Showing posts with label අතීතකාමය. Show all posts
Showing posts with label අතීතකාමය. Show all posts

Friday, January 25, 2019

නිරුවත් පළමු පෙම

මගේ පළමු පෙම කායිකව නිරුවත් කිරීමට මම හදිසි නොවීමි. හැරත්, අතීතයේ සතියකට ලැබුණ සීමා සහිත පැය විනාඩි තත්පර තුල එවැන්නකට ඉඩප්‍රස්තාවක් ද නොවී ය. ඇයට ද එය එසේම වු බව මට මතකය. දෙනෝදහසක් සෙනග අතරේ නොයෙක්විට තනිවුණ අපට සිප වැළඳ ගැනීමකට හෝ අවකාශ සොයාගැනීම මහා ජයග්‍රහණයක් විය.

ඒ වෙනුවට ඇගේ සියුමැලි වැලමිට ද, මට වඩා දහස්ගුණයකින් රේඛා සපිරි අත්ල ද, බාල කාලයේ තුවාල කැළැල් තවමත් විද්‍යාමාන දණහිස් ද මට ස්පර්ෂයට ලැබිණ. මගේ බාහුව ද, හිස කෙස් ගැවසි ගෙල පසුපස ද, කණ්පෙති ද ඈ නිබඳවම ස්පර්ෂ කළා ය. ඇයගේ ඇස්පිහාටු මෙන් දෙගුණයක් පමණ දිගු වූ මගේ ඇස් පිහාටු ද, මගේ දුඹුරු පැහැ දෙඇස් ද ඈ නිබඳවම අගය කළා ය, අන් කිසිවෙකුටත් නොදෙන බවම පැවසුවා ය. ඉන් ඔබ්බට කිසිවක් ඇය වචනයෙන් ඉල්ලා නොසිටියා ය. උකුලේ හිස හොවා මුවින් නොබැන උන් පැය ගණන් අවසානයේ නිවසට ගොස් අපි පිටු දහ අට- විස්ස දිග හසුන් ලියුවෙමු. සිව්පදයෙන් සංවාද ගෙන ගියෙමු.

අප අතරේ හුවමාරු වූ රහස් කතාවල තරමට, සමාජය විසින් පෞද්ගලික යැයි ලේබල් ගසා ඇති ශරීර කොටස් ක්ෂුද්‍ර වැඩි බව අපි තේරුම් ගතිමු. එකිනෙකාගේ ජීවිතතුල ස්පර්ෂ නොකල අස්සක් මුල්ලක් නැතිවන තුරුම අපි එකිනෙකා තුලට අතු-මුල් විහිදවමින් ගොඩනැගුනෙමු. එකිනෙකාගේ ආත්මයන් තුල දිනෙන් දින අපි නිරුවත් වූයෙමු. අප දෙතොල් සිපගත් සෑම මොහොතකදීම ඇයගේ ප්‍රශ්වාසයම මගේ ආශ්වාසය වූ බවත්, මගේ ප්‍රශ්වාසයම ඇයගේ ආශ්වාසය වූ බවත් අපි දැන සිටියෙමු. ඇයගේ සිහින් දිගැති අතැඟිලිවලටම ඔබින මගේ සිහින් දිග අතැඟිලි අපූරුවට එකිනෙකා අතර හිදැස් පිරවූ හැටි දෙස බලමින් විටෙක අපි පුදුම වූයෙමු.

ගතවුන ඒ කාලයේ ඇයටත් මටත් පෞද්ගලික දේ ගොඩ ගසා ගැනීම සපුරාම මග හැරී ගොස් තිබුණ බව, පසු කාලයේ අපි සක්සුදක් සේ වටහාගතිමු. නිද්‍රාවකින් ගතවුනේ දෝ නොතේරුණ ඒ කාලයේ නිදිදෙව්දුව වැළඳගත් මොහොතක එකවනම අවදිවන මා දෙස බලා, "ඇයි මැණික ගැස්සිලා ඇහැරෙන්නේ" කියා නොයෙක්වර ඈ අසමින් හිස අතගෑවා ය.

අදට ද මම තිගැස්සී අවදිවෙමි. ලෝකගෝලයේ ඉහල අන්තයක අන් තුරුලක සිටින ඇය ද මඩිනා ලද සාංකාවකින් අවදි වී ඇති බව දැනගනිමි. ඇයගේ ඔරලෝසුවේ පාන්දර හතරේ කණිසම වදින මොහොත මෙය වේදැයි මම සිතින් ගණනය කරමි. ඇඳ අද්දර වූ වතුර වීදුරුවෙන් උගුරක් පානය කොට ඇය යලිත් ඇඳට බරවෙන අයුරු සිතෙන් දකිමි. ඇගේ ඇස් පියවී ගිය බවට සංඥා ලැබෙන තුරු මම ද ඒ මේ අත පෙරලෙමි. 

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න


Wednesday, September 26, 2018

හුදෙකලා වලාකුළක්ව...


වලාකුළක් වී හුදෙකලාවෙම
ඉබාගාතේ ඔහේ පාවෙමි
කඳු හෙල්  මහ නිම්න අද්දර
සැලෙන කහවන් කුසුම් නරඹමි
විසල් විල්තෙර තුරු මුදුන් යට
පවනෙ නැළවෙන කුසුම් දකිනෙමි

සියක් දහසක් එකම තාලෙට
පවනෙ නැළවෙන සැටි දකින්නෙමි
අනන්තය තෙක් නිමක් නොම වී
 මල් පිපි හැඩ බලා ඉන්නෙමි
අහස් ගඟුලේ දිස්න දෙන පොඩි
තාරුකා කැට සිහි කරන්නෙමි

පියුම් යායේ තනුව කැටිකර
දිස්න දෙන දිය රැළි බලා ඉමි
කුමන කවියාද එවන් දසුනට
සිතින් මත් නොම වෙන්නෙ සිතනෙමි
ඉතින් නිම් නැති වටින ධනයක්
ලෙසින්  දෙස බලා සිටිනෙමි

දිනෙක නොනිදා අවදියෙන් මා
කල්පනාවෙන් බරව යනු ඇති
එදින යළි මම අසනි සැරයෙන්
මෙකී මොහොතට නැවත පැමිණෙමි
හද අරක් ගත් හුදෙකලාවට
සතුටු සුසුමක් සෙමින් පිඹීනෙමි
සුසුම් සරයේ නදට යාවී
 මල් හා ගී ගයා සැනසෙමි

William Wordsworth කවියාගේ I Wandered Lonely as a Cloud හී සිංහල අනුවාදයකි.
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.
26.09.2018

Monday, December 26, 2016

මිය යා යුතු මතක

"කැඩපත" මට හමු වූයේ කෙසේ ද යන්න කෙනෙකු ඇසුවහොත් එය මට ද උත්තර දීගත නොහැකි පැනයකි. නමුත් ඔබ එය මගෙන් නොඅසා සිටින්නේ නම්, ඔහු කැඩපතක් වන්නේ කෙසේ ද යන්න පමණක් මට ඔබට පැවසිය හැකි ය. දිය මතට වැටී පෙණ බිඳී විසිර යන දිය කඩිත්තකින් පෙනෙන ඡායාවක් මෙන් නොව, "කැඩපත", මගේ අතීතයත්, ඇතැම් ගතිගුණත් සේම, සමහර විටෙක මගේ අනාගතයේ සේයාවක් ද රැගෙන මා ඉදිරිපිට නැගී සිටියේ ය.

Saturday, May 14, 2016

කල් ඉකුත් වූ කොන්ත්‍රාත්තු හෙවත් නොනිමි කතාවක්


පෙරවදන..

කාලෙකට කලින් ලියලා දාන්න උන්නු කතාවක් නමුත් මොකක්දෝ හේතුවකට හිතේ මතකයක්ම වී පැවතුන, මෑත කාලීන තවත් සමාන අත්දැකීමකට මුසු වුන නිසා යලි පණ ආපු මගේ කතාවක්..



Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ
පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ
හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ
පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව
මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල කලින් නොවුණ
සුවයක් දැනුනා මැණිකේ
මගේ කුරුටු අකුරුවලට
හරි හැඩ පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා
සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ
“කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?”
උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං”
“හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ”
රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම
උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?
ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට
උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ
ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව
ආයෙත් මුණ ගැහෙයි කියල
“මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?”
එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
ආයෙත් අපි මුණගැහේවි
එදා වගෙම කෝපි හලේ
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

Sunday, February 14, 2016

වැලන්ටයින් කතා හතරක්



මගේ වැලන්ටයින් කතා හතර

_______________________________

අංක එක

"ඔයා වැලන්ටයින් සමරලා තියෙනවද?"
"ම්ම්හු. ඔයා?"
"නෑ!"
"ශා!! අපි දෙන්නා මේ පාර සමරමු!"
"හා!"
ඉතිං කෙල්ලගෙන් කොල්ලට රතු රෝස මලකුයි, ටෙඩියෙකුයි හම්බුනා.
ලොකූ... රෝස මලක් අලවපු කාඩ් එකකුත් එක්කම...
කෙල්ලටත් ඉතිං මේසේ උඩ තියන පෙට්ටගමක් වගේ පෙන්සිල් හෝල්ඩර් එකක්. ඒක තෝරගන්නෙත් යාලුවෙක්ට කියල,බෝම අමාරුවෙන්.
දෙන්නට හම්බෙන්න නම් බැරි වුනා. ඉතිං තෑග්ග ගියේ යාලුවෙක් අතේ.

කෙල්ල අද වෙන්න දොස්තර නෝනා කෙනෙක්.
කොල්ලා පත්තරකාරයෙක්.

අද දෙන්නා ඉන්නෙත් රටවල් දෙකක.

_______________________________
අංක දෙක

Friday, December 11, 2015

ඒයි ඒයි මිනිහෝ!

"ඒයි ඒයි මිනිහෝ!"

" තොපි තමයි මේ ඉස්කෝලේ නම කන්නේ.. "


මාව ඇදලා අරං දීපි නැතැයි පිට මැදට..

දඩෝන්....!

වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව මං තුෂ්ණිම්භූත වුණා. පන්තියට කවුරු හරි එනවද බලන්න දොරගාවට ගිහිං, ඇඟත් ඇතුලේ තියාගෙනම හොම්බ දොරෙන් එලියට දාද්දීම මගෙ මූණට අඟලක් ඉස්සරහින් ප්‍රසාද් සර්!

එහෙමම පන්තිය ඇතුලට අඩියක් තියලා මගෙ කණෙන් අල්ලගත්ත ගමන් සිද්ධ වුන සන්තැසිය තමයි ඒ. සිද්ධ වුනේ මොකද්ද හිතාගන්න බැරිව මම ආයේ දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා.
ඒ අපි නවය වසරේ, ඒ කියන්නේ මුවර් ගොඩනැගිල්ලේ ඒ කාලේ හතරවෙනි තට්ටුව.
බිම ඉඳන් පෝලිමට පස් වෙනි තට්ටුවේ මුවර් හෝල් එකට යන ආරාධිත පාසල් කොටු කරවල් ටිකක් මට පෙනුනා.

සිද්ධ වෙලා තියෙන දේ මට තේරුනේ එතකොටයි, සර් හිතලා තියෙන්නේ මං කොටු කරවල් නරඹන්න ඔලුව එලියට දැම්මා කියලයි. ඔය සිද්ධිය කොටු කරවල්, කාසල් වීදිය සහ කොටා රෝඩ් එක මට ඒ කාලේ ඉඳන්ම අපල බව කියන්න හොඳ සාක්කියක් !
සර් උදේම එනවා,

"ආආ..... ඉංග්‍රීසි මා.....ධ්‍යය පා.....න්තිය"

"අතුගෑවද?"

"ආආ.. කුණු අස් කරලා නෑ."

"තොපේ වැඩ බාගේටනේ,

ඉංග්‍රීසි මාධ්‍ය පාන්තිය, හෝදන්නේ නෑ, පිහදානවා විතරයි...."


නවය වසර සහ ප්‍රසාද් සර් කියන්නේ නයි වෛරයක්!
නවය වසරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය සහ ප්‍රසාද් සර් කියන්නේ ජන්මාන්තර වෛරයක්..!!!

හැබැයි නවයෙන් දහයට ගිය තප්පරේ ඉඳන් ප්‍රසාද් සර් කියන්නේ පුදුම හිතවතෙක්, ඕන වැඩකට අපි එක්ක බොක්කෙන්.

ඉතිං, සර් යනවා කියන ආරංචියත් එක්කම මේ ඔක්කොම මට මතක් වුණා.

සර්, අපි තැනකට ගිහිං ඉද්දි, නාඳුනන අයත් ලඟට ඇවිත් කතා කර කර ඉන්න අතරේ, "පුතා ආනන්දෙද" කියලා අහන තැනට අපේ හැසිරීම හැදුවේ, සර්ලා වගේ ඒ කාලේ අපිට යක් වෙසින් පෙනුන ගුරුවරු තමයි.
වැරදි වැටහීමක් නිසා එදා ඒ කාපු ඒ ගුටිය ආනන්දේ ජීවිතේ මම කාපු ගුටි දෙකෙන් එකක් උනත්, ගුටි කන්න බයටම අපි හැදුනු විදිය නම් හරි අපූරුයි.


සර්! සුබ ගමන්, සර්ට ආනන්ද මාතාවගේ සරණයි.



පින්තූර  ගෞරවේ, facebook වෙත  එකතු  කල නම නොදත් ඒ සහෝදරයාට.. 

Sunday, October 11, 2015

නොනැගිටිමි


සුපෙම් හැඟුම්-ඔබෙන් එපා.. මිතුරු දම් විනා, නෞකාවකි ඔබ මෑත සමුදුරේ..කොල්ලෝ කෙල්ලෝ ගැන, ආදරේ ගැන මිනිස්සු ඕන තරම් සින්දු,කවි,කතන්දර ලියලා ඇති. මිනිස්සු ඒවා ආදරෙන් වැළඳගෙන ඇති, පරම්පරාවෙන් පරම්පරාවට, අවුරුදු සිය ගණනක් යනකන් ඒ කතන්දර අහන්න,විඳින්න වගේම සමහරවිට තමන්ගේම අත්දැකීම් කරගන්න ඇති.
රෝමියෝ-ජුලියට් ඔය තරන්ම මිනිස්සු වැළඳ ගත්තා කියලා ඒ දෙන්නා ආපිට ජීවතුන් අතරට ආවේ නෑ. ධම්මික බණ්ඩාර තමන් ඉස්කෝලේදී දැක්ක, කොල්ලා කෙල්ලට බත් කවන දර්ශනය, පස්සේ කාලෙක ඒ කොලුවා තනියම හම්බුන වෙලාවක අහලා දැනගත්ත කතාව උඩ ලියවුන හන්තානට පායන සඳඋන් දෙන්නමත් රස විඳින්න ඇති. හැබැයි ආයෙමත් කවදාවත් එකතු නොවෙන්න ඇති.
ඒ ඒ නිර්මාණ මිනිස්සු කොයි තරම් තදින් අල්ලා ගත්තත්, ඒවා ඇතුලේ උන්න මිනිස්සු තව දුරටත් ඒවා ජීවිතේ කරගන්න නැතිව ඇති. මොනවද මනුස්සයෝ උඹ තවත් පරණ දේවල් ගැන ලියන්නේ?” “ඇයි බුද්ධි ඔයා තාමත් මේ??” යාළුවො,දන්න-නොදන්න මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙටත් මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. තාමත් පරණ සිද්ධි මතක් කර කර මම හිනා වෙනවා, අඬන්නේ නැතත් කඳුළු එනවා.. ඒවා මාත් එක්කම කම්පනය වෙන්න පුළුවන් කීප දෙනෙක් එක්ක අකුරුවලින් බෙදාගන්නවා..
එතනින් එහාට ඒ මගේ ජීවිතේ නෙවෙයි, මගේ වර්තමානය හෝ අනාගතය නෙවෙයි. කට කොනක හිනාවකට හරි කඳුලකට හරි හේතු වෙන පුංචි අතීතකාමයක් විතරයි.
ලියල ඇති කවි කෑලි ඕනේ තරම්, කෑලි එල්ලෙන කහ ගැහුණු සටහන් පොත් තාම මගේ ගාව, ලයිබ්‍රරියේ ඉඳන් එවෙලෙට හිතෙන දේ කුරුටු ගාපු කොළ කෑල්ලේ ඉඳන්, ෆෝමැට් වෙලා එක රොත්තට නැති වෙලා ගිය අකුරු කෑලි තිබ්බ වැඩකට නැති හාඩ් ඩිස්ක් කෑල්ලේ ඉඳන්, දාන්න පුළුවන් කියලා හිතුන වෙලාවට බුකියට,බ්ලොග් එකට අත ඇරපු කුරුටු, ඔය ඔක්කොම තාම මන් ගාව,එකක් වත් විසි කරන්න අවශ්යව වෙලා නෑ.
මට ලියන ඒවා මට විතරක් පෙන්නන්නකියපු කාලෙන් පස්සේ, ලියපුවා කිසිම එකෙක්ට නොපෙන්නා ඩෙස්ක්ටොප් එකේම තනි එක ෆෝල්ඩරයක් ඇතුලට රිංගවලා දාන කාලයක් වෙලා තිබුනේ පහු ගිය මාස ගානම.. සමහර විට ඒක ඉවර වෙයි, සමහරවිට ඉවර නොවෙයි. දිගටම ඒ ෆෝල්ඩරේ පිරෙයි.
සමහර විට දවසක මමත්, කඩේක කොල්ලට ආදරෙන් බත් කවන කෙල්ලෙක් දැකලා ලඟට ගිහින් ඔයාල දෙන්නා දැක්කම මට මගේ ඉස්සර කාලේ මතක් උනාකියලා කියයි. උන් දෙන්නත් මේ මොකද වුනේ කියලා එවෙලාවට ඇඹරුනත්, පස්සේ කාලෙක මම වගේ ගොඩක් දේ තේරුම් ගනියි.
හැමදාම ඉර පායයි, ලෝකේ හරි රවුම් නැතත්, සිද්ධ වෙන හැම දේම හරි රවුම් කියලා එකෙක් දෙන්නෙක් හරි තේරුම් ගනියි.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
.......කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........


Saturday, August 1, 2015

කරනවා නම්, මෙන්න ජීවිතේ ලස්සනම සරල දේවල්

මහ රෑ තනියම, මැස්සෙක්වත් නැති කෝච්චියේ පාපුවරුවේ බිම ඉදගෙන, කළුවර දිහා බලාගෙන එන වෙලාවක, ගෙදර ගිහින් මේ ලෝකේ මම කරන්න ආසම කරන දේවල් ගැන පුංචි සටහනක් තියන්න හිතුණා.

අංක පිළිවෙලක්, හොඳම එක මොකද්ද කියන්නවත් මම දන්නේ නැති වුණාට, මෙන්න මේ දේවල් තමයි මගේ ජීවිතේ දැනට කරලා තියෙන, සහ ඉදිරියටත් කරන ආසම දේවල් කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්, සීමා විරහිත දේවල් එකතු කරලා ලියවුන සීමා සහිත සටහනක් මේ.

මම කරන්න ආස දේවල්වල විශේෂම දේ තමයි, ඒ කාරනාවල සංයුතිය තනිකරම කාරනා දෙකක් මත පිහිටා තිබීම. ඒ තමයි මට බොහෝ වෙලාවට හොයාගන්න අමාරු වෙන "නිදහස් මනසකින් ඉන්න මම", සහ ඒ වෙනුවෙන් ගත කරන්න කාලය සොයා ගැනීම. කාලය ඒ වෙනුවෙන් කොහොම හරි නිදහස් කරගත්තත්, මගේම ඇතුලාන්තය නිදහස් කර ගැනීම තමයි අමාරුම කාරණය. ඒ කාරනා දෙක මුහු කරලා මම ගන්න 'මගේ ආතල් එකේ' පදම සාපේක්ෂව වෙනස්. ඒ වගේම මේ සටහන ලියලා ඉවර වුනාට පස්සේ මටම දැනුන දෙයක් තමයි, ඒ බොහෝ දේ ඇතුලේ ඉන්න එකම මනුස්ස ප්‍රාණියා මම විතරක් වීම, ඒ නමුත් කිසිසේත් ම 'මම' කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතන මනුස්සයෙක් නම් නෙවෙයි. 'මම' කියන්නේ නිදහසේ පියාඹන්න ආස, කොහේටවත් බැඳීමක් නැති, තනියම හැදුන, නිදහස් නිවහල් කුරුල්ලෙක්! මට හිතෙන්නේ එහෙමයි. මූලිකවම, මම ජීවත් වෙන බව මටම දන්වන,මගේ ප්‍රධානම සන්නිවේදන මාර්ග තමයි මේ කියලා මම කිව්වොත් වඩාත් හරි.

පාසල් කාලේ ඉදන්ම, මම කරන්න ආසා වුන දෙයක් තමයි නිදහස් චතුරශ්‍රය වටේ තියෙන තණකොළ නිල්ලට වෙලා මුළු දවසම ගත කරන එක. එක යායට වවපු තණකොළ ගොල්ල උඩ, දාගෙන ගිය සෙරෙප්පු දෙක ඔහේ විසි කරලා දාලා, පිටේ දාගෙන ආපු බෑග් එකත් පැත්තකට විසි කරලා, ඉඳගෙන,ඇවිද ඇවිද, ගහකට පිට දීගෙන, බිම නිදාගෙන එකී මෙකී නොකී විවිධ ඉරියව්වලින් මම මේ තැනට වෙලා ඉන්න පුදුම තරම් ආසයි. බිම දිගා වෙලා අහස දිහා බලන්, කකුලක් පිට කකුලක් දාගෙන,මුළු වරුවක්ම මොනාදෝ හීන දකින, ඩෙනිමකුයි අත් නවාපු ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න එකෙක්ගේ දර්ශනයක් දැකලා පුරුදු නම්,බොහෝ විට ඒ මං වෙන්න බැරි නෑ! උදේ අටට වගේ මම යනකොට සුපුරුදු ගස මට අහිමි වෙලා නම්, ළඟ පාත කොතන හෝ වේවා මගේ ක්‍රීම් සෝඩා ලීටර් දෙක එක්ක තනි වෙලා,සමහර වෙලාවකට මගේ වටේ ඇවිදින මිනිස් මූණුවලට එබෙන එක මගේ පුරුද්දක්. හිතට කලකිරීමක් දුකක් ආ වෙලාවලටත්, මේසේටයි පුටුවටයි වටනොවී පොතක් පතක් බලාගන්න ඕනේ වුනාමත්, සුහද හමුවකටත් මම යොදාගන්න හොඳම තැන තමයි ටොරින්ටන් තණ නිල්ල. මෙතනට වෙලා අවුරුදු දහ නමයේ විස්සේ 'බබාලා' එක්ක අල්ලන සෙල්ලන් කරපු දවසුත්, බෝතලෙකින් ෆුට් බෝල් ගහපු,ලොකු ලොකු ප්ලෑන් ඇඳපු දවස් එහෙමත් ඕනෑ තරම් ඇති. දැන් නම් එතනම ආකේඩ් කියලා එකක් හදලා තියෙන නිසා තැන ගැන නම් නොදන්නා කෙනෙක් නෑ. උදේ අටේ ඉදං හවස පහ හය වෙනකන් ඔය අවට තනියම නිදහසේ ඇවිද ඇවිද හිටපු දවස් ඕනෑ තරම්.


මම වැඩිපුරම කරන්න ආස දෙයක් තමයි, පහුවදා උදේ පාන්දර කොහෙවත් යන්න නැති සැනසිල්ල තියෙන දවස්වල, රෑ එළිවෙනකන් ඇහැරගෙන, මහ රෑ දවල් හීන දකින එක, ඒ ගැනම මොනා හරි ලියන එක හෝ පොතක් කියවන එක. පාන්දර එක,දෙක,තුන,හතර කියන්නේ මං අහසේ පා වෙවී ගත කරන කාලයක්.එහෙම ගත කරන සමහර දවස්වලට, ප්ලේන් ටී හයක් හතක්, කිරි වීදුරු දෙක තුනක් නැත්තම් කොකා කෝලා ලීටර් දෙකක් නම් වරදින්නේ ම නෑ. මම එදා මෙදා තුර පටන් ගත්ත හැම අලුත් වැඩක්ම සිහියට ආවේ, ඒවා සැලසුම් කලේ, ලියලා තියෙන කවි පංති, නිසදැස්, වෙනස් විදියේ පුවත්පත්/බ්ලොග්/සඟරා ලිපිවලින් වැඩි හරියක් ලියලා තියෙන්නේ මෙන්න මේ හෝරාවල තමයි. පාන්දර ගතවෙන පැය කීපය කියන්නේ මගේ ඔලුවට එක දිගට අදහස් ගලාගෙන එන වෙලාවක්. සමහර මිත්‍රයෝ මගෙන් අහන, මං කවදාවත් උත්තරයක් දීලා නැති "කොහෙන්ද බුද්ධි මේවා ඔලුවට එන්නේ" ප්‍රශ්නෙට දෙන්න පුළුවන් එක උත්තරයක් තමයි මේ මේ කාලයේ මට දැනෙන මැජිකල් ගතිය එක්ක මගේ හිත දුවන දිවිල්ලේ රඟ!

මීට අවුරුදු කීපෙකට කලින් මම ආස වුන දෙයක් තමයි, ආදරේ කරන ගෑනු ළමයාගේ අතින් අල්ලාගෙන යන්න පුළුවන් හැම තැනම ඇවිදින එක. ආදරෙන් ලං වෙලා උන්නත්, කොල්ලයි කෙල්ලයි ජීවිතේට කතා නොකරන විදියේ මාතෘකා කතා කරන එක, ඒවාට රණ්ඩු වෙන එක. ආදරෙන් කතා කරනවට, ගොඩාක් වෙලා ඕන දෙයක් අහන් ඉන්නත් මහ පුදුමාකාර බොළඳ ආසාවක් තිබුණා. ඒ දේවල් නම් අද වෙද්දී ගොඩක් වෙනස්. අද එහෙම ඇවිදින්න කෙල්ලෙක් තියා ඒ තරමට ලං කරගත්ත මිතුරියක්වත් නැති වුනත්, දවසක මම ආස ආයෙත් ඒ දේවල්ම කරන්න නෙවේ. හුඟක් ලඟින් ඉදං ඉන්නවට වඩා මම කැමති යම් පරතරයක් ඇතිව,ඈතින් ඉදගෙන ඉන්න. කතා කරන වචන ගණන වැඩි වෙනවට වඩා, කතා කරන වචන අතර නිහඬතාවය,ඒ නිහඬතාවයෙන් සන්නිවේදනය කරන තේරුමේ ගැඹුර වැඩි වෙනවට මං කැමතියි. කිසිම කෙනෙක් අනවශ්‍ය අගෑලුම් පාන ඒක ගැන, මගේ කිසි මනාපයක් නැහැ. කාලයා විසින් ආසා දේ ආසා නැති දේ බවට හරවන එක ගැන හොඳ උදාහරණයක් මේකත්.

හැන්දෑවේ හතර හමාරෙන් පහෙන් පස්සේ, කවුරුත් ලස්සනයි කියලා නොහිතන තැනක ෆොටෝ ගගහා ඇවිදින්නත් මම පුදුම තරම් ආසයි. හරියටම කිව්වොතින් පිටකොටුව වගේ තැනක,සුද්දගේ කාලේ පරණ ගරා වැටුණ ගොඩනැගිලි, මිනිස්සුන්ගේ නාවර පිරුණු මූණු, වෙහෙස ජීවන බර දැනෙන වටපිටාවක් මැද්දෙන් කැමරාවක් බෙල්ලේ දාගෙන ඇවිදන් යන එක, ඒ රූප සටහන් ගෙදර ගෙනත් පැය ගණන් බලන් ඉන්න එක,මට මහා පුදුම ලස්සන දෙයක්. තව මාස කීපෙකින් හොඳම විවේකයක් අරගෙන ලංකාව පුරා ඇවිදින්න ඇඟිලි ගැන ගැන ඉන්නෙත්, ළඟකදී හිත ගිය මේ පුදුම ලස්සන කටයුත්තේ රහ වැටුණ නිසා. ඒ රූප රාමුවලට ඉගෙනගත්ත දේ යොදවන එකත්, ඒ වෙනුවෙන් පැය ගණන්, වෙන අයගේ වචනවලින් 'නාස්ති කරන' එකත්, මට මහ පුදුම ලස්සන, මම ජීවත් වෙනවා කියන හැගීම මට උපරිමයෙන්ම දෙන කටයුත්තක්.


හමුවීම්-සතුටු සාමිචිවලට මම කොපමණ තැන් යොදා ගත්තත්, ඒ වෙනුවෙන් මට හම්බුන හොදම තැන තමයි දුම්රිය පා පුවරුව. මීට මාස කීපයකට උඩදී,මැදින් පෝය දා ත්‍රිකුණාමල-මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රියේ පාපුවරුව උඩ මිත්‍රයෙක් එක්ක බිම ඉදගෙන කරපු සුන්දර ආගිය තොරතුරු පිලිබඳ කතා බහ මගේ ජීවිතේ තියෙන තාක් මතක තියේවි. වයඹ ලඳු, උතුරුමැද-නැගෙනහිර පලාත්වල මහ ගණ කැලෑ බිම් මැදින් පුර හඳ පිරුණු දවසකගිය ඒ දීර්ඝ දුම්රිය ගමන මගේ ජීවිතේ මම ගිය හොඳම ගමන බව කිව්වොතින්, ඒ කාරණය මං මැරෙන දවසටත් වලංගු වේවි කියා මට විශ්වාසයි.


මගේ ජීවිතේ මම කරලා තියෙන ලස්සනම,හිතට දැනුනම දෙයක් තමයි මං උපයාගත්ත මුදලක් ගිහින් අම්මගේ අතින් තියන එක. ඒ දේ මුල් වතාවට කරද්දී මට යන්තන් වයස අවුරුදු විස්සයි.ඒකත්, පුංචි කාලේ ඉඳන් හීන දැක්ක, මම ආසම කරපු දෙයක්.


මම උපතින්ම ඇවිදින නැකතකින් උපන්න එකෙක් බව මටම දැනුනේ සෑහෙන කල් ඉඳලයි. අවුරුදු තිස් පහක් හතළිහක් වෙනකං උපරිම මහන්සි වෙලා, ඊට පස්සේ හැම දේම අත ඇරලා දාන්න හිතාගෙන ඉන්න සිතුවිල්ලට හේතු වුන එක්තරා බරපතල සාධකයක් තමයි ඇවිදින්න තියෙන බලවත් උවමනාව. ලංකාවේ හැම තැනම, මගේ ජාතියේම එකෙක් එක්ක බැරි නම් තනියම හරි ඇවිදින්න තියෙන ආසාව, මැරෙන්න කලින් පුළුවන් උපරිමෙන්ම ඉටු කර ගන්න මම ගොඩක් වෙලාවට හීන දකිනවා.

සින්දුවක් අහන්න, ඒ සින්දුවක් එක්ක පරණ කතාවකට ආපහු යන්න තියෙන්නේ මම නොදැනුවත්කමින්ම ඇති වුන ආසාවක්. ගීතයක වයලීන් පාට් එකක් අහගෙන හුස්ම අල්ලගන්න, එක පාරටම පපුව පිපිරෙන්න එන හීල්ලුමකින් මම මෙච්චර වෙලා හුස්ම තද කරගෙන අහගෙන ඉඳලා නේද කියලා තේරෙද්දී දැනෙන්නේ හරිම පුදුම හැගීමක්. නිතර නොවෙන, කලාතුරකින් ඇති වෙන ඒ සංවේදනයට හිතා මතා යන්න බැරි වුනත්, එතනට යන්න පුළුවන් විදියේ නිර්මාණ හොයාගෙන රස විඳින එක මම ආසා කරන දෙයක්.

තව ආසාවක් තියෙන්නේ මං ආසම කරන ගායකයන් අතරින් හැකියාවට මම ගරු කරන කීප දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී.



ඒ වගේම, මම ආස කරන හැම තැනකටම, හැම මොහොතකටම එක පැයක් අතරේ හිත යවලා, මම ලිව්ව මේ සටහනත්, මං ආසම කරන දේවල් අතරට මේ මොහොතේ ඉඳන් එකතු වේවි. මම හීන දකින, මම ආස කරන, මම තේරුම් ගන්න, මට තේරුම් යන, මගේ අත්දැකීම් වගේම මම බිඳ වැටුන තැන් හැම දෙයක්ම අකුරුවලට හරවලා, අනිත් අය එක්ක බෙදාගන්න එකත්, මම ආසම කරන දෙයක්. කෙටියෙන්ම කිව්වොතින්, මගේ ජීවිතේ මං ආසම කරන දෙයක්!

Related Posts Plugin for WordPress, Blogger...