Showing posts with label ටවර් හෝල්. Show all posts
Showing posts with label ටවර් හෝල්. Show all posts

Friday, June 12, 2015

යකා මැරීම සහ ප්‍රේක්ෂක මල යකා නැගිටීම

බොහොම එක ළඟ වේදිකා නාට්‍ය දෙකක් නැරඹුවා නම් ඒ පුංචි සන්දියේදී සුබ සහ යස නාට්‍යයේ උදෑසන පාසල් දර්ශනය සහ සවස මහජන දර්ශනය යන දෙකම  බැලුව වතාව වෙන්න ඕනෑ. නමුත් මාසයක් තුල වේදිකා නාටක දෙකක් බැලුවා නම් ඒ පසුගිය දවසක බලාපු ලෝරන්ස්ගේ මනමාලි අපූරු නාට්‍යය සහ ඊයේ සවස බලාපු යකා මලා පමණක් වෙන්න ඕනෑ! තුන වසරේදී හෝ හතර වසරේදී නැරඹු සුබ සහ යස නාටකයේ මට නොතේරුණු හරි අපූරු දෙබසක් තාමත් මතක එළිපත්තේ යාන්තමට අත වන යි. කොහොම නමුත් නාට්‍ය බලාපු අවධියේම පුස්තකාලෙන් හම්බුන සුබ සහ යස නාට්‍ය පිටපතෙත් තිබුන ඒ අපූරු දෙබසේ තේරුම කාගෙන්වත් අහන්න නම් හොඳ නැති විත්තිය මගේ ළමා මනසට නිකමට තේරිලා තිබුනා!

 මං ඔබේ... ලද බොළඳ.... සුකුමාල...... දේවිය!!! දූෂණය කළා!!!! 

Friday, May 29, 2015

මනමාලි-ලෝරන්ස්-සුදු කළු සහ අළු

පහු ගිය දොහේ ගත්ත තීරණත් වෙච්ච අලකලන්චිත් එක්ක, ජීවිතේ ජීවත් වෙන බව දැනෙන දවස් අඩු වෙලා එකම රූටින් එකට දුවපු දවස් ගාන පොඩ්ඩක් වැඩි වුනත්, අද පොඩ්ඩක් එලියට බැහැලා වෙනදා හිනා වෙලා ඉන්න කොලුවාව එලියට ගන්න යාන්තන් පුළුවන් වුණා. ඒ ඉස්පාසුවට අද කලේ ඉස්කෝල කාලේ යාළුවො දෙන්නෙක් එක්ක මරදානේ ටවර් රඟහලට ගිහින් ලෝරන්ස්ගේ මනමාලිවත් බලාගෙනම,සුපුරුදු ධවලගිරියෙන් වඩේ පාරක් කන එකයි.


ලෝරන්ස්ගේ මනමාලි නාටකය, සුදු පාටයි කළු පාටයි අතරෙ දෝලනය වෙලා අළු පාටින් කෙලවර වෙන කතාවක් කිව්වොත් සමහරවිට හරි. ඉන්නට ගෙයක් නැතත් පාරට බහින්නට පයිසයක් නැතත් ලෝකය ඉදිරියේ මමී-ඩැඩී ආලවට්ටම්වල එහා අන්තයත්, සරම බැනියම හා අමු හෙළුවෙන් වැනිල්ලේ විප්‍රකාරත් වේදිකාවේ අමු හෙළුවෙන් දූෂණය වද්දී කැකිරි පලා ඔල්වරසන් නගන ප්‍රේක්ෂකයා ගෙදර විත් කන්නාඩියෙන් මුහුණ බැලු පසු කොට්ට බදාගෙන හඬනු ඇති බව නම් මට විශ්වාස ය.සමාජ රාමුවකට කොටුවී ඒ රාමුවෙන් පිට මයිල් ගසක් සෙලවීම පවා නොරුස්සන, මහපොළවට නොපිහිටවූ දෙපා වේදිකාව උඩ දනගස්වන අතරම, ප්‍රේක්ෂකයා සිනාවෙන් ගිල්වද්දී, සිනාවෙන් පසු ගත යුත්තක් නොසැඟවීම එලියට ආ හැටි නම් අපූරු ය. නමුත් ඉන් යම් කිසි අන්තයක් උපහාසයට ලක්වීම උචිත නොවේ නොවේ වැනි හැගීමක් ඔබට ඇති වේ නම්, ඔබේ මධ්‍ය ශූන්‍ය ගැල්වනොමීටරයේ අංශුමාත්‍රීය හෝ උත්ක්රමණයක් ඇත්නම් එහි දිශාව ඔබටම සොයාගත හැකි වනු ඇත.


ලෝරන්ස්ගේ මනමාලි බැහැදකින්න ගිහින් මුළු පැය දෙකම ලෝරන්ස්ගේ ආගමනය වෙනකන් බලාගෙන උන්න හැමෝටම, අන්තිමේ සිදු වූයේ එක දෙයකි.. එන්ජිනියරින් ඩිග්‍රිය සහිත, ඉන්ට ගෙයක් ඇති සාම්ප්‍රදායික පරිපූර්ණ බෑනාගේ නූතන මූලාවයවයන් සහිත ලෝරන්ස්, කතාව ඉවර වෙන තුරුම වේදිකාවට නාවත්, අවසානයේ ලෝරන්ස් ඔබටත් මටත් හමු වන්නේ අපගේම සිත් තුලින්ම ය. ඒ අතින්, බඳින්නට ලෝරන්ස් කෙනෙක් සොයන 'ලෝරන්ස්ගේ මනාලියනුත්' , මනාලියක් වෙනුවෙන් 'ලෝරන්ස්' වෙන්න පතන මනාලයනුත් හැර ඒ දෙ-කුලකයට හසු නොවන නිදහස් මිනිසුන් සිටින්නේ ඉතාමත් සොච්චමක් වෙන්න ඇති, බාගදා, නැතුවාත් ඇති යන්න මගේ අවසාන හැගීම විය.


සුදු පැහැයේ නග්න බවටත් කළු පැහැයේ අඳුරටත් ඇති වෙනතුරු සිනා වෙන ප්‍රේක්ෂකයා අවසානයේ නවතින්නේ සුදුත් නොවන කලුත් නොවන 'ප්‍රේම් කුමාර්' සමගින් ය. 'ප්‍රේම් කුමාර්' ලෝරන්ස්ට අප අප තුලින්ම සොයා ගැනීමට ඉඩ තබා මනමාලි අවසානයේ කැටුව යන හැටි නම් හරි අගේ ය. ලෝරන්ස්ගේ ආගමණය වෙනුවෙන් බලාසිටින ප්‍රේක්ෂකයා අවසානයේ සතුටු වන්නේ 'ප්‍රේම් කුමාර්'ගේ වික්‍රමය දැන කියා ගැනීම තුළිණි . ලෝරන්ස් ඔන්න එතැයි මෙන්න එතැයි කියා කූටප්‍රාප්තිය වෙත අප ගෙන යන නාට්‍යකරුවා අවසානයේ අපිට දෙන තිළිණය නම් අපූරුය. නාටකය බලන්නටම වටින්නේ එනිසා ය.


නාට්‍යයේ ආලෝකකරණය ඉතා ඉහලින් මගේ සිත වැළඳ ගන්නා මට්ටමක තිබු බව නොකීවොත් මේ සටහනෙන් පලක් නැත. කතාවට වඩා මා බලා සිටියේ ආලෝකය තුලින් හැගීම් දැනවීමේ අපූරු හැකියාව කදිමට භාවිතා කර තිබු සැටියේ අපූර්වත්වය ය.


'ලෝරන්ස්'ලා එන්න, 'මනමාලියෝ' එන්න, 'ලෝරන්ස්ගේ මනමාලි', පරක්කු වෙලා දැන් හරි බලන්න!


Related Posts Plugin for WordPress, Blogger...