Saturday, April 27, 2013

වරද කොතැන ද????





 











 පාසල් කාලයේ මගේ මිතුරෙකු විය. හේ නමින් මොහොමඩ් සදුර්දින් අමානාත් උසාමා ය. ඔව්! ඔබෙ සිතිවිල්ල නිවැරදි ය.ඔහු උපතින් ඉස්ලාම් භක්තිකයෙකි. ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ මා උගත් සමයේ අංශයේ සිටි මුස්ලිම් ළමුන් තිදෙනාගෙන් එක අයෙකු වූ ඔහු සිටියේ මගේ පන්තියේ ය.හේ මිත්‍රශිලිය,එසේම කෙළියට නැඹුරුය. සිංහල විද්‍යාලයත්, බුද්ධධර්මයත් ඔහුට හරාම් නොවිය. ඉස්ලාම් දහම උගෙනීමට පහසුකම් රහිත වූ ම'පාසලේ බුද්ධධර්මය විෂය අවස්ථාවන්හිදී අප හා එකට එකතුව පාඩම අසා සිටීම ද ඔහුට හරාම් නොවිය.හේ අපූරු චරිතයකි. හේ තම මව අමතන නාමය "උම්මා" බව මා සමග පැවසීමට ලැජ්ජා වූ අයුරු තවමත් මගේ මතකයේ ඇත. 2001 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල් ක්වයිදා ප්‍රහාරයට පසුව සිංහල මිතුරන්  ඔහුව ඇමතු සුරතල් නාමය වූ ඔසාමා බින්-ලාඩන් යන නම කෙතරම් දරුණු වුවද එයද ඔහුට හරාම් වුයේ නැත.ඔහු කැමති වේවා අකමැති වේවා හෙතෙම එය උපේක්ෂාවෙන් ඉවසා සිටියේ ය. කොටින්ම අප විවේකයේදී අනුභව කරන ඕනෑම කඩචෝරුවක් ඔහුට හරාම් වුයේ නැත.අප ගෙදරින් රැගෙන එන කෑම පාර්සලයක් ඔහුට හරාම් වූ කිසිදු දිනයක් පිළිඹඳ මගේ මතකයේ තිබීමට හේතුවක් ද නැත.හේතුව එවන සිදුවීමක් කිසි දිනක සිදුවීම උගහට බැවිනි.අප එකල කල අපූරු කෙලියක් වූයේ ගිනිසීරියා දඬු ගෝනි නූල් වලින් බෙල්ලේ එල්ලා සකසා ගන්නා තුවක්කුවලින් කල යුධ කෙළියයි. අපගේ යුධ පිටිය වූයේ පාසලේ අන්තිම කෙලවරේ වූ ගුරු නිවාසය පසුපස මිදුලයි. අතහැර දැමු වැසිකිලි පද්ධති කිහිපයක් අපගේ "බංකර" ලෙස භාවිතා වූ අතර විරුද්ධ පිලේ "බංකර" වෙත කඩා පැන ද්වන්ධ සටනකට එළඹී මොහොතකදී අප දෙදෙනා අතර තුවාල සිදුකරගන්නාතෙක් සටන් කල මතකයක් තවමත් මගේ මනසට සිනහ රැල්ලක් ගෙන එයි. එලෙස බොදු,කිතුනු මිතුරන් හා කෙලි සෙල්ලම ඔහුටද අප හා සමානව විනෝදය ගෙන දුන්නා මිස එය ඔහුට හරාම් නොවීය.

     ඔහුගේ මව ද සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවකි. පාසලේ අතිරේක පාඩම්වලට හවස්කාලයේ රඳවා ගන්නා දිනයන්හි ඇය නොවරදවාම කෑම පාර්සලය සමග දෙහි යුෂ බෝතලක් එවන්නේ කිසි දිනක ඔහු එය පානය නොකළ බව දැන දැන මෙන්ම ඇතැම් දිනක මුළු බෝතලයම එක උගුරට ඉවර කරන්නේ මා බවද දැනගෙන විය හැකිය. ජාති වාදීන් ලෙස හංවඩු ගසා ඇති (මා ද ඇතුලත්ව) අයවලුන් ඔබගේ මනසට ඇතුලත් කර ඇති දත්තයන් විශ්ලේෂණය කරන ඔබට "උපත් පාලනය" නම් වැකියක් මා එය කියන විට මතක් විය හැකි වුවත්, මා ඔහුව අවසන් වරට දුටු මා පාසලෙන් සමුගත් දිනයෙන් වසර 7කට පසුව හදිසියේ කොළඹ නගරයේදී මා දැක හඳුනාගෙන  වැළඳගත් ඒ සහෝදරයා ගැන එවන් අදහසක් මා තුල ඇති වීම කෙසේ සිදුවිය හැක්කක් ද?

    අද හලාල් ගැන කුඩා දරුවෝ පවා දනිත්.එය කෙතෙක්ද යත්, වසර 5ක කුඩා දරුවෙකු පවා ආහාර දවටනයක හලාල් ලාංඡනය හඳුනා ය ප්‍රතික්ෂේප කරන මට්ටමක් දක්වා එය පැමිණ ඇත.එය අතිශයෝක්තියක් නොව මා දන්නා සත්‍ය සිදුවීමකි. දැනගෙන යන්නන් මෙන්ම නොදැන යන්නන් යන දෙපිරිසගේම අරමුණ කතරගම යාම වුවද, මග නොදැන කතරගම යන්නාගේ ඉරණම හා මග දැන කතරගම යන්නාගෙ  ඉරණම කිසිදිනක සමාන වේ ද? කතරගම යාමට සිතීම නිවරද තීරනයක් විය හැකිය. නමුත් මග නොදන්නේ නම් මග උගත යුතුමය.නැතහොත් පෙනීයන්නේ පෙනය පාන නයා පසුපස සිට වෙලුනු කොස් කොලයක් ඔසවන ගැරඬියකුගේ සිනහ උපදවන දර්ශනයකි.මෙහිදී කිව යුතුම කාරණයක් වන්නේ මා සර්ව ආගම වැළඳගත් හෙන්චයියකු නොවන බවය. එවන් අමුතු ආගමක් වැළඳ ගැනීමට හේතු භූත වන සාධක කිසිවක් මා හැදුනු වැදුණු පරිසරයේ හෝ මා උගත් පාසල්වල හෝ,අවම වශයෙන් මගේ උප්පැන්න සහතිකය තුල හෝ නැත. මගේ මව හෙළකම ,බොදුකම හඳුනන පවුලක තැනැත්තියකි. මගේ පියාගේ පියා සුද්දන්ගෙන් ගත තානාන්තරවල නිස්සාර බව අත්දැකීමෙන් හඳුනා ගත තැනැත්තෙකි.මගේ මවත් පියාත් මමත් තිදෙනාගේම කටට ඉංගිරිසිය හොඳින් හුරුය. නමුත් මා පාසලේ සයවන වසර උගත් සමයෙන් පසුව කසිදු දිනක නිවැසියන් අතරේ පරගැති බස වනා නැත. ඉන් පෙර එවැන්නක් සිදු කලේ මගේ උගැන්ම තකාය. මම වසර ගණනක් දහම් පාසල් ගියෙමි. එසේම එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කලෙමි. ඉදින් මම ද හෙලකම මෙන්ම බොදුකම හඳුනමි. අවසාන මොහොත තෙක් හෙළ බිම සිංහ කොඩිය ළෙලදෙවන්නට කටයුතු කල කන්ද උඩරැටියන්ගේ ලෙය දුවවන මගේ හදවතට රට ජාතිය ආගමට එරෙහිව සිදුවන දෑ නිකරුනේ බලා සිටීමට ඉඩක් සපයා නැත.එය මගේ පෞද්ගලිකත්වය යි. නමුත් මෙපරිද්දෙන් එය නිරාවරණ කිරීමට හේතුව මා ලබා සිටින ජාතිවාදී බෝඩ් ලෑල්ල මත්තෙන් සර්ව ආගමික කපුටු වසුරෙන් අපවිත්‍ර වූ පිරුවටය කිසිවෙකු එලලීම වැලක්වීමට ය. සිංහලයාට අනන්‍ය වූ ශිෂ්ට සම්පන්න බවක් ඇත. ශිෂ්ට සම්පන්න භාෂාවක් ඇත. සියවසින් විසි එකක් වූ අද දවස ශිෂ්ට යැයි කියාගන්නා අයවලුන්ට ද පුදුම එලවනසුලු ශිෂ්ට සම්පන්න බවක් එදා හෙළයා සතු වූ බව එදා හෙළදිව දුටු රොබර්ට් නොක්ස් සනාථ කරයි.අපේ කම,අපේ උරුමය රැකගැනීමට කරන අරගලයේදී ශිෂ්ට සම්පන්න බව අගය කල ,එහි අගය මතක් කල අයවලුන්ට සර්ව ආගමික නම්බු නාමය නිකුත් කරන මෙවන් සමයකදී එවන් නිරාවරණයක් නොකරම බැරි ය.

   ඔබගේ අසල්වැසියා මුසල්මානුවකු විය හැකිය.ඔබගේ හොඳම මිතුරා මුසල්මානුවකු විය හැකිය. ඔබ ප්‍රියතම නළුවා මුසල්මානුවකු වන ඛාන් කෙනෙකු වීමට හැකිය. එය ඔබගේ අයිතිය යි. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැක. ඇතැමුන් අන්තවාදය ලෙස හඳුන්නවන සටන ක්‍රියාත්මක වුයේ,වන්නේ ඔවුන්ට එරෙහිව නොවන බව දැන සිටීම කතරගම යන කොයි කාගේත් මග දැනුමට යහපත් ය. මෙකි ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ එහා ගෙදර වෙසෙන මොහොමඩ්ට විරුද්ධව හෝ,හන්දියේ කුඩා තේ කඩයකින් තම ජීවිකාව ගෙනයන නජීම්ට විරුද්ධව හෝ,තම දරුපැටවුන් බලා කියාගෙන නිවසට වී සිටින ෆාතිමාට විරුද්ධව නොවේ.මේ දිවයිනට ආවේනික වූ සංස්කෘතියක් ඇත. ඒ මත ගොඩනැගුනා වූ මහා ශිෂ්ටාචරයක්ද මේ දේශයට හිමිය. එහි සැබෑ අයිතිකරුවෝ තවමත් මේ දිවයිනේ ජිවත් වන්නෝ ය. උස් මිටිකම් නොසලකා හැරි විට ලෝකයේ කුමන රටේ වුවද මීට සමාන තත්වයක් ඇත.එවන් සංස්කෘතියක් හිමි කුමන ජාතියක් වුවද තවත් දේශයකට ඊර්ෂ්‍යා කිරීම හෝ කෙල හැලීම තමන්ටම කරගන්නා නිගාවක් සේ දැකිය යුතුය. ඉදින් මෙකි සටන,එවන් අන්තවාදී ජිහාඩ් සංවිධානවලට එරෙහිව මිස හුදීජනයාට එරෙහිව නොවේ.එසේම එය ජාතිවාදය නොවන අතර,එය ජාතිවාදයට විරුද්ධවීම සේ දැකිය යුතුය.ඉදින් එකී ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ පෙරකී උරුමයන් රැකගනිමින් තම සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට වල කපන පිරිස්වලට විරුද්ධවය.ලාට රටින් පිටුවහල් කල විජයට පවා තම නැව මෙහෙයවිය යුතු අත ගැන දැක්මක් තිබිණි. එසේ නොවුයේ නම් ඔහුට සිදුවන්නේ තම පිරිවර සමග තම්බපන්නියට ගොඩ බැසීමට නොව මුහුදට බිලිවිමටය. අරමුණ නොදැන අරඹන,අන්ධ මානසිකත්වයක් සමගින් යාත්‍රා කරන කොයි කාටත් සිදුවන්නේ වලපල්ලට යාම විනා අන් දෙයකට නොවේ.

    දිනක් මා දුම්රියේ ගමන් ගන්නා විට මුසල්මානු කාන්තාවන් දෙදෙනෙකුගේ ගාලගෝට්ටියක් කණ වැකිනි. මීළඟ දුම්රිය ස්ථානය මරදාන ද නැද්ද යන්න පිළිබඳව වූ එම විවාදය මිනිත්තු කිහිපයක් පුරාවටම මහා කන්දොස්කිරියාවක්ව විය. තරමක සෙනගක්ද දුම්රිය මැදිරිය තුල වූ බැවින් ඔවුන්ගේ අභිනවයන්ද අසල සිටියවුන්ට හිංසාවක් බව මම දුටුවෙමි. කෙසේ හෝ ළඟ සිටි අයවලෙක් මීළඟ දුම්රිය ස්ථානය කුමක්දැයි සනාථකොට ඔවුන් නිහඬ කරවීය.අවසානයේ ඔවුන් ගමනාන්තයට ලඟා වූ විටද හැසිරුනේ ඉතාමත් අශෝබන අයුරිනි. අන් මගීන් ඉතාමත් නොඉවසිලිවන්ත ලෙස පෙරලා දමමින් ඔවුන් දොරටුව වෙත ලංවීමට උත්සහ දරනු දුටු මට "මුං හැසිරෙන්නවත් දන්නේ නැ,ඒ වුනාට කල්පනාව රටත් අල්ලන්ට"යයි කියවිණි.ඔවුන්ට එය  ඇසුණු නොඇසුණු බව පිලිබඳ මම නොදනිමි. නමුත් මා එය නොඇසුනේ නම් මැනවයි දැන් මට සිතේ. හේතුව එවන් චෝදනාවක් කිරීමට මට කිසිදු අයිතියක් නොමැති බැවිනි.ඔවුන්ගේ හැසිරීම අනෙක් මගීන්ට බාධාවක් වූ බව සත්‍යකි,නමුත් ජාති වාදයෙන් ඔද වැඩි ගිය එවැනි චෝදනාවක් කිරීමට නොහැක. එසේ කිරීමට නම් ඔවුන් රට ඇල්ලීමට කුමන්ත්‍රණ කල බවට මා සතුව පැහැදිලි සාක්ෂි තිබිය යුතු ය.
 
   දිනක් ගුරුවරයෙකු නොමැති අවස්ථාවකදී මම මගේ සගයන් ඇමතුවෙමි. විනාඩි 20ක පමණ විවාදයකින් අනතුරුව මම ඔවුන්ට පෙන්වා දුන්නේ හලාල් ලේබලය සමග සිංහල ජාතියට සිදුවීමට යන විපත ය. ඒ ගණන් මිනුම් සහිතවය. අවමය 1,75,000වූ ගාස්තුවකට යටත්ව සීමාසහිත වසරක කාලයකට හලාල් සහතිකය ලබාගන්නා 4200ක් පමණ වූ නිෂ්පාදන මිලදී ගැනීමෙන් එකී කොටි ගණනක මුදල්වලට අවසානයේ සිදු වන දෙය පිලිබඳ හේතු සහිතව ඉදිරිපත් කල විට ඔහුන්ගේ හදවත් කිරි ගැසී ගියා නොඅනුමානය. ඇතැමෙක් එදින පටන් හලාල් වර්ජනයට සිතට ගත්හ. එදිනම සවස හොඳම මිතුරියකගෙන් ලත් බීස්කට් පැකට්ටුවක් එපිට මෙපිට හරවා හලාල් දැයි බලා ප්‍රතික්ෂේප කල මගේ සගයෙක්ද විය. ඔහු අනුකරණ වාදියෙක් නොවූ බව මට සහතික ය. හෙතෙමත් , අන්ධයකු ලෙස හලාල් ප්‍රතික්ෂේප කරනෙකුත් අතර මම විශාල වෙනසක් දකිමි.අවශ්‍ය කරන්නේ එවන් අවබෝධාත්මක හැසිරීමක් විනා අනුකරණවාදී  හෝ ප්‍රකෝපකාරී හැසිරීමක් නොවේ.

   facebook හෙවත් කොයි කව්රුත් දන්නා බුකිය යනු,ලොව ඇති ජනප්‍රියතම සමාජ ජාල අතරින් එකකි. එහි අරමුණ වන්නේ මිතුරන් වර්ධනය කර ගැනීම හෝ තම දේශපාලනික අදහස්  හා මත  බෙදා හරිම නොවේ.එහි ප්‍රධාන අරමුණ වන්නේ තමන් සැබෑ ලෝකයේදී දන්නා හඳුනන මිතුරන් අතර අදහස් හුවමාරුව යි. වෙහෙසකර දිනයක අවසානයේ කෙනෙකු තම facebook ගිණුම වෙත පිවිසෙන්නේ දේශපාලනික ගැටළු හෝ විවේචනාත්මක හෝ ක්‍රෝධ සහගත ලිපි හෝ පුවරු දැක තම ලේ කෝප කරගැනීමට නොවේ. ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින් හා ජිවන දර්ශනයක් පවතින රටක් බව සැබෑ ය. දේශපාලන විශේඥයකු වන හැරල්ඩ් ලැස්කි මහතාගේ නිර්වචනයකට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජීවන දර්ශනයක් තුලදී  "කෙනෙකුට තම බස්තම
වැනිය හැක්කේ අනෙකාගේ නාසය අග කෙලවර දක්වා පමණි" ( one can twist his walking stick only up to another's nose).එසේ නම් රට ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා බස්තම වනන්නේ අනෙකාගේ නාස්පොල්ල කැඩී යන අයුරින් නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනුයේ කෙලෙසින් ද? ශ්‍රී ලංකාව බහු පක්ෂ ක්‍රමයක් සහිත රටකි. එසේම ඕනෑම කෙනෙකුට තම තමන්ගේ දේශපාලන මත දැරීමට හා ඒ පිලිබඳ කතා කිරීමට ඕනෑ තරම් වේදිකාද ඇත.ජාති වාදීන්ට වේවා, සර්ව ආගමික සහජීවනය ගැන කතා කරන්නන්ට වේවා,අන්තවාදීන්ට වේවා ඕනෑම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය තරම් ස්ථාන තිබියදී තම බීජ වැපිරීමට බුකිය යොදාගැනීම අනුමත කල නොහැක. අවම වශයෙන් මා පෙර කී සභ්‍ය භාෂාව ඒ සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය ය. බුකිය තුල තම සෙම් සොටු වපුරන ඇතැමුන්ට බුකිය තුල වැඩියෙන්ම මතක් වන්නේ අන් අයගේ මව් පියන් ය.ඔවුන් දෙවිවරුන්ගේ මව් පියන්ද ආමන්ත්‍රණය කිරීමට තරම් මුල් ගුරු පත්වීම් ලබා සිටිති.එසේම ඇතැම් පිරිසක් බුදු රූප විකෘත කරන අතර ඇතැමුන් වෙනත් ආගම්වල ඉගැන්වීම් හාස්‍යට ලක් කරති. ආගම යනු බලෙන් ඇඟට පැටවිය යුත්තක් නොවේ. එය තම තම නැණ පමණින් දැන විශ්වාස කල යුත්තකි.අවශ්‍ය වන්නේ එලෙස මඩ ප්‍රහාර එල්ල කර ගැනීම නොව විවෘත සාකච්චාවකට එළඹීම යි. අතීතයේ වැඩ සිටි තෙරුන් වහන්සේලා පානදුරා වාදය වැනි උදාහරණ අප වෙනුවෙන් ඉතිරිකර ගොස් ඇත්තේ පෙළ පොත්වල පිටු පිරවීමට නොවන බව සිහි තබා ගත යුතුය.

   රටට අවශ්‍ය වන්නේ බුකියේ රඟදෙන කාඩ්බෝඩ් වීරයන් නොවේ. එසේම බුකියට වී මුසල්මානුවන්ගේ බූර්කා ගලවන්නන්ද නොවේ. එම ඇඳුම ඔවුන්ට අපහසු නම් එම විරෝධතාවය ඔවුන් තුලින්ම දිනක නැගෙනු ඇති. අවශ්‍ය වන්නේ රටට ආකල්පමය වෙනසක් ලබා දිය හැකි, රට ජාතිය ආගම ගැන හැඟීමක් සිත්සතන් තුල ඇති කරලිය හැකි නායකයන් ය.මුසල්මානු ව්‍යාපාර වෙත යන්නන්ට බිත්තර ගසන අශ්ලීලයන් මෙරටට අවශ්‍ය නැත. හුදී ජනයාට කාවදින අයුරින් ආදීනව පහදාලිය හැකි නායකයන් බිහි වූ දිනට බිත්තර අවශ්‍ය නොවනු ඇත.එවන් නායකත්වයක් මගින් කුණු බිත්තර සේම පෙරකී අශ්ලීල මුල බීජද තුරන් කරවීමට හැකි වනු නොඅනුමාන ය.

8 comments:

  1. මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක්ශා සහගතවයි බලන්නෙ.. කෙසේ කියුවත් මා විරුද්දයි.. ඇත්තෙන්ම හලාල් කියන්නෙ මොකක්ද කියල කාගෙන් හරි ඇහුවොත් දන්නෙ බොහොම සුලු පිරිසක්.. ඒත් ඒකට විරුද්ද වෙන්න ඕන තරම් අය ඉන්නව..

    හලාල් කියන්නෙ කිසියම් ආහාරපාන හෝ ඕනෑම දෙයක් මුස්ලිම්වරුන්ට කැප යයි සම්මත කිරීම සඳහා යොදාගනු ලබන තත්ව සහතිකයක්.. විශේශයෙන් මා දන්නා විදිහ අනුව ඔවුන්ට අකැප දෙයක් වෙන ඌරන් ආශ්‍රිත නිශ්පාදනයක් නොවේ යයි කියල සහතික කරගැනීමක්(කැමති නම් ජාතිවාදියා කියලා මාවත් හංවඩු ගහන්න කියපං)

    ඒ වගේමයි.. අපේ ඉස්කෝලෙත් ඔය උබ කිවුවා වගේම පොරක් ඉන්නවා නිදාල් කියලා.. ඌටත් ඔය හරාම් කියන දේ නෑ.. අපි නම් ඌට කිවුවෙ මොහොමඩ් අල් ගඩාෆි කියල.. :ඩී මොන ජාතිවාදය කිවුවත් සහෝදරයෙක් වගේ අපි එක්ක ඉන්නවා.. හිත හොඳ කොල්ලා.. හොඳ මූන පෙන්නල පිටට පිහියෙන් අනින ගතිය ඌට නෑ.. ඒ වගේ යාලුවො ගොඩක් මට ඉන්නවා, ඒ නිසා එදත් අදත් ජාතිවාදයට මා විරුද්දයි..

    ReplyDelete
  2. මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක්ශා සහගතවයි බලන්නෙ.. කෙසේ කියුවත් මා විරුද්දයි.. ඇත්තෙන්ම හලාල් කියන්නෙ මොකක්ද කියල කාගෙන් හරි ඇහුවොත් දන්නෙ බොහොම සුලු පිරිසක්.. ඒත් ඒකට විරුද්ද වෙන්න ඕන තරම් අය ඉන්නව..

    හලාල් කියන්නෙ කිසියම් ආහාරපාන හෝ ඕනෑම දෙයක් මුස්ලිම්වරුන්ට කැප යයි සම්මත කිරීම සඳහා යොදාගනු ලබන තත්ව සහතිකයක්.. විශේශයෙන් මා දන්නා විදිහ අනුව ඔවුන්ට අකැප දෙයක් වෙන ඌරන් ආශ්‍රිත නිශ්පාදනයක් නොවේ යයි කියල සහතික කරගැනීමක්(කැමති නම් ජාතිවාදියා කියලා මාවත් හංවඩු ගහන්න කියපං)

    ඒ වගේමයි.. අපේ ඉස්කෝලෙත් ඔය උබ කිවුවා වගේම පොරක් ඉන්නවා නිදාල් කියලා.. ඌටත් ඔය හරාම් කියන දේ නෑ.. අපි නම් ඌට කිවුවෙ මොහොමඩ් අල් ගඩාෆි කියල.. :ඩී මොන ජාතිවාදය කිවුවත් සහෝදරයෙක් වගේ අපි එක්ක ඉන්නවා.. හිත හොඳ කොල්ලා.. හොඳ මූන පෙන්නල පිටට පිහියෙන් අනින ගතිය ඌට නෑ.. ඒ වගේ යාලුවො ගොඩක් මට ඉන්නවා, ඒ නිසා එදත් අදත් ජාතිවාදයට මා විරුද්දයි..

    ReplyDelete
    Replies
    1. කුමන ආගමකට අයිති උනත් ඒ අයට තමන්ගේ ඇදහිල්ලට අනුව ජිවිතේ ගෙනියන්න (ඒ වගේම අන් අයට හිංසාවක් නොවෙන්නත්) අයිතියක් තියෙන්න ඕනේ සහෝදරයා.. ඇත්තම කතාව තමයි ඔයා කිව්වේ,ආහාරයක් හලාල් හෝ හරාම් වෙන්න බලපාන ප්‍රධානම එක හේතුවක් තමයි සුකර මස් අඩංගු වීම. ඇත්තටම සූකර මස් අඩංගු ද නැද්ද තමන් මිලදී ගන්න ආහාරයේ කියල දැනගන්න අයිතියක් තිබිය යුතුමයි. එත් ඒ යහපත් අරමුණෙන් එපිට කිසියම් වංක අරමුණකට මේ හලාල් ලේබලය ගිහින් තියෙන නිසා එය තත්ත්ව සහතිකයක් විදියට හඳුන්වන්න මම කැමති නෑ.. සරලම උදාහරණයක් ගත්තොත් බෝතල් කල පානිය ජලය ඇසුරුමේ හලාල් සහතිකය කිසිම මුසල්මාන් භක්තිකයෙකු සොයන්නේ හෝ එය තිබීම බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් හලාල් ලේබලය මුදල් පවා අය කරමින් එවැනි නිෂ්පාදන වෙනුවෙන් පවා නිකුත් කරන්නේ ඇයි,එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එක ගැටළු සහගතයි. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කල හේතුව තමයි ජල පවිත්‍රාගාර තුල ජලය පිරිසිදු කිරීමට කාබන් (අඟුරු ලෙස)යොදාගැනීමත්,එම අඟුරු ලෙස මිනි අඟුරු හෝ වෙනත් සත්ත්ව කොටස්වල අඟුරු අඩංගු නොවන බව සහතික කිරීම. එය ඉතාමත් බොළඳ තර්කයක් බවයි මගේ අදහස.. ඔවුන්ගේ ඉලක්කය අවශ්‍ය දෙයට අවශ්‍ය ලෙස සහතිකය නිකුත් කිරීම නොව හසුවන කුමන හෝ නිෂ්පාදනයක් දඩමීමා කරගනිමින් තමන්ගේ වාණිජ අරමුණු කරා ලඟා වීමත්,ඉන් අනතුරුව යම් යම් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමත් බවයි මගේ අදහස..

      නමුත් මම අවධාරණය කරන්න කැමතියි, මුසල්මානුවන්ට තමන්ගේ ආහාරයේ අන්තර්ගතය පිලිබඳ දැනගැනීමට ඇති ඒ අහිංසක අයිතිය උල්ලංගනය වීමට ඉඩ නොදිය යුතු යි.නමුත් ලද අවසරය පතා අනවශ්‍ය දැයට යොමු වීම පිලිබඳ මම විරුද්දයි. ඒ වගේම මේ ගැන දැනුවත් වෙලා අපේ සිංහල කොල්ලෝ ටික සුදානම් ශරීරෙ ඉන්න එක ජාතිවාදයවත් ආගම් වාදයවත් නෙවෙයි කියල මම කියන්න ඕනේ.සිංහල රටේ වත්මන් අවශ්‍යතාවත් ඒකම තමයි..

      Delete
    2. තවත් නොදන්න දෙයක් දැනගන්න ලැබුනා සහෝ.. උබේ කතාවට සම්පූර්නයෙන් එකඟයි..

      නමුත් මෙතනදි මං ජාතිවාදය කියල අදහස් කරපු දේ සිංහලකම කියන දේත් එක්ක පටල ගන්න එපා මචං.. සිංහලයෙක් විදිහට ඒ හැඟීම මටත් තියනවා.. ඒ මං කිවුව ජාතිවාදය නෙමෙයි..

      ජාතිවාදය කියන්නෙ කිසියම් ජාතියකගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි තවත් ජාතියක් නැගී සිටීම යන්නයි මගේ අදහස.. උබට මතක ඇති අපි මීට පෙරත් මේ ජාතිවාදය කියන දේට මුහුන දුන්නා.. ඒ සිංහල දෙමල අරගලයෙදි.. එතනදිත් වුනේ කොහෙවත් ඉන්න උන් වගයක් කරපු දෙයක් නිසා අසරණ මිනිසුන් රාශියකට ජීවිත අහිමි වුන එක.. ඒ නිසා පටු මතයක ඉන්නෙ නැතුව මේ ගැනත් හිතන්න ඕනෙ බං.. ඒ වගේ මිනිස් ඝාතනයක් යලි දකින්න මං කැමති නෑ.. මොකද ජාති ආගම් වලින් පවුරු බැඳන් හිටියට අපි හැමෝම මිනිස්සු.. අපි හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු ලෙය.. කවුරු කෙසේ කීවත් ඕනෑම ජාතියකට මේ ලක්දීපයේ ජීවත් වෙන්න පුලුවන්.. හැම කෙනෙක්ම ලක් මාතාවගේ දරුවො.. අපි මේ පොලවෙ කාගෙ ලෙයක් හැලුවත් එයින් අපිරිසිදු වෙන්නෙ අපේ අම්ම කියලා හිතුනා නම්, අපි හලන්නෙ අපේ අම්මගෙම දරුවන්ගෙ ලේ කියලා තේරුම් ගන්න දැනුමක් හැම කෙනෙක්ටම තිබ්බ නම් කවදාවත් කිසිම මිනිහෙක් වෙන ජාතියක කෙනෙක්ට හානියක් කරන්නෙ නෑ.. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් හෝ වෙනත් ජාතියක් වේවා.. අද මෙවැනි අපරාද සිදු වෙන්නෙ කිසි කෙනෙකුට තමන්ගෙකම කියල දෙයක් නැති නිසා කියලයි මං දකින්නෙ.. එහෙම ඕනෑම මිනිසෙකුට තියෙන්නෙ තමන්ගෙ මව් රට පාවල දීලා හරි තමන්ගෙ පලිය ගැනීමේ පහත් ආත්මාර්ථකාමී බවක් මිස සැබෑ දේශප්‍රේමය නොවන බව බුද්දිමත් සොයුර උබට වැටහෙනු ඇත.. බුකිය වැනි දේවල් වලට මුවා වෙලා මිනිස්සුන්ගෙ ලේ කෝප කරවන දේවල් දාල ජාති අතර අසමගිය ඇති කරන කොන්ද පන නැති කිසිම ජාතියක් ජන්මයක් නැති උන් කරඩරේකදි අපිට පිහිට වෙන්න එන්නෙ නෑ බං.. උන්ට යුද්ද ඇති කලාම විවිද වාසි ලැබෙන නිසා උන් එහෙම කරනවා.. ඒත් කවද හරි අපේ දුකට පිහිට වෙන්න ඉන්නෙ අපේ අසල්වැසි සිංහලයා, මුස්ලිම් ජාතිකයා හෝ දෙමල ජාතිකයා.. නමුත් ඒ කරුණ තේරුම් ගන්න බැරි තරම් අද කාලෙ බොහෝ මිනිස්සු අඳබාලයන් බවට පත් වෙලා ඉන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න බෑ බං.. ඇත්තටම අද ලංකාවෙන් මනුස්සකම පලාගිහින්.. බොහෝ සුලු පිරිසක් ලඟ පමනයි අද එකී මනුස්සකම දකින්න ලැබෙන්නෙ..

      උබ එකඟ වෙයි කියල මං හිතනවා.. නැති වුනත් අවුලක් නෑ.. :ඩී

      Delete
  3. මගේ ඕනෑම ලිපියක් සංවාදයට විවෘතයි සහෝදරයා, ඒ නිසා උඹේ අදහස් ඉතාම ඉහලින් මගේ අඩවියට පිලිගන්නවා..

    මේක මම දැක්ක දෙයක්,වචන ගොඩකින් විස්තර කරනවට වඩා කියන්න තියෙන හුඟාක් දේවල් මේකෙන් කියවෙනවා කියලයි මට නම් හැඟෙන්නේ...

    එකෙක් කියනවා මම සිංහල ලු..
    තව එකෙක් කියනවා මම දෙමළලු..
    තවත් එකෙක් කියනවා මම මුස්ලිම්ලු..
    එතකොට අනිකා?
    ඌ කියනවා මම .........

    කෝ එතකොට මිනිස්සු කොහෙද ඉන්නේ????



    උඹ හරියටම ජාතිවාදය කියන වචනෙයි දේශප්‍රේමය කියන වචනෙයි අරුත් ගැන්වුවා සහෝදරයා.. ඇත්තටම අවශ්‍යවන්නේ ජාතිවාදය නෙවෙයි දේශප්‍රේමය කියන පණිවිඩේ දෙන්නයි මගේ අරමුණ වුනේ.. මට ජාතිවාදියා කියන බෝඩ් ලෑල්ල එල්ලෙන්න ඕනේ දේශප්‍රේමියා කියන අරුතින්.වචනයෙන් වැඩක් නෑ,හරයයි ක්‍රියාවයි වැදගත්.. මේ රටට සිංහල දේශප්‍රේමීන්ගේ නැගී සිටීමක් අවශ්‍යයි.. ඒ නැගී සිටීම කියලා මම කියන්නේ බුර්කා ගලවන එක හෝ මඩ ගහන එක හෝ බිත්තර ගහන එක නෙවේ.. තමන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාපයන් ගෙ නිවැරදි භාවය ගැන අවදානයෙන් ඉන්න එකයි වැදගත්.. හලාල් නිෂ්පාදන වර්ජනය හෝ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය සිදුවිය යුත්තේ තමන් එහෙම නොකලොත් අනාගතේ තමන්ගේ රටේ මහා ජාතියට වෙන වින්නැහිය ගැන අවබෝධයෙන් මිසක අනිකාට කෙලවන අරමුණින් නෙවේ.. සිංහලයා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. සමහර අතීත බෞද්ධ රාජ්‍යන් අද වෙනකොට පත් වෙලා ඉන්න අඩිය ගැන හිතලා,එක අපේ රටට වෙන එක වළක්වාගන්න අරමුණින් ඒ දේ සිදුවිය යුතුයි. අපේ රට සෑහෙන කාලයක් තිස්සේ ජාතිවාදයෙන් බැට කෑවා.චෙල්වනායගම් ගිවිසුම කාලේ ඉඳන්ම මේ රටේ බිහිවෙන්න ගිය ප්‍රභාකරන්ලා අනන්ත ගානක් ඉන්න ඇති. ඒ යුගය අවශ්‍ය නෑ ආයෙත්.. ජාතික සමගිය අවශ්‍යයි. ඒ වගේම වෙනත් ජාතියක් එළිපිට හෝ තිරය පිටුපස සිට වෙනත් ජාතියකට ගිනි දෙන්න සැරසෙනවා නම් එයට මම විරුද්ධයි..

    ReplyDelete
  4. එඅනිවා.. උබේ වචන වලට මම සම්පූර්ණයෙන් එකඟයි.. අසාදාරණ වැඩකදි නැගී සිටීම ජාතිවාදයක් ලෙස හඳුන්වන්න තරම් මම අඳබාලයෙක් නෙමෙයි.. ඇත්තෙන්ම උබේ අදහස් ගොන්න මගේ අදහස් වලට වඩා කෙනෙකුට සමීප වෙන්න පුලුවන්.. ඒ උබේ ආකල්ප මගේ ආකල්ප තරම් ආවේගශීලී ඇත්ත වශයෙන්ම කියනව නම් මගේ තරම් රැඩිකල් ආකල්ප උබේ වචන වල ඇතයි කියල හිතුන නිසා.. ඒ වගේම ඒකට තව දෙයක් එකතු කරන්න මම කැමතියි.. පලිගැනීම කියන්නෙ යුද්දයක මූල බීජයක්.. එවැනි බාල වැඩ වලට මා විරුද්දයි.. ඒ වගේම මේ දේවල් වලට වගකිවයුත්තන් සහ දඬුවම් ලැබිය යුත්තන් සැප පුටු වල සැප සේ කල් ගෙවද්දි ඒ වෙනුවෙන් අහිංසක ජනතාව දඬුවම් ලැබීම ශෝකයට කරුණක් මචං.. ඒ දේයි මට අදහස් කරන්න ඕන වුනේ..

    ReplyDelete
  5. ප්‍රශ්න කළ යුත්තේ මිනිසෙකුට ඉස්ලාමය ඇදහීමේ අයිතිය නොව ඉස්ලාමයයි... එවිට තේරුම් ගන්නා මුස්ලිම් එකා අන්තවාදය හැලු ඉස්ලාමය අදහනු ඇත...

    මුහුණ වැසෙන සේ බුර්කාව ඇඳීම තහනම් කළ යුතුය
    හලාල් තහනම් කළ යුතුය
    ශරියා හා ජිහාඩ් පිළිකෙව් කළ යුතුය

    එය මුස්ලිම් මිනිහෙකුගේ අයිතියට පහර ගැහීමක් යැයි යමෙක් තර්ක කරන්නේනම් එය නොදන්නාකමය...

    ReplyDelete
  6. එකඟයි.ඔබ සරලව කී දෙයම මෙහි අඩංගුය..

    " ආගම යනු බලෙන් ඇඟට පැටවිය යුත්තක් නොවේ. එය තම තම නැණ පමණින් දැන විශ්වාස කල යුත්තකි. "

    " මෙකි ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ එහා ගෙදර වෙසෙන මොහොමඩ්ට විරුද්ධව හෝ,හන්දියේ කුඩා තේ කඩයකින් තම ජීවිකාව ගෙනයන නජීම්ට විරුද්ධව හෝ,තම දරුපැටවුන් බලා කියාගෙන නිවසට වී සිටින ෆාතිමාට විරුද්ධව නොවේ "


    " ඔබගේ අසල්වැසියා මුසල්මානුවකු විය හැකිය.ඔබගේ හොඳම මිතුරා මුසල්මානුවකු විය හැකිය. ඔබ ප්‍රියතම නළුවා මුසල්මානුවකු වන ඛාන් කෙනෙකු වීමට හැකිය. එය ඔබගේ අයිතිය යි. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැක. ඇතැමුන් අන්තවාදය ලෙස හඳුන්නවන සටන ක්‍රියාත්මක වුයේ,වන්නේ ඔවුන්ට එරෙහිව නොවන බව දැන සිටීම කතරගම යන කොයි කාගේත් මග දැනුමට යහපත් ය. "

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...