Tuesday, February 9, 2016

බ්‍රේක් අප් වීමෙන් පසු..


"උඹව නොලැබුනොත් මං මැරෙනව, මට වෙන කවුරුත් ඕනෙ නෑ, උඹයි මගේ පණ"

මෙහෙම කිව්ව උන් අපි නැතුව මළා නම් අද උනුත් නෑ, මේ අපිත් නෑ මචං!

ඉතිං එහෙම කියන එක මේ සර්වපිත්තල ලෝකෙ වෙට්ටපිත්තල කතාවක් ද? අපෝ නෑ. ඇයිද කියලා කිව්වොත් ඕනම කෙනෙක් ඔය ටෝක් එක අනේක ස්වරූපවලින් එකෙක්ට දෙන්නෙක්ට වඩා වුණත් දීල තියෙනවා..


හැමෝටම තමන් ගැන කියන්න තියෙන කතාව එකෙක්ගෙන් අනිත් එකාට මාර වෙනස්.. 

කෙනෙක් කියයි මං අවුරුදු ගාණක් යාලු වෙලා උන්න කෙල්ල මචං ඔය කියල, තව එකෙක් කියයි මං කවදාවත් වචනෙකින්වත් වැරැද්දක් කරල නැති කොල්ලයි මට නැති උනේ කියල..

ඉතිං විශ්වාස කරනවා නම් කරන්න, පණට පණ දීගෙන ඉඳපු කාලේ, සමහරවිට උඹ බඩ පුරවගන්න උන්නු දෙයින් ඒ කෙල්ලගෙ කොල්ලගෙ බඩ පුරවපු බව කියවෙන කතන්දරවල ඉඳන් උඹ පදින්න ආසාවෙන් උන්නු රෝද හතර උඹටවත් නැතුව කෙල්ලට අරං දීපු කතන්දර දක්වා අති විශාල කතන්දර තොගයක්ම මේ ලෝකේ රෝල් වෙනවා.  ඉතිං ඒ අතරේ උඹේ කතාවත් තව එකක් විතරයි මචං..

ඉතිං ඒ වගේ නාටකයක චරිතයක් නම්, "උඹ නැත්තම් මං මැරෙනවා" මට්ටමේ ප්‍රකාශ සමහර පුද්ගල චරිතවලට සාමාන්‍යයි.

හැබැයි කෙලවුනොත් එතනින් එහාටත් දෙන්නටම ජීවිතයක් තියෙන්න ඕනෙ. මතක තියා ගනින් මචං..

නිකං හිතපං, ඔන්න ලව් එකට කෙලවෙනව. තරහ වෙනවා, ඉතිං මාස ගාණකටවත් කොහේ ඉන්නවදවත් අදහසක් නැතිව ඉන්නව.

කිව්වත් වගේ අපිව නැතුව මැරිල ගිහින් ද? අපෝ නෑ මචං. හැබැයි අපි දෙගොල්ලොම අනිකාට නොදැනෙන්න උන්නද මළාද හොයනව.

සමහරවිට අවුරුදු ගාණක් ගිහිල්ලත් හීනෙන් එහෙම පේන්න වුනත් පුලුවන්! (ඔව් ඈ)  හොඳින් ඉන්නවද, කරදරයක්වත් ද? අපි හොයන්න හදනවා. :)

දවසක ඔන්න ආරංචියක් එනවා ඔන්න අලුත් එක්කෙනෙක් ඉන්නවා කියල.

(ඔව් එහෙම දවසක් එනවා, පිටින් දැනගන්නවට වඩා කතා කරලා කියන්න වටිනවා)

ඕනෙ නම් ඒ වගේ සබඳතා කීපයක් තව පහුවෙන ආරංචි ආවා හෝ නැතා, අහවල් දවසේ ඔන්න කසාදෙ කියන ආරංචියත් දවසක එනවා. 

(ඔව් මචං අනිවා එනවා)

ඊටපස්සෙ තව ළමයෙක් දෙන්නෙක්? ඕනෙ නම් ළමයට උඹේ නම කියල කතා කරල, අංකල්ට ටටා කියන්න පුතේ කියලත් කියයි!

(අඩු-වැඩි වශයෙන් ඒ අත්දැකීමත් හම්බෙනවා මචං බය වෙන්න එපා)

ඔන්න ඔය කාලාන්තරේම උඹත් නිකන් නෙවේ උන්නෙ,

හැබැයි ආපහු එකම එක දවසකට විතරක්, අර අවුරුදු ගාණකට කලින් මතකේ රැඳුන එක දවසකට ආපහු උඹට යන්න ආසාවක් ඇති.

අත් දෙක කිටිකිටියේ මිරිකිලා හැන්දෑවේ එකින් එක විදුලි එලි පත්තු වෙන්න පටං ගන්න වෙලාවක, වචනෙකින්වත් හැඟිමක් එලියට නොදා හිතින් කතා කර කර ඉන්න අතරේ වටේ ඉන්න පුංචි පැටව් එක්ක අම්මලා අප්පච්චිලා සෙල්ලම් කර කර ඉන්නවා බල බල උන්නු දවසක්?

නැත්තම් නින්ද ගියේ කොයි වෙලාවෙද නොදන්නවා වුනත් අනිකගෙ හුස්මවල රස්නෙ කණ්වලට බෙල්ලට වදිනවා දැනිලා හෙමීට ඇස්දෙක ඇරලා බලපු මොහොතක්?

...තව දවසක්, හමු වී ඉමු මේ භවේ
එක සැරයක්  දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්, හැඬුව තරම්
කියන්න හීන් සැරේ....

ආයෙත් හම්බෙනවා නම්, යනවද?

හැබැයි එහෙම කරලා කෙලවගන්න බැරි වටිනාකම් ගොඩක් සමහරවිට මේ වෙද්දි උඹ ගොඩ ගහගෙන ඇති. මොනා කරන්නද, හූල්ලලා නිකං ඉන්න වෙනවා මචං..

ඊට පස්සෙ තව ආරංචියක් එන දවසක් වෙනුවෙන් උදේ ඉර පායනවා. උඹ ඉස්සර නොවුනොත් විතරක් මේ ආරංචිය එන්නෙ උඹට. උඹ ගෙදර ඉස්සරහට ගිහිං නරකෙස් ගහක් අත ගගා කල්පනා කරන්න ගනියි. 

පොඩ්ඩක් නැවතියං! නෑ නෑ තාම එහෙම වෙලා නෑ. හැබැයි එහෙම වෙන බව දැනගෙන මනෝ පාරක් ගහපන්.

එදාට අර උඹ ඒ කාලෙ ඒ කොල්ලව හෝ කෙල්ලව අත අරින්න තරම් හේතුවුණ කාරණා, නැත්තම් මූ/මේකි මාව අත ඇරියනේ කියලා තිබ්බ තරහ, හිතේ තිබ්බ අඩු වැඩි වශයෙන් සාධාරණ හේතු එකක්වත් වලංගු නෑ මචං.

හිතපං, හිත හදාගනින්. ඔන්න ඔය ප්‍රධාන සිද්ධිවලට නිකමට වගේ වර්චුවල් ටුවර් එකක් ගියා නම්, හිත හදාගන්න පුදුම හිතෙන තරම් ලේසි.

_________________________________

+" මේ..! මාව නොලැබුනොත් තනියම ඉන්නවද?"

#"අපෝ නෑ, එහෙම දෙයක් නෑ :) "

+"හ්ම්ම්ම්! විහිලුවෙන් වුනත් ඇත්ත කියනව නේද?" :)

හැබෑවට පොඩ්ඩක් එපිටින් ඉන්න ෆැන්ටසියට ආස මිනිස්සු වගේම, ඔන්න ඔය දෙබස වගේ පොඩ්ඩක් හරි රියැලිටියට ලඟ මිනිස්සුත් ඉන්නව.

ඒ වගේම,

උන් දෙගොල්ලන්ටම මේ ලෝකෙ ජීවත් වෙන්න, ඕන තරම් ඉඩ තියෙනව.

2 comments:

  1. හිතට වදින්නම ලියලා තියෙනවා. ගොඩක් දේවල් ඉගන ගත්තා මචන්..
    ජය වේවා!

    ReplyDelete
  2. මේවාට කමෙන්ට් දාලා බලෙන් ඉල්ලලා නා ගන්න බෑ බොලව්.... කමෙන්ටුවක් දැම්මාය කියලා හිතාගනින්.... හැක්

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...