ඕනෑම අතිශයින් සාමාන්‍ය ගමනක් පවා, මොටෝසයිකලයකින් ගමන් ගනිද්දී එය තරමක වෙනස් අත්දැකීමක් වනවා නොඅනුමානය. මැදියම් රැයද පසු වී, මගදී තුවාලද ලබමින්, රක්ෂිත වනාන්තරයක් පසු කරමින් කඳු හෙල් මැදින් දුර්ග මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 30ක පමණ දුරක් කෑලි කැපිය හැකි අඳුරේ යෙදෙන විටදී, හුදෙක් සාමාන්‍ය මොටෝසයිකල් ගමනක අත්දැකීමට එහා ගිය ත්‍රාසජනක අත්දැකීමක් ලෙස හැඳින්වීම වරදක් නැත. මාර්ගය සොයාගැනීමට අප සතුව තිබු ජීපීඑස් උපකරණ දෙකෙන් එකක් අතරමගදී විනාශ වී, අනෙක් උපකරණය ක්‍රියා විරහිත වීමෙන් ද නොනැවතී, දෙදෙනාගේම දණහිස් සහ අත් තරමක තුවාල ලබා තිබියදීත් මෙම ගමන සාර්ථකව නිම කිරීමේ සිදු වීම් පෙළ ඇත්තෙන්ම ත්‍රාසජනකය. නමුත්, එම අතිශය අවදානම් සහිත ගමන සාර්ථකව නිම කිරීමෙන් ලැබුණු ප්‍රතිලාභය වචනයෙන් විස්තර කිරීමට පවා අපහසු ය.
අප ගමන පටන් ගත්තේ මීගමුව ප්‍රදේශයෙනි. මීගමුව, මීරිගම මාර්ගයේ පස්යාලට ලඟා වීමෙන් පසුව ගමනට එකතු වුනු මගේ ගමන් සගයා ද, තරමක ලගේජයක් ද සහිත වූ යතුරු පැදියේ මුළු බර කිලෝග්රෑම් 290කට ආසන්න විය. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1000ක් පමණ ඉහලට, කිලෝමීටර් 155ක පමණ මෙම ගමන අප ආරම්භ කරන්නේ රාත්‍රී 10ට ආසන්නයේ ය.
රාත්‍රීයේ ආරම්භ කරන මෙවැනි මොටෝසයිකල් ගමන්වලදී දැනෙන වින්දනය පුදුමාකාරය. පැයට කිලෝමීටර් 40/50 වැනි අඩු වේගයක් ඉතා දිගු කාලයක් තිස්සේ නොවෙනස් කොට පවත්වාගනිමින් ස්ථාවර ගමනක යෙදෙන විටදී මනසට දැනෙන සැහැල්ලුව සහ සොම්නස අත්විඳිය හැකි වෙනත් යම් ආකාරයක් මට සිතා ගැනීමට අපහසු ය. ඉතා ඉහල තත්ත්වයේ මාර්ගවල, කලාතුරකින් ඉදිරියට හමුවන වාහනයක ප්‍රධාන විදුලි පහන්වලින් ඇරෙන්නට, ගමනට කිසිදු වෙනත් බාධාවක් ඇත්තෙම නැති තරම් ය. කඳුකරය එළබෙන විටදී ඉතා දැඩි වැලමිට වංගු ආයාසයකින් තොරව ලබා ගනිමින් රාත්‍රී කාලයේ සැහැල්ලුවත් සමග කොපුල් පිස ඇදෙන සිහිල් සුළං ධාරා සමගින් ඉදිරියට ඇදීම භාවනාවක් වැනිය. ඉබ්බාගමුව-මාතලේ මාර්ගයේ එවැනි කඳුබර ප්‍රදේශයකදී අප මොහොතකට නැවතුනේ මෑත කිසිදු ඉසව්වක කිසිදු විදුලි පහනක් නොමැති ප්‍රදේශයක, බිමට එලාගත් යතුරු පැදි ජැකට්ටු මත හිඳිමින් අහස දෙස බලා සිටීමට ය. රාත්‍රීයේ යෙදෙන මොටෝසයිකල් ගමන්වලදී ලබා ගන්නා මෙවැනි කුඩා නැවතුම්වල ආශ්වාදය විස්මයජනකය. යතුරුපැදියේ එන්ජිම සක්‍රීයව තබා, ප්‍රධාන විදුලිපහන සහ ඇතැම්විට සංඥා විදුලි පහන් ද දල්වා අපි බිම දිගා වී අහස දෙස බලා සිටියෙමු.
පැහැදිලි අහසක් යනු මොටෝසයිකල් ගමනකට ආශිර්වාදයකි. නමුත් කිලෝමීටර් සිය ගණනක් යන තුරු පවා නොනවතින මහ වැස්සේ ධාවනය කිරීමද එක්තරා ආකාරයක සුන්දර, එහෙත් වගකීමක් සහිතව කටයුතු කරමින් අත්විඳිය යුතු සොඳුරු අත්දැකීමකි. මෙදා තරු පිරුණු, කිසිදු වැහිවලාකුලකින් අවහිර නොවූ අහස අප ගමනට එකතු කලේ නැවුම් වටිනාකමකි.
කෙසේ වුවද අලුයම එක ආසන්න වන මොහොතක මාතලේ නගරයට එළඹෙත්ම අපට මුහුණ දෙන්නට සිදු වූයේ අනපේක්ෂිත අත්දැකීමකට ය. පහසුවෙන් මග හැර යන්නට ඉඩ තිබූ, මාර්ගයේ නිදා සිටි සුනඛයෙකු මොටෝසයිකලය ලංවත්ම කලබලවීමෙන් මොටෝසයිකලය හා එකට දිවගොස් ඉදිරි රෝදය ඉදිරියෙන් අනෙක් පසට පැනීම නිසා අපට සිදු වූයේ මොටෝසයිකලය බිම පෙරලා ගැනීමට ය. ගමන් සගයා අතේ තිබූ ජංගම දුරකතනය කුඩුපට්ටම් වී ගිය අතර ඔහුගේත් මගේත් වැලමිට තුවාල වී දණහිස් දෙක තදබල ලෙස තැල්මකට භාජනය වී තිබිණ. සගයාගේ බූටයේ අඩියද ගැලවී වෙන් වී තිබු අතර පැදිකරුවා වූ මගේ ආරක්ෂිත ගියර නොවන්නට මගේ අත්ල සහ අත් බරපතල ලෙස තුවාල වනවා නොඅනුමානය. කෙසේ නමුත්, මෙම සිදුවීම් කිසිසේත්ම ගමනේ උද්යෝගය අප වෙතින් උදුරාගැනීමට සමත් නොවී ය.
රාත්රී ආහාරය කුරුණෑගලදී ලබාගෙන තිබුණ ද, මාතලේ නගරයේදී අප යලිත් වරක් නැවතුනේ හදිසියේ ඇති වූ තත්ත්වය මනසින් මදක් පහව යනතුරු ය. රාත්රී මොටෝසයිකල ගමනකදී පැයකට දෙකකට වරක් මග කොහේ හෝ නවතා බොන උණු ප්ලේන්ටියක් සහ රොටියක් වැනි කුඩා ආහාරයක් යනු දිව්‍ය භෝජනයකි.
මාතලේ, රත්තොට මාර්ගය ඔස්සේ ගමනේ වැදගත්ම කොටස එළඹෙන්නට පළමුවම පොලීසිය විසින් අපව නවත්වනු ලැබී ය. ඉතාම මිත්‍රශීලී නිලධාරීන් වූ ඔවුන් සමග මද වෙලාවක් සංවාදයේ යෙදුන විට ඉදිරියට ඇති අසීරු මාර්ගය පිලිබඳ ඔවුන් විසින් දැනුවත් කරනු ලැබීය. යතුරුපැදිය දෙස බලා එක් නිලධාරියෙකු විසින්, “ආ මේකේ නම් ඉතින් ඇදලා යන්න පුළුවන්නේ” කී විට කුමක් කියම්දෝයි නිරුත්තර වූ මම ඔවුන්ට සමු දී රත්තොට මාර්ගයට හැරවීමි.
සැබවින්ම ගමන ආරම්භ වන්නේ මෙතැනිනි. මුහුණ දුන් අනතුරෙන් පසු අහිමි වූ දුරකතනයට අමතරව අප සතුව තිබු ඉතිරි එකම ජංගම දුරකථනය මේ වන විට පැවතියේ අසීරු අඩියක ය. ජනාවාසවලින් තොර ඉදිරි කිලෝමීටර් තිස් ගණනක ගමන අප කෙසේ හෝ තාක්ෂණයේ ආධාරයකින් තොරව සොයාගැනීමේ වගකීම ද අප මත පැටවී තිබුණේ තවම කිසිදු ප්‍රතිකාරයක් නොකර ලේ ගලන තුවාල සහ තැලුම් සහිත සිරුරේ වේදනාවන් ද දරා ගැනීමේ භාරය ද සහිතව ය.
රත්තොට ප්‍රදේශය පසු කළ විට මොටෝසයිකලය ක්‍රම-ක්‍රමයෙන් ඇතුළු වූයේ නකල්ස් කඳු පන්තියට අයත් සංරක්ෂිත වන පෙදෙසට ය. ඉතා තීව්‍ර වංගු සහිතව වනාන්තරය තුලින් දිවෙන මාර්ගය වල ගොඩැලිවලින් සපිරුණකි. ගමනේ මේ ප්‍රදේශයේ මුල් කොටසේ එක්තරා තීව්‍ර වංගුවකදී ඈතින් විදුලි බුබුළු දිස්වුණ නගරබද ප්‍රදේශයක් දිස්වූ අතර, එම දසුන හොඳින් දැක ගැනීම සඳහා යතුරු පැදිය ක්‍රියා විරහිත කර ලාම්පු නිවා දැමු විට, අප අවට පැතිර ගියේ විනාඩි ගණනාවක් ගියද ඇස හුරු නොවූ ඉතාම තීව්‍ර ඝන අන්ධකාරයකට ය. අප වසාගෙන සිටි වනස්පතීන් නිසාවෙන් සඳ එළියකට හෝ අප කරා ඒමට කිසිදු ඉඩක් නොවූ අතර, කෙතරම් වෙලාවක් රැඳී සිටියත් අප මේ සිටින්නේ කෙබඳු පරිසරයකදැයි වටහා ගැනීමට හැකි කිසිම ආලෝක තත්ත්වයක් ඒ අවට නොවී ය. වනාන්තරයක් මධ්‍යයේ පමණට වඩා රැඳී සිටීම නුවණට හුරු ක්‍රියාවක් නොවන බව පෙනී ගිය නිසාම අප තීරණය කලේ ගමනාන්තය එළඹෙන තුරු නොනවත්වා ධාවනය කිරීමට ය.
වනාන්තරය තුලදී කඳු මෙන්ම පල්ලම් ද බසිමින් ගමන් කලද අපට දැනුනේ දිගින් දිගටම දැනුනේ අප තව තවත් වනාන්තරය තුලට මෙන්ම තව තවත් කඳු පන්තියේ ඉහලටම ගමන් කරන බව ය. දෙපස සයිප්‍රස් ගස් පොඩි වීමෙන් දැනුනු “මළගෙදරක පුසුඹ"ට එකතු වූ ප්‍රපාතවලදී පසුපස තිරිංග තෙරපාගෙන සිටීමෙන් ඇති වූ පිලිස්සුණ රබර් ගන්ධය එකතු කලේ ගමනට අමුතුම උද්වේගයකි. අවශ්‍ය ද්‍රව්‍ය රැසක් ලගේජයේ ගොඩ ගසා, කිලෝ අසුවක් බරැති මගේත් කිලෝ හැටක් බරැති ගමන් සගයාගේත් බර රැගෙන වලවල් සහිත ප්‍රපාතවලදී මොටෝසයිකලය පාලනය කර ගැනීම සැබවින්ම ත්‍රාසජනක ක්‍රීඩාවක් විය. සැබවින්ම, වෛද්‍ය ශිෂ්‍යයකු වූ ගමන් සගයාගේ මනා සහයෝගය, අවබෝධය, ඉවසීම සහ මෙවැනි වෙනස් පන්නයේ අත්දැකීම්වලට ඇති අතිමහත් කැමැත්ත මෙම ගමන මෙතරම් සාර්ථක මෙන්ම ත්‍රාසජනක ගමනක් වන්නට හේතු වූ බව මා අනිවාර්යයෙන්ම සටහන් තැබිය යුතු ය.
පාර දෙපසින් ක්ෂණික චලනයක් ඇති වූ ඇතැම් මොහොතකදී හදවත නැවතී හෘද ස්පන්ධනයක් මග හැරී සිරුරම හිරි වැටී ගිය අවස්ථා ද නොතිබුනා නොවේ. කෙසේ වුවද කිසිදු වන මෘගයෙකුගේ බාධාවකින් තොරව ගමන ඉදිරියට ඇදීම අප දෙදෙනාගේම සැනසීමට හේතු විය. නකල්ස් වනස්පතින් අතර ගැවසෙන දිවියන්, නරියන්, වල්ඌරන් සහ මී ගවයන් ගැන නිරන්තර අවධානයෙන් පසු වූයේ මගදී වූ සුනඛ ඝට්ටනයේ කම්පනය ද තවමත් සිතට බලපාමින් තිබූ නිසා ය.
පැය දෙකකට අධික කාලයකින් පසුව ක්‍රම-ක්‍රමයෙන් වනාන්තරය තුල තැනිතලා පතන බිම් තීරයකට එළඹෙමින් පැවතීම, අපගේ ගමනාන්තය කෙරේ අප ආසන්න වන බවට ලකුණු විය. අපට ඉහලින් වූ දැවැන්ත තුරු හිස්වල ගනකම අඩුවත්ම සඳ එළියෙන් අවට පරිසරය දිස්වන්නට ඇරඹීම සැබවින්ම හිතට සැනසුමක් ගෙන දෙන්නක් විය. අතරමග කුමන ස්ථානයකදී හෝ කිසිදු හේතුවක් මත නවතාගෙන සිටීමට ආරක්ෂිත නැති අඩවියක කිලෝමීටර 30කට ආසන්න දුරක් පැමිණීමෙන් අනතුරුව මෙවන් ඉසව්වකට ලඟා වීම සැබවින්ම මනස සැහැල්ලු කරවන්නක් විය. පතන බිමට ආසන්නවත්ම වැඩි වමින් පැවතී සුළඟ නිසා දැනුන සීතල නිසා මගදී සිදු වූ අනතුරෙන් ඇති වූ වේදනාවන් තරමක් සමනය කරමින් තිබුණි.
ඉහත සේයා රුවෙහි දැක්වෙන ඇතුළු වීමේ දොරටුවෙන් ඇතුළු වූ අප එහි පැවති එළිමහන් ඉඩකඩෙහි පඳුරක් අස්සටම වන්නට යතුරු පැදිය ගාල් කලේ, ඇතැම්විට අපව ද අඩි දෙක තුනක් විසි වී ගිය තරමට පැවතී දැඩි සුළං නිසා යතුරුපැදිය පෙරලී යනු ඇතැයි යන බිය නිසා ය. අලුයම තුන හමාරට පමණ එහි ළඟාවන විට හාත්පස සඳ එලිය සමගින් මිලියන සංඛ්‍යාත තරු සමූහයා අපව පිළිගැනීමට අහස සරසා සිටියහ. අලුයම තුනයි තිහේ සිට උදෑසන හතරයි හතළිස්පහට පමණ දිනයේ ප්‍රථම හිරු කිරණ අහස සිප ගන්නා වෙලාව තෙක් අහසත් ඈත කඳු පන්තියත් ඡායාරූප ගත කරමින් සිටි අපි ඉන්පසු බ්ලැන්කටයක් පොරවාගෙන මද වෙලාවක් විවේක ගැනීමට උත්සහ කළෙමු. ගස්වැල් අඹරවාගෙන හමන සුළගෙහි නාදය, හාත්පස කඳුවල හැපී දෝංකාර නගන විට දැනෙන භීතිය අපට නින්දක් ලං කරවුයේ නැති තරම් ය. අහස පුරා විසිරි තරු ගොන්නක් යට, සීතලේ වෙවුලමින් මනස එක්තැන් කරගනිමින් විඩාව නිවා ගැනීමට උත්සහ කිරීම සැබවින්ම මේ ලෝකයේ අප දන්නා සියලු සොම්නස් සහගත අත්දැකීම් සියල්ලන්ගෙන්ම එපිට වූ, කොහේදෝ ඈත පිටසක්වලකින් අප වෙත ගෙන ආ අත්දැකීමක් කියනවා ඇරෙන්නට, මෙකී අත්දැකීම විස්තරකල හැකි වදන් මා සතුව නැත.
ඉහත සේයා රුව ලබා ගන්නා විට වෙලාව උදෑසන හතර පසුවී මිනිත්තු තිහකි. ඈතින් පෙනෙන කඳු පන්තියේ ඡායාව හැරෙන්නට කැමරාවවට කුමන අන්දමේ දර්ශන තලයක් හසුවේද සිතා ගැනීමට නොහැකි තරම් පරිසරය අඳුරු ය. පැවති අධික සුළඟ කෙතරම් බලවත් ද යත්, කිලෝ අසූවකට වැඩි ශරීර බරක් ඇති මා ද අඩි දෙක තුනක් විසි වී ගිය අවස්ථා ද විය. පහසුව තකා ගෙන ගිය සැහැල්ලු කැමරා ත්‍රිපාදයද (tripod) නොපෙරලී බේරා ගත්තේ එය නිරන්තරයෙන්ම අල්ලාගෙන සිටීමෙනි. තත්පර 30ක කාලයක් තිස්සේ ආලෝකය එකතු වීමට ඉඩ තබා (30 seconds shutter speed) මෙවැනි ඡායාරූපයක් ලබා ගැනීමට, සුළඟ ඉතාම සුළු මොහොතකට හෝ අඩුවනතුරු බලා සිටීමත්, කැමරාව දෙපසින් ආවරණය කරගෙන සිටිමින් සුළු හෝ සෙලවීමකට ලක් වීමට ඉඩ නොදී සිටීමත් සැබවින්ම අභියෝගයක් විය. සුළඟ සමගින් අධික ලෙස සෙලවීමට භාජනය වීම නිසා අපතේ ගිය සේයා රූ ඕනෑ තරම්ය.
යම්කිසි පාලක නිවස්නයක් බව පෙනී ගිය මෙම ගොඩනැගිල්ලේ සිට අලුයම හතරට පමණ එලියට පැමිණි අයෙකු විදුලි පන්දමක් එල්ල කරමින් අලුයම ආ අමුත්තන් කවුරුන්දැයි විපරම් කරනු පෙනුන අතර කිසිවෙකුත් අප හා කතා කිරීමට පැමිණියේ නැත.
උදෑසන පහයි තිහට පමණ ප්‍රමාණවත් අන්දමින් ඒකාලෝක වූ පසුව අපි ප්‍රදේශය නැරඹීම සඳහා පා ගමනින් යාමට තීරණය කළෙමු. අඩියක් ඉදිරියට තබද්දී ඇතැම්විට අපව විසි වී යන තරමේ දැඩි සුළගෙන් මේ වන විටද අඩුවක් නොවූ අතර, එය පිටවල පතනේ පුංචි ලෝකාන්තය දෙසට කන්ද ඉහලට නැගීමේදී අපට සහයෝගී ලෙස පැවතීම සතුටට හේතු විය.
උදෑසන හයයි විස්ස පමණවන විට හාත්පස පරිසරය නේක වර්ණවලින් දිස්වීම පෙරදා සියලු විඩාවන් සහ වේදනාවන් අප කෙරෙන් පලවා හැරීය. ඈතින් හිරු කිරණ පතිත වී රන්වන් සහ රෝස පැහැයෙන් දිස්වුණ කඳු මුදුන්, වෛවර්ණ නැගෙනහිර අහස සහ නිල්පැහැති පැහැදිලි උතුරු අහස අප අවට මවා පෑයේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ සිත මන්මත් කරවන දර්ශනයකි.
පිටවල පතන ඔස්සේ පුංචි ලෝකාන්තයට ලඟා වන විට එහි පැවතියේ කිසිසේත්ම දරාගත හැකි සුළඟක් නොවේ. ප්රපාතයට මීටර් දහයකට වඩා ලඟා විය නොහැකි වන සේ හැමු සුළඟ දරාගැනීමට හැකි වූයේ බිම දණගසා ගැනීමෙනි. අධික සුළඟ පවා ක්ෂණිකව ඉහල පහල යාමට ප්රතිචාරයක් වශයෙන් දණගසා සිටි මා ක්ෂණිකව අල්ලාගත් විස කටු පඳුරක් හේතුවෙන් අතේ ඇනී කැඩී ආ කටු කිහිපයකට හේතු වන්නට දකුණු අතේ ඇඟිලි පුරුක් නැවීමට අපහසු වන පරිදී ඉදීමකට පවා ලක් විය.
පිටවල පතනේ සිට මේ ඈතින් දිස්වන්නේ සුප්‍රකට ලකේගල (මීමුරේ) ය.
මෙම සේයාරුව අපට ඒ මොහොතේ සුළං තත්ත්වය අනුව පුංචි ලෝකාන්තයට ලඟා වීමට හැකි උපරිමයට ගොස් ලබා ගත්තකි. දිනයේ වෙනත් යම් වේලාවකදී මෙවැනි අධික සුළඟක් නොමැති අවස්ථාවලදී මෙම ස්ථානයට ගොස් වාඩි වී සිටීමට පවා හැකි අතර එය ද අවදානමක් නොමැති කාර්යයක් නොවේ.
උදෑසන හත ආසන්න වන විටදී අප නැවතත් සූදානම් වූයේ මොටෝසයිකල් ගමන ආරම්භ කිරීමට ය. ලග්ගල පොලිස් වසමේ පිහිටා ඇති පිටවල ගම්මානය වෙත අප මොටෝසයිකලයෙන් පැමිණියෙමු. එකිනෙකට ඉතා ආසන්නයේ පිහිටා ඇති ගම්මාන එකක් දෙකක් අතරින් එකක් වන පිටවල ගම්මානයේ කුඩා ගෙවල් කිහිපයක්, පාසලක් සහ තැපැල් පෙට්ටියක් සහිත කඩමණ්ඩියක් හැරෙන්නට වෙනත් විශේෂ දෙයක් ඇත්තෙම නැති තරම් ය. ඉතාම සාමාන්‍ය සහ සාමකාමී ජන ජීවිතයක් පවතින අතර ගම්මානයේ අතලොස්සක් වාහනවලට ඉන්ධන නිකුත් කෙරෙන්නේ මෙම ගමේම පිහිටි කුඩා කඩයකිනි.
මෙම කුඩා කඩමණ්ඩියේ අප මොහොතක් නැවතී ගත්තේ නැවත නගරයකට එළඹෙනතුරු බඩකට පුරවාගත හැකි කුමක් හෝ දෙයක් සොයාගන්නට ය. ඒ ආසන්නයේම වූ කනිෂ්ට පාසල වෙත දිව යන කුඩා දරු දැරියන් වරින් වර මෙම කඩමණ්ඩියට ගොඩ වී යන අයුරු අපට දැකගැනීමට හැකි විය. ඒ අතරම පැය හතරක පමණ ගමන් කාලයකින් මෙහි සිට මාතලේ නගරයට ලඟා විය හැකි රජයේ බස් රථයක් ද අපව පසු කර ඇදී ගියේ ය.
වෙළඳසලතුල වූ බංකුවේ සෑහෙන වෙලාවක් තිස්සේ රැඳී සිටි අපි ඉන්පසු ලඟම පිහිටි නගරයක් වෙත ලඟා විය යුතු බව තීරණය කළෙමු. කුඩා ෆීචර් ජංගම දුරකතනක් හැරෙන්නට වෙනත් කිසිදු සන්නිවේදන උපකරණයක් අප සතුව නොවූ අතර, ලග්ගල ඔස්සේ ඇලහැර හෝ වෙනත් යම් ප්‍රදේශයකට ලඟා වීමට උත්සහ දැරීම පසෙකලා අපි නැවතත් මාතලේ නගරය වෙතම එළඹිය යුතු යැයි තීරණය කරගතිමු. ගම හරහා දිවෙන කොන්ක්‍රීට් හෝ බොරළු ඇතිරූ මාර්ගවල කොයිතරම් නිදහසේ වී මාගල් වනා වේලමින් තිබෙනු දුටුවාද යනු, එම මාර්ගවල කොයිතරම් වාහන යනවා ඇතිදැයි සිතාගැනීමට හොඳ මිම්මකි. අතරින් පතර පාර හරහා මාරුවන වලිකුකුළන් දෙස බලමින් ගම හරහා කිලෝමීටර කිහිපයක රවුමක් යාම උදෑසන තව තවත් නැවුම් කලේ ය.
පෙරදා රාත්‍රීයේ කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයේ තිරිංග මත හිටගනිමින් අසීරු ලෙස පසු කර ආ කඳු බෑවුම්වල සැබෑම සුන්දරත්වය අප අත්වින්දේ ආපසු එන ගමනේදී ය. සැබවින්ම, රාත්රී කාලයේ එම මාර්ගයේ ගමන් ගැනීමේදී අත්විඳි ත්‍රාසය සහ භීතියත්, දිවා කාලයේ ගමන් ගැනීමේදී අත්විඳි සුන්දරත්වයත් එම ගමන හැම අතින්ම පරිපූර්ණ කළ බව නොකියාම බැරිය.
කඳු පල්ලම් බසින් නැවත රත්තොට ප්‍රදේශයට ලඟා වීමට පැය දෙකක පමණ කාලයක් ගත වුවද, අප සිටියේ මුළු රාත්‍රීයේ සියලු වික්‍රමයන්ගෙන් පසු විඩාබර සහ දුර්වල වූ ශරීර ඇතුව ය. බොහෝ මොටෝසයිකල ගමන්වලදී ඔබට අත්විඳිය හැකි සුන්දර “පාර අයිනේ නින්දකට” අප මුල පිරුවේ නකල්ස් රක්ෂිත ප්රදේශය අවසන් වූ වහාමය. පාර අයිනේ වාඩිලා බිම බ්ලැන්කටයක් එලා ගැනීමෙන් අනතුරුව දෙදෙනාගේම බෙල්ලේ සිටි කූඩැල්ලන් පයිසයකට හෝ මායිම් නොකරමින් අපි වහාම බිම වැටී නිදන්නට වීමු. ඉතා කෙටි කාලයක් වුව ද මෙවැනි අවස්තාවකදී ලබන නින්දකින් ඉතා ඉහල ප්රථිපල ගෙන දෙන බව සෑම අත්දැකීමක්ම කියා දෙයි. ඉදිරියට තවත් කිලෝමීටර දෙතුන් සියයක් වුව ද එක එල්ලේ ගමන් කිරීමට තරම් ශක්තියක් මෙම කෙටි නින්දකින් ඔබට ලබා දෙනු ඇත.
රත්තොට නගරයට පැමිණි පසු ගමනේ තව කිලෝ මීටර සිය ගණනක් ඉතිරිව තිබුණ ද අපට දැනුනේ ගමන නිමා වුනාක් වැනි හැඟීමකි. රත්තොටදී ආරම්භ වූ වර්ෂාවද සමගින් රත්තොට නගරයේදී ලබා ගත් කුඩා ආහාර වේල දිව්‍ය භෝජනයක් තරම් වූ බව මගේත් ගමන් සගයාගේත් යන දෙදෙනාගේම ඒකමතික අදහස විය. උළුඳු වඩේ ඇතුළු වඩ දොළහක් සමගින් තවත් නානාප්‍රකාර දේ රැසක් අප වහ වහා කුසට යැව්වේ කිසිදු ඉස්පාසුවකින් තොරව ය.
රත්තොට නගරයේ සිටම ආරම්භ වූ වර්ෂාව මධ්‍යයේ පැමිණෙමින් මාතලේ නගරයේදී අප උත්සහ කලේ මගේ ගමන් සගයාගේ අතේ වූ තුවාලයට සරිලන පැලැස්තරයක් සොයා ගැනීමට ය. කඩ වීදියේ වයින් ස්ටෝරු පහක් පසු වුව ද හමු වූ එකම ෆාමසියේ ගැලපෙන පැලැස්තරයක් නොවූයෙන් මාතලේ වැසියන් පිලිබඳ හාස්‍යජනක දේ කියමින් අපි කෙලින්ම කුරුණෑගල වෙත නොපැමිණ කටුගස්තොට නගරය හරහා කුරුණෑගල නගරයට පැමිණීමට උත්සහ කළෙමු. කුරුණෑගලට පැමිණෙන තෙක්ම වර්ෂාවේ අඩුවක් නොවූ අතර, හවස තුනට පමණ කුරුණෑගල නගරයේදී හොඳ ආහාර වේලක් සමගින් අපගේ ගමනේ සිත්ගත් තැන් හමාර කරන්නට අපි තීරණය කළෙමු.
ඉන්පසු මගේ ගමන් සගයාත් මාත් තවත් සතියක් යාමටද මත්තෙන් නැවත මුණගැසුනේ මීගමුව සිට බළන්ගොඩ හරහා බණ්ඩාරවෙල, බදුල්ලේ ගිය මොටෝසයිකල ගමනට ය. ඉතින් ඒ අලුත්ම, මීට හාත්පසින්ම වෙනස් කතාවකි! ඒ කතාවෙන් නැවත හමුවෙමු!
ඔය තැපැල් පෙට්ටි කඩේ තියනවනෙ බං ග මේ කඩෝරු
ReplyDeleteමොන.. ලෑතරයක්වත් නෑ.. ඔක්කොම පැකට් කරපුවා විතරයි.
Deleteනියම ගමනක්
ReplyDeleteදැං ගම් වල කඩවල්වල ආසාවෙන් කන්න එවලේ හදන කෑම නෑ.. කියුවත් වගේ ඔක්කොම ටවුමෙන් පැකට් කල්ල ගේන එව්වා විතරයි.. ගමන ගැන නම්.. විශේෂයෙන් රෑ ගමන ගැන නං.. too risky to be my liking.. ඒත් ඉතිං ඕවා නොකරපු අතීතයක් නෙවෙයි මටත් තියෙන්නේ.. 😊😊😊😊
ReplyDeleteපින්තූර noපෙනේ
ReplyDeleteවැස්සේ ගමන්, රාත්‍රී ගමන් , වැස්සේරාත්‍රී ගමන් එකිනකෙට වනෙස් සුපිරිම අත්දැකීම් ගොන්නක්
Maru ban
ReplyDeleteහීතල පැත්තක වැස්සේ බයික් එක පැදගෙන යන එක
ReplyDeleteමහා රෑ තරු දිහා බලන් හීතලේ බිම හාන්සි වෙලා ඉන්න එක
ආයේ ඒ පාරේම උදේ වෙලාවේ යන එක
මාරම මාර දේවල් ... ❤️❤️❤️
මරූ
ReplyDelete