Friday, July 17, 2015

සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !

මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.



මං නම් කියන්නේ යහපාලන ආණ්ඩුවක් පත් වෙන්න ඕනේ කියා ය, සුබ අනාගත ආණ්ඩුවකුත් පත් වෙන්න ඕනෑ කියා ය. ඔය දෙකම මේ රටට පත් වෙන්න ඕනෑ ය. ඒ වුණාට ඔය නම් දාගෙන ආපු එකෙක්වත් ඔය කියන ජාතියේ ආණ්ඩුවක් හැදුවේ නැති ය. 

සමහරු කියන්නේ වැරදි අඩුම එකෙක්ට බලලා ඡන්දේ දෙන්න ඕනේ කියලා ය. උන් කරන වැරදි මොනාදැයි අපි දන්නේ නැති කොට, වැරදි අඩුම එකා මොකාදැයි කිරාගන්න තාමත් තරාදියක් හම්බුනේ නෑ ය. මේ ඉන්න එකා ඊගාවට මොනා කියයි ද, මොනා කරයි ද නොදන්නා දේශපාලන ලෝකයක ඔව්වා කිරන්නට යාමද බොරු වැඩකි, මං මේ කියන්නේ පක්ෂ විපක්ෂ ඔය කොයි කවුරුත් ගැන ය.

අපේ මිනිස්සුන්ට පක්ෂ තියෙනවා ය. කැපුවත් අර පාට කියන තරමට බොක්කට වැදුන පක්ෂ තියෙනවා ය. එක්කෝ මේවා ආවේ අම්මා අප්පාගෙන් ය. ගෙදර උන් මේ පක්ෂේ නිසා එක වසරේ පොඩි එකාට පවා පක්ෂයක් තියෙනවා ය. එක්කෝ මේ පක්ෂය තමන්ට හිමි වන්නේ තමන්ට හිතවත් මැම්බර් කෙනෙක් ඉන්න පක්ෂය අනුවය, උන් දිනුවොත් වැඩක් කරගන්න පුළුවන් ය. ලංකාවේ පොදු ජනතාවගෙන් සියයට හැත්තෑ පහකගේම, පක්ෂ දේශපාලනයේ පදනම පක්ෂයේ ප්‍රතිපත්ති රාමුව නොව මෙවැනි දෙකයි පනහේ හේතු ය. කලිසම මැදගන්න කරන්ට් නොතිබූ නිසා කලිසම ඇඳගෙන ආවේ නෑ ජාතියේ හේතු ය.

හැබැයි කියන්නට නම් එකක් ඇත්තේ ය. නායකයන් ඕනේ-ඕනේ යන හැගීම තවමත් සම්මත තත්වයේ ශිෂ්ට ගනයේ ලා සැලකෙන ගල් යුගයේ සංකල්පයකි. නමුත් උඩු රැවුලටත් ප්‍රතාපවත් දේහයටත් ඉඩ දී නායකයා තෝරා ගැනීම ගල් යුගයෙන්ද එපිට අතීතයට අපව ගෙන ගොස් තිරිසන් ලොව හුරු පුරුදුකම් වෙත ඇති සමානතා මෙනෙහි කරවනවා ය. ඒ අතින්, රැවුල් සහ තඩි ඇඟ ගැන බලා නායකයන් පත් කරන මානසිකත්වයට වඩා වැඩක් කරවා ගැනීම වෙනුවෙන් නායකයන් පත් කර ගැනීම තරමක සැනසුම් සුසුමක් හෙලීමට හැකි ගනයේ ගල් යුග පුරුද්දක ව්‍යුත්පන්නයක් කියා සිතා හිත හදා ගැනීමට හැකිය. කොයි හැටි වේවා උඩු රැවුලට හා කල ගුණ සැලකීමට ඡන්දය දෙන වහල් මානසිකත්වයෙන් යාන්තම් පොඩ්ඩක් අපේ මිනිස්සු දැන් ඉස්සරහට ඇවිදින් ය. ඒ ගැන සතුටු ය.

වැඩක් කරගන්න පුළුවන් මනුස්සයෙක් තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් පත් කර ගන්න පුළුවන් නම් හොඳය. උගේ පක්ෂය මොකක් උනත් කමක් නැති ය. අපි උගේ පක්ෂයේ උනාට ඌවත් උගේ පක්ෂයේ නොවෙන්න පුළුවන් ය.  පුළුවන් නම් ඌට සර් කියා කතා කර බොරුවට උඩ යවන්නේ නැතිව ඉන්නවා නම් තවත් හොඳ ය. සර් කියන වචනේ රහක් නැති එකාට ඇති මෙලෝම රහක් නැති  වුණාට රහ ඇති එකා ඕක හම්බුන ගමන් මාර විදියට උඩ යනවා ය. කොයි හැටි වෙතත් නායකයන් අවශ්‍ය වෙන,නායකයන් වෙනුවෙන් බලා සිටින, නොයෙක් මට්ටම්වල ප්‍රදේශවාදයෙන් සහ මමත්වයෙන් පෙලෙන මිනිසුන් ගල් යුගයේ පටන් වත්මන තෙක් වඳ වී නොගියා සේම, තවත් වසර ලක්ෂ ගණනකටවත් වඳ නොවන බව විශ්වාස නිසා මීට වඩා මේ ගැන කියා තේරුමක් ද නැති ය.

නායකත්වය, නායකයන් අවශ්‍ය වීම ගල් යුගයෙන් මෙහාට නොපැමිණිය යුතුව තිබූ ලක්ෂණයක් බව පමණක් සඳහන් කරන්න කැමතිය.ග්‍රීසියේ ඇතන්ස් සහ ස්පාටා නුවරවල සෘජු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇරඹි, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා පැමිණි ගමන තුල නියෝජනය යන්නෙන් අදහස් වන්නේ අපිට අයිති නැති "ලොක්කෙක් " යැවීම නොව අපිට අයිති අපේ එකෙක් යැවීම බව, අවසන් වශයෙන් මතක් කරමි. නායකයා සහ නියෝජිතයා යනු දෙදෙනෙකු බව, සිහි තබා ගත යුතු බවද මතක් කරමි. හොරු ගෙදර තැබීම ගැන වගේම ලොක්කන්ද ගෙදර යැවිය යුතු බවද කිව්වොත් කිසි වැරද්දක් නැත!

1 comment:

  1. At Thair, Hope I spelled this correctly.:D I 've been to your home page. If you don't want the whole post to load in home page use page breaks, dude. It's there in edit page.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...