හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් සහ අවසානයක් තියෙනවා. හැබැයි මුල-මැද-අග ඒ අනුපිළිවෙලින්ම නම් නෙවෙයි. ඒ අතින් බැලුවාම, අපි හැමෝටම විශිෂ්ට කතාවක් තියෙනවා. අපි හැමෝගේම කතා විශිෂ්ටයි.
389 වෙනි පරිච්ඡේදය: “...දිග කොණ්ඩයත්, කුඩා දෑතත් තවමත් ඒ වාගෙමයි. නමුත් තරුණයාට දැන් වයස අවුරුදු අනූ අටක්! ඔහු කුඩා අවන්හලක තනිවම වාඩි වී සිටියා.
ඔහුට මදක් එපිටින් ඉඳගෙන සිටි නාඳුනන අමුත්තා රස බලමින් හිටියේ අපේ ‘තරුණයා’ බොහොම ප්‍රිය කරන කෑමක්. ‘තරුණයා’ දෙවරක් නොසිතාම අමුත්තාගෙ පිඟානට අත දමා එයින් පොඩ්ඩක් රස බලනවා.
“මට දැන් අනූ අටක් වයස! පුළුවන් නම් මේ නාකි මට බැණපන්! හා ඉතින් බැණපන්!” තලු මරන අතරේම අපේ අනූ අට වියැති තරුණයා අමුත්තාට එහෙම කියනවා!....”
14 වෙනි පරිච්ඡේදය: “....ඔහුට දැන් වයස අවුරුදු අටක්! යාළුවන් එක්ක එකතු වෙලා, අහල පහළ අසල්වාසීන්ගෙන් පොඩි විනෝදයක් ලබන්න කදිම අදහසක් කොලුවාගේ හිත ඇතුළේ නලියනවා. කොල්ලට හොඳටම විශ්වාසයි වැඩේ නම් කිසිම දවසක කාටවත්ම මාට්ටු නොවෙන විත්තිය.
ඉතින් පහුවදා උදේ බලනකොට, වීදියේ සියලුම ගෙවල්වල තාප්ප පාට පාටින් ස්ප්රේ පේන්ට් කරලා.
කොලු රංචුවේ ගෙවල්වල තාප්ප ඇරෙන්න, හැබැයි!”
146 වෙනි පරිච්ඡේදය: “... ඇය ඔහුට ආදරය ප්රකාශ කළා. සතුටත් සිනහවත් නිතැතින්ම ඔවුන් සොයා ආවා. ඔවුන් එදා පටන් සැමදා සතුටින් ජීවත් වුණා…”
231 වෙනි පරිච්ඡේදය: “ඇයත්, ඔහුත් නැවත කිසිදා මුණ නොගැහෙන්නටත් කතාබස් නොකරන්නටත් තීරණය කළා…”
මම කිව්වේ, හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් සහ අවසානයක් තියෙනවා. හැබැයි මුල-මැද-අග ඒ අනුපිළිවෙලින්ම නම් නෙවෙයි. අපි හැමෝටම විශිෂ්ට කතාවක් තියෙනවා, හැබැයි ඒවා පරිච්ඡේද වශයෙන් පිළිවෙළට ලියවුණ කතාන්දර වාගේ වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ.
මම දන්නවා, අපේ කතාවේ ගතවුණ සෑම සියලු මොහොතටම අපිට එක වාගේ කැමති වෙන්න, ආශා වෙන්න බැහැ.
ඇයි කියලා කිව්වොතින්, මේ කතාවේ අපි ඉරලා දාපු, කුරුටු ගාපු පිටු ඕන තරම් තියෙන්නට ඇති.
පිටුවල අකුරු මැකිලා, පිටු කහ ගැහෙනකම් අපි ආයේ ආයේ පෙරළලා කියවන්න ආස වුණ පිටුත් ඕන තරම් ඇති.
“හෙට උදේ මාව ඇහැරෙන්නේ නැතිව මැරිලා පලයන්” හිතලා නින්දට ගිය දවස් වගේම,
“අනේ, අද දවස ඉක්මනට ඉවර නොවුණා නම්” කියලා දැනුණ දවස්, අපේ ජීවිතේ ඕන තරම් තියෙන්නට ඇති.
මේ කතාවේ කතා නායකයා වන ඔබ, නාඳුනන යුවලකගේ පළවෙනි හාදුව කියන විසිතුරු තුරු මුදුනෙන්, හුළඟට අහුවෙලා හෙමීට බිමට පා වෙලා ආපු පුංචි කොළයක්.
ඒ කොළය ආපහු ඇහිඳගෙන අහසට අල්ලලා බැලුවොතින්, ඒ කොළය පුරා විහිදුණු රුධිර-මස්-ලේ නාල ඔබට දකින්න ලැබේවි. ඔබ ආස කල, නොකළ හැමදේම ඔය පුංචි කොළය ඇතුළේ දකින්න ලැබේවි.
ඔබේ දෙපා නිර්මාණය වෙලා තියෙන්නේ ඇවිදින්නයි. ඉදිරියට වගේම පසුපසටත්, වේගයෙන් වගේම හෙමිහිටත්, ඔබ හිතන පතන ඕනෑම අයුරකින් ඇවිදින්නයි. යම් දවසක ඔය කකුල් ඇතුළේ තියෙන අස්ථි බිඳී යන්න ඉඩ තියේවි, හැබැයි හරි ඉක්මනට සුවපත් වෙන්නත් ඒවාට පුළුවන්, හරියට ඔබට වාගෙමයි.
දවසක තවත් ඇවිදගන්න බැරිව අස්ථි බිඳී ගිය යම් මොහොතකදී, හෙමින්, වේගයෙන්, ඔබේ සිතැඟි පරිදී ඔබ ගිය ගමනේදී ඔබට හමුවුන කවුරුන් හෝ කෙනෙකු ඉඳීවි, ඔබ ඇයට හෝ ඔහුට කතා කර වැලපේවි.
“මැණික, හැම දේම හරියයි. හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් වගේම අවසානයක් තියෙනවා, හැබැයි ඒ කියන අනුපිළිවෙලින්ම නම් නෙවෙයි.”
ඔහු හෝ ඇය ඔබට නැවත නැවතත් මෙසේ මතක් කරාවි..
පරිච්ඡේදය 431: "...බොහොම ඉස්සර කාලයේ ජීවත් වුණ තරුණයෙකු සිටියා. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. නමුත් ඔහුගේ මතකයන් රැගත් ගස් වැල්, අදත් අහස උසට අතු සලමින් සුළඟට නටනවා. බිත්තියක් මත වැටුණු ඔහුගේ ඡායාව මැදිකර ඔහු ඇඳපු රේඛා සටහන, පාට මැකුණත් අදටත් බලාගන්නට පුළුවන්...."
පරිච්ඡේදය 001: "එකමත් එක කාලයක, පෙමින් බැඳුණ යුවලක් වාසය කළා. ඔවුන් එක්තරා රාත්‍රියක, ආදරයෙන් සිප වැළඳගත්තා. ඒ මොහොතේ පුංචි මල් පැළයක අංකුරයක්, ඇයගේ ගෙල අද්දරින් හරි ලස්සනට මුල් ඇද්දා..."
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.
(Phil Kayeගේ Beginning, Middle & End කාව්‍යය ඇසුරෙනි)
Superb!
ReplyDelete