Sunday, August 25, 2013

වැව් ඉස්මත්ත-මගේ පලවෙනි කෙටි කතාව.


  බැස යන්නේ හිරුදැයි ,නැතිනම් කැරකෙන්නේ ලොවදැයි නොදනිමි.. කෙසේ හෝ හිරු අවරට හැරී ඇති මොහොතකි.හැර යන්නේ හිරු වුවද කැරකෙන්නේ ලොව වුවද කම් නැත,කාලය වේගයෙන් ගලා යනු ඇත.ගලා යන කාලය සන්තතික වුවද,විවික්ත වුවද,එයට ගලා යාමට ඉඩ දුන්නද නොදුන්නද එය ලිස්සා යයි. ස්ථානය කපුටන් ගැවසීගත් ගංගාරාමයයි. බේරේවැව දෙසින් හමා එන පුසුඹ පසෙකලා තමන්ගේ කතිකාවතෙහි යෙදීමට උත්සහගත් දෙපළකි.ඔබත් මා සමග අසල බංකුවකින් වාඩි ගන්න. 'ඔහු' හා 'ඇය'ට නුදුරින්.



"මොකද කතා නැත්තේ?"

"කල්පනා කරනවා.."
   ඔහු ඉවත බලයි..

"මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"


"කල්පනා කරන්නද දේවල් නැත්තේ දරුවෝ"
  ප්‍රශ්නයකි, ප්‍රශ්නයකි.

අසලින් කොට කලිසමක් හැඳි මහල්ලෙක් දුවයි.කනේ ජන්ගමයකට වයර් ගසා ඇත.කට ඉංගිරිසියෙන් පොපියයි,
බඩු තුන්ඩුවක් අසාගන්නා අයුරකි.
ඔහු ද මහල්ලා දෙස බලා සිටියි.

"අපේ මිනිස්සුන්ට මක් වුනාද මන්ද.."
 ඇය ඔහු දෙසට හැරෙයි..

හ්ම්..

නිහඬතාවයකි..


"සුද්ද රට දාල ගියේ කළු සුද්දෝ ටික මෙහෙ දාල නොවෑ"
ඔහු නිහඬතාවයට සමුදෙන්න කල්පනා කළ සැටියකි.එහෙත් තවමත් දෑස් රැඳී ඇත්තේ කොහේදෝ අනන්තයක ය.

"ලඟදි මම ගියා අම්මත් එක්ක කඩේකට."
 ඈ  කතා පෙට්ටිය විවර කිරීමට සැරසෙයි.ඔහු තවමත් කල්පනාවේ නිමග්නය.


"එතනට ඇවිත් හිටියා ගෑනු කෙනෙක්.ඈත හිටිය පොඩි එකාව ලඟට ගෙන්න ගන්න කතා කළා කම් දෙයාර් කියල."

ඔහු ඇයගේ මුහුණට එබෙයි.ඇය එකී ගැහැණියට සිනාසේන්නේදැයි බැලීමට විය යුතු ය.


"දන්නා සිංහලෙන් නැතුව නොදන්නා කෙහෙල්මල් තමා මිනිස්සු කරන්නේ.මට ලඟට ගිහින් කියන්න තරම් කේන්තියක් ආවේ"..
ඇය වේගවත් වෙයි.. මුහුණේ රැඳී ඇත්තේ කේන්තියකි.ඇයද ඔහුටම දෙවෙනි නොවේ.

"හරි ඉතිං,ඕක කම් හියර් කියලම කියන්න ඕනෙද?ළමයට තේරුනා නම් කිව්වේ
ලඟට එන්නයි කියල ඒ මදෑ.."කියන්නා කෙසේ කීවද ඔහුගේ පිළිවෙල තර්ක කිරීම බව මට හැගින..


"තේරුනා නම් ඇති තමයි,ඒ වුනාට මම කියන්නේ හරියට භාෂාවක් පාවිච්චි කරන්න බැරි නම් බස නසන්න නෙවෙයි,දන්නා බාසාවක් පාවිච්චි කරන්න ඕනේ කියලයි."


"භාෂාව හරියට ජීවියෙක් වගේ ළමයෝ.ඌ පරිනාමය වෙනවා. භාෂාව පරිනාමය වෙන්නේ වැරදි කරන්න කරන්න තමයි.වැඩියෙන්ම ඉංග්‍රීසි වගේ බාසාවක්.මීට අවරුදු සීයකට කලින් බලපුවාම තිබ්බ ඉන්ගිරිසියයි දැන් තියෙන ඉංගිරිසියයි අතරේ කොච්චර වෙනස්කම් තියෙනවද?ඒ අතින් බලපුවාම සිංහල වෙනස් වෙන්නේ බොහොම හෙමින්.ඉංගිරිසි වගේ බාසාවල එකම වැරැද්ද වැඩි දෙනෙක් කරන්න කරන්න ඒ දේ හරි දේ බවට පත් වෙනෝ" ඔහු එක පයින් ඇයගේ කීමට එකඟ නොවුන සැටියකි.

"ආ යූ ගේ?" ඈ ඔහුගෙන් විමසයි.ඔහු සිනහසෙමින් ඇයගේ කොන්ඩයෙන් ඇදීමට උන් තැනින් මෑත්ව ලං වෙයි.
"යෙහ් අයෑම්! බට්, අයි මීන් ඉන් ඕල්ඩ් ඉංග්ලිෂ්.." දෙදෙනාම සිනාසෙති.



කුරුල්ලෝ ඈත අහසේ ඉගිල ගොස් එහා ඉමකින් හෝ ගොඩනැගිල්ලකින් වැසී අතරමං වෙති.යුවලක් කුඩා සිඟිත්තකු සමග හංස බෝට්ටුවකින් සවාරියක් යති. ඔවුන්ගේ මුව සිනා කැන් පල දරයි. ඈ ඒ දෙස බලා සිටින්නීය..ඒ බෝට්ටුව කෙතරම් දුරින් ඇත්දැයි ඇය සිතින් සිතනවා විය යුතුය.ඔහු තොල් විකාගෙන තවත් මනෝ ලෝකයක ය. හදිසියේම ඔහුට ඇ'දෙස බැලීමට මතක් වෙයි.



"ඇයි ඔයා කඩුවට ඔච්චර බැන බැන කඩ්ඩ මීඩියම් කරන්නේ?"

"ඇයි ඔයත් කලේ එහෙනම්?"

"ඉතින් මං අතැරියනේ ළමයෝ.."  ඔහු දිනන්නට සැරසෙයි..

"හරි ඉතින් හය අව්රුද්දක් කලේ?"

"කළා තමයි,හැබැයි දැනුමක් ගන්න. හය වසරෙන් මට හම්බුන මිස් කෙනෙක් ලස්සන කතාවක් කිව්වා.
උඹලා මගෙන් මේක ඉගෙනගනිල්ලා ළමයිනේ,කවද හරි අපේ කම ලෝකෙට පෙන්නන්න ඕන උඹලා,අන්න එදාට මේක උඹලට ඕනේ වෙනවා.
මේක අපේ බාසාව නෙවෙයි තමා.හැබැයි මේකෙන් අපේ කම ලෝකෙට ගෙනියපල්ලා.."

"ආපෝ.. ඔය පිරිමි ඉස්කෝලවල ටීචර්ස්ල ඔහොමම වෙන්නැති ළමයින්ට කතා කරන්නේ."

"එහෙම තමා,ඒ ෆිට් එකට.
අනික ඒ මිස් අපිට හරි  ආදරෙයි."

ඇගේ මුව ගොලුවෙයි.. එහෙත් ඇය සිතින් නිහඬ නැති බව ඔහු හොඳාකාරවම දන්නවා විය හැක..
ඈ ගැන මෙවැනි කවක් ලිව හැකි කෙනෙක් ඈට ලැබුනා නම්....

නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


"පැටියෝ.. මුනාද අනේ කල්පනා කලන්නේ.."
මට මහ පුදුමයක් දැනුනි.මෙවැනි පද මොහුට හුරු වුයේ කෙසේද?
එහි ලතාවක් තිබිණි. පොඩි එකෙක් හුරතල් කරන්නා මෙනි.


"හිතට මහා බරක් දැනෙනවා පණ.."
මගේ පැනයට පිළිතුර එහි තිබුණි.


"මම දන්නවා දරුවෝ,මට ඒක දැනෙනවා"

"අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි.."
"මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ,
හැබැයි ලෝකේ හොඳම යාළුවො දෙන්න අපි වෙන්න ඇති"

"මම දන්නවා වස්තුවේ,මම දරදඬු වැඩියි ඔයාට.. මට කල් දෙන්නකෝ..
මගේ වැඩ එක්ක හිත කරදරෙන් තියෙන්නේ.. ඉක්මනින් මේ දේවල් ඉවර කරන්නම්.."

ඈ ඉවත බලා ගත්තා ය.
රණවිරු  සේවා ආපන ශාලාව අසල සිටින  කුඩා දරුවෙකු දෙස ඈ ආසාවෙන් බලා සිටියි.
ඌ විටෙක වැටෙයි.හිතලාද වැටෙයි.
ඌ ඇවිදින වයසේ එකෙකි.ඇවිදින්නේ වයස නිසා නොව වැටි වැටි ඇවිද්ද නිසා ය.
පියා දුව විත් ඌ ඔසවාගෙන මව වෙත ගියේය.ඈ දරුවාට කන්න දෙයක් තෝරයි.

"මම කැමති නෑ ඔයා ගොඩක් ප්‍රසිද්ද වෙනවට,ලොකු සල්ලි කාරයෙක් වෙනවට?
ඔයා පන්නන්නේ ඒවා පස්සේ නෙමෙයි තමයි.ඒත්..
ඔයා කරන දේවල් නිසා ඒවත් වැඩිපුර එන්න ඉඩ තියෙනවා..
ඒවත් එක්ක,උවමනා කම් වැඩි වෙද්දී,තව තව මදි වෙද්දී..
ලස්සන ජිවිතයක් කියන එක අපෙන් ඈත් වෙයි.."


"මට ඕනේ සරල මිනිහෙක්..
ලොකු මිනිහෙක් නෙවේ.."


"හ්ම්ම්.."
 සුසුමක් බෙරේ වැවේ රැලි නංවමින් ඈතට ඇදී ගියේය..

"මේ බලන්න මගෙ දරුවෝ..
අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි වැඩකට..
ඒ දේත් කරන්න ඕනේ,අපේ ආසාවල් වගේම.."

"අපි මේ එන්නේ පරණ කතාවකටමයි කරූ..
බලන්න? අර ඉර බැහැගෙන යන ලස්සන?"


බේරේ වැව් රැලි තපහ් තපහ් හඬින් ගල් බැමි ඉවුරේ වදින්නට විය..
වැව් ඉවුර මත කෙතෙක් ගැටුනද,වැව කිසිදා පිටාර නොගලනු ඇත.
කිසිදා..

ඔවුහූ නැගී සිටියහ.. අත් වැල් එකිනෙක පැටලින.
ඈ ඔහුගේ උරහිස මත හිස හොවාගත්තා ය.
මම බංකුව මතම දෑස් පියාගතිමි.

මෙතෙක් වෙලා ගෙලේ එල්ලෙමින් පැවතුන ඉයර් ෆෝන් දෙක මම කණේ රුවා ගතිමි.
ගීතයක් එහි මැදින් වාදනය වමින් පැවතින.

අර ගැටුම්.. මේ නැටුම්
බත ඉදෙනකන් විතරයි..
ඔය හැඬුම්.. ඒ දෙඩුම්..
රෑ එළිවෙනකොට ඉවරයි..
තෝරාගත්තේ ඔබව මං..
ඉන්නමයි ඒ වාගේ..
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි....
ආදරෙයි...

ඔය නුවන්..මේ සවන්..අහන දකිනා ඒවා..
හොඳ හිතින්.. එක හිතින්..
කරන කියනා දේවල්..
විසදමු අතිනත් බැඳන්..ඉන්නමයි ඒ වාගේ..
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපිට අපි හරි..ආදරෙයි...

මම දෑස් විවර කලෙමි.ඔවුන් තවමත් පෙනෙන මානයේය.
ඔහු ඇයගේ බඳ වටා අතක් යැවීය.ඈ තව තවත් ලං වුවාය.
හිරව තිබූ සුසුමක් පිටකර හැරීමි.

මහල්ලා තව වටයක් මා ඉදිරිපිටින් නොනැවතී දිව ගියේය.

                                                                                         -කරූ




පසු වදන:
කණා මැදිරි එලි-අනුරාධා පෙරේරා.mp3


සිහිපත් කෙරුම:

  • මගේ අම්මා..


  • ඉංගිරිසිය කියා දුන් බොහෝ ගුරුතුමන් අතරේ ඉංගිරිසිය මොකටදැයි කියා දුන් ජයේශ්මී ගුරු මෑණියන්


  • ජිවිතයේ නුදුටු සමහර පැති ආදරෙන් පෙන්නා දුන්,සොයුරියත් මිතුරියත්,සෙවනැල්ලත් සේ ළඟ සිට,මගේ රටේ නැති වැඩ ඉවසා සිටින,  ඇය- "මල් ගී" .


:)

21 comments:

  1. ඉන්දියාවට නිදහස ලැබුණට පස්සෙ මහත්මා ගාන්ධි කිව්වලු මෙහෙම කතාවක්,
    "පර සුද්දන් මෙහෙට ගෙනාපු සියල්ලම ඉවත් කරපල්ලා, ඉංග්‍රීසි භාෂාව හැර"

    අවවාදයයි ::
    කෙල්ලන් සමඟ යම් දර්ශණයක් හෝ විදග්ධ සංවාදයක් කිසි විටෙකත් ආරම්භ නොකරන්න, මන්ද යත් සෑම විටම අවසානයයේ ඔබට ඇයගේ අදහස්වලට අවනත වීමට සිදුවේ.. එසේ නොවුණහොත් අති භයානක ප්‍රතිඵල අත් විඳීමටද සිදුවේ..

    ReplyDelete
    Replies
    1. හික් හික්! මේ කෙල්ල නම් ටිකක් වෙනස් චරිතයක් මං "හිතන්නේ" . හර බර සංවාදවලදී කොච්චර එකඟතා තිබ්බත් කෙසේ වෙතත් රණ්ඩු අල්ලන්නේ නම් එදිනෙදා ජිවිතේ දේවල් එක්ක!

      කොල්ල දවසක් මෙහෙම කියන්න ඇති,
      "අපි දෙන්න චන්දෙ ඉල්ලුවොත් මම කියන්නේ නෑ දිනනවාමයි කියලා. හැබැයි අපි දෙන්නගේ පක්ශේ කැඩෙන එකක් නෑ කසාදෙ කැඩුනත්!"

      Delete
  2. කෙටි කතාවකටත් වඩා මට මේක මගේ ම අත්දැකීමක් වගේ, කරූ. මට හිතෙන්නේ මට වගේ මේක උඹෙත් අත්දැකීමක්. ඒ වගේ ම සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සමාජ විවරණයක්. ඔන්න ඔහොම යි උඹේ පළවෙනි කෙටි කතාව මම දකින්නේ.

    අනේ මන්දා! අවංක ආදරේ කියන්නේ අපි හිතනවට වඩා හුඟක් ගැඹුරු දෙයක්. ආදරේ නොකරන කෙනෙක්ට මතුපිටින් බලලා ඒ ගැනි කිසිම දෙයක් කියන්නත් බැහැ. ඒ වගේ මම හිතන්නේ නෑ දෙන්නෙක් එක වගේ ආදරේ කරයි කියලා. කාට හරි ආදරේ කරන්න පටන් ගන්නකං අපි ම දන්නේ නෑ ඒක මොන වගේ ද කියලා. මොන තරම් දරදඬු කොල්ලෙක් වුණත් ආදරේ ඉස්සරහ බොළඳ යි.

    //අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි. මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ// මේක නම් සම්පූර්ණ ඇත්ත කතාවක්. ඒත් ඒ රණ්ඩු කොච්චර ලස්සණ ද?

    ජීවිතේ ගැන සරල ව හිතන, සිහිනයක් තියෙන මිනිහෙක්ට විතර යි ආදරේ විඳින්න පුළුවන්. මම හිතන්නේ එහෙම යි. ආදරේ ගැන නං කතා කරන්න දේ බොහෝම යි. නිවාඩු පාඩුවේ කතා කරමු.

    ReplyDelete
    Replies
    1. රණ්ඩු සුන්දරයි තමා,රණ්ඩු වෙද්දී තමා පණ යන්නේ! හැබැයි රණ්ඩුවෙන් පස්සේ හිටියටත් වඩා අවබෝධයක් එක්ක ෆිටේ ෆිට් වෙද්දී ගොඩක් සුන්දරයි..

      //ජීවිතේ ගැන සරල ව හිතන, සිහිනයක් තියෙන මිනිහෙක්ට විතර යි ආදරේ විඳින්න පුළුවන්.// සහෝදරී මේක කිව්ව කටට දාන්න මසුරන් නෑ මා ගාව,සියඹලා ටොපියක් තියෙනවා දාන්නද!
      ගොඩක් කෙල්ලෝ ඔහොම හිතන්නේ නෑ,අර උඩින් කියලා තියෙන කෙනා වගේ හිතන ඇය අඩුයි(ඇත්තෙම නෑ).. නියම කෙනා හම්බුනොත්/හම්බෙලා ඉන්නේ නියම කෙනා නම් ඔයාගේ ඒ ගැන ගොඩක් සතුටු වෙයි.

      Delete
    2. //හැබැයි රණ්ඩුවෙන් පස්සේ හිටියටත් වඩා අවබෝධයක් එක්ක ෆිටේ ෆිට් වෙද්දී ගොඩක් සුන්දරයි// ඒක නං ඇත්ත. ආයෙත් ඉතින් ඒ හේතුවට රණ්ඩු වෙන්න ඕනේ නැහැනේ.

      සියඹලා ටොපියක් වුණත් කමක් නෑ බං කන දෙයක්නේ. ගොඩක් කෙල්ලෝ එහෙම හිතන්නේ නෑ කියලා කියන්න බෑ. හිතන අයත් ඉන්නවා. දැන් ඉතින් හුඟක් දෙනෙක් හිතන්නේ සල්ලි තියෙන, හැන්ඩි කොල්ලෙක් දා ගත්ත ම ඔක්කොම හරි කියලනේ. මන්දා, මම නං අවංක ව ම කැමති කොල්ලෙක් ළඟ තියෙන ඒ ගතියට, සරල ව හිතන, සිහිනයක් තියෙන කොල්ලෙක්. හ්ම්ම්, මම හිතන්නේ නියම කෙනා තමයි මට ලැබුණේ. මට ඕනේ දේ තියෙනවා. ඉතින්, වෙන මුකුත් ඕනේ නැහැනේ.

      Delete
    3. එකෙන්ම.. ඒ අදහසට මෙන්න මම තොප්පිය (හරි හරි තට්ටේ වැහෙන්න දාගෙන ඉන්න එක තමා) ගලවා මගේ බලවත් මෙව්වා එක පුද කර සිටිනවා..

      Delete
  3. අවසානේ ඕක තමයි තින් කොමත් :3

    ReplyDelete
  4. උඹට මේකෙන් කියන්න ඕනා මොකක්ද කියලා මටනම් හරියටම තේරුන්නෑ.. මට මතක විදිහට, බේරෙ වැවෙන් හඹා එන පුසුඹයි, හංස බෝට්ටුයි එකටෙක යාවෙන්නෑ. ඒවා කාලයන් දෙකකට අයිති සංසිද්ධි.

    ReplyDelete
    Replies
    1. බේරේ වැව කොළ පාට කාලේ ආපු පුසුඹයි,හංසයෝ පාවෙන්න ගත්තට පස්සේ කාලේ පුසුඹයි දෙකක්! අර කලින් එක කාලේ නම් මම යන්නෙම නෑ පැත්ත පළාතේ,ඒත් දැන් තියෙන එක මුලින්ම නහයට නිකං කොහු කෙන්දක් දානවා වගේ එකක්,හැබැයි ටිකකින් හුරු වෙනවා..

      පුසුඹ පැත්තකට දාන්න වෙන්නේ ඇවිල්ලා වැඩි වෙලාවක් නැත්තම්.ඔය කියන තැන ඉද්දි මට හිතුනු දේවල් ටිකක් තමයි මේ කතාවට එබුවේ,පරණ මතකයකුත් එකට ගාවලා.. ගොඩාක් දුර හිතන්න දෙයකුත් නෑ,හැබැයි සංකේත ගැන පොඩ්ඩක් හිතන්න..

      Delete
  5. උබටත් කථා ලියන්න පුළුවන්නේ බන් .... හොඳා හොඳා දිගටම ලියපන් ...... අපි එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මැලේ අයියත් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ! ලියන්නම්කො මම දිගටම ඔයාල එනවනම්.. ජය වේවා කියල ඔන්න්න පිලිගන්නවා මගේ පුංචි අඩවියට..

      Delete
  6. මගේ කමෙන්ට් එක අතුරුදහන් වෙලානේ. අල්තයීර්. බලන්න ස්පෑම් එකේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඩූඩ් අයියේ,
      ස්පෑම් එකෙත් නෑ,මේල් එකට ඇවිල්ලත් නෑ.. :'(
      ඩූඩ් අයියගේ අදහස් මට හෙන වටිනෝ..

      Delete
  7. සුභ පැතුම් මල්ලි.. මේ ඇරඹි ගමන අනාගත මහා ගත් කතුවරයෙකුගෙ ප්‍රථම පියවරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි වැරදි බලාගන්න දුන්න උදව්වට ස්තුතියි සමී අයියේ..
      අම්මෝ! මහා නැතත් කියවන්න ආස හිතෙන දේවල් ලියාගන්න පුළුවන් උනෝතින් ඇතී.. ඒ අවංක පැතුමට ස්තුතියි අයියේ..

      Delete
  8. මට හිතෙන්නේ නවකථා ලියනවට වඩා අමාරුයි කෙටිකථා ලියන එක.දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. නව කතාවක් නම් ලියන්න ට්‍රයි කරලවත් නෑ තාම.. ඉස්සරහට එකත් බලමු සහෝ..

      Delete
  9. මේ ගැන බුකියේ වැටුන අදහසක්..

    Zunera Wijekoon මචං, බුද්ධි.. සිරාවට ම පට්ටම ගති. දැන් කාලෙ හුගක් කොල්ලො කෙල්ලන්ගෙ බොරු ජීවිත වලට කෙලින් උත්තරයක්...
    තමන්ගෙ භාශාවට වඩා තැනක් පිටස්තර භාශාවකට දෙන සහ ඒ ගැන ආඩම්බර වෙන එකම ජාතිය තමා සිංහල ජාතිය.
    "අපේ දුවට වැඩිය සිංහල තේරෙන්නෙ නෑනෙ"
    "මෙයා ඉන්ටනැශනල් ගිය හින්දා සිංහල බෑනෙ"
    "පුතා යාලුවොත් එක්ක කථා කරන්නෙ ඉංග්‍රීසියෙන්මයි"

    මේ වගේ දේවල් දෙමව්පියන් ආඩම්බරෙන් කියනවා මෙන්ම පොදු තැන්වල්දී ඉංග්‍රීසි වචනයක් දෙකක් කථාවට ඇතුලත් නොකලහොත් එය මදිකමක් ලෙසද සලකනවා..

    මෙතන්දි උඹේ ආකල්පෙ හුගක්ම වටිනවා "අපේකම පිටට ගෙනියන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනෙ" කියන එක.

    මමත් ඉංග්‍රීසියට විරුද්ධ නෑ, ඒත් පිටරටකට ගිහින් සතියෙන් සිංහල අමතක කරන,සිංහල බැරි වෙන එක ආඩම්බරයට හේතුවක් කරගත්ත උන් දැක්කාම තරහා ගන්නද, හිනා වෙන්නද කියන එක හිතා ගන්න බෑ බං.

    කොහොමහරි අපි මේ දේත් මතක තියාගන්න ඕනේ.
    ජපානය, චීනය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් තාක්ෂනය අතින් සීග්‍රයෙන් දියුනු වුනේ තමන්ගෙම භාෂාවෙන් මිසක් වෙන උන්ගේ භාෂා භාවිතා කරලා නෙවෙයි...

    ඉංග්‍රීසි නැතුව දියුනු වෙන්න බෑ කියන පුහු මානසිකත්වය තියන අපේ සමහර මිනිස්සුන්ට ඒක වැදගත් වෙයි..

    උඹෙ තියන ගතිගුණ, ආකල්ප. මේවා නිසා තමා මං කබය නැතුව කියන්නෙ උඹ මගේ හොඳම යාලුවෙක් කියලා. අපි දෙන්න ඉස්කෝල දෙකක බව ඇත්ත, කවදාවත් හැබැහින් මුනගැහිලා නැති බවත් ඇත්ත. ඒත් උඹේ ආකල්ප වල,සිතුවිලි වල බැදීම, ලොවෙත් මචං....

    උඹට ජය වේවා.. දිගටම ලියපං

    ReplyDelete
  10. අදමයි ආවේ... නියමයි, දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඔන්න එහෙනම් අඩවියට සාදරයෙන් කෑදරයෙන් පිළිගන්නෝ.. ආයේ හම්බෙමු..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...