වචන හරඹ කොට ඒවා ගොඩනගන්නට ලැබීමත්, එතුමන්ගේ අදහස් සහ නිර්මාණවලට සවන් දෙමින් අගනා කාලයක් ගත කිරීමටත් ලැබීමත් තුලින් අපට කාලය ඉගිලී යනු පිලිබඳ හැගීමකුදු නොවී ය.

කුඩා ළමුන්-ගේ කවි ලියන්නේ කුඩා ළමුන් ය. නමුත්, "කුඩා ළමුන්-ට" කවි සින්දු ලියන්නට නම් එසේ මෙසේ ජගතෙකුට  බැරි බව යම් වෙලාවක් ගත වෙද්දී මම වටහා ගතිමි. කුඩා ළමුන් වෙනුවෙන් නිර්මාණ කිරීමට කුඩා ළමයෙකුගේ මට්ටමට "බැසිය යුතු" බව කෙනෙක් සිතනවා නම්,එහි "බැසිය යුතු" යන යෙදුමේ යම්කිසි වරදක් තිබේ. වැඩිහිටි සංකල්ප සහ වැඩිහිටි පරිසරයේ සිටින, වැඩිහිටි කෙනෙකු, කුඩා ළමුන් වෙනුවෙන් යම් නිර්මාණකරණයක යෙදෙනවා නම්, ඔහු තමන්ගේ සිතිවිලි මට්ටම සීරු මාරු කර ගත යුත්තේ පහලට නොව ඉහලට බව මම වටහා ගතිමි. කුඩා දරුවන්ගේ සිතිවිලි තුල සැරිසරමින්, ඔවුන් වෙනුවෙන් ඔවුනගේ ලොවට උචිත සංකල්ප ඉදිරිපත් කරමින්, වැඩිහිටි සමාජය තුලදී කාබාසිනියාවට ලක් වූ වැඩිහිටි සංකල්ප මග හැර ගනිමින් හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබීම මා ලැබූ හොඳ මානසික අභ්‍යාසයක් විය.



ම'මිතුරාගේ සෙල්ෆිය!

නොදන්වාම ඉගිලී ගිය කාලයෙන් පසුව මගේ මිත්‍රයාගේ ශබ්දාගාරය තුලට ගොස් බිම එලා තිබුන කලාල මත වැතිර සිනමා සිත්තමකින් සන්තර්පණය වී නැවත එලියට පැමිණ නින්දට යන විට උදෑසන හය ද පසු වී තිබිණ. නැවත දහවල් එකොළහට පමණ දෙයියනේ කියා නැගිටගත් මාත් මගේ මිතුරාත් හනික හැඳ-පැළඳ ගත්තේ මා තබා ඔහුද හරි හැටි විස්තරයක් නොදැන සිටි ගමනක් වෙනුවෙන් ය. පොසොන් පොහෝ දිනය වූ එදා ළමා නිවාසයක සිදු වන යම් කටයුත්තක් පිළිබඳව සහබාගී වන ලෙස ම'මිතුරාට ලැබී තිබූ ඇරයුම වෙනුවෙන් ඔහු ද ගිටාරයක් පිටේ එල්ලාගෙන මමද කැමරා ආම්පන්න සූදානම් කරගෙන මොටෝ බයික් එකේ නැගී පාදුක්ක මලගල ප්‍රදේශයට පිටත් වීමු.

ගමන පුරාවට "ළමා නිවාසයක්" පිලිබඳ අදහසක් වූවත් ස්ථානයට ලඟා වී ගත් පසුව අප දෙදෙනාම දැනගත්තේ ඒ බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවූ "මන්දුල නිවස" නම් පුණ්‍ය ආයතනයක් බව ය.2005 වසරේ ආදී-නාලන්දීයයන් කණ්ඩායමක් විසින් පිටිටවූ බව කියැවෙන පුවරුවක් ද එහි දැක්විණි. නොහඳුනන මුහුණු රැසක් සමගින් දන්නා එකම මුහුණ වූ මගේ මිත්‍රයා සමග එහි රැස්ව සිටි තරුණ තරුණියන් සමග හෙමි හෙමින් මම කුළුපග වීමි.






පොසොන් පොහෝ දා සූදානම් වී තිබූ ඒ කටයුත්ත ගැන මගේ ප්‍රසාදයට පත් කාරනා බොහොමයකි. පිටස්තරයෙකු වශයෙන් හෝ එම කටයුත්ත වෙත අවසන් මොහොතේ සම්බන්ධ වූ කෙනෙකු වශයෙන් මට දැනී ගිය ප්‍රධානම වැදගත් කාරණය නම්, වර්තමානයේ මෙවැනි කටයුත්තක් සංවිධානය වද්දී වැඩි අවධානයක් යොමු වන රටට අඬබෙර ගැසීමත්, බුකියේ අත ඇරීම සඳහා ෆොටෝ ගැනීමට හොම්බ දිග කැමරා ආදිය  සූදානම් කිරීම් ආදිය පිලිබඳ කිසිදු අවධානයක් වෙන් කර නොමැති වීමත් ය. බොහෝ විට වත්මනෙහි සිදු වන්නේ අදාළ කටයුත්ත සරුසාර කර ගැනීම වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට පෙරාතුවම ෆොටෝ ගහන්නට කැමරාමන් කෙනෙක් සොයා ගැනීමත්, ඒ පිළිබඳව විශාල මුදලක් වෙන් කිරීමත් වැනි හිස් අරමුණු වෙනුවෙන් ය. ජීවිතයේ සිහිවටනයක් වශයෙන් ඡායාරූප ළඟ තබා ගැනීම අනාගතයේ සොඳුරු මතක ආවර්ජනයකට මග කීවත්, අද පත්ව ඇති තත්වය නම් එකී මූලික අරමුණින් ඉතා බැහැරව ගොස් තිබේ. පුහු ආටෝප නොමැතිව, එහි නිවැසි බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට සහ සැප පහසුව වෙනුවෙන් මිස, අනවශ්‍ය කිසිදු දෙයක් වෙනුවෙන් මුදල් වැය කොට නොතිබීම බාහිර පුද්ගලයෙකු වශයෙන් මගේ ප්‍රසාදයටත් ප්‍රීතියටත් හේතු වූ බව මේ සටහන තබන මොහොතේ නොකියාම බැරි ය.











අපි ඔවුන් සමග කතා බහ කළෙමු, කෑමෙන් බීමෙන් සංග්‍රහ කළෙමු, ඔවුන් සමග ගී ගයමින් නටමින් විනෝද වුනෙමු,ඔවුන් සමග සහ සම්බන්ධ වූ සවස් යාමය ඉතා සන්තුෂ්ටිජනක සැදෑවක් වූ බව ඒ කාගේත් හදවත සාක්ෂි දරනු ඇති.





අවසන් වශයෙන් මුත්, සඳහන් කල යුතුම වැදගත් කරුණ අනෙකකි.ඒ මෙකී ආයතනයේ යට ගියාව සහ අරමුණ පිලිබඳව ය.මන්දුල නිවස පිහිටුවාලීමට කටයුතු කර ඇත්තේ 2005 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදී සිසුන් සහ මෙවැනි දරුවන්ගේ දෙමාපියන් එක්ව පිහිටුවාගත් මන්සහන සංවිධානය තුලිනි.එහිදී මේ දරුවනට රැකවරණය ලබා දෙන්නේ, එවැනිම දරුවෙකුගේ දෙමාපිය දෙපලක් වීම විශේෂිත කරුණකි. මේ පුණ්‍යායතනය පිහිටුවා පවත්වාගැනීමේ ඔවුන් තුල පවතින එකම අරමුණ වන්නේ සසර උපදින කිසිදු භවයක මෙවැනි වේදනාවකට ලක් වීමට නොලැබේවා යන අහිංසක පැතුම යි. තම දරුවාගේ රැකවරණය වෙනුවෙන් සොයා ගිය ආයතනවල ඔවුන් සියසින් දුටු තත්ත්වය හේතුවෙන්ම, අද ඔවුන් දෙපල තම දෑතින්ම මෙවැනි දරුවන් රැසක් සෙනෙහසින් රැකබලා ගැනීම ප්‍රශංසනීය ය. 

ඔවුන්ගේ අරමුණ සහ ඉලක්ක වන්නේ බුද්ධිමය ඌණතා සහිත දරුවන් සඳහා පූර්ණ කාලීන නිවෙස්නක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ සෞඛ්ය තත්ත්ව අනුව අවශ්‍ය පහසුකම් වෛද්‍ය අවධානය ලබා දෙමින් ඔවුන්ව දිගු කාලීනව රැක බලා ගැනීම ය. ඒ අතර වාරයේම ඔවුන්ගේ ශක්‍යතා හඳුනාගෙන පුහුණු වැඩසටහන්ද මේ ආයතනය තුල ක්‍රියාත්මක ය. ඔවුනගේ අතින් හැඩ වූ නොයෙක් අත්කම් විස්කම් ඔබට එහිදී දැක බලාගැනීම තුලින් විස්මය මුසු හැඬුම් කඳුළු නැගෙනු ඇති බව මට විශ්වාස ය.

ඔබත් මෙවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙක් වන්නට පුළුවන, එසේත් නැති නම් එවැනි දෙපලක් ඔබේ හිතවතුන් අතරෙ හෝ සිටිනවා වන්නට පුළුවන. මන්දුල නිවසේ මේ ආරාධනය, ඒ වේදනාව දන්නා ඔබගේ සියතින්ම, මේ පුණ්‍යායතනයේ කටයුතුවලට සහභාගීවන ලෙස ය. මුදල වෙනුවෙන් වේතනයක් වෙනුවෙන් එහි සේවයට කෙනෙක් ලබා ගන්නවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් සෙනෙහස දිය හැකි දෑත් ඔවුන් පතන්නේ එබැවිනි. එසේ නොවුනත් ඔබට ඔවුන් වෙනුවෙන් කල හැකි දේ බොහොමයක් තිබෙන්නට හැකි බව මට විශ්වාස ය.



ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා,

මන්සහන සංවිධානය
නොම්බර 100/A
කහවල, පාදුක්ක.

දුරකථන/ෆැක්ස් 0112830250
විද්‍යුත් ලිපිනය : mansahana_sl@yahoo.com



Thursday, June 4, 2015

'ගප්පියා' සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි

සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය. විවිධත්වය යනු, සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය. ඇතැම්හු සුවිශේෂවන අතර, සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරපේක්ෂ තලවල පවතී. නිරපේක්ෂ පුද්ගලයෙකු පිලිබඳ සිදු කරන්නට ලැබුණ සාපේක්ෂ කතා බහක් ගැන සටහනකි මේ.

ඔහු නමින් තරිඳු විජේසේකර ය. සිංහල සයිබර් අවකාශය තුල ඔබ දන්නා නමින්, ගප්පියා ය.  ගප්පියා මුණ ගැසෙන්නට මට අවස්තාව සැලසුනේ අහම්බෙන් මෙනි. ගප්පියා ශ්‍රී ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබී වැඩි දිනක් ගත වීමට මත්තෙන්ම, ඔහුව මුණ ගැසෙන්නට ලැබීමත්, සුහද පිළිසඳරක යෙදෙන්නට ලැබූ අවස්ථාවෙන්, යූටියුබයේ  ඔබ අප මුණගැසෙන විහිලුකරුවාගෙන් ඔබ්බට, ඔහු තුල සිටින මිනිසා තුලට මම එබී බැලීමි.


සුහද ආගිය කතා බහකින් අනතුරුව, ගප්පියා නම් මිනිසා තුලට එබී බලන්නට මම උත්සුක වුනෙමි. ඔහු මා වෙත පවසා සිටි, අනාගත ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් "ලොකුවට" සෑදීමේ ආසාව ගැන මම විමසා සිටියෙමි. "ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් ලොකුවට හදනවා කියන්නේ ලොකු බජට් එකකට යනවා කියන එක ද?" සවස් වරුවක උද්යෝගජනක කතා බහක්  අතරතුර ඔහු හා මවුබිම වෑන් රියෙන් ඔහුගේ නිවසට යන අතරතුර මම ඇසීමි.  "නැහැ, මුදල නෙවෙයි වැදගත්. හොඳ කතාවක් හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක,හොඳ නිර්මාණයක් ටිකක් දිග කතාවක් විදියට  සැලසුම සකස් කරන එකයි වැදගත්. එතනින් එහාට ඒක ෆෝන් එකකින් වීඩියෝ කලත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්". 

"එතකොට ගප්පියා කියන්නේ, අදහස් වගේම නිර්මාණශිලිත්වය අතින් පමණක් බජට් ඒක බිග් වුනාම ඇතිද? 

"අනිවාර්යෙන්ම". ඒ ඔහුගේ පැහැදිලි දැක්මයි.


ඉහත දැක්වෙන්නේ කාර්යබහුල යුගයක, මේ බ්ලොග් පිටුව අතහැර දමා තිබූ වකවානුවක වූවත්, ඒ දිනවලදී මා ලියා තබන්නට ආරම්භ කල සටහනකි. මාස ගණනාවක් පුරා අසම්පූර්ණ-පල නොකළ ලිපි ගොන්න අතර තිබූ මේ ලිපිය සොයා අද අවසන් කරන්නට සිතුනේ, මේ ඊට හොඳම වකවානුව බව මට සිතුනු නිසාවෙන් ය.

ගප්පියා පිළිබඳව නැවත කතා බහට ලක් වන්නේ දින දෙකකට පෙරාතුව පොසොන් පොහොය දිනයේ ඔහු පල කර තිබූ එක්තරා කාටූනයක් ය.


ෆෙස්බුකිය සහ සිංහල සයිබර් අවකාශය පුරාවටම ඉහත කාටූණය පිලිබඳ සාධාරණීකරණය කරමින්, එමෙන්ම දොස් නගමින් විවිධාකාර ලිපි සහ සටහන් මේ දින දෙක පුරාවටම එකතු වී තිබිණ. නමුත් ඒ පිලිබඳ අදහස් දැක්වීමකට වඩා, මේ කාටූණය පසුපස සිටිනා මිනිසා ගැන මට හැඟෙන දේ සටහන් තබන්නට මම කල්පනා කලෙමි.

ඔහු දැනට දස වසරක පමණ පෙර සිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියේද වසර දහයකට පසු පළමු වරට ය. ශ්‍රී ලංකාවට පැමිණි අලුතම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ලබා ගත් පුවත්පත් සහ වීඩියෝ සම්මුඛ සාකච්චාව අවසානයේ නිවසට ගිය පසු, 'අර කෑල්ල දාන්න එපා-මේ කෑල්ල දාන්න එපා' යැයි නේක ගතු නොකී, මහ පොලව මත පිහිටි මිනිසෙකු ලෙස මම ඔහුව හඳුනා ගතිමි. ඕස්ට්‍රේලියාවේ කල රැකියාව ලෙස මා සමග පැවසු 'වලන් සෝදන රස්සාව' යන පිළිතුර, මා සමග පෞද්ගලිකව සේම නිල සම්මුඛ සාකච්ඡාවටත් එක ලෙස පැවසු අපූරු පුද්ගලයා ඔහු ය. ඕස්ට්‍රේලියාවේ ගෙවුන අවුරුදු දහයක අවසරයෙන් කටට සිංහල නුහුරු කර නොගත් මිනිසෙකු සමග ලැබුණ ඒ අවස්තාව මට විශාල ගෞරවයක් විය. සැබවින්ම එය පොලවේ පය ගැසුවත් පොලවට බරක් නොවුන නිහතමානි මිනිසෙකු සමග සුන්දර අදහස් හුවමාරුවක් බව මට දැනුන හැගීමයි.

ලංකාවේ පුවත්පත් අතිරේකවල 'තරු පිටු' කියවන පාඨකයාගේ රසය වෙනක කි. එකී පාඨකයන්ගේ හිතසුව වෙනුවෙන් සිදු කල ආගිය කතා බහෙන් අනතුරුව පෞද්ගලිකව ඔහු අල්ලාගන්නට ලැබුන රාත්‍රී වාහන තද බදය අතරතුර ඔහුගේ නිවස වෙත ගිය ගමන අතරතුර සිදු වූ කතා බහ තුලින්, ඔහු කන-බොන දේ යන එන තැන් ආදියෙන් බැහැරව වැදගත් යමක් මගේ බ්ලොග් පිටුවෙන් හෝ සටහන් කිරීමට මම සිතා ගතිමි.
වචනවලින් පොලවේ පය ගසන මිනිසුන් සේම සැබවින් පොලවේ පය ගසන මිනිසුන් වශයෙන්, බැලු බැල්මට පෙනෙන පොලවේ පය ගසන්නන් වර්ග දෙකකි. ඔහු සැබවින්ම ක්‍රියාවෙන් පොලව මත පිහිටි චරිතයක්ම බව, ඔහු හඳුනාගෙන ගත වූ කාලය ඇතුලත මට පසක් වූ බව සටහන් නොකර බැරි වන්නේ පෙර කී වචනයෙන් පොලවේ පය ගසන්නන්ද මට හමු වී ඇති බැවිණි.



මචං, සල්ලි පස්සේ එලවන්න එපා. ඔහු මද නිහඬතාවයකට පසු කට හඬ අවධි කලේ ය.  තමන් ආස දේ කරන්න, සල්ලි ලැබෙන්න ගනියි, හදිසියේ නෙවේ පසුවට..

ඒ ඔහු එකතු කල අදහස්වල සාරාංශය යි.


"ගප්පියා රඟපාන්න කවදා හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවද? ටෙලි නාට්‍යවලට එහෙම අඩගැහුවොත් යනවද?"
මගෙන් ප්‍රශ්න වැලකි. "ඉගෙනගෙන නැහැ, බැරි දේ කරන්න ගිහින් චාටර් වෙන්න ඕනේ නෑනේ, මට පුළුවන් දේ කරගෙන මම ඉන්නවා". ඒ ඔහු දැක්වූ අදහසයි.


කෙසේ හෝ මා හඳුනාගත් ගප්පියා යනු, තමන්ගේ අදහස වාරණයකින් තොරවම ඉදිරිපත් කරන එකෙකු බව ඔහුගේ නිර්මාණවලින්ම වඩා හමු වූ මුල් වතාවේදීම පසක් කර ගතිමි. කාර්යාලයේ එක්තරා නිලධාරියෙකු, සම්මුඛ සාකච්ඡාවට මොහොතකට පෙර ඊට සූදානමින් සිටි මට සහ සහෝදර මාධ්‍යවේදී දෙපල වෙත පවසා ගිය කාරණයකින් අනතුරුව, "එයාගේ ලොකු එක නෙහ්?" කියා ගප්පියා ඇසු විට අපි මොහොතකට නිරුත්තර වුනෙමු. සිතට නැගෙන අවංක අදහස වාරණයකින් තොරව ඉදිරිපත් කිරීමේ අව්‍යාජ බව මේ මිනිසා තුල පවතින බව මම නැවත නැවතත් දිටිමි. 

ගප්පියා ගැන කාලීන මාතෘකාව වන ඉහත කාටූණය පිළිබඳව මට පැවසීමට ඉතිරිව ඇත්තේ ද එය යි. සෙල්පිවල ඇති වැරද්දක් නැති මුත් අවශ්‍ය වුවත් පමණට වඩා අවශ්‍ය නැති බවට ඒ පණිවිඩය දෙන්න ඔහු කල කදිම නිර්මාණයක් හැරෙන්නට, බුදු දහමට කල අපහාසයක් නම් මම ඒ කාටූණයෙක් නොදිටිමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කල එම සිදුවීම දා පවා සිටියේ අද වැනි සෙල්ෆි මේනියා කාරයන් නම් සිදු වන්නේ එවැනි දෙයක් බව ඔහු මතුකළ අදහස යි. ලිපියේ අරමුණ තවත් එකී කාටුණය පිලිබඳ අදහස් දැක්වීම නොවුන ද,මා ඒ ගැන දරන මතයට ආසන්න මතයක් ලියවී තිබූ ලිපියක සබැඳිය මෙලෙස එකතු කරන්නම්.

ලිපිය 01


සටහන


අවසාන වශයෙන්, ගප්පියා යනු අපි වගේම කොල්ලෙකි. ඌට අහවල් තරු අමාරුවක් තිබුනේද නැත. කියන්නට ඇති දේ කෙලින් කියන ගතියට කවුරුත් ආස කරන්නේ කෙලින් කිව්ව දෙයින් රිදෙන්නේ තමන්ට නොවන තාක් ය. රිදෙන්න ඕනේ තැනට රිදෙන්න බැරි නම් ඕනේ මගුලක් වෙන්න කියා, කියන්න තියෙන දේ කියන්න පුළුවන් මිනිස්සු නැති කාලෙක එකෙක් දෙකෙක් හරි ඉන්න එක ගැන මට නම් සතුටු ය.


ගප්පියා සමග කල වීඩියෝ සාකච්ඡාව




Related Posts Plugin for WordPress, Blogger...