Saturday, August 1, 2015

කරනවා නම්, මෙන්න ජීවිතේ ලස්සනම සරල දේවල්

මහ රෑ තනියම, මැස්සෙක්වත් නැති කෝච්චියේ පාපුවරුවේ බිම ඉදගෙන, කළුවර දිහා බලාගෙන එන වෙලාවක, ගෙදර ගිහින් මේ ලෝකේ මම කරන්න ආසම කරන දේවල් ගැන පුංචි සටහනක් තියන්න හිතුණා.

අංක පිළිවෙලක්, හොඳම එක මොකද්ද කියන්නවත් මම දන්නේ නැති වුණාට, මෙන්න මේ දේවල් තමයි මගේ ජීවිතේ දැනට කරලා තියෙන, සහ ඉදිරියටත් කරන ආසම දේවල් කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්, සීමා විරහිත දේවල් එකතු කරලා ලියවුන සීමා සහිත සටහනක් මේ.

මම කරන්න ආස දේවල්වල විශේෂම දේ තමයි, ඒ කාරනාවල සංයුතිය තනිකරම කාරනා දෙකක් මත පිහිටා තිබීම. ඒ තමයි මට බොහෝ වෙලාවට හොයාගන්න අමාරු වෙන "නිදහස් මනසකින් ඉන්න මම", සහ ඒ වෙනුවෙන් ගත කරන්න කාලය සොයා ගැනීම. කාලය ඒ වෙනුවෙන් කොහොම හරි නිදහස් කරගත්තත්, මගේම ඇතුලාන්තය නිදහස් කර ගැනීම තමයි අමාරුම කාරණය. ඒ කාරනා දෙක මුහු කරලා මම ගන්න 'මගේ ආතල් එකේ' පදම සාපේක්ෂව වෙනස්. ඒ වගේම මේ සටහන ලියලා ඉවර වුනාට පස්සේ මටම දැනුන දෙයක් තමයි, ඒ බොහෝ දේ ඇතුලේ ඉන්න එකම මනුස්ස ප්‍රාණියා මම විතරක් වීම, ඒ නමුත් කිසිසේත් ම 'මම' කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතන මනුස්සයෙක් නම් නෙවෙයි. 'මම' කියන්නේ නිදහසේ පියාඹන්න ආස, කොහේටවත් බැඳීමක් නැති, තනියම හැදුන, නිදහස් නිවහල් කුරුල්ලෙක්! මට හිතෙන්නේ එහෙමයි. මූලිකවම, මම ජීවත් වෙන බව මටම දන්වන,මගේ ප්‍රධානම සන්නිවේදන මාර්ග තමයි මේ කියලා මම කිව්වොත් වඩාත් හරි.

පාසල් කාලේ ඉදන්ම, මම කරන්න ආසා වුන දෙයක් තමයි නිදහස් චතුරශ්‍රය වටේ තියෙන තණකොළ නිල්ලට වෙලා මුළු දවසම ගත කරන එක. එක යායට වවපු තණකොළ ගොල්ල උඩ, දාගෙන ගිය සෙරෙප්පු දෙක ඔහේ විසි කරලා දාලා, පිටේ දාගෙන ආපු බෑග් එකත් පැත්තකට විසි කරලා, ඉඳගෙන,ඇවිද ඇවිද, ගහකට පිට දීගෙන, බිම නිදාගෙන එකී මෙකී නොකී විවිධ ඉරියව්වලින් මම මේ තැනට වෙලා ඉන්න පුදුම තරම් ආසයි. බිම දිගා වෙලා අහස දිහා බලන්, කකුලක් පිට කකුලක් දාගෙන,මුළු වරුවක්ම මොනාදෝ හීන දකින, ඩෙනිමකුයි අත් නවාපු ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න එකෙක්ගේ දර්ශනයක් දැකලා පුරුදු නම්,බොහෝ විට ඒ මං වෙන්න බැරි නෑ! උදේ අටට වගේ මම යනකොට සුපුරුදු ගස මට අහිමි වෙලා නම්, ළඟ පාත කොතන හෝ වේවා මගේ ක්‍රීම් සෝඩා ලීටර් දෙක එක්ක තනි වෙලා,සමහර වෙලාවකට මගේ වටේ ඇවිදින මිනිස් මූණුවලට එබෙන එක මගේ පුරුද්දක්. හිතට කලකිරීමක් දුකක් ආ වෙලාවලටත්, මේසේටයි පුටුවටයි වටනොවී පොතක් පතක් බලාගන්න ඕනේ වුනාමත්, සුහද හමුවකටත් මම යොදාගන්න හොඳම තැන තමයි ටොරින්ටන් තණ නිල්ල. මෙතනට වෙලා අවුරුදු දහ නමයේ විස්සේ 'බබාලා' එක්ක අල්ලන සෙල්ලන් කරපු දවසුත්, බෝතලෙකින් ෆුට් බෝල් ගහපු,ලොකු ලොකු ප්ලෑන් ඇඳපු දවස් එහෙමත් ඕනෑ තරම් ඇති. දැන් නම් එතනම ආකේඩ් කියලා එකක් හදලා තියෙන නිසා තැන ගැන නම් නොදන්නා කෙනෙක් නෑ. උදේ අටේ ඉදං හවස පහ හය වෙනකන් ඔය අවට තනියම නිදහසේ ඇවිද ඇවිද හිටපු දවස් ඕනෑ තරම්.


මම වැඩිපුරම කරන්න ආස දෙයක් තමයි, පහුවදා උදේ පාන්දර කොහෙවත් යන්න නැති සැනසිල්ල තියෙන දවස්වල, රෑ එළිවෙනකන් ඇහැරගෙන, මහ රෑ දවල් හීන දකින එක, ඒ ගැනම මොනා හරි ලියන එක හෝ පොතක් කියවන එක. පාන්දර එක,දෙක,තුන,හතර කියන්නේ මං අහසේ පා වෙවී ගත කරන කාලයක්.එහෙම ගත කරන සමහර දවස්වලට, ප්ලේන් ටී හයක් හතක්, කිරි වීදුරු දෙක තුනක් නැත්තම් කොකා කෝලා ලීටර් දෙකක් නම් වරදින්නේ ම නෑ. මම එදා මෙදා තුර පටන් ගත්ත හැම අලුත් වැඩක්ම සිහියට ආවේ, ඒවා සැලසුම් කලේ, ලියලා තියෙන කවි පංති, නිසදැස්, වෙනස් විදියේ පුවත්පත්/බ්ලොග්/සඟරා ලිපිවලින් වැඩි හරියක් ලියලා තියෙන්නේ මෙන්න මේ හෝරාවල තමයි. පාන්දර ගතවෙන පැය කීපය කියන්නේ මගේ ඔලුවට එක දිගට අදහස් ගලාගෙන එන වෙලාවක්. සමහර මිත්‍රයෝ මගෙන් අහන, මං කවදාවත් උත්තරයක් දීලා නැති "කොහෙන්ද බුද්ධි මේවා ඔලුවට එන්නේ" ප්‍රශ්නෙට දෙන්න පුළුවන් එක උත්තරයක් තමයි මේ මේ කාලයේ මට දැනෙන මැජිකල් ගතිය එක්ක මගේ හිත දුවන දිවිල්ලේ රඟ!

මීට අවුරුදු කීපෙකට කලින් මම ආස වුන දෙයක් තමයි, ආදරේ කරන ගෑනු ළමයාගේ අතින් අල්ලාගෙන යන්න පුළුවන් හැම තැනම ඇවිදින එක. ආදරෙන් ලං වෙලා උන්නත්, කොල්ලයි කෙල්ලයි ජීවිතේට කතා නොකරන විදියේ මාතෘකා කතා කරන එක, ඒවාට රණ්ඩු වෙන එක. ආදරෙන් කතා කරනවට, ගොඩාක් වෙලා ඕන දෙයක් අහන් ඉන්නත් මහ පුදුමාකාර බොළඳ ආසාවක් තිබුණා. ඒ දේවල් නම් අද වෙද්දී ගොඩක් වෙනස්. අද එහෙම ඇවිදින්න කෙල්ලෙක් තියා ඒ තරමට ලං කරගත්ත මිතුරියක්වත් නැති වුනත්, දවසක මම ආස ආයෙත් ඒ දේවල්ම කරන්න නෙවේ. හුඟක් ලඟින් ඉදං ඉන්නවට වඩා මම කැමති යම් පරතරයක් ඇතිව,ඈතින් ඉදගෙන ඉන්න. කතා කරන වචන ගණන වැඩි වෙනවට වඩා, කතා කරන වචන අතර නිහඬතාවය,ඒ නිහඬතාවයෙන් සන්නිවේදනය කරන තේරුමේ ගැඹුර වැඩි වෙනවට මං කැමතියි. කිසිම කෙනෙක් අනවශ්‍ය අගෑලුම් පාන ඒක ගැන, මගේ කිසි මනාපයක් නැහැ. කාලයා විසින් ආසා දේ ආසා නැති දේ බවට හරවන එක ගැන හොඳ උදාහරණයක් මේකත්.

හැන්දෑවේ හතර හමාරෙන් පහෙන් පස්සේ, කවුරුත් ලස්සනයි කියලා නොහිතන තැනක ෆොටෝ ගගහා ඇවිදින්නත් මම පුදුම තරම් ආසයි. හරියටම කිව්වොතින් පිටකොටුව වගේ තැනක,සුද්දගේ කාලේ පරණ ගරා වැටුණ ගොඩනැගිලි, මිනිස්සුන්ගේ නාවර පිරුණු මූණු, වෙහෙස ජීවන බර දැනෙන වටපිටාවක් මැද්දෙන් කැමරාවක් බෙල්ලේ දාගෙන ඇවිදන් යන එක, ඒ රූප සටහන් ගෙදර ගෙනත් පැය ගණන් බලන් ඉන්න එක,මට මහා පුදුම ලස්සන දෙයක්. තව මාස කීපෙකින් හොඳම විවේකයක් අරගෙන ලංකාව පුරා ඇවිදින්න ඇඟිලි ගැන ගැන ඉන්නෙත්, ළඟකදී හිත ගිය මේ පුදුම ලස්සන කටයුත්තේ රහ වැටුණ නිසා. ඒ රූප රාමුවලට ඉගෙනගත්ත දේ යොදවන එකත්, ඒ වෙනුවෙන් පැය ගණන්, වෙන අයගේ වචනවලින් 'නාස්ති කරන' එකත්, මට මහ පුදුම ලස්සන, මම ජීවත් වෙනවා කියන හැගීම මට උපරිමයෙන්ම දෙන කටයුත්තක්.


හමුවීම්-සතුටු සාමිචිවලට මම කොපමණ තැන් යොදා ගත්තත්, ඒ වෙනුවෙන් මට හම්බුන හොදම තැන තමයි දුම්රිය පා පුවරුව. මීට මාස කීපයකට උඩදී,මැදින් පෝය දා ත්‍රිකුණාමල-මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රියේ පාපුවරුව උඩ මිත්‍රයෙක් එක්ක බිම ඉදගෙන කරපු සුන්දර ආගිය තොරතුරු පිලිබඳ කතා බහ මගේ ජීවිතේ තියෙන තාක් මතක තියේවි. වයඹ ලඳු, උතුරුමැද-නැගෙනහිර පලාත්වල මහ ගණ කැලෑ බිම් මැදින් පුර හඳ පිරුණු දවසකගිය ඒ දීර්ඝ දුම්රිය ගමන මගේ ජීවිතේ මම ගිය හොඳම ගමන බව කිව්වොතින්, ඒ කාරණය මං මැරෙන දවසටත් වලංගු වේවි කියා මට විශ්වාසයි.


මගේ ජීවිතේ මම කරලා තියෙන ලස්සනම,හිතට දැනුනම දෙයක් තමයි මං උපයාගත්ත මුදලක් ගිහින් අම්මගේ අතින් තියන එක. ඒ දේ මුල් වතාවට කරද්දී මට යන්තන් වයස අවුරුදු විස්සයි.ඒකත්, පුංචි කාලේ ඉඳන් හීන දැක්ක, මම ආසම කරපු දෙයක්.


මම උපතින්ම ඇවිදින නැකතකින් උපන්න එකෙක් බව මටම දැනුනේ සෑහෙන කල් ඉඳලයි. අවුරුදු තිස් පහක් හතළිහක් වෙනකං උපරිම මහන්සි වෙලා, ඊට පස්සේ හැම දේම අත ඇරලා දාන්න හිතාගෙන ඉන්න සිතුවිල්ලට හේතු වුන එක්තරා බරපතල සාධකයක් තමයි ඇවිදින්න තියෙන බලවත් උවමනාව. ලංකාවේ හැම තැනම, මගේ ජාතියේම එකෙක් එක්ක බැරි නම් තනියම හරි ඇවිදින්න තියෙන ආසාව, මැරෙන්න කලින් පුළුවන් උපරිමෙන්ම ඉටු කර ගන්න මම ගොඩක් වෙලාවට හීන දකිනවා.

සින්දුවක් අහන්න, ඒ සින්දුවක් එක්ක පරණ කතාවකට ආපහු යන්න තියෙන්නේ මම නොදැනුවත්කමින්ම ඇති වුන ආසාවක්. ගීතයක වයලීන් පාට් එකක් අහගෙන හුස්ම අල්ලගන්න, එක පාරටම පපුව පිපිරෙන්න එන හීල්ලුමකින් මම මෙච්චර වෙලා හුස්ම තද කරගෙන අහගෙන ඉඳලා නේද කියලා තේරෙද්දී දැනෙන්නේ හරිම පුදුම හැගීමක්. නිතර නොවෙන, කලාතුරකින් ඇති වෙන ඒ සංවේදනයට හිතා මතා යන්න බැරි වුනත්, එතනට යන්න පුළුවන් විදියේ නිර්මාණ හොයාගෙන රස විඳින එක මම ආසා කරන දෙයක්.

තව ආසාවක් තියෙන්නේ මං ආසම කරන ගායකයන් අතරින් හැකියාවට මම ගරු කරන කීප දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී.



ඒ වගේම, මම ආස කරන හැම තැනකටම, හැම මොහොතකටම එක පැයක් අතරේ හිත යවලා, මම ලිව්ව මේ සටහනත්, මං ආසම කරන දේවල් අතරට මේ මොහොතේ ඉඳන් එකතු වේවි. මම හීන දකින, මම ආස කරන, මම තේරුම් ගන්න, මට තේරුම් යන, මගේ අත්දැකීම් වගේම මම බිඳ වැටුන තැන් හැම දෙයක්ම අකුරුවලට හරවලා, අනිත් අය එක්ක බෙදාගන්න එකත්, මම ආසම කරන දෙයක්. කෙටියෙන්ම කිව්වොතින්, මගේ ජීවිතේ මං ආසම කරන දෙයක්!

12 comments:

  1. පුදුමයකට වාගේ (එක අතකට පුදුමයකට වාගෙ නෙවෙයි) මගෙත් ප්‍රියතම දේවල් සමහරක් මෙතන තියෙනවා.
    තණ පලසක (විශේෂයෙන්ම උදෑසන පින්නෙන් නැහැවුනු) සුවය දැනෙන්නේ පාවහන් නැති දෙපයකට පමණි.
    නමුත්...

    ReplyDelete
  2. මාත් ඔය සමහර දේවල් වලට ආසයි...සතුට තියෙන්නේ හරිම පුංචි සරල දේවල් වල තමයි

    ReplyDelete
    Replies
    1. කිසිම සතුටක් සදාකාලික නැති විත්තිය ඇත්ත.. හැබැයි සරල දේවල්වලින් ලබන සතුට බිඳ වැටෙනවා හරිම අඩුයි..

      Delete
  3. මටත් ඒවටනම් අාසා හිතෙනවා....................

    ReplyDelete
    Replies
    1. දැනුත් මේ නින්ද නේන රාත්‍රියක ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් තොල ගගා රිප්ලයි ටයිප් කරන්නේ..

      Delete
  4. මම ආසා කරන එව්වා ලිව්වොත් ඉතින්... වස්තරේ ඔලුවේ එතුව වගේ තියෙයි... හෙහ්.. එකපාරක් මම ලිව්වා එක ජාතියක ඒවා ගැන... තව ජාතියේ ඒවා තියෙනවා. මේ ගොඩේ ඒවාට යන්තමින් ගෑවිලා යන දෙකක් විතර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්මේ මං දැක්කා එකක්! ඒක මරු බොල :D මං ඉතිං හිමිජ්ජා වගේ ඉන්න එකා නෙව, වැඩිය නීති විරෝධී ලකප් එකේ ලගින වැඩ කරන්න බයයි :3 කරපු ලොකුම වැඩෙත් ඉස්කෝලේ කාලේ මහා රෑ මියුසියස් එකේ තාප්පේ බඩ ගාලා ගේට්ටුවට තඩි බාලා සික්කගේ නින්ද කඩපු එක වගේ අහිංසක දෙයක් විතරයි :3

      Delete
    2. දැන් ඔබතුමා කියන්නේ මම හිමිජ්ජා වගේ නෙවෙයි කියලද? හෙහ්.... මම කියන දේවල් ඔය මියුසියස් එකේ ගේට්ටුවෙන් පනිනවා වගේ කිරිමේල් නැහැ පොඩ්ඩක්වත්. මොකද වැඩේ කලාට පස්සේ දඬුවම් විදින්න වෙන්නේ නැහැ. කොටින්ම එහෙම එකෙක් ඉතුරු වෙන්න තියෙන සම්භාව්‍යතාවය අවමයි. හෙහ්.. නැද්ද? ඒ හින්ද අර සේපාල ප්ලේන් එක හයිජැක් කරලා, හමුදාවේ පොරක් රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ඇනලා වීරයෝ උනා වගේ වීරයෙක් වෙලා තන්තෝසෙන් මැරෙන්න පුළුවන්, නැද්ද හා?

      ඔය තාප්ප වලින් පැනල පුලුවන්ද හලෝ වීරයෙක් වෙන්න? එක්කෝ ස්ටේජ් එකට දුවගෙන ඇවිත් පනින්න ඕනේ, නැත්තම් ඉන්න උන් සේරටම වැඩේ දීලා මම විතරයි ඉන්න එකම එකා කියන දෙක කාවද්දෙන්න පපුවට තඩිබා ගන්න ඕනේ, සෙල්ලම් පිස්තෝල වලින් සංදර්ශන පවත්වන්න ඕනේ.. අපෝ තව ජාති තියෙනවා...

      Delete
  5. // ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී. // මුලින්ම මේකට සුබ පතනවා...

    ඔයා ආස දේවල් කිපයක් තියෙනවා මාත් ආස. ඒ අතරිනුත් හුඟක් ආස දෙයක් තමයි ඇවිදින්න යන එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි..

      ඇවිදින්න යන එක නම් ඉතිං කරලා කියලා ඉවරකරන්න බැරි වැඩක් හම්මා ^_^ ..

      Delete
  6. Machan. Thaniyama ewidina eka hithe thiyena asama place ekakata gihin thaniyama inna eka gena kiyanta wachana nehe. Mama May wala thaniyama camping giya. Dawas 5k thaniyama reta gini melayak gahan ahasa kaluwara ekka jiwath una. July wala loke prasiddama Download rock festival ekata giya 5 nights camp ekak gahagena. Ethana hitiya laksha 5kata wedi eka eka rataealin apu eka eka jathiye music pisso. Ohe oluwa wana wana kemathi band beluwa. Hariyata heta loke winase wage. Jiwath wenta ona windinta oni kiyala mata hothenawa eka mama 100% windinawa

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...