Showing posts with label මතක මාවත෴. Show all posts
Showing posts with label මතක මාවත෴. Show all posts

Tuesday, February 12, 2019

මොටෝසයිකල් දිනපොත 03 - පැච් කතා


වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණ  කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහස ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස්අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත්ත රථයකිනි.. දුම්‍රියේ නැගී නුවර එළිය වෙත යන ගමනමෝටර් රියක නුවර එළිය වෙත යන ගමනට වඩා හාත්පසින්වෙනස් වනවා තරමට යතුරු පැදියේ නුවර එළි ගමන  වෙනම තලයක ඇති අත්දැකීමකිකෙටියෙන්ම කිවහොත් හිරු නැගඑන හෝරාවේ යතුරු පැදියකින් රටේ මධ්‍යම කඳුකරයේ කඳු අතර හුදෙකලා විම යනු ඔබව වෙනම ලෝකයට ගෙන යන්නකි
දිගටම පණගැන්වූ එන්ජිමෙන් උණුසුම් වෙමින්

රාත්‍රී අටට කිරිබත්ගොඩින් පිටත් වූ ගමනට තරමක බාධාවක් එල්ල වන්නේ හරියටම අලුයම දෙකට පුස්සැල්ලාවේදී පසුපසරෝදයේ හුළං යෑමෙනිමහනුවර - නුවර එළිය ප්‍රධාන මාර්ගයේ තේ වත්තක් මැද මොටෝසයිකලය නවතා එන්ජිම නිවා දැමූපසු හාත්පසම පැතිර ගියේ අසල සිටින්නාව  නොපෙනෙන කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයකිකිලෝ ගණනක් බර කැමරාඇඳුම් සහ අත්‍යවශ්‍ය ආම්පන්න මොටොසයිකලයට පටවා තිබියදීම එය නැවතත් කඳු බෑවුම ඔස්සේ ආපහු පහළට තල්ලුකරගෙන  පසු ටයර් කඩයක් සොයා ගැනීමට අපට හැකි වියමොටෝසයිකල ගමන්වලට “මැජික් නම්බරය අංක දෙක” යැයිමා කියන්නේ මේ හේතුව නිසා එක්කෝ යතුරු පැදි දෙකක් ගමනට එකතු විය යුතු නැතිනම් එකම යතුරු පැදියේදෙදෙනෙකු ගමන් කල යුතු බොහෝවිට සුමට නොවන මොටෝසයිකල ගමන්වල මුහුණ දීමට සිදුවන අවදානම්වලටසූදානම් විය යුත්තේ එසේ නමුත් යතුරු පැදි දෙකකට වඩා සහභාගීවන ගමන් බිමන් සඳහා මගේ උනන්දුවක් නැත්තේ අවශ්‍යතැනක කැමති නම් පැය ගණනක් හෝ ගමන නවතා අවට පරිසරය නිස්කලංකව ගවේෂණය කිරීමේ නිදහස මා සතු කරගැනීමට පසුව අකුරු අමුණා ලියවුණ  මේ සටහන්වලට වචන අනුපිළිවෙල ගලා එන්නේ බොහෝ විට එසේ ගතවනවිරාමයන්වලදී 

යාන්තමින් නුවර එලියට
කෙසේ හෝ පසුදා උදෑසන වනතුරු යතුරු පැදිය මුරකිරීමේ රාජකාරියේ උන් සගයාට වැඩේ තනිවම බාර කරමින් මට නින්ද ගොස් තිබුනේ, නිදිමත පහවෙන්නට යැයි කියා කඩා විවර කල දෙවනි රෙඩ්බුල් කෑනයෙන් පලමු උගුර පානය කල මොහොතේම වාගේ ය. පසුදා පහන්වන තුරුම ඉඳ හිට අතපය උණුසුම් කරගත්තේ විටින් විට ස්ටාට් කර ධාවන තත්ත්වයේ තබා ගත් මොටෝසයිකලයේ එන්ජිමේ ආනුභාවයෙනි. ධාවනය වන මොටෝසයිකල් එන්ජිමක් යනු සීතලට හොඳ ගිනිමැලයක් සේම වැස්සෙන් තෙත බරිත වූ පසු ඇඳුම්, මේස් සහ සපත්තු වියලාගත හැකි හොඳ මෙවලමක් බව අත්දැකීමෙන්ම කිව හැකි ය. රෑ එලිවෙනතුරු ධාරානිපාත වැස්සක තෙමෙමින් කොළඹ සිට බලංගොඩ හරහා බණ්ඩාරවෙල සහ බදුල්ල බලා ගිය ගමනක දී ද උණුසුම් එන්ජිම හොඳ ප්‍රතිකර්මයක් වූ බව මතක ය. කෙසේ හෝ පුස්සැල්ලාවේ පැච් කතාව කෙලවර වන්නේ උදේ අටවනතුරුම ගමනට පැය හයක ප්‍රමාදයක් එකතු කරමිනි.
මැද සිටින්නේ නුවර එලියේදී එකතු වූ "සමකය වටේ" යන නලීන් අයියා ය


කිලෝමීටර් හයසියයක මොටෝසයිකල් ගමනකදී දෙවරක් පැච් යෑමේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන් මාස දෙකකට පමණ පසුව ය. රෑ එලිවෙනතුරු "හොල්මන් වැස්සකට" ද මුහුණ දෙන්නට සිදු වූ මේ ගමනේ පළමු පැච් එක යන්නේ බණ්ඩාරවෙල නගරය පසුකර සුලු දුරකින් පසුව ය. අතරමගදී මීරිගම, ඇහැලියගොඩ සහ බළංගොඩ නගරවලදී රොටී, ආප්ප සහ ප්ලේන්ටී ආදිය සප්පායම් වී සිටිය ද බණ්ඩාරවෙලදී බරසාර උදේ ආහාර වේලක් ලබා ගැනීමේ උවමනාව තදබල ලෙස තිබූ බව මතක ය. ආහාරවේල බරසාර කරගැනීමට තරම් මට්ටකම කඩයක් නුදුටු තැන නගරය ද පසුකර කිනිගම හන්දියට එද්දී අපට හමු වූයේ සිරා බුෆේවකි. බත් ද, පරිප්පු හා සම්බෝල, කුකුළු මස් ආදිය යහමින් බෙදාගෙන භුක්තිවිඳ, වටලප්පම් ද යහමින් බඩට යවා කඩේ තරුණයා හා අල්ලාප සල්ලාපයට වැටුනේ මදක් හුස්ම ගැනීමට තරම්වත් බඩ බහින තුරු ය. 


සාමාන්‍යයෙන් මොටෝසයිකල් සංචාරවලදී ආගන්තුකයන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙනවිට ඔවුන් අප ගැන අසන පැණවලට දිය හැකි සරල පිලිතුරු කිහිපයක් අපි මුල සිටම පුරුදු වී ඇත්තෙමු. බොහෝවිට එම උත්තර අර්ධ-සත්‍ය ය. අසන ප්‍රශ්නවලට ඇත්තම නොකියා සියල්ල ලඝුකොට කීමේ ප්‍රධානම හේතුව අපව 'මැජික් එකක්' ලෙස පෙනීම වලක්වා ගැනීම ය.  ඒ පැණවලට ඒ සරළ පිලිතුරු කිහිපය ලබා දුන් පසුව එලබෙන්නේ අප ඔවුන්ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ වාරය ය. කිනිගම පාර ඔස්සේ ඇල්ල නගරයට ලඟා විය හැකි වඩා දර්ශනීය මාර්ගයක් ඇතිවග අප දැනගන්නේ කඩේ තරුණයා හා යෙදුන ඒ අල්ලාප සල්ලාපයේදී ය. ඉතින් සුපුරුදු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය මගහැර, නැවත සෑහෙන දුරකට නගරයක් හසු නොවන හුදෙකලා මාර්ගයට අප යොමුවන්නේ ඒ අනුව ය. අවාසනාවක මහත ට ඒ ගමනේ පලමු පැච් එක යන්නේ ඒ මාර්ගයේ දරුණු කඳු, පල්ලම් සහ වංගු පසුකරමින් කිලෝමීටර තුනක් පමන පැද යෑමෙන් අනතුරුව ය! විනාඩි හතලිහක පමණ දහදිය මුගුරු හෙලීමකින් අනතුරුව නැවත මාර්ගය වෙනස් කිරීමට තීරණය කල ස්ථානය වෙතටම මොටෝසයිකලය තල්ලු කිරීමට සිදුවන්නේ ඒ අනුව ය! නැවතත් මදක් විපරම් කිරීමෙන් අනතුරුව සොයාගත් ටයර් වෙළඳසැලකින් අවශ්‍ය අලුත්වැඩියාව කරගන්නා අතරතුර මා යාබද නිවසකට ගොඩ වැදුනේ ශරීර කෘත්‍යය වෙනුවෙනි. මගේ සගයාට එවන් අවශ්‍යතාවක් ඒ වනවිට නොවූයේ ඌ උදේ පාන්දරම හපුතලේ දුම්රියපොලේ 'නිරීක්ෂණ චාරිකාවක්' අතරතුර බර සැහැල්ලුකරගෙන සිටි නිසා ය. කෙසේ හෝ අලුත්වැඩියාවෙන් පසුව වෙහෙසටත් හිතේ අමාරුවටත් තීරණ ගැනීමේ අයිතිය පවරා, අපි සුපුරුදු බදුල්ල පාර ඔස්සේම ඇල්ල බලා හැල්මේ ඇදුනෙමු.
රැය පහන්වනතුරු කල ධාවනයකින් පසුව
උදෑසන හමුවන හුදෙකලා කැලෑබද මාර්ගයක් යනු
කෙටි නින්දකට තෝතැන්නකි


සාර්ථක සංචාරයකින් පසු ආපසු එන ගමනේ දෙවන පැච් එක ද යන්නේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ය. වාසනාවට කිලෝමීටර දෙකක් ඇතුලත ටයර් වෙලඳසැලක් තිබූ හෙයින් පැය බාගයක් තුල ටියුබයම මාරුකොට අලුත්වැඩියා කරගැනීමට හැකිවීම අපේ වාසනාව ය.

පැච්කතා හමාර කිරීමට මත්තෙන් ලිවිය යුතු honorary mentions ද ඇත! ටයර් ටියුබය හිල් වී හුලං බිඳුවක් නැති බව දැන දැනම "වෙන දෙයක් වෙත්දෙන්" කියා පැදගිය උපරිම දුර කිලෝමීටර් හතලිස් පහකි. වේගය අවම වශයෙන් පැයට කි.මි. 40ට වඩා පවත්වා ගන්නට ද සිදු වූයේ වේගය අඩුකල සැනින් දැනෙන්නට ගන්නා අධික පුනරාවර්තී ගැස්ම නිසා ය. එම රාත්‍රියේ මට තිබුණේ විකල්ප දෙකකි. එකක් උදෑසනවනතුරු මොටෝසයිකලය ද සමග පැය දොලහක් පමන පාර අයිනේ ගත කර, උදෑසන කෙසේ හෝ නගරයක් සොයා ගැනීම ය. දෙවැන්න, සිදුවන අලාභහානියක් පසුව විඳ දරාගෙන මොටෝසයිකලය පැද ගොස් ගෙදරට වී නිදා ගැනීම ය. ඉතින් මා තෝරාගත්තේ දෙවැන්න ය! රිම් එකට හෝ ටයරයට කිසිදු හානියක් වී නොතිබූ අතර, ටියුබය මාරු කිරීමට සිදු වූ නමුත්, පසුදා උදෑසන මගක් තල්ලුකරගෙන එන විට පෙරදා රාත්‍රියේ එතරම් දුරක් පැද ආ හැටි සිටිපත් වී 'ඔන්න ඔහේ' නිවස සමීපයේ ටයර් කඩය දක්වා ඉතිරි දුර පැද යාමට සිත් වී මගදී පොලිසියෙන් දඩයක් කෑමට නම් සිදු විය. ඊට හේතුව තල්ලුකරගෙන යාමේ අටියෙන් එලියට බැස්සේ හෙල්මට් නොමැතිව බව මෙහි ලියා තබන්නට නුඋවමනා තරම් ය!

Friday, January 25, 2019

නිරුවත් පළමු පෙම

මගේ පළමු පෙම කායිකව නිරුවත් කිරීමට මම හදිසි නොවීමි. හැරත්, අතීතයේ සතියකට ලැබුණ සීමා සහිත පැය විනාඩි තත්පර තුල එවැන්නකට ඉඩප්‍රස්තාවක් ද නොවී ය. ඇයට ද එය එසේම වු බව මට මතකය. දෙනෝදහසක් සෙනග අතරේ නොයෙක්විට තනිවුණ අපට සිප වැළඳ ගැනීමකට හෝ අවකාශ සොයාගැනීම මහා ජයග්‍රහණයක් විය.

ඒ වෙනුවට ඇගේ සියුමැලි වැලමිට ද, මට වඩා දහස්ගුණයකින් රේඛා සපිරි අත්ල ද, බාල කාලයේ තුවාල කැළැල් තවමත් විද්‍යාමාන දණහිස් ද මට ස්පර්ෂයට ලැබිණ. මගේ බාහුව ද, හිස කෙස් ගැවසි ගෙල පසුපස ද, කණ්පෙති ද ඈ නිබඳවම ස්පර්ෂ කළා ය. ඇයගේ ඇස්පිහාටු මෙන් දෙගුණයක් පමණ දිගු වූ මගේ ඇස් පිහාටු ද, මගේ දුඹුරු පැහැ දෙඇස් ද ඈ නිබඳවම අගය කළා ය, අන් කිසිවෙකුටත් නොදෙන බවම පැවසුවා ය. ඉන් ඔබ්බට කිසිවක් ඇය වචනයෙන් ඉල්ලා නොසිටියා ය. උකුලේ හිස හොවා මුවින් නොබැන උන් පැය ගණන් අවසානයේ නිවසට ගොස් අපි පිටු දහ අට- විස්ස දිග හසුන් ලියුවෙමු. සිව්පදයෙන් සංවාද ගෙන ගියෙමු.

අප අතරේ හුවමාරු වූ රහස් කතාවල තරමට, සමාජය විසින් පෞද්ගලික යැයි ලේබල් ගසා ඇති ශරීර කොටස් ක්ෂුද්‍ර වැඩි බව අපි තේරුම් ගතිමු. එකිනෙකාගේ ජීවිතතුල ස්පර්ෂ නොකල අස්සක් මුල්ලක් නැතිවන තුරුම අපි එකිනෙකා තුලට අතු-මුල් විහිදවමින් ගොඩනැගුනෙමු. එකිනෙකාගේ ආත්මයන් තුල දිනෙන් දින අපි නිරුවත් වූයෙමු. අප දෙතොල් සිපගත් සෑම මොහොතකදීම ඇයගේ ප්‍රශ්වාසයම මගේ ආශ්වාසය වූ බවත්, මගේ ප්‍රශ්වාසයම ඇයගේ ආශ්වාසය වූ බවත් අපි දැන සිටියෙමු. ඇයගේ සිහින් දිගැති අතැඟිලිවලටම ඔබින මගේ සිහින් දිග අතැඟිලි අපූරුවට එකිනෙකා අතර හිදැස් පිරවූ හැටි දෙස බලමින් විටෙක අපි පුදුම වූයෙමු.

ගතවුන ඒ කාලයේ ඇයටත් මටත් පෞද්ගලික දේ ගොඩ ගසා ගැනීම සපුරාම මග හැරී ගොස් තිබුණ බව, පසු කාලයේ අපි සක්සුදක් සේ වටහාගතිමු. නිද්‍රාවකින් ගතවුනේ දෝ නොතේරුණ ඒ කාලයේ නිදිදෙව්දුව වැළඳගත් මොහොතක එකවනම අවදිවන මා දෙස බලා, "ඇයි මැණික ගැස්සිලා ඇහැරෙන්නේ" කියා නොයෙක්වර ඈ අසමින් හිස අතගෑවා ය.

අදට ද මම තිගැස්සී අවදිවෙමි. ලෝකගෝලයේ ඉහල අන්තයක අන් තුරුලක සිටින ඇය ද මඩිනා ලද සාංකාවකින් අවදි වී ඇති බව දැනගනිමි. ඇයගේ ඔරලෝසුවේ පාන්දර හතරේ කණිසම වදින මොහොත මෙය වේදැයි මම සිතින් ගණනය කරමි. ඇඳ අද්දර වූ වතුර වීදුරුවෙන් උගුරක් පානය කොට ඇය යලිත් ඇඳට බරවෙන අයුරු සිතෙන් දකිමි. ඇගේ ඇස් පියවී ගිය බවට සංඥා ලැබෙන තුරු මම ද ඒ මේ අත පෙරලෙමි. 

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න


Wednesday, September 26, 2018

හුදෙකලා වලාකුළක්ව...


වලාකුළක් වී හුදෙකලාවෙම
ඉබාගාතේ ඔහේ පාවෙමි
කඳු හෙල්  මහ නිම්න අද්දර
සැලෙන කහවන් කුසුම් නරඹමි
විසල් විල්තෙර තුරු මුදුන් යට
පවනෙ නැළවෙන කුසුම් දකිනෙමි

සියක් දහසක් එකම තාලෙට
පවනෙ නැළවෙන සැටි දකින්නෙමි
අනන්තය තෙක් නිමක් නොම වී
 මල් පිපි හැඩ බලා ඉන්නෙමි
අහස් ගඟුලේ දිස්න දෙන පොඩි
තාරුකා කැට සිහි කරන්නෙමි

පියුම් යායේ තනුව කැටිකර
දිස්න දෙන දිය රැළි බලා ඉමි
කුමන කවියාද එවන් දසුනට
සිතින් මත් නොම වෙන්නෙ සිතනෙමි
ඉතින් නිම් නැති වටින ධනයක්
ලෙසින්  දෙස බලා සිටිනෙමි

දිනෙක නොනිදා අවදියෙන් මා
කල්පනාවෙන් බරව යනු ඇති
එදින යළි මම අසනි සැරයෙන්
මෙකී මොහොතට නැවත පැමිණෙමි
හද අරක් ගත් හුදෙකලාවට
සතුටු සුසුමක් සෙමින් පිඹීනෙමි
සුසුම් සරයේ නදට යාවී
 මල් හා ගී ගයා සැනසෙමි

William Wordsworth කවියාගේ I Wandered Lonely as a Cloud හී සිංහල අනුවාදයකි.
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.
26.09.2018

Thursday, September 6, 2018

“සන්තාන සුසුම..”

සරත්චන්ද්‍රගේම “වලේ දී” සරත්චන්ද්‍රගේම මනමේට තමන්ගේම කඩුව අහිමිවෙලා යනවා නම් මේ ඉන්න අපට මොනවා වුනාම මොකද? හැබැයි එහෙම හිතනකොට අපට මග ඇරෙන එක දෙයක් තියෙනවා. මනමේගේ විතරක් නෙවේ, මනමේගේ කඩුව ඩැහැගන්න වැදිරජාගේත් අයිතිය තියෙන්නේ සරත්චන්ද්‍රටමයි. වැදිරජා වගේම මනමේත් රඟන්නේ සරත්චන්ද්‍රගේම වලේ, එහෙම බැලුවොත් අන්තිමට කතාවේ වීරයා මනමේවත් වැදිරජාවත් නෙවේ, සරත්චන්ද්‍ර.
අපි රඟන මේ වේදිකාව අනුන්ගේ වේදිකාවක්. උඩ ඉන්න එකාට අයිති මේ වේදිකාවේ අපි නළුවෝ විතරයි, ශේක්ස්පියර් කිව්වේ එහෙම. අනුන් හදපු වේදිකාවකදී පාර්ශවයක් ජයග්‍රාහී වීරයෝ වෙන අතරේ, පාර්ශවයක් දුෂ්ටයෝ හෝ පරාජිත විරහවන්තයන් වීම ලෝකයේ ඕනෑම කියූ-නොකියූ ආදර කතාවක ගතයුත්තක් ඉතුරුවෙන එකම සාරාංශය වෙන්න පුළුවන්. බොහොමයක් එහෙම කතාවල වටිනාකමක් ඉතුරු වෙන්නේ ඒ කතාවේ හිටපු චරිත ටිකට විතරයි. එතනින් එහාට, ගොඩක් දෙනාට තමන්ගේ කරගන්න පුළුවන් කතාන්දර අඩුයි. “සන්තාන සුසුම” අපට හම්බෙන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ කරගන්න පුළුවන් කතාවක් විදියට..
කවුරු හරි කෙනෙක් මල් වීදි අතරේ හැංගිලා ගිය තමන්ගේ හාදු තාම තියෙනවාද කියලා ආයේ හොයන දවසක, ඒ හාදුවලට හෙවන දුන්න තුරුහිස් තව අඟල්-අඩි ගණනින් උස්වෙලා ගිහින් කියලා දකින්න ලැබේවි. සමහරවිට ඒ මල් වීදි අතරේ හුළඟට ගහගෙන ගිය හාදු තවමත් ඇති, ඒ වුනත් සමහර වටිනාම හාදු හුළගේ ගිය පාරවල්වල අපි ආපහු සැරිසරන්න යන්නේ නෑ. එහෙම නොයන්න හේතුව විදියට අපි ගොඩක් වෙලාවට කියන්නේ “ආයේ ඒ පැත්තේ යන්න හයියක් නෑ ” වගේ බොරු රෝමාන්තික හේතු, ඒත් ඇත්ත හේතුව ඒක නෙවෙයි. ඒ ඒ තැන්වල අපි හදලා එන්නේ දේවාල, ඒ තමා පරාජිත ප්‍රේම කතාවල නමින් අපි ඒ ඒ තැන්වල හදලා ආපු දේවාල. ඒ තැන්වලට ආයේ නොයා ඉඳීමෙන් අපි කරන්නේ ඒ දේවාලවලට දෙන්න පුළුවන් ඉහලම වටිනාකම ලැබෙන පූජාවක් සිද්ධ කරන එක. ආපහු එක දවසක් ඒ ඉසව්වක ඇවිදලා එන්න ගියෝතින්, ඒ හදලා ආපු දේවාල පොඩිපට්ටම් කරලා එන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අපි ඒකට බයයි, සමහරවිට වැල්පාලම හෙලවිලා අපිව තිගස්සලා බලන්නේ අපි ඒකට තාම බයද කියලා වෙන්න පුළුවන්.
හෙට උඹ, මම, අපි කවුරු උන්නත් නොඋන්නත් අහසේ නැගෙනහිර පැත්තෙන් මේ ලෝකෙට ඉර පායනවා. එතනින් එහාට, අපි ආගිය තැන්වල ගංගා ගලනවද, මල් පිපෙනවද කියන්නේ අවශේෂ කාරනා විතරයි. හෙට හමන හුළඟ සන්තාපයේ සුසුමක් ද, නැත්තම් තෘප්තකර මද පවනක් වෙනවද කියන එක අපි එකාගෙන් එකාට වෙනස් වෙන කාරනා. හැබැයි ඔය සම්පූර්ණ පින්තූරේ ඇතුලේ අහුවෙන අපි කාටත් පොදු වෙච්ච පුංචි පුංචි අංශුමාත්‍රීය තැන් ටිකක් අරගෙන නුවන් ලියනගේ කියලා කෙනෙක් අතින් හරි අපූරුවට ලියවුන ගීතයක්, “සන්තාන සුසුම්” අහල බලන්න.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හමුවා

මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ළගදි මනමේ හැඩුවා

ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා


පද රචනය නුවන් ජූඩ් ලියනගේ

https://www.youtube.com/watch?v=JKKMiNL46s4

Thursday, June 21, 2018

කෙටිම කෙටි-ප්ලේන්ටි සහ අමරිකානෝ



බැරිස්ටා හරි කොහෝ හරි ගිහින් කපචිනෝ එකක් අමරිකානෝ එකක් ගහන එක ආතල් එකක් නෑ කියල මොකෙක් හරි කියනවා නම් ඒක මහා කුප්ප මෝඩ කතාවක්. ගම්ගොඩක ලෑලි බංකුවක ඉඳන් ප්ලේන්ටියක් ගහන එක ඊට වඩා ආතල් කියලා කියනවා නම් ඒකත් ඉතින් ඊට නොදෙවෙනි ගොන් කතාවක්. (එහෙම කියනවා නම් ඒක ඉතින් ඔය බුකි පේජ් කාරයෙක් ලයික් ටිකක් ලයින් කරගන්න කියන කතාවක් තමයි)

හොඳ දේශීය මල් වට්ටියකට අත ගහලා චන්ද්‍රගත වෙලා, පාවෙලා වගේ හොඳ කොෆි ෂොප් එකකට ගිහින් අර සීනි පැකට් ඔක්කොම කලවම් කරලා අමරිකානෝ එකක් ගගහා, පැය දොළහක් විතර ගත වෙන්න ඇති කියලා හිතෙන පැය දෙකක් ගත කරන එක වෙනම ආතල් එකක්. (මම මේ නීති විරෝධී දේවල් ප්‍රමෝට් කරනවා නෙවේ) වගේම, හොඳ කට්ටක් කාලා, බංකුවට බර වුන ගමන් ඇඟේ පතේ අමාරු ඔක්කොම නිදහස් වෙලා යන උගුරේ පතුලෙන්ම එන ආආහ්හ්ර්ර්හ්හ් සද්දයක් එක්ක, "ප්ලේන්ටියක් දාන්ඩ මාමා" කියලා ප්ලේන්ටියක් ඕඩර් කරලා, හොඳට පැද්දී පැද්දී ප්ලේන්ටිය ගහන එක වෙනම ආතල් එකක්.. සසදන්න බැරි, අසමසම, එකකට වඩා අනික හොඳයි කියන්න බැරි එකිනෙකට වෙනස් සුපිරිම අත්දැකීම් දෙකක් තමයි .

දෙමෝදර ආරුක්කු නවයේ පාලමට කිලෝමීටරයක් මෙහා කාර් පාක් එක තියෙන්නේ ඇයි කියන කාරනාව මොලේට ප්‍රොසෙස් වෙන්න චුට්ටක් පරක්කු වුන නිසා, බ්‍රේක් උණු වෙලා වැක්කෙරෙන්න ඉඩ තිබ්බ අංශක හැත්තෑවක අසූවක කන්දේ වංගු කීපයක්ම බයික් එක ඇදලා, ප්‍රපාතේ දැක්කම පණ එපා වෙලා බයික් එක ලගේජ් එකත් එක්කම කැලයක් අස්සේ ගහලා,පාලම බලලා ඇවිල්ලා බයික් එකත් කන්ද පහලට බාගෙන, හොඳ පණ ගිහින් උන්න වෙලාවක මගේ ගමන් සගයා ගහපු ප්ලේන්ටිය තමයි මේ.

ඒක අර මුලින් කිව්ව ආතල් දෙකටම වඩා වෙනස්,වෙනමම ආතල් එකක්!


Related Posts Plugin for WordPress, Blogger...