Showing posts with label සුද්දා. Show all posts
Showing posts with label සුද්දා. Show all posts

Thursday, June 4, 2015

'ගප්පියා' සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි

සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය. විවිධත්වය යනු, සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය. ඇතැම්හු සුවිශේෂවන අතර, සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරපේක්ෂ තලවල පවතී. නිරපේක්ෂ පුද්ගලයෙකු පිලිබඳ සිදු කරන්නට ලැබුණ සාපේක්ෂ කතා බහක් ගැන සටහනකි මේ.

ඔහු නමින් තරිඳු විජේසේකර ය. සිංහල සයිබර් අවකාශය තුල ඔබ දන්නා නමින්, ගප්පියා ය.  ගප්පියා මුණ ගැසෙන්නට මට අවස්තාව සැලසුනේ අහම්බෙන් මෙනි. ගප්පියා ශ්‍රී ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබී වැඩි දිනක් ගත වීමට මත්තෙන්ම, ඔහුව මුණ ගැසෙන්නට ලැබීමත්, සුහද පිළිසඳරක යෙදෙන්නට ලැබූ අවස්ථාවෙන්, යූටියුබයේ  ඔබ අප මුණගැසෙන විහිලුකරුවාගෙන් ඔබ්බට, ඔහු තුල සිටින මිනිසා තුලට මම එබී බැලීමි.


සුහද ආගිය කතා බහකින් අනතුරුව, ගප්පියා නම් මිනිසා තුලට එබී බලන්නට මම උත්සුක වුනෙමි. ඔහු මා වෙත පවසා සිටි, අනාගත ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් "ලොකුවට" සෑදීමේ ආසාව ගැන මම විමසා සිටියෙමි. "ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් ලොකුවට හදනවා කියන්නේ ලොකු බජට් එකකට යනවා කියන එක ද?" සවස් වරුවක උද්යෝගජනක කතා බහක්  අතරතුර ඔහු හා මවුබිම වෑන් රියෙන් ඔහුගේ නිවසට යන අතරතුර මම ඇසීමි.  "නැහැ, මුදල නෙවෙයි වැදගත්. හොඳ කතාවක් හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක,හොඳ නිර්මාණයක් ටිකක් දිග කතාවක් විදියට  සැලසුම සකස් කරන එකයි වැදගත්. එතනින් එහාට ඒක ෆෝන් එකකින් වීඩියෝ කලත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්". 

"එතකොට ගප්පියා කියන්නේ, අදහස් වගේම නිර්මාණශිලිත්වය අතින් පමණක් බජට් ඒක බිග් වුනාම ඇතිද? 

"අනිවාර්යෙන්ම". ඒ ඔහුගේ පැහැදිලි දැක්මයි.


ඉහත දැක්වෙන්නේ කාර්යබහුල යුගයක, මේ බ්ලොග් පිටුව අතහැර දමා තිබූ වකවානුවක වූවත්, ඒ දිනවලදී මා ලියා තබන්නට ආරම්භ කල සටහනකි. මාස ගණනාවක් පුරා අසම්පූර්ණ-පල නොකළ ලිපි ගොන්න අතර තිබූ මේ ලිපිය සොයා අද අවසන් කරන්නට සිතුනේ, මේ ඊට හොඳම වකවානුව බව මට සිතුනු නිසාවෙන් ය.

ගප්පියා පිළිබඳව නැවත කතා බහට ලක් වන්නේ දින දෙකකට පෙරාතුව පොසොන් පොහොය දිනයේ ඔහු පල කර තිබූ එක්තරා කාටූනයක් ය.


ෆෙස්බුකිය සහ සිංහල සයිබර් අවකාශය පුරාවටම ඉහත කාටූණය පිලිබඳ සාධාරණීකරණය කරමින්, එමෙන්ම දොස් නගමින් විවිධාකාර ලිපි සහ සටහන් මේ දින දෙක පුරාවටම එකතු වී තිබිණ. නමුත් ඒ පිලිබඳ අදහස් දැක්වීමකට වඩා, මේ කාටූණය පසුපස සිටිනා මිනිසා ගැන මට හැඟෙන දේ සටහන් තබන්නට මම කල්පනා කලෙමි.

ඔහු දැනට දස වසරක පමණ පෙර සිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියේද වසර දහයකට පසු පළමු වරට ය. ශ්‍රී ලංකාවට පැමිණි අලුතම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ලබා ගත් පුවත්පත් සහ වීඩියෝ සම්මුඛ සාකච්චාව අවසානයේ නිවසට ගිය පසු, 'අර කෑල්ල දාන්න එපා-මේ කෑල්ල දාන්න එපා' යැයි නේක ගතු නොකී, මහ පොලව මත පිහිටි මිනිසෙකු ලෙස මම ඔහුව හඳුනා ගතිමි. ඕස්ට්‍රේලියාවේ කල රැකියාව ලෙස මා සමග පැවසු 'වලන් සෝදන රස්සාව' යන පිළිතුර, මා සමග පෞද්ගලිකව සේම නිල සම්මුඛ සාකච්ඡාවටත් එක ලෙස පැවසු අපූරු පුද්ගලයා ඔහු ය. ඕස්ට්‍රේලියාවේ ගෙවුන අවුරුදු දහයක අවසරයෙන් කටට සිංහල නුහුරු කර නොගත් මිනිසෙකු සමග ලැබුණ ඒ අවස්තාව මට විශාල ගෞරවයක් විය. සැබවින්ම එය පොලවේ පය ගැසුවත් පොලවට බරක් නොවුන නිහතමානි මිනිසෙකු සමග සුන්දර අදහස් හුවමාරුවක් බව මට දැනුන හැගීමයි.

ලංකාවේ පුවත්පත් අතිරේකවල 'තරු පිටු' කියවන පාඨකයාගේ රසය වෙනක කි. එකී පාඨකයන්ගේ හිතසුව වෙනුවෙන් සිදු කල ආගිය කතා බහෙන් අනතුරුව පෞද්ගලිකව ඔහු අල්ලාගන්නට ලැබුන රාත්‍රී වාහන තද බදය අතරතුර ඔහුගේ නිවස වෙත ගිය ගමන අතරතුර සිදු වූ කතා බහ තුලින්, ඔහු කන-බොන දේ යන එන තැන් ආදියෙන් බැහැරව වැදගත් යමක් මගේ බ්ලොග් පිටුවෙන් හෝ සටහන් කිරීමට මම සිතා ගතිමි.
වචනවලින් පොලවේ පය ගසන මිනිසුන් සේම සැබවින් පොලවේ පය ගසන මිනිසුන් වශයෙන්, බැලු බැල්මට පෙනෙන පොලවේ පය ගසන්නන් වර්ග දෙකකි. ඔහු සැබවින්ම ක්‍රියාවෙන් පොලව මත පිහිටි චරිතයක්ම බව, ඔහු හඳුනාගෙන ගත වූ කාලය ඇතුලත මට පසක් වූ බව සටහන් නොකර බැරි වන්නේ පෙර කී වචනයෙන් පොලවේ පය ගසන්නන්ද මට හමු වී ඇති බැවිණි.



මචං, සල්ලි පස්සේ එලවන්න එපා. ඔහු මද නිහඬතාවයකට පසු කට හඬ අවධි කලේ ය.  තමන් ආස දේ කරන්න, සල්ලි ලැබෙන්න ගනියි, හදිසියේ නෙවේ පසුවට..

ඒ ඔහු එකතු කල අදහස්වල සාරාංශය යි.


"ගප්පියා රඟපාන්න කවදා හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවද? ටෙලි නාට්‍යවලට එහෙම අඩගැහුවොත් යනවද?"
මගෙන් ප්‍රශ්න වැලකි. "ඉගෙනගෙන නැහැ, බැරි දේ කරන්න ගිහින් චාටර් වෙන්න ඕනේ නෑනේ, මට පුළුවන් දේ කරගෙන මම ඉන්නවා". ඒ ඔහු දැක්වූ අදහසයි.


කෙසේ හෝ මා හඳුනාගත් ගප්පියා යනු, තමන්ගේ අදහස වාරණයකින් තොරවම ඉදිරිපත් කරන එකෙකු බව ඔහුගේ නිර්මාණවලින්ම වඩා හමු වූ මුල් වතාවේදීම පසක් කර ගතිමි. කාර්යාලයේ එක්තරා නිලධාරියෙකු, සම්මුඛ සාකච්ඡාවට මොහොතකට පෙර ඊට සූදානමින් සිටි මට සහ සහෝදර මාධ්‍යවේදී දෙපල වෙත පවසා ගිය කාරණයකින් අනතුරුව, "එයාගේ ලොකු එක නෙහ්?" කියා ගප්පියා ඇසු විට අපි මොහොතකට නිරුත්තර වුනෙමු. සිතට නැගෙන අවංක අදහස වාරණයකින් තොරව ඉදිරිපත් කිරීමේ අව්‍යාජ බව මේ මිනිසා තුල පවතින බව මම නැවත නැවතත් දිටිමි. 

ගප්පියා ගැන කාලීන මාතෘකාව වන ඉහත කාටූණය පිළිබඳව මට පැවසීමට ඉතිරිව ඇත්තේ ද එය යි. සෙල්පිවල ඇති වැරද්දක් නැති මුත් අවශ්‍ය වුවත් පමණට වඩා අවශ්‍ය නැති බවට ඒ පණිවිඩය දෙන්න ඔහු කල කදිම නිර්මාණයක් හැරෙන්නට, බුදු දහමට කල අපහාසයක් නම් මම ඒ කාටූණයෙක් නොදිටිමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කල එම සිදුවීම දා පවා සිටියේ අද වැනි සෙල්ෆි මේනියා කාරයන් නම් සිදු වන්නේ එවැනි දෙයක් බව ඔහු මතුකළ අදහස යි. ලිපියේ අරමුණ තවත් එකී කාටුණය පිලිබඳ අදහස් දැක්වීම නොවුන ද,මා ඒ ගැන දරන මතයට ආසන්න මතයක් ලියවී තිබූ ලිපියක සබැඳිය මෙලෙස එකතු කරන්නම්.

ලිපිය 01


සටහන


අවසාන වශයෙන්, ගප්පියා යනු අපි වගේම කොල්ලෙකි. ඌට අහවල් තරු අමාරුවක් තිබුනේද නැත. කියන්නට ඇති දේ කෙලින් කියන ගතියට කවුරුත් ආස කරන්නේ කෙලින් කිව්ව දෙයින් රිදෙන්නේ තමන්ට නොවන තාක් ය. රිදෙන්න ඕනේ තැනට රිදෙන්න බැරි නම් ඕනේ මගුලක් වෙන්න කියා, කියන්න තියෙන දේ කියන්න පුළුවන් මිනිස්සු නැති කාලෙක එකෙක් දෙකෙක් හරි ඉන්න එක ගැන මට නම් සතුටු ය.


ගප්පියා සමග කල වීඩියෝ සාකච්ඡාව




Thursday, June 26, 2014

ලංකා ඊ නිව්ස්! ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින්??

සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය.ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත්,නාන මංකඩටත් වඩා හරි අපුරුවටත් පහසුවටත් වසුරු පීප්ප ගණන් පතුරුවා හරින්න බුකියත් එහි සරි සරණ බුකියෝත් හරි හපනුන් ය. බුකියන්ගේ ටේස්ට් එකට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්නට බුකි පේජ් සහ ඇඩ්මින් බුකියෝත් බුකියේ හැරෙන හැරෙන අත වැහි වැහැලා ය.


බුකි පිටුවල රසික බුකිවරුන්ගේ හා ගොසිප් සයිට්වල රසික බුවාලාගේ හරි අපුරු සමානතා ඇත. ඔවුන්ට අනුව මේ රටේ වැදගත් දේශපාලනයක නිරත වූ කිසිදු මිනිසෙකු නැත. අපේ රටට ගොඩ ඒමක්ද නැත. පාර්ලිමේන්තුවකින්  වැඩක්ද නැත. ගමේ පොල් අතු මඩුවේ ඉගෙන ගන්නා කෙල්ලෝ හැදියාවෙන් ඉස්තරම්ය. කොළඹ පාසලක ඉගෙන ගන්නේ සල්ලි වැඩිකමකටය.ඒ නිසා උන් වල්කමට ඇනුවල් වෝක් යනවාය. ඉස්කෝලේ යන්නේ කොලබ නම් ඕන කෙල්ලෙක් බඩු ය. කොළඹ බාලිකා පාසල් යනු බඩු පොට් ය. ඒවා වසා දැමිය යුතුය. මෙකි බුවාලා තරම් දැනමුතු බුවාලා ලොවෙත් නැති යයි දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා ය. ඔවුන් තරම් දැනුමින් පිරිපුන් නිර්දෝෂී බුවාලා මේ රටට වාසනාවන් ය. 


මේවා එක අතකින් ට්‍රෙන්ඩ් ය. හෙවත් පෙරකී ඉල්ලුමට අනුව සැපයුම දෙන එල කිරි ටොපික් එකක් හසු වූ කල මවන නිර්මාණ ය.කොයි හැටි වේවා බුකියේත් සයිබරයේ තබා කුමන මාධ්‍යකින් හෝ තමන් අසා දැනගන්නා තොරතුරු පැතිරවීමට පෙර නුවනින් විමසා බැලිය යුතු ය. මේ ලංකා ඊ නිව්ස් හී පලවුන එවැනි සටහනක් පිලිබඳ කෙටි විමසුමකි.


ආනන්දය ගැන මේ මාතෘකාවට එළබෙන විට නොකියා මග හරිය නොහැකි කතාවක් ඇත. ඒනම් ආනන්දය කෙසේ බිහිවී කුමන ගමනක් ආවේද යන්න යි. ලංකා ඊ නිව්ස්වලට අනුව එය බිහිකළේ බෞද්ධ සුද්දෙකි. ඒ අදහස ඉඳුරාම පිළිගන්නා අතර මේ ටිකද එක් කරමි. හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇමරිකන් කාරයෙකි, කොකා කොලා ගුගල් ගහන රටේ තවත් එක් වර්ජනය කල යුතු ට්‍රේඩ් මාක් එකකි. නමුත් එකී ට්‍රේඩ් මාක් එක යටතේ බිහිවුන ආනන්දය නම් පාසල කොකා කොලා කෑන් එකට යට වුන කොළඹ පොෂ් සමාජය වෙනුවෙන් නොව ඉංගිරිසිය නිසා බාදාවට පත් වූ තම ජාතිය ආගම පාවා නොදුන් ස්වදේශිකයන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බිහි වුවකි. එය එදාටත් අදටත් එසේමය. චේතනාව පාරිශුද්ධ වේ නම් ඕල්කට්තුමාගේ ඇමරිකන්කමෙන් අහක ඉන්න ගොබිලන්ට පලක් තිබිය යුතු නැත.


ආනන්දය බිහි වන්නේ බෞද්ධ ඉංගිරිසි පාඨශාලාව නමිනි. ඒනම් ආගමත් ජාතියත් පාවා නොදුන් ස්වදේශියන්ට ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ආයතනය යි. එය බිහි වෙන්නේ අද කාලේ කට වහරට අනුව NGO ඩොලර් හෝ පිට රට කළු සල්ලි වලින් නොවේ. පිටකොටුවේ කොළඹ නගරයේ පාරක් පාරක් පාසා ඇවිද එකතු කර ගන්නා කැට සල්ලි වලිනි. ආනන්දය බිහි වන්නේ රාත්‍රියේ ආලෝකය වෙනුවෙන් ලාම්පු තෙල් මිලදී ගැනීමට කඩපිලට ආ ආච්චි කැටයට දැමු, ඒ සන්තකේටම තිබු සත කාලේ ඒවාගෙනි. නැව් වලින් මෙරටට ගොඩ බට මිෂනාරි අධ්‍යාපනඥයන්ගේ පහස ලත් රැජිනගේ පවුම් වලින් ගොඩ නැගු පාසල් අතරේ පිටකොටුව මැලිබන් විදියේ ගොඩේ සිංහල කොලු ගැටයන්ට අකුරු කියා දෙන්නට පොල් අතු මඩුවක් බිහි වෙන්නේ එලෙසිනි. යාබද පල්ලියේ කෙනෙහිලිකම් මැද මරදානට ස්ථාන මාරු ලබන ආනන්ද කොලීජිය තම පනස්වන සංවත්සරය දිනයේදීත් මරදානේ ඉඩම් ණය තුරුස් ගෙව්වාය. 


අතීත කතා තුලින් මෑත කාලයට එද්දී සිහි වන්නේ මෙවන් කතා පුවතකි.විසි එක්වන සියවසේ අකුරු කරන්නට පැමිණි අපත් භාවිතා කරන විද්‍යා මන්දිර ගොඩනැගිල්ල, 1930-40 දශකයෙදී බිහිවන්නේ දුටුගැමුණු අරමුදලෙනි. ඒ වෙනත් පාසලක අධ්‍යාපනයට සුදුසුකම් නැති සිංහල බෞද්ධ කොල්ලන් පාරක් පාරක් ගානේ ඇවිද එකතු කරගත් රුපියල් හතලිස් පන්දහසකිනි. අදටත් ආනන්දයේ ජිව විද්‍යා විද්‍යාගාර දෙකක්,රසායන විද්‍යා විද්‍යාගාර දෙකක්,භෞතික විද්‍යා විද්‍යාගාර දෙකක්,කෘෂි විද්‍යාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් පවතින්නේ එදා කොලු ගැටයන්ගේ හිඟා කෑමට පින් සිදු වන්නටය.


ඒ ආනන්දයේ එදා තත්වයයි. අද?


අද ආනන්දය යනු දිවයිනේ ප්‍රධානතම පාසලකි. නමින් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ යි. කෝපාවිෂ්ට ගුරුවරියකගේ අදහසකට අනුව මුදුන් මල්කඩ නොව මුදුනේ මළකඩ යි. එයට යම් සත්‍යතාවක්ද ඇත. පාසල බිහි කළාවූ අරමුණු කෙසේ වෙතත් අද නම් බෞද්ධ අධ්‍යාපනයක් වෙනුවෙන් කාල සටහනේ විශේෂ තැනක් බුදු දහම වෙනුවෙන් ආනන්දයේ නැත. වෙනත් ඕනෑම පාසලක මෙන් ආනන්දයේද ඇත්තේ බුද්ධ ධර්මය විෂයය සදහා කාලචේද දෙකකි.ඉගැනිවීමේ නිරත වන්නේද වෙනත් ඕනෑම ජාතික පාසලකින් මාරුවක් හරි ගිය ගුරුතුමෙක් හෝ ගුරුතුමියකි. ඒ අතරින් තමා මේ පා තබා තිබෙන්නේ, කෙසේ කුමට බිහි වූ තැනකටදැයි දන්නා ගුරුතුමන්ලා මෙන්ම ශිෂ්‍යයෝද අද කාලේ විරලය. කාලය විසින් මැවූ අරුමයකට වඩා එය නම් දැන දැන මවනා ලද වෙනසකි. නුදුරු අනාගතයේ මීටත් වඩා තතු වෙනස් විය හැකිය.



එවැනි වාතාවරණයක් හමුවේ සමාජයේ යම් ස්ථරයකට පැමිණි ආදී ශිෂ්‍යයෝ නොසිටියා නම් ආනන්දය වසා දමන්නට සිදු වී බොහෝ කළකි. විදුහලේ විදුලි හා ජල බිල් වියදම මාසිකව ලක්ෂ ගණනකි. ඒවාට රජයෙන් සොච්චමකවත් ආධාරයක් ලැබෙන්නේ නැත.විද්යාලය විසින් සේවයට ගත යුතුව ඇති අනධ්‍යන කාර්ය මණ්ඩලයද සුළු පටු නැත. ඔවුන්ට සරිලන වැටුපක් සැපයිය යුතුය. ඇතැම් විට අවශ්‍ය සේවකයන් ලබා ගන්නේ ළමුන්ගේ දායකත්වයෙනි,ඇතැම්විට ආදී ශිෂ්‍යයෙකු හෝ දෙමාපියෙකු සහයෝගය ලබා දෙයි.දිවා ආහාරයක් සපයන්නේ ඇතැම් විට ගුරු මවකි,උදෑසන තමන්ටත් පවුලේ උදවියටත් බත් මුල් ඔතද්දී සිහිවෙන හිතෛෂී මුහුණ වෙනුවෙන් තවත් බත් මුලක් එතෙන්නේ මිනිස් කමේ නාමයෙනි. ආනන්දය නමැති සමාජ ඒකකයෙන් ලබා ගන්නා අමිල සත්කාර වෙනුවෙන් කුමක් හෝ දෙයක් ආපිට ලබා දෙන්නට උත්සුක වන පිරිසක් මෙහි වෙති.



ගැටලුව පැන නගින්නේ මෙහිදීය. සාමාන්‍ය පෙළ දක්වා සිසුවෙකුගෙන් වසරකට පහසුකම් හා සේවා ගාස්තු සමගින් පන්තිය පිළිසකර කර ගැනීම සඳහා රුපියල් තුන් දහසේ සිට පන් දහස දක්වා වාර්ෂිකව මුදලක් අයවේ.එයින් සැම සතයක් සඳහාම රිසිට්පත් නිකුත් වන අතර පන්තිය පිලිසකර කර ගැනෙන්නේ දෙමාපියන්ගේ මුල්‍ය කළමනාකාරිත්වයෙන් දෙමාපියන්ගෙන් තෝරාගත් කෙනෙකු සතුව ඇති කළමනාකරණ හැකියාවකින් හා පුර්ණ විනිවිද භාවයෙනි. උසස්පෙළ වසර දෙක සඳහා වසරකට රුපියල් 6000ක් වැනි මුදලක් පාසල වෙත ලබා ගනී. වැදගත්ම කරුණ වන්නේ යම් ශිෂ්‍යයෙකුට මෙම මුදල දැරිය නොහැකි නම් ඒ සඳහා කිසිදු බලකිරීමක් නොමැති වීමයි. එසේ වුවත්,මෙම ආනන්දය නමැති සම්ප්‍රධාය හා සමාජ ඒකකයේ රටාව තුල මොනයම් හෝ අයුරින් පාසල වෙත ඇති ණය ගෙවාලිමට මෙහි බහුතරය උත්සුක වෙති.ආනන්දයට පය තබා හෝ දිනක් මෙහි ජිවත් වී නොමැති, වත්මන් සමාජ ආර්ථික ධාවන තරඟයේ යෙදෙන  අයෙකුට මෙම සංසිද්ධිය වටහා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇත. ග්‍රාම සේවා සහතික අවශ්‍ය නැත, තමාව පෝෂණය කරනා ආනන්දය පවත්වා ගැනීමට සහයෝගය දැක්වීමට තරම් තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව පෙන්වීමට අවශ්‍ය එකම සහතිකය හදවතේ සාක්ෂිය පමණි.



ලංකා ඊ නිව්ස් හි දැක්වෙන මෙම සිද්දියේ අගමුල විමසීමට නම් මෙම තොරතුරු කෙනෙක් විමසා බලා සිටිය යුතුය. ආනන්දය වෙනුවෙන් එක වසරෙන් ළමුන් ඇතුලත් කර ගත් පසු ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රධානම අවස්තා දෙක පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මත ඇතුලත් කර ගැනීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් උසස්පෙළ සඳහා ඇතුලත් කර ගැනීමයි. මේ අතරින් පතර පැරෂුට් එකෙන් බසින්නන්ද නැතුවාම නොවේ. එයද සිමා සහිත වන අතර මා ආනන්දයේ උගත් සමයේදී අප වසරට සිසුන් ඇතුලත් කරගත්තේ ඇති තරම් ඉඩ කඩ තිබු ඉංග්‍රිසි මාධ්‍ය පන්ති දෙකෙන් එක පන්තියකට පමණි. පහ වසර සමතුන් ලෙස ආනන්දයට ඇතුලත් වූ මට මෙන්ම මගේ සහෘද ශිෂ්‍යයන්ටද ඩොනේෂන් පිලිබඳ ඉල්ලීමක් ලැබුනේ නැත.නමුත් මා උසස් පෙලට පැමිණෙන විට තත්වය වෙනස් වී තිබිණ. සියල්ලටම පාහේ පාසලට කල හැකි ආධාරයක් පිලිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුන අතර බහුතරය ඇති හැකි අයුරින් කුමක් හෝ දායකත්වයක් සපයා දී තිබුණි. නමට රජයේ පාසලක් වුවත් රජයෙන් කිසිදු නඩත්තුවක් සිදු නොකෙරේ නම් එය තම තමන් සපයා ගන්නා තත්වයට කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ පාසල් පත් වුයේ අද ඊයේ නොවේ. ඩොනේෂන් සංස්කෘතිය හා එහි ගෝත්‍රික වියුත්පන්නය වන පාගා සංස්කෘතිය බිහි වුයේ ඊට පින් සිදු වන්නටය.

මෙවන් සමයකදී ලංකා ඊ නිව්ස් මගින් වාර්තා කරන්නේ හරි අපුර්ව පුවතකි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි යම්කිසි දෙමාපියෙකුට තම දරුවා ඉදිරියේ එක්තරා ගුරු මාතාවක් විසින් "ඔයාගේ දෙමව්පියෝ ඔයාට සලකන්නේ මෙහෙම නම් ආනන්දයට ඒම ගැන හිතන්නවත් එපා" යනුවෙන් ප්‍රකාශ කර ඇත. 


ලංකා ඊ නිව්ස් වාර්තා කරන සිදු වීම ගැන කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. බණ්ඩාරනායක නම් ගුරු මාතාව ආනන්දයේ ජෙෂ්ටතම ගුරු මාතාවකි. ආනන්දය හෙවත් තමා පය ගසා සිටින භූමිය කුමක්දැයි දන්නා, විනය ඉහලින් අගය කරනා ගුරු මවකි. එතුමියගේ පාලනයට ඉහලින් ගණිත අංශය උඩින් මැස්සෙකුටවත් පියඹා යා නොහැකි බව එකල අප සිතුවේ බිය මුසු බවකින් මෙන්ම අද වන විට ඉතාමත් ගෞරවයකිනි. මෙම පුවත බොහෝ විට එතුමිය පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් හෝ එතුමිය මෙන්ම සමස්ත ආනන්ද ප්‍රජාව පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් විය යුතුය. එතුමිය හඳුනන,එතුමිය හා එක්ව කටයුතු කර ඇති ඕනෑම කෙනෙකුට එතුමිය හා මෙකි වචනවල ඇති පරස්පර විරෝධය හසු වේ. 



ආනන්දය බිහි වූ අරමුණ ධනපති පන්තියට අධ්‍යාපනය දීම නොවේ. ධනපතීන්ට එරෙහිව සටන් කිරීමටද නොවේ. සිංහල බෞද්ධ දරුවාට අකැප වූ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමත්, ඔහු ගුණ දහමින් පෝෂණය කර, ඇති හැකි අයෙක් ලෙස සමාජයට දායාද කිරීමත් ආනන්දයේ අරමුනයි. එය එසේ නොවන්නට අද මටත්,තවත් බොහෝ දෙනාටත් ආනන්දය අහිමි වන්නට ඉඩ තිබිණ. ලංකාවේ දහස් ගණනක් පාසල් අතර ආනන්දය යනු තවත් එක් පාසලක් පමණක් බවට පත් වීමට ඉඩ තිබු බව මුළු සමාජයම විසින් ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු කරුණකි. කොළඹ තදාසන්න නාගරික සංස්කෘතියක් මැද ආනන්දයේ දොරටුව පසු කල විට අභය භූමියකට,පන්සලකට ඇතුළු වූ හැඟීම ලබා දෙන්නා වූ ආනන්ද පරිසරය තුල අකුරු කිරීමට අවශ්‍ය එකම සාධකය වාසනාව මිස මිල මුදල් හෝ ඩොනේෂන් නොවේ. එසේම අපව තැනුවා වූ අපව වැදුවා වූ ආනන්දය පෝෂණය කිරීම රක බලා ගැනීම අප ජිවිතයට බරක්ද නොවේ.  කුමන බාහිර බලපෑම් හමුවේ වුවද,ආනන්දය තවත් චිරාත් කාලයක් ආනන්ද ප්‍රජාව තුලින්ම රැකි සමාජයේ දිදුලනවා ඇතී.








Sunday, September 1, 2013

පරංගියා අපෙන් කෑවෝ! තුන් විජාතික ඉල්ලං කෑම! (නොමිලේ)

      ද ඉරිදා.ගොඩක් දෙනා ගෙදර ඉන්න දවස.ඇත්තටම මේ ඉරිදා කියන දවසට නිවාඩුවක් හඳුන්වා දුන්නේ කවු ද? ඒ ගැනත් සඳහනක් අද පොස්ටුවෙන් කෙරේවි.පෝස්ටු කීපයක් ලියවෙමින් පැවතුනත් එක ගැම්මට කරලා ඉවර කරන්න වාරයක් ලැබුනේ නෑ.සමහර ඒවා හිර වෙලා,සමහර ඒවා අතගහන්න හිතෙන්නේ නෑ.මේක ටිකක් වෙනස් විදියේ කතාවක්. කතාවක් කිව්වට මේක ඇත්ත ඉතිහාස කතාවක්.


       1505 කියලා කියන්නේ ලංකාවේ අපේ සමාජ රටා උඩු යටිකුරු වෙන්න මුල පිරූ අවුරුද්දක්.කුනාටුවකට ගහගෙන අවුදින්  ලක් පොලවට පය ගැහුව අල්මේදා උන්නැහේ ලංකාවේ අපේ ජන ජීවිතයට ගෙනාවේ නම් හැබෑම කුණාටුවක්.හැබැයි එදා ඒ පය ගහපු භූමියම පරංගියා මුළු ආසියාකරයෙන්ම ලබන ලොකුම යුධ පරාජයට හේතුවෙන භූමිය කියලා හීනෙකින්වත් නොහිතන්න ඇතී.

         
1875-මරාදාපු තැන හෙවත් මරදාන
පරංගි හටන සමගින් නිතැතින්ම බැඳුනු වදනක්  පරණවාඩිය කඳවුර. කොළඹ කොටුවට කොටුවී අන්තිම අසරණ අඩියට වැටුණු පරංගි හමුදා බළල් මසෙන් ජිවිතේ රැකගද්දී සිංහල හමුදා රැඳී සිටි ආසන්නතම සහ ප්‍රධානම කඳවුරයි මේ පරණවාඩිය. පරණ වාඩිය කඳවුරේ සිට සැලසුම් කල කිසිම මෙහෙයුමක් අසාර්ථක වී කෙළවරව නොමැති බව ජනප්‍රවාදයේ එනවා.වීදිය බණ්ඩාර තමන්ගේ මූලස්ථානයක් කරගත් තැනක් ලෙසත් පරණවාඩිය සඳහන්.මේ අඩවියේ හිමිකාර වංශවතුන් වුනේ වාසල මුදලි රාජපක්ෂ පරම්පරාවයි. අදටත්,පරණවාඩිය ගම්මානය  එනමින් නැතත් ලංකාවේම ප්‍රසිද්ධ ප්‍රදේශයක් ලෙස කොයි කව්රුත් දන්නවා.(අන්තිමට කියන්නම්!) හරි, අප්‍රසිද්ධ ඉතිහාස කතාවෙන් අපි දැන් යමු ප්‍රසිද්ද ඉතිහාස කතාවට,හැබැයි අද කතාව කවියෙන්.අපහාසය උපහාසය වගේම වදින තැන්වලට රිදෙන්නත් මේ කවි පෙළ ලියැවී තිබෙනවා.පරංගි යුධ කාලයේ පටන් අවසානයේ මේ පරණවාඩියට අත්වූ ඉරණම ඉන් කියවේවි.

             මේ කවි පෙළ ලියවෙන්නේ මගේ මිතුරු මංගල සේනාධිපති අතින්,ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.ඉදින් මේ කවිපෙලේ පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවිය යුතුම යි.මේ අපේ කවි ගී සඳැල්ලේ ආරම්භකයා වගේම අපේ ලොකු උන්නැහේගේ කවි පෙළක්.


                 අහ්හ්! තව දෙයක්! කොන්ස්තන්තිනෝපලය බිඳ වැටිලා,ඉස්තාන්බුල් කියලා හලාල් උනාට පස්සේ පරංගින්ට වගේම කොයි යුරෝපියාටත් පෙරදිගට ගොඩබිම් මාර්ගය වගේම තමන්ගේ වෙළඳාම් අහිමි උනා.මේ මං තුමා හෙවත් අල්තයීර් උන්නැහේ( ඔරිජිනල් එකා)ලගේ වැඩ හින්ද තමා යුරෝපියන්ට ගොඩබිම් මාර්ගය අහිමි උනේ. ඒ ගෞරවය ගෞරවපූර්ව මහත්වූ මෙව්වා එක පෙරදැරිව (අල්තයීර් වෙනුවෙන්) මේ මං තුමාට පුද කරන්න ඈ.. :D


සුද්ද   නගරෙ අරාබියාගෙන්   ගන් න
යුද්ද   කළා පාප්ගේ හමුදා   ගොන් න
සිද්ද  වුනේ සතුරා හට        පරදින් න
සද්ද  වහන් ඉන්නව මේ අය   ඔන් න

මසට  දාන්නට දැන් දුරු මිරිස්        නැ තී
රසට   නොවේ කල් තියාන කන්න නැ තී
කන්ට  නැතිව දරුවෝ හාමතේ     වෙ තී
කුසට   පහල වූ නුවණක් එයින්       එ තී

මහා  රටක් ඉන්දියාව නමින් ඇතේ
එහා  ඉමේ අරාබියට සතුරු  වෙතේ
මහා  රජෙක් ජෝන් කියා රජ කරතේ
වහා  ගියොත් යුද්දෙට ඔහු සහය දෙතේ

පාප්ගේ  සවනෙ වත්කළ ඒ මී බින්දු
සේප්පු  බින්දා පල්ලියෙ බිම    රැන්දු
තාප්ප වට්ටා සතුරට ජය       කැන්දු
පාප් සිතන්නේ ගැයුමට ගී        සින්දු

රවටා   ගෙන  පල්ලියෙ රත්තරන් අරන්        ගොස්තරේ
වෙරදා ගෙන  ගොඩ නගන්නේ නැව් හදනා    සාස්තරේ
බිඳදා  ගෙන  හැම බාදක සොයා ගන්නෙ          සූත්තරේ
පදවා  ගෙන  ගොස් සොයන්නෙ ඉන්දියාව හීන්    සැරේ


වැරදී ලා   ඇමෙරිකාව ඉන්දියාව යැයි       සිතාලා
නම දීලා   මිනිස්සුන්ට රතු ඉන්දියානුවො කියාලා
පැටලීලා   සිදු වූවත් එවන් වැරදි ඉඳ           හිටලා
පාවී  ලා   අහම්බයෙන් ඉන්දියාව හමු           වීලා


එම    නැවේ නැව් පති     තුමා
නම   වස්කෝ ද            ගාමා
සැම   සතුටු සිත         කෝමා
තම   හඬින්             දක්වම්මා

"ක්‍රිස්තු අදහන ජෝන් රජුගේ පිරිස යි
කුරුඳු විකුණන ගොවියන් දැක්ම   සතුටු යි
සයුර බිඳගෙන සැපත් වූයේ          එනිස යි
වස්තු අරගෙන යන්න නම් තව කල්   ය යි"

මහා මුහුද පරන්ගියගේ සපත්තුවට            පෑගෙන   වා
ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවට අහු       වෙන වා
කණ කොක් නද හෙළ ගුවනේ ඒ මේ ඇත රැව් දෙන වා
පෝදා සඳ රාහු ගිලී පරංගියා මෙහි                   එන වා

එක් අතකින් බයිබලයි බයිනෙත්තුව අනිත්      අතේ
වයින් ගඳින් ගෙරි මස් ගඳ නෑ යන්නේ හපුටු     ගතේ
අසරණ බිලිඳුන් අමුණයි බයිනෙත්තුවේ තුඩග පුතේ
විහාරයන් වනසාලා පල්ලි හදයි හතර             අතේ


දියුණු යැයි සම්මතව        ඉන්නා
මහත්මා යයි කියා           ගන්නා
මිත්‍යාව ඇයි ඇත්තෙ    පෙන්නා
සිංහලේ හයි එසේ         කන්නා

සිහි කල යුත්තකි මෙහි ලා වන්නේ
නැවකට පරංගි පනහකි    එන්නේ
නිසි අණ දීමයි විනයයි       දන්නේ
කපටි උපායෙනි රටක්   නසන්නේ

පරන්ගියාගේ සිවල්          උපා
මිහිබට හෙළයට නිරය     දපා
නොපනත් කම් ඇත සිනා පපා
අසිපත ගත යුතු වාද         එපා

සීහල විරුවන් එසේ      සිතා
මරුවාටත් මරු වෙමුයි   පතා
කඩු ගාමුයි ඒ නපුරු      සතා
සතුරට හටනට කළා   කතා

රණ දවුලේ හඬ            නංවාලා
කඳවුරු බැඳුමට තැන් සොයලා
ජය බිම සේසත්           ඔසවාලා
විජය කොඩිය ඇත     ලෙලදීලා

සිංහලයන් පන්නමුයි    කියා
පරංගියා එහි පිනූ         නියා
සතුරාගේ හිස අහස   සොයා
හෙළ අසිපත වැද කැපී ගියා

පරංගි හිස් වැහි බිඳු       වැන්නේ
හෙළ අසිපත විදිලිය    දෙන්නේ
දෙගොඩ තලා ලා     ගලමින්නේ
සුදු වැදි ලේ ගඟ     වෑහෙන්නේ

මරා දාපු තැන අද            මරදාන  යි
සීහල කඳවුර හෙටත් ජය      බිම  යි
විරුවන් බිහිවෙන සාර පින් කෙත යි
ආනන්දේ කවදත්           ආනන්ද යි

=======================================================

සිඟාල සිවල් කැනහිල් වැනි නම්  බෝමා
නරියට යෙදෙයි උන් හැම නරියන් සේමා
හම සුදු වුවත් හදවත කළුවන්       බෝමා
තුන් ජාතියක් ඒරොප්පෙන් මෙහි    ඒමා

පරංගි ලංසි ඉංග්‍රීසින් නම්              වන්නේ
කල්කිරියාවෙන් එක ලෙස  හැසිරෙන්නේ
ඉන්ගිරිසියා අවසානේ           ජයගන්නේ
රට වනසාලා සාරය එහි ගෙන    යන්නේ


පුරවා ගන්නට විගහට සුද්දගේ          මල්ල
පැල කෙරුවා මෙහි ගෙනවිත් තේ     දල්ල
දල්ල නෙලන්නට ආ ලෙච්චමී        කෙල්ල
කොටි පැටියෙක් වැදුවා දෙයියන්     පල්ල

සුළු වරිගේ තෝරා බේරා             ගන්නේ
මිෂනාරීන් උන් හට ඉගෙනුම     දෙන්නේ
මහ ජාතිය සුලුවරිගෙන් බැට        කන්නේ
හැමදා යුද ගැටුම් රට තුල ඇති   වෙන්නේ


එයයි සුද්ද රට රට වල කල       හදිය
ලංකාවටත් දුන්නා රස කර        සුදිය
සීහල පැටව් හට නෑ         අධ්‍යාපනය
කොටිපැටියාට ඇත ඉගෙනුම් අවසරය

මුදල් හදල් ඇති බොදු මව්පියො    දෙන්නා
සුද්දගෙ පාසලට පැටියව          දක්කන්නා
මිෂනාරියා වැඩ කිඩ හොඳ හැටි  පෙන්නා
කළු සුද්දෙක්ව හදලා එලියට          දුන්නා

ඉංගිරීසියෙන් කතා කරනවා කලිසම් අඳිනා           මහත්තුරු
කලිසම උඩහින් සරමක් ඇන්දා ඉංගිරිසිය බැරි      මහත්තුරු
ගිණි මද්දහනේ ටයි පටි බැඳගෙන දාඩිය දාගෙන   මහත්තුරු
සුද්දගෙ පදයට අඩිය තියනවා මේ හැම කළු සුදු    මහත්තුරු
රු 2000 සමරු කාසිය


මේ විපතින් ජාතිය ගලවා   ගන්න
ඕනේ අපේ පාසල් මෙහි අරඹන්න
හෙළ බොදු වියත් වැට එය සිතුවා ඔන්න
සීහල ගමෙත් හැදුනා පාසල මෙන්න

ගුණානන්ද හිමි තැනු පාසල්      පොකුරේ
මුල් පාසල ගුණානන්ද විය          මිතුරේ
වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ
හිමි ඉල්ලීම මත වෙනසකි ඒ       අතරේ
ආනන්දය යන නම එලෙසින්     පැතිරේ

  එදා පරන්ගියාව හිස් ලූ ලූ අත එලවූ අවි ආයුධ සන්නද්ධ යුද්ධය,පසු කාලීන ඉංගිරිසි ආණ්ඩු ක්‍රමයේදී වෙනස් මුහුණුවරකට හැරෙන්නට පටන් ගත්තා.අධ්‍යාපන අයිතිය හිමි කර ගනිමින්,හෙළ බිම වෙනුවෙන් වියතුන් බිහි කර ගැනීමේ අසීරු ,දිගු කාලීන මෙහෙවර වෙනුවෙන් පැරණි පරණවාඩිය කඳවුරු බිම වෙන් වුනා. දහනම වන සියවස අගභාගයේදී එම රණ භූමියේ හිමිකරුවා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන් එකී ජය බිම ආනන්දය ගොඩ නැගීම වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්නේ අන්න ඒ නිසාමයි. එදා පරණවාඩිය කඳවුර, යුධ මූලස්ථානය,පසුව පරණවාඩිය ගම්මානය ආනන්දය නම් වූ තක්සලා බිමක් බවට පත් වෙන්නේ ඒ විදියටයි.පරංගියා මරා දැමු මරදානක් අද තිබුනත්,පරණවාඩිය නම ඉතුරු නොවුනේ එලෙසින්.නමුත් අදටත්,පරණවාඩිය සෙන්ට්‍රල් එක විදියට ආනන්දේ කොල්ලෝ තමන්ගේ ඉස්කෝලේ හඳුන්වන්නේ හරිම ආඩම්බරෙන්.


නමින් ආනන්දේ
ගෙනෙයි ආනන්දේ
සදයි ආනන්දේ
බෙදයි ආනන්දේ..
සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක









Sunday, August 25, 2013

වැව් ඉස්මත්ත-මගේ පලවෙනි කෙටි කතාව.


  බැස යන්නේ හිරුදැයි ,නැතිනම් කැරකෙන්නේ ලොවදැයි නොදනිමි.. කෙසේ හෝ හිරු අවරට හැරී ඇති මොහොතකි.හැර යන්නේ හිරු වුවද කැරකෙන්නේ ලොව වුවද කම් නැත,කාලය වේගයෙන් ගලා යනු ඇත.ගලා යන කාලය සන්තතික වුවද,විවික්ත වුවද,එයට ගලා යාමට ඉඩ දුන්නද නොදුන්නද එය ලිස්සා යයි. ස්ථානය කපුටන් ගැවසීගත් ගංගාරාමයයි. බේරේවැව දෙසින් හමා එන පුසුඹ පසෙකලා තමන්ගේ කතිකාවතෙහි යෙදීමට උත්සහගත් දෙපළකි.ඔබත් මා සමග අසල බංකුවකින් වාඩි ගන්න. 'ඔහු' හා 'ඇය'ට නුදුරින්.



"මොකද කතා නැත්තේ?"

"කල්පනා කරනවා.."
   ඔහු ඉවත බලයි..

"මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"


"කල්පනා කරන්නද දේවල් නැත්තේ දරුවෝ"
  ප්‍රශ්නයකි, ප්‍රශ්නයකි.

අසලින් කොට කලිසමක් හැඳි මහල්ලෙක් දුවයි.කනේ ජන්ගමයකට වයර් ගසා ඇත.කට ඉංගිරිසියෙන් පොපියයි,
බඩු තුන්ඩුවක් අසාගන්නා අයුරකි.
ඔහු ද මහල්ලා දෙස බලා සිටියි.

"අපේ මිනිස්සුන්ට මක් වුනාද මන්ද.."
 ඇය ඔහු දෙසට හැරෙයි..

හ්ම්..

නිහඬතාවයකි..


"සුද්ද රට දාල ගියේ කළු සුද්දෝ ටික මෙහෙ දාල නොවෑ"
ඔහු නිහඬතාවයට සමුදෙන්න කල්පනා කළ සැටියකි.එහෙත් තවමත් දෑස් රැඳී ඇත්තේ කොහේදෝ අනන්තයක ය.

"ලඟදි මම ගියා අම්මත් එක්ක කඩේකට."
 ඈ  කතා පෙට්ටිය විවර කිරීමට සැරසෙයි.ඔහු තවමත් කල්පනාවේ නිමග්නය.


"එතනට ඇවිත් හිටියා ගෑනු කෙනෙක්.ඈත හිටිය පොඩි එකාව ලඟට ගෙන්න ගන්න කතා කළා කම් දෙයාර් කියල."

ඔහු ඇයගේ මුහුණට එබෙයි.ඇය එකී ගැහැණියට සිනාසේන්නේදැයි බැලීමට විය යුතු ය.


"දන්නා සිංහලෙන් නැතුව නොදන්නා කෙහෙල්මල් තමා මිනිස්සු කරන්නේ.මට ලඟට ගිහින් කියන්න තරම් කේන්තියක් ආවේ"..
ඇය වේගවත් වෙයි.. මුහුණේ රැඳී ඇත්තේ කේන්තියකි.ඇයද ඔහුටම දෙවෙනි නොවේ.

"හරි ඉතිං,ඕක කම් හියර් කියලම කියන්න ඕනෙද?ළමයට තේරුනා නම් කිව්වේ
ලඟට එන්නයි කියල ඒ මදෑ.."කියන්නා කෙසේ කීවද ඔහුගේ පිළිවෙල තර්ක කිරීම බව මට හැගින..


"තේරුනා නම් ඇති තමයි,ඒ වුනාට මම කියන්නේ හරියට භාෂාවක් පාවිච්චි කරන්න බැරි නම් බස නසන්න නෙවෙයි,දන්නා බාසාවක් පාවිච්චි කරන්න ඕනේ කියලයි."


"භාෂාව හරියට ජීවියෙක් වගේ ළමයෝ.ඌ පරිනාමය වෙනවා. භාෂාව පරිනාමය වෙන්නේ වැරදි කරන්න කරන්න තමයි.වැඩියෙන්ම ඉංග්‍රීසි වගේ බාසාවක්.මීට අවරුදු සීයකට කලින් බලපුවාම තිබ්බ ඉන්ගිරිසියයි දැන් තියෙන ඉංගිරිසියයි අතරේ කොච්චර වෙනස්කම් තියෙනවද?ඒ අතින් බලපුවාම සිංහල වෙනස් වෙන්නේ බොහොම හෙමින්.ඉංගිරිසි වගේ බාසාවල එකම වැරැද්ද වැඩි දෙනෙක් කරන්න කරන්න ඒ දේ හරි දේ බවට පත් වෙනෝ" ඔහු එක පයින් ඇයගේ කීමට එකඟ නොවුන සැටියකි.

"ආ යූ ගේ?" ඈ ඔහුගෙන් විමසයි.ඔහු සිනහසෙමින් ඇයගේ කොන්ඩයෙන් ඇදීමට උන් තැනින් මෑත්ව ලං වෙයි.
"යෙහ් අයෑම්! බට්, අයි මීන් ඉන් ඕල්ඩ් ඉංග්ලිෂ්.." දෙදෙනාම සිනාසෙති.



කුරුල්ලෝ ඈත අහසේ ඉගිල ගොස් එහා ඉමකින් හෝ ගොඩනැගිල්ලකින් වැසී අතරමං වෙති.යුවලක් කුඩා සිඟිත්තකු සමග හංස බෝට්ටුවකින් සවාරියක් යති. ඔවුන්ගේ මුව සිනා කැන් පල දරයි. ඈ ඒ දෙස බලා සිටින්නීය..ඒ බෝට්ටුව කෙතරම් දුරින් ඇත්දැයි ඇය සිතින් සිතනවා විය යුතුය.ඔහු තොල් විකාගෙන තවත් මනෝ ලෝකයක ය. හදිසියේම ඔහුට ඇ'දෙස බැලීමට මතක් වෙයි.



"ඇයි ඔයා කඩුවට ඔච්චර බැන බැන කඩ්ඩ මීඩියම් කරන්නේ?"

"ඇයි ඔයත් කලේ එහෙනම්?"

"ඉතින් මං අතැරියනේ ළමයෝ.."  ඔහු දිනන්නට සැරසෙයි..

"හරි ඉතින් හය අව්රුද්දක් කලේ?"

"කළා තමයි,හැබැයි දැනුමක් ගන්න. හය වසරෙන් මට හම්බුන මිස් කෙනෙක් ලස්සන කතාවක් කිව්වා.
උඹලා මගෙන් මේක ඉගෙනගනිල්ලා ළමයිනේ,කවද හරි අපේ කම ලෝකෙට පෙන්නන්න ඕන උඹලා,අන්න එදාට මේක උඹලට ඕනේ වෙනවා.
මේක අපේ බාසාව නෙවෙයි තමා.හැබැයි මේකෙන් අපේ කම ලෝකෙට ගෙනියපල්ලා.."

"ආපෝ.. ඔය පිරිමි ඉස්කෝලවල ටීචර්ස්ල ඔහොමම වෙන්නැති ළමයින්ට කතා කරන්නේ."

"එහෙම තමා,ඒ ෆිට් එකට.
අනික ඒ මිස් අපිට හරි  ආදරෙයි."

ඇගේ මුව ගොලුවෙයි.. එහෙත් ඇය සිතින් නිහඬ නැති බව ඔහු හොඳාකාරවම දන්නවා විය හැක..
ඈ ගැන මෙවැනි කවක් ලිව හැකි කෙනෙක් ඈට ලැබුනා නම්....

නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


"පැටියෝ.. මුනාද අනේ කල්පනා කලන්නේ.."
මට මහ පුදුමයක් දැනුනි.මෙවැනි පද මොහුට හුරු වුයේ කෙසේද?
එහි ලතාවක් තිබිණි. පොඩි එකෙක් හුරතල් කරන්නා මෙනි.


"හිතට මහා බරක් දැනෙනවා පණ.."
මගේ පැනයට පිළිතුර එහි තිබුණි.


"මම දන්නවා දරුවෝ,මට ඒක දැනෙනවා"

"අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි.."
"මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ,
හැබැයි ලෝකේ හොඳම යාළුවො දෙන්න අපි වෙන්න ඇති"

"මම දන්නවා වස්තුවේ,මම දරදඬු වැඩියි ඔයාට.. මට කල් දෙන්නකෝ..
මගේ වැඩ එක්ක හිත කරදරෙන් තියෙන්නේ.. ඉක්මනින් මේ දේවල් ඉවර කරන්නම්.."

ඈ ඉවත බලා ගත්තා ය.
රණවිරු  සේවා ආපන ශාලාව අසල සිටින  කුඩා දරුවෙකු දෙස ඈ ආසාවෙන් බලා සිටියි.
ඌ විටෙක වැටෙයි.හිතලාද වැටෙයි.
ඌ ඇවිදින වයසේ එකෙකි.ඇවිදින්නේ වයස නිසා නොව වැටි වැටි ඇවිද්ද නිසා ය.
පියා දුව විත් ඌ ඔසවාගෙන මව වෙත ගියේය.ඈ දරුවාට කන්න දෙයක් තෝරයි.

"මම කැමති නෑ ඔයා ගොඩක් ප්‍රසිද්ද වෙනවට,ලොකු සල්ලි කාරයෙක් වෙනවට?
ඔයා පන්නන්නේ ඒවා පස්සේ නෙමෙයි තමයි.ඒත්..
ඔයා කරන දේවල් නිසා ඒවත් වැඩිපුර එන්න ඉඩ තියෙනවා..
ඒවත් එක්ක,උවමනා කම් වැඩි වෙද්දී,තව තව මදි වෙද්දී..
ලස්සන ජිවිතයක් කියන එක අපෙන් ඈත් වෙයි.."


"මට ඕනේ සරල මිනිහෙක්..
ලොකු මිනිහෙක් නෙවේ.."


"හ්ම්ම්.."
 සුසුමක් බෙරේ වැවේ රැලි නංවමින් ඈතට ඇදී ගියේය..

"මේ බලන්න මගෙ දරුවෝ..
අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි වැඩකට..
ඒ දේත් කරන්න ඕනේ,අපේ ආසාවල් වගේම.."

"අපි මේ එන්නේ පරණ කතාවකටමයි කරූ..
බලන්න? අර ඉර බැහැගෙන යන ලස්සන?"


බේරේ වැව් රැලි තපහ් තපහ් හඬින් ගල් බැමි ඉවුරේ වදින්නට විය..
වැව් ඉවුර මත කෙතෙක් ගැටුනද,වැව කිසිදා පිටාර නොගලනු ඇත.
කිසිදා..

ඔවුහූ නැගී සිටියහ.. අත් වැල් එකිනෙක පැටලින.
ඈ ඔහුගේ උරහිස මත හිස හොවාගත්තා ය.
මම බංකුව මතම දෑස් පියාගතිමි.

මෙතෙක් වෙලා ගෙලේ එල්ලෙමින් පැවතුන ඉයර් ෆෝන් දෙක මම කණේ රුවා ගතිමි.
ගීතයක් එහි මැදින් වාදනය වමින් පැවතින.

අර ගැටුම්.. මේ නැටුම්
බත ඉදෙනකන් විතරයි..
ඔය හැඬුම්.. ඒ දෙඩුම්..
රෑ එළිවෙනකොට ඉවරයි..
තෝරාගත්තේ ඔබව මං..
ඉන්නමයි ඒ වාගේ..
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි....
ආදරෙයි...

ඔය නුවන්..මේ සවන්..අහන දකිනා ඒවා..
හොඳ හිතින්.. එක හිතින්..
කරන කියනා දේවල්..
විසදමු අතිනත් බැඳන්..ඉන්නමයි ඒ වාගේ..
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපිට අපි හරි..ආදරෙයි...

මම දෑස් විවර කලෙමි.ඔවුන් තවමත් පෙනෙන මානයේය.
ඔහු ඇයගේ බඳ වටා අතක් යැවීය.ඈ තව තවත් ලං වුවාය.
හිරව තිබූ සුසුමක් පිටකර හැරීමි.

මහල්ලා තව වටයක් මා ඉදිරිපිටින් නොනැවතී දිව ගියේය.

                                                                                         -කරූ




පසු වදන:
කණා මැදිරි එලි-අනුරාධා පෙරේරා.mp3


සිහිපත් කෙරුම:

  • මගේ අම්මා..


  • ඉංගිරිසිය කියා දුන් බොහෝ ගුරුතුමන් අතරේ ඉංගිරිසිය මොකටදැයි කියා දුන් ජයේශ්මී ගුරු මෑණියන්


  • ජිවිතයේ නුදුටු සමහර පැති ආදරෙන් පෙන්නා දුන්,සොයුරියත් මිතුරියත්,සෙවනැල්ලත් සේ ළඟ සිට,මගේ රටේ නැති වැඩ ඉවසා සිටින,  ඇය- "මල් ගී" .


:)
Related Posts Plugin for WordPress, Blogger...