Friday, January 25, 2019

නිරුවත් පළමු පෙම

මගේ පළමු පෙම කායිකව නිරුවත් කිරීමට මම හදිසි නොවීමි. හැරත්, අතීතයේ සතියකට ලැබුණ සීමා සහිත පැය විනාඩි තත්පර තුල එවැන්නකට ඉඩප්‍රස්තාවක් ද නොවී ය. ඇයට ද එය එසේම වු බව මට මතකය. දෙනෝදහසක් සෙනග අතරේ නොයෙක්විට තනිවුණ අපට සිප වැළඳ ගැනීමකට හෝ අවකාශ සොයාගැනීම මහා ජයග්‍රහණයක් විය.

ඒ වෙනුවට ඇගේ සියුමැලි වැලමිට ද, මට වඩා දහස්ගුණයකින් රේඛා සපිරි අත්ල ද, බාල කාලයේ තුවාල කැළැල් තවමත් විද්‍යාමාන දණහිස් ද මට ස්පර්ෂයට ලැබිණ. මගේ බාහුව ද, හිස කෙස් ගැවසි ගෙල පසුපස ද, කණ්පෙති ද ඈ නිබඳවම ස්පර්ෂ කළා ය. ඇයගේ ඇස්පිහාටු මෙන් දෙගුණයක් පමණ දිගු වූ මගේ ඇස් පිහාටු ද, මගේ දුඹුරු පැහැ දෙඇස් ද ඈ නිබඳවම අගය කළා ය, අන් කිසිවෙකුටත් නොදෙන බවම පැවසුවා ය. ඉන් ඔබ්බට කිසිවක් ඇය වචනයෙන් ඉල්ලා නොසිටියා ය. උකුලේ හිස හොවා මුවින් නොබැන උන් පැය ගණන් අවසානයේ නිවසට ගොස් අපි පිටු දහ අට- විස්ස දිග හසුන් ලියුවෙමු. සිව්පදයෙන් සංවාද ගෙන ගියෙමු.

අප අතරේ හුවමාරු වූ රහස් කතාවල තරමට, සමාජය විසින් පෞද්ගලික යැයි ලේබල් ගසා ඇති ශරීර කොටස් ක්ෂුද්‍ර වැඩි බව අපි තේරුම් ගතිමු. එකිනෙකාගේ ජීවිතතුල ස්පර්ෂ නොකල අස්සක් මුල්ලක් නැතිවන තුරුම අපි එකිනෙකා තුලට අතු-මුල් විහිදවමින් ගොඩනැගුනෙමු. එකිනෙකාගේ ආත්මයන් තුල දිනෙන් දින අපි නිරුවත් වූයෙමු. අප දෙතොල් සිපගත් සෑම මොහොතකදීම ඇයගේ ප්‍රශ්වාසයම මගේ ආශ්වාසය වූ බවත්, මගේ ප්‍රශ්වාසයම ඇයගේ ආශ්වාසය වූ බවත් අපි දැන සිටියෙමු. ඇයගේ සිහින් දිගැති අතැඟිලිවලටම ඔබින මගේ සිහින් දිග අතැඟිලි අපූරුවට එකිනෙකා අතර හිදැස් පිරවූ හැටි දෙස බලමින් විටෙක අපි පුදුම වූයෙමු.

ගතවුන ඒ කාලයේ ඇයටත් මටත් පෞද්ගලික දේ ගොඩ ගසා ගැනීම සපුරාම මග හැරී ගොස් තිබුණ බව, පසු කාලයේ අපි සක්සුදක් සේ වටහාගතිමු. නිද්‍රාවකින් ගතවුනේ දෝ නොතේරුණ ඒ කාලයේ නිදිදෙව්දුව වැළඳගත් මොහොතක එකවනම අවදිවන මා දෙස බලා, "ඇයි මැණික ගැස්සිලා ඇහැරෙන්නේ" කියා නොයෙක්වර ඈ අසමින් හිස අතගෑවා ය.

අදට ද මම තිගැස්සී අවදිවෙමි. ලෝකගෝලයේ ඉහල අන්තයක අන් තුරුලක සිටින ඇය ද මඩිනා ලද සාංකාවකින් අවදි වී ඇති බව දැනගනිමි. ඇයගේ ඔරලෝසුවේ පාන්දර හතරේ කණිසම වදින මොහොත මෙය වේදැයි මම සිතින් ගණනය කරමි. ඇඳ අද්දර වූ වතුර වීදුරුවෙන් උගුරක් පානය කොට ඇය යලිත් ඇඳට බරවෙන අයුරු සිතෙන් දකිමි. ඇගේ ඇස් පියවී ගිය බවට සංඥා ලැබෙන තුරු මම ද ඒ මේ අත පෙරලෙමි. 

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න


No comments:

Post a Comment

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...