නුහුරු තැනකට ගිය විටදී මගේ පුරුද්ද හැකිතාක් වචන ගනුදෙනු අනුන්ගේ පිටේ ගසා ගොළුවෙකු සේ කරබාගෙන බලා සිටීම ය. නමුත් මා සමග සිටින අනිකා ද මිනිස්සුන්ගේ මූණක් බලා කතා නොකරන මා වැනිම අහන්කාර ගල්බමුණෙකු වූ විට ක්ෂණිකවම තත්ත්වය සියතට ගෙන, කට කණේ ගිය සිනාවන් පා වෘත්තීය මට්ටමේ කතා කාරයෙකු වී වටපිටාවේ තත්ත්වය පාලනය කර ගැනීම මගේ පුරුද්ද ය. එවැනි "ටෝක් කිරීමේ" සහ "ටෝක් දීමේ" උපන් හැකියාවක් තිබුනද බොහෝවිට එය කම්මැලි වැඩකි!
සාමාන්‍යයෙන් මා ආගිය විස්තර කතා කරන්නේ කතා කරන්නට වෙන දෙයක් ඇත්තෙම නැති වෙලාවක කතා කරන්නට සිද්ධ වූ විට ය. ඇල්ල, පුංචි සිරීපාද කන්ද මුදුනේදී මේ තැඹිලි මාමාව හම්බුනේ ද මා ඔහේ බිම තණකොළ ගොල්ලක් උඩ ඇලවී හොඳ ඇලට් එකක් ගහගෙන උන් ඒ වාගේ වෙලාවක ය.
ඒ මාමා කියන හැටියට උපන්ගම කුරුණෑගල පැත්තේ ය. බණ්ඩාරවෙලට පැන විත් තිබුණේ අසූ තුනේ ජූලි කලබල කාලයේ වන අතර දැන් කුරුණෑගලට යන හැටි ද මතක නෑ ලු ය.එකසිය පනහටත්,
සීයටත් විකුණන සියලුම තැඹිලි මිලට ගන්නේ අසූව ගානේ එකම මිලකට ලු ය. කන්ද උඩට වරකට ගෙඩි විස්සක් තමන් ද, ගෙඩි හතළිහක් ගෝලයෙකු ද උස්සාගෙන එනවාලු ය. අන්සබාගේ නොහැදුණා නම් තමන්ටත් හතළිහක් උස්සාගෙන එන්න තිබ්බා ලු ය. පැත්ත පළාතේ ලේසියෙන් හොයන්නට නැති තැඹිලි මාතරින් ගෙනවිත් කන්ද උඩ තබාගෙන විකුණන වෙළඳාම සරු ලු ය. මාතර ඉඳන් ඇල්ලේ කන්ද මුදුනකට තැඹිලි ගෙනවිත් ලැබෙන ලාබයෙන් ළමයි දෙන්නෙකුම ඉස්කෝලේ යනවාලු ය. තැඹිලි කෝම්බ පලා,කපා වළලන්නට අවසර දී ඇතත් ඒ සියල්ල හවසට කන්ද පහලට ගෙන යනවාලු ය.
ෆොටෝව ගන්න උවමනා වුණේ හොරෙන් වාගේ වුනත්, ෆොටෝව ගන්නවා දකින විට අත්දෙක සරමෙන් පිසදාගෙන කැමරාවට මුහුණ දුන්නේ මේ විදියට ය. වසරකට පමණ පෙර රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වූ මගේ කකුල නුහුරට තබමින් මා නොන්ඩි ගසනවා දැක, සමුදෙන මොහොතේදී ඒ ගැන මගෙන් විමසු විට මා කීවේ කන්ද පහලදී කකුල පෙරලුන බව ය.
අපි නොගිය තැන්වලට අපේ හිත් අරන් යන්න ඔයාගෙ ලියවිලිවලට තියෙන්නෙ පුදුම හැකියාවක්. මේව දකිනකොට දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න ආස හිතෙනව. මේ අත්දැකීම් ඇත්තටම ලබන්න. ❤️
ReplyDeleteස්තුතියි මදාරා..
Delete++++
ReplyDelete++++++++++++++++++
ReplyDelete