Saturday, June 6, 2015

එන්න! හදවතේ පිපෙන මල් බලන්න එන්න!!

ඉහත සේයාරුව
අදාළ හිමිකරුවා සතුයි
සුගිය දිනක රැකියා ස්ථානයෙන් ලැබුණු හදිසි ඇමතුමක් මත දෙයියනේ කියා නිවසේ රැදී සිටි උදේ වරුවෙම නැවතත් රොස්මීඩ් පෙදෙසේ කාර්යාලය වෙතට මම ඇදුනෙමි. අවශ්‍ය වූ ලිය කියවිලි ගොන්න කාර්යාලය වෙත බාර දුන් පසුව සවස් යාමයේ මගේ පැරණි පාසල් මිතුරෙකු හමු වී කොළඹ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගියේ මාස හයකින් පමණ හමු නොවූ මගේ ඒ අතිජාත මිතුරා සමග කතා බහ කරගන්නට දහසකුත් එකක් කාරණා තිබූ නිසා ය. ඔය අතරේම මගේ තවත් මිත්‍රයෙකුගේ ඇරයුමක් නිසා, සවස නිවසට ඒම පසෙකලා රාජකීය විද්‍යාලය අසලින් 122 අවිස්සාවේල්ල  බස් රථයක මා එල්ලී ගත්තේ එකී මිතුරාගේ නිවසට ගොස් තවත් අපූරු කටයුත්තකට අත ගසන්නට ය. හදිසියේ ලැබුණු ඒ ආරාධනාව මත යොදා ගත් ඒ ගමන,මන කළඹන අත්දැකීම් ගොන්නක් මා වෙත ගෙන ඒම සඳහා ලැබුනක් බව මගේ තුන් හිතකවත් අදහසක් නොවී ය!




සංගීතය පිලිබඳ කතිකාචාර්යවරයෙකු සහ ගත් කතුවරයෙකු වන මගේ මිතුරාගේ පියා සමග, එතුමන්ගේ මීළඟ පොත වෙනුවෙන් සරල ගී රචනයක යෙදෙන්නට මමත්, මගේ මිතුරන් දෙදෙනෙකුත් එදා රාත්‍රිය වෙනුවෙන් එක් රැස් වී සිටියෙමු. පසුදා පාන්දර දෙක තුන වන තුරුම කුඩා දරුවන්ගේ මනසට උචිත අයුරින් සංකල්පනා ගොඩ නගන්නටත්, පොතේ අරමුණුවලට උචිත පරිදී වචන හරඹ කොට ඒවා ගොඩනගන්නට ලැබීමත්, එතුමන්ගේ අදහස් සහ නිර්මාණවලට සවන් දෙමින් අගනා කාලයක් ගත කිරීමටත් ලැබීමත් තුලින් අපට කාලය ඉගිලී යනු පිලිබඳ හැගීමකුදු නොවී ය.

කුඩා ළමුන්-ගේ කවි ලියන්නේ කුඩා ළමුන් ය. නමුත්, "කුඩා ළමුන්-ට" කවි සින්දු ලියන්නට නම් එසේ මෙසේ ජගතෙකුට  බැරි බව යම් වෙලාවක් ගත වෙද්දී මම වටහා ගතිමි. කුඩා ළමුන් වෙනුවෙන් නිර්මාණ කිරීමට කුඩා ළමයෙකුගේ මට්ටමට "බැසිය යුතු" බව කෙනෙක් සිතනවා නම්,එහි "බැසිය යුතු" යන යෙදුමේ යම්කිසි වරදක් තිබේ. වැඩිහිටි සංකල්ප සහ වැඩිහිටි පරිසරයේ සිටින, වැඩිහිටි කෙනෙකු, කුඩා ළමුන් වෙනුවෙන් යම් නිර්මාණකරණයක යෙදෙනවා නම්, ඔහු තමන්ගේ සිතිවිලි මට්ටම සීරු මාරු කර ගත යුත්තේ පහලට නොව ඉහලට බව මම වටහා ගතිමි. කුඩා දරුවන්ගේ සිතිවිලි තුල සැරිසරමින්, ඔවුන් වෙනුවෙන් ඔවුනගේ ලොවට උචිත සංකල්ප ඉදිරිපත් කරමින්, වැඩිහිටි සමාජය තුලදී කාබාසිනියාවට ලක් වූ වැඩිහිටි සංකල්ප මග හැර ගනිමින් හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබීම මා ලැබූ හොඳ මානසික අභ්‍යාසයක් විය.



ම'මිතුරාගේ සෙල්ෆිය!

නොදන්වාම ඉගිලී ගිය කාලයෙන් පසුව මගේ මිත්‍රයාගේ ශබ්දාගාරය තුලට ගොස් බිම එලා තිබුන කලාල මත වැතිර සිනමා සිත්තමකින් සන්තර්පණය වී නැවත එලියට පැමිණ නින්දට යන විට උදෑසන හය ද පසු වී තිබිණ. නැවත දහවල් එකොළහට පමණ දෙයියනේ කියා නැගිටගත් මාත් මගේ මිතුරාත් හනික හැඳ-පැළඳ ගත්තේ මා තබා ඔහුද හරි හැටි විස්තරයක් නොදැන සිටි ගමනක් වෙනුවෙන් ය. පොසොන් පොහෝ දිනය වූ එදා ළමා නිවාසයක සිදු වන යම් කටයුත්තක් පිළිබඳව සහබාගී වන ලෙස ම'මිතුරාට ලැබී තිබූ ඇරයුම වෙනුවෙන් ඔහු ද ගිටාරයක් පිටේ එල්ලාගෙන මමද කැමරා ආම්පන්න සූදානම් කරගෙන මොටෝ බයික් එකේ නැගී පාදුක්ක මලගල ප්‍රදේශයට පිටත් වීමු.

ගමන පුරාවට "ළමා නිවාසයක්" පිලිබඳ අදහසක් වූවත් ස්ථානයට ලඟා වී ගත් පසුව අප දෙදෙනාම දැනගත්තේ ඒ බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවූ "මන්දුල නිවස" නම් පුණ්‍ය ආයතනයක් බව ය.2005 වසරේ ආදී-නාලන්දීයයන් කණ්ඩායමක් විසින් පිටිටවූ බව කියැවෙන පුවරුවක් ද එහි දැක්විණි. නොහඳුනන මුහුණු රැසක් සමගින් දන්නා එකම මුහුණ වූ මගේ මිත්‍රයා සමග එහි රැස්ව සිටි තරුණ තරුණියන් සමග හෙමි හෙමින් මම කුළුපග වීමි.






පොසොන් පොහෝ දා සූදානම් වී තිබූ ඒ කටයුත්ත ගැන මගේ ප්‍රසාදයට පත් කාරනා බොහොමයකි. පිටස්තරයෙකු වශයෙන් හෝ එම කටයුත්ත වෙත අවසන් මොහොතේ සම්බන්ධ වූ කෙනෙකු වශයෙන් මට දැනී ගිය ප්‍රධානම වැදගත් කාරණය නම්, වර්තමානයේ මෙවැනි කටයුත්තක් සංවිධානය වද්දී වැඩි අවධානයක් යොමු වන රටට අඬබෙර ගැසීමත්, බුකියේ අත ඇරීම සඳහා ෆොටෝ ගැනීමට හොම්බ දිග කැමරා ආදිය  සූදානම් කිරීම් ආදිය පිලිබඳ කිසිදු අවධානයක් වෙන් කර නොමැති වීමත් ය. බොහෝ විට වත්මනෙහි සිදු වන්නේ අදාළ කටයුත්ත සරුසාර කර ගැනීම වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට පෙරාතුවම ෆොටෝ ගහන්නට කැමරාමන් කෙනෙක් සොයා ගැනීමත්, ඒ පිළිබඳව විශාල මුදලක් වෙන් කිරීමත් වැනි හිස් අරමුණු වෙනුවෙන් ය. ජීවිතයේ සිහිවටනයක් වශයෙන් ඡායාරූප ළඟ තබා ගැනීම අනාගතයේ සොඳුරු මතක ආවර්ජනයකට මග කීවත්, අද පත්ව ඇති තත්වය නම් එකී මූලික අරමුණින් ඉතා බැහැරව ගොස් තිබේ. පුහු ආටෝප නොමැතිව, එහි නිවැසි බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට සහ සැප පහසුව වෙනුවෙන් මිස, අනවශ්‍ය කිසිදු දෙයක් වෙනුවෙන් මුදල් වැය කොට නොතිබීම බාහිර පුද්ගලයෙකු වශයෙන් මගේ ප්‍රසාදයටත් ප්‍රීතියටත් හේතු වූ බව මේ සටහන තබන මොහොතේ නොකියාම බැරි ය.











අපි ඔවුන් සමග කතා බහ කළෙමු, කෑමෙන් බීමෙන් සංග්‍රහ කළෙමු, ඔවුන් සමග ගී ගයමින් නටමින් විනෝද වුනෙමු,ඔවුන් සමග සහ සම්බන්ධ වූ සවස් යාමය ඉතා සන්තුෂ්ටිජනක සැදෑවක් වූ බව ඒ කාගේත් හදවත සාක්ෂි දරනු ඇති.





අවසන් වශයෙන් මුත්, සඳහන් කල යුතුම වැදගත් කරුණ අනෙකකි.ඒ මෙකී ආයතනයේ යට ගියාව සහ අරමුණ පිලිබඳව ය.මන්දුල නිවස පිහිටුවාලීමට කටයුතු කර ඇත්තේ 2005 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදී සිසුන් සහ මෙවැනි දරුවන්ගේ දෙමාපියන් එක්ව පිහිටුවාගත් මන්සහන සංවිධානය තුලිනි.එහිදී මේ දරුවනට රැකවරණය ලබා දෙන්නේ, එවැනිම දරුවෙකුගේ දෙමාපිය දෙපලක් වීම විශේෂිත කරුණකි. මේ පුණ්‍යායතනය පිහිටුවා පවත්වාගැනීමේ ඔවුන් තුල පවතින එකම අරමුණ වන්නේ සසර උපදින කිසිදු භවයක මෙවැනි වේදනාවකට ලක් වීමට නොලැබේවා යන අහිංසක පැතුම යි. තම දරුවාගේ රැකවරණය වෙනුවෙන් සොයා ගිය ආයතනවල ඔවුන් සියසින් දුටු තත්ත්වය හේතුවෙන්ම, අද ඔවුන් දෙපල තම දෑතින්ම මෙවැනි දරුවන් රැසක් සෙනෙහසින් රැකබලා ගැනීම ප්‍රශංසනීය ය. 

ඔවුන්ගේ අරමුණ සහ ඉලක්ක වන්නේ බුද්ධිමය ඌණතා සහිත දරුවන් සඳහා පූර්ණ කාලීන නිවෙස්නක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ සෞඛ්ය තත්ත්ව අනුව අවශ්‍ය පහසුකම් වෛද්‍ය අවධානය ලබා දෙමින් ඔවුන්ව දිගු කාලීනව රැක බලා ගැනීම ය. ඒ අතර වාරයේම ඔවුන්ගේ ශක්‍යතා හඳුනාගෙන පුහුණු වැඩසටහන්ද මේ ආයතනය තුල ක්‍රියාත්මක ය. ඔවුනගේ අතින් හැඩ වූ නොයෙක් අත්කම් විස්කම් ඔබට එහිදී දැක බලාගැනීම තුලින් විස්මය මුසු හැඬුම් කඳුළු නැගෙනු ඇති බව මට විශ්වාස ය.

ඔබත් මෙවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙක් වන්නට පුළුවන, එසේත් නැති නම් එවැනි දෙපලක් ඔබේ හිතවතුන් අතරෙ හෝ සිටිනවා වන්නට පුළුවන. මන්දුල නිවසේ මේ ආරාධනය, ඒ වේදනාව දන්නා ඔබගේ සියතින්ම, මේ පුණ්‍යායතනයේ කටයුතුවලට සහභාගීවන ලෙස ය. මුදල වෙනුවෙන් වේතනයක් වෙනුවෙන් එහි සේවයට කෙනෙක් ලබා ගන්නවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් සෙනෙහස දිය හැකි දෑත් ඔවුන් පතන්නේ එබැවිනි. එසේ නොවුනත් ඔබට ඔවුන් වෙනුවෙන් කල හැකි දේ බොහොමයක් තිබෙන්නට හැකි බව මට විශ්වාස ය.



ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා,

මන්සහන සංවිධානය
නොම්බර 100/A
කහවල, පාදුක්ක.

දුරකථන/ෆැක්ස් 0112830250
විද්‍යුත් ලිපිනය : mansahana_sl@yahoo.com



2 comments:

  1. ඔවුනුත් මේ සමාජයේ කොටස්කරුවෝ,තනිකරන්න හෝ දමා යන්න බැහැ ඔවුන්ව අතරමග.ඔවුන් වෙනුවෙන් ඔබ පිරිස කල දේ අගයමු.

    ReplyDelete
  2. ඒ කියමන නම් හරි අගෙයි මනෝජ්, ස්තුතියි..

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...