Monday, November 26, 2018

කෙටිම කෙටි-තේ කෝප්පය

මා ඉපදුනේ අහසට පොළව වැනි මව් පියන් යුවලකට දාව ය. ඒ අසමානකම් අතරේ සමානකම් බොහොමයක් තිබුනද ගැලපීම් නම් නොතිබුන තරම් ය.  මව පමණක් දැක ඇති උන්ට අම්මා වගේමයි සිතෙන, පියා පමනක් දැක ඇති උන්ට අප්පච්චි වගේමයි සිතෙන, ඒ දෙදෙනාවම දැක ඇති උන්ට "අප්පච්චිගෙ මූණමයි, අම්මගේ හිනාවමයි" කියවෙන මා අරබයා ද කියන්නට ඉතිරි වන්නේ, උන් දෙදෙනා වාගේම හිතුවක්කාර, මුරණ්ඩු, ඕනෑවටත් වඩා හුදෙකලාව හුරු වුණ, සඟවාගත් මාන්නයෙන් හා අහංකාරකමින් පිරුණ චරිතයක් වන බව ය. මේවා අප අතර සමානකම් වූවාට, මේ 'සමානකම්' යනු 'ගැලපීම්' නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

තිදෙනා අතරම අනෝන්‍ය වශයෙන් තිබූ නුරුස්සනාකම් අතරේ, අප එකතු කල එකම එක දෙයක් වූයේ නම් ඒ තේ බොන වෙලාව ය. තේ හදන්නේ අප්පච්චී ය. පර්ෆෙක්ශනිස්ට් චරිතයක් වූ ඔහුගේ තේ එක ද, අම්මා ඔහු ගැන ඒ කාලයේ පටන්ම අගය කල කරණා අතරින් එකකි. එක්තරා හැන්දෑවක තිබූ නිහැඬියාවක් සුසුමකින් බිඳ දමමින් "ආයේ ඒ තේ එක බොන්න හම්බෙන්නෙ නෑ" යන වචන අම්මාගෙන් පිට වූයේ අප්පච්චී මියගිය අලුතම ය. සැබවි, ඒ තේ කෝප්පයේ රහ අම්මාගේ තේ කෝප්පයේ නම් ගෑවිලා වත් නොතිබූ බවට මම ද සාක්ෂ්‍ය දරමි.

උන් දෙදෙනාම වෘත්තියෙන් ද තේවලට අදාල ය. තේ වගාවේ කෘෂිකාර්මික අංශය කලක් අම්මාගේ වෘත්තිමය විෂය ය. තේ වැනි වැවිලි බෝගවල ආර්ථිකය විශ්‍රාම යන තුරුම අප්පච්චීගේ විෂය ය.  උන් දෙදෙනා මෙන් නොව තේවලට කොහෙත්ම අදාල නැති මගේ තේ කෝප්පය, උන් දෙදෙනාගේම තේ කෝප්පවලට වඩා මට නම් රස ය. මගේ තේ කෝප්පයේ රස මෑතක් වන තුරුම මා අත්වින්දේ තනිවම ය. "අප්පච්චිගේ තේ එක වගේමයි" මේ දිනක් මගේ අතින් හැදූ තේ කෝප්පයක රස බැලූ අම්මාගේ වචන ය. දැන් ඈ ගෙදරට එන සියල්ලන්ටම පුන-පුනා පුතාගේ අතින් තේ එකක් බී යන්නට ආරාධනා කරන්නී ය.

උන් දෙදෙනාගේම තේ එකට වඩා මා හදන තේ කෝප්පය රස වෙන්නට ඕනෑ බව ඇත්ත ය. මා ආදරය උගත්තේ ද ඔවුන් දෙදෙනාගෙනි. ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන් නොකල සැමදේ, ඔවුන් දෙදෙනා තුලින් මම නොදුටු සැම දේ එකතු කොට සඟල වරහනක් යොදා මම ඊට ආදරය යැයි නම තැබීමි. එලෙසින්ම ඔවුන් දෙදෙනාගේම තේ කෝප්පවල මා දුටු සුලු හෝ අඩුපාඩු බොහොමයක් එක්ව අහෝසි වී, මගේ තේ කෝප්පය රසවත් කරන්නට ඇතැයි මම කල්පනා කරමි.

මම අද යලිත් මගේ ප්‍රථම පෙම්වතියගේ නිවසට ගොඩ වැදීමි. විවාහ ගිවිසගෙන සිටි ඇය වෙනදාටත් වඩා රූබර බව මගේ ඇස්වලට සැඟවිය නොහැකි විය. ඇයත්, ඇගේ මවත් හා සුහද කතා බහ අතරතුර "වීවා දාලා තේ එකක් හදන්න ද" යැයි ඇය ඇසූ විට මම හිස සැලීමි. ඈ තේ කෝප්පය මා අත තැබුවා ය. "මම තේ හදන්න දන්නෙ නෑ අනේ", ඇය කීවාට ඇගේ තේ කෝප්පයේ රසය මට නිසි පිලිතුරු ලබා දී තිබිණ. ඉඳ හිට මිස, ඒ අතින් හැදූ තේ හැමදාම බොන්නට මට ඇති පිනක් නැති බව මම දැන සිටීමි. "ඔයාට ඔයාවම නැති වෙලා බී", නිහඬවම තේ කෝප්පයට පිඹිමින් සිටි මා දෙස බලා හුන් ඈ තෙපලා ය. මින් වසර හතරකට පෙර ද වරක් ඒ වචන ටිකම ඇය මට කී බව මතක ය. උරහිස තෙක් වැවුනු නොපීරූ කොන්ඩයත්, හීන්දෑරි ශරීරයේ ප්‍රමාණයට නොගැලපෙන ඇඳුම් පැලඳුමුත් දෙස ඇය එදා සුසුම්ලමින් බලා හුන් බව මට මතක ය.  මෙදා නම් මගේ එවන් විපරීත පෙනුමක් නැත. කොන්ඩය කොටට කපා පිලිවෙලකට හැඳ පැලඳ සිටියත්, තවමත් මේ ඉන්නේ ඈ පෙම් කල නව යොවුන් තරුණයාගේ දිලිසෙන ඇස්වල අහලකටවත් පැමිනිය නොහැකි, අකලට වියපත් වූ බමුණු ආත්මයක් බව ඈ තවමත් හොඳාකාරවම දැන සිටියා ය.

නමුත් ඉන් පසු මා අලු හලා දමමින් නැගිටින අයුරු බලා සිටියා ය. බිඳී තැන තැන හැර දමා ආ මගේ ආත්මයේ කැබලි යලි එක් වී යලිත් මා ෆීනික්ස් කුරුල්ලෙකු සේ පිබිදී නැවත ජීවිතය සොයනු ඈ දුටුවා ය. මා වචනයෙන් නොකීව ද මගේ සෑම වෙනසක්ම, ඉරියව්වක්ම, සෑම පියවරක්ම ඈ හොඳින් බලා සිටියා ය. ඉතින් මා සොයා යන නව හිමිකානිනියකට ඉත සිතින් මා පුදා ඈ කරබාගත්තා ය. සුබ පැතුවා ය, ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්නා ය. එලෙසින්ම මා යලිත් වරක් බිඳ වැටෙනු ද මෑතක සිට ඇයට බලා සිටින්නට සිදු විය. ඇගේ නිහැඬියාව ද මගේ සිතිවිලි ද අතරේ අතරමංව මම තවමත් තේ කෝප්පය තොල ගාමින් සිටියෙමි.

"ගිය අවුරුද්දෙ තිසර මාව දාලා යනකොට, මාවත් ගොඩක් වැටුණා බී" ඈ කියන්නට වූවා ය. "එයා ගිය එකටත් වඩා, ඒ වෙලාවේ ඔයාගෙන් අහන්න ආස වුන වචන, සමහර උත්තර නොලැබුනාමයි මම වැටුනේ" ඈ ඉවත බලාගෙන තෙපලන්න වූවා ය. අහක බලාගෙන සිටි මම මොහොතකින් ඇයගේ ඇස්දෙකට එබී නිරුත්තර වුනෙමි. "ඔයා මගෙන් අහන්න බලාපොරොත්තු වුන වචන, මම නොදැන උන්නා නෙවෙයි"  මම දිගු නිහැඬියාවක් බින්දෙමි.

උදෑසනම මා වෙනුවෙන් තේ කෝප්පයක් හැදෙන අතරේ පසුපසින් ගොස් තේ සදන්නියව වැළඳගත් අතීතයක් මට හිමි ය. උදෑසන මා තේ හදද්දී පසුපසින් පැමිණ මට ලැබුනු හාදු මට මතක ය. කණගාටුව, ඒ හාදු සහ වැළඳ ගැනීම්වල හිමිකාරිනියන් එකිනෙකට වෙනස් අයවලුන් වීම ය. නමුත් මට ඒ හැම තේ කෝප්පයකම රසය වෙන වෙනම හොඳ හැටි මතක ය.

"She is my cup of tea, though it's too cold now". මම මටම කියාගතිමි. සැඳෑ අඳුර ගලා එන වෙලාවේ මම ඇයගෙන් සමුගතිමි.

"අවුරුදු දහයක් ගිහිල්ලත්, කොයි දේටත් තාම අපිට ඉන්නෙ අපි විතරයි බී"

නිවසට පැමින හුදෙකලාවේ කලු තිත්ත කෝපි කෝප්පයක් තොල ගාන අතරේදී ඇයගෙන් ලැබුණූ කෙටි පණිවිඩය දෙස මම ඔහේ බලා සිටියෙමි.

-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

Wednesday, September 26, 2018

හුදෙකලා වලාකුළක්ව...


වලාකුළක් වී හුදෙකලාවෙම
ඉබාගාතේ ඔහේ පාවෙමි
කඳු හෙල්  මහ නිම්න අද්දර
සැලෙන කහවන් පියුම් නරඹමි
විසල් විල්තෙර තුරු මුදුන් යට
පවනෙ නැළවෙන පියුම් දකිනෙමි

සියක් දහසක් එකම තාලෙට
පවනෙ නැළවෙන සැටි දකින්නෙමි
අනන්තය තෙක් නිමක් නොම වී
 මල් පිපි හැඩ බලා ඉන්නෙමි
අහස් ගඟුලේ දිස්න දෙන පොඩි
තාරුකා කැට සිහි කරන්නෙමි

පියුම් යායේ තනුව කැටිකර
දිස්න දෙන දිය රැළි බලා ඉමි
කුමන කවියාද එවන් දසුනට
සිතින් මත් නොම වෙන්නෙ සිතනෙමි
ඉතින් නිම් නැති වටින ධනයක්
ලෙසින්  දෙස බලා සිටිනෙමි

දිනෙක නොනිදා අවදියෙන් මා
කල්පනාවෙන් බරව යනු ඇති
එදින යළි මම අසනි සැරයෙන්
මෙකී මොහොතට නැවත පැමිණෙමි
හද අරක් ගත් හුදෙකලාවට
සතුටු සුසුමක් සෙමින් පිඹීනෙමි
සුසුම් සරයේ නදට යාවී
 මල් හා ගී ගයා සැනසෙමි

William Wordsworth කවියාගේ I Wandered Lonely as a Cloud හී සිංහල අනුවාදයකි.
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.
26.09.2018

Thursday, September 6, 2018

“සන්තාන සුසුම..”

සරත්චන්ද්‍රගේම “වලේ දී” සරත්චන්ද්‍රගේම මනමේට තමන්ගේම කඩුව අහිමිවෙලා යනවා නම් මේ ඉන්න අපට මොනවා වුනාම මොකද? හැබැයි එහෙම හිතනකොට අපට මග ඇරෙන එක දෙයක් තියෙනවා. මනමේගේ විතරක් නෙවේ, මනමේගේ කඩුව ඩැහැගන්න වැදිරජාගේත් අයිතිය තියෙන්නේ සරත්චන්ද්‍රටමයි. වැදිරජා වගේම මනමේත් රඟන්නේ සරත්චන්ද්‍රගේම වලේ, එහෙම බැලුවොත් අන්තිමට කතාවේ වීරයා මනමේවත් වැදිරජාවත් නෙවේ, සරත්චන්ද්‍ර.
අපි රඟන මේ වේදිකාව අනුන්ගේ වේදිකාවක්. උඩ ඉන්න එකාට අයිති මේ වේදිකාවේ අපි නළුවෝ විතරයි, ශේක්ස්පියර් කිව්වේ එහෙම. අනුන් හදපු වේදිකාවකදී පාර්ශවයක් ජයග්‍රාහී වීරයෝ වෙන අතරේ, පාර්ශවයක් දුෂ්ටයෝ හෝ පරාජිත විරහවන්තයන් වීම ලෝකයේ ඕනෑම කියූ-නොකියූ ආදර කතාවක ගතයුත්තක් ඉතුරුවෙන එකම සාරාංශය වෙන්න පුළුවන්. බොහොමයක් එහෙම කතාවල වටිනාකමක් ඉතුරු වෙන්නේ ඒ කතාවේ හිටපු චරිත ටිකට විතරයි. එතනින් එහාට, ගොඩක් දෙනාට තමන්ගේ කරගන්න පුළුවන් කතාන්දර අඩුයි. “සන්තාන සුසුම” අපට හම්බෙන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ කරගන්න පුළුවන් කතාවක් විදියට..
කවුරු හරි කෙනෙක් මල් වීදි අතරේ හැංගිලා ගිය තමන්ගේ හාදු තාම තියෙනවාද කියලා ආයේ හොයන දවසක, ඒ හාදුවලට හෙවන දුන්න තුරුහිස් තව අඟල්-අඩි ගණනින් උස්වෙලා ගිහින් කියලා දකින්න ලැබේවි. සමහරවිට ඒ මල් වීදි අතරේ හුළඟට ගහගෙන ගිය හාදු තවමත් ඇති, ඒ වුනත් සමහර වටිනාම හාදු හුළගේ ගිය පාරවල්වල අපි ආපහු සැරිසරන්න යන්නේ නෑ. එහෙම නොයන්න හේතුව විදියට අපි ගොඩක් වෙලාවට කියන්නේ “ආයේ ඒ පැත්තේ යන්න හයියක් නෑ ” වගේ බොරු රෝමාන්තික හේතු, ඒත් ඇත්ත හේතුව ඒක නෙවෙයි. ඒ ඒ තැන්වල අපි හදලා එන්නේ දේවාල, ඒ තමා පරාජිත ප්‍රේම කතාවල නමින් අපි ඒ ඒ තැන්වල හදලා ආපු දේවාල. ඒ තැන්වලට ආයේ නොයා ඉඳීමෙන් අපි කරන්නේ ඒ දේවාලවලට දෙන්න පුළුවන් ඉහලම වටිනාකම ලැබෙන පූජාවක් සිද්ධ කරන එක. ආපහු එක දවසක් ඒ ඉසව්වක ඇවිදලා එන්න ගියෝතින්, ඒ හදලා ආපු දේවාල පොඩිපට්ටම් කරලා එන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අපි ඒකට බයයි, සමහරවිට වැල්පාලම හෙලවිලා අපිව තිගස්සලා බලන්නේ අපි ඒකට තාම බයද කියලා වෙන්න පුළුවන්.
හෙට උඹ, මම, අපි කවුරු උන්නත් නොඋන්නත් අහසේ නැගෙනහිර පැත්තෙන් මේ ලෝකෙට ඉර පායනවා. එතනින් එහාට, අපි ආගිය තැන්වල ගංගා ගලනවද, මල් පිපෙනවද කියන්නේ අවශේෂ කාරනා විතරයි. හෙට හමන හුළඟ සන්තාපයේ සුසුමක් ද, නැත්තම් තෘප්තකර මද පවනක් වෙනවද කියන එක අපි එකාගෙන් එකාට වෙනස් වෙන කාරනා. හැබැයි ඔය සම්පූර්ණ පින්තූරේ ඇතුලේ අහුවෙන අපි කාටත් පොදු වෙච්ච පුංචි පුංචි අංශුමාත්‍රීය තැන් ටිකක් අරගෙන නුවන් ලියනගේ කියලා කෙනෙක් අතින් හරි අපූරුවට ලියවුන ගීතයක්, “සන්තාන සුසුම්” අහල බලන්න.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හමුවා

මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ළගදි මනමේ හැඩුවා

ඒ මතක සියලු සගවා
මහවැලිය ඔහේ ගැලුවා


පද රචනය නුවන් ජූඩ් ලියනගේ

https://www.youtube.com/watch?v=JKKMiNL46s4

Monday, July 2, 2018

කෙටිම කෙටි - තැඹිලි පාට මතක

නුහුරු තැනකට ගිය විටදී මගේ පුරුද්ද හැකිතාක් වචන ගනුදෙනු අනුන්ගේ පිටේ ගසා ගොළුවෙකු සේ කරබාගෙන බලා සිටීම . නමුත් මා සමග සිටින අනිකා මිනිස්සුන්ගේ මූණක් බලා කතා නොකරන මා වැනිම අහන්කාර ගල්බමුණෙකු වූ විට ක්ෂණිකවම තත්ත්වය සියතට ගෙන, කට කණේ ගිය සිනාවන් පා වෘත්තීය මට්ටමේ කතා කාරයෙකු වී වටපිටාවේ තත්ත්වය පාලනය කර ගැනීම මගේ පුරුද්ද . එවැනි "ටෝක් කිරීමේ" සහ "ටෝක් දීමේ" උපන් හැකියාවක් තිබුනද බොහෝවිට එය කම්මැලි වැඩකි!


සාමාන්‍යයෙන් මා ආගිය විස්තර කතා කරන්නේ කතා කරන්නට වෙන දෙයක් ඇත්තෙම නැති වෙලාවක කතා කරන්නට සිද්ධ වූ විට . ඇල්ලපුංචි සිරීපාද කන්ද මුදුනේදී මේ තැඹිලි මාමාව හම්බුනේ මා ඔහේ බිම තණකොළ ගොල්ලක් උඩ ඇලවී හොඳ ඇලට් එකක් ගහගෙන උන් වාගේ වෙලාවක .

මාමා කියන හැටියට උපන්ගම කුරුණෑගල පැත්තේ . බණ්ඩාරවෙලට පැන විත් තිබුණේ අසූ තුනේ ජූලි කලබල කාලයේ වන අතර දැන් කුරුණෑගලට යන හැටි මතක නෑ ලු .එකසිය පනහටත්, සීයටත් විකුණන සියලුම තැඹිලි මිලට ගන්නේ අසූව ගානේ එකම මිලකට ලු . කන්ද උඩට වරකට ගෙඩි විස්සක් තමන් , ගෙඩි හතළිහක් ගෝලයෙකු උස්සාගෙන එනවාලු . අන්සබාගේ නොහැදුණා නම් තමන්ටත් හතළිහක් උස්සාගෙන එන්න තිබ්බා ලු . පැත්ත පළාතේ ලේසියෙන් හොයන්නට නැති තැඹිලි මාතරින් ගෙනවිත් කන්ද උඩ තබාගෙන විකුණන වෙළඳාම සරු ලු . මාතර ඉඳන් ඇල්ලේ කන්ද මුදුනකට තැඹිලි ගෙනවිත් ලැබෙන ලාබයෙන් ළමයි දෙන්නෙකුම ඉස්කෝලේ යනවාලු . තැඹිලි කෝම්බ පලා,කපා වළලන්නට අවසර දී ඇතත් සියල්ල හවසට කන්ද පහලට ගෙන යනවාලු .

ෆොටෝව ගන්න උවමනා වුණේ හොරෙන් වාගේ වුනත්, ෆොටෝව ගන්නවා දකින විට අත්දෙක සරමෙන් පිසදාගෙන කැමරාවට මුහුණ දුන්නේ මේ විදියට . වසරකට පමණ පෙර රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වූ මගේ කකුල නුහුරට තබමින් මා නොන්ඩි ගසනවා  දැක,  සමුදෙන  මොහොතේදී  ගැන මගෙන් විමසු විට මා කීවේ කන්ද පහලදී කකුල පෙරලුන බව .




Thursday, June 21, 2018

කෙටිම කෙටි-ප්ලේන්ටි සහ අමරිකානෝ



බැරිස්ටා හරි කොහෝ හරි ගිහින් කපචිනෝ එකක් අමරිකානෝ එකක් ගහන එක ආතල් එකක් නෑ කියල මොකෙක් හරි කියනවා නම් ඒක මහා කුප්ප මෝඩ කතාවක්. ගම්ගොඩක ලෑලි බංකුවක ඉඳන් ප්ලේන්ටියක් ගහන එක ඊට වඩා ආතල් කියලා කියනවා නම් ඒකත් ඉතින් ඊට නොදෙවෙනි ගොන් කතාවක්. (එහෙම කියනවා නම් ඒක ඉතින් ඔය බුකි පේජ් කාරයෙක් ලයික් ටිකක් ලයින් කරගන්න කියන කතාවක් තමයි)

හොඳ දේශීය මල් වට්ටියකට අත ගහලා චන්ද්‍රගත වෙලා, පාවෙලා වගේ හොඳ කොෆි ෂොප් එකකට ගිහින් අර සීනි පැකට් ඔක්කොම කලවම් කරලා අමරිකානෝ එකක් ගගහා, පැය දොළහක් විතර ගත වෙන්න ඇති කියලා හිතෙන පැය දෙකක් ගත කරන එක වෙනම ආතල් එකක්. (මම මේ නීති විරෝධී දේවල් ප්‍රමෝට් කරනවා නෙවේ) වගේම, හොඳ කට්ටක් කාලා, බංකුවට බර වුන ගමන් ඇඟේ පතේ අමාරු ඔක්කොම නිදහස් වෙලා යන උගුරේ පතුලෙන්ම එන ආආහ්හ්ර්ර්හ්හ් සද්දයක් එක්ක, "ප්ලේන්ටියක් දාන්ඩ මාමා" කියලා ප්ලේන්ටියක් ඕඩර් කරලා, හොඳට පැද්දී පැද්දී ප්ලේන්ටිය ගහන එක වෙනම ආතල් එකක්.. සසදන්න බැරි, අසමසම, එකකට වඩා අනික හොඳයි කියන්න බැරි එකිනෙකට වෙනස් සුපිරිම අත්දැකීම් දෙකක් තමයි .

දෙමෝදර ආරුක්කු නවයේ පාලමට කිලෝමීටරයක් මෙහා කාර් පාක් එක තියෙන්නේ ඇයි කියන කාරනාව මොලේට ප්‍රොසෙස් වෙන්න චුට්ටක් පරක්කු වුන නිසා, බ්‍රේක් උණු වෙලා වැක්කෙරෙන්න ඉඩ තිබ්බ අංශක හැත්තෑවක අසූවක කන්දේ වංගු කීපයක්ම බයික් එක ඇදලා, ප්‍රපාතේ දැක්කම පණ එපා වෙලා බයික් එක ලගේජ් එකත් එක්කම කැලයක් අස්සේ ගහලා,පාලම බලලා ඇවිල්ලා බයික් එකත් කන්ද පහලට බාගෙන, හොඳ පණ ගිහින් උන්න වෙලාවක මගේ ගමන් සගයා ගහපු ප්ලේන්ටිය තමයි මේ.

ඒක අර මුලින් කිව්ව ආතල් දෙකටම වඩා වෙනස්,වෙනමම ආතල් එකක්!


Related Posts Plugin for WordPress, Blogger...