Showing posts with label ඇය... Show all posts
Showing posts with label ඇය... Show all posts

Friday, May 13, 2016

අනෝරාව අරන් ඒවි-බක් මහ එන වසන්තයේ


අනෝරාව අරන් ඒවි
බක් මහ එන වසන්තයේ
කබාය අරගෙන පලයන්
දෙන්න දෙයක් නෑ මැණිකේ
පරිස්සමට ගිහින් වරෙන්
හීන කෙටියි  ජීවිතයේ
පය පැටලෙයි පරිස්සමින්
වැටෙන්නෙපා මගෙ මැණිකේ
හැන්දෑවට පාලු වෙච්ච
රොස්මිඩ් පටු පාර දිගේ
මං තාමත් ඇවිදිනවා
තුරුළු කරන් උඹේ මතකේ
පාලු පාර දිගේ යද්දී
රිය ගිනිකර ඇස වැටෙනව
ඒ කාලේ වගේ නෙවෙයි
දැන් හරියට ඇස් රිදෙනව
මගෙ පපුවට තුරුළු කරන්
නළලත සිප ගත් හැම දා
තොල් පෙතිවල කලින් නොවුණ
සුවයක් දැනුනා මැණිකේ
මගේ කුරුටු අකුරුවලට
හරි හැඩ පිළිතුරු ලියලා
හැන්දෑවක කෝපි හලක
උඹ ඇවිදින් මුණ ගැහුණා
සිව් වසරක් පය නොගහපු
කෝපි හලට කැටුව යද්දී
අයෙත් එතනට අපි යලි
නොයන බවක් නෑ දැනුනේ
“කවදා හරි මගේ නමත්
උඹේ කතාවේ ලියවේවිද
කවදා  හරි මගේ ගැනත්
හැඩට අකුරු ගොතනවාද?”
උඹේ රුවට මං කැපෙයි ද?
දුඹුරු ළමිස්නේ  මෙ-මං”
“හෙවනැල්ලක් වගේ වරෙන්
මගෙ අත ගෙන අපෙ පාරේ”
රෝහල් කඩිමුඩිය මැද්දේ
උඹේ අත මිරිකන් ඉඳිද්දී
උඹ වෙනුවෙන් මේ තරන්ම
වෙහෙසෙන්නේ ඇයි ඇහුවම
උඹේ හැම බර මට දීපං
මං ඉන්නම් උඹ වෙනුවෙන්
උඹේ ඇස්දෙක දිහා බලන්
කිව්වා මතකද මැණිකෙට?
ජීවිතයෙන් හරි පොඩ්ඩක්
උඹ එක්කලා මං ගෙව්වට
ජීවිතේට ඇති පදමට
පින් ඇති සෙනෙහස දුන්නට
උදේට උඹේ අතින් හැදුව
කිරි කහටක රස බලන්න
යලි දවසක නොලැබුනාට
කිසි කහටක් නෑ මැණිකේ
ඇහුවම යලි ඉපදෙන වග
අදහනවද  මෙ-මං කියල
ඔව් මැණිකේ මං හිතනව
ආයෙත් මුණ ගැහෙයි කියල
“මහත්තයෝ තරහ වෙලා
හරි ඔය හිත හදාගනි,
වචනෙක වරදක් නොවිච්ච
මං මේ දුක දරා ගම් ද?”
එන්නට බැරි උනා කියල
මගේ තරහක් නෑ මැණිකේ
ආයෙත් අපි මුණගැහේවි
එදා වගෙම කෝපි හලේ
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

Wednesday, May 11, 2016

දේවතා එළි පෙනෙයි ද ආදරෙන් ?













හිතක් පපුවක් නැති පත්තරකාරයෙක්?


ඒ මාව පහුගිය අවුරුදු කීපය ඇතුලත සමහරු හඳුනාගත්ත විදිය වෙන්න පුළුවනි.

අනුකම්පාවක් නැති කම්මැලියෙක්, එහෙමත් නැත්තම් හිතට වැටුන ඉවක්, පුංචි උනන්දුවක් පිටිපස්සේ නොකා නොබී හඹා යන නොසන්ඩාලයෙක්?   ඒ තවත් එක විදියක්.


ඔව්, මෑතකාලීනව අපූරුවට රවුම් රටා වැටුණ දරාගන්න බැරි රක්ත-තප්ත කවචයක් ඇතුලේ හැංගුණ මනුස්සයෙක් විදියට මාව මිනිස්සු හඳුනාගත්තේ එහෙමයි. ලියන අකුරුවල ඒ බවක් පේන්න නැතත්, හැබෑ චරිතේ ලියන වචනවලින් ගොඩක් ඈත්වෙලා තිබුණා.








හැබැයි ඌ දවසින් දවස ඒ හැංගුණ කවචෙන් එලියට ආවා. 


කෙල්ලෙක් නිසා!

ඒක කොහෙත්ම තනියම ජීවත් වෙන, ගෙයක් දොරක් පැත්ත පළාතේ යන්න ආස නැති කොල්ලෙක්ට ලේසියෙන් දරාගන්න පුළුවන් ආදරයක් නම් වුනේ නෑ.



අවුරුදු විසිදෙකක කෙල්ලෙක්ට තරම් නොවෙන පිස්සුවක්? පාර දිගේ මාත්  එක්ක යටිගිරියෙන් හූ කිය කියා යන්න පුළුවන්, මූණට ක්‍රීම් ටිකක්වත් ගාන්න ආසාවක් මළාට එන්නේ නැති, මං ඇවිදින පාත්ත-තාරා  ගමන බම්බලපිටියේ මැරයින් ඩ්‍රයිව් නාඳුනන සෙනග ගොඩේ රඟපාන්න ගාණක් නැති, කොල්ලෙක් වගේ ලේසියට මුල් තැන දීලා ඇඳුම් තෝරන පොලවේ පිහිටපු කෙලි අඩි දෙකක්.


කෙල්ලගේ  පාර්ශවේ වචනවලින් කිව්වොත්, ටොම්  බෝයියෙක්! 


උදේට කන්න බොන්න දේ  අරං මගේ නවාතැනට  එන්න, මගේ රෙදි ඔක්කොම හෝදලා, නානකාමර හෝදලා,කුස්සි අස් කරලා, කන්න බොන්න දේ ලැස්ති කරලා, මට කවදාවත් නුහුරු මේ දේ දිහා දත කට කාගෙන බලාගෙන ඉඳලා මම කාමරේට ඇවිත් ඔලුව හංගාගන්නකොට මගේ ඔලුව අතගාන්න, එහෙම-ම මාව නින්දට ගෙනියන්න පුළුවන්, පුදුමාකාර හදවතක්, කොහෙන්දෝ මගේ ලිපියකට හිත ගිහින් මාව හොයාගෙන ඇවිත් තිබුනා. කාලයාගේ අවෑමෙන්, ඒ කෙනා මගේ වුණා.

කොච්චර මාව එලෙව්වත්, ආයේ විනාඩියෙන් විනාඩිය පස්සෙන් ගිහින් මම දැවටුනා. තේ එක හදනකන්, කුස්සියේ ඉන්නකන්, රෙදි හෝදනකන්, මම ළඟ දැවටී දැවටී උන්නේ හාවෙක් වගේ. 

එයා ඒ දේට පුදුම විදියට ආසා කළා.

අවුරුදු ගණනාවකට කලින් මම අම්මගෙන් අප්පච්චිගෙන් අහපු, කිසිම භාෂාවකට අයිති නැති අමුතුම හුරතල් නම් රොත්ත මට ආයේ අහන්න ලැබුනේ මේ කෙලීගේ කටින්.

ඒ මට තවත් අම්මෙක් වුණා, දෙවෙනි අම්මෙක් කියන්න මට හිත ඉඩ දෙන්නේ නැත්තේ, මගේ හිතේ එයාව කාටවත් දෙවෙනි වෙන්න පලවෙනියෙක් නොඋන්න නිසා. 


ඒ විශ්වාසය, ඒ කැපකිරීම් සහ කරුණාව, කොයි තරම් නිදහසක් තිබිලත් ශාරීරික දෙයකට පරිවර්තනය වුනේ නෑ. සමහරවිට, මගෙන් සමුගද්දී කකුල් දෙක අල්ලලා වඳින එක පිටිපස්සේ, ඒ විදියේ ලොකු තේරුමකුත් තියෙන්න ඇති. "ප්‍රේමය නම්, රාගයෙන් තොර, සඳ එලිය සේ අචින්ත්‍යයි" කියපු සුනිල් ආරියරත්නයන්ට 'නෂ්ටකාමියා' යැයි ගරහන සමාජෙක, මං මගේ ගැනම, අපි අපේ ගැනම හරිම ආඩම්බර වුනා.

සමහරවිට මගේම මිත්‍රයෙකුගේ අම්මා කියපු විදියට, ඒගැන කල්පනා කරද්දී කාර්යාලේදී පවා ඇස්වලට කඳුළු ආපු විදියට, මම ගෙදරක,පවුලක  ජීවත් වෙලා පුරුදු එකෙක් නෙවෙයි වෙන්න ඇති.

ඇත්ත! මට පවුලක් තිබුනේ මට වයස අවුරුදු 9 වෙනකන් විතරයි. ඒක මගේ වරදක් නෙවෙයි.


හැබැයි මේ අරුම ආදරේ මාව හැමතිස්සෙම මගේ පරණ මතක ඇතුලේ අසරණ කළා.

කවදා හරි මගේ ගෙදර 'පවුලක්' හැදෙන්න, ඒක පරිපූර්ණ වෙන්න අඩු වෙලා තිබුන එකම වටිනා දේ හමුවුන බව මම විස්වාස කළා.

පූර්ණි! ඒ නම වගේම කවදාවත් මට වචනෙකින් හිත නොරිද්දපු  ඒ ආදරෙත් හරි පරිපූර්ණයි!


ඔයා මල් කඩන්න දන්නේ නෑ! ඔව්, අවුරුදු ගාණක් පරණ, වෙන කෙනෙකුගේ චෝදනාවක්. හැබැයි ඒ අවුරුදු ගාණකට කලින් 


ඒ පොලවට පය ගහපු හිත, අව්‍යාජකම, හරිම පුදුමාකාර විදියට මගේ හිත දිනාගත්තා. ආදරේ දිනාගත්තා. මාව 'මල් කඩන්නෙක්' කළා.

කවදාවත්, නොවෙන දේවල්, කරන්න බැරි දේවල් කවදාවත් ඒ වචනවල මගේ තිබුනේ නෑ.කියපු ඇත්තවලට හිත රිදුනත්, මගේ ඒ ගතිය වෙනුවෙන්, මං කෙරෙහි පුදුමාකාර ගෞරවයක් ඒ හිතේ වෙන් වෙලා තිබුණා.


හැබැයි 'පත්තරකාරයෙක්' කියන මම ලෝකෙට ආඩම්බරෙන් කියන රස්සාවයි, මේ සමාජ ක්‍රමයයි නිසා, මගේ ඉස්සරහා අපි දෙන්නා අතරේ පුදුමාකාර බැම්මක් ගොඩ නැගිලා.

මිනිස්සු මාව අඳුරගත්තේ අහවල් ඉස්කෝලේ අහවලා විදියට, අහවල් පත්තරේ අහවලා විදියට මිසක්, අහවල් අධිකාරියේ අහවල් යුගයේ උන්නු අධ්‍යක්ෂවරයාගේ එකම පුතා විදියට හෝ අහවල් පාසලේ අහවල් කාලේ උගන්නපු ගුරුතුමීගේ එකම පුතා විදියටවත්, නෙවෙයි. 

මම මගේ අනන්‍යතාවක් ඇතුව සමාජෙට ආවා. මම කාගේ කවුද, කාටවත් වැදගත් වුණේ නැහැ. වැදගත් වෙන්න, ඒ අය මගේ ලඟත් නැහැ.


කවදාවත් දෙමවුපියන්ගේ හිත රිදවන කෙල්ලෙක්ව විශ්වාස කරන්නේ නෑ මම කියපු මම තවමත් ඒ තීරණේ නොවෙනස්ව ඉන්නවා.


නමුත්,

අවසානය කොතනද, මම දන්නේ නෑ. හැබැයි මම ජීවිතෙත් ඔට්ටුවට තියලා, ලොකු සටනක් දෙන්න නම් ලෑස්තියෙන් ඉන්නවා.


දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?

ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?



Saturday, July 11, 2015

වර්ෂපූර්ණයක්-අවසානයක් පසු පස ආ ආරම්භයක්-පුංචි කතාවක්


තවත් එක වර්ෂපූර්ණයක්, තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක්, අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත අලුත් කතා කීපයක්.. දෙදෙනෙකුගේ අවසන් හමු වීම දා අලුතෙන් පටන් ගත්ත,අලුත් ආරම්භයක කතාවක්..


ඔන්න එක්තරා කොල්ලෙක් ඉන්නවා.. කෙල්ලෙකුත් ඉන්නවා.. යාලු ෆිට් එකක් තියෙන්නේ,දෙන්නට දෙන්නා පොඩි ක්‍රෂ් එකක් නොතිබී නෙවෙයි අඳුරගත්ත මුල් කාලේ, හැබැයි ප්‍රාථමික ක්‍රෂ් එකකට එහා ෆිට් එකක් ගොඩ නැගෙනවා මේ දෙන්නා අතරේ. හැබැයි දවසක් මේ දෙන්නගේ විහිළුවක් දුර දිග යනවා.. ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙන්නට දෙන්නා "ආ හබියෝ" "ආ වයිෆියෝ" කියලා කතා කරගන්න පටන් ගන්නවා, විහිලුවට.

කොල්ලට මේ කෙල්ල ගැන තිබුනේ මොකද්ද අමුතු හැගීමක්, දැක්ක මොහොතේ ඉඳන් හුරු පුරුද්දක් වගේ දෙයක්, ක්‍රෂ් එකක් වුණාට රාගික හැඟීමක් නෙවෙයි. කෙල්ල හිතන් ඉන්නේ කොලුවා අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා, හැබැයි මුන් එක වයසේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමේ මුන් දෙන්නා සෙට් වෙනව.

කතාව මේක නෙවෙයි, හැබැයි ලස්සනම කතාව කියන්න මේ ටික නැතිව බැහැ.

Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..

Monday, June 15, 2015

කවිකාර පෙම්වතාට කියාගත නොවුන 'රහස'

"කවියෙකුට පෙම්වතිය වී හිඳින්නට ලැබීම, කෙතරම් සොඳුරු හැගීමක් වනු ඇති ද? "

කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.




ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..


Tuesday, June 9, 2015

අනුරාගයේ මතක වස්තුව සමරමි...

හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක විරාමයක් ඇතුලේ, කල්ප කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන් වීමක් අද්දර වුණත්, සදා කල් මතකයේ රදවන, මේ ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ මතක වස්තුවක්..

හාද්ද....!


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?

පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා ඉම දිහා, කළුවර ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...


හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට ගියාවට උඩින්, මතකයේ රැඳී එකම වස්තුව! ඇයි මේ? මම පාලමක්, දෙගොඩ යා කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..  

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත සිද්ධවෙන බව, මේ පලවෙනි අවස්තාව නොවන වග, වෙලාවකට මම කල්පනා කරනවා...

ඉතිංසසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...




BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:


Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

Sunday, March 16, 2014

...නිහඬ කල්පනා...



හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි?

අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ

දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේ
වෙන්වමු ඉතිං හමුවන සිතින්
අපි ආයේ දවසක.... අද වගේ..


   අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා.

   එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..




අදින් පසු ඔබ
ඔබට හිමි මග
ඉතින් මට
උරුම තනි මග
ආයෙමත් හමු වන තුරා
දෙතැන ඉමු අපි මග බලා...


තුටින් හමු වුන
සුහදබව අපි
අරං යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ..


  මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..
මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..
ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද?

   මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා..

   හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.
අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.

හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එලියෙන් නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..


සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙන් නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එළියෙන් ලොව බබලන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

Wednesday, June 12, 2013

මල් ගීය..


Saturday, June 8, 2013

වැහි ලේණියේ පියඹාපන්..

ආදරේ කරන කෙනෙක්ගේ මූණක්,
ටිකක් ඈතින්,,
කතා කරන්න විදියක් නෑ..
ඇයි?
පුස්තකාලේ ඇතුලේ කොහේ කතා කරන්නද ඉතිං මම..
එයා නැගිටලා යනකන්,,
මම ඔහේ බලං උන්නා..
වැහි කලුවරකුත් එනවා,,
වැස්සොත් එහෙම?
මට එයා එක්ක කතා කරන්න බැරි වේවි..
"වැහි ලේණියේ..
මම වැස්සට ආදරෙයි"
අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..

Friday, May 10, 2013

ලියන වගට සංදේශය...





















අමාවක රැයෙක
        අඳුරු අහස යට
අනදුරෙන්
         ආලෝකමත්ව
නිහඬතාවය
        සිහසුන ඉල්වන
යාමයේ..
       නොතනියෙන්
ඔබ හා....

Thursday, April 25, 2013

ඇයගෙන් ලද පිළිතුරක්.....




























පැතුම නුඹයි මා සොයනා උණුසුමද          නුඹයි
කැකුල මමයි මිලින නොවූ එහි සුවඳ        නුඹයි
දිවි මග මා අතැර  නොයන හිරු කුමරු      නුඹයි
සංසාරෙම මගේ වස්තුව නුඹයි නුඹ           තමයි

පිය සෙනෙහසයි ආදරයයි මට                 දුන්න
හද ගැබ දිලෙන පැතුම් සඳට පන              දුන්න
ඒ රැස් මැදින් නුඹේ අත ගෙන           ඇවිදින්න
ආසයි මටත් වස්තුවේ තව බෑ                  ඉන්න

වැව් තලයේ රැලි සැඩවී ගලන                     විට
ඒ රැලි දරා පිට වානෙන් පිට                    කරන
ඔබ කුළු වැවයි මගෙ ශක්තිය            රැකගන්න
දෙපා නමදුවත් මට පව් නෑ                      ඔන්න

ඔබෙ නෙතු ළඟ සසල හැඟුම් දොරේ ගලා        යයි
හැඟුම් දියේ රැලි මුවදොර සොයා දඟ            කරයි
සයුර නුඹේ හද මඬලයි දෙතොල මුව           දොරයි
ඒ මා නොව ඔබේම වූ කෝල මගෙ               සිතයි

ඔබෙ නෙතු ළඟ කවදාවත් එපා කඳුළු               නැගෙන්න
මගේ පැතුම ඔබෙ හසරැලි සදා මුවඟ                  රැඳෙන්න
ජිවිතයේ සැනසුම ඔබෙ තුරුලේ හිඳ                    ලබන්න
මමත් එන්නේ යන්න නෙවෙයි රත්තරනේ            හිඳින්න



                                                                                 © ඇය෴

Monday, April 22, 2013

ඇයට ලියමි..










තරු ඇස් ළඟ දැවටී දැවටී මිහිර                     විඳින්න
හද මඬලට සඳ පායන සිසිල                      දැනෙන්න
නුඹේ සෙනෙහෙ උණුසුම ළඟ සැනහී              ඉන්න
රත්තරනේ මම එනවා බලා                           හිඳින්න..


නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


සොයුරි නුඹයි කෝලකමට සුරතලී                   නුඹයි
මෑණි නුඹයි මා රකිනා මිතුරියද                        නුඹයි
සෙනෙහෙ නුඹයි සෙනෙහස දුන් ගඟුල නුඹේ     නමයි
සසර පුරා මගේ හදවත හිමිකාරී                       නුඹයි

කවිය නුඹයි කවිකම දුම් කිවිඳියද                    නුඹයි
කුකවි මමයි මගේ කවියේ එලිය නුඹ                තමයි
නුඹේ අද්දර නිහඬ මගේ සිතුම් වැල                මෙයයි
නුඹේ තරු ඇස් මගේ නෙතු මත සොයන දේ     එයයි


සුපුරුදු ආදර මාවත එලිය                             කරන්න
මම ආසයි නුඹේ ඇත ගෙන ඇවිදන්                  යන්න
සෙමෙන් හොරෙන් හාදු පුදා කොපුල්          තෙමන්න
යන්න නෙමෙයි මම එන්නේ වස්තුවේ              ඉන්න..




                                                                                        © කරූ.
Related Posts Plugin for WordPress, Blogger...