Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ
පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ
හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ
පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව
මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල කලින් නොවුණ
සුවයක් දැනුනා මැණිකේ
මගේ කුරුටු අකුරුවලට
හරි හැඩ පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා
සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ
“කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?”
උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං”
“හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ”
රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම
උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?
ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට
උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ
ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව
ආයෙත් මුණ ගැහෙයි කියල
“මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?”
එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
ආයෙත් අපි මුණගැහේවි
එදා වගෙම කෝපි හලේ
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

Sunday, February 14, 2016

වැලන්ටයින් කතා හතරක්



මගේ වැලන්ටයින් කතා හතර

_______________________________

අංක එක

"ඔයා වැලන්ටයින් සමරලා තියෙනවද?"
"ම්ම්හු. ඔයා?"
"නෑ!"
"ශා!! අපි දෙන්නා මේ පාර සමරමු!"
"හා!"
ඉතිං කෙල්ලගෙන් කොල්ලට රතු රෝස මලකුයි, ටෙඩියෙකුයි හම්බුනා.
ලොකූ... රෝස මලක් අලවපු කාඩ් එකකුත් එක්කම...
කෙල්ලටත් ඉතිං මේසේ උඩ තියන පෙට්ටගමක් වගේ පෙන්සිල් හෝල්ඩර් එකක්. ඒක තෝරගන්නෙත් යාලුවෙක්ට කියල,බෝම අමාරුවෙන්.
දෙන්නට හම්බෙන්න නම් බැරි වුනා. ඉතිං තෑග්ග ගියේ යාලුවෙක් අතේ.

කෙල්ල අද වෙන්න දොස්තර නෝනා කෙනෙක්.
කොල්ලා පත්තරකාරයෙක්.

අද දෙන්නා ඉන්නෙත් රටවල් දෙකක.

_______________________________
අංක දෙක

Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..

Monday, June 15, 2015

කවිකාර පෙම්වතාට කියාගත නොවුන 'රහස'

"කවියෙකුට පෙම්වතිය වී හිඳින්නට ලැබීම, කෙතරම් සොඳුරු හැගීමක් වනු ඇති ද? "

කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.




ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..


Saturday, June 13, 2015

ඇයි ද මෙතරම් සුසුදු සියපත්?

සයිබරයට මුදා හැර නිදහස්වනු පිණිස තබන සටහන්

".....ගඟ පැත්තෙන් පඩි පෙළ නැග....."
සේයාරුව Daily News

දෑවුරුද්දකට පමණ පෙර මිත්‍රයෙකුගේ පොතක එලි දැක්වීමක් නිසා ගම්පහ ඔහුගේ නිවසේ බර සාකච්ඡාවක සිටි මොහොතක ලැබුන කෙටි පණිවිඩයක්..

"අද හවස කැළණි පන්සල් යමු(ද)"

ඉතිං වැඩ පැත්තක තියලා, හවස් වෙද්දී මම බස් එකක නැගලා කැළණි විහාරෙට ආවා..

මම ටිකක් පරක්කුයි, බස් නැවතුම්පොලෙන් බැහැලා කැළණි ගඟ පැත්තෙන් ඇවිත් පඩිපෙළ දිගේ නැගලා, වෙහෙර මලුව උඩට ඇවිත් මම වට පිට බැලුවා, ඒ වෙද්දී ඈ එතන වග දැනගෙන උන්න නිසා..

මම ගඟ පැත්තෙන් ආවට මොකද, අනිත් පැත්තේ බස් පාර දිහාවට එබීගෙන, වෙහෙර මලුව කෙලවර පවුරට බර වෙලා ඈ ඉන්නවා..

සුදුම සුදු පාට දිගම දිග  සාය,  

සුදුම සුදු පාට අත් දෙකටම දිග බ්ලවුස් එක,

තවමත් ලාවට තෙත බරිත කඩා දාපු කොන්ඩේ, 

රතු පාට අත් බෑගය,

සුදු පාට නෙලුම් මල් කළඹක් පපුවට තද කරගත් ඇය!


සුදුම සුදු පාට සුසුදු දසුනක්!

Tuesday, June 9, 2015

අනුරාගයේ මතක වස්තුව සමරමි...

හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක විරාමයක් ඇතුලේ, කල්ප කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන් වීමක් අද්දර වුණත්, සදා කල් මතකයේ රදවන, මේ ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ මතක වස්තුවක්..

හාද්ද....!


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?

පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා ඉම දිහා, කළුවර ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...


හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට ගියාවට උඩින්, මතකයේ රැඳී එකම වස්තුව! ඇයි මේ? මම පාලමක්, දෙගොඩ යා කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..  

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත සිද්ධවෙන බව, මේ පලවෙනි අවස්තාව නොවන වග, වෙලාවකට මම කල්පනා කරනවා...

ඉතිංසසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...




BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:


Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

Friday, July 4, 2014

ඔබ විශ්වාස කරන්නේ නම්, ජිවිතේ සුන්දරයි..


පුංචි කතා දෙකක්.. ඔබ අවධානයෙන් සිටින්නේ නම්, සීමා මායිම් පරයමින් ඔබේ සිතුවිලි වෙනස් කරාවි.



කතාව අංක එක..



මගේ පුංචි ලේන්නු දෙන්නා. මගේ කිව්වට මගේ නෙවෙයි, අයිතිය මගේ හිමිකාරකමත් කියන ස්වභාවධර්මයටමයි. වෙන කිසිම කෙනෙක්ට ලං නොවෙන මේ දෙන්නා මටත්,මගේ අම්මටත් විතරක්, බය සැක නැතිව ලං වනවා.  කෑම කන වෙලාවට නොවරදවාම ලඟට එන්නේ කන්න දෙයක් වරදින්නේ නැති බව දන්නා නිසායි.


වෙලාවකට මගේ කාමරේ, අදත් එක සිනි බනිසේ බෙදාගෙන අපි තුන් දෙනා කෑවේ. කාලා ඉවර වෙලා එලියට ගියා, එක තුන් ඉරි අප්පු කෙනෙක්, නෑ වැරදුනා. තුන් ඉරි මැණිකේ කෙනෙක්. ඔන්න අම්ම කෙනෙක් වෙන්නයි ලෑස්තිය. 


මගේම කාමරේට රිංගලා මගේ කෑම එකත් කිසි අනුකම්පාව්වක් නැතිව ගිල දාන මෙයා, පුංචි කූඩුව හදන්නත් කපලා තිබ්බේ අප්පච්චි නිදියපු මෙට්ටේ. අරං එද්දිම මං දන්නවා හොරා කවුද,හොරකම කොහෙන්ද කියලා. මං ළඟ උන්නට ගානක් නෑ, මෙයා මං අත පොවන මානේම පුංචි කුඩුවක් හදන්න පටන් අරං. හෙමින් සීරුවේ හොරකම කරගෙන ඇවිල්ලා,මං බලන් ඉඩදීම පුංචි කූඩුව ඇතුලට රිංගුවා. කූඩුව ඇතුලේ පුළුන් නලියනවා විටින් විටේ, හොරකම මට මාට්ටු නෑ කියලා උඩ පනිනවද මංදා. සෑහෙන වෙලාවක් මං බලන් උන්නා. 

ලේනෙක් වෙලා උපන්නත්, උඹත් මව් රැජිනක් තමයි. මෙට්ටේ කපනවා දැක්කේ මං හින්දම හොඳයි.මට හිතුනා.





කතාව අංක දෙක..




අහම්බෙන් හම්බුන වීඩියෝවක්.. ඔබ දුකෙන් සිටින්නේ නම්,මෙය ඔබේ මුවට සිනහවක් ගෙනේවි. හෙඩිමේ තිබ්බේ එහෙමයි.සැවානා තණ බිමක්. සුපුරුදු විදියටම කැලෑ හරක්, සීබ්‍රාවන්, සිංහයන්,චීටාවන් හා හයිනාවන්.අපේ කතා නායකයා මොහොතක වයස ඇති කැලෑ හරක් පැටියෙක්.


අපේ කතා නායකයා මවු කුසින් අපේ සැවානා කරලියට එනවා. විනාඩි කිහිපයක අවෑමෙන්, ඔහු ඇවිදින්නට ඉගෙන ගන්නවා. ගොදුරු සොයා ඇදෙන විලොපිකයන්ගේ අරමුණ,පහසු ඉලක්කයක්.අලුත උපන් අපේ කතා නායකයා,හයිනා රැලකගේ ඉලක්කය බවට පත් වෙන්නේ අන්න ඒ නිසයි.


හයිනාවන් ප්‍රහාරය අරඹනවා, ගව රෑන පැවැත්ම වෙනුවෙන් දිවයද්දී අවසානයේ මව් ගව දෙනත් ඊට එක් වෙනවා. පහසු ඉලක්කය වශයෙන් අපේ කතා නායකයා ඉතිරි වද්දී කොහේදෝ සිටි සිංහ ධේනුවක් කරලියට පැමිණෙනවා.ඇය හයිනා ග්‍රහණයෙන් ගව පැටියාව මුදා ගනු ලබනවා.


ඇය පැටවාව සපා බලනවා. තවමත් කලලාවාරික තරලයෙන් මේ පැටියා තෙත බරිතයි. සිංහ දෙන ගව පැටියාව ලෙව කනවා. තමා සමග සිටින්නා ගැන කිසිම හැඟීමක් නැති ගව පැටියා,නොපෙනෙන මානයේ සිටින තම වර්ගයා අමතක කොට සිංහ දෙනගේ ඇඟේ දැවටෙමින් ඇය හා යනවා.


ඔහුට බඩගිනි, කිරි බිඳක් නැතිව පැය ගණනකට පසු දළු කොළ උලා කන්නට ගව පැටියා උත්සහ දරනවා. සිංහ දෙන අසලම මේ දෙස නෙත් යොමනවා.


නැවතත්, ගව රැල තණබිම් වෙත පැමිණෙනවා. පුදුමයකට මෙන්, සිංහ ධේනුව පටවා ගව රැල වෙත යොමු කරනවා. පැය විසි හතරක් තිස්සේ තමා අතුරේ සිටි ගව පැටවාට මෙන්ම,ගව රැලටත් ඇයගෙන් තර්ජනයක් හෝ සිදු වන්නේ නෑ.


සිදු වූ සන්තැසිය ගැන කිසිදු අදහසක් නැති ගව පටවා දන්නේ බඩගින්න පමණයි. තමන්ගේ මව කොහීද,ඔහු විපරීත වන්නට ඇතී.පැටවෙකුට කිරි දෙන මවකගේ කිරි දිය වෙනුවෙන් ඔහු යොමු වෙනවා. නොපහන් පිළිගැනීමක් ලබන ගව පැටියාව අංවලින් ඇනීමෙන් පලවා හැරෙනවා.


දෛවය, කෙසේ හෝ ගව පැටියාව මව වෙතම යොමු කරනවා. මව්-පුතු හමුවෙන් දෙදෙනාගේම පිපාසාවන් සන්සිදෙනවා.

සිංහයා කැලයේ රජා වුනත් කැලයේ සතුන්ව රකිනවාද? මං ඉස්සර එහෙම හිතුවේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා.


කතා දෙක මෙතනින් ඉවරයි,කතා දෙකක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ එකම කතාවයි. 

සබදතා කිසිවක් අසම්මත නෑ. සම්මතයට පිටින් තිබුනාට අසම්මත වෙන්නෙත් නෑ. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ජිවත් වන සමාජය කුමක් වුනත්,ඔබේ සිතුවිලි ඔබගේ ජීවිතය ලස්සන කරාවි.



අදට එපමණයි.

-අල්තයීර්




Friday, February 14, 2014

මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ



මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙන හමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ  රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න.

   වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද? මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද? මේවාගේ සැබෑ අරමුණ කුමක්ද? මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය.



    හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.

Monday, September 9, 2013

අහිමි නොවූ ඔහු-සොඳුරු මං පෙතේ ධාරාට පිළිතුරක්

සොඳුරු මං පෙතේ පියනගන්නී ධාරා පහුගිය දවසක අපූරු කවි පන්තියක් ලියා තිබුනා.ගමේ සුවඳ ගමේ මතකයන් විහිදෙන අපූරු කවිපන්තියට ධාරා අරමුණු කරගෙන තිබුනේ ගැමි තරුණියකගේ සිතිවිලි දහරාවයි. බාල කාලයේ පටන් කෙලිදලෙන් ගත කල මිතුරු පෙමක්,සොවුරු පෙමක් ඔවුන්ටත් නොදැනීම ඉන් ඔබ්බට ගිය අප්‍රකාශිත පෙමක් බවට පත් වී ,අවසානයේ තරුණයා සරසවිය වෙනුවෙන් ඉවත ගිය පසු තරුණිය තුලින් ප්‍රකාශ වෙන අයුරු ගැමි ලියගේ සිතුවිලි දහරාවටම ඔබින ශෛලියකින් ඇය ගලපා තිබුනා. ඒ කවි පෙළ මෙතනින් ගිහින් රසවිඳින්න පුළුවනි.

        සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්? "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි.

        පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.



                                    
දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය අරා
සුපස න් හදින් නැගෙනා මතකයන්දරා
කෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙසරා
සැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම කරා
  
තුඩ තුඩ ගැයෙන ගී අම රසදැනේ වී
නිල් නුබ දිලෙන සොමි පව්වෙන්එබේ වී
හද හද දිලෙන පැතුමන් හෙට යාවෙ වී
හසුනක් ලැබෙන තුරු ඔබ මගබලා වී
  
කඳු හෙල් රළු හසර ඔබ හා පසුවූවා
හන්තානටත් නුඹේ අත ගෙන ලං වූවා
දොළ අයිනේ නුඹ හා සිත යා වූවා
අක්බර් පොකුණ ළඟ අද මම තනි වූවා
  
වෙහෙස නිවා ගන්නට අප රැඳුන එදා
සිහිලැල් නදී දිය ඇලි මතකයේ සදා
මහවැලි ඉවුර ළඟ මා තනි විටදී මෙදා
ගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරුබිඳා
  
බිඳෙ යි මහද රජ කල සිතුවිලි රෑ න
නැගෙ යි අපේ බාලේ මතකේ ගේ න
රිදෙ යි කීරි ගැහෙනා හදවතගැහෙ න
බඳි යි හද වැටක් නුඹ පමණක් ඉන් න
  
රොද හැරගියත් බිඟු මල් පැණි සොයාගෙනේ
සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී දයාවෙනේ
මල් මී ගොමුව වෙත ආවත්විගසකිනේ
එයි සිය රොදට නොඇලෙයි මල්මීගොන්නේ
  
රම්නද සිවිලිමේ මං නෙත යවන වෙලේ
අත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිතඑකලේ
ගෙන එයි දසකයක් එපිටින් සොඳුරු කලේ
නුඹ හද පිදුවේ මට බව දැනුනයි ආලේ
  
සරසවි දිවිය වෙහෙසයි හද විඩාගෙනේ
මල් මාවතක් ඇතිමුත් තනිකමක් දැනේ
හසුනක් එවන පමා මවෙත නැතිවමෙනේ
පවස නිවන වදන් ලියන හැටි නොදැනේ
  
පමා බවට මගෙ හසුනට රහස එයයි
දමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයි
සමා අයැද මං නුඹේ බව කියන බවයි
මෙමා ලියන පළමු හසුන ලැබුනවගයි
  

                                                                                         ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴


කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.

Thursday, August 29, 2013

නොඑනු මැනවි ගිම්හානය- Aging! you aren't welcome!



වසන්තයේ හිමිදිරියට
පිණි වැස්සෙන් අලුත් වෙලා
තණ ගොල්ලේ පිපෙන කුසුම්
යලි නොඑන්න පිටත් කරන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



නිසංසලේ සැරි සරන්න
ගිරා මලිති කැන්දන් එන
වසන්තයේ අතු අග ඵල
අවසන් කර උන් යවන්න
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න


නිවන් සදන කණ පිනවන
සනසන අප සිත නලවන
කොවුල් නාද සැම අගයන
නිහඬ ලොවක තනි කරවන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



රතු පාටින් එරබදු මල්
ගෙමිදුල සැරසු මතකය
ඈත් කරන් එරබදු කටු
අප දෙදෙනට පෙන්වන්නට
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



ගිම්හානේ කටුක කිරණ
අපෙ වත්තට එපා එන්න
ඈත් වෙලා යමින් ගමන්
වසන්තයට අත වනන්න
වසන්තයට රැඳෙනු නොදී
එන්න එපා මෙහි රැඳෙන්න

 _________කරූ_________



Wednesday, June 12, 2013

මල් ගීය..


Saturday, June 8, 2013

වැහි ලේණියේ පියඹාපන්..

ආදරේ කරන කෙනෙක්ගේ මූණක්,
ටිකක් ඈතින්,,
කතා කරන්න විදියක් නෑ..
ඇයි?
පුස්තකාලේ ඇතුලේ කොහේ කතා කරන්නද ඉතිං මම..
එයා නැගිටලා යනකන්,,
මම ඔහේ බලං උන්නා..
වැහි කලුවරකුත් එනවා,,
වැස්සොත් එහෙම?
මට එයා එක්ක කතා කරන්න බැරි වේවි..
"වැහි ලේණියේ..
මම වැස්සට ආදරෙයි"
අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..

Related Posts Plugin for WordPress, Blogger...